The Leader News
BREAKING
ගෙවුණු සතියේ (නොවැ. 23-27) අධිකරණ හමුවේ දිගහැරුණු ප්‍රධාන නඩු විභාග●උඩරට මැණිකේට නුවරට යන්න අලුත් දුම්රිය මාර්ගයක්●කතුවර කතුවරියන් අටදෙනකු වෙත ‘උල්පතෙන් අලුත් ගඟක්’ සාහිත්‍ය සම්මාන●අනුරාධපුර පූජාභූමි සංවර්ධන ගැසට්ටුව නීතිවිරෝධී ද?●විරාගය සහ අරවින්ද ජයසේනගේ ජීවිතයේ අර්ථමය අස්ථාවරත්වය●වැටුප් ඉල්ලා වර්ජන: සැලසුමකින් පිළිතුරු දෙන බව ජනපති කියයි●Diginote | රාජ්‍ය ණය අනුපාතය 89% දක්වා පහළට; වරාය අධිවේගයට බලපත්‍ර අනිවාර්යයි●වසර 20ක් ඔප්පු අහිමිව සිටි මහල් නිවාස හිමියන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සාධාරණය●භාරකාර දේපළ මාසයකින් ලියාපදිංචි නොකළොත් වසර 10ක සිරදඬුවම්●නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් ගනුදෙනු සහ ආයෝජන ඉලක්ක ගැන විමර්ශන●
Top Ad
විශේෂාංග

ගෙවුණු සතියේ (නොවැ. 23-27) අධිකරණ හමුවේ දිගහැරුණු ප්‍රධාන නඩු විභාග

Awara

Awara

November 29, 2026 • 4:34 PM

ගෙවුණු සතියේ (නොවැ. 23-27) අධිකරණ හමුවේ දිගහැරුණු ප්‍රධාන නඩු විභාග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම නඩුව එදින කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න හමුවේ කැඳවනු ලැබුවා.
  • අධිකරණයේදී සාක්ෂි ලබාදුන් සාක්ෂි අංක 1 සහ 2 ට ඉදිරි දින අධිකරණයේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා අවවාද කළා.
  • සිද්ධියට අදාළ විත්තිකරුවන් දෙදෙනා විවෘත අධිකරණයේ පෙනී සිටි අතර විත්තිකාර පාර්ශවයට අවශ්‍ය සියලු ලේඛන ලබාදීමට කටයුතු කරන ලෙසද විනිසුරුවරයා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කළා.
  • එක් එක් චෝදනාවට අදාළව නියම කරන ලද දඬුවම් පහත පරිදි වේ: පළමුවැනි චෝදනාවට: රුපියල් පන්දහසක (5,000) දඩ මුදලක් නියම කළ මහේස්ත්‍රාත්වරයා එම දඩ මුදල නොගෙවන්නේ නම් මාස 1 ක ලිහිල් සිරදඬුවමක් නියම කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

01. වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ නඩුව දෙසැම්බර් 10ට කල් යයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් 10 වන දින යළි කැඳවීමට කොළඹ මහාධිකරණය ඉකුත් (23) දින නියම කළා.

මෙම නඩුව එදින කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න හමුවේ කැඳවනු ලැබුවා. අධිකරණයේදී සාක්ෂි ලබාදුන් සාක්ෂි අංක 1 සහ 2 ට ඉදිරි දින අධිකරණයේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා අවවාද කළා. සිද්ධියට අදාළ විත්තිකරුවන් දෙදෙනා විවෘත අධිකරණයේ පෙනී සිටි අතර විත්තිකාර පාර්ශවයට අවශ්‍ය සියලු ලේඛන ලබාදීමට කටයුතු කරන ලෙසද විනිසුරුවරයා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කළා.

02. ෂානක්කියන් රාසමාණික්කම්ට එරෙහි පිල්ලෙයාන්ගේ අපහාස නඩුව කල් තැබේ


මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර එයින් තමන්ට අපහාසයක් කළ බවට සඳහන් කරමින් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ විසින් ගොනු කර තිබූ නඩුවක් ලබන ජනවාරි මස 07 වැනිදා තෙක් කල් තැබීමට ගල්කිස්ස දිසා අධිකරණය ඉකුත් (23) නියෝග කළා.

03. දුමින්ද දිසානායකගේ රන් ආලේපිත ගිනි අවි නඩුව ජනවාරි 29ට

මෑතකදී හැව්ලොක් සිටි නිවාස සංකීර්ණය තුළදී රන් ආලේපිත ගිනි අවියක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ තවත් කාන්තාවකට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය ජනවාරි 29 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය ඉකුත් (23) නියම කළා.

04. වරද පිළිගත් ජොන්ස්ටන් ප්‍රනාන්දුට දඩ සහ අත්හිටවූ සිරදඬුවම්


එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබාගැනීම ඇතුළු මෝටර් රථ වාහන පනතේ චෝදනා තුනකට අදාළව අධිකරණයේදී වරද පිළිගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට චෝදනා තුනටම අදාළව රුපියල් එක් ලක්ෂ තිස්දහසක දඩ මුදලක් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉකුත් (25) නියෝග කළා. එකලස් කර සන්තකයේ තබා ගන්නා ලද එම වාහනය රාජසන්තක කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

එක් එක් චෝදනාවට අදාළව නියම කරන ලද දඬුවම් පහත පරිදි වේ:


පළමුවැනි චෝදනාවට: රුපියල් පන්දහසක (5,000) දඩ මුදලක් නියම කළ මහේස්ත්‍රාත්වරයා එම දඩ මුදල නොගෙවන්නේ නම් මාස 1 ක ලිහිල් සිරදඬුවමක් නියම කළා.

දෙවැනි චෝදනාවට: රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කළ මහේස්ත්‍රාත්වරයා එය නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් නියම කළා. තවද මෙම දෙවන චෝදනාවට අදාළව මාසයක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරයා එය වසර පහකට අත්හිටුවීමටද නියෝග කළා.

තුන්වැනි චෝදනාවට: රුපියල් විසිපන්දහසක (25,000) දඩ මුදලක් නියම කළ මහේස්ත්‍රාත්වරයා එය නොගෙවන්නේ නම් මාස තුනක ලිහිල් සිරදඬුවමක් නියම කළා.

05. ගෝඨාභය රාජපක්ෂගේ අභියාචනා පෙත්සම මාර්තු 05 වැනිදා සලකා බලයි

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් සලකා බැලීම ලබන මාර්තු මස 05 වැනිදා සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් (25) දින නියම කළා. එදින පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කරන ලෙස මහින්ද සමයවර්ධන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් පෙත්සම්කරුට නියම කරනු ලැබුවා.

06. රාජාංගනයේ සද්ධාරතන හිමි අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ආගමික සහජීවනයට බාධා වන ආකාරයෙන් සමාජ මාධ්‍ය හරහා ආන්දෝලනාත්මක ප්‍රකාශ කළැයි කියන සිද්ධියට අදාළව අධිකරණයේ පෙනී නොසිටි රාජාංගනයේ සද්ධාරතන හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉකුත් (25) වරෙන්තු නිකුත් කළා.

තවද ඇපකරුවන්ට නොතීසි නිකුත් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා. ඒ අනුව සිද්ධියට අදාළ නඩුව රස පරීක්ෂක වාර්තා සඳහා පෙබරවාරි 24 වන දින යළි කැඳවීමට ද අධිකරණයෙන් නියම වුණා. (මීට පෙර සැකකාර හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබුණා.)

07. වෘත්තීය සමිති කැඳවුම්කරු ඩී.ඩී. ආනන්ද පාලිත තවදුරටත් රිමාන්ඩ්

2015 - 2019 වර්ෂ අතර කාලයේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවක අතිකාල දීමනා රුපියල් තිස්එක් ලක්ෂ එකොළොස් දහසක මුදලක් වංචා කළැයි කියන සිද්ධියකට අදාළව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු වන ඩී.ඩී. ආනන්ද පාලිත ලබන 4 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන ඉකුත් (25) නියෝග කළා.

08. චාමර සම්පත්ගේ ඇප අවලංගු කිරීමේ පෙත්සමේ නියෝගය දෙසැම්බර් 11

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට මැණික් ව්‍යාපාරිකයන්ගෙන් අල්ලස් ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් ඇප නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා අල්ලස් හෝ දූෂණ කොමිසම ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමේ අතුරු තහනම් නියෝගය ලබන දෙසැම්බර් 11 වැනිදා නිකුත් කරන බව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර රණසිංහ මහතා ඉකුත් (25) නියෝග කළා.

අල්ලස් කොමිසම වෙනුවෙන් (නීති) සහකාර අධ්‍යක්ෂක අනුෂා සම්බන්ධපෙරුම මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා කරුණු දක්වනු ලැබුවා. දෙසැම්බර් 02 හෝ ඊට පෙර විරෝධතා සහ ප්‍රතිවිරෝධතා ගොනුකරන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා දෙපාර්ශ්වයටම නියෝග කළා.

09. කොළඹ මහ නගර සභාවේ කෝටි 104ක වැට් බදු ගෙවීමට එකඟතාව

කොළඹ මහ නගර සභාව විසින් 2016 වර්ෂයේ සිට 2020 දක්වා රජයට නොගෙවා පැහැර හැරියේ යැයි කියන රුපියල් කෝටි 104ක වැට් බදු කඩිනමින් ගෙවා නිම කිරීමට කටයුතු කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි ඉදිරියේ කරුණු දැක්වූ නගර සභාවේ නීතිඥවරුන් ඉකුත් (25) පවසා සිටියා.

දේශීය ආදායම් කොමසාරිස්වරයා නගර සභාවට එරෙහිව පැවරූ මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී නගර සභාව වෙනුවෙන් පෙනී සිටි ගණකාධිකාරී සුගත් ධර්මසූරිය රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇපයක් මත මුදා හරින ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ඔහුට ස්ථාන මාරු ලබා දෙන්නේ නම් හෝ විදේශගත වන්නේ නම් අධිකරණයේ අවසරය ලබා ගන්නා ලෙසටද නියෝග කෙරුණා. දෙපාර්ශ්වය අතර සමථයක් ඇත්නම් එම කරුණු මාර්තු මස 24 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළා.

10. රවී සෙනෙවිරත්නගේ ප්‍රතිශෝධන අයදුම්පතේ තීන්දුව පෙබරවාරි 19

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වර්තමාන ලේකම් රවීන්ද්‍ර බණ්ඩාර සෙනෙවිරත්නට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් බීමත්ව රිය පැදවීමේ චෝදනාව යටතේ පවරා තිබුණු නඩුවකට අදාළව 2026/07/09 වන දින ලබා දී තිබූ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ඔහු ගොනුකර තිබූ ප්‍රතිශෝධන අයදුම්පත සම්බන්ධයෙන් අවසන් නියෝගය පෙබරවාරි 19 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර හමුවේ නියෝග කෙරුණා.

11. ඩයනා ගමගේ වීසා චෝදනාවකට වරද පිළිගනී

ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටිමින් ආගමන විගමන පනත උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ, 2015 ජූලි 17 සිට 2016 ජූලි 16 දක්වා වීසා නොමැතිව රැඳී සිටීමේ එක් චෝදනාවකට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී වරද පිළිගනු ලැබුවා.

සිද්ධියට අදාළ දඬුවම් නියම කිරීම ජනවාරි 14 දිනට කල් තැබුණු අතර ඇයට එරෙහිව තවත් එවැනිම චෝදනා 6ක් යටතේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සාක්ෂි විභාගය සිදුවේ.

12. ලක්ෂ 15ක අල්ලස් ගත් හෝමියෝපති වෛද්‍යවරයෙක් රිමාන්ඩ්

හෝමියෝපති වෛද්‍ය සභාවේ ලියාපදිංචි සහතිකයක් ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 15 ක අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් එම වෛද්‍ය සභාවේ සාමාජික වෛද්‍ය සමන් පාලිත පතිරගේ ලබන 11 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉකුත් (26) නියෝග කළා.

13. යෝෂිත රාජපක්ෂගේ මුදල් විශුද්ධිකරණ නඩුව දෙසැම්බර් 3ට

රුපියල් ලක්ෂ 730කට වැඩි මුදලක් වැය කර දෙහිවල හා රත්මලාන ප්‍රදේශවල පිහිටි ඉඩම් කොටස් 05ක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් 3 වන දින යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග ඉකුත් (26) දින නියම කළා.

එදින සාක්ෂි අංක 85 අධිකරණයේදී සාක්ෂි ලබා දුන් අතර සාක්ෂි අංක 9, 38 සහ 85 ට ඉදිරි දින අධිකරණයේ පෙනී සිටීමට අවවාද කෙරුණා. විත්තිකාර යෝෂිත රාජපක්ෂ විවෘත අධිකරණයේ පෙනී සිටියා.

14. ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ බදු නඩුව පෙබරවාරි 25ට

මත්පැන් නිෂ්පාදනය කර බෙදා හරින ලද ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම විසින් 2019-2020 වර්ෂවලට අදාළව රජයට නොගෙවා පැහැර හැර ඇති රුපියල් 1,035,473,088 ක (බිලියන 1.03ක) වැට් බදු මුදල් අය කරගැනීම සඳහා එහි අධ්‍යක්ෂවරුන් වන අර්ජුන ජෝසප් ඇලෝසියස් හා රන්දෙව් දිනේෂ් ජෝෂප් විත්තිකරුවන් කරමින් දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවරූ නඩුව ලබන වසරේ පෙබරවාරි මස 25 වැනි දින කැඳවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි මහතා ඉකුත් (26) නියෝග කළා.

විත්තිකාර සමාගමේ බදු ගෙවීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ ස්ථාවරය කඩිනමින් අධිකරණයට දැනුම් දෙන ලෙසත්, විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

15. සජින් වාස්ට එරෙහි නඩුව මාර්තු 2 වැනිදා යළි කැඳවයි

රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධී වත්කම් ඉපැයීමේ චෝදනාවක් මත අල්ලස් කොමිසම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව පවරා ඇති නඩුවේ විමර්ශන කටයුතු අවසන් කර අධිකරණයට වාර්තා කිරීමට මාර්තු 2 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉකුත් (27) නියෝග කළා. සැකකරු මේ වන විට ඇප මත මුදා හැර තිබෙනවා.

16. චාමර සම්පත් සහ හිටපු පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84 ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් සහ ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම් ලබන 11 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉකුත් (27) නියෝග කළා.

17. ප්‍රසන්න රණතුංගගේ විදෙස් ගමන් තහනම ගැන තීන්දුව දෙසැම්බර් 4

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට පනවා තිබෙන විදේශ ගමන් තහනම පෞද්ගලික හේතුවක් මත තාවකාලිකව ඉවත් කරන ලෙස ඔහුගේ නීතිඥවරයා මෝසමක් මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ ඉකුත් (27) ඉල්ලා සිටියා. ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ විරෝධතාවයක් තිබේද නැද්ද යන්න සලකා බැලීමට නඩුව දෙසැම්බර් 4 වන දින කැඳවීමට නියෝග කළා.

18. ලලිත් - කුගන් අතුරුදන් වීමේ නඩුවේදී ගෝඨාභය සාක්ෂි දෙයි

යාපනයේ අතුරුදන් වූ ලලිත්කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් සම්බන්ධ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය 2027 පෙබරවාරි මස 12 වැනිදා තෙක් කල් තැබීමට යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් ඉකුත් (27) නියෝග කළා. සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එදින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට සාක්ෂි ලබා දුන් අතර ඉදිරි දිනද මෙම අධිකරණයේ පෙනී සිටීමට නියෝග කෙරුණා.

පැහැරගැනීම් ගැන මතකයක් නැතැයි හිටපු ජනපති කියයි

යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ සිට පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ නුවන් බෝපගේ සාක්ෂි මෙහෙයවනු ලැබුවා. සාක්ෂි ලබා දෙමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා සිටියේ මෙම සිදුවීම 2009 වර්ෂයේ සිදුව ඇති බැවින් දීර්ඝ කාලීන සිද්ධියක් වීම නිසා ඒ සම්බන්ධයෙන් මතකයක් නොමැති බවයි.

නීතිඥ නුවන් බෝපගේ: "සාක්ෂිකරු පසුගිය අවස්ථාවේදී සාක්ෂි ලබා දීමේදී කීත් නොයාර් පැහැර ගැනීම ගැන මම ප්‍රශ්න කළා. හිටපු ආරක්ෂක ලේකම් ලෙස දන්නවානේ අතුරුදන් වීම, පැහැර ගැනීම්වලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිසිය වැනි ආයතන ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා කියලා."

සාක්ෂිකරු (ගෝඨාභය රාජපක්ෂ): "පරීක්ෂණ පවත්වනවා ස්වාමීනි. ආරක්ෂක ලේකම් හැටියට මගේ වගකීම එම සිද්ධීන් සම්බන්ධයෙන් සොයා බලා ජාතික ආරක්ෂාව සහ ඒ සම්බන්ධව ප්‍රතිපත්තිමය තීරණ ගැනීමයි. විවිධ පැහැරගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම ඒ ඒ පොලිස් නිලධාරීන් සහ සිද්ධියට අදාළ ප්‍රධාන නිලධාරීන්ගේ වගකීම මිස මගේ වගකීම නොවෙයි."

කීත් නොයාර් පැහැර ගැනීම සම්බන්ධයෙන් පොලිසියේ ඉහළ නිලධාරීන්ට දැනුම් දීමෙන් පසු දොම්පෙ පිහිටි රහසිගත නිවසක තබා නිදහස් කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවක සඳහන් වන බව නීතිඥවරයා පෙන්වා දුන් නමුත් තමන් ඒ පිළිබඳ නොදන්නා බව සාක්ෂිකරු පැවසුවා. "විසි තුන ලේඛනයට අනුව සාක්ෂිකරු දැනුවත්භාවයකින් යුතු මැදිහත්වීමක් සිදු කර ඔහුව නිදහස් කිරීමට අණදීමක් සිදු කර තිබෙන බවට මම යෝජනා කරනවා" යැයි නීතිඥවරයා කළ ප්‍රකාශය "සම්පූර්ණ වැරදි ස්වාමීනි, මම එය පිළිගන්නේ නැහැ" යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ප්‍රතික්ෂේප කළා.

පෝද්දල ජයන්ත සහ කුමාර් ගුණරත්නම් සිදුවීම් ගැන හරස් ප්‍රශ්න

2009 ජූලි 01 වැනිදා මාධ්‍යවේදී පෝද්දල ජයන්ත සුදු වෑන් රථයකින් පැහැරගෙන යාමේ සිද්ධිය සහ ඔහු මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර සමඟ ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණ හමුවූ බවට නීතිඥවරයා කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ බන්දුල පද්මකුමාර හඳුනන නමුත් එම සිදුවීම් කිසිවක් තමන්ට මතක නොමැති බවයි.

අනතුරුව 2015 නොවැම්බර් 08 වන දින "සත්හඬ" පුවත්පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් සහ කුමාර් ගුණරත්නම් පැහැරගෙන ගොස් ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් නිදහස් කරගත් සිද්ධිය පිළිබඳව නීතිඥවරයා ප්‍රශ්න කළා. එම පුවත්පත් වාර්තාවට අදාළ හඬ පටය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී සාක්ෂිකරුට ඇසීමට සැලැස්වූ නමුත්, එම හඬ පටය පැහැදිලි නොමැති බවත් එය තමන්ගේම එකක් දැයි විශ්වාස කළ නොහැකි බවත් ඔහු පවසා සිටියා.

නීතිඥ නුවන් බෝපගේ: "එම හඬ පටයේ සඳහන් වෙලා තිබෙනවා ඔබතුමාට පුළුවන් වුණා හැංගිලා හිටපු ගුණරත්න හොයලා අත්අඩංගුවට ගන්න කියලා. තවද කුමාර ගුණරත්නම් අත්අඩංගුවට ගැනීමට ජනතා විමුක්ති පෙරමුණෙන්ද යම් තොරතුරු ලැබිලා තිබෙන බවත්, 'දැන් පටන් අනුර කුමාර හරියටම කියනවා අරහේ ඉන්නවා මෙහෙ ඉන්නවා කියලා, පින්තූරත් ගත්තා කියලා' යනුවෙන් 26 ලේඛනයට අනුව සඳහන් වෙනවා."

සාක්ෂිකරු: "මට ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මකව දෙයක් කියන්න මම දන්නේ නැහැ. ස්වාමීනි මං මුලින් සඳහන් කළ පරිදි මෙම පුවත්පත සඳහා හඬ පටය මගේම දෙයක් කියලා මට පිළිගන්න බැහැ."

සාක්ෂි ලබාදීම අවසන් වීමෙන් පසු 2027 පෙබරවාරි 12 වැනිදා නැවත අධිකරණයේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුට නියෝග කෙරුණා.

19. පාස්කු විමර්ශනය: ගෝඨාභය සැකකරුවෙකු කරන්නේදැයි වාර්තාවක් කැඳවයි

පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සැකකරුවෙක් ලෙස නම් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය කර අධිකරණයට කරුණු දක්වන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉකුත් (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

මෙම සිද්ධියට අදාළ 1 සහ 2 වන සැකකරුවන් වන වව්නතිව් යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ යාසිම් බාවා ජෙගිල්පාස් සහ සරත් සමන්ත නමැති බුද්ධි නිලධාරීන් දෙදෙනා ලබන 9 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර, තුන්වන සැකකරු වන හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ තවදුරටත් රැඳවුම් භාරයේ පසුවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම ප්‍රතික්ෂේප වේ

2019 මැයි මාසයේ සිංගප්පූරුවේදී සිදු කළ බයිපාස් සැත්කමට අදාළ පසු වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගත වීමට 2026/06/03 දින පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස හිටපු ජනාධිපතිවරයා කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළා. සිංගප්පූරු වෛද්‍ය සී. ස්වනාදන්ගේ වාර්තාව අනුව ඔහු 2026/06/04 සිට 2026/06/28 දක්වා පමණක් සිංගප්පූරුවේ සිටින බවත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින පෙත්සමට අදාළ නියෝගයක් නිකුත් කර නොමැති අවස්ථාවක 200කට අධික පිරිසක් මියගිය මෙම සංවේදී විමර්ශනයට විදේශ ගමන් තහනම ඉවත් කිරීම බාධාවක් විය හැකි බවත් නියෝගයේ සඳහන් වුණා.

සුරේෂ් සලේ ගැන අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ හෙළිදරව්ව

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් තුන්වන සැකකරු වන සුරේෂ් සලේ සම්බන්ධයෙන් පිටු 311ක, ඡේද 1,185කින් යුත් විශේෂඥ මනෝ වෛද්‍ය වාර්තාවක් ලැබී ඇති බව පැවසුවා.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්: "ස්වාමීනි, මම විශ්වාස කරනවා අධිකරණ ක්ෂේත්‍රයේ හමුවුණු විශාලතම මනෝ වෛද්‍ය වාර්තාව තමයි මේක කියලා. සලේව හුරතල් කළා ඇති. පිටු 95ක ප්‍රකාශයක් දෙන්න හොඳ මානසිකත්වයක් තිබුණා. නමුත් තාම මුර පදය මතක නැහැ. රැවටීමේ කලාව. විමර්ශනය නැවැත්වීම තමයි අරමුණ. අද ඔබතුමා නියෝග කළා ගෝඨාභය රාජපක්ෂ සැකකරුවෙක් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන්න කියලා. ඇත්තටම ඒක හොඳයි, ඒ සම්බන්ධයෙන් අපි විමර්ශනය කරනවා."

තවද, සුරේෂ් සලේ අසාද් මවුලානා සමඟ කිසිදු සබඳතාවක් නොතිබූ බවට ප්‍රකාශ කළද, 2020/07/20 දින සලේ ඇතුළු පවුලේ දස දෙනෙකු අහුංගල්ල ප්‍රදේශයේ හෝටලයක කාමර වෙන් කරගෙන ඇති බවත්, 2020/08/15 දින අසාද් මවුලානා ද එම හෝටලයේම කාමර වෙන් කරගෙන ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ඔහු පෙන්වා දුන්නා. එමෙන්ම 2018 දී 'තම්බි අන්නා' නමැත්තෙකු විසින් විශාල විනාශයක් කිරීමට යන බවට ලැබුණු තොරතුරු සලේ වසන් කර ඇති බවත්, හමුදා බුද්ධි නිලධාරීන් සිලෝන් ෂිපින් සමාගමකින් ලබාගත් දුරකථන අංක භාවිත කර ඇති බවත් ඔහු අධිකරණයට දන්වා සිටියා.

සැකකරුට සිදු වූ බව කියන අසීලාචාර ක්‍රියාව ගැන විවාදය

තුන්වන සැකකරු වන සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ භාණුක මලවිආරච්චි පවසා සිටියේ, රඳවා තබා ගැනීමේ කාලය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිය සේවාදායකයාගේ කලිසම පහත් කර පරීක්ෂා කිරීමේ "අසීලාචාර ක්‍රියාව" සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කළ යුතු බවට වෛද්‍ය මණ්ඩලයේ හතරවන නිර්දේශයේ දැක්වෙන බවයි. එමෙන්ම රඳවා තබා ඇති ස්ථානයේ සීසීටීවී දර්ශන දින 30කින් මැකී යාම ගැනද ඔහු ප්‍රශ්න කළා.

එහෙත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ තමන් සැකකරු නිරීක්ෂණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේදී කිසිදු වධහිංසාවකට ලක්ව ඇති බවට දක්වා නොතිබුණු බවත්, වෛද්‍ය වාර්තාවේද සැකකරු මානසික පීඩාවකට ලක්ව ඇති බවට වාර්තා කර නොමැති බවත්ය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ පළමු සහ දෙවැනි සැකකරුවන් යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරමින් නඩුව ජනවාරි 27 යළි කැඳවීමට නියෝග කළා.

(සටහන | විනූ කරුණාරත්න)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...