පසුගිය සතියේ නාමල්ගේ සිරකුටියට අලුත්ම සාමාජිකයෙක් එක්විය. ඒ වෙන කවුරුවත් නොව සමගි ජන බලවේගයේ වෘත්තීය සමිතිවලට නායකත්වය දුන් ආනන්ද පාලිතයි.
"පාලිත එන්න, ඔන්න අපේ අලුත් සාමාජිකයා," නාමල් පැවසීය.
"දැන් සර්වපාක්ෂික රැස්වීමක් වගේ. සිලින්ඩරයෙන් ඉන්නවා, පොහොට්ටුවෙන් නාමල් ඉන්නවා, සමගියෙන් ආනන්ද පාලිත ඉන්නවා," චාමර පැවසීය.
"ඇයි අපේ චන්දන කත්‍රිආරච්චි හිටපු මන්ත්‍රීතුමත් ඉන්නේ," නාමල් පැවසීය.
සවස නවයේ පුවත් සහ ආනන්ද පාලිතගේ සංවේදී වීම
මේ අතර බන්ධනාගාරයේ සවස නවය පුවත් විකාශය නරඹන විට නාමල් රාජපක්ෂ ආනන්ද පාලිත වෙනුවෙන් නිකුත් කළ එක්ස් (X) පණිවිඩය ගැන ප්‍රවෘත්තියක් පළ විය.
"අනේ ඔබතුමාට හරි මාව මතක් වෙච්ච එක ලොකු දෙයක්," ආනන්ද පාලිත සංවේදී වෙමින් පැවසීය.
"අයියෝ ඕක මොකක්ද? ඔබතුමා ආණ්ඩුවට එරෙහිව කටයුතු කළ නිසා තමයි මේ දේ ආණ්ඩුව කළේ," නාමල් පැවසීය.
"ආණ්ඩුව කරන්න දන්නේ මර්දනය විතරයි. කයිවාරුව නම් තියෙනවා, තාම වැඩක් කරගන්න බෑ," චාමර පැවසීය.
"පාලිත ඔයා වැඩිය හිතන්න එපා. ආණ්ඩු හැමදාම තියෙන්නේ නෑනේ," යැයි නාමල් පැවසුවේ සිනාසෙමිනි.
"අන්න 'අවනීතියේ සිරකරුවා' කියලා ලොකු කැම්පේන් එකක් ජනතාව අතර යනවා. මට ඒක කියන්නත් බැරි වුණා," ආනන්ද පාලිත පැවසීය.
"දැන් ඉතින් ජනතාවට තේරෙනවනේ ගොනා හැරෙන්නේ කොහෙටද කියලා," නාමල් පැවසීය.
"ඔබතුමා ගොනා කියලා කිව්වේ ආණ්ඩුවේ ලොක්කට එහෙම නෙවෙයිනේ?" චාමර සිනාසෙමින් පැවසීය.
පාර්ලිමේන්තු අයවැය විවාදය සහ ආර්ථික කතාබහ
නාමල් දිගටම පාර්ලිමේන්තුවට පැමිණියේ අයවැය විවාදයට සහභාගී වීමටය. නාමල් බැලීමට ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩී.වී. චානක, සාගර කාරියවසම්, චානක මාදුගොඩ හා සංජීව එදිරිමාන්න පැමිණ සිටියහ. නාමල් එදින ඔහුගේ කතාවට සූදානම් වෙමින් සිටියේය.
"අන්න මහ බැංකු අධිපති කියනවා උද්ධමනය සියයට නවයක් වෙනවා කියලා," නාමල් පැවසීය.
"ඉස්සර නම් ජෙප්පෝ මහ බැංකු අධිපතිව පතුරු ගැහුවා අයි.එම්.එෆ්. ඒජන්තයෙක් කියලා. දැන් බලන්නකෝ තියෙන ආදරේ," නාමල් තවදුරටත් පැවසීය.
"මම දැක්කා දැන් ඉන්න ජේ.වී.පී. නියෝජ්‍ය ඇමති කෙනෙක් ඒ දවස්වල මහ බැංකු අධිපතිට ඉවත් වෙනු කියලා ෆේස්බුක් එකේ වීඩියෝවක් දාලා තිබ්බා. දැන් ආණ්ඩුව කියන්නේ අයි.එම්.එෆ්. එකත් එක්ක තමයි අයවැය හැදුවේ කියලා," සංජීව එදිරිමාන්න පැවසීය.
"ආයෝජකයෝ එනවා කිව්වට ඉන්න අයත් හැරිලා ගියා," ඩී.වී. චානක පැවසීය.
"ඔව්, ඉස්සෙල්ලාම අදානි සමාගම ගියා, චීන සමාගම් ගියා. ජනාධිපති කිව්වා ඩොලර් බිලියන හතරක පිරිපහදුවක් හදන්න චීන ජනාධිපති එක්ක ගිවිසුම් ගහලා ආවේ කියලා. තාම පළාතක නෑ ආයෝජන," නාමල් පැවසීය.
"ඔය ආයෝජනය එනවා කියලා හතර වතාවක් මාධ්‍ය සාකච්ඡා හතරක් තිබ්බා," ජොන්ස්ටන් පැවසීය.
"ඇයි එක්කෙනෙක් කිව්වේ කුකුල් මස්වල ප්‍රෝටීන් අඩුයි, හාල්මැස්සන්ගේ ප්‍රෝටීන් වැඩියි, ඒකයි කුකුල් මස් මිල අඩු නොකර හාල්මැස්සෝ මිල අඩු කළේ කියලා," ජොනී නැවතත් පැවසීය.
"ඔව් දැන් බත් එක්ක මිරිස් දාපු හාල්මැස්සෝ කන්න පුළුවන් උම්බලකඩත් දාලා," යැයි නාමල් පවසන විට සියලු දෙනාටම සිනහ පහළ විය.
සභා ගර්භයේ උණුසුම් විවාද සහ 'අවනීතියේ සිරකරුවා'
දයාසිරි ජයසේකර, චිත්‍රාල් ප්‍රනාන්දු, චතුර ගලප්පත්ති, ප්‍රසාද් සිරිවර්ධන, අජිත් පී. පෙරේරා, චානක මාදුගොඩ සහ සුජීව සේනසිංහ නාමල් හා චාමර වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී කතා කළහ.
මෙහිදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා නාමල් වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී ඉංග්‍රීසියෙන් කතා කළ අතර එම ප්‍රකාශය ජාත්‍යන්තරයට රැගෙන යාමටත් කටයුතු කරන බව දයාසිරි නාමල්ට පවසා තිබිණි. මෙහිදී නාමල් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට ස්තුති කිරීමටද අමතක නොකළේය. දයාසිරි ජයසේකර නාමල් වෙනුවෙන් කළ කතාව එදින සියලු මාධ්‍යයන්ගේ කතාබහට ලක්වුණු පුවත විය.
චානක මාදුගොඩද පාර්ලිමේන්තුවේ සැර කතාවක් කළේය. නාමල්ට එරෙහිව ප්‍රකාශ ලබා දුන් නිමල් පෙරේරා කියන්නේ වසන්ත සමරසිංහගේ යාළුවා යැයි මෙහිදී චානක මාදුගොඩ පාර්ලිමේන්තු සභා ගර්භයේදී පවසා සිටියේය. 'අවනීතියේ සිරකරුවා' බවට නාමල් පත්ව සිටින බවත් ඔහු මෙහිදී සඳහන් කළේය. මෙහිදී ආණ්ඩුවේ කිසිවෙක් මීක් කිව්වේ නැත.
"ඇත්තටම වෙලා තියෙන්නේ නාමල්ට බය වෙලා. 2029 නියත ජනාධිපති නාමල්," චානක මාදුගොඩගේ කතාව නාමල් සමඟ නරඹමින් සිටි ජොන්ස්ටන් පැවසීය.
චාමරද පාර්ලිමේන්තුවේ කතා කරමින් "මිනීමරුවන්ටත් ඇප දෙනවා, හැබැයි නාමල්ටයි මටයි නෑ" යනුවෙන් සිය කතාවේදී පැවසීය.
"අවනීතියේ සිරකරුවා කියලා හැම තැනම දැන් යනවා," ජොනී පැවසුවේ ෆේස්බුක් පෝස්ටුවක් පෙන්වමිනි.
"ඔව් මට බන්ධනාගාරයට ආපු ආනන්ද පාලිතත් ඒක කිව්වා," යැයි නාමල් පැවසීය.
(සටහන | නිපුන් ඒකනායක )



