(වායු දූෂණය ගැබිණි මව්වරුන්ගේ සෞඛ්‍ය සහ අඩු උපත් බර සහිත දරු උපත් පිළිබඳව ලංකාවේ නොවිසඳුනු අභියෝගය)
මිනිසාගේ ජීවත්වීම සඳහා අත්‍යවශ්‍ය මූලික සාධක අතර පිරිසිදු වාතයට හිමිවන්නේ ප්රමුඛස්ථානයකි. එහෙත් නූතන නාගරීකරණය, කාර්මිකකරණය, රථවාහන සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ පොසිල ඉන්ධන දහනය හේතුවෙන් වායුගෝලයේ ගුණාත්මකභාවය අඛණ්ඩව පිරිහෙමින් පවතී. ශ්‍රී ලංකාව ද මෙම අභියෝගයෙන් බැහැර නොවේ. විශේෂයෙන් කොළඹ, මහනුවර ඇතුළු රථවාහන තදබදය අධික නාගරික ප්‍රදේශවල වාහනවලින් පිටවන දුම් හා විෂ අංශු ජනතාවගේ දෛනික ජීවිතයටත් මහජන සෞඛ්‍යයටත් සැලකිය යුතු තර්ජනයක් බවට පත්ව ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය චාන්දනී විතාන මහත්මිය 2026 අගෝස්තු මාසයේදී මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති පරිදි, ශ්‍රී ලංකාවේ වායු දූෂණය ආශ්‍රිතව වාර්ෂිකව සිදුවන අකාල මරණ සංඛ්‍යාව 7,000ක් පමණ වේ. මෙම සංඛ්‍යාව වායු දූෂණය යනු පරිසර අමාත්‍යාංශයට පමණක් අදාළ ගැටලුවක් නොව, සෞඛ්‍ය පද්ධතියටත් ජාතික සංවර්ධනයටත් බලපාන බරපතළ මහජන සෞඛ්‍ය අර්බුදයක් බව පෙන්වා දෙයි.

මෙම තත්ත්වය විමර්ශනය කිරීමේදී විශේෂ අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ වාහන දුම් විමෝචනය සහ ගර්භණී කාන්තාවන්ගේ සෞඛ්‍යය අතර පවතින සම්බන්ධතාවයි. මවක් ගර්භණී සමයේදී ආශ්වාස කරන වාතයේ ගුණාත්මකභාවය ඇගේ ශ්වසන හා හෘද වාහිනී පද්ධතියට පමණක් නොව, ගර්භාෂය තුළ වර්ධනය වන කලලයේ පෝෂණය, වර්ධනය සහ උපත් බර කෙරෙහි ද බලපෑම් ඇති කළ හැකිය.
එබැවින් වාහන දුම් විමෝචනය පාලනය කිරීම යනු පරිසරය සුරැකීමේ කාර්යයක් පමණක් නොවේ. එය මවකගේ ජීවිතයත්, ඇය බිහිකිරීමට සූදානම් වන දරුවාගේ අනාගත සෞඛ්‍යයත් ආරක්ෂා කිරීමේ වගකීමකි.
වායු දූෂණය මිනිස් සිරුරට බලපාන්නේ එකවර හඳුනාගත හැකි රෝග ලක්ෂණ ඇති කිරීමෙන් පමණක් නොවේ. දිගුකාලීනව ඉතා කුඩා දූෂක අංශු ශරීරයට ඇතුළු වීම මගින් පෙනහළු, හෘදය, රුධිර නාල සහ අනෙකුත් ඉන්ද්රිය පද්ධතිවල ක්‍රියාකාරිත්වයට හානි සිදු කළ හැකිය.

මෙහිදී විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු දූෂකයක් වන්නේ PM2.5 නමින් හඳුන්වන සියුම් අංශුමය ද්‍රව්‍යයි. විෂ්කම්භය මයික්‍රෝමීටර් 2.5ට අඩු මෙම අංශු ඉතා කුඩා බැවින් ශ්වසන මාර්ගයේ ගැඹුරු කොටස් දක්වා ගමන් කිරීමට සමත්ය. ඇතැම් අංශු පෙනහළු තුළට ගැඹුරින් ඇතුළු වී ශරීරයේ ප්‍රදාහක ප්‍රතිචාර ඇති කිරීමට දායක වේ.
ලෝක බැංකු වෙ 2019 දත්ත පදනම් කරගත් ඇස්තමේන්තු අනුව ශ්‍රී ලංකාවේ පරිසර වාතයේ PM2.5 නිරාවරණය හේතුවෙන් සිදු වූ අකාල මරණ සංඛ්‍යාව 7,261ක් පමණ වේ. එම මරණවලින් 628ක් පමණ ප්‍රවාහන ක්ෂේත්රයේ වාහනවල පිටාර දුම් විමෝචනය හේතු වී ඇති බවයි .
මෙම සංඛ්‍යා දෙක අතර වෙනස ලෙස . මරණ 7,261 යනු සමස්ත පරිසර වායු PM2.5 නිරාවරණයට අදාළ වේ .
එහෙත් වාහන දුම පාලනය කිරීම මගින් වළක්වාගත හැකි ය.

ශ්‍රී ලංකාවේ වායු දූෂණයට බලපාන ප්‍රධාන ක්ෂේත්‍ර අතර මාර්ග ප්‍රවාහනයට විශේෂ ස්ථානයක් හිමිවේ. විශේෂයෙන් ඩීසල් ඉන්ධන භාවිත කරන පැරණි බස් රථ, බර වාහන සහ නිසි නඩත්තුවක් නොමැති වාහනවලින් පිටවන දුම නාගරික වායු ගුණාත්මකභාවයට බලපෑම් ඇති කරයි.
ඩීසල් දහනයෙන් නිකුත් වන කළු කාබන්, සියුම් අංශු, නයිට්රජන් ඔක්සයිඩ් සහ අනෙකුත් දූෂක ද්‍රව්‍ය ජනතාවගේ ශ්වසන පද්ධතියට ඇතුළු විය හැකිය.
2025 වසරේ ප්‍රකාශයට පත් වූ කොළඹ නගරයේ ප්‍රවාහන ක්ෂුද්‍ර පරිසරයන් පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් මේ සම්බන්ධයෙන් වැදගත් සාක්ෂියක් ඉස්මතු කරයි .
එහිදී ත්‍රිරෝද රථ, වායු සමනය නොකළ බස් රථ සහ වායු සමනය කළ මෝටර් රථ තුළ PM2.5 හා PM10 මට්ටම් මැන බලා ඇත. එම අධ්‍යයනයේ ප්‍රතිඵල අනුව සාමාන්‍ය බාහිර පරිසරයේ PM2.5 මධ්‍යන්‍ය අගය මයික්‍රෝ ග්‍රෑම් 115.5 විය.ත්‍රිරෝද රථ තුළ එය මයික්‍රෝ ග්‍රෑම් 386.2 ක් විය.වායු සමනය නොකළ බස් රථ තුළ එය මයික්‍රෝ ග්‍රෑම් 239 ක් විය.වායු සමනය කළ මෝටර් රථ තුළ එයමයික්රෝ ග්‍රෑම් 59.2ක් විය.
මෙම අගයන් මගින් ත්‍රිරෝද රථ හා වායු සමනය නොකළ බස් රථ තුළ ගමන් කරන ජනතාව සහ රියදුරන් අධික දූෂක නිරාවරණයකට ලක්විය හැකි බව පෙන්වා දෙයි.
මෙහිදී අවධානය යොමු කළ යුත්තේ බස් රථයෙන් පිටවන දුම පමණක් නොවේ. මාර්ගයේ ධාවනය වන අනෙකුත් වාහනවල දුම ද බස් රථ තුළට ඇතුළු විය හැකි බැවින් මගීන්ගේ නිරාවරණය වැඩි විය හැකිය. ඒ අනුව පොදු ප්‍රවාහනයේ වායු ගුණාත්මකභාවය යනු බස් රථයේ එන්ජිම පමණක් සම්බන්ධ ගැටලුවක් නොව, සමස්ත මාර්ග පරිසරය සමඟ බැඳී පවතින ගැටලුවකි.

විශේෂයෙන් දිනපතා පැය කිහිපයක් බස් රථවල ගමන් කරන ගැබිණි මව්වරුන්, කුඩා දරුවන්, වැඩිහිටියන් සහ නිදන්ගත ශ්වසන රෝග සහිත පුද්ගලයන් පිළිබඳව වෙනම අවධානයක් යොමු කළ යුතුය.
ශ්‍රී ලංකාවේ පොදු මගී ප්‍රවාහන පද්ධතිය තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ඇයත් බස් රථ දිවයිනේ නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ දෛනික ප්‍රවාහන අවශ්‍යතා සපුරාලයි .එහෙත් එම බස් රථවල නඩත්තුව, එන්ජින්වල තත්ත්වය සහ දුම් විමෝචන පාලනය පිළිබඳව ප්‍රශ්න මතුව තිබේ.
2023 වසරට අදාළ විගණකාධිපති වාර්තාවේ සඳහන් කරුණු වලට අනුව විශේෂ අවධානයට ලක්විය යුතු කරුණක් වන්නේ ,. ලංගමට අයත් මහනුවර කලාපයේ ඩිපෝ හතක බස් රථ 566ක් පරීක්ෂා කිරීමේදී බස් රථ 226කට අවශ්‍ය වායු විමෝචන සහතික නොතිබූ බව එම වාර්තාව පෙන්වා දෙයි.
එනම් පරීක්ෂා කළ බස් රථ සංඛ්‍යාවෙන් සියයට 39.9කට ආසන්න ප්‍රමාණයකට අදාළ සහතික නොතිබීමයි.
මෙම තත්ත්වය තවදුරටත් විමර්ශනය කිරීමේදී වැදගත් වන්නේ දුම් සහතික ලබාගැනීමේ නීතිමය අවශ්‍යතාව සහ එය රාජ්‍ය ප්‍රවාහන ආයතන තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වූ ආකාරය අතර පැවති පරතරයයි.

2026 ජුනි මාසයේ පාර්ලිමේන්තු ලේඛනවල 2025 අංක 1280 දරන ප්රශ්නය මගින් ලංගම ඩිපෝ තුළ බස් රථ සඳහා දුම් පරීක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවා තිබේ. එහෙත් ඒ සියලු මධ්‍යස්ථාන හරහා ලංගම බස් රථ වල කාබන් පරීක්ෂාව සිදු වේද යන්න පිළිබඳව යම් යම් ගැටලු පසුගිය කාලය පුරා කතාබහට ලක් විය .
මෙහිදී මතුවන මූලික ප්රශ්නය වන්නේ පෞද්ගලික වාහන හිමියන්ට අනිවාර්ය කර ඇති පාරිසරික වගකීමක් රාජ්‍ය ආයතනයක් සම්බන්ධයෙන් ද එකම ප්‍රමිතියකින් ක්‍රියාත්මක වන්නේද යන්නයි.
පොදු ප්‍රවාහන සේවය පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මත පැරණි හෝ දුම් පිටකරන බස් රථ ධාවනයට ඉඩදීම පරිසර හා මහජන සෞඛ්‍ය නීතිවලට ආදේශකයක් විය නොහැකිය. ඒ වෙනුවට බස් රථ අලුත්වැඩියා කිරීම, එන්ජින් ප්‍රතිසංස්කරණය, දූෂණ පාලන තාක්ෂණය යෙදීම සහ අවශ්‍ය විට නව බස් රථ හඳුන්වාදීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් අවශ්‍ය වේ.
1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත යටතේ වායු දූෂණය පාලනය කිරීම, පාරිසරික ප්රමිතීන් සකස් කිරීම සහ අදාළ නියාමන කටයුතු සිදුකිරීම සඳහා අධිකාරියට බලතල හිමිවේ.

මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් කපිල මහේෂ් රාජපක්ෂ
ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් කපිල මහේෂ් රාජපක්ෂ සඳහන් කරන්නේ, දැනට පවතින නීති පදනම් කරගනිමින් පරිසරයට මුදාහරින වායු පිළිබඳ විශේෂයෙන්ම කර්මාන්තශාලා සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී ක්‍රියාත්මක වන බව යි . නමුත් , වාහන වලින් පිටවන දුම සම්බන්ධව එහි නියාමන කටයුතු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා සිදුවන බවයි .
එහෙත් වායු දූෂණය සම්බන්ධව හෝ පාරිසරික දුෂණයක් පිළිබඳව , යම් පැමිණිල්ලක් ලැබෙනවා නම් ඒ සම්බන්ධව ඊට අදාළව නීතිමය කටයුතු මධ්‍යම පරිසර අධිකාරියේ මැදිහත්වීමෙන් සිදුවෙනවා. මේ දිනවල විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි නොවැම්බර් දෙසැම්බර් මාස වල ඉන්දියාව පාකිස්තානය වගේ රටවලින් අපේ රටට ඇතුළුවන වායු වර්ග පිළිබඳව අපි පැය විසිහතර පුරාවටම වායුගෝලය තත්ත්වය නිරීක්ෂණය කරන බව සඳහන් කරයි .
වාහන විමෝචන සම්බන්ධයෙන් වැදගත් නීතිමය පදනමක් වන්නේ 2003 ජුනි 30 දිනැති අංක 1295/11 දරන ගැසට් නිවේදනයයි. එය ජාතික පාරිසරික (වායු විමෝචන, ඉන්ධන සහ වාහන ආනයන ප්රමිතීන්) රෙගුලාසි ලෙස හඳුන්වා දී තිබේ .
මෙම රෙගුලාසි මගින් වාහනවලින් පිටවන කාබන් මොනොක්සයිඩ් (CO), හයිඩ්‍රොකාබන (HC) සහ ඩීසල් දුමෙහි පාරාන්ධතාව වැනි දූෂක සඳහා සීමාවන් නියම කර තිබේ.


පසුව මෙම ප්රමිතීන් සංශෝධනය කරමින් 2008, 2014 සහ 2018 වසරවලදී නව රෙගුලාසි හඳුන්වා දී ඇත. 2018 අංක 2079/42 ඇතුළු ගැසට් සංශෝධන මගින් වාහන ආනයන හා විමෝචන ප්රමිතීන් තවදුරටත් ශක්තිමත් කර ඇත.
මෙම නීතිවල මූලික අරමුණ වන්නේ පරිසරයට අධික දූෂක ප්‍රමාණයක් මුදාහරින වාහන භාවිතය පාලනය කිරීමයි.
එහෙත් නීති පැනවීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඒවා රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකෙහිම සමානව ක්‍රියාත්මක විය යුතුය. විශේෂයෙන්ම රාජ්‍ය ආයතන සතු බස් රථවල විමෝචන පාලනය නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම මධ්‍යම පරිසර අධිකාරියේ නියාමන කාර්යභාරය සමඟ සම්බන්ධ කළ යුතු ව තිබේය යන්න පැහැදිලි වේ.
ශ්‍රී ලංකාවේ වාහන වායු විමෝචන පරීක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ වාහනවලින් පිටවන දුම් ප්‍රමාණය නියමිත සීමාවන් තුළ පවත්වාගැනීමේ අරමුණෙනි.
මෙම වැඩසටහන යටතේ අනුමත පරීක්ෂණ මධ්‍යස්ථාන මගින් වාහන පරීක්ෂා කර සහතික නිකුත් කරනු ලැබේ. සාමාන්‍යයෙන් වාර්ෂික ආදායම් බලපත්‍රය අලුත් කිරීමේදී අදාළ වායු විමෝචන සහතිකය ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ.

එහෙත් දුම් පරීක්ෂණ සහතිකයක් ලබාගැනීම යනු වාහනයෙන් කිසිදු දූෂකයක් පිට නොවන බවට සහතිකයක් නොවේ. එය පරීක්ෂණය සිදු කළ අවස්ථාවේදී අදාළ පරීක්ෂණ ක්‍රමයට අනුව නියමිත විමෝචන සීමාවන්ට අනුකූල වූ බව පෙන්වන සහතිකයකි.
එබැවින් විශේෂයෙන් පැරණි ඩීසල් බස් රථ සඳහා වරින් වර දුම් පරීක්ෂණ සිදු කිරීම, මාර්ගස්ථ නිරීක්ෂණ, එන්ජින් නඩත්තුව සහ දූෂක විමෝචන මට්ටම් පිළිබඳ දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වේ.
මෙහිදී සාමාන්‍ය දුම් පරීක්ෂණයෙන් PM2.5 ඇතුළු සියලුම දූෂක සෘජුවම මැන නොබැලීමයි. එබැවින් දුම් පරීක්ෂණ සහතිකය සහ සැබෑ වායු ගුණාත්මකභාවය අතර වෙනස හඳුනාගත යුතුය.වායු දූෂණය අවම කිරීම සඳහා වාහන විමෝචන භාරකාර අරමුදල (VET) යටතේ බස් රථ සඳහා දුම් පරීක්ෂණ නීති ක්‍රියාත්මක වේ.

වාර්ෂික ආදායම් බලපත්‍රය ලබා ගැනීමට පෙර බස් රථය දුම් පරීක්ෂණයෙන් සමත් වී වලංගු සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය වේ. නමුත් විදුලි බස් රථ සඳහා මෙම සහතිකය අවශ්‍ය නොවේ. බස් රථ ඇතුළු වාණිජ වාහන සඳහා නිකුත් කරන දුම් පරීක්ෂණ සහතිකයේ වලංගු කාලය මාස 6ක් ලෙස නියම කර ඇත. බස් රථයක් සඳහා දුම් පරීක්ෂණ ගාස්තුව රුපියල් 1,550ක් පමණ වේ . එසේ නොකරන බස් රථ අසාදු ලේඛනගත කිරීම මේ වන විට සිදුවෙමින් පවතී . මාර්ගයේ අධික කළු දුම් පිට කරමින් ධාවනය වන බස් රථ හඳුනාගෙන අනතුරු ඇඟවීමේ ලිපි නිකුත් කරනු ලැබේ. ඊට ප්‍රතිචාර නොදක්වා වේරහැර පිහිටි පරීක්ෂණ මධ්‍යස්ථානයට ඉදිරිපත් නොකරන බස් රථ අසාදු ලේඛනගත (Blacklist) කරන අතර, එම වාහනවල ආදායම් බලපත්‍ර අලුත් කිරීම සහ පැවරීම තාවකාලිකව අත්හිටුවනු ලබයි.
වායු විමෝචන වැඩසටහනේ අධ්යක්ෂ දසුන් ජානක ගමගේ
දැනට සියලුම වාහන පරීක්ෂාවට ලක් කර න අතර නවතා තබා ඇති වාහන නැවත ධාවනය කිරීමේදී පිට කරන දුම පිළිබඳව පරීක්ෂාවට ලක් කරන බව "වායු විමෝචන වැඩසටහනේ අධ්යක්ෂ දසුන් ජානක ගමගේ මහතා සඳහන් කරන අතර , එලෙස කළු දුම පිට කරන වාහන පිළිබඳව දැනුවත් කිරීම සඳහා 0703500525 යන දුරකථනය ඔස්සේ වට්සැප් පණිවිඩයක් ලබාදීමට හඳුන්වා දී තිබේ .
වායු දූෂණයේ බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීමේදී ගැබිණි මව්වරුන් විශේෂ අවදානම් කණ්ඩායමක් ලෙස සැලකිය යුතුය. ගර්භණී සමයේදී මවගේ ශ්වසන හා රුධිර සංසරණ පද්ධතිවල සිදුවන කායික වෙනස්කම් හේතුවෙන් පරිසර දූෂකවල බලපෑම පිළිබඳව විශේෂ අවධානයක් අවශ්‍ය වේ.
ඒ පිළිබඳ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යය මහාචාර්ය සනත් ලැනරෝල් සඳහන් කරන ආකාරයට , විශේෂයෙන්ම රථ වාහන වලින් පිට කරන වායු 6 වර්ගයක් මවට සහ දරුවාට බලපානවා . එම දූෂක වායු හය නම් , කාබන් මොනොක්සයිඩ්, නයිට්රජන් ඩයොක්සයිඩ්, PM 2.5, PM 20 (අංශුමය පදාර්ථ ) , බිම් මට්ටමේ ඕසෝන් (O₃), සල්ෆර් ඩයොක්සයිඩ් (SO₂) සහ ඊයම් යන වායු මවට සහ දරුවාට විවිධාකාරයෙන් බලපානවා .
මවට ඇදුම තියෙනවා නම් එය වැඩි කිරීමටත්, ඇදුම නැත්නම් ඇදුම රෝගියෙක් බවට පත්කරන්නත් , ගර්භනී කාලයේදී ඇතිවෙන අධික රුධිර පීඩනය ඇති කරන්නත් එය, උත්සන්න වුවහොත් ෆිට් එක ට පවා මුහුණ දී ජීවිතයට තර්ජනයක් වන අවස්ථාද ඇතිවෙන්න පුළුවන් .ඒ වගේම ගර්භණී සමයේදී දියවැඩියා තත්ත්වය ඇති කරන්න වගේම පෙනහලු රෝග ඇති කරන්නත් හේතු වෙනවා.
මේ තත්ත්වය දරුවා කෙරෙහිත් බලපාන වා. එක්කෝ කලලය විනාශ වීම , නොමේරූ දරු උපත් සිදුවීම, අඩුබරැති දරුවන් බිහිවීම, මල දරු උපත් සිදුවීම , වැදෑමහේ වර්ධනය අඩුවීම ,සංජානනීය ආබාධ ඇතිවීම , ස්නායු සම්බන්ධ ලෙඩ රෝග වලට මුහුණ දීම වැනි තත්ත්ව සිදුවීමේ අවස්ථාව වැඩියි.
ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යය මහාචාර්ය සනත් ලැනරෝල්
මේ නිසා අපි වෛද්‍යවරුන් විදිහට නිර්දේශ කරන්නේ , ගර්භණී සමයේ රථ වාහන දැඩිව ගැවසෙන ස්ථානවල ඇවිදීම හෝ ව්‍යායාම් නොකළ යුතු බවයි. වාහනයක ගමන් කරන අවස්ථාවල වීදුරු වහගෙන යන ආකාරයට ගමන් කිරීම සුදුසුයි. ගොඩක් අය බයිසිකල් වල යන අවස්ථා දකින්න පුළුවන් . ඒ අයට දුම් ආඝ්‍රහණය වන අවස්ථා වැඩියි. මේ නිසා දරුගැබ සංරක්ෂණය කරගන්න සුදුසු වෛද්‍යවරුන් හමුවී උපදෙස් ලබා ගැනීමත් , මුඛ ආවරණ පැළඳීම, දිනකට වතුර ලීටර් තුනක් පානය කිරීම, වැනි උපදෙස් ද ලබා දිය යුතුව තිබෙනවා. " පිරිසුදු වායුව ආග්‍රහණය කිරීම මානුෂික අයිතියක්. එය සෞඛ්‍ය සම්පන්න ගර්භනී තත්ත්වයකට ලැබෙන අවස්ථාවක්", බව වෛද්‍යවරයාගේ අදහස වේ .
මෙහිදී අවධාරණය කළ යුතු කරුණ වන්නේ වායු දූෂණයට නිරාවරණය වූ සෑම ගැබිණි මවකටම මෙම සංකූලතා ඇති වන බව නොවේ. එහෙත් දිගුකාලීන හා අධික නිරාවරණය අවදානම් සාධකයක් ලෙස සැලකිය යුතුය. එමෙන්ම, උපදින දරුවන්ගේ බර අඩුවීම පිළිබඳව වැනි දිගුකාලීනව දරුවාගේ වර්ධනය හා ස්නායු පද්ධතියේ සංවර්ධනය සම්බන්ධ ගැටලු ද ඇති විය හැකිය.
ශ්‍රී ලංකාවේ සිදුකර ඇති පර්යේෂණයට අනුව 2018 වසරේදී ප්‍රකාශයට පත් කිරීමට සකස් කළ ශ්‍රී ලංකා උපත් සමූහ අධ්‍යයනයකදී ගැබිණි මව්වරුන් 545 දෙනෙකු පළමු ත්‍රෛමාසිකයේ සිට දරු ප්‍රසූතිය දක්වා අධ්‍යයනය කර තිබේ. එහිදී දර උදුන් වැනි ජෛව ස්කන්ධ ඉන්ධන භාවිතයෙන් ඇතිවන ගෘහස්ථ වායු දූෂණය සහ දරුවන්ගේ උපත් බර අතර සම්බන්ධතාවක් හඳුනාගෙන ඇත.
එම පර්යේෂණයේ ප්‍රතිඵල අනුව ගෘහස්ථ PM2.5 මට්ටම ඉහළ යාමත් සමඟ උපත් බර අඩු වීමේ සම්බන්ධතාවක් හඳුනාගෙන තිබේ. දර ඉන්ධන වැඩි වශයෙන් භාවිත කළ පවුල්වල දරුවන්ට අඩු උපත් බර ඇතිවීමේ අවදානම වැඩි බව වාර්තා කර ඇත.PM2.5 මට්ටමේ ඒකක 10ක වැඩිවීමක් සමඟ අඩු උපත් බර ඇතිවීමේ odds අගය 1.26ක් ලෙස වාර්තා වී ඇත.
මෙය පදනම් කරගෙන ගෘහස්ථ සහ බාහිර වායු දූෂණය යන දෙකම ගැබිණි මව්වරුන්ට ඇති කළ හැකි අවදානම පිළිබඳව ජාතික මට්ටමේ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යය.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ රථවාහන අමාත්‍යාංශය දත්තවලට අනුව 2026 වසර ඔක්තෝබර් මාසය වන විට පෞද්ගලික බස් රථ 19000 ත් , 20000 ඇති අතර ලංකා ගමනාගමන මණ්ඩලය සතු බස් රථ සංඛ්‍යාව 7130 ක් පමණ වුවත් දෛනිකව දාවනය වන සංඛ්‍යාව 5000 ක් පමණ වේ. ලංකාවේ මගි බස් රථ සේවාවෙන් සියයට හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක් පෞද්ගලික අංශය සතු වන අතර ඉතිරි සීයට තිහක පමණ ප්‍රමාණය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතුවේ.

පොසිල ඉන්ධන භාවිතා කරන වාහන අවම කරමින් ඉලෙක්ට්‍රික් වාහන ප්‍රවර්ධනය වන බව ජාතික විගණන වාර්තා පෙන්වා දෙයි. එය 2025 සැප්තැම්බර් වන විට 30,000 ක් පමණ වූ විදුලි වාහන සංඛ්‍යාව 2026 ජුනි වන විට 100,000 ඉක්මවා තුන් ගුණයකටත් වඩා ඉහළ අගයක් ගෙන තිබේ. එය රජය ගෙනයන හරිත ප්‍රතිපත්ති වැඩසටහන යටතේ දිගුවක් ලෙස කාබන් විමෝචනය අවම කිරීමේ ප්‍රතිපත්ති යටතේ , 2026 වසරේ සිට ආනයනය කරන ඉන්ධන වාහන සඳහා දැඩි Euro 6 විමෝචන ප්රමිතීන් සහ "Clean Sri Lanka" වැඩසටහන යටතේ දුම් පරීක්ෂණ දැඩි කර ඇති අතර එමඟින් විදුලි වාහන වෙත යොමු කිරීම අරමුණ වී තිබේ .
2018 අංක 35 දරන මුදල් පනතට අනුව සියලුම පූර්ණ විදුලි වාහන වාර්ෂික කාබන් බද්දෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කිරීම , එමෙන්ම ආදායම් බලපත්‍රය ලබා ගැනීමේදී වාර්ෂිකව සිදුකරන වාහන දුම් පරීක්ෂණයෙන් (VET) පූර්ණ විදුලි සහ හයිබ්‍රිඩ් වාහන නිදහස් කිරීම . ඊට අමතරව 2026 නොවැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියානු සමාගමක් විසින් ශ්‍රී ලංකාව තුළ විදුලි බස් රථ නිෂ්පාදන කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීමට ආයෝජන ගිවිසුම්වලට ද එළඹ ඇත. එය 2050 වන විට කාබන් විමෝචනය 0 කරා රැගෙන යාමේ සාධනීය තත්ත්වයක් ලෙස සැලකිය හැකිය .
| චාන්දනී දිසානායක
නිදහස් මාධ්‍යවේදීනී
chandissa12@gmail.com



