The Leader News
BREAKING
විදුලි වාහන හරිතයි; එහෙත් බැටරියට මොකද වෙන්නේ?●සරච්චන්ද්‍ර විලාපය සහ සිංහල නාට්‍ය කලාව●ලාභ විදේශ තේ මිශ්‍ර කිරීමෙන් 'සිලෝන් ටී' අනන්‍යතාව අනතුරේ●කලාපීය වෙළඳ තරගය හමුවේ ශ්‍රී ලංකාව තනිවීමේ අවදානමක්●නාමල්ගේ සිරකුටියට ආ අලුත්ම සාමාජිකයා●ඉන්දීය සාගරයේ ශිෂ්ටාචාර උරුමය ෂැංහයි සමුළුවේදී ශ්‍රී ලංකාව අවධාරණය කරයි●යුද සමයේ සහන සේවක ප්‍රහාර : රජයේ සමාව UN ඉල්ලයි●නවදිල්ලියේදී විජිත - ජයශංකර් හමුවෙති: ඉන්දීය සාගරයේ ආර්ථික බලය කාටද?●ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය යාත්‍රාවක් සමඟ සත්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට●ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාවට ඓතිහාසික ද්විත්ව ජයග්‍රහණයක්●
Top Ad
විශේෂාංග

විදුලි වාහන හරිතයි; එහෙත් බැටරියට මොකද වෙන්නේ?

Awara

Awara

November 27, 2026 • 12:44 PM

විදුලි වාහන හරිතයි; එහෙත් බැටරියට මොකද වෙන්නේ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්ධන වියදම අඩු කිරීමත්, වායු දූෂණය පාලනයත් අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ විදුලි වාහන භාවිතය වේගයෙන් ඉහළ යයි.
  • පෙට්‍රල් සහ ඩීසල් වෙනුවට විදුලියෙන් ධාවනය වන මෝටර් රථ, යතුරුපැදි සහ ත්‍රිරෝද රථ භාවිත කිරීමෙන් ඉන්ධන ආනයනය සඳහා වැය වන විදේශ විනිමය ඉතිරි කරගැනීමටත්, නගරවල වායු දූෂණය සහ ප්‍රවාහන ක්ෂේත්‍රයෙන් නිකුත් වන කාබන් විමෝචනය අඩු කිරීමටත් හැකි බවට අපේක්ෂා කෙරේ.
  • ඕෂන් කම්බයින් ලිමිටඩ්, දෙමටගොඩ ආරෝපණ මධ්‍යස්ථානය ඒ අනුව විදුලි වාහන සංඛ්‍යාව ඉහළ යාම පමණක් හරිත ප්‍රවාහන පද්ධතියක් බිහිවීමක් ලෙස සැලකිය නොහැකිය.
  • සිට 2025 දක්වා කාලය ආවරණය කරන එම වාර්තාව 2026 සැප්තැම්බර් 22 වැනිදා නිකුත් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉන්ධන වියදම අඩු කිරීමත්, වායු දූෂණය පාලනයත් අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ විදුලි වාහන භාවිතය වේගයෙන් ඉහළ යයි. එහෙත් බැටරියක ආයු කාලය අවසන් වූ පසු එය කළමනාකරණය කිරීමටත්, ආරෝපණ පහසුකම් පුළුල් කිරීමටත්, විදුලිබල පද්ධතිය හරිත කිරීමටත් රට සූදානම්ද?

ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදය, ඉන්ධන මිල ඉහළ යාම සහ පරිසර දූෂණය පිළිබඳ වැඩිවන අවධානයත් සමඟ විදුලි වාහන භාවිතය වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. පෙට්‍රල් සහ ඩීසල් වෙනුවට විදුලියෙන් ධාවනය වන මෝටර් රථ, යතුරුපැදි සහ ත්‍රිරෝද රථ භාවිත කිරීමෙන් ඉන්ධන ආනයනය සඳහා වැය වන විදේශ විනිමය ඉතිරි කරගැනීමටත්, නගරවල වායු දූෂණය සහ ප්‍රවාහන ක්ෂේත්‍රයෙන් නිකුත් වන කාබන් විමෝචනය අඩු කිරීමටත් හැකි බවට අපේක්ෂා කෙරේ.

එහෙත් විදුලි වාහනයක පාරිසරික බලපෑම එය ධාවනය වන කාලයට පමණක් සීමා නොවේ. වාහනය නිෂ්පාදනය කිරීමේ සිට ආරෝපණය කිරීම, බැටරිය නඩත්තු කිරීම, අවශ්‍ය වූ විට මාරු කිරීම සහ අවසානයේ භාවිතයෙන් ඉවත් කරන බැටරිය කළමනාකරණය කිරීම දක්වා සමස්ත ජීවන චක්‍රයම එහි පාරිසරික බලපෑම තීරණය කරයි.


ඕෂන් කම්බයින් ලිමිටඩ්, දෙමටගොඩ ආරෝපණ මධ්‍යස්ථානය

ඒ අනුව විදුලි වාහන සංඛ්‍යාව ඉහළ යාම පමණක් හරිත ප්‍රවාහන පද්ධතියක් බිහිවීමක් ලෙස සැලකිය නොහැකිය. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම්, නියාමන ක්‍රමවේද, බැටරි අපද්‍රව්‍ය කළමනාකරණය සහ පුනර්ජනනීය බලශක්ති සැපයුම ද ඊට සමගාමීව වර්ධනය විය යුතුය.

ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන ලද Environmental Audit Report on Electric Vehicle Usage, Post-Usage Management and Environmental Impact Assessment in Sri Lanka වාර්තාව මේ සම්බන්ධයෙන් වැදගත් ප්‍රශ්න රැසක් මතු කරයි. 2020 සිට 2025 දක්වා කාලය ආවරණය කරන එම වාර්තාව 2026 සැප්තැම්බර් 22 වැනිදා නිකුත් කර තිබේ. විගණනයේ මූලික අනාවරණය වන්නේ විදුලි වාහන භාවිතය ඉහළ යන වේගයට සාපේක්ෂව ඒවායේ බැටරි අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමට අවශ්‍ය නියාමන සහ යටිතල පහසුකම් ශ්‍රී ලංකාව තුළ වර්ධනය වී නොමැති බවයි.

විදුලි වාහන භාවිතය වේගයෙන් ඉහළට


විගණන වාර්තාවේ සංඛ්‍යාලේඛන අනුව 2020 වසරේදී ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වූ විදුලි වාහන සංඛ්‍යාව 340කි. 2023 වන විට එය 2,195ක් දක්වාත්, 2024 වසරේදී 12,519ක් දක්වාත් ඉහළ ගොස් තිබේ. 2025 සැප්තැම්බර් වන විට ලියාපදිංචි වී තිබූ විදුලි වාහන සංඛ්‍යාව 30,426කි. එම වාහන අතරින් 25,718ක් විදුලි යතුරුපැදි වන අතර එය සමස්තයෙන් සියයට 84කට ආසන්න ප්‍රමාණයකි. විදුලි මෝටර් රථ 4,476ක් සහ විදුලි ත්‍රිරෝද රථ 205ක් ද ඒ අතර වේ.

2026 ජුනි මාසය වන විට මෙරට මාර්ගවල ධාවනය වන විදුලි වාහන සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇති බවට වාර්තා ද පෙන්වා දී තිබේ. මෙම වර්ධනයෙන් පෙනෙන්නේ විදුලි වාහන භාවිතය මෝටර් රථ මිලදී ගත හැකි පිරිසකට පමණක් සීමා නොවී දෛනික ප්‍රවාහන අවශ්‍යතා සඳහා ද ව්‍යාප්ත වෙමින් පවතින බවයි.

එහෙත් විදුලි වාහන සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ ඒවායේ බැටරි භාවිතයෙන් ඉවත් වන කාලය ද ළඟා වෙමින් තිබේ. අද ආනයනය කරන වාහනවල බැටරි වසර කිහිපයකින් හෝ දශකයක පමණ කාලයකින් පසු කළමනාකරණය කිරීමට සිදුවන විට ඒවා භාරගැනීමට, පරීක්ෂා කිරීමට, නැවත භාවිතයට යොමු කිරීමට හෝ ප්‍රතිචක්‍රීකරණය කිරීමට රට තුළ ක්‍රියාත්මක පද්ධතියක් තිබිය යුතුය. එහෙත් එවැනි ඒකාබද්ධ ජාතික පද්ධතියක් තවමත් නොමැති බව විගණන වාර්තාව පෙන්වා දෙයි.

ඊ- වාහන භාවිතා කරන පුද්ගලයන්ගේ සමීක්ෂණයේ ප්‍රතිපල

ඊ-වාහන භාවිතය සහ ඒ සම්බන්ධයෙන් පවතින දැනුවත්භාවය පිළිබඳව ලියුම්කාරිය විසින් ඊ- වාහන භාවිතා කරන පුද්ගලයන් සමඟ සිදුකළ සමීක්ෂණයට ප්‍රතිචාර 100ක් ලැබී ඇති අතර, ඊට කාන්තාවන් 75 දෙනකු සහ පිරිමින් 25 දෙනකු ඇතුළත් වී තිබේ. සමීක්ෂණය සඳහා පරීක්ෂණාත්මකව සකස් කළ දත්තවලට අනුව, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 41ක් විදුලි මෝටර් රථ භාවිත කරන අතර, සියයට 32ක් විදුලි යතුරුපැදි හෝ ස්කූටර් ද, සියයට 27ක් විදුලි ත්‍රිරෝද රථ ද භාවිත කරති.

විදුලි වාහන භාවිතයේදී බැටරි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පරිශීලකයන් තුළ විවිධ අත්දැකීම් පවතින බව සමීක්ෂණයෙන් අනාවරණය වේ. බැටරියේ වත්මන් තත්ත්වය පිළිබඳව සියයට 39ක් සෑහීමකට පත්ව සිටින අතර, සියයට 30ක් ඒ පිළිබඳව අසෑහීමකට පත්ව සිටිති. එසේම, බැටරි ධාරිතාව හෝ වාහනයේ ධාවන පරාසය අඩුවීමක් නිරීක්ෂණය කර ඇති බව සියයට 29ක් සඳහන් කර තිබේ. කෙසේ වෙතත්, බැටරියේ තත්ත්වය පිළිබඳව මෙතෙක් නිසි නිරීක්ෂණයක් සිදුකර නොමැති බව සියයට 39ක් පවසා ඇත. බැටරි සම්බන්ධයෙන් මුහුණදීමට සිදුවූ ගැටලු අතර බැටරි මාරු කිරීමට සිදුවීම සියයට 39ක් ද, අලුත්වැඩියා කිරීමට සිදුවීම සියයට 31ක් ද වාර්තා කර තිබේ.

මෙහිදී අවධානය යොමු කළ යුතු තවත් කරුණක් වන්නේ භාවිතයෙන් ඉවත් කරන ලද බැටරි කළමනාකරණය සම්බන්ධයෙන් පවතින දැනුවත්භාවයේ අඩුකමයි. භාවිතයෙන් ඉවත් කරන ලද බැටරි භාරදිය යුතු ස්ථානය පිළිබඳව නොදන්නා හෝ ඒ සම්බන්ධයෙන් නිශ්චිත අවබෝධයක් නොමැති බව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 67ක් සඳහන් කර තිබේ. මෙය විදුලි වාහන භාවිතය පුළුල් වන පසුබිමක බැටරි බැහැර කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක අවශ්‍යතාව අවධාරණය කරන කරුණකි.


විදුලි වාහන භාවිතයට අදාළ තවත් ප්‍රධාන අභියෝගයක් ලෙස ආරෝපණ පහසුකම්වල හිඟය හඳුනාගත හැකිය. තම ප්‍රදේශවල පොදු ආරෝපණ මධ්‍යස්ථාන නොමැති බව සියයට 37ක් පවසා ඇති අතර, ප්‍රමාණවත් ආරෝපණ මධ්‍යස්ථාන නොමැතිවීම ප්‍රධාන බාධාවක් ලෙස සියයට 24ක් හඳුනාගෙන තිබේ. මෙම තත්ත්වය දිගු දුර ගමන්වලට ද බලපා ඇති අතර, ඒ හේතුවෙන් තම ගමන් සැලසුම් වෙනස් කිරීමට සිදුවූ බව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 57ක් සඳහන් කර ඇත.

විදුලි වාහන භාවිතය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේදී රජයේ ප්‍රමුඛ අවධානය යොමු විය යුතු ක්ෂේත්‍ර පිළිබඳව ද සමීක්ෂණයෙන් අදහස් විමසූ අතර බැටරි ප්‍රතිචක්‍රීකරණය සඳහා විධිමත් රාමුවක් ස්ථාපිත කිරීම සියයට 26ක් ද, භාවිතයෙන් ඉවත් කරන ලද බැටරි ආරක්ෂිතව බැහැර කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම සියයට 24ක් ද, පොදු ආරෝපණ පහසුකම් පුළුල් කිරීම සියයට 22ක් ද ප්‍රමුඛ අවශ්‍යතා ලෙස පෙන්වා දී තිබේ. සමස්තයක් ලෙස මෙම දත්ත මඟින් පෙන්නුම් කරන්නේ විදුලි වාහන භාවිතය පුළුල් කිරීමේදී වාහන ආනයනය හෝ භාවිතය ප්‍රවර්ධනය කිරීම පමණක් නොව, බැටරි කළමනාකරණය, ආරක්ෂිත බැහැර කිරීම සහ ආරෝපණ යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි ද අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවයි.


විදුලි වාහනයක් භාවිත කිරීම ආර්ථික වශයෙන් වාසිදායක ද?


විදුලි වාහන මිලදී ගැනීමට ජනතාව පෙළඹෙන ප්‍රධාන හේතුවක් වන්නේ දෛනික ධාවන වියදම අඩු කරගැනීමේ හැකියාවයි. ඉන්ධන වාහනයකට සාපේක්ෂව විදුලි වාහනයක් ධාවනය කිරීමේදී කිලෝමීටරයකට වැය වන මුදල අඩු විය හැකිය. එසේම එන්ජින් ඔයිල් මාරු කිරීම සහ අභ්‍යන්තර දහන එන්ජිමට අදාළ නඩත්තු කටයුතු අඩු වීම ද විදුලි වාහන හිමිකරුවන්ට වාසියකි.

මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයනයක් උපුටා දක්වන තොරතුරු අනුව, එම අධ්‍යයනයේ භාවිත කළ ගණනය කිරීමේ ක්‍රමවේදය යටතේ බැටරි විදුලි වාහනයක කිලෝමීටරයක මට්ටම්ගත ධාවන පිරිවැය රුපියල් 14.72ක් ලෙසත්, දෙමුහුන් වාහනයක රුපියල් 24.26ක් ලෙසත්, පෙට්‍රල් වාහනයක රුපියල් 31.27ක් ලෙසත් ඇස්තමේන්තු කර තිබේ.

කෙසේ වෙතත්, මෙම අගයන් සියලුම වාහන මාදිලි සහ ධාවන තත්ත්ව සඳහා පොදු නොවේ. වාහනයේ මිල, බැටරි ධාරිතාව, ආරෝපණය කරන ස්ථානය, විදුලි ගාස්තු, වාර්ෂික ධාවන දුර සහ බැටරි මාරු කිරීමේ අවශ්‍යතාව අනුව සැබෑ පිරිවැය වෙනස් වේ. එබැවින් විදුලි වාහනයක් මිලදී ගැනීමේදී ආරම්භක මිලට අමතරව බැටරියේ ඉතිරි ආයු කාලය, අලුත්වැඩියා පහසුකම්, අමතර කොටස් සහ නැවත විකිණීමේ වටිනාකම ද සැලකිල්ලට ගත යුතුය.


“සුදේශ් නන්දසිරි මහතා පවසන පරිදි, ශ්‍රී ලංකාව පුරා ඊයම් උණු කිරීමේ ක්‍රියාවලියෙන් ඉතිරි වන ඊයම් ස්ලැග් (Lead Slag) මෙට්‍රික් ටොන් මිලියනයකට වැඩි ප්‍රමාණයක් එක්රැස් වී ඇති අතර, ඉන් වැඩි ප්‍රමාණයක් පුත්තලම දිස්ත්‍රික්කයේ පවතී. එසේම, භාවිතයෙන් ඉවත් කරන ඊයම්-අම්ල බැටරිවලින් නිකුත් වන සල්ෆියුරික් අම්ලය මෙට්‍රික් ටොන් 5,000ක් පමණ වාර්ෂිකව භූමියට මුදාහැරෙන බව Ceylon Waste Management (Pvt) Ltd හි සභාපති සුදේශ් නන්දසිරි මහතා සඳහන් කරයි” Dailymirror.lk – 2026 ඔක්තෝබර් 26

බැටරියකට කොපමණ කාලයක් භාවිත කළ හැකිද?

විදුලි වාහනයක් මිලදී ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයකුට ඇති ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ එහි බැටරිය කොපමණ කාලයක් භාවිත කළ හැකිද යන්නයි.

සාමාන්‍යයෙන් විදුලි මෝටර් රථයක ලිතියම්-අයන බැටරියක ප්‍රයෝජනවත් ආයු කාලය වසර 8–10ක් පමණ විය හැකි නමුත් එය සෑම වාහනයකටම පොදු ස්ථිර කාලසීමාවක් නොවේ. බැටරියේ තාක්ෂණය, නිෂ්පාදන ගුණාත්මකභාවය, භාවිත කරන ආකාරය, උෂ්ණත්වය සහ ආරෝපණ පුරුදු අනුව එය වෙනස් වේ.

බැටරියක ආයු කාලය මැනීමේදී වසර ගණන පමණක් නොව එහි ඉතිරි ධාරිතාව ද සැලකිල්ලට ගනී. මෙය State of Health (SOH) ලෙස හැඳින්වේ. උදාහරණයක් ලෙස, නව බැටරියක ධාරිතාව කිලෝවොට් පැය 40ක් නම්, වසර කිහිපයක භාවිතයෙන් පසු එය කිලෝවොට් පැය 32ක් දක්වා අඩු විය හැකිය. එවිට බැටරියේ මුල් ධාරිතාවෙන් සියයට 80ක් ඉතිරිව තිබේ. එයින් බැටරිය සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති බව අදහස් නොවේ. ධාවන පරාසය අඩු වුවද එය තවදුරටත් භාවිත කළ හැකිය.

ඉවත දමා ඇති ඊ- වාහන බැටරියක්

බොහෝ විදුලි මෝටර් රථ නිෂ්පාදකයන් බැටරිය සඳහා වසර අටක හෝ කිලෝමීටර් 160,000ක පමණ වගකීමක් ලබාදෙන අතර, එම සීමාවන් අතරින් පළමුව සපුරන සීමාව අදාළ වේ. ඇතැම් නිෂ්පාදකයන් වගකීම් කාලය අවසානයේ බැටරියේ මුල් ධාරිතාවෙන් අවම වශයෙන් සියයට 70ක් පවත්වාගැනීමේ සහතිකයක් ද ලබාදෙයි. එහෙත් නිෂ්පාදකයා සහ වාහන මාදිලිය අනුව වගකීම් කොන්දේසි වෙනස් වේ.

බැටරියේ ධාරිතාව අඩුවීමේ වේගයට ආරෝපණ පුරුදු ද බලපායි. නිතර අධිවේගී DC ආරෝපණය කිරීම, අධික උෂ්ණත්වයට දිගු කාලයක් නිරාවරණය වීම, බැටරිය නිතරම සම්පූර්ණයෙන් හිස් කිරීම සහ සියයට 100ක් දක්වා ආරෝපණය කර දිගු කාලයක් එසේ තබාගැනීම ඇතැම් බැටරිවල පිරිහීම වේගවත් කළ හැකිය. ශ්‍රී ලංකාව වැනි උණුසුම් දේශගුණයක් පවතින රටක බැටරියේ උෂ්ණත්ව පාලන පද්ධතිය ද වැදගත් වේ.

දැනට ලොව පුරා ස්ථාන කිහිපයකින් පමණක් ලිතියම් ලබාගත හැකි අතර, එය නිස්සාරණය කිරීමේ ක්‍රියාවලිය පරිසරයට ඉහළ පිරිවැයක් ඇති කරයි. (ඡායාරූපය: Getty Images)

NKR Motors හි නාලක කුමරප්පෙලි මහතා පවසන්නේ බැටරියේ ආයු කාලය තීරණය කිරීමේදී සාමාන්‍ය නඩත්තුවට වඩා එය භාවිත කරන ආකාරය සහ බැටරි මාදිලිය වැදගත් වන බවයි. මුල් කාලීන Nissan Leaf වාහනවල භාවිත වූ Pouch Cells බැටරි සෛලවලට සාපේක්ෂව නව වාහනවල භාවිත වන Prismatic Cells වෙනස් බව ඔහු පෙන්වා දෙයි. නව බැටරි නිසි ලෙස භාවිත කළහොත් වසර 15ක පමණ කාලයක් භාවිත කළ හැකි බව ද ඔහුගේ අදහසයි.

බැටරියේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා Nissan Leaf වැනි ඇතැම් වාහනවල දුරකථන යෙදුමක් සහ OBD ස්කෑනරයක් භාවිත කළ හැකි බව ද කුමරප්පෙලි මහතා සඳහන් කරයි. නව මාදිලිවලදී ඇතැම් විට විශේෂ ස්කෑනර් යන්ත්‍රයක් අවශ්‍ය වේ. එබැවින් භාවිත කළ විදුලි වාහනයක් මිලදී ගැනීමේදී එහි නිෂ්පාදිත වර්ෂය සහ ධාවනය කළ කිලෝමීටර් ප්‍රමාණයට අමතරව බැටරියේ SOH අගය ද පරීක්ෂා කිරීම වැදගත්ය.

“Black Mass” – “Black Mass” යනු භාවිතයෙන් ඉවත් කළ ලිතියම්-අයන බැටරි යාන්ත්‍රිකව කැබලි කර ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ක්‍රියාවලියේදී නිපදවන, තද පැහැති කුඩා කැට සහිත කුඩු වර්ගයකි.

බැටරියේ දෙවන ජීවිතය

විදුලි වාහන බැටරියක ධාරිතාව අඩු වූ පමණින් එය සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයක් නොමැති අපද්‍රව්‍යයක් බවට පත් නොවේ. වාහනයක ධාවන අවශ්‍යතාව සඳහා ප්‍රමාණවත් නොවන බැටරියක් වෙනත් කාර්යයන් සඳහා භාවිත කළ හැකි අවස්ථා තිබේ. මෙය Second-life Battery Use හෙවත් බැටරියේ දෙවන ජීවන චක්‍රය ලෙස හැඳින්වේ.

උදාහරණයක් ලෙස, වාහනයක ධාවන පරාසය පවත්වාගැනීමට ප්‍රමාණවත් නොවන බැටරියක් නිවසක සූර්ය බලශක්ති පද්ධතියක අමතර විදුලි ගබඩාවක් ලෙස භාවිත කළ හැකිය. කුඩා ව්‍යාපාර සහ කුඩා ජාලගත බලශක්ති පද්ධති සඳහා ද සුදුසු බැටරි යොදාගත හැකිය.

OECD ආයතනයේ 2026 වාර්තාව උපුටා දක්වන තොරතුරු අනුව, විදුලි වාහන බැටරි බොහොමයක් වසර දහයක පමණ භාවිතයෙන් පසු මුල් ධාරිතාවෙන් සියයට 70–80ක් පමණ ඉතිරිව තිබියදී වාහන භාවිතයෙන් ඉවත් කළ හැකිය. නිසි පරීක්ෂාවකින් පසු එවැනි බැටරි තවත් වසර 5–10ක් පමණ ස්ථාවර විදුලි ගබඩා පද්ධති සඳහා භාවිත කළ හැකි බව එම තොරතුරු පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, සෑම පැරණි බැටරියක්ම නැවත භාවිතයට සුදුසු නොවේ. බැටරියේ සෞඛ්‍ය තත්ත්වය, සෛලවල වෙනස්කම්, ආරක්ෂාව සහ ඉතිරි ධාරිතාව පරීක්ෂා කළ යුතුය. එබැවින් සුදුසුකම් ලත් තාක්ෂණික ආයතනයක පරීක්ෂාවකින් තොරව බැටරි නැවත භාවිතයට යොමු කිරීම අවදානම් විය හැකිය.

නාලක කුමරප්පෙලි මහතා පෙන්වා දෙන්නේ වාහනයක ධාවනය සඳහා තවදුරටත් ප්‍රමාණවත් නොවන බැටරියක් සූර්ය බලශක්ති පද්ධති වැනි වෙනත් කාර්යයන් සඳහා යොදාගත හැකි බවයි. එමෙන්ම Ceylon Waste Management Group හි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ සුදේශ් නන්දසිරි මහතා ද Nissan Leaf බැටරි වැනි බැටරි දෙවන භාවිතයකට යොදාගැනීමේ හැකියාව පෙන්වා දෙයි. කෙසේ වෙතත්, එවැනි බැටරිවල අවදානම සම්පූර්ණයෙන්ම අවසන් නොවන බැවින්, දෙවන භාවිතයෙන් පසු ඒවා නිසි ලෙස කළමනාකරණය කිරීම ද අවශ්‍ය බව ඔහු අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ පළමු ජාතික බැටරි පරීක්ෂණ මධ්‍යස්ථානය වන විද්‍යුත් සංචලතා හා බැටරි තාක්ෂණ මධ්‍යස්ථානය (Centre for E-Mobility and Battery Technology) ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ (NERDC) දී 2026 නොවැම්බර් 24 දින විවෘත කෙරිණි.

බැටරිය මාරු කිරීමට කොපමණ මුදලක් වැය වෙනවාද?

විදුලි වාහනයක් මිලදී ගැනීමේදී සැලකිල්ලට ගත යුතු තවත් වැදගත් කරුණක් වන්නේ බැටරිය මාරු කිරීමේ පිරිවැයයි. බැටරියේ මිල තීරණය වන්නේ එහි ධාරිතාව, නිෂ්පාදකයා, තාක්ෂණය, වාහනයේ මාදිලිය සහ අලුත් හෝ නැවත සකස් කළ බැටරියක්ද යන්න අනුවය.

ශ්‍රී ලංකාවේ Nissan Leaf බැටරි සඳහා සේවා සපයන Leaf House ආයතනය ප්‍රසිද්ධ කර ඇති මිල ගණන් අනුව, කිලෝවොට් පැය 24ක බැටරි පැකේජ සඳහා අඩු මිල පරාසයේ බැටරි රුපියල් 350,000 සිට රුපියල් 500,000 දක්වා ආරම්භ වේ. එම ආයතනයේ Premium Grade බැටරි සඳහා රුපියල් 850,000 සිට රුපියල් මිලියනය දක්වා මිල ගණන් සඳහන් කර තිබේ.

සම්පූර්ණ බැටරි පැකේජයම මාරු කිරීම වෙනුවට ඇතැම් අවස්ථාවල දෝෂ සහිත මොඩියුලයක් හෝ සෛල කිහිපයක් පමණක් අලුත්වැඩියා කිරීමේ හැකියාව ද පවතී. NKR Motors හි නාලක කුමරප්පෙලි මහතා පවසන්නේ නැවත සකස් කරන ලද බැටරි රුපියල් ලක්ෂ තුනත් පහත් අතර මිලකටත්, Prismatic Cells භාවිතයෙන් එකලස් කරන ලද බැටරි රුපියල් ලක්ෂ 15ක් පමණ වන මිලකටත් ලබාගත හැකි බවයි. මේවා ඔහු සඳහන් කළ මිල ගණන් වන අතර, වාහන මාදිලිය සහ බැටරියේ තත්ත්වය අනුව මිල වෙනස් විය හැකිය.

NKR Motors හි නාලක කුමරප්පෙලි මහතා

බැටරිය භාවිතයෙන් ඉවත් කළ පසු කොහේටද?

විදුලි වාහන බැටරි භාවිතයෙන් ඉවත් කළ පසු ඒවාට සිදුවන්නේ කුමක්ද යන්න ශ්‍රී ලංකාවේ විදුලි වාහන ක්ෂේත්‍රය තුළ තවමත් විසඳාගත යුතු ප්‍රධාන ගැටලුවකි. ලිතියම්-අයන බැටරි සාමාන්‍ය කසළ සමඟ මිශ්‍ර කර බැහැර කළ යුතු නැත. ඒවායේ ඇති රසායනික ද්‍රව්‍ය, ඉතිරි විදුලි ආරෝපණය සහ හානි වූ විට ගිනිගැනීමේ අවදානම නිසා විශේෂිත කළමනාකරණ ක්‍රමවේද අවශ්‍ය වේ.

ජාතික විගණන වාර්තාව පෙන්වා දෙන්නේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් බලපත්‍ර ලබා දී ඇති විද්‍යුත් අපද්‍රව්‍ය එකතුකරන්නන් 14 දෙනකු සිටිය ද, ඔවුන් වෙත ලැබී ඇති විදුලි වාහන බැටරි ප්‍රමාණය සීමිත බවයි. ඇතැම් වාහන නිෂ්පාදකයන් සමඟ බැටරි කළමනාකරණය සම්බන්ධ වැඩපිළිවෙළ තිබුණ ද, රට තුළ විදුලි වාහන බැටරි සඳහා විශේෂිත ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තශාලාවක් නොමැති බව ද වාර්තාව පෙන්වා දෙයි. ඒ අනුව භාවිතයෙන් ඉවත් කරන බැටරි ඇතැම් විට ගබඩා කර තැබීමට හෝ විදේශයන් වෙත යොමු කිරීමට සිදුවේ. විගණන පරීක්ෂණවලදී බැටරි එළිමහනේ ගබඩා කර තිබූ අවස්ථා ද හඳුනාගෙන තිබේ.

කෙසේ වෙතත්, Ceylon Waste Management Group හි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ සුදේශ් නන්දසිරි මහතා පවසන්නේ විදුලි වාහන බැටරි එකතු කිරීම සහ ඒවායේ අඩංගු ලෝහ පිරිපහදු කිරීම සඳහා තම ආයතනයට පහසුකම් ඇති බවයි. එම ආයතනය දැනටමත් විද්‍යුත් අපද්‍රව්‍යවලින් තඹ, රත්‍රන්, රිදී, ප්ලැටිනම් සහ පැලේඩියම් වැනි ලෝහ වෙන්කර පිරිපහදු කර විදේශ වෙළෙඳපොළට අපනයනය කරන බවත්, ලිතියම් සහ කොබෝල්ට් වැනි ලෝහ පිරිපහදු කිරීමේ පහසුකම් ද පවතින බවත් ඔහු සඳහන් කළේය.

Ceylon Waste Management Group හි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ සුදේශ් නන්දසිරි මහතා

බැටරි එකතු කිරීම සහ ප්‍රවාහනය කිරීම සඳහා Ceylon Management Private Limited නමින් වෙනම සමාගමක් ක්‍රියාත්මක වන බවත්, එම සමාගම මඟින් එකතු කරන බැටරි කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටි පිරිපහදු මධ්‍යස්ථානය වෙත යොමු කරන බවත් නන්දසිරි මහතා පැවසීය. ගරාජ් සහ සේවා මධ්‍යස්ථානවල එකතු වන විදුලි හා හයිබ්‍රිඩ් වාහන බැටරි ද වසරක පමණ කාලයක සිට මෙලෙස එකතු කරමින් සිටින බව ඔහු සඳහන් කළේය.

එහෙත් බැටරි කළමනාකරණයේදී වඩාත්ම සැලකිලිමත් විය යුත්තේ ඒවායේ ඇති ගිනිගැනීමේ සහ පිපිරීමේ අවදානම බව නන්දසිරි මහතා අවධාරණය කරයි. බැටරි ප්‍රවාහනය කිරීමේදී හෝ ගබඩා කිරීමේදී ධන සහ සෘණ අග්‍ර නිසි ලෙස ආරක්ෂා නොකිරීමෙන් කෙටි පරිපථ සහ අනතුරු ඇතිවිය හැකිය. බැටරිය විසර්ජනය වී ඇති බව සඳහන් වුවද එහි ඉතිරි විදුලි ආරෝපණයක් පැවතිය හැකි බැවින්, එය ආරක්ෂිත තත්ත්වයට පත් කිරීමට විශේෂ උපකරණ සහ තාක්ෂණික දැනුම අවශ්‍ය බව ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ඇතැම් ස්ථානවල මෙම බැටරිවල රසායනික හා භෞතික ලක්ෂණ පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයකින් තොරව ඒවා හසුරුවන බව නන්දසිරි මහතාගේ නිරීක්ෂණයයි. බැටරිවලින් තඹ සහ ඇලුමිනියම් වැනි ද්‍රව්‍ය ලබාගැනීම කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම අනතුරුදායක විය හැකි බවත්, බැටරි කළමනාකරණය සඳහා සුදුසුකම් ලත් පුද්ගලයන්, පුහුණුව සහ තාක්ෂණික පහසුකම් අවශ්‍ය බවත් ඔහු අවධාරණය කළේය.

මධ්‍යම පරිසර අධිකාරියෙන් බලපත්‍ර ලබාදීමේදී අදාළ ආයතනවලට බැටරි ආරක්ෂිතව හැසිරවීමට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ පහසුකම් තිබේද යන්න පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු නොවන බවට ද ඔහු විවේචනයක් ඉදිරිපත් කළේය. බලපත්‍ර ලබාදීමේදී ආයතනවල තාක්ෂණික හැකියාව සහ සේවකයන්ගේ සුදුසුකම් ද ඇගයීමට ලක් කළ යුතු බව ඔහුගේ අදහසයි.

ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ බැටරියක් නිවසක හෝ ගරාජයක තබා තිබීම පමණින් පරිසර දූෂණයක් සිදු නොවන නමුත්, එය භාවිතයෙන් ඉවත් කළ පසු නිසි ක්‍රමවේදයකට අනුව බැහැර කිරීම අත්‍යවශ්‍ය බවයි. විද්‍යුත් අපද්‍රව්‍ය සාමාන්‍ය ප්ලාස්ටික්, කඩදාසි හෝ ආහාර අපද්‍රව්‍ය මෙන් සලකා බැහැර කළ නොහැකි බව ඔහු අවධාරණය කරයි.

බැටරි සඳහා නීතිමය වගකීමක්

විදුලි වාහන බැටරි ආනයනය, මාරු කිරීම සහ අවසානයේ බැහැර කිරීම පිළිබඳ සම්පූර්ණ දත්ත පද්ධතියක් නොමැති වීම තවත් ගැටලුවකි. විදුලි වාහන බැටරි සඳහා වෙනම HS Code එකක් නොමැති වීම නිසා ආනයන දත්ත නිවැරදිව වෙන්කර හඳුනාගැනීම අපහසු වී තිබේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ද බැටරි මාරු කිරීම සහ බැහැර කිරීම පිළිබඳ වාර්තා පවත්වාගෙන නොයන බව විගණන වාර්තාව පෙන්වා දෙයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස රටට ආනයනය කරන ලද බැටරියක සිට එය අවසානයේ භාරදෙන ආයතනය දක්වා සොයාබැලීමේ ක්‍රමවේදයක් නොමැත. බැටරියක් වාහනයෙන් ඉවත් කළ පසු එය කොතැනට ගියේද, නැවත භාවිතයට යොමු කළේද, ප්‍රතිචක්‍රීකරණය කළේද යන්න තහවුරු කිරීමට ජාතික මට්ටමේ දත්ත අවශ්‍ය වේ.

2026 ජූලි 21 වැනිදා සහතික කරන ලද අංක 15 දරන ජාතික පාරිසරික (සංශෝධන) පනත මඟින් නිෂ්පාදකයාගේ පුළුල් වගකීම (Extended Producer Responsibility – EPR) ක්‍රියාත්මක කිරීම සඳහා නව නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දී තිබේ. ඒ අනුව, විදුලි වාහන බැටරි නිෂ්පාදනය කරන හෝ මෙරටට ආනයනය කරන සමාගම්වලට එම බැටරි අලෙවි කිරීමෙන් පසුව ඒවා භාවිතයෙන් ඉවත් වූ විට පරිසර හිතකාමී ලෙස කළමනාකරණය කිරීමේ වගකීම පැවරීමට නියමිතය.

මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිල රාජපක්ෂ මහතා

මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිල රාජපක්ෂ මහතා පැවසුවේ සංශෝධිත පනතට අදාළ රෙගුලාසි සකස් කිරීමේ කටයුතු අවසන් කර ඇති අතර, ඒවා නීතිමය කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලියට යොමු කර ඇති බවයි. එම රෙගුලාසි යටතේ බැටරි ආනයනය කරන සමාගම් භාවිතයෙන් ඉවත් වන බැටරි අවිධිමත් ලෙස පරිසරයට මුදාහැරීම වැළැක්වීමට ගන්නා ක්‍රියාමාර්ග මධ්‍යම පරිසර අධිකාරියට ඉදිරිපත් කළ යුතු වේ.

විශේෂයෙන්ම බැටරියේ තත්ත්වය තහවුරු කරන පිළිගත් පරීක්ෂණාගාරයක වාර්තාවක් ඉදිරිපත් කිරීම, භාවිත කළ බැටරිය නැවත භාවිතයට ගන්නා පාර්ශ්වය හෝ ප්‍රතිචක්‍රීකරණ ආයතනය සමඟ ඇති කරගත් ගිවිසුමක් ලබාදීම සහ නව බැටරියක් සවි කිරීමේදී ඉවත් කරන පැරණි බැටරිය අනුමත ආයතනයකට භාරදීම වැනි අවශ්‍යතා හඳුන්වා දීමට නියමිතය. එසේ බැටරිය භාරදුන් බවට සහතිකයක් ද මධ්‍යම පරිසර අධිකාරියට ඉදිරිපත් කළ යුතු වේ. නැවත භාවිතයට ගත නොහැකි බැටරි ප්‍රතිචක්‍රීකරණය කිරීම හෝ ඒවායේ ඇති සම්පත් නැවත ලබාගැනීම සඳහා විදේශ රටකට යොමු කිරීම ද යෝජිත මාර්ගෝපදේශවලට ඇතුළත්ය.

මෙම නව නීතිමය ප්‍රතිපාදන පිළිබඳව බැටරි ආනයනකරුවන් දැනුවත් කිරීම සඳහා වැඩසටහනක් සූදානම් කර ඇති බව ද රාජපක්ෂ මහතා සඳහන් කළේය. ඔහු පැවසුවේ වසර අවසන් වීමට පෙර පනත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට අපේක්ෂා කරන බවයි.

බැටරි ප්‍රතිපත්තියක් සහ දත්ත පද්ධතියක්

ශ්‍රී ලංකාවේ බැටරි කළමනාකරණය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කටයුතු ද ක්‍රියාත්මක වෙමින් පවතී. එම ප්‍රතිපත්තිය කෙටුම්පත් කර අදාළ අමාත්‍යාංශයට භාරදී ඇති අතර, මහජන අදහස් සහ යෝජනා ලබාගැනීමෙන් පසු සංශෝධනය කර අවසන් කිරීමට නියමිතය.

සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර

බැටරි ප්‍රතිපත්ති කමිටුවේ සභාපති සහ සුනිත්‍ය බල අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර මහතා පවසන්නේ ප්‍රතිපත්තියක් සකස් කිරීමේදී ඊට අදාළ සියලු පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබාගැනීම අත්‍යවශ්‍ය බවයි. යෝජිත ප්‍රතිපත්තියේ ප්‍රධාන අංගයක් වන්නේ සෑම බැටරි වර්ගයකටම අදාළ HS Code හඳුන්වාදීමයි. ඒ මඟින් බැටරියක් ආනයනය කළ අවස්ථාවේ සිට භාවිතයෙන් ඉවත් කිරීම දක්වා එහි තොරතුරු නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇති කිරීම අපේක්ෂා කෙරේ.

බැටරියක් කිසිදු අවස්ථාවක පද්ධතියෙන් අතුරුදන් නොවන පරිදි එහි ගමන්මඟ සහ තත්ත්වය පිළිබඳ තොරතුරු ලබාගත හැකි ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම මෙහි අරමුණ බව මහාචාර්යවරයා පෙන්වා දෙයි. බැටරි ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධයෙන් ලෝකය පුරාම තවමත් අභියෝග පවතින බැවින්, ශ්‍රී ලංකාව ද අනාගතයේ ඇතිවිය හැකි තාක්ෂණික හා පාරිසරික වෙනස්කම් සැලකිල්ලට ගනිමින් නීති සහ ප්‍රතිපත්ති සකස් කළ යුතු බව ඔහුගේ අදහසයි.

විදුලි වාහන බැටරි සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට තනිවම මහා පරිමාණ ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තශාලා ස්ථාපිත කිරීම ප්‍රායෝගික නොවිය හැකි බව විදුලි වාහන විශේෂඥ සහ උපදේශක සජීව ප්‍රේමරත්න මහතා පෙන්වා දෙයි. ඒ සඳහා අවශ්‍ය බැටරි ප්‍රමාණය රට තුළින් පමණක් සපයාගැනීම අභියෝගයක් විය හැකි බැවින්, වෙනත් රටවල් අනුගමනය කරන ක්‍රමවේද අධ්‍යයනය කර ශ්‍රී ලංකාවට ගැළපෙන ප්‍රතිපත්තියක් සකස් කිරීම වඩාත් සුදුසු බව ඔහුගේ අදහසයි.

එමෙන්ම, මධ්‍යම පරිසර අධිකාරිය දැනට හඳුන්වා දී ඇති රෙගුලාසි වාහනවලින් වෙන්ව අලෙවි කෙරෙන බැටරි සඳහා පමණක් අදාළ වන බවත්, විදුලි වාහනවලට සවිකර ඇති බැටරි භාවිතයෙන් ඉවත් වූ පසු ඒවා එකතු කිරීම, ප්‍රතිචක්‍රීකරණය කිරීම හෝ නැවත භාවිත කිරීම සම්බන්ධයෙන් පැහැදිලි රෙගුලාසි ක්‍රියාත්මක නොවන බවත් ප්‍රේමරත්න මහතා පවසයි. එම රෙගුලාසිවල කෙටුම්පත සකස් කිරීමට තමන් ද දායක වූ බව ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ විදුලි වාහන සහ බැටරි සම්බන්ධ ප්‍රතිපත්ති සකස් කිරීමේදී ආයතන කිහිපයක් වෙන් වෙන්ව කටයුතු කිරීම තවත් ගැටලුවක් බව ඔහු පෙන්වා දෙයි. පරිසර, ප්‍රවාහන සහ කර්මාන්ත අමාත්‍යාංශ ඇතුළු ආයතන කිහිපයක් මෙම ක්ෂේත්‍රයට අදාළව වෙන වෙනම කටයුතු කරනවා වෙනුවට සියලු අංශ සම්බන්ධීකරණය කරන ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් මුලින්ම සකස් කළ යුතු බව ඔහුගේ යෝජනාවයි. විදුලි වාහන සහ බැටරි ප්‍රතිපත්ති එම පුළුල් ප්‍රතිපත්තිය යටතේ ක්‍රියාත්මක විය යුතු බව ද ඔහු පෙන්වා දෙයි.

ආරෝපණ මධ්‍යස්ථාන තිබෙනවාද? ඒවා ක්‍රියාත්මකද?

ආරෝපණ මධ්‍යස්ථාන වල සිතියම

විදුලි වාහනයක් මිලදී ගැනීමට පෙර සලකා බැලිය යුතු තවත් ප්‍රධාන කරුණක් වන්නේ එය ආරෝපණය කළ හැකි ස්ථාන තිබේද යන්නයි. විදුලි වාහන නිවසේදී හෝ පොදු ආරෝපණ මධ්‍යස්ථානවලදී ආරෝපණය කළ හැකිය. පොදු මධ්‍යස්ථානවල AC සහ DC ආරෝපණ ක්‍රම භාවිත වේ. AC ආරෝපණය සාමාන්‍යයෙන් මන්දගාමී වන අතර, DC Fast Charging මඟින් සාපේක්ෂව කෙටි කාලයකදී වැඩි විදුලි ශක්තියක් ලබාදිය හැකිය.

එහෙත් සෑම වාහනයක්ම සෑම ආරෝපණ මධ්‍යස්ථානයකටම සම්බන්ධ කළ නොහැකිය. වාහනයේ charging connector වර්ගය, උපරිම ආරෝපණ ධාරිතාව සහ මධ්‍යස්ථානයේ තාක්ෂණික පහසුකම් ගැළපිය යුතුය.

ශ්‍රී ලංකාවේ විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන නියාමනය කිරීමේ වගකීම මහජන උපයෝගිතා කොමිෂන් සභාවට (PUCSL) පැවරී තිබේ. එහෙත් විගණන වාර්තාවට අනුව, ආරෝපණ මධ්‍යස්ථාන ක්‍රියාකරුවන් සහතික කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබුණේ 2025 මාර්තු මාසයේදීය. 2025 අගෝස්තු වන විට සහතික කර තිබුණේ ක්‍රියාකරුවන් දෙදෙනකු පමණි.

වීඩ්‍රයිව් (VEDRIVE) විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථානය – වන් ගෝල් ෆේස්

කොළඹ සිදු කළ පරීක්ෂණවලදී ඇතැම් ආරෝපණ මධ්‍යස්ථාන ක්‍රියාත්මක නොවීමත්, ඇතැම් ස්ථානවල ආරක්ෂක සංඥා හෝ සහතික ලේබල් නොතිබීමත් හඳුනාගෙන තිබේ. විගණනයට සහභාගී වූ විදුලි වාහන භාවිත කරන්නන් 190 දෙනා අතරින් සියයට 40ක් ආරෝපණ පහසුකම් ලබාගැනීම අපහසු බව සඳහන් කර තිබේ. එසේම සියයට 27ක් පමණක් රජයේ විදුලි වාහන ප්‍රතිපත්ති සහ සහන පිළිබඳව දැනුවත්ව සිටි බව වාර්තා වේ.

VOLT Charge වැනි ඩිජිටල් නාමාවලි මඟින් පොදු ආරෝපණ ස්ථාන පිළිබඳ තොරතුරු ලබාගත හැකිය. 2026 ඔක්තෝබර් 12 දිනැති එම නාමාවලියේ දත්ත අනුව පොදු ආරෝපණ ස්ථාන 109ක් ලැයිස්තුගත කර තිබිණි. එහෙත් නාමාවලියක ස්ථානයක් සටහන් වී තිබීමෙන් එය සෑම විටම ක්‍රියාත්මක බව අදහස් නොවේ. එබැවින් ගමන් කිරීමට පෙර අදාළ මධ්‍යස්ථානයේ තත්ත්වය තහවුරු කරගැනීම අවශ්‍යය.

විදුලි වාහන විශේෂඥ සජීව ප්‍රේමරත්න මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ විදුලි වාහන හිමියන්ගෙන් සියයට 90කට වැඩි පිරිසක් තම වාහන නිවසේදී ආරෝපණය කරන බවයි. රජය මඟින් අවශ්‍ය විදුලි සම්බන්ධතා පහසුකම් ලබාදෙන්නේ නම් පෞද්ගලික අංශයට තවත් ආරෝපණ මධ්‍යස්ථාන ස්ථාපිත කළ හැකි බව ඔහු සඳහන් කළේය.

විදුලි වාහන විශේෂඥ සජීව ප්‍රේමරත්න මහතා

විදුලිය ආරෝපණය කරන වේලාවත් වැදගත්

විදුලි වාහන භාවිතය ඉහළ යන විට විදුලිබල පද්ධතියට ඇති වන ඉල්ලුම ද සැලකිල්ලට ගත යුතුය. විශේෂයෙන් සවස 6 සිට රාත්‍රී 10 දක්වා කාලය විදුලි ඉල්ලුම ඉහළ යන කාලසීමාවක් බැවින්, එම වේලාව තුළ වාහන විශාල සංඛ්‍යාවක් එකවර ආරෝපණය කිරීම ජාලයට අමතර පීඩනයක් ඇති කළ හැකිය.

ඒ වෙනුවට දිවා කාලයේ, විශේෂයෙන් සූර්ය බලශක්ති උත්පාදනය ඉහළ අවස්ථාවලදී වාහන ආරෝපණය කිරීම දිරිගැන්වීම වැදගත් වේ. එමඟින් විදුලිබල පද්ධතියේ ඉල්ලුම කළමනාකරණය කිරීමටත්, සූර්ය බලශක්තිය වඩාත් කාර්යක්ෂමව භාවිත කිරීමටත් අවස්ථාව සැලසේ.

විදුලි වාහන භාවිතයෙන් කාබන් විමෝචනය ඇත්තටම අඩු වෙනවාද?

විදුලි වාහන ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධාන අරමුණක් වන්නේ කාබන් විමෝචනය අඩු කිරීමයි. විදුලි වාහන ධාවනයේදී පිටාර වායු නිකුත් නොකරන නමුත් ඒවා ආරෝපණය කිරීමට භාවිත කරන විදුලිය නිපදවන ආකාරය ද එහි සමස්ත කාබන් පියසටහනට බලපායි.

විදුලිය නිපදවීම සඳහා ගල්අඟුරු සහ ඉන්ධන භාවිතය වැඩි නම්, විදුලි වාහනයක් ආරෝපණය කිරීමේදී ද වක්‍ර කාබන් විමෝචන සිදුවේ. එබැවින් විදුලි වාහනවල සැබෑ පාරිසරික ප්‍රතිලාභ තීරණය වන්නේ ඒවා භාවිත කරන විදුලිබල පද්ධතියේ බලශක්ති මිශ්‍රණය අනුවය.

විගණන වාර්තාව උපුටා දක්වන පර්යේෂණවලට අනුව, විදුලි යතුරුපැදි මඟින් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය සියයට 66කින් පමණත්, විදුලි ත්‍රිරෝද රථ මඟින් සියයට 64කින් පමණත් අඩු කළ හැකිය. එම අඩුවීම් අදාළ පර්යේෂණවල භාවිත කළ වාහන වර්ග සහ විදුලි උත්පාදන මිශ්‍රණය අනුව වෙනස් විය හැකිය

ශ්‍රී ලංකාවේ විදුලි උත්පාදනයෙන් 2024 වසරේදී සියයට 53.5ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවවලින් ලබාගෙන තිබූ අතර, 2030 වන විට එය සියයට 70ක් දක්වා ඉහළ නැංවීම ඉලක්කය වී තිබේ. එම ඉලක්කය සපුරාගැනීම විදුලි වාහනවල පාරිසරික ප්‍රතිලාභ වැඩි කිරීමට ද වැදගත් වේ. එහෙත් විදුලි වාහන නිසා සිදුවන විමෝචන අඩුවීම මැනීම, වාර්තා කිරීම සහ සත්‍යාපනය කිරීම සඳහා ඒකාබද්ධ ජාතික ක්‍රමවේදයක් නොමැති වීම තවමත් ගැටලුවකි.


පොදු ප්‍රවාහනය විද්‍යුත්කරණය කිරීමේ ප්‍රමාදය

විදුලි වාහන භාවිතය පුළුල් කිරීමේදී පෞද්ගලික වාහනවලට අමතරව පොදු ප්‍රවාහනය ද විද්‍යුත්කරණය කිරීම වැදගත් වේ. නගරවල බස් රථ විද්‍යුත්කරණය කිරීමෙන් විශාල මගී පිරිසකට ප්‍රතිලාභ සැලසිය හැකි අතර, පොදු ප්‍රවාහනයේ විමෝචන අඩු කිරීමට ද එය දායක වේ.


ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා විදුලි බස් රථ 200ක් මිලදී ගැනීමට 2023 වසරේදී අනුමැතිය ලබා දී තිබුණ ද, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රසම්පාදන ගැටලු මතු වී තිබේ. ඉදිරිපත් කර තිබූ එකම ලංසුවේ කාර්යසාධන ඇපකරය වංචනික එකක් බවට අනාවරණය වීමෙන් පසු ලංසුව ප්‍රතික්ෂේප කර 2024 ජූලි 20 වැනිදා ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් කර තිබිණි. එහෙත් 2025 ඔක්තෝබර් 27 වන විටත් එම ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමට හෝ අදාළ මුදල් අයකර ගැනීමට අවශ්‍ය පියවර ගෙන නොතිබූ බව විගණන වාර්තාව සඳහන් කරයි.

එසේම එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) සහ ගෝලීය පාරිසරික අරමුදල (GEF) විසින් අරමුදල් සපයන ඇමෙරිකානු ඩොලර් මිලියන 9.65ක විද්‍යුත් ප්‍රවාහන ප්‍රවර්ධන ව්‍යාපෘතිය ද 2022 සැප්තැම්බර් මාසයේ අනුමැතිය ලැබීමෙන් පසු ක්‍රියාත්මක වීමේ ප්‍රමාදයකට මුහුණ දී තිබේ. අමාත්‍යාංශ අතර ව්‍යාපෘතිය මාරු කිරීම, සහයෝගීතා ගිවිසුම අවසන් කිරීමේ ප්‍රමාදය සහ අධීක්ෂණ රාමුවක් නොමැති වීම එයට හේතු ලෙස විගණනය හඳුනාගෙන ඇත.

ශ්‍රී ලංකාවට අනුමත ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීම ද විදුලි ප්‍රවාහන වැඩසටහන් එකිනෙකට සම්බන්ධ නොවී ක්‍රියාත්මක වීමට බලපාන කරුණක් ලෙස වාර්තාව පෙන්වා දෙයි.

විදුලි වාහන පමණක් නොව විදුලිබල පද්ධතියත් සැලසුම් කළ යුතුය

විදුලි වාහන භාවිතය වැඩිවීම යනු ප්‍රවාහන ක්ෂේත්‍රයේ වෙනසක් පමණක් නොවේ. එය විදුලිබල උත්පාදනය, ගබඩා කිරීම, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම යන සමස්ත පද්ධතියටම බලපාන වෙනසකි.

ඕස්ට්‍රේලියාවේ බලශක්ති වෙළෙඳපොළ ක්‍රියාකරු වන AEMO විසින් 2026 ජුනි 25 වැනිදා නිකුත් කළ Integrated System Plan මඟින් 2050 දක්වා විදුලිබල පද්ධතියේ අවශ්‍යතා පිළිබඳ දිගුකාලීන සැලසුමක් ඉදිරිපත් කර තිබේ. එහිදී පුනර්ජනනීය බලශක්තිය, බලශක්ති ගබඩා පද්ධති, සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ ජාල සහ ඉල්ලුම කළමනාකරණය එකිනෙකට සම්බන්ධ කර සැලසුම් කිරීමේ වැදගත්කම අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකාවට අදාළ පාඩම වන්නේ විදුලි වාහන ආනයනය හෝ ආරෝපණ මධ්‍යස්ථාන ඉදිකිරීම වෙන වෙනම සිදුකිරීම වෙනුවට, ඒවාට අවශ්‍ය විදුලිබල පද්ධතිය ද දිගුකාලීනව සැලසුම් කළ යුතු බවයි.

හරිත සංක්‍රාන්තියට අවශ්‍ය ප්‍රතිපත්තිමය පියවර


විදුලි වාහන භාවිතය ඉහළ යාමට සමගාමීව බැටරි අපද්‍රව්‍ය කළමනාකරණය, ආරෝපණ පහසුකම් සහ විදුලිබල පද්ධතිය සම්බන්ධයෙන් දීර්ඝකාලීන ප්‍රතිපත්තියක් අවශ්‍ය වේ.

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ද විදුලි වාහන ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ. රේගු වර්ගීකරණය විධිමත් කිරීම, ඉලක්කගත බදු සහන ලබාදීම, බැටරි ප්‍රතිචක්‍රීකරණය සඳහා විධිමත් රාමුවක් සකස් කිරීම සහ භාවිතයෙන් ඉවත් කරන බැටරි සොයාබැලිය හැකි ජාතික ක්‍රමවේදයක් ඇති කිරීම එහිදී මතු වූ කරුණු අතර වේ.

ශ්‍රී ලංකාව 2016 වසරේ පැරිස් දේශගුණික ගිවිසුම අනුමත කර ඇති අතර 2026–2035 කාලය ආවරණය කරන ජාතික වශයෙන් තීරණය කළ දායකත්ව (NDC 3.0) සැලැස්ම යටතේ 2035 වන විට හරිතාගාර වායු විමෝචනය සියයට 20.09කින් අඩු කිරීමේ ඉලක්කයක් ඉදිරිපත් කර තිබේ. එම ඉලක්කයෙන් සියයට 8.11ක් දේශීය සම්පත් මත ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඉතිරි සියයට 11.98 සඳහා ජාත්‍යන්තර මූල්‍ය, තාක්ෂණික සහ ධාරිතා සංවර්ධන සහාය අවශ්‍ය වේ.

එහෙත් ජාත්‍යන්තර සහාය, ප්‍රතිපත්ති සහ වාහන ආනයනය පමණක් හරිත සංක්‍රාන්තියක් සහතික නොකරයි. ඒ සඳහා ක්‍රියාත්මක කළ හැකි සැලසුමක් සහ එහි ප්‍රතිඵල මැනිය හැකි පද්ධතියක් අවශ්‍ය වේ.

ඒ යටතේ පළමුව, ආනයනය කරන සෑම විදුලි වාහනයකම බැටරිය හඳුනාගත හැකි දත්ත පද්ධතියක් සකස් කළ යුතුය. දෙවනුව, බැටරි ආනයනකරුවන් සහ නිෂ්පාදකයන්ට භාවිතයෙන් ඉවත් කරන බැටරි ආපසු භාරගැනීමේ වගකීම පැවරිය යුතුය. තෙවනුව, නැවත භාවිතයට සුදුසු බැටරි පරීක්ෂා කිරීම සඳහා තාක්ෂණික ප්‍රමිතීන් හා ආරක්ෂක ක්‍රමවේද හඳුන්වා දිය යුතුය. නැවත භාවිතයට නුසුදුසු බැටරි ආරක්ෂිතව ප්‍රතිචක්‍රීකරණය කිරීම හෝ අනුමත ක්‍රමයකින් අවසන් කළමනාකරණයට යොමු කිරීම ද සහතික කළ යුතුය.

ඊට අමතරව, ආරෝපණ මධ්‍යස්ථානවල විශ්වසනීයත්වය, ආරක්ෂාව සහ ගාස්තු පිළිබඳ විනිවිදභාවය තහවුරු කිරීමත්, දිවා කාලයේ පුනර්ජනනීය බලශක්තිය සමඟ සම්බන්ධ වූ ආරෝපණය දිරිගැන්වීමත් වැදගත් වේ. විදුලි වාහන භාවිතයෙන් සිදුවන විමෝචන අඩුවීම මැනීම සඳහා ද ජාතික ක්‍රමවේදයක් අවශ්‍යය.

හරිත වාහනයකින් හරිත පද්ධතියක් දක්වා

විදුලි වාහන භාවිතය ඉහළ යාම ශ්‍රී ලංකාවේ බලශක්ති සහ ප්‍රවාහන ක්ෂේත්‍රයට වැදගත් අවස්ථාවකි. එය ඉන්ධන ආනයනය මත ඇති පීඩනය අඩු කිරීමටත්, දෛනික ධාවන වියදම් පාලනය කිරීමටත්, වායු දූෂණය අඩු කිරීමටත් දායක විය හැකිය.

එහෙත් එම ප්‍රතිලාභ ස්වයංක්‍රීයව ලැබෙන්නේ නැත. විදුලි වාහනයක් භාවිත කිරීමෙන් පසු එහි බැටරියට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි පිළිතුරක් නොමැති නම්, එය හරිත ප්‍රවාහනයේ අසම්පූර්ණ පැත්තක් ලෙස පවතී. ආරෝපණ මධ්‍යස්ථාන ක්‍රියාත්මක නොවන්නේ නම්, විදුලිබල පද්ධතියේ ඉල්ලුම කළමනාකරණය නොවන්නේ නම් සහ බැටරි අපද්‍රව්‍ය සඳහා වගකීම පැවරී නොමැති නම්, වාහන සංඛ්‍යාව ඉහළ යාම පමණක් ප්‍රමාණවත් නොවේ.

අවසානයේ වැදගත් වන්නේ අප කොපමණ විදුලි වාහන ප්‍රමාණයක් ආනයනය කළාද යන්න පමණක් නොවේ. ඒවායේ බැටරි කොපමණ කාලයක් ආරක්ෂිතව භාවිත කළ හැකිද, භාවිතයෙන් පසු ඒවාට සිදුවන්නේ කුමක්ද, ආරෝපණය කිරීමට අවශ්‍ය විදුලිය කොතැනින් ලැබෙන්නේද සහ එම ක්‍රියාවලියේ පාරිසරික බලපෑම් කළමනාකරණය කිරීමට රට සූදානම්ද යන්නයි.

හරිත ප්‍රවාහනය යනු ඉන්ධන වාහනයක් වෙනුවට විදුලි වාහනයක් මිලදී ගැනීම පමණක් නොවේ. එය වාහනයේ බැටරියේ අවසාන ජීවන චක්‍රය දක්වාම වගකීම භාරගන්නා, පුනර්ජනනීය බලශක්තිය මත පදනම් වූ සහ පාරිසරික බලපෑම් මැනිය හැකි සමස්ත පද්ධතියක් ගොඩනැගීමයි.

- රේඛා නිලුක්ෂි හේරත්
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...