The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
විශේෂාංග

මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්

Nethmini

Nethmini

October 5, 2026 • 12:34 PM

මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සේවාලාභියාගේ සංවේදී පෞද්ගලික රහස් අලෙවිකරණ මෙවලමක් කරගැනීම ගුප්ත ශාස්ත්‍ර ක්ෂේත්‍රයේ බරපතළ වෘත්තීය බිඳවැටීමක් බව මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර පෙන්වා දෙයි.
  • මොකද එතකොට තවත් අවුල් ගොඩක් ඇතිවෙන හින්දා.” පසුගිය දිනෙක තම දරුවකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කර ගැනීම සඳහා ජ්‍යෝතිෂවේදියකු වෙත ගිය අප හිතවත් යුවළකට ඔහු එවැනි කතාවක් පවසා තිබිණි.
  • ඒ නිසා අතීතයේ සිටම විවිධ සමාජ හා සංස්කෘතික පසුබිම් තුළ විශ්වාස, චාරිත්‍ර සහ ක්‍රමවේද බිහි වී ඇත.
  • ඒ සියල්ල එකම කාණ්ඩයකට ඇතුළත් කිරීම ශාස්ත්‍රීය වශයෙන් නිවැරදි නොවුණත්, ඒවා අතර පොදු සමාජීය ලක්ෂණයක් දැකිය හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

“අසවල් කෙනාගේ කේන්දරේ බැලුවෙත් මම තමයි. ඒත් එයාට ඔය කියන කාලේ මොනම විදිහකින්වත් පන්නන්න බැරි මාරක දසාවක් තිබුණා. ඒක මම දැනගෙන හිටියට ඒ පවුලේ කාටවත්ම කිව්වේ නෑ. මොකද එතකොට තවත් අවුල් ගොඩක් ඇතිවෙන හින්දා.”

පසුගිය දිනෙක තම දරුවකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කර ගැනීම සඳහා ජ්‍යෝතිෂවේදියකු වෙත ගිය අප හිතවත් යුවළකට ඔහු එවැනි කතාවක් පවසා තිබිණි.

“හැබැයි, ඔය කේන්දර බලන එක වෘත්තීය භාවයක් නම් ඒ කතාවෙන්ම මිනිහගේ ඒ වෘත්තීය භාවයට බරපතළ හානියක් වෙනවා.” එවිට මම ගත් කටටම කීවෙමි.

මෙහිදී මා අදහස් කළේ ජ්‍යෝතිෂය නිවැරදිද වැරදිද යන්න පිළිබඳ විවාදයකට එළැඹීමට නොවේ. යම් පුද්ගලයකු ජ්‍යෝතිෂය විශ්වාස කරන්නේද, නොකරන්නේද යන්නත් වෙනම කාරණයකි. ප්‍රශ්නය වන්නේ තමන් වෙත විශ්වාසයෙන් පැමිණි මිනිසකුගෙන් දැනගත් සංවේදී කරුණක් සම්බන්ධයෙන් සේවාව ලබාදෙන තැනැත්තාගේ වගකීම කුමක්ද යන්නය. ඔහු එය අන්‍යයන් හමුවේ හෙළි කරන්නේ නම් එය බරපතළ සදාචාරාත්මක ගැටලුවකි.

සංස්කෘතික විශ්වාසයන් සහ සේවාලාභියාගේ වගකීම

යථාර්ථයෙන් ඔබ්බට ගිය දේ පිළිබඳ සිතීමට මිනිස් සිත පෙළඹීම අලුත් සංසිද්ධියක් නොවේ. එය මිනිසා ශිෂ්ටාචාරගත වීමටත් පෙර සිට පැවත එන්නකි. මිනිසාට නොදන්නා දේ දැනගැනීමට, අනාගතය පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීමට, පැහැදිලි කළ නොහැකි සිදුවීම්වලට හේතු සොයා ගැනීමට සහ තමා අත්විඳින දුක්ඛදායක තත්ත්වයන්ගෙන් මිදීමට අවශ්‍ය වී තිබේ.

ඒ නිසා අතීතයේ සිටම විවිධ සමාජ හා සංස්කෘතික පසුබිම් තුළ විශ්වාස, චාරිත්‍ර සහ ක්‍රමවේද බිහි වී ඇත.

ජ්‍යෝතිෂය, නිමිති, අංජනම්, වාස්තු, බලි, තොවිල් සහ විවිධ ශාන්තිකර්ම එවැනි විශ්වාස හා සම්ප්‍රදායන් සමඟ සම්බන්ධ වූ විවිධ ක්ෂේත්‍ර වේ. ඒ සියල්ල එකම කාණ්ඩයකට ඇතුළත් කිරීම ශාස්ත්‍රීය වශයෙන් නිවැරදි නොවුණත්, ඒවා අතර පොදු සමාජීය ලක්ෂණයක් දැකිය හැකිය.

kapuwa.jpg
එනම්, තම ජීවිතයට වැදගත් යම් කරුණක් පිළිබඳ පිළිතුරක් හෝ සහනයක් අපේක්ෂා කරන පුද්ගලයකු, තමන් විශ්වාස කරන ක්‍රමයක් පිළිබඳ දැනුමක් ඇති බව පැවසෙන පුද්ගලයකු වෙත යොමුවීමය.
ශ්‍රී ලංකාවේද මෙවැනි සම්ප්‍රදායන්ට දීර්ඝ ඉතිහාසයක් තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආශ්‍රිතව පළ වූ පර්යේෂණයකින් පෙන්වා දෙන්නේ බලි ශාන්තිකර්ම උඩරට, පහතරට, නුවරකලාවිය සහ ඌව ආදී ප්‍රදේශවල විවිධ ස්වරූපවලින් පැවත ඇති බවත්, ඒවා සංගීතය, නර්තනය, මූර්තිකරණය යන කලා ක්ෂේත්‍ර සහ ජන විශ්වාස සමඟ බැඳී ඇති බවත්ය.

සංස්කෘතික වටිනාකම සහ සදාචාරාත්මක පදනම

එබැවින් ඇතැම් චින්තකයන් කරන්නාක් මෙන් මේවා සියල්ල කපටි මිනිසුන්ගේ නිර්මාණ ලෙස එකවර බැහැර කිරීමෙන්ද ශ්‍රී ලංකාවේ සංස්කෘතික ඉතිහාසය පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් නොලැබේ. ඉන් සිදුවන්නේ මේවායේ සාධනීය අංගද සමඟ ඒවා ජන සම්මතයෙන් ඉවත් වීමය. එහෙත්, පරම්පරා ගණනාවක් පැවතීම නිසාම කිසියම් ක්‍රමයක සෑම ප්‍රකාශයක්ම විද්‍යාත්මකව සනාථ වූවක් බවට පත්වන්නේද නැත.

යමක සංස්කෘතික වටිනාකමක් තිබීමත්, විද්‍යාත්මක සත්‍යතාවක් තිබීමත් එකිනෙකට වෙනස් කරුණු දෙකකි. එමෙන්ම විශ්වාසය යනු වගකීමක්ද ඇති කරන දෙයකි. මෙහිදී වඩාත් වැදගත් වන්නේ ගුප්ත ශාස්ත්‍රයක් සත්‍යද අසත්‍යද යන්නට වඩා, එවැනි සේවාවක් ලබා දෙන පුද්ගලයාගේ ආචාරධර්මීය පදනමය.

ජ්‍යෝතිෂවේදියකු, ශාස්ත්‍රකරුවකු, අංජනම්කරුවකු, වාස්තු උපදේශකයකු හෝ කිසියම් ශාන්තිකර්මයක් සිදුකරන පුද්ගලයකු වෙත යන සේවාලාභියා බොහෝ විට යන්නේ තම ජීවිතයේ අතිශය සංවේදී කරුණක් සිත තුළ රඳවා ගනිමිනි. විවාහය, දරු උපත, පවුල් ගැටලු, ආර්ථික අර්බුද, රැකියාව, සෞඛ්‍යය, මරණය, සම්බන්ධතා, දේපළ හෝ තමන් තුළ ඇති කිසියම් අනියත බියක් ඒ අතර තිබිය හැකිය. එවැනි අවස්ථාවක තම පෞද්ගලික තොරතුරු විශ්වසනීය පුද්ගලයකු වෙත පැවසීම සාමාන්‍ය කතාබහක් නොවේ. එය විශ්වාසයක් මත සිදුවන හෙළිදරව්වකි. එමෙන්ම එය “මට මේ තොරතුර දැනගන්නට ලැබුණේ සේවාලාභියකුගෙන්” යන්න, එම තොරතුර අන් අය සමඟ බෙදා ගැනීමට ලැබුණු අවසරයක්ද නොවේ.

රහසක් දැනගැනීම සහ එය හෙළි කිරීමට අයිතියක් ලැබීම යනු එකම දෙයක් නොවේ.

වෘත්තීය රහස්‍යභාවය පිළිබඳ ජාත්‍යන්තර පාඩම

මෙය වෛද්‍ය වෘත්තියට සෘජුව සමාන කිරීමක් නොවේ. ජ්‍යෝතිෂවේදියකු වෛද්‍යවරයකු නොවන අතර ජ්‍යෝතිෂ සේවාවක් වෛද්‍ය සේවාවක් ලෙස සැලකිය නොහැකිය. එහෙත් මිනිසකු තවත් මිනිසකු වෙත විශ්වාසයෙන් පවසන සංවේදී තොරතුරු ආරක්ෂා කිරීමේ මූලධර්මය වෘත්තීය සම්බන්ධතා ගණනාවකට පොදු සදාචාරාත්මක පාඩමකි.

ලෝක වෛද්‍ය සංගමයේ (World Medical Association - WMA) වෛද්‍ය ආචාරධර්ම මූලධර්මවල රෝගියාගේ රහස් ආරක්ෂා කිරීම පැහැදිලිව අවධාරණය කර තිබේ. වෛද්‍යවරයා වෙත පවසන රහස්, රෝගියා මියගිය පසුව පවා ගෞරවයෙන් ආරක්ෂා කළ යුතු බව ජිනීවා ප්‍රකාශනයේ සඳහන් වේ. ජිනීවා ප්‍රකාශනය යනු ලෝක වෛද්‍ය සංගමය විසින් 1948 සැප්තැම්බර් මාසයේදී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැති 2 වන මහා මණ්ඩල සැසියේදී සම්මත කරගන්නා ලද වෛද්‍යවරුන්ගේ සදාචාරාත්මක ප්‍රතිඥාවකි. දෙවන ලෝක යුද්ධ සමයේදී නාසි යුරෝපය තුළ වෛද්‍යවරුන් විසින් සිදු කරන ලද සාහසික අපරාධවලට ප්‍රතිචාරයක් ලෙස, සම්භාව්‍ය හිපොක්‍රටීස් දිවුරුම (Hippocratic Oath) වෙනුවට ජාත්‍යන්තරව භාවිත කළ හැකි නවීන ප්‍රතිඥාවක් ලෙස මෙය සකස් කෙරිණි.

එමෙන්ම රහස්‍යභාවය යනු විශ්වාසය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය බවත්, පුද්ගලයකු පිළිබඳ හඳුනාගත හැකි තොරතුරු නීත්‍යානුකූල පදනමක් හෝ අදාළ අවසරයක් නොමැතිව බෙදා නොගත යුතු බවත් වෛද්‍ය ආචාරධර්ම සාහිත්‍යය පැහැදිලි කරයි.

මෙහි පාඩම වන්නේ ජ්‍යෝතිෂවේදියකු වෛද්‍යවරයකු විය යුතු බව නොවේ.

සැබෑ පාඩම වන්නේ විශ්වාසය මත ලබාගත් සංවේදී තොරතුරක් තමන්ගේ බලය, දැනුම හෝ ව්‍යාපාරය ප්‍රදර්ශනය කිරීම සඳහා භාවිත කිරීම සදාචාරාත්මකව ගැටලුකාරී බවය. ඇතැම් ජ්‍යෝතිෂවේදීන් සුනාමිය පිළිබඳ "පසු අනාවැකි" පළ කළ ලෙසින් “මම කලින් දැනගෙන හිටියා කිව්වේ නෑ” යන්න ප්‍රමාණවත් නොවේ. ඉහත සිද්ධියේ ජ්‍යෝතිෂවේදියා පවසන්නේ තමන්ට “මාරක දසාවක්” පිළිබඳ දැනුම තිබූ බවත්, එය පවුලේ අයට නොපැවසූ බවත්ය.

තොරතුරු හෙළිදරව්ව සහ නීතිමය සීමා

එය සේවාලාභියාට නොපවසා ඔහු සතුව ඉතිරි වූ පෞද්ගලික තොරතුරක් නම්, එය අන්‍යයන් හා පැවසීමෙන් තමාගේ දැනුමේ ප්‍රදර්ශනයක් බවට පත් කිරීමට ඔහුට ඇති අයිතිය කුමක්ද?

තවද එම තොරතුර සත්‍ය බවට ඔහුට විද්‍යාත්මකව හෝ තාර්කික පදනමක් මත තහවුරු කළ නොහැකි නම්, “මාරක දසාවක්” වැනි ප්‍රකාශයක් මත පුද්ගලයකුගේ ජීවිතය පිළිබඳ බියක් නිර්මාණය කිරීමේ වගකීම කා සතුද?

මෙය ඉතා වැදගත් වෙනසකි.

කෙනකුගේ බිය හඳුනාගැනීමට හැකිවීමත්, එම බිය සමඟ වගකීමෙන් කටයුතු කිරීමට හැකිවීමත් එකම දක්ෂතාවක් නොවේ.

අද සමාජ මාධ්‍ය යුගයේ මේ ගැටලුව තවත් බරපතළය.

“මට අසවල් පුද්ගලයාගේ ජීවිතයේ සැඟවුණු දේ කියන්න පුළුවන්.” “අසවල් ප්‍රසිද්ධ පුද්ගලයාගේ කේන්දරය බැලුවේ මම.” “අසවල් පවුලේ අය මගෙන් මේ ගැන විමසුවා.”

වැනි ප්‍රකාශයකින් සේවා සපයන්නා තමන්ගේ බලය හෝ විශේෂ හැකියාව ප්‍රදර්ශනය කිරීමට උත්සාහ කළ හැකිය.

එහෙත් එහිදී සේවාලාභියාගේ රහසම ව්‍යාපාරික ප්‍රාග්ධනයක් බවට පත්වීමේ අවදානමක් තිබේ.

විශේෂයෙන් යමෙකු හඳුනාගත හැකි පරිදි නම, පවුල, වෘත්තිය, ප්‍රදේශය හෝ වෙනත් විස්තර සමඟ තොරතුරක් ඉදිරිපත් කළහොත් එය හුදෙක් ප්‍රචාරණයක් නොව පුද්ගල පෞද්ගලිකත්වයට බලපාන ක්‍රියාවක් විය හැකිය.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික දත්ත ආරක්ෂණ පද්ධතියද පුද්ගලයකු හඳුනාගත හැකි තොරතුරු ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. ශ්‍රී ලංකාවේ පුද්ගලික දත්ත ආරක්ෂණ පනත (Personal Data Protection Act No. 9 of 2022) යටතේ පුද්ගල දත්ත ආරක්ෂාව සඳහා නියාමන රාමුවක් පිහිටුවා ඇති අතර, එහි දත්ත ආරක්ෂණ අධිකාරිය පෙන්වා දෙන්නේ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමේ අරමුණ පුද්ගල පෞද්ගලිකත්වයට හානි වීම වැළැක්වීම බවය. ශ්‍රී ලංකාවේ පුද්ගලික දත්ත ආරක්ෂණ පනත යනු පුද්ගලික දත්ත සැකසීම නියාමනය කිරීම, පුද්ගලයන්ගේ රහස්‍යභාවය සුරැකීම සහ ඩිජිටල් ආර්ථිකය තුළ විශ්වාසය ගොඩනැඟීම සඳහා හඳුන්වා දුන් දකුණු ආසියාවේ පළමු ස්වාධීන පුද්ගලික දත්ත ආරක්ෂණ නීතිමය රාමුවයි.

එබැවින් “මේ තොරතුර මට දැනගන්නට ලැබුණේ පෞද්ගලිකව” යන්න, එය ඕනෑම ප්‍රසිද්ධ වේදිකාවක පළ කිරීමට ලැබුණු නිදහස් බලපත්‍රයක් ලෙස සැලකිය නොහැකිය. මෙය ජ්‍යෝතිෂවේදීන්ටද එක සේ අදාළ වේ.

බිය විකිණීමේ අලෙවිකරණය සහ නූතන අවදානම

අතීතයේ කිසියම් ගුප්ත ශාස්ත්‍රකරුවකු තම සේවාලාභියකු පිළිබඳ රහසක් පැවසුවහොත් එය ඇතැම් විට ගමකට හෝ සීමිත පිරිසකට පමණක් පැතිර යන්නට ඉඩ තිබිණි.

අද තත්ත්වය එසේ නොවේ.

වීඩියෝවක්, සජීවී වැඩසටහනක් හෝ සමාජ මාධ්‍ය සටහනක් මඟින් මිනිත්තු කිහිපයකින් දස දහස් ගණනකට තොරතුරක් ළඟා විය හැකිය. එය මකා දැමුවත් තිරපිටපත්, බාගත කළ වීඩියෝ සහ නැවත පළ කිරීම් හරහා දිගටම සංසරණය විය හැකිය.

එබැවින් අද “රහස්‍යභාවය” යනු පැරණි ගුරුකුල සම්ප්‍රදායකට පමණක් සීමා වූ සංකල්පයක් නොවේ. එය නූතන පෞද්ගලිකත්වය පිළිබඳ වගකීමක්ද වේ. එහෙත් මෙහිදී තවත් සීමාවක් හඳුනාගත යුතුය.

සම්ප්‍රදායක් පැරණි වීමෙන් එහි සෑම ප්‍රකාශයක්ම සත්‍ය නොවේ.

ඒ හා සමානව, කිසියම් සම්ප්‍රදායක සංස්කෘතික වටිනාකමක් තිබීමෙන් එහි නම භාවිත කරන සෑම පුද්ගලයකුම ආචාරධර්මයෙන් යුක්ත බවද තහවුරු නොවේ.

එබැවින් අප කළ යුත්තේ සම්ප්‍රදාය සහ වංචාව එකම දෙයක් ලෙස සැලකීමවත්, සම්ප්‍රදාය සහ විද්‍යාත්මක සත්‍යය එකම දෙයක් ලෙස සැලකීමවත් නොවේ.
ඒ දෙක අතර වෙනස හඳුනා ගැනීමය.
fear.jpg

මෙහිදී තවත් වැදගත් කරුණක් වන්නේ බිය මත පදනම් වන අලෙවිකරණයයි.

“ඔබට මාරකයක් තිබෙනවා.” “මෙය නොකළොත් විශාල විනාශයක් සිදුවෙයි.” “තවත් ශාන්තිකර්මයක් කළ යුතුයි.”

වැනි ප්‍රකාශ මඟින් පුද්ගලයකු තුළ ඇති බිය තවදුරටත් වැඩි කර මුදල් ගෙවීමට පෙළඹවීම සදාචාරාත්මකව බරපතළ ප්‍රශ්නයකි.

විශේෂයෙන් සෞඛ්‍යය සම්බන්ධ කරුණු මෙහිදී වඩාත් සංවේදීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025–2034 Traditional Medicine Strategy මඟින් සාම්ප්‍රදායික හා අනුපූරක වෛද්‍ය ක්‍රම සම්බන්ධයෙන් සාක්ෂි, ආරක්ෂාව, ගුණාත්මකභාවය, නියාමනය සහ සුදුසුකම් ලත් සේවා සපයන්නන් පිළිබඳ අවධානය යොමු කරයි.

එයින් ගත හැකි පුළුල් පාඩම වන්නේ තම හැකියාවේ සීමාව හඳුනාගැනීමයි.
කිසියම් පුද්ගලයකුට රෝග ලක්ෂණ තිබේ නම්, තමන්ගේ ක්‍රමයට ඒවා සම්පූර්ණයෙන්ම සුව කළ හැකි බවට අසත්‍ය අධිකාරියක් පෙන්වීම වෙනුවට අවශ්‍ය අවස්ථාවක සුදුසු සෞඛ්‍ය වෘත්තිකයකු වෙත යොමු කිරීම වගකීම් සහගත ක්‍රියාවකි.
ශාස්ත්‍රකරුවන් සුරැකිය යුතු මූලික ආචාරධර්ම 6

ජ්‍යෝතිෂය හෝ වෙනත් ගුප්ත සම්ප්‍රදායක් පිළිබඳ විධිමත්, සර්වශ්‍රී ලංකා ආචාරධර්ම සංග්‍රහයක් අතීතයේ තිබූ බවට සාක්ෂි නොමැති තැන එවැනි පද්ධතියක් තිබුණා යැයි ඉතිහාසයක් ලෙස පැවසීම නිවැරදි නොවේ.

නමුත් අද එවැනි සේවාවක් ලබාදෙන ඕනෑම පුද්ගලයකු අවම වශයෙන් පහත මූලධර්ම අනුගමනය කළ යුතුය:

1- සේවාලාභියාගේ අවසරයකින් තොරව ඔහුගේ පෞද්ගලික තොරතුරු හෙළි නොකිරීම.
2- තමන් නොදන්නා කරුණක් පිළිබඳ අසත්‍ය අධිකාරියක් පෙන්වීමෙන් වැළකීම.
3- බිය ඇති කර මුදල් ලබාගැනීමෙන් වැළකීම.
4- තමන්ගේ හැකියාවේ සීමාව හඳුනාගැනීම.
5- අවශ්‍ය අවස්ථාවක සුදුසු වෘත්තීය සේවාවක් වෙත සේවාලාභියා යොමු කිරීම.
6- සේවාලාභියාගේ ගෞරවය සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම.

මේවා ජ්‍යෝතිෂය විශ්වාස කරන අය සඳහා පමණක් නොව, මිනිසුන් සමඟ වගකීමෙන් කටයුතු කරන ඕනෑම සේවා සම්බන්ධතාවකට අදාළ විය හැකි මූලික සදාචාරාත්මක මාර්ගෝපදේශ වේ.

අවසානයේ ගැටලුව ඇත්තේ ජ්‍යෝතිෂය තිබීමේද, බලි තොවිල් තිබීමේද, අංජනම් තිබීමේද නොවේ.

එසේම යමෙකු ඒවා විශ්වාස කිරීමේ හෝ නොවිශ්වාස කිරීමේද නොවේ.

ප්‍රශ්නය වන්නේ මිනිසකුගේ විශ්වාසය තවත් මිනිසකු විසින් කෙසේ භාවිත කරන්නේද යන්නය.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පුද්ගලයකුට තම සංස්කෘතික විශ්වාසයන් අනුගමනය කිරීමට නිදහස තිබිය හැකිය. එම විශ්වාසයන් මත සේවාවක් ලබාදෙන පුද්ගලයකුටද ඒ සමඟ වගකීමක් තිබේ.

මිනිසකුගේ බිය, දුක, සැකය හෝ පෞද්ගලික රහස ඔහු සේවාවක් ලබාගැනීමේදී ඔබ වෙත භාර දුන්නේ නම්, එය ප්‍රසිද්ධියේ පවසා තමන්ගේ බලය පෙන්වීම වෘත්තීය ගෞරවයක් නොවේ.

එය එම විශ්වාසයම විනාශ කිරීමකි.

රහසක් දැනගත් පමණින් එය හෙළි කිරීමට අයිතියක් නැත

ඒ නිසා ඉහත සිද්ධියේ ජ්‍යෝතිෂවේදියාගේ “මම ඒක දැනගෙන හිටියා, නමුත් පවුලේ අයට කිව්වේ නෑ” යන වචන දෙස වෙනත් ආකාරයකින්ද බැලිය හැකිය.

ඔහු එම රහස පවුලේ අයට නොකියා සිටීම ගැන තමන්ගේ සදාචාරය ප්‍රකාශ කළා විය හැකිය.

එහෙත් එම රහස වෙනත් අය සමඟ පැවසීමේදී ඔහු අමතක කර ඇති වැදගත්ම කරුණ වන්නේ මෙයයි:

රහසක් දැනගත් පමණින් එය හෙළි කිරීමට අයිතියක් ලැබෙන්නේ නැත.
astrology 3.jpg

ගුප්ත ශාස්ත්‍රයක් පිළිබඳ කෙනකුගේ විශ්වාසය විද්‍යාත්මකව නිවැරදිද වැරදිද යන්න වෙනම විවාදයකි. එහෙත් තමන් වෙත විශ්වාසයෙන් පැමිණි මිනිසකුගේ රහස රැකීම සම්බන්ධයෙන් එතරම් විශාල දාර්ශනික විවාදයක් අවශ්‍ය නොවේ.

යම් ශාස්ත්‍රයක් තමන්ගේ පරම්පරාවක්, ගුරුකුලයක් හෝ සම්ප්‍රදායක් ලෙස හඳුන්වා ගන්නේ නම්, එහි ගෞරවය පෙන්වන්නේ තමන් දන්නා සියලු රහස් ලෝකයට හෙළි කිරීමෙන් නොවේ.

තමන් වෙත භාර වූ රහස රහසක් ලෙසම තබාගැනීමෙනි.

එය පැරණි ගුරුකුල සම්ප්‍රදායකින් පැමිණි ආචාරයක් වුවද, නූතන පෞද්ගලිකත්වය පිළිබඳ මූලධර්මයක් වුවද, එහි හරය එකමය.

සේවාලාභියා විශ්වාසයෙන් භාර කළ රහස, සේවා සපයන්නාගේ ප්‍රචාරක මෙවලමක් නොවිය යුතුය.

අවසානයේ ගුප්ත ශාස්ත්‍රයක ආචාරධර්මය මැනීමට විශාල ග්‍රන්ථයක් අවශ්‍ය නොවේ. එකම ප්‍රශ්නයක් ප්‍රමාණවත්ය.
“ඔබ වෙත රහසක් භාර කළ මිනිසා, ඔබ එය ලෝකයට පැවසූ පසුවත් ඔබව විශ්වාස කරනු ඇත්ද?”
එම ප්‍රශ්නයට දෙන පිළිතුර තුළම, එම වෘත්තියේ සදාචාරය පිළිබඳ පිළිතුරද සැඟවී තිබේ.

 
(උපුටා ගැනීම - vinivida.lk)
ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

හිටපු මානව විද්‍යා මහාචාර්ය

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා ශ්‍රී ලාංකීය මානව විද්‍යා ක්ෂේත්‍රයේ විද්වතෙකු, ලේඛකයෙකු, ගීත රචකයෙකු සහ සාහිත්‍යවේදියෙකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ ප්‍රවීණයෙකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්යවරයෙකු ලෙසද කටයුතු කර ඇති ඔහු, ශ්‍රී ලාංකීය ජන සංස්කෘතිය, සමාජය හා කලාව පිළිබඳ සිය ශාස්ත්‍රීය දැනුම සහ නිර්මාණාත්මක දායකත්වය ඔස්සේ ප්‍රකට වී ඇත.

View all stories by ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...