The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නන්දලාල්ගේ පොලී කාලබෝම්බය පුරසාරම් ආණ්ඩුවම හාන්සි කරයි

Awara

Awara

November 24, 2026 • 5:45 PM

නන්දලාල්ගේ පොලී කාලබෝම්බය පුරසාරම් ආණ්ඩුවම හාන්සි කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසරට අලුත් අයවැයක් ඉදිරිපත් කරමින් ආණ්ඩුව පුරසාරම් දොඩමින් ආතල් ගනිමින් සිටින අතරේ මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ කාලබෝම්බයක් පත්තු කළේය.
  • ඒ බෝම්බයෙන් දැන් ආණ්ඩුවට බරපතළ තුවාල සිදුව ඇති අතර ඇතමුන්ට කථා කරගැනීමටවත් නොහැකි තරමට බරපතළ තත්ත්වයක් මතුව තිබේ.
  • ඒ අනුව මාස 26ක් ගෙවුණු තැන ආණ්ඩුවේ ඇත්ත දැන් දැන් දිස්වෙමින් තිබේ.
  • ප්‍රතිපත්ති පොලී අනුපාතය පදනම් අංක 25කින් ඉහළ දමමින් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මේ කාලබෝම්බය පත්තු කළේ පහුගිය 19 වැනිදාය.
අකුරු ප්‍රමාණය (Font Size):

2027 වසරට අලුත් අයවැයක් ඉදිරිපත් කරමින් ආණ්ඩුව පුරසාරම් දොඩමින් ආතල් ගනිමින් සිටින අතරේ මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ කාලබෝම්බයක් පත්තු කළේය. ඒ බෝම්බයෙන් දැන් ආණ්ඩුවට බරපතළ තුවාල සිදුව ඇති අතර ඇතමුන්ට කථා කරගැනීමටවත් නොහැකි තරමට බරපතළ තත්ත්වයක් මතුව තිබේ. මාලිමා ආණ්ඩුවට කඩේ ගිය සමහරු ගොළුවී සිටිති. තවත් අය බිහිරන්වී සිටිති. ඒ අනුව මාස 26ක් ගෙවුණු තැන ආණ්ඩුවේ ඇත්ත දැන් දැන් දිස්වෙමින් තිබේ.

ප්‍රතිපත්ති පොලී අනුපාතය පදනම් අංක 25කින් ඉහළ දමමින් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මේ කාලබෝම්බය පත්තු කළේ පහුගිය 19 වැනිදාය. පෙර පැවති සියයට 8.75ක පොලී අනුපාතය සියයට 9ක් දක්වා ඉහළ නංවන බව ඔහු කීවේය. දේශීය හා ගෝලීය ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹි බව ඔහු කියූවත්, පුරසාරම් දෙඩූ ආණ්ඩුවේ 159 ටම ඊට දෙන්නට හරිහමන් උත්තරයක් අද නැතිව තිබේ.

උද්ධමනය ඉහළ යාම සහ වෙළඳපොළ හැකිලීම


2024 සැප්තැම්බරයේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා රට භාරගනිද්දී, උද්ධමනය -0.50% ව තිබුණි. එහෙත් අද මේ සටහන ලියන නොවැම්බර් මාසය වනවිට එය 8.5%ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2022 වසරේ සැප්තැම්බර් මාසයේදී 69.80%ක උද්ධමනයක් තිබූ රටක් අනුරට ලැබෙද්දී -0.5% දක්වා පහළ දමා තිබූ බව මෙහිදී සිහිපත් කළ යුතුමය. දැන් මහබැංකු අධිපති කියන ආකාරයට උද්ධමන අනුපාතයත් 9%ක් දක්වා ඉහළ යාමේ අවදානමක්ද ඇතිව තිබේ.

පොලී අනුපාතය ඉහළ දැමීම මෙරට ආර්ථිකයට යහපත් බලපෑමක් නොවනු ඇත. කරන්නම දෙයක් නැති තැන එහෙමවත් ගොඩ යන්නට ඕනෑය කියන කාරණය ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දමමින් මහබැංකු අධිපති සිදුකළ ප්‍රකාශයෙන් ගම්‍යවන අවසානාත්මක ප්‍රකාශනය වී තිබේ.

මේ තුළ ඇති බරපතළම තත්ත්වය වන්නේ, උද්ධමනය ඉහළ ගොස් භාණ්ඩ මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමට පැමිණීමයි. ආර්ථික විද්‍යාත්මකව එම තත්ත්වය, වෙළඳපොළ සේවා ලබාගැනීමේ හැකියාව ජනතාව තුළ උදාසීන කිරීමක් බව පැහැදිලිය. කෙටියෙන්ම කියතොත් එය වෙළඳපොළ හැකිලවීමකි.

තවත් පැත්තකින් ගත්විට 9%ක් දක්වා මේ පොලී අනුපාත ඉහළ දැමීම හරහා ව්‍යාපාරික ණය පොලිය (Business Loan Rates) වැඩිවනු ඇත. ව්‍යාපාර සංවර්ධනය අඩුවීමට එය හේතුවක් වනු ඇත. මුදල් සංසරණය හැකිලීමත්, ආර්ථිකය වර්ධනය නොවී එක තැන පල්වීමත් මේ හරහා සිදුවනු ඇත. එසේනම් ආර්ථිකය සංකෝචනය කිරීම, රටක ඉදිරි ගමනට බාධාවකි. දැන් ආණ්ඩුවට ඊට දෙන්නට උත්තරයක් නැත.

නීති කඩකිරීම සහ 7% වර්ධන ඉලක්කයේ බොරුව


භාණ්ඩාගාරය උතුරා යමින් ඇතැයි ආණ්ඩුව කයිවාරු ගැහුවත්, මහබැංකු අධිපතිවරයා එහෙම දෙයක් කියුවේ නැත. ජනාධිපතිගේ ආර්ථික උපදේශක හුලංගමුවත්, මහබැංකු අධිපති නන්දලාලුත් එක්ව මේ ආර්ථිකය ගොඩදායි කියා ජනාධිපති අනුර ඇතුළු ආණ්ඩුව තවමත් සිතා සිටිනු නොඅනුමානය.

එහෙත් ඔවුන්ට මෙය විසඳීමට නොහැකි බව දිනෙන් දින උද්ධමනය වැඩිවීම හරහා පැහැදිලිය. ඉන් ගම්‍ය වන්නේ, එය හුලංගමුවගේ, නන්දලාල්ගේ පමණක් නොව ආණ්ඩුවේම පවතින නොහැකියාවේ සැබෑ තත්ත්වය බවය. උද්ධමනය 3%ත් 7%ත් අතර පැවැතිය යුතු බව මෙරට නීතියෙන් සේම එකඟතා අනුවත් සම්මත කළ කරුණකි. එහෙත් මේ වනවිටත් මේ ආණ්ඩුව එම එකඟතාව පවා කඩකර ඇති බව පෙනේ. මේ එකඟතා කඩකිරීම යනු නීතිය හමුවට වුවද, යා හැකි බරපතළ තත්ත්වයකි.

වත්මන් ආණ්ඩුව තවත් බොරුවක් කියන අයුරු පසුගිය දිනවල පෙනෙන්නට තිබුණි. එනම් ආර්ථික වර්ධනය 7%ක මට්ටමක පවත්වාගෙන යනවා කියන පට්ටපල් බොරුවය. ජනතාව සූරාගෙන කන තරමට බදුබර පටවා එවැනි ඉලක්කයකට යන්නේ කෙසේද? ඒ ගැන ප්‍රශ්න කළවිට ආණ්ඩුව නිරුත්තරය.

ව්‍යවසායකයින්ට, සමාගම්වලට ආයෝජන ගැන, සිය කර්මාන්ත ගැන හිතන්නවත් බැරි තරමට ආණ්ඩුව ඔවුන් බෙල්ලටම හිරකර තිබේ. තෙල්වලින්, විදුලියෙන්, බදුවලින් ආණ්ඩුව මුදල් උපයන බව ඇත්තය, ඒත් එහෙම කර 7%ක ආර්ථික වර්ධනයක් අත්පත් කරගැනීමට කිසි ලෙසකින් නොහැකි වනු ඇත.

ලබන වසරේ ට්‍රිලියන 2ක ප්‍රාග්ධන වියදමක් ගැන කතාකරන ආණ්ඩුවට, පසුගිය වසරේ ට්‍රිලියන 1.3ක ඉලක්කයෙන් තුනෙන් එකක් හෝ සම්පූර්ණ කරගන්නට නොහැකි විය. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනකට යටත්ව වසර 05ක් පුරා කටයුතු කරන්නට සිදුවන එකම ආණ්ඩුවත් මේ ආණ්ඩුව බවට දැන් දැන් අනාවැකි පළ වෙමින් ඇත.

2027 අභියෝග, එල්නීනෝ සහ බලශක්ති කුමන්ත්‍රණ


බොහෝ ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන ආකාරයට, 2027 වසරේ අපට රටක් ලෙස මුහුණ දෙන්න සිදුවන අභියෝග දෙකක් ප්‍රධාන වශයෙන් තිබේ. ඉන් එකක් එල්නීනෝ තත්ත්වයයි. ලබන ජනවාරි සිට ජූනි දක්වා එල්නීනෝ තත්ත්වයෙන් ශ්‍රී ලංකාවටත් බැටකන්න සිදුවන බවට මේ වන විට අනාවැකි පළවී අවසන්ය. තද නියඟයක් මෙන්ම, තද වැසි අවදානමක් ගැනත් කොතරම් අනාවැකි කිව්වත් ආණ්ඩුව ඒ වෙනුවෙන් සැලසුම් සකස් කර නැත.

හරි ආණ්ඩුවක් නම් මෙවැනි කල්තියා හඳුනාගත හැකි අභියෝගවලට මුහුණ දීමට අයවැයකින් යෝජනා ඉදිරිපත් කළ යුතුය. රටේ ඩොලර් සංචිත සුරැකෙන ව්‍යාපෘතිවලට යා යුතුය. ඒ අනුව විකල්ප බලශක්ති ව්‍යාපෘති වෙත යොමුවීම මේ මොහොතේ ඉතා වැදගත්ය. එහෙත් සූර්ය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පුද්ගලික ආයතන දෙකකට වාසි සැලසෙන පරිදි මේ ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත්, ගෘහස්ථ වහල මත සවිකළ සූර්ය පද්ධතිය උදාසීන කිරීමේ කූට කුමන්ත්‍රණයකුත් දියත්කරමින් ඇති බවත් රටටම දැන් පැහැදිලිය. එතකොට ජනතාවට අබ සරණය.

වාහන ආනයනයට අවසර දීමෙන් පසු මේ රටේ ජනතාව වැඩියෙන්ම මිලදී ගත්තේ විද්‍යුත් වාහනය. එනම් අපි රටක් ලෙස බලශක්ති අර්බුදයක අභිමුව බව ජනතාව වටහාගෙන ඇති බවය. එහෙත් ජනතාවට තේරුණු දේ ආණ්ඩුවට නොතේරීම ගැටලුවකි.

රන් උගස් ට්‍රිලියනය පනී: IMF උගුල සහ ජනතා පීඩනය


අනෙක් පැත්තකින් අපි රටක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින ගිවිසුම 2027 මාර්තුවේ අවසන් වනු ඇත. ඒ අනුව මේ ආණ්ඩුව යළිත් තමන් සරණ යන්නට දණින් වැටීමට ඔන්න මෙන්න බව මූල්‍ය අරමුදල පැහැදිලිවම දන්නා කරුණකි. රටේ ජනතාව හාමතේ ඉන්නා බව දැන දැනම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කියා ඔවුන් කීවේ අනාගතය දෙස බලාය. එදිනෙදා තම ජීවිතය ගැට ගසා ගන්නට පවා මුදල් නැතිව මධ්‍යම පාන්තිකයා පවා දිනපතා කනකර උකස් තබද්දී, ශ්‍රී ලංකාව හොඳ ආර්ථික ප්‍රගතියක් අත්පත්කරගෙන ඇති බව ඔවුන් කියන්නේ සැලසුමක් ඇතිවය.

ආර්ථික පීඩනයෙන් ජනතාව මිරිකෙද්දී, උද්ධමනය 8.5% වෙද්දී, ජනතාව තමන් සතු කනකර උගස් තැබීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. එය සංඛ්‍යාත්මකව බැලූ විට 2026 වසරේ පළමු මාස හය තුළ පමණක් බැංකු මගින් ලබා දී ඇති රන් උගස් අත්තිකාරම් ප්‍රමාණය රුපියල් බිලියන 211.9කි. එය ප්‍රතිශතාත්මකව 23.6%ක වැඩිවීමකි. මේ වනවිට සමස්ත උගස් ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.11 දක්වා ඉහළ ගොස් තිබීමද සමාජයේ ඇති ආර්ථික පීඩනයේ තරම හොඳින්ම කියාපාන්නකි.

එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව නම් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ධනාත්මකය. ඔවුන් මේ සිදු කරමින් යන්නේ, ආණ්ඩුව මුලා කරමින් හති වැට්ටවීමේ ක්‍රියාවලියකි. මේ ආණ්ඩුව හරහා රටම අල්ලේ නටවන්නට හැකි බව මූල්‍ය අරමුදල පවා වටහාගෙන තිබේ. ඔවුන් ආණ්ඩුවට උඩගෙඩි දෙන්නේ ඒ නිසාමය. මෙවැනි පම්පොරි ආණ්ඩුවක් හරහා ආතල් එකක් ගන්නා ඔවුන්, ජනතාව මුලාවෙන් මුලාවට පත්කරමින් තමන්ගේ මඩිය තරකර ගැනීම මේ හරහා සිදුකරන බව දැන් පැහැදිලිය.

අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීම සහ ගෝඨාභයගේ පාඩම


ආණ්ඩුවට පැහැදිලි අරමුණක් සහ ඉලක්කයක් තිබුණේ නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ලිහිල් එකඟතාවයකට එන්නට තිබුණේ බෙල්ල මුලටම හිරවෙන්නට ප්‍රථමයෙන්ය. 2025 නොවැම්බරයේ මේ රටට බලපෑ දිට්වා ව්‍යසනය අවස්ථාවේ ඉන් ප්‍රයෝජනය ගෙන තමන්ගේ ජනතාව සුරක්ෂිත කරලීමට පුළුල් සහ පැහැදිලි සාකච්ඡාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකළේ නම් මෙවැනි තත්ත්වයක් උද්ගතවීමට පෙර ගොඩින් බේරා ගන්නට තිබුණි.

ඒ අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ලිහිල් එකඟතාවයකට සාකච්ඡා කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යෝජනා කරද්දී “අනේ ප්ලීස් එපා” කියූ අනුර අද වනවිට IMF සමඟ සාකච්ඡාවට කමිටු පත් කරමින් සිටී.

අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීම නොව කළ යුතු වන්නේ, අශ්වයාට පැන යන්නට නොදී ඉස්තාලය වැසීමය. එසේ කළවිට අශ්වයාත්, ඉස්තාලයත් දෙකම සුරක්ෂිත වන අතර පැනගිය අශ්වයා අල්ලා ගැනීමට දරන වෙහෙසද ඉතිරි වනු ඇත.

උද්දච්ච, ඊගෝ මානසිකත්වයකින් රටක් පාලනය කිරීම යනු තමන් පමණක් නොව රටවැසියාද වළපල්ලට ඇද දැමීමක් බව ගෝඨාභය කියා දුන් පාඩම, අනුරද ඒ ආකාරයෙන්ම පෙන්වා දීමට පෙරමග බලමින් සිටින බව අවසාන වශයෙන් ලියා තැබිය යුතුමය.


(සටහන | බංගලා හන්දියේ ලියුම්කරු)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...