ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල සංගමයේ (IORA) 25 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට සමගාමීව, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අතර විශේෂ ද්විපාර්ශ්වික හමුවක් නවදිල්ලි නුවරදී පැවැත්විණි.
දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ ආර්ථික සබඳතා නව මානයකින් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ බව අමාත්‍ය විජිත හේරත් සිය නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සඳහන් කර තිබේ.
මොකක්ද මේ 'අයෝරා' (IORA) සංගමය? සාමාන්‍ය ජනතාවට ඇති වැදගත්කම කුමක්ද?
සරලවම කිවහොත්, 'අයෝරා' යනු ඉන්දියානු සාගර කලාපයට අයත් රටවල් 23ක් එකතු වී ගොඩනඟා ගත් දැවැන්ත වෙළෙඳ සහ ආර්ථික එකමුතුවකි.
ලෝකයේ බහාලුම් නැව්වලින් අඩකටත් වඩා ගමන් කරන්නේත්, ලෝක තෙල් ප්‍රවාහනයෙන් තුනෙන් දෙකක් සිදුවන්නේත් අපේ රට පිහිටි මේ ඉන්දියානු සාගරය හරහාය.
එබැවින්, මෙම සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු වීම සහ රටවල් අතර වෙළෙඳ බාධක ඉවත් වීම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සෘජුවම බලපායි. අපේ වරායන්ට වැඩිපුර නැව් පැමිණීමටත්, ධීවර කර්මාන්තය සහ සංචාරක ක්ෂේත්‍රය දියුණු කර ගැනීමටත් මෙම සමුළුවේ තීරණ ඉතා වැදගත් වේ.
ශ්‍රී ලංකාවට හිමි සුවිශේෂී නායකත්ව භූමිකාව
2023 වසරේ සිට 2025 දක්වා අයෝරා සංගමයේ සභාපතිත්වය දැරුවේ ශ්‍රී ලංකාවයි.
වර්තමානයේ ඉන්දියාව එහි සභාපතිත්වය දරන අතර, හිටපු සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකාව තවමත් එම සංගමයේ ප්‍රතිපත්ති තීරණය කරන ප්‍රධානතම ත්‍රිපුද්ගල නායකත්ව මණ්ඩලයේ (Troika) සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි.
විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයට අනුව, කලාපීය ආර්ථික සහයෝගීතාව, සමුද්‍රීය ආරක්ෂාව සහ තිරසර සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සිය උපරිම දායකත්වය ලබා දීමට සූදානම්ය.
ඉන්දු - ලංකා සබඳතාවල නව දිශානතිය
ඊයේ (26) දිවයිනෙන් පිටත්ව ගිය අමාත්‍ය විජිත හේරත් ප්‍රමුඛ ශ්‍රී ලංකා නියෝජිත පිරිස, අද (27) පැවැත්වෙන 25 වැනි අයෝරා අමාත්‍ය මණ්ඩල රැස්වීමට එක්ව සිටිති. ඊට පෙර නොවැම්බර් 25 සහ 26 දෙදින තුළ කලාපීය රටවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටු රැස්වීම් පැවැත්විණි.
විදේශ කටයුතු මෙන්ම විදේශ රැකියා සහ සංචාරක ක්ෂේත්‍රය ද භාර අමාත්‍යවරයා ලෙස විජිත හේරත් මෙම සමුළුවට සහභාගී වීම, ඉන්දියාව ඇතුළු කලාපීය රටවලින් මෙරටට නව ආයෝජන, රැකියා අවස්ථා සහ සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් බව විදෙස් සබඳතා විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
වැඩිදුර තොරතුරු ඇතුළත් මූලාශ්‍ර සබැඳිය
අමාත්‍ය විජිත හේරත් මහතාගේ නිල සටහන:



