වැඩ කරන ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳ රජයට නිසි අවබෝධයක් පවතින බැවින්, ඒවා හඳුනාගෙන විසඳීම සඳහා වෘත්තීය සමිති ඇතුළු අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.
වැඩ කරන ජනතාව ලෙස පෙනී සිටිමින් උද්ඝෝෂණවල නිරත වන පුද්ගලයන් පිටුපස විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් සිටින බව පෙන්වා දෙන ජනපතිවරයා, එම පිරිස් කොතරම් උද්ඝෝෂණ කළද අසාධාරණ ඉල්ලීම් දිනාගත නොහැකි බව අවධාරණය කළේය.
යුක්තිසහගත සටන්වලට පූර්ණ සහය ලැබෙන බවද පෙන්වා දෙන ජනාධිපතිවරයා වත්මන් ආණ්ඩුව මූල්‍ය විනය රකින ආණ්ඩුවක් බවද පැවසීය.
කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ ඊයේ (26) සවස “අයවැය සහ වැඩ කරන ජනතාව” තේමාවෙන් පැවති වෘත්තීය සමිති නියෝජිත හමුව අමතමින් ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක:
ආණ්ඩුව ගොඩනැඟූ වැඩ කරන ජනතාව
විශේෂයෙන්ම ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සංවිධායක සහෝදරවරුන් ඊයේ දිනයේ තමයි මෙවැනි නියෝජිත සමුළුවක් පැවැත්වීමට තීරණය කර තිබුණේ. ඊයේ තීරණයක් අරගෙන අද දිනයේ වැඩ කරන ජනතාව දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් එක තැනකට එකතු කරන්න පුළුවන් ශක්තිමත්ම වෘත්තීය සමිති ව්‍යාපාරයක් අද ගොඩනැඟී තිබෙනවා.
අපි දන්නවා වැඩ කරන ජනතාව, විශේෂයෙන්ම රාජ්‍ය අංශයේ වැඩ කරන සහෝදර සහෝදරියන් මේ ආණ්ඩුව ගොඩනඟා ගැනීමේදී විශාලතම කාර්යභාරයක් ඉටු කළා. සාමාන්‍යයෙන් ඕනෑම මැතිවරණයකදී ඉස්සෙල්ලම එන්නේ තැපැල් ඡන්ද ප්‍රතිඵල. මෙතන ඉන්න සහෝදර සහෝදරියන් සහ අපේ හාමුදුරුවන් වහන්සේ පාවිච්චි කරපු ඡන්ද. පසුගිය ජනාධිපතිවරණය, මහ මැතිවරණය, පළාත් පාලන මැතිවරණය යන සියලු මැතිවරණවලදී අපට ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු ගෙනාපු ඡන්ද ප්‍රතිඵලය ආරම්භ කර දුන්නේ මෙතන ඉන්න සහෝදරවරු සහ සහෝදරියන් ඇතුළු අපේ රටේ වැඩ කරන ජනතාවයි. ඒ පිළිබඳව බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.
ඒ වගේම මම දන්නවා ඔබ මේ ආණ්ඩුව ගොඩනැඟීම සඳහා ඡන්දය පමණක් පාවිච්චි කරපු අය නෙවෙයි. ඒ සඳහා විශාල වෙහෙසක් දරපු අය. ඡන්දය දීලා ගෙදරට වී සිටි අය නෙවෙයි, මේ ආණ්ඩුව ගොඩනඟා ගැනීම සඳහා විශාල වෙහෙසක් සහ කාර්යභාරයක් කරපු අයයි මෙතන ඉන්නේ.
නීතියේ ආධිපත්‍යය සහ දූෂණය පිටුදැකීම
අපි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්, එනම් වැඩ කරන ජනතාවගේ ආණ්ඩුවක් ගොඩනඟා ගැනීමට අපි වෙහෙසුණේ ඇයි? අපිට අවශ්‍යතාව තිබුණා දීර්ඝ කාලයක් අපේ රට ගමන් කරමින් තිබුණු විනාශකාරී මාවත වෙනස් කර, අලුත් සුබවාදී ජයග්‍රාහී මාවතකට අපේ රට යොමු කරන්න. එහි ප්‍රධාන වශයෙන් අපේ රටේ නීතියේ විධානය සහ ආධිපත්‍යය තහවුරු කිරීමේ වුවමනාව තිබුණා. නීතිය හමුවේ කවුරුත් සමානයි කියන තැනට පණපෙවීමේ ඕනෑකම වෙනුවෙන් අපි කවුරුත් වෙහෙසුණා.
දැන් අප ආණ්ඩුවක් ලෙස වසරකට වැඩි කාලයක් ගතවී තිබෙනවා. මේ රටේ නීතියේ ආධිපත්‍යය හැම කෙනාටම සමානයි කියන ස්ථාවරය අපි ගොඩනඟා තියෙනවා. හැබැයි නීතිය කාටත් සමාන ලෙස ක්‍රියාත්මක වන විට, නීතියට උඩින් හිටපු අයට රිදෙන බව අපි දන්නවා. නීතිය සමානව ක්‍රියාත්මක වෙනවාට හැමදෙනාම කැමැති නැහැ, ඒකට රිදෙන අය ඉන්නවා.
ඊළඟට අපේ රටේ මහජනයාගේ දේපළ හොරකම් කරන එක සහ නාස්ති කරන එක නතර කිරීමේ ඕනෑකම තිබුණා. තමන්ගේ ආයතනවල සිදුවූ වංචා දූෂණ පිළිබඳව විශාල අත්දැකීම් සහ තොරතුරු තිබූ රාජ්‍ය සේවයේ වැඩ කරන සහෝදර සහෝදරියන්ට එය නතර කිරීමේ ඕනෑකම තිබුණා. රාජ්‍ය අංශයේ දේශපාලන අධිකාරිය විසින් සිදුකරනු ලබන වංචා, දූෂණ සහ නාස්තිය අපි නතර කරලා තියෙනවා. ඒ වගේම දූෂිතයන්ට දඬුවම් දීමේ වුවමනාව තිබුණා. එය ඉතාමත් සාර්ථකව කෙරෙනවා. අදත් කෙරෙනවා, හෙටත් කෙරෙනවා, ඉදිරියටත් කෙරෙනවා. හැබැයි එතකොට රිදෙන අය ඉන්නවා.
ඊළඟට ජාත්‍යන්තර වශයෙන් අපේ රට නොසලකා හැරීමට භාජනය වෙලා, ‘කළු රටක්’ බවට පත්වන ආකාරයේ ප්රවෘත්ති නිර්මාණය වෙලා තිබුණා. ඒ වෙනුවට අපේ රට ගැන සුබවාදී ප්රවෘත්ති සහ අලුත් ප්‍රතිරූපයක් ජාත්‍යන්තරය තුළ ගොඩනැඟීමේ වුවමනාව අපිට තිබුණා. මම හිතන්නේ පසුගිය වසර දෙක තුළ අපි අනෝජන් සහෝදරයා නිදහස් කර ගැනීම දක්වා ජාත්‍යන්තර මට්ටමේ විශාල ජයග්‍රහණ ලබා තිබෙනවා.
ආර්ථික කඩාවැටීමට හේතු වූ මූල්‍ය විනයක් නැතිකම
රට පොදුවේ ජයග්‍රහණ අත්පත් කරගන්නවා වගේම තමන්ගේ ආර්ථිකය සහ දරුවන්ගේ අනාගතය පිළිබඳව විශ්වාසදායක ලෙස ආර්ථික හැකියාවක් ගොඩනඟා ගැනීමේ වුවමනාවක් ජනතාවට තිබුණා. මේ ආදි කරුණු මත තමයි ජාතික ජන බලවේගය ආණ්ඩුව හදන්න මේ රටේ වැඩ කරන ජනතාව නායකත්වය අරගෙන කටයුතු කළේ. හැබැයි අපි තේරුම් ගන්න ඕනෑ මේ ගමන ඉස්සරහට යනකොට අපේ රට දිගු කාලයක් අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්තිය, වංචා දූෂණ, නාස්තිය, සහ මූල්‍ය විනයක් නොමැතිකම ප්‍රධාන බලපෑමක් කළ බව. ගෙදරක වුණත් හොඳ ආර්ථික සැලැස්මක් නැත්නම්, වංචා දූෂණ සහ නාස්තිය සිදුවෙනවා නම් හෝ මූල්‍ය විනයක් නැත්නම් ඒ ගෙදර ආර්ථිකය කඩා වැටෙනවා. ඒ නිසා ප්‍රතිපත්තිමය කරුණු වගේම රටක මූල්‍ය විනය වැදගත් වෙනවා.
රටක මූල්‍ය විනය නැති වුණොත් ඒ රට කඩා වැටීමකට භාජනය වෙනවා. අද කරනු ලබන දේවල්වල ප්‍රතිඵල දශක ගණනාවකට පස්සේ එන්නේ. එහෙම ඇවිත් තමයි 2022-23 වෙනකොට අපේ රට ආර්ථික වශයෙන් නන්නත්තාර වුණේ. උදාහරණයක් ලෙස ගත්විට මත්තල ගුවන්තොටුපළ හදන්න ගිහින් තියෙන්නේ මිලියන 30,000යි, පාඩුව මිලියන 70,000යි. එයින් පෙනී යන්නේ මූල්‍ය විනය පිළිබඳ සැලකිල්ලට භාජනය නොකිරීමේ ප්රශ්නයයි. එයාර් ලංකා ආයතනයේ පාඩුව කෝටි 52,000යි. මූල්‍ය විනය පිළිබඳ සැලකිල්ලට භාජනය නොකිරීම මෙයට හේතුවයි.
2022දී රජයේ ආදායමෙන් 79%ක් වැය කර තිබෙන්නේ ණයවල පොලිය ගෙවීමටයි. දිගුකාලීන මූල්‍ය විනයක් නොමැතිවීම, නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නොමැති වීම, වංචා දූෂණ සහ නාස්තිය හේතුවෙන් 2022-23 දී ආර්ථිකය කඩා වැටුණා. මෙම සිදුවීම්වල අවසන් ප්‍රතිඵලය බවට පත් වුණේ ණය ගෙවා ගැනීමට සමත් ඩොලර් ප්‍රමාණයක් රට උපයා ගැනීමට අසමත් වීමයි.
අතීත අර්බුදයේ දුර්දාන්ත අත්දැකීම්
පහුගිය කාලයේ අධිවේගී මාර්ග, මත්තල ගුවන්තොටුපළ, සහ රේල් පාරවල් හැදුවේ ඩොලර්වලින් ණය අරගෙනයි. අන්තිමට ණය ගෙවා ගැනීමට සමත් ඩොලර් ප්‍රමාණයක් උපයා ගැනීමට නොහැකි වීමෙන් ආර්ථිකය කඩා වැටීමට ලක් වුණා. ඊට අමතරව භාණ්ඩාගාරයට දරන වියදමට සරිලන ලෙස රුපියල් ආදායම් නොලැබුණු අතර, මහ බැංකුවෙන් ණය ගනිමින් මුදල් අච්චු ගැසීම සිදුවුණා.
අධික ලෙස මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනය ඉහළ ගොස් භාණ්ඩාගාරයට රුපියල් නොමැති වීමේ ප්‍රශ්නයත් රටට ඩොලර් නැති වීමේ ප්‍රශ්නයත් නිසා ආර්ථිකය බිඳ වැටුණා. එහි ප්‍රතිවිපාක ලෙස ගෑස්, ඉන්ධන, කිරිපිටි නැති වීම සහ ප්‍රවාහන පද්ධතිය කඩා වැටීම සිදුවුණා. රෝහල්වල බෙහෙත් නැති වීම, වෘත්තීයවේදීන් රට අත්හැර යෑම සහ ගෑස් පෝලිම්වල මිනිසුන් මියයෑම වැනි දුර්දාන්ත අත්දැකීම්වලට මුහුණ දීමට සිදු වුණා. අපේ මාතෘභූමිය තුළ අපේ දරුවන්ට නැවත මෙවැනි අර්බුදයකට මුහුණ දීමට ඉඩ නොදෙන රටක් ගොඩනැඟීම තමයි අපගේ එකම අපේක්ෂාව සහ බලාපොරොත්තුව වන්නේ. එවැනි අර්බුදයක් ඉතිහාසයට පමණක් හිමිකම් කියන, අනාගතයේ කවදාවත් සිදු නොවන තත්ත්වයකට අපි මේ රට ගෙන ආ යුතුයි.
පාලකයන්ගෙන්ම ඇරඹුණු මූල්‍ය විනය
එහිදී මූල්‍ය විනය ඉතා වැදගත් වෙනවා. අපි ඒ මූල්‍ය විනය රැකලා තිබෙනවා. මූල්‍ය විනයේ පළමු ආදර්ශය විය යුත්තේ ජනාධිපතිවරයා. ඒ වගේම ඇමති මණ්ඩලය, මන්ත්‍රීවරු.
මහජනයාගේ මුදල් අපි වියදම් කරන විට නැවත අවස්ථා ගණනාවක් සිතා බලනවා මේ මුදල් මෙයට යෙදවීම කොපමණ ප්‍රතිඵලදායකද කියලා. ඒ මූල්‍ය විනයේ ප්‍රතිඵලයක් හැටියට තමයි මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් නොලැබෙන්නේ. ඒ මූල්‍ය විනයේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඇමැතිවරුන්ට ආණ්ඩුවෙන් ගෙවල් නොදෙන්නේ. ඒ මූල්‍ය විනයේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඇමැතිවරු පස්සේ වාහන නොයන්නේ. ඒ මූල්‍ය විනයේ ප්‍රතිඵලයක් හැටියට තමයි මන්ත්‍රී බංගලා අධිකරණ බවට පත් වෙන්නේ. ඒ මූල්‍ය විනයේ ප්‍රතිඵල හැටියට තමයි ඇමැතිවරුන්ගේ බංගලා ව්‍යාපාරික ස්ථාන බවට පත් කරන්නේ. ඒ මූල්‍ය විනයේ ප්‍රතිඵලයක් හැටියටම තමයි හිටපු අගමැතිවරුන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට වෙන් කර තිබුණු ගෙවල් වෙනත් මධ්‍යස්ථාන බවට පත් වෙන්නේ. අපේ රටට මූල්‍ය විනයක් අවශ්‍ය වෙනවා. මතුපිට තලයේ ස්ථාවරභාවය ඇති කළද, අප තවමත් ගැඹුරු ආර්ථික අර්බුදයෙන් උඩට ඇවිත් නැහැ. අපි මේ අවුරුද්දේ රජයේ ආදායම ලෙස රුපියල් බිලියන 6,230ක් අපේක්ෂා කරනවා.
වසර 23කට පසු වාර්තාගත රාජ්‍ය ආදායමක්
2025 වසර ගත්තොත්, අවුරුදු 23කට පස්සේ ලංකා ආණ්ඩුවක් උපයාගත් වැඩිම ආදායම අපි 2025 වසරේදී ලබාගත්තා. 2027 වසරේදීත් අපි ඒ ආදායම උපයනවා. ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට අපි අඩුම 16%ක ආදායම් උපයන තැනක සිටිය යුතුයි. අපේ ඉලක්කය තිබෙන්නේ එය 20% දක්වා වැඩි කිරීමයි. එසේනම් මේ මොහොතේ ආණ්ඩුවකට උපයාගත හැකි උපරිම ආදායම් ප්‍රමාණය අපි උපයමින් සිටිනවා. මෙතෙක් කල් අය - වැය ලේඛනවල 100%ක් අපේක්ෂා කළත් ලැබුණේ 90%ක් හෝ 88%ක් වැනි ප්‍රමාණයක් වුවද, 2025 දී ලංකාවේ පළමු වතාවට අපේක්ෂිත ආදායම 114% දක්වා උපයා තිබෙනවා. ඒ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් විශාල කාර්යභාරයක් ඉටු කළා. මේ අවුරුද්දෙත් අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරනවා.
අපි ආදායම් උපයා ගැනීමට හොඳ තැනකට ඇවිත් තිබුණත්, 2027 දී බිලියන 6,230ක ආදායමක් ලබන විට 2027 දී පොලී ගෙවීමට බිලියන 2,643ක් සහ ණය වාරික ගෙවීමට බිලියන 2,207ක් (එකතුව බිලියන 4,850ක්) වැය වෙනවා. අපි බිලියන 6,230ක් ඉපයූවත්, එයින් බිලියන 4,850ක්ම වැය වෙන්නේ පැරණි ණය සහ පොලී වාරික ගෙවීමටයි. එතකොට අපේ සැලැස්ම විය යුත්තේ ක්‍රමානුකූලව මෙම ණය සහ පොලී වාරික වියදම් අඩු කරගැනීමයි. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා බිලියන 2,185ක් වෙන් කරනවා.
තුලනාත්මක අය - වැය සහ ප්‍රාග්ධන ආයෝජන
රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, ණය වාරික සහ පොලී වාරික ගෙවීමට බිලියන 7,035ක් වැය කරනවා. උපයා ගන්නා මුළු ආදායම ණය සහ පොලී වාරික ගෙවා රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට පවා මදි වන බැවින්, එම වියදම් පියවා ගැනීමට පමණක් බිලියන 805ක් ණයට ගැනීමට සිදු වෙනවා. ඊට අමතරව ප්‍රාග්ධන වියදම් සඳහා බිලියන 2,000ක් සහ සමාජ සුබසාධන සඳහා බිලියන 1,400ක් වෙන් කෙරෙන අතර, ඒ සියල්ල වෙන් කෙරෙන්නේ ණයවලින්. එළඹෙන වසරේදී බිලියන 3,800ක් ණයට ගැනීමට සිදු වන අතර, ගෙවිය යුතු ණය හා පොලී වාරික එකතුව බිලියන 4,850ක්.
ණය ප්‍රමාණය තවදුරටත් වැඩි කළහොත් නැවතත් 2022-2023 පැවති අර්බුදකාරී තත්ත්වයට වැටීමට සිදු වෙනවා. යම් දීමනාවක් හෝ වැටුපක් වැඩි කරන්නේ නම්, එක්කෝ තවදුරටත් ණය ගත යුතුයි. නැතහොත් සෞඛ්‍යයට, අධ්‍යාපනයට හෝ ඉදිකිරීම්වලට වෙන් කළ මුදල් කපා හැරිය යුතුයි. එදිනෙදා කාලා බීලා සිටිනවාට වඩා අනාගතය වෙනුවෙන් ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන ගණනක් වෙන් කරමින් රටේ අනාගතය වෙනුවෙන් සැලසුම්සහගතව කටයුතු කරනවා.
අපි ඉතාමත් සැලසුම්සහගත ආර්ථික සැලැස්මක ඉන්නවා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට අපි රුපියල් බිලියන 2,000ක් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කර තිබෙනවා. හොඳට මතක තියාගන්න, අපේ අය - වැය තුලනාත්මකයි. පෞද්ගලිකව මාත් අපි දින ගණනාවක් ඇති තරම් කොළවල එක එක වර්ගයේ ස්තම්භ ප්‍රස්ථාර, වක්‍ර ප්‍රස්ථාර ඇඳ ඇඳ අය - වැය තුලනය කළා.
අය - වැය තුලනය කියන එක වැදගත්. ඒ නිසා මේ අය - වැය ඉදිරිපත් කර තිබෙන්නේ ණය ගෙවීම, ප්‍රාග්ධන වියදම්, වැටුප් සහ සමාජ සුබසාධනය කියන එක තුලනාත්මකව විමසා බලායි. මේක බිඳිනවා නම්, තව පැත්තකට අහිතකර ප්‍රතිඵලයක් එනවා.
අපේ වැටුප් කියන රේඛාව, ඒ කියන ප්‍රස්ථාරය වැඩි කරනවා නම් අපි මොකද කරන්න ඕනෑ? ප්‍රාග්ධන කියන එකෙන් මෙහාට ගන්න ඕන. එහෙම කරන්න බැහැ. ඒ වගේම ණය වාරිකය ගෙවන එකයි, පොලී වාරිකය ගෙවන එකයි අපිට කපන්න බැහැ. අපි ඊට බැඳී සිටිනවා. එතකොට අපේ වියදම්වලින් බිලියන 4,850ක්ම අපිට වෙනස් කරන්න බැහැ. ඒක ගෙවන්න බැඳිලා ඉන්නවා.
රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් අඩු කරන්න බැහැ, වැඩි කරලා මිලියන 2,185ක් ගෙවන්න බැඳී සිටිනවා. එහෙනම් අපිට ඉතුරු වෙලා තියෙන්නේ කොතැනද? සමාජ සුබසාධනයයි, ප්‍රාග්ධන වියදමයි. මම හිතන්නේ අපි කිසිසේත්ම ලෑස්ති නැහැ ප්‍රාග්ධන වියදම් කපන්න. මොකද ඒක තමයි රටේ අනාගත ආයෝජනය. ආණ්ඩුව ආයෝජනය කරන්න ඕන. මම කියන්න කැමැතියි ලංකාවේ ලොකුම ආයෝජකයා ලංකාවේ ආණ්ඩුව. එහෙමයි රටක් ඉදිරියට යන්න ඕනේ.
අපි තුලනාත්මක ලෙස අය - වැය සකස් කිරීමේදී ප්‍රධාන තීන්දු හතරක් ගත්තා. ණය පොලී වාරික ගෙවීම, රාජ්‍ය සේවක වැටුප්, සමාජ සුබසාධනය, ප්රාග්ධනය කියන හතර. හැබැයි අපේ රාජ්‍ය ආදායම ප්‍රමාණවත් වෙන්නේ නැහැ ණය වාරිකය, පොලී වාරිකය, විශ්‍රාම වැටුප්, රාජ්‍ය සේවක වැටුප් ඒ ටිකටත් රාජ්‍ය ආදායම ප්‍රමාණවත් නැහැ. ඒ නිසා තමයි අපි බිලියන 3,800ක් ණයට ගන්නේ. නිකන් හිතන්න, බිලියන 3,800න් බිලියන 2,000ක් ප්‍රාග්ධන වියදම්වලට, 1.4ක් සමාජ සුබසාධනයට වැය කෙරෙනවා. ඉතුරු ටික වැටුප් ගෙවීමට සහ ණය ගෙවීමට වැය කෙරෙනවා.
සෞඛ්‍ය සහ අධ්‍යාපන පද්ධතිය නවීකරණය කිරීම
මේක බිඳින්නේ නැතුව අපි ඉස්සරහට යන්න ඕනේ. හැබැයි එතකොට අපිට සමාජ වගකීමක් තියෙනවා කොහොමද ජනතාවට මේ ප්රතිලාභ ලබා දෙන්නේ කියලා, ජනතාවට ප්රතිලාභ ලැබෙන්නේ කොතැනින්ද. එය හැම කෙනාටම ලැබෙනවා. රාජ්‍ය සේවකයාටත් ලැබෙනවා, සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයාටත් ලැබෙනවා, අස්වැසුම ලාභියාටත් ලැබෙනවා. පොදුවේ ජනතාවට ප්රතිලාභ ලැබෙන්නේ කොහොමද. ඒක අපි උඩින් තියෙනවා ඉස්සෙල්ලම.
සෞඛ්‍ය පද්ධතිය දියුණු කිරීම මඟින් පොදුවේ ජනතාවට මෙම ප්රතිලාභ ලැබෙනවා. ඒ නිසා බයෝ මෙඩිකල් (Bio Medical) උපකරණ සියල්ල අවුරුදු තුනක් ඇතුළත ලංකාවේ සියලු රෝහල්වලට ලබාදෙන්න අවශ්‍ය ආරම්භය 2027 දී අපි අරන් තියෙනවා. ලෝකයේ මේ වෙලාවේ බයෝමෙඩිකල් ක්ෂේත්රයේ තියෙන ඉහළම ගුණාත්මකභාවයෙන් යුක්ත උපකරණවලින් අපේ රෝහල් පද්ධතිය නවීකරණය කරනවා. අපි සෑම දිස්ත්‍රික්කයකම තියෙන දිස්ත්‍රික් මහා රෝහල් ටික මධ්‍යම රජයට පවරා ගත්තා. හැම දිස්ත්‍රික්කයකම ඉතාමත් දියුණු උපාංගවලින් සමන්විත රෝහල් පද්ධතියක් අපි හදන්න ඕනේ. ජනතාවට ප්රතිලාභ ලැබෙන්නේ එහෙමයි. අපේ රෝහල් පද්ධතියේ ඇම්බියුලන්ස් සංචිතය, ඇම්බියුලන්ස් 400ක් අවුරුදු 20ට වඩා පැරැණියි. ඒකෙන් 150ක් 200ක් විතර අවුරුදු 25ට වඩා පැරැණියි. අපි සම්පූර්ණයෙන් ක්‍රමානුකූලව මේ පැරැණි ඇම්බියුලන්ස් සංචිතය අයින් කරලා නව ඇම්බියුලන්ස් අපේ රෝහල් පද්ධතියට ලබාදෙනවා.
අපිට ආධාර, ණය ආධාරවලින් ලැබෙන ඒවට අමතරව අපි මේ අවුරුද්දේ අලුතෙන් ඇම්බියුලන්ස් ගේන්න මිලියන 3,000ක් වෙන් කළා. සෞඛ්‍ය පද්ධතිය දියුණු කර ජනතාවට ප්රතිලාභ හැටියට දෙනවා. ඒ වගේම තමයි ආරෝග්‍යා මධ්‍යස්ථාන අපි ආරම්භ කරන්න ඕනේ. ප්‍රාථමික සෞඛ්‍ය සේවය සඳහා සෑම පුරවැසියන් 5,000ත් 10,000ත් අතර ප්‍රමාණයකට තමන්ගේ නිවෙසට කිට්ටු තැනක ආරෝග්‍යා ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයක් අපි ආරම්භ කරනවා. ඒ සඳහා මේ වසරේ මුලපුරා තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
ඒ වගේම අධ්‍යාපනය වැදගත්, ඒ නිසා අපි අධ්‍යාපනයට විශාල වියදමක් දරනවා. ද්විතීයික පාසල් සියල්ලටම මේ වසරේ ෆයිබර් කනෙක්ෂන් ලබා දී අවසන් කරනවා. ඒ වගේම ලබන වසරේ ප්‍රාථමික පාසල්වල ඒ ව්‍යාපෘතිය ආරම්භ කරනවා. ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අපි විශාල වියදමක් දරනවා. ආණ්ඩුව මේ වසරේ වැඩිම වියදම දරලා තියෙන්නේ අධ්‍යාපනය වෙනුවෙන්. එතකොට සමාජයේ ඇති කරන වෙනස්කම්වලින් ජනතාවට ප්රතිලාභ ගලාගෙන එනවා.
ප්‍රවාහන, පානීය ජල සහ සමාජ සුබසාධන ව්‍යාපෘති
ඒ වගේම ප්‍රවාහනය ඉතා වැදගත් වෙනවා. ඒ සඳහා අපේ විද්‍යුත් දුම්රිය ටික හදන්න ඕනෑ, රේල් පාරවල් හදන්න ඕනෑ, අධිවේගී මාර්ග හදන්න ඕනෑ. අපි වායු සමීකරණය කරන ලද බස් රථ 600ක් ගේනවා දුර ධාවනය සඳහා. ග්‍රාමීය පළාත්වලට බස් රථ ගෙනැත් දෙනවා. නගරවලට මෙට්‍රෝ බස් ගෙනැත් දෙනවා. අපි ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කරනවා, එහෙමයි රටවල් දියුණු වෙන්නේ. රටවලට ප්‍රධාන සේවාවන් තුනක් තියෙනවා. සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහනය, ඊළඟට පානීය ජලය. අපි මේ අවුරුද්දේ තීරණයක් කළා ගමේ කොපමණ වතුර ධාරිතාවක් තියෙනවද, කොපමණ ධාරිතාවෙන් යුක්ත ටැංකියක් ගහන්න ඕනද, කොච්චර ප්‍රදේශයකට වතුර දෙන්න පුළුවන්ද කියලා ශක්‍යතා අධ්‍යයනයක් කරන්න.
ඒ වගේම ශක්‍යතා අධ්‍යයනයන් සිදු කර තිබෙන සියලුම පානීය ජල ව්‍යාපෘතිවලට 2027 අවුරුද්දේ අපි ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. ඒ වගේම පානීය ජල ව්‍යාපෘති ආරම්භ කරන්න පුළුවන් කියලා තෝරගෙන තියෙන බොහෝ තැන්වලට ශක්‍යතා අධ්‍යයනය සඳහා මුදල් වෙන් කරලා තියෙනවා. ඒ නිසා අපි ඒ පැත්තෙන් කරුණු කිහිපයක් සිතුවා. ග්‍රාමීය පාරවල්, පානීය ජලය, එතකොට සමාජයේ ඇති කරන අලුත් ප්‍රතිසංස්කරණවලින් පුරවැසියන්ට ප්රතිලාභ ලැබෙනවා.
ඒ වගේම අපේ රටේ සමාජ කණ්ඩායම් බලාගන්න ඕන. වැඩිහිටියෙක් ඉන්නවා රැකබලාගන්න කෙනෙක් නැත්නම් ආණ්ඩුව බලාගන්න ඕන. ආබාධිත පුරවැසියෙක් ඉන්නවා රැකබලාගන්න කෙනෙක් නැත්නම් ආණ්ඩුව බලාගන්න ඕන. ආණ්ඩුව මේ රටේ පුරවැසියන් බලාගන්න ඕන. අපි එනකොට ආබාධිත දීමනාව තිබුණේ රුපියල් 7,500යි, අද ඒක 12,500යි. අපි එනකොට වකුගඩු දීමනාව තිබුණේ 7,500යි, අද ඒක 12,500යි. ඊළඟට අස්වැසුම සඳහා 2027ට බිලියන 340ක් (රුපියල් කෝටි 34,000ක්) වෙන් කරලා තිබෙනවා. අස්වැසුම ප්‍රජාව බලාගන්න ඕනෑ. එහෙමයි ආණ්ඩුවක අය - වැයකින් තුලනය වෙන්න ඕන, දැන් අපිට ඒක කපන්න කියලද මේ කියන්නේ?
ආණ්ඩුවෙන් කවදාවත් නොදුන් ආකාරයේ පොහොර සහනාධාරයක් ලබා දීමට අපි ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. අපි මේ අවුරුද්දේ කුඩා තේ වතු හිමියන්ට පොහොර මිටියකට රුපියල් 4,000 බැගින් අවුරුද්දකට අවස්ථා දෙකක් ලබා දෙන්න කෝටි 5,000ක් වෙන් කර තියෙනවා. ඊට අමතරව රබර් ඇතුළු නිෂ්පාදනයන් සඳහා පොහොර සහනාධාර ලබා දීලා නිෂ්පාදනය නංවාලීමට කටයුතු කරනවා. ඒවා මඟින් තමයි වක්‍රව රටේ ආර්ථිකය උඩට යන්නේ සහ ප්රතිලාභ ජනතාවට ගලාගෙන යන්නේ.
ජනතාවට දුන් බදු සහන සහ ආදායම් බදු සීමා
විශේෂයෙන්ම ගත්තොත්, අපි පොදු බදු සහන ටිකක් දුන්නා. දීර්ඝ කාලයක සිට ඉල්ලීමක් තිබුණා මුද්‍රිත පොත්වල බද්ද අයින් කරන්න කියලා. ඒක ගැහුවේ 2023 දී. හැබැයි අභ්‍යාස පොත්වල බද්ද ඊටත් කලින්, ආර්ථික අර්බුදයටත් කලින් ඉඳන් තිබුණා; VAT එක තිබුණා. අපි පාසල් පොත්පත්, මුද්‍රිත පොත්පත් සහ අභ්‍යාස පොත්වල බදු සම්පූර්ණයෙන්ම ඉවත් කළා.
එසේම, ආහාර ද්‍රව්‍ය කිහිපයක බදු ඉවත් කරමින් HS Code 800 කට අදාළ සෙස් බද්ද 25% කින් අඩු කළා. ඒ බදු ඉවත් කිරීම නිසා ආණ්ඩුවට ලැබෙමින් තිබූ රුපියල් මිලියන 13,000 ක ආදායමක් අහිමි වී යනවා. නමුත් ජනතාවට සහන දිය යුතු නිසා අපි ඒ තීරණය ගත්තා.
ඊළඟට, උපයන විට බද්ද ලොකු බද්දක් ලෙස තිබුණා. මීට පෙර රුපියල් ලක්ෂයක් පැන්න ගමන් බද්දට යටත් වුණා. නමුත් අපි බද්දට යටත් වන ආරම්භක සීමාව රුපියල් එක්ලක්ෂ හැටදෙදහස් පන්සීයට වැඩි නම් පමණයි.
අපි එන්න කලින් තුන්ලක්ෂ අටදහසක වැටුපක් ගන්න කෙනෙක් 36% බද්දට යටත් වුණා. අද හාරලක්ෂ තිස්තුන්දහසක වැටුපක් ගත්තොත් තමයි 36% බද්දට යටත් වෙන්නේ. අපේ අපේක්ෂාව ඉදිරි අය - වැය මඟින් මෙම 36% බද්දට යටත් වන සීමාව රුපියල් ලක්ෂ 5 දක්වා ඉහළට ගෙන යෑමයි.
මේ බදු සහනය නිසා රාජ්‍ය හා පෞද්ගලික අංශවල ලොකු වැටුප් ගන්නා අයට මාසිකව රුපියල් 36,250 ක උපරිම සහනයක් හිමි වුණා (තමන්ගේ මාසික වැටුපෙන් කැපෙන බද්ද අඩුවීම හරහා). මෙම බදු සහනය නිසා රජයට ලැබීමට තිබූ රුපියල් මිලියන 16,000 ක් අහිමි වන අතර, පසුගිය වසරේ බදු සහනත් එක්ක මිලියන 60,000 කට ආසන්න ආදායමක් රජයට අහිමි වුණා. එසේ වුවත් පොදු සේවාවන් ලබාදීමට සහ රාජ්‍ය හා පෞද්ගලික අංශවලට දීමනා ලබාදීමට අපි කටයුතු කරනවා.
රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් සුරක්ෂිත කිරීම
අපි 2024 සැප්තැම්බර් මාසයේ බලයට ඇවිත් 2025 මුල් මාස 3 සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කළා. 2025 මාර්තු මාසයේදී තමයි අපේ පළමු අය - වැය ඉදිරිපත් කරන්නේ.
අපි, අපේ රටේ රාජ්‍ය සේවය රට ගොඩනැඟීම සඳහා අත්‍යවශ්‍ය යන්ත්‍රණය බව පිළිගන්නා දේශපාලන ව්‍යාපාරයක්. දියුණු වූ හැම රටකම ශක්තිමත් රාජ්‍ය සේවයක් තිබුණා. අපි මොන තරම් තීන්දු තීරණ ගත්තත්, ඒවා පහළට ගලාගෙන යන්නේ රාජ්‍ය යන්ත්‍රණය හරහායි. අපි රාජ්‍ය අංශය දියකර හරින ව්‍යාපාරයක් නෙවෙයි.
රාජ්‍ය සේවයේ ප්‍රධානම ආකර්ෂණය තමයි විශ්‍රාම වැටුප. 2016න් පස්සේ රාජ්‍ය සේවයට බැඳුණු අයගේ විශ්‍රාම වැටුප අහෝසි කරලා තිබුණේ. රාජ්‍ය සේවය දියකර හැරියොත් හෝ විශ්‍රාම වැටුප අහෝසි කළොත් රාජ්‍ය සේවය කඩා වැටෙනවා. ඒ නිසා අපි ජාතික ජන බලවේග රජය ලෙස ආරම්භයේදීම විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ චක්‍රලේඛය අහෝසි කරලා රාජ්‍ය සේවයේ ආරක්ෂාව සහ ආකර්ෂණය නැවත තහවුරු කළා.
2020 ට පෙර විශ්‍රාම ගිය සියලු දෙනාට 2020 වැටුප් තලයට අනුව විශ්‍රාම වැටුප ගෙවීමට තීරණය කළා (අදියර 3 කින්, 3 වන අදියර 2027 දී ලැබෙනවා). ඔබ 2025 විශ්‍රාම ගියත් 2027 ජනවාරි මූලික වැටුපට අනුව විශ්‍රාම වැටුප ගෙවීමට කටයුතු යොදා තිබෙනවා. කිසි දිනක එහෙම වෙලා නැහැ. ඒ වගේම අසීරුතා මධ්‍යයේ වුවද 2024 සහ 2025 විශ්‍රාම ගිය අයට රුපියල් 2,500ක අන්තර්කාලීන දීමනාවක් ලබා දීමටත් තීරණය කර තිබෙනවා. රාජ්‍ය සේවයේ ප්‍රධානතම තැන එතැන කියා මම විශ්වාස කරනවා.
ඉතිහාසයේ ඉහළම මූලික වැටුප් වැඩිවීම
මීට පෙර ලංකාවේ මූලික වැටුප් වැඩිවීම සිදුවුණේ අවුරුදු 10 කට සැරයක් (2006 සහ 2016 දී). නමුත් අපි මෙවර මූලික වැටුප ප්රමුඛ කරගනිමින් විශාල සංඛ්‍යාත්මක සහ ප්‍රතිශතාත්මක වැඩිවීමක් ලබා දුන්නා. ලංකා ඉතිහාසයේ කිසිදිනක මේ හා ප්‍රමාණයකින් මූලික වැටුප වැඩි වී නැහැ. 2025 වසරේදී මේ සඳහා රුපියල් බිලියන 110 ක් (කෝටි 11,000 ක්) වෙන් කර තිබෙනවා. සංඛ්‍යාත්මකව ගත්විටත්, ප්‍රතිශතාත්මක ලෙස ගත්විටත් වැඩියි. ආරම්භක වෛද්‍යවරයකුගේ මූලික වැටුප තිබුණේ රු. 54,290 යි. 2027 ජනවාරි වන විට එය රු. 94,150 දක්වා 73% කින් වැඩි වෙනවා.
අපි වැටුප් කප්පාදු කර නැහැ. අපි වෘත්තීය සටන් වෙනුවෙන් ගොඩනැඟුණු දේශපාලන ව්‍යාපාරයක්. යුක්තිසහගත සටන් වෙනුවෙන් හැමදාම සටන් කරන සහ පෙනී සිටින ව්‍යාපාරයක්.
විදුහල්පති 1 ශ්‍රේණිය මූලික වැටුප තිබූ රු. 58,000 සිට රු. 103,000 දක්වා 77% කින් වැඩි වෙනවා. ආරම්භක ගුරුවරයකුගේ 3-2 ශ්‍රේණිය මූලික වැටුප රු. 31,000 සිට රු. 53,000 දක්වා 68% කින් වැඩි වෙනවා. ගුරුවරුන්ගේ (1 වැනි පන්තිය) මූලික වැටුප රු. 56,000 සිට රු. 98,100 දක්වා 73% කින් වැඩි වෙනවා.
මීට අමතරව, නතර වී තිබූ දේපළ ණය ලබාදීම නැවත ආරම්භ කළ අතර, රුපියල් 100 ක වැටුප් වර්ධකය 180 වුණා, රුපියල් 1,000ක වැටුප් වර්ධකයක් තිබුණු කෙනාට රුපියල් 1,800 වුණා. ඇතැම් අය 1,000 වැටුප් වර්ධක දෙකක් අරගෙන තිබෙනවා. එතකොට 3,600කින් වැටුප් වර්ධකය පමණක් වැඩි කර තිබෙනවා.
විශේෂ ක්ෂේත්‍ර සහ වතු සේවකයන් වෙනුවෙන් ගත් පියවර
අපි අය - වැයෙන් විශේෂ ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කළා. පොලීසියේ 68,000 ක් පමණ සිටිනවා. රාජකාරි වේලාවන්හිදී වැඩිම අවදානමකට ලක්වන සහ පැය 18-24 වැඩ කරන පොලිස් නිලධාරීන් වෙනුවෙන් විශේෂ දීමනා සකස් කළා. අපි ඔවුන්ව බලාගත යුතුයි. ඒ වගේම හමුදා නිලධාරීන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් සඳහා නියමයක් තිබෙනවා. ඒකට අනුව ආහාර වියදම ගළපනවා. ඒවා යුක්තිසහගත ප්‍රශ්න.
බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව හා දීමනා කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා, අද බන්ධනාගාර නිලධාරීන් ලෙස සේවයට එක් නොවන තත්ත්වයක් ඇති වී තිබෙනවා. එසේනම් අපි ඔවුන්ව බලාගත යුතුයි. ක්ෂේත්‍ර නිලධාරීන්ගේ තිබූ දීමනා විෂමතාවක් තිබුණා. අපි විෂමතාව තුරන් කරන්න ගියේ නැහැ. දීමනාව 100%කින් වැඩි කළා. මේ වැටුප් සංශෝධන නිසා රජයට අලුතෙන් බිලියන 82 ක් වැය වන අතර, එය අය - වැය තුළ කළමනාකරණය කරමින් බිලියන 49 දක්වා ගැළපුවා. ලබන වසරේදී රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා වැඩිවීම වෙනුවෙන් මුළු රුපියල් බිලියන 160 ක් (කෝටි 16,000 ක්) වැය කිරීමට නියමිතයි.
පෞද්ගලික අංශයේ Manpower ඒජන්සි මඟින් සේවකයන් ලබා ගැනීමේදී එම සේවකයන්ට හිමිවිය යුතු අවම වැටුප්, ආරක්ෂාව, දීමනා සහ EPF/ETF පිළිබඳ ප්රමිතීන් රජය මඟින් තීරණය කර නියාමනය කිරීමට කැබිනට් මණ්ඩල තීරණයක් ගත්තා.
වතු සේවකයන්ගේ දෛනික වැටුප වැඩි කිරීමේදී වතු සමාගම්වලට දරාගත හැකි ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් වතු සමාගම් මඟින් රුපියල් 200 ක් ලබා දෙන විට, රජය මඟින් රුපියල් 200 ක මුදලක් ලබා දී දෛනික වැටුප රුපියල් 1,750 දක්වා ඉහළ නැංවීමට කටයුතු කළා. ඒ සඳහා කෝටි 5,000ක් වියදම් කළා.
ලංකා ඉතිහාසයේ පළමු වතාවට වතු සේවක සේවිකාවන් සඳහා රුපියල් 200 ක දෛනික පැමිණීමේ දීමනාවක් වෙනුවෙන් රජයෙන් කෝටි පන්දාහක මුදලක් වෙන් කර දුන්නා.
දශක ගණනාවක් නොගෙවූ EPF/ETF හිඟ මුදල් පියවීම
ලංකා සීනි සමාගම, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ලංකා ධීවර සංස්ථාව, NLDB, ඇල්කඩුව වැවිලි සමාගම, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, නෝත් සී සමාගම සහ පිඟන් කර්මාන්ත සංයුක්ත මණ්ඩලය වැනි ආයතනවල සේවය කර විශ්‍රාම ගිය සේවකයන්ගේ ඊපීඑෆ් (EPF), ඊටීඑෆ් (ETF) සහ පාරිතෝෂික ගෙවා තිබුණේ නැහැ. පඩියෙන් 8% ත් 10% ත් අතර ප්‍රමාණයක් කපා ගත්තත් එම අරමුදල්වලට මුදල් බැර වී නොතිබූ නිසා දශක ගණනාවක් තිස්සේ මේ සේවකයන් අනාථ වී සිටියා.
අපේ ආණ්ඩුව භාණ්ඩාගාර මුදලින් රුපියල් මිලියන 10,949ක් වෙන් කර ඒ සියලු සේවකයන්ගේ EPF, ETF සහ Gratuity හිඟ මුදල් ගෙවා දැමීමට කටයුතු කළා. ඊට අමතරව පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල තීරණයකින් තවත් මෙසේ මුදල් නොගෙවා තිබූ ආයතන කිහිපයක හිඟ මුදල් ගෙවීමටද අපි තීරණය කළා.
මේ ආණ්ඩුව කියන්නේ රාජ්‍ය සේවකයන් පිළිබඳ විශ්වාසය තබපු සහ රාජ්‍ය සේවකයන් රැකබලා ගන්නා ආණ්ඩුවක්. පාරට බැස කෑගසන තෙක් හෝ උද්ඝෝෂණ, වැඩවර්ජන කරන තෙක් නොසිට, කෑගසන්නටත් කලින් හඳුනාගත් ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට අපි කටයුතු කරනවා. සේවකයන්ට කෑගසන්නට අවස්ථාවක් නොතබාම අපි මූලික වැටුප් වැඩි කළා. වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කරමින් වෛද්‍යවරුන්ගේ වාහන පර්මිට් ප්රශ්නය වැනි ගැටලු හඳුනාගෙන ඒ සඳහාද විසඳුම් ලබාදෙමින් සිටිනවා. අපි වැඩ කරන අයගේ ප්‍රශ්න දන්නේ නැති අය නොවෙයි. අපි මේ ගැටලු දන්නවා. හැම දෙනාගේම ප්‍රශ්න අපි කෑගහන්න කලින් විසඳනවා. කෑගැහුවට විසඳුම් දෙන්න බැරි ඒවට විසඳුම් දෙන්න බැහැ. ඒක තමයි සත්‍ය තත්ත්වය.
ණය බර අඩු කර භාණ්ඩාගාර සංචිත ශක්තිමත් කිරීම
2022 වර්ෂයේදී රජයේ ආදායමෙන් 79%ක්ම ගියේ ලබාගෙන තිබූ ණය සඳහා පොලිය ගෙවීමට පමණයි. නමුත් 2026 අවුරුද්ද වන විට රාජ්‍ය ආදායමෙන් පොලිය ගෙවන ප්‍රතිශතය 40% දක්වා අඩු කරගැනීමට අපට හැකිවී තිබෙනවා.
2022 දී අපේ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 114%ක්ව පැවති රාජ්‍ය ණය ප්‍රමාණය, 2025 වන විට 97% දක්වා අඩු කර ගැනීමට හැකිවුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වූ එකඟතාව අනුව 2032 වන විට ණය ප්‍රමාණය 97% දක්වා අඩු කර ගැනීම අපගේ ඉලක්කයයි. අපි 2027 වන විටම ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස අපේ ණය ප්‍රමාණය 97%ට අඩු කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබුණද අසීමිතව ණය නොගෙන, අය - වැයෙන් අනුමත කරගත් බිලියන 3,800ක උපරිම ණය සීමාව ඇතුළත පමණක් ණය ගැනීම. අපේ ණය ගැනීමේ අවශ්‍යතාව උපරිම බිලියන 3,800යි. ඕනෙ නම් මේක තව දාහකින් වැඩි කරලා අනෙක් ඒවා වැඩි කරන්න පුළුවන්. එහෙම වැඩක් නැහැ. එය නැවත අපේ ආර්ථිකයටත්, ජනතාවටත් බලපෑමක් ඇති කරනවා. එහෙම රටක් ගැන හිතන්නවත් බැහැ. අපි ප්රශස්ත ණයකරණයක සිටිනවා. එවිට තමයි රටක් ලෙස අපි ගැන විශ්වාස තබන්නේ. අපි මේ වසරේ බිලියන 6,230 ආදායමක් අපේක්ෂා කරනවා. අපිට මුළු වසර පුරාම මේ බිලියන 6,230 ලැබෙනවා. දැන් අපි ළඟ සල්ලි තිබෙන නිසා මේ ජනවාරි මාසයේ අධිවේගී මාර්ග හදන්න පටන් ගන්නවා. ජනවාරි මාසයේ සිටම ඉංගිරිය-ගලේවෙල අධිවේගී මාර්ගය වැනි සංවර්ධන ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් කැඳවා දෙසැම්බර් මුල සිටම වැඩ පටන් ගැනීමට හැකිවී ඇත්තේ රජය සතුව මුදල් සංචිත පවතින නිසයි.
මූල්‍ය වෙළෙඳපොළේ යම් පාර්ශ්ව ඉහළ පොලී අනුපාත ඉල්ලන විට ආණ්ඩුව වැඩි පොලියට ණය නොගෙන, රජය සතු මුදල් සංචිතය භාවිත කරමින් මූල්‍ය වෙළෙඳපොළේ පොලී අනුපාත පාලනය කිරීමට ආණ්ඩුවට හැකිවී තිබෙනවා. එමෙන්ම ස්වාභාවික ආපදා හෝ හදිසි තත්ත්වයන් පැමිණි විට අය - වැය වෙන්කිරීම් නොකපා, පවතින සංචිතවලින් මුදල් වියදම් කර සහන සැලසීමටද අපට හැකිවී තිබෙනවා. අය - වැයෙන් වෙන් කළ කිසිදු ශතයක් කප්පාදු නොකර එල්නිනෝවලට වියදම් කරන්න අපි ලෑස්තියි.
ආණ්ඩුව අර්බුදයට යැවීමේ උගුල් සහ දේශපාලන උපක්‍රම
තෙල් මිල ඉහළ ගියාම ජනතාවට දරාගන්න බැහැ. අපි මොකද කළේ? අප්‍රේල් සිට මාස 5ක් ඩීසල් ලීටරයකට රුපියල් 100 ගණනේ දුන්නා, පෙට්‍රල් ලීටරයකට රුපියල් 20 ගණනේ දුන්නා. සැප්තැම්බර් මාසයේ තෙල් මිල ටිකක් අඩු වුණා. අපි සහනාධාරය දුන්නේ නැහැ. ඔක්තෝබර් මාසයේ ආයේ වැඩි වුණා. ආයේ ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් ආයේ යුද්ධය තීව්ර වුණා, තෙල් මිල ඉහළ ගියා. අදත් අපි ඩීසල් ලීටරයකට රුපියල් 70ක සහනාධාරයක් දෙනවා. ආණ්ඩුව ගාව සල්ලි තිබුණේ නැත්නම් කොහොමද වෙන් කරන්නේ? අර වෙන් කරලා තියෙන සල්ලි කප්පාදු කරන්න ඕනේ. එතකොට කට්ටිය කියනවා ඇයි ආණ්ඩුව ගාව සල්ලි තියෙනවා නම් පඩි වැඩි කරන්න බැරි කියලා. දැන් ආණ්ඩුව ගාව සල්ලි ටිකක් තියෙනවා තමයි, හැබැයි එහෙම තමයි ආණ්ඩු කරන්නේ. ඒවට තමයි ආණ්ඩු කියන්නේ. ලුණු, පොල් කට්ටටම හිඳෙන්නේ නැහැ ආණ්ඩු. ඒ ඉස්සර ආණ්ඩු. 2022 දී භාණ්ඩාගාර ගිණුම තිබුණේ බිලියන 700ක සෘණ අගයක.
බැංකු අයිරාවෙන් දිව්ව ආණ්ඩුව තමයි අද භාණ්ඩාගාරයේ බිලියන ගණනක තැන්පතුවක් තියාගෙන ඉන්නේ. ඒවා තියෙන්නේ මොකටද? ඒවා තියෙන්නේ රටට. පොලී අනුපාතිකය පාලනය කරන්න, හදිසි අවස්ථාවකට වියදම් කරන්න අපි රැස් කරනවා. ඊට පස්සේ අපි සංවර්ධන වැඩ ටික ආරම්භයේ සිට පටන් ගන්නවා සල්ලි තියෙන නිසා. අපි ඉතාම සැලසුම්සහගතව මේ ගමන යනවා. හැබැයි සමහර අය කල්පනා කරනවා අපිව අර්බුදයට යවන්න. අර්බුදයට යවන්න පුළුවන් ක්‍රමය මොකක්ද? තව තව ඉල්ලලා ඉල්ලලා, අරගෙන අරගෙන වට්ටන්න පුළුවන්. ඉල්ලන හැම එකටම බය වෙලා, යටත් වෙලා දෙන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? වැටෙනවා. ඉල්ලන හැම කෙනාම තේරුම් ගන්න ඕනේ දෙන්න පුළුවන් ප්‍රමාණය දීලා තියෙනවා කියන එක. මොකද මේකේ සැලසුමක් තියෙනවා ඉල්ලලා ඉල්ලලා අයවැයට බර ඇති කරලා, වියදම්වලට බර ඇති කරලා අර්බුදයට පත් කරන්න. ඒගොල්ලෝ දිගටම කිව්වා ඊළඟ අප්‍රේල්වල අර්බුදය එනවා කියලා.
“ඊළඟ නොවැම්බර්වල අර්බුදය එනවා” කියනවා. කොහොමද අර්බුදයක් එන්නේ? භාණ්ඩාගාරයට දරාගන්න බැරි ප්‍රමාණයක වියදම් ආවොත් අර්බුදයක් එනවා. අපි ඒ උගුලේ වැටෙන්නේ නැහැ. දෙවෙනි උගුල තමයි සමහර දේශපාලන පක්ෂ තියෙනවා, ඒවට පක්ෂ හැටියට වැඩ කරන්න බැහැ. පක්ෂ බහිනකොටම ජනතාව දන්නවා වැඩේ අසාර්ථකයි කියලා. පක්ෂවල මුහුණු ටික එළියට එනකොටම ජනතාව ඒකෙන් ඉවත් වෙනවා. ඒ නිසා බලනවා මේ පක්ෂ ටික යටට ගිහිල්ලා වෙන පෙරමුණු උස්සන්න පුළුවන්ද කියලා. එකක් තමයි හාමුදුරුවරුන්ගේ පෙරමුණ. පක්ෂ යටට ගිහින් ආගම වෙනුවෙන් කියලා පෙරමුණ උඩට ගන්නවා. පක්ෂ වෙනුවෙන් කිව්වොත් කවුරුත් එන්නේ නැහැ, හැබැයි ආගම වෙනුවෙන් කිව්වොත් භක්තියෙන් එනවා. ජාතිය අනතුරේ, ආගම අනතුරේ කියන්නේ පක්ෂය අනතුරේ වැටුණාමයි.
අපි ඉතාමත් සුහදව අපේ තත්ත්වය සහ පවතින යථාර්ථය පැහැදිලි කළා. අපිට ඒගොල්ලන්ගේ ආධාරය අවශ්‍යයි, අපේ සැලැස්ම සහ වැඩපිළිවෙළ අපි ඉදිරිපත් කළා. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා අනිත් අය වගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හැංගිලා අපි මගහැරලා නැහැ. ඒ වෙනුවෙන් අපි සියලු දෙනාම එකතු වෙලා වැඩ කරමු කියලා ඉල්ලමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි, හැමදෙනාටම ජය වේවායි ප්‍රාර්ථනා කරනවා.
සබැඳි ලිපියක්:
ජනතා හිතවාදී රාජ්‍ය සේවයකට බිලියන 371.8ක ආයෝජනයක්
ජනාධිපතිවරයාගේ සම්පුර්ණ ප්‍රකාශයට අදාල වීඩියෝ සබැඳිය



