The Leader News
BREAKING
විවාහය තුළ අකමැත්ත පළ කළ නොහැකි කාන්තාවන් ගැන එක්සත් ජාතීන්ගෙන් හෙළිදරව්වක්●ෆෙරාරි ගැටුම මැද වේගාස් F1 කිරුළ වර්ස්ටැපන් දිනාගනී●රුසියානු යුද බිමේ සිරවූ ලාංකික 'රණවිරුවන්' අමතක කළ සමාජය●මැක්‍රොන්ගේ හුදෙකලා පාලනය සහ ප්‍රංශ දේශපාලනයේ අන්තවාදී සෙවණැලි●'වියොවග රත්නමාලය' පිළිබඳ ස්ත්‍රීවාදී සහ පශ්චාත් යටත් විජිත ස්‍ත්‍රීවාදී කියවීමක්●කොළඹ වෙරළ අහසේ දිස්වන කණ කොකුන්ගේ අභිරහස් පියාසර රටාවක්●DigiNote : මහා පරිමාණ ව්‍යාපෘති වියදම් 15.3%යි; සංචාරකයන් මිලියන 2 පනී●කසළ වෙනුවට හරිත බලශක්තිය සහ සාධාරණ සංක්‍රාන්තිය | සෝබා කෝලියවංශ●''චලරේ චලරේ වාල්”: මුස්ලිම් යුවතියන් සමාජගත කළ ජන ගීය●ආදරය, ආදරයෙන් සිදුවන අභ්‍යන්තර ආසාදනය, සහ අතීතයෙන් මිදීම●
Top Ad
විශේෂාංග

රුසියානු යුද බිමේ සිරවූ ලාංකික 'රණවිරුවන්' අමතක කළ සමාජය

Awara

Awara

November 23, 2026 • 4:27 PM

රුසියානු යුද බිමේ සිරවූ ලාංකික 'රණවිරුවන්' අමතක කළ සමාජය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුසියාව යුක්රේනය ආක්‍රමණය කළ මොහොතේ සිට විදේශිකයින් 5,000කට වැඩි පිරිසක් යුද බිමේදී මිය ගොස් තිබේ.
  • යුක්රේන ආණ්ඩුවේ දත්ත අනුව මේ වන විට ශ්‍රී ලාංකිකයින් 275ක් යුද බිමේදී මිය ගොස් ඇත.
  • ඒ 275 දෙනාගේම නම් ලැයිස්තුව මා ළඟ තිබේ.
  • යුද බිමේ සිටින ශ්‍රී ලාංකික සෙබළෙක් මා සමඟ පැවසුවේ සමහර තැන්වල කොයි තරම් මළ සිරුරු ගොඩ ගසා තිබෙනවාද කිවහොත්, ඒ සිරුරු පාගාගෙන යන්නේ නැතුව ඉදිරියට යන්නට විදියක් නැති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

රුසියාව යුක්රේනය ආක්‍රමණය කළ මොහොතේ සිට විදේශිකයින් 5,000කට වැඩි පිරිසක් යුද බිමේදී මිය ගොස් තිබේ. ඒ අතරින් විශාල පිරිසක් ශ්‍රී ලාංකිකයින්ය. සමහර විට අසල්වැසි රටවල සටන්කරුවන් හැරුණු විට මියගිය වැඩිම විදේශිකයින් පිරිස ලංකාවෙන් වන්නටත් පුළුවන. ලංකාව ඒ තරම්ම වාසනාවන්ත රටකි.

යුක්රේන ආණ්ඩුවේ දත්ත අනුව මේ වන විට ශ්‍රී ලාංකිකයින් 275ක් යුද බිමේදී මිය ගොස් ඇත. ඒ 275 දෙනාගේම නම් ලැයිස්තුව මා ළඟ තිබේ. නමුත් පැහැදිලිවම මිය ගිය පිරිස එයින් දෙගුණයකටත් වඩා වැඩිය. බොහෝ මළ සිරුරු යුද බිමේම දමා එන බැවින්, බොහෝ මළ සිරුරු හඳුනාගන්නටවත් විදියක් නැත. යුද බිමේ සිටින ශ්‍රී ලාංකික සෙබළෙක් මා සමඟ පැවසුවේ සමහර තැන්වල කොයි තරම් මළ සිරුරු ගොඩ ගසා තිබෙනවාද කිවහොත්, ඒ සිරුරු පාගාගෙන යන්නේ නැතුව ඉදිරියට යන්නට විදියක් නැති බවයි.


ලංකාවේ තුන්වැනි අතුරුදන් රැල්ල


ඒ නිසා ලංකාවේ යුද්ධයෙන් මියගිය හෝ අතුරුදන් පුද්ගලයින් ගැන අවුරුදු විස්සකට පසුවත් නිසි සංඛ්‍යාලේඛන නැති විදියටම, රුසියාවේ යුද්ධයට බැඳුණු හෝ ඒ යුද්ධයේදී මියගිය/අතුරුදන් වුණු ශ්‍රී ලාංකිකයින් ගැන සැබෑ සංඛ්‍යාලේඛන කවදාවත් හෙළිවෙන එකක් නැත.

මම සිතන විදියට 89 භීෂණයෙන් සහ අවුරුදු තිහක යුද්ධයෙන් පසුව - සංඛ්‍යාවෙන් ගොඩක් අඩු වුණත් - ලංකාවේ තුන්වැනි අතුරුදන් රැල්ල මෙයයි.

ඒ වගේම රුසියානු හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයින් හත් දෙනෙක් යුක්රේනයේ අත්අඩංගුවේ සිටිති. වර්ණකුලසූරිය අජිත් රුක්මන් ප්‍රනාන්දු, වළිමුණි ආරච්චිලාගේ හේමන්ත චන්ද්‍ර කුමාර, ජයකොඩි ආරච්චිලාගේ ජෝර්ජ් ඇලෙක්සැන්ඩර්, අරුණ කූරගොඩගේ, ලක්ෂිත් දෆනාදුරගේ, තිලක් කුමාර හපුආරච්චි සහ බැදිවෙල මුදියන්සේලාගේ තිස්ස කුමාර ඒ හත් දෙනාය.

රටවල් 59කින් පැමිණි යුද සිරකරුවන් පිරිසක් යුක්රේන අත්අඩංගුවේ සිටියත්, මේ හත් දෙනා හැර වෙන කිසිම ශ්‍රී ලාංකිකයෙක් මේ සටහන ලියන මොහොතේ යුක්රේන අත්අඩංගුවේ නැත. සමහරු තවමත් පේන කාරයින්ගේ බොරු විශ්වාස කර අතුරුදන් වුණු තමන්ගේ ඥාතියා "කොහේ හරි හිරකරගෙන ඉන්නවා" කියා සිතාගෙන සිටීම හරිම කණගාටුදායකය. රුසියාව හිරකරගෙන සිටිනවාද කියා නම් මම දන්නේ නැත, නමුත් යුක්රේනයේ වෙන කිසිම ශ්‍රී ලාංකික යුද සිරකරුවෙක් නැත.

මගේ ප්‍රශ්නය "හිරකරගෙන ඉන්නවා" කියා ඔය පේන කාරයෝ දන්නවා නම්, ඒ මිනිසුන් නිදහස් කරගන්නා විදිය කියා දෙන්නත් ඒ පේන කාරයින්ට බැරි ඇයි? ඇයි අපි මේ තරම් මේ බොරුකාරයින්ට අහුවෙන්නේ?

හුවමාරු කළ එකම විදේශිකයාත් මෘත දේහයක්


ඇත්තටම ශ්‍රී ලාංකිකයින් අට දෙනෙක් යුක්රේන අත්අඩංගුවේ සිටියහ. අට වැනියා වූ රොහාන් කුමාර, මීට මාස කිහිපයකට පෙර අවාසනාවන්ත ලෙස අත්අඩංගුවේදී මියගියේය. මට දැනගන්නට ලැබුණු විදියට ඔහු මියගොස් ඇත්තේ හදිසි අසනීපයකිනි. මාධ්‍ය වාර්තා පළවෙන තුරුම ඔහුගේ පවුලේ සාමාජිකයින් ඒ බව දැනගෙන සිටියේ නැත. ඉන් පසුවත් ඒ ගැන හරි විස්තරයක් දැනගන්නට ඔවුන් රතු කුරුස සංවිධානය මාර්ගයෙන් ලොකු වෙහෙසක් ගත් බව මම දනිමි.

අත්අඩංගුවේ සිටින ශ්‍රී ලාංකික යුද සිරකරුවන් හත් දෙනා අතරින් හතර දෙනෙක් සමඟ කතා කරන්නට මට අවස්ථාව ලැබුණි. ඔවුන් පවසන්නේ මේ වන විට යුක්රේනය සහ රුසියාව අතර යුද සිරකරුවන් දහස් ගණනක් හුවමාරු කරගෙන තිබුණත්, මේ වන තුරු කිසිම විදේශිකයෙක් හුවමාරු කරගෙන නැති බවයි.


ඇත්තටම යුක්රේන ආණ්ඩුවත් ඒ බව ප්‍රකාශ කර තිබුණි. යුක්රේනය පවසන්නේ සිරකරු හුවමාරුවේදී රුසියාව විදේශිකයින් ඉල්ලන්නේ නැති බවයි. ඒ නිසා මේ ගැන රුසියාවට වගේම තමන්ගේ ආණ්ඩුවලටත් බලපෑම් කරන්න කියා යුක්රේනය පෝස්ටර් ව්‍යාපාරයකුත් දියත් කර තිබුණි.
රුසියාව මේ වන තුරු යුක්රේනයේ සිටින කිසිම විදේශිකයෙක් හුවමාරු කරගෙන නැති වුණාට, පසුගිය ඔක්තෝබර් 22 වැනිදා රුසියාව එකම එක විදේශිකයෙක් හුවමාරු කරගෙන තිබුණි. ඒ තමයි මියගිය රොහාන් කුමාරගේ දේහය. දේහය භාරගෙන ඇත්තේත් ඔහු මියගොස් මාස ගණනකට පසුවය. මෘත දේහයක් හැරෙන්නට, මම දන්නා තරමින් රුසියාව මෙතෙක් කිසිම විදේශික සෙබළෙක් සිරකරු හුවමාරුව යටතේ භාර අරගෙන නැත.
යුද සිරකරුවන් නොව මිනිස් ජාවාරමේ වින්දිතයින්

දැනට යුක්රේනයේ අත්අඩංගුවේ සිටින හත් දෙනාගෙන් හය දෙනෙක්ම විශ්‍රාමික හමුදා සෙබළුන්ය. ඒ අතරින් මම කතා කළ තුන් දෙනෙක්ම මට කීවේ යුද්ධයට යවන්නේ නැහැ කියා ඔවුන්ව රවටා යුද්ධයට රැගෙන ගිය බවයි. ඒ නිසා ඔවුන් යුද සිරකරුවන් හැටියට සලකනවාට වඩා මිනිස් ජාවාරමේ (Human Smuggling) වින්දිතයින් විදියට සැලකිය යුතුයි කියා දැන් හඬක් නැගෙමින් තිබේ. ඒ පදනම යටතේ මේ සිරකරුවන් නිදහස් කරගන්නට රුසියාව සමඟ සාකච්ඡා කරනවාට වඩා යුක්රේනය සමඟ සාකච්ඡා කරන්නට හැකියාවක් තිබෙන්නට පුළුවන.

යුද සිරකරුවන් දහස් ගණනක් මේ විදියට තබාගෙන සිටින්නට යුක්රේනයට කිසිම ආසාවක් නැත. කීව් අගනුවරදී ආණ්ඩුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් හමුවුණු වෙලාවේ ඔවුන් ඒ බව මට කෙළින්ම කීවෝය. ඒ නිසා ලංකාව සහ අනෙක් රටවලින් මිත්‍රශීලී ඉල්ලීමක් ඉදිරිපත් වෙනවා නම්, යුක්රේනය ඊට සාධනීය ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි මම විශ්වාස කරමි.

කෝටිපති පන්සල් අමතක කළ පවුල් රකින පියතුමා

ඒත් සමඟම මේ කතාවත් කිව යුතුය. මේ මිනිසුන් උතුරේ යුද වදින කාලයේ, බුදු හිමියන්ගේ දර්ශනයට එරෙහිව යමින් යුද්ධයට ආ වැඩූ, "රණවිරුවෝ" කියා මේ මිනිසුන් මුරුංගා අත්තේ තබා පිරිත් නූල් බැඳපු කෝටි, ප්‍රකෝටි ගණන් වත්කම් ඇති බෞද්ධ විහාරස්‌ථාන වෙනුවට, යුද බිමෙන් විශ්‍රාම ගියාට පසුව දරු පවුල් ජීවත් කරගන්නට බැරිකම නිසා අනුන්ගේ යුද්ධයකට ගිය මේ මිනිසුන්ගේ දුක සැප බලන්නට මම දන්නා තරමින් සිටින්නේ එකම එක කතෝලික පූජකතුමෙක් පමණි. ඒ, අනුරාධපුර පදවියේ බෙනට් මෙල්ලව පියතුමාය.
රුසියාවේ යුද බිමේ අතුරුදන් වුණු "රණවිරුවන්ගේ" පවුල්වල දුක, සැපත් සොයමින්, යුක්රේනයේ අත්අඩංගුවේ සිටින අය බේරාගන්නට උත්සාහයකුත් දරමින් බෙනට් මෙල්ලව පියතුමා කරන මෙහෙය මම හොඳින්ම දනිමි. එතුමන් නැත්නම් සමහර දරු පවුල් අද පාරට වැටිලාය. එදා ඔවුන්ව මුරුංගා අත්තේ තැබූ සමාජයම අද ඔවුන්ට "කුලී හේවායෝ" කියා හෙළා දකිමින් සිටී.
රුසියානු හමුදාවට බැඳුණු විදේශිකයින් සහ යුද සිරකරුවන් ගැන මම ජාත්‍යන්තර මාධ්‍ය වෙනුවෙන් සකස් කළ ලිපි මාලාවක් ඉදිරියේදී ප්‍රකාශයට පත්වීමට නියමිතය. රුසියානු - යුක්රේන ගැටුම ගැන ඔබ නොදැන සිටි බොහෝ විස්තර සහ අලුත්ම වාර්තා Sandesahaya by Saroj යූටියුබ් නාලිකා මතු දැක්වෙන සබැඳි ඔස්සේ  නැරඹිය හැකිය.

(උපුටා ගැනීම: Saroj Pathirana ෆේස්බුක් පිටුව - 2026 නොවැම්බර් 22)

වීඩියෝ සබැඳි
සරෝජ් පතිරණ

බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක

විද්‍යුත් තැපෑල: sarojpathi@gmail.com

View all stories by සරෝජ් පතිරණ
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...