වැටුප් වැඩිවීම්වලින් ඔබ්බට ගිය රාජ්‍ය සේවා පරිවර්තනයකට 2027 අයවැයෙන් නව ප්‍රවේශයක්
ඕනෑම රටක ආර්ථික හා සමාජීය සංවර්ධනයේදී රාජ්‍ය සේවයට හිමිවන්නේ අතිශය වැදගත් ස්ථානයකි. රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ සිට ජනතාවට අත්‍යවශ්‍ය සේවා සැපයීම දක්වා වූ පුළුල් වගකීමක් රාජ්‍ය සේවය මත පැවරී තිබේ. එබැවින් රාජ්‍ය සේවකයාගේ ආර්ථික හා වෘත්තීය සුබසාධනය තහවුරු කිරීම මෙන්ම ජනතාවට වඩාත් කාර්යක්ෂම, පහසු සහ ගුණාත්මක සේවාවක් ලබාදීමද රජයක ප්රමුඛ වගකීමකි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද 2027 අයවැයේ 'ආර්ථික ස්ථාවරත්වයෙන් පරිවර්තනීය යුගයකට' යන තේමාව යටතේ රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා දෙස බැලීමේදී මෙම කරුණු දෙක කෙරෙහිම විශේෂ අවධානයක් යොමු කර ඇති බව පෙනී යයි.
රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප් ඉහළ නැංවීම සහ විවිධ දීමනා සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කර ඇති අතර, එයට අමතරව ජනතාවට වඩාත් හිතවාදී රාජ්‍ය සේවයක් ගොඩනැගීම වෙනුවෙන් රුපියල් බිලියන 371.8ක මුදලක් වෙන් කිරීම මෙවර අයවැයේ කැපී පෙනෙන ලක්ෂණයකි.
මෙය හුදෙක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා දීමනා සඳහා කරන වියදමක් නොවේ. රාජ්‍ය ආයතනවල සේවා සැපයීමේ ක්‍රමවේදය, පරිපාලන ව්‍යුහය, ඩිජිටල් තාක්ෂණය භාවිතය සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය යන අංශ ගණනාවක්ම නවීකරණය කිරීම සඳහා වන ආයෝජනයකි.

ජනතා හිතවාදී රාජ්‍ය සේවය වෙනුවෙන් රුපියල් බිලියන 371.8ක්
මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කර ඇති 2027 පුරවැසි අයවැය වාර්තාවට අනුව ජනතා හිතවාදී රාජ්‍ය සේවයක් ගොඩනැගීම වෙනුවෙන් වෙන්කර ඇති මුළු මුදල රුපියල් බිලියන 371.8කි.
එම මුදලින් රුපියල් බිලියන 163.16ක් ප්‍රාග්ධන වියදම් සඳහාත්, රුපියල් බිලියන 208.69ක් පුනරාවර්තන වියදම් සඳහාත් වෙන්කර තිබේ.
මෙම වෙන්කිරීම ප්‍රධාන ක්ෂේත්‍ර හයකට බෙදා තිබීම විශේෂත්වයකි.
ඒ අනුව,
| දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පළාත් සභා හරහා රාජ්‍ය සේවා සැපයීම වෙනුවෙන් රුපියල් බිලියන 174.6ක්.
| මූල්‍ය කටයුතු සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වෙනුවෙන් රුපියල් බිලියන 127.9ක්.
| විදේශ කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 22.36ක්.
| විධායක හා ව්‍යවස්ථාදායක කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 19.88ක්.
| රාජ්‍ය සේවා ඩිජිටල්කරණය වෙනුවෙන් රුපියල් බිලියන 19.53ක්.
| රජයේ මුද්‍රණ හා ප්‍රකාශන කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 7.34ක් වශයෙන් මුදල් වෙන්කර තිබේ.
මෙම සංඛ්‍යා දෙස බැලීමේදී පැහැදිලි වන්නේ රාජ්‍ය සේවය පිළිබඳ රජයේ අවධානය සේවකයන්ගේ වැටුප් හා දීමනා වැඩි කිරීමකට පමණක් සීමා නොවන බවයි. ජනතාවට සේවය ලබාදෙන ආයතනවල පහසුකම් වැඩිදියුණු කිරීම, පරිපාලන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සහ රාජ්‍ය ආයතනවල වගවීම ශක්තිමත් කිරීම ද එහි අරමුණ වී තිබේ.
ගමට සමීප රාජ්‍ය සේවයක්
රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ජනතාවට මුහුණදීමට සිදුවන ප්‍රධාන ගැටලුවක් වන්නේ තමන්ට අවශ්‍ය සේවාවක් ලබාගැනීම සඳහා විවිධ ආයතන වෙත නැවත නැවතත් යාමට සිදුවීමයි. ඇතැම් විට එකම කාර්යය සඳහා ලේඛන රැසක් ඉදිරිපත් කිරීමටත්, දිගු කාලයක් බලා සිටීමටත් සිදුවේ.
මෙම තත්ත්වය වෙනස් කරමින් ජනතාවට සමීප රාජ්‍ය සේවයක් ගොඩනැගීම සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පළාත් සභා හරහා සේවා සැපයීම වෙනුවෙන් රුපියල් බිලියන 174.6ක් වෙන්කර ඇත.
මෙම මුදල යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341ක් හරහා සේවා සැපයීමේදී නියුතු නිලධාරීන්ගේ වැටුප් හා වේතන වෙනුවෙන් රුපියල් බිලියන 42.16ක් වෙන්කර තිබේ.
එමෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නඩත්තු කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා රුපියල් බිලියන 7.2ක්ද, නව කාර්යාල ඉදිකිරීම සහ පවතින ඉදිකිරීම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා රුපියල් බිලියන 2.5ක්ද වෙන්කර ඇත.
දිවයින පුරා ප්‍රාදේශීය කාර්යාල නවීකරණය
වවුනියාව, පුත්තලම, අනුරාධපුරය, දෙහිඅත්තකණ්ඩිය, ඇලපාත, පිටබැද්දර, හෝමාගම, මීගමුව සහ මාලිම්බඩ ඇතුළු ප්‍රදේශවල දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංවර්ධනය කිරීමද මෙම වැඩපිළිවෙළට ඇතුළත්ය.
තවද මාර්ග, වාරිමාර්ග, අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍ර හැර පළාත් සභා යටතේ සිදුකරන නඩත්තු හා පුනරුත්ථාපන කටයුතු සඳහා රුපියල් බිලියන 27.6ක් වෙන්කර තිබේ.
මෙවැනි ආයෝජනයක අවසාන ප්‍රතිලාභය හිමිවිය යුත්තේ සාමාන්‍ය ජනතාවටය. ග්‍රාමීය ප්‍රදේශයක ජීවත් වන පුද්ගලයෙකුට තමන්ගේ අවශ්‍යතාවක් ඉටුකර ගැනීම සඳහා නගරයක පිහිටි ප්‍රධාන රාජ්‍ය ආයතනයක් වෙත යෑමට සිදුවන අවස්ථා අවම කිරීම මෙහි වැදගත් අරමුණකි.
රාජ්‍ය සේවයේ ඩිජිටල් පරිවර්තනය
නවීන රාජ්‍ය සේවයක් පිළිබඳ කතා කිරීමේදී ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් තොරව එය සාක්ෂාත් කරගත නොහැකිය.
අද ලෝකයේ බොහෝ රටවල් රාජ්‍ය සේවා ඩිජිටල්කරණය හරහා ජනතාවට කාලය ඉතිරි කරමින්, පරිපාලන වියදම් අවම කරමින් සහ විනිවිදභාවය ඉහළ නංවමින් සිටී.
මෙම අවශ්‍යතාව හඳුනාගනිමින් 2027 අයවැයෙන් රාජ්‍ය සේවා ඩිජිටල්කරණය සඳහා රුපියල් බිලියන 19.53ක් වෙන්කර තිබේ.
ඒ යටතේ රාජ්‍ය ඩිජිටල් පරිවර්තනය සඳහා රුපියල් බිලියන 9.48ක්ද, රාජ්‍ය ඩිජිටල්කරණ ක්‍රියාවලියට අදාළ ආයතනික ශක්තිමත් කිරීම්, ප්‍රතිපත්ති හා නියාමන කටයුතු සඳහා රුපියල් බිලියන 1.4ක්ද වෙන්කර ඇත.
සයිබර් ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව
රාජ්‍ය සේවාවන්හි සයිබර් ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා රුපියල් බිලියන 0.61ක්ද, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඩිජිටල්කරණය වෙනුවෙන් රුපියල් බිලියන 0.97ක්ද වෙන්කර තිබේ.
මෙහි සැබෑ වැදගත්කම වන්නේ රාජ්‍ය සේවා ලබාගැනීම සඳහා ජනතාවට කාර්යාලවල රස්තියාදු වීමට සිදුවන කාලය අවම කිරීමයි. සහතිකයක් ලබාගැනීම, අයදුම්පතක් ඉදිරිපත් කිරීම, තොරතුරක් ලබාගැනීම හෝ ගෙවීමක් සිදුකිරීම වැනි කටයුතු ඩිජිටල් ක්‍රමවේද ඔස්සේ සිදුකිරීමට හැකි වීමෙන් ජනතාවට මෙන්ම රාජ්‍ය ආයතනවලටද විශාල ප්‍රතිලාභයක් අත්වනු ඇත.
එහෙත් ඩිජිටල්කරණය යනු පරිගණක සහ අන්තර්ජාල පහසුකම් ලබාදීම පමණක් නොවේ. රාජ්‍ය නිලධාරීන් ඒ සඳහා පුහුණු කිරීම, දත්ත ආරක්ෂාව තහවුරු කිරීම සහ ආයතන අතර තොරතුරු හුවමාරුව කාර්යක්ෂම කිරීමද අත්‍යවශ්‍ය වේ.
රාජ්‍ය මුදල් වඩාත් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම
ජනතා හිතවාදී රාජ්‍ය සේවයක් ගොඩනැගීමේදී මහජන මුදල් නිසි පරිදි භාවිත කිරීමද අතිශය වැදගත්ය.
මේ වෙනුවෙන් මූල්‍ය කටයුතු හා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සඳහා රුපියල් බිලියන 127.9ක් වෙන්කර තිබේ.
ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 5.6ක්, රාජ්‍ය ආයතනවල විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමවේදය පුළුල් කිරීම සඳහා රුපියල් බිලියන 0.5ක් සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා තවත් රුපියල් බිලියන 0.5ක් වෙන්කර තිබේ.
යහපාලනය සහ වගවීම ශක්තිමත් කිරීම
එමෙන්ම රාජ්‍ය ආයතනවල සේවා සැපයීම වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා වාහන ලබාදීමට රුපියල් බිලියන 35ක මුදලක්ද වෙන්කර ඇත.
රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම, රාජ්‍ය ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලිය නවීකරණය කිරීම සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය විනිවිදභාවයෙන් යුතුව පවත්වාගෙන යෑම තුළින් මහජන මුදල් නාස්තිය අවම කරගැනීමට අවස්ථාව සැලසේ.
තවද විධායක හා ව්‍යවස්ථාදායක ක්ෂේත්රය තුළ යහපාලනය, සම්බන්ධීකරණය හා වගවීම ශක්තිමත් කිරීම සඳහා රුපියල් බිලියන 19.88ක් වෙන්කර ඇත. දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 2.5ක්ද, ජාතික විගණන පනත ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 4.8ක්ද එයට ඇතුළත්ය.
වැටුප් වැඩිවීමට එහා ගිය වගකීම
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ දීමනා ඉහළ නැංවීම වැදගත් වන්නේ ඔවුන්ගේ ජීවන තත්ත්වය ආරක්ෂා කිරීමත්, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහ අභිප්‍රේරණය ශක්තිමත් කිරීමත් සඳහාය. එහෙත් වැටුප් වැඩිවීමකින් පමණක් ජනතාව අපේක්ෂා කරන ගුණාත්මක රාජ්‍ය සේවයක් බිහිකළ නොහැකිය.
ඒ සඳහා රාජ්‍ය සේවකයා තුළ වගකීම, විනය, කාර්යක්ෂමතාව සහ ජනතාවට සේවය කිරීමේ ආකල්පය වර්ධනය විය යුතුය.
රුපියල් බිලියන 371.8ක මෙම වෙන්කිරීමේ සැබෑ වටිනාකම තීරණය වන්නේ එම මුදල් වැය කිරීමෙන් පසුව ජනතාවට ලැබෙන ප්‍රතිඵල මතය. රාජ්‍ය ආයතනවල සේවා සැපයීම වේගවත් වන්නේද? ජනතාවගේ කාලය හා මුදල් ඉතිරි වන්නේද? දූෂණය හා අකාර්යක්ෂමතාව අවම වන්නේද? රාජ්‍ය ආයතන ජනතාවට වඩාත් වගකියන ආයතන බවට පත්වන්නේද? යන්න එහි සාර්ථකත්වය මැනීමේ ප්‍රධාන නිර්ණායක විය යුතුය.
එසේම මෙම මුදල් වෙන්කිරීම් නිසි සැලසුමකට අනුව, විනිවිදභාවයෙන් සහ කාර්යක්ෂමව භාවිත කිරීම රාජ්‍ය ආයතනවල වගකීමකි.
ආර්ථික ස්ථාවරත්වයෙන් පරිවර්තනීය යුගයකට යන ගමනේදී රාජ්‍ය සේවය ද පරිවර්තනය විය යුතුය.
(සටහන | ජේ. මුණසිංහ )



