The Leader News
BREAKING
මැක්‍රොන්ගේ හුදෙකලා පාලනය සහ ප්‍රංශ දේශපාලනයේ අන්තවාදී සෙවණැලි●'වියොවග රත්නමාලය' පිළිබඳ ස්ත්‍රීවාදී සහ පශ්චාත් යටත් විජිත ස්‍ත්‍රීවාදී කියවීමක්●කොළඹ වෙරළ අහසේ දිස්වන කණ කොකුන්ගේ අභිරහස් පියාසර රටාවක්●DigiNote : මහා පරිමාණ ව්‍යාපෘති වියදම් 15.3%යි; සංචාරකයන් මිලියන 2 පනී●කසළ වෙනුවට හරිත බලශක්තිය සහ සාධාරණ සංක්‍රාන්තිය | සෝබා කෝලියවංශ●''චලරේ චලරේ වාල්”: මුස්ලිම් යුවතියන් සමාජගත කළ ජන ගීය●ආදරය, ආදරයෙන් සිදුවන අභ්‍යන්තර ආසාදනය, සහ අතීතයෙන් මිදීම●පාරාදීසය : රාජ්‍ය සේවයේ නිහඬ වර්ජනය සහ බිඳවැටුණු කොඳු නාරටිය●බංග්ලාදේශය 'අවසර පාලනයෙන්' මිදෙයිද? - පැරණි නීති නිසා නිලධාරීන් බිය වෙලා●ලාස් වේගාස්හිදී රන්සිළුගෙන් ශ්‍රී ලංකාවට ඓතිහාසික රන් පදක්කමක්●
Top Ad
සාහිත්‍ය - කලා

'වියොවග රත්නමාලය' පිළිබඳ ස්ත්‍රීවාදී සහ පශ්චාත් යටත් විජිත ස්‍ත්‍රීවාදී කියවීමක්

Nethmini

Nethmini

November 23, 2026 • 3:48 PM

'වියොවග රත්නමාලය' පිළිබඳ ස්ත්‍රීවාදී සහ පශ්චාත් යටත් විජිත ස්‍ත්‍රීවාදී කියවීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිංහල සාහිත්‍ය ඉතිහාසයේ කව්සිළුමිණ , කාව්‍යශේඛරය යනාදි මහා කාව්‍යවල තිබූ ගැඹුරු , සංයමශීලී ශෘංගාර රසය 18 වන සියවසේ මාතර අවධිය වන විට වෙනස් ම මඟකට හැරෙනවා.
  • ලෝරා මල්විගේ 'Male Gaze' ( පුරුෂ දෘෂ්ටිය) න්‍යාය 1975 දී ලෝරා මල්වි " Visual Pleasure and Narrative Cinema" කියන රචනයෙන් මේ න්‍යාය ලෝකයට හඳුන්වා දුන්නා.
  • එතන දී ප්‍රධාන දේවල් තුනක් සිද්ධ වෙනවා: 1.
  • පුරුෂයා ' බලන්නා ' (Active Subject) වීම සහ ස්ත්‍රිය ' බැලීමට ලක්වන්නිය ' (Passive Object) වීම: කෘතිය ඇතුළෙ ස්ත්‍රියට තමන්ගේ ම හඬක් හෝ ස්වාධීන පැවැත්මක් නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

සිංහල සාහිත්‍ය ඉතිහාසයේ කව්සිළුමිණ, කාව්‍යශේඛරය යනාදි මහා කාව්‍යවල තිබූ ගැඹුරු, සංයමශීලී ශෘංගාර රසය 18වන සියවසේ මාතර අවධිය වන විට වෙනස් ම මඟකට හැරෙනවා. පත්තායමේ ලේකම් ලියපු 'වියොවග රත්නමාලය' මීට හොඳ ම උදාහරණයක්.

මේ කාව්‍යය ඇතුළෙ ස්ත්‍රිය දිහා බලලා තියෙන විදිහ තේරුම් ගන්න අපිට බ්‍රිතාන්‍ය ස්ත්‍රීවාදී න්‍යායවේදිනී ලෝරා මල්වි (Laura Mulvey) වගේ ම ගයත්‍රි ස්පිවැක් (Gayatri Spivak), චන්ද්‍රා මොහන්ති (Chandra Mohanty) යනාදි පශ්චාත් යටත්විජිත ස්ත්‍රීවාදී න්‍යායවේදිනියන් ගේ අදහස් හරි ම වැදගත් වෙනවා.

ලෝරා මල්විගේ 'Male Gaze' (පුරුෂ දෘෂ්ටිය) න්‍යාය

1975 දී ලෝරා මල්වි "Visual Pleasure and Narrative Cinema" කියන රචනයෙන් මේ න්‍යාය ලෝකයට හඳුන්වා දුන්නා. ඇය පෙන්නලා දුන්නේ, පුරුෂාධිපත්‍යය (Patriarchy) මත ගොඩනැගුණු කලා කෘතිවල දී 'බැලීමේ බලය' තියෙන්නේ පුරුෂයා අතේ කියල යි. එතන දී ප්‍රධාන දේවල් තුනක් සිද්ධ වෙනවා:

1. පුරුෂයා 'බලන්නා' (Active Subject) වීම සහ ස්ත්‍රිය 'බැලීමට ලක්වන්නිය' (Passive Object) වීම: කෘතිය ඇතුළෙ ස්ත්‍රියට තමන්ගේ ම හඬක් හෝ ස්වාධීන පැවැත්මක් නැහැ.

2. ස්කොපොෆීලියාව (Scopophilia): අනෙකාගේ ශරීරය දිහා කාමුක ව බලා සිටීමෙන් පුරුෂයා ලබන ලිංගික තෘප්තිය කවියෙන් සපුරා ගැනීම.

3. වස්තුකරණය සහ කැබලි කිරීම (Objectification & Fragmentation): ස්ත්‍රිය සම්පූර්ණ මනුෂ්‍යයෙක් විදිහට දකිනවා වෙනුවට, ඇගේ ශරීර අවයව (පයෝධර, ඉඟ, උකුළ, කළවා) වෙන වෙන ම කැබලි කරලා, පුරුෂ ලිංගික ආශා පිනවන භෞතික පරිභෝජන 'වස්තුවක්' (Object) බවට පත් කිරීම.

පශ්චාත් යටත්විජිත ස්ත්‍රීවාදී කියවීම

චන්ද්‍රා තල්පදේ මොහන්ති

ගයත්‍රි ස්පිවැක් සහ චන්ද්‍රා මොහන්ති මේ දිහා බලන්නේ කොහොම ද? ලෝරා මල්විගේ බටහිර න්‍යායට අමතර ව අපේ වගේ යටත්විජිත ඉතිහාසයක් තියෙන රටක සාහිත්‍ය කෘතියක් කියවද්දී චන්ද්‍රා තල්පදේ මොහන්ති (Chandra Talpade Mohanty) සහ ගයත්‍රි චක්‍රවර්ති ස්පිවැක් (Gayatri Chakravorty Spivak) කියන පශ්චාත් යටත්විජිත ස්ත්‍රීවාදී න්‍යායවේදිනියන් ගේ අදහස් හරිම වැදගත් වෙනවා:

ගයත්‍රි චක්‍රවර්ති ස්පිවැක්

චන්ද්‍රා මොහන්ති ගේ 'ඒකාකෘතිකරණය' (Stereotyping & Exoticization): 1984 දී "Under Western Eyes" රචනයෙන් මොහන්ති පෙන්නලා දුන්නේ, පුරුෂාධිපත්‍ය සහ යටත්විජිත කතිකා ඇතුළෙ පෙරදිග ස්ත්‍රියට තියෙන සැබෑ සමාජීය සහ බුද්ධිමය අනන්‍යතාව මකලා, ඇයව හුදු කාමුක, නිෂ්ක්‍රිය භාණ්ඩයක් (Exoticized Object) විදිහට ඒකාකෘතිකරණය කරනවා කියල යි. වියොවග රත්නමාලයේ ඉන්න කාන්තාවට නමක්, ගමක්, චින්තනයක් නැහැ; ඇය ඉන්නේ රන් කළ වගේ පයෝධර හා රන් ටැම් වගේ කළවා තියෙන කාමුක ප්‍රතිමාවක් විදිහට විතරයි.

ගයත්‍රි ස්පිවැක්ගේ 'නිහඬ කරනු ලැබූ ස්ත්‍රිය' (Can the Subaltern Speak?): 1988 දී ස්පිවැක් මේ ප්‍රශ්නය අහමින් පෙන්නලා දුන්නේ, පුරුෂාධිපත්‍ය බල ව්‍යූහය ඇතුළේ යටත් කරනු ලැබූ ස්ත්‍රියට (Subaltern) තමන් වෙනුවෙන් කතා කරන්න තියෙන ඉඩකඩ සම්පූර්ණයෙන් ම අහුරනවා කියල යි. බලවතා (පුරුෂ කවියා) විසින් ඇය වෙනුවෙන් කතා කරමින් ඇයගේ හඬ මකා දැමීම ස්පිවැක් හඳුන්වන්නේ 'ඥානමීමංසාත්මක ප්‍රචණ්ඩත්වය' (Epistemic Violence) කියල යි. පැරකුම්බා සිරිතේ සහ කුවේණි අස්නේ ස්ත්‍රියට තමන්ගේ දුක කියන්න හඬක් තිබුණත්, වියොවග රත්නමාලයේ දී ඇය සම්පූර්ණයෙන් ම ගොළු කරපු වස්තුවක් වෙනවා.

ද්විත්ව යටත්වීම (Double Colonization): 18වන සියවසේ ලන්දේසි යටත්විජිත පාලනය හමුවේ දේශපාලන බලය අහිමි වුණු මාතර ප්‍රදේශයේ දේශීය ප්‍රභූ පුරුෂයින් (මුහන්දිරම්වරුන් යනාදි), තමන්ට අහිමි වුණු පුරුෂ බලය තහවුරු කර ගත්තේ දේශීය ස්ත්‍රිය සිය ලිංගික පරිභෝජන වස්තුවක් බවට පත් කරලා ලියපු මෙවැනි කවි මගිනු යි. ඒ අනුව ස්ත්‍රිය යටත්විජිත පාලනයටත්, දේශීය පුරුෂාධිපත්‍යයටත් යන දෙකට ම යටත් වුණා.

වියොවග රත්නමාලය තුළ ස්ත්‍රී ශරීරය කැබලි කර රසවිඳීම

ලෝරා මල්වි කියන මේ 'කැබලි කිරීම' වියොවග රත්නමාලයේ 19 සහ 20 කවිවල හරිම පැහැදිලි ව පේන්න තියෙනවා:

"විසි වන සලෙල එළඳගෙ නොකිලිටී මිටී

නොවරන කුඹු ලෙසට පිරි නො මැ වැටී සිටී

යුග තන තැඹිලි පල යළි රන් තැටී සැටී

දැකැ' නන සර ලොබින් සිටි හස පැටී වටී"

(වියොවග රත්නමාලය: 19)

(සල්ලාලයන් වසඟ වන්නා වූ ඒ ස්ත්‍රියගේ නොකිලිටි, මිටි නැති රන් කළගෙඩි මෙන් සම්පූර්ණ ව , නොවැටී සිටියා වූ තැඹිලි පල සහ රන් තැටි බඳු වූ පියයුරු යුවළ කෙබඳු ද? ආනන (මුහුණ) නමැති නෙළුම දැක ආශාවෙන් සිටියා වූ හංස පැටවුන් බඳු ය.)

"පසන් එ ළඳ ඇති බිඟු වැල ලෙසා වසා

කසුන් කුඹු සෙ තන උසුලන දොසා නිසා

සිඟින් ව ලෙළ ඉඟ කර සලෙලැ'සා තොසා

නිතින් දිලෙ ය ගත රන් සිරිවැසා ලෙසා"

(වියොවග රත්නමාලය: 20)

(මීමැසි පෙළක් මෙන් ලෝම පන්තිය ඇති, සතුටු සිත් ඇති ඒ ස්ත්‍රිය ගේ රන් බඳු පියයුරු ඔසවන්නා වූ වරද හේතු කොට ගෙන හීන් වී ලෙළ දෙන්නා වූ ඉඟටිය සල්ලාලයින් ගේ ඇස් සතුටු කොට තනි රත්තරන් උඩැක්කියක් මෙන් නිතර දිලිසෙයි.)

බලන්න, "විසි වන සලෙලු" (සල්ලාලයින් වශී වන) සහ "සලෙල'සා තොසා" (සල්ලාලයින් ගේ සිත සතුටු කරන පිණිස) කියල කවියා කෙළින් ම කියනවා. ‍

පූර්ව කාව්‍ය ආභාසය භාවිත කරමින් ස්ත්‍රී හඬ නිහඬ කිරීම

පත්තායමේ ලේකම් වියොවග රත්නමාලය ලියන්න අපේ පැරණි කාව්‍ය කෘතිවලින් ආභාසය අරන් තියෙනවා. හැබැයි එයා කරන්නේ ඒ කෘතිවල තිබුණු 'Female Gaze' (ස්ත්‍රී ආත්ම ප්‍රකාශනය) උදුරගෙන, ස්ත්‍රියව නිහඬ කරලා, ඒක 'Male Gaze' (පුරුෂ කාමුක දෘෂ්ටියක්) බවට හරවන එකයි.

පැරකුම්බා සිරිත සහ කුවේණි අස්න:

පැරකුම්බා සිරිතෙ තියෙන්නේ හයවෙනි පරාක්‍රමබාහු රජු තමන් ළඟට එන්නේ නැති එක ගැන දුක් වෙන අන්තඃපුර කාන්තාවකගේ විරහව යි. කුවේණි අස්නේ තියෙන්නේ විජය රජු අතහැර ගිය කුවේණියගේ විලාපය යි.

"බන්දා මින්දද මද අරවින්දා සර ලා සරයානේ

මන්දා නිල තුරඟට නැඟෙමින්දා වියොවග නංවානේ

චන්දා නල ලෙස විය නෙත නින්දා නො ලදිමි තනි යානේ

කැන්දා වර පැරකුම් නරනින්දා සකිසඳ සඳ පානේ "

 (පැරකුම්බා සිරිත, 129)

(මිතුරුතුමිය, යහන සකසා ඇත; සිහිල් මඳ පවන හමා එයි; හාත්පස සඳ එළිය බැබළෙයි; අනංගයා මින්දදය ඔසවාගෙන මඳ පවන අසු ලෙස යොදාගෙන මවෙත පැමිණ පියුම් හීයෙන් විදී. මඳපවනත්, සඳඑළියත් වියෝගිනි දල්වා මුළු සිරුර ම තවයි. එසේ නම් තනි යහනේ කවර නින්දක් ද? පිළියම පැරකුම්බා නරනිඳු මගේ යහන වෙත සැපත්වීම ය. එනිසා පැරකුම්බා නරනිඳු සඳපානෙහි ම කැඳවාගෙන එන්න.)

මෙහි කතා කරන්නේ ස්ත්‍රිය යි.

ඇය අක්‍රිය ව බලා සිටින භාණ්ඩයක් (Passive Object) නො ව, තමන්ගේ විරහ වේදනාව, ශාරීරික දාහය ("මඳපවනත්, සඳඑළියත් වියෝගිනි දල්වා මුළු සිරුර ම තවයි") සහ තනිකම ("එසේ නම් තනි යහනේ කවර නින්දක්ද?") විවෘත ව හා ඍජු ව ප්‍රකාශ කරන චරිතයකි.

තීරණ ගැනීමේ සහ මෙහෙයවීමේ බලය (Agency & Command):

ඇය හුදෙක් දුක් වෙමින් සිටිනවා වෙනුවට තමන් ගේ ගැටලුවට පිළියම කුමක්දැයි තීරණය කර ("පිළියම පැරකුම්බා නරනිඳු මගේ යහන වෙත සැපත්වීම ය"), සිය මිතුරියට නියෝග කරන්නේ රජුව තමන් වෙත කැඳවාගෙන එන ලෙස යි ("එනිසා පැරකුම්බා නරනිඳු සඳපානෙහි ම කැඳවාගෙන එන්න"). මෙහි දී රජුව (පුරුෂයා) තමන්ගේ යහන වෙත කැඳවා ගැනීමේ ක්‍රියාකාරී භූමිකාව ඇය අතට ගෙන තිබෙනවා.

පුරුෂයා වස්තුකරණය නොකිරීම:

ඇය තමන්ගේ ආශාව (Desire) ප්‍රකාශ කළත්, වියොවග රත්නමාලයේ පුරුෂ කථකයා ස්ත්‍රී ශරීරය කැබලි කර වර්ණනා කළාක් මෙන් ඇය රජුගේ ශරීර අවයව කැබලි කර වස්තුකරණය (Objectification) කරන්නේ නැහැ. ඇය ඉල්ලා සිටින්නේ ඔහුගේ පැමිණීම සහ සම්බන්ධතාව යි.

ගයත්‍රි ස්පිවැක්ගේ න්‍යායට අනුව ස්ත්‍රියට තමන්ගේ හඬ (Voice) සහ ආත්මීයත්වය (Subjectivity) තිබීම ඉතා වැදගත්. පැරකුම්බා සිරිතේ ස්ත්‍රියට තිබුණු මෙම ප්‍රබල හඬ සහ ක්‍රියාකාරීත්වය (Agency), මාතර අවධියේ වියොවග රත්නමාලය වන විට පත්තායමේ ලේකම් විසින් සම්පූර්ණයෙන් ම මකා දමා (Silencing), ස්ත්‍රියව ගොළු කරනු ලැබූ කාමුක වස්තුවක් (Muted Object) බවට පත් කිරීම තමයි මෙතන තියෙන ප්‍රධානතම ඛේදවාචකය.

"සුපුන් සඳ උදයගින් දිලි යවට සේ පෙනේ

හමන මදනල සඳුන් සිහිල් ගිනි සේ දැනේ

සුවඳ මල් පෙති අතුළ යහන කටු සේ දැනේ

සමද නද කොවුල් රැව් කනත යවුලෙව් ඇනේ"

(කුවේණි අස්න)

පත්තායමේ ලේකම් මේ ස්ත්‍රී විරහ කවිවල ආකෘතිය ඒ විදිහට ම අරගෙන, ස්ත්‍රී ශරීරය පරිභෝජනය කරන්න බැරුව වැලපෙන පුරුෂයකු ගේ විලාපයක් බවට පෙරළුවා.

"එතර සඳ කිරණ වදි රිවි රැසේ ලෙසේ

මිහිර කොවුල් නද යක් හඬ ලෙසේ ඇසේ

අඟර සිසිල් ගොර විය සොඳ රසේ වසේ

නුඹැර මෙදුක් විඳිනෙමි මියුලැසේ කෙසේ"

(වියොවග රත්නමාලය: 33)

(එකල්හි සඳ රැස හිරු රැස මෙන් වදී. මිහිරි වූ කොවුල් නාඳයක හඬ මෙන් ඇසේ. සිසිල් වූ අංගරාග (ශරීරාලේපන) නපුරු වූ වසයක් මෙන් විය. කාන්තාවනි, නුඹ අත්හැර මේ දුක කෙලෙස විඳිම් ද?)

ශ්‍රී රාහුල හිමියන් සේනක පඬිතුමාගේ මවගේ කෙණ්ඩා වර්ණනා කරන්න යොදපු

"නුපුබුදු තැඹිලි මල්

ඇගෙ දඟ යුගට මනකල්

පැරද සැඟවුණු තුල්

කොළපු අසලට පිවිසි හැම කල්"

කියන ලස්සන කාව්‍යෝක්තිය වියොවග රත්නමාලයේ 22වන කවියට ඒ විදිහට ම අරන් තියෙනවා ("දඟේ යුගේ නුපුන් තැඹිලි මල් යුවළක් වගේ හැඟේ").

ගීත ගෝවින්දයේ රාධා සහ ක්‍රිෂ්ණා අතර තිබුණු භක්තිමත්, අධ්‍යාත්මික ශෘංගාරය ("බඳ බඳ තුරුලුව වැලඳ මුවේ මුවලා සිප බොන'දර පානයි") වියොවග රත්නමාලයට එද්දී " කර කර දරා පිරිමැද යුගතිනේ තනේ" විදියට ග්‍රාම්‍ය කාමුකත්වයක් බවට පත් වෙනවා.

මගෙ ඇඳ ළාදල රිකිලි වියේ මගෙ පින් පියවුරු ඔහු යානයි

බඳ බඳ තුරුලු ව වැලඳ මුවේ මුව ලා සිප බොන'දර පාන යි..."

(ගීත ගෝවින්දය: 65)

(මගේ සයනය වූයේ ළා දලු රිකිලි ය. ඔහුගේ සයනය වූයේ මා පින් පියොවුරු ය. මා ඇද බැඳ වැලඳ මුව මී බිවූ ඔහු අද මා හට නොමැත.)

"කර කර දරා පිරිමැද යුගතිනේ තනේ

දර දර උරා බී සිඹ සතොසිනේ තනේ..."

(වියොවග රත්නමාලය: 35)

(ආදරය කරමින් අත් දෙකෙන් පියයුරු මඩිමින්, තොලින් තොල උරා බී සතුටින් මුහුණ සිඹිමින්...)

උත්තරීතර ශෘංගාර රසයේ සිට 'ශෘංගාර රසාභාසය' දක්වා

සිංහලයේ විශිෂ්ටතම මහා කාව්‍යය වන කව්සිළුමිණේ කුස රජු පබාවතිය ගේ පියයුරු ගැන සිහිපත් කරන්නේ මෙහෙමයි:

"වලඳවා ගෙලෙහි උරිනුසුලා පියවුරන්

සිඟු වලඟට මා වූ වහලුදු නොහැඟියෝ හා"

(කව්සිළුමිණ: 580)

(මාගේ කරෙහි අත් දමා වැලඳවාගෙන පයෝදරයන් ළයෙන් උසුලා ගැනීමෙන් ඇගේ සිහින් ඉඟටියට මා කළ උපකාරය ද ඕ නොතැකුවා ය. අහෝ!)

"රතොට රතැදියෙම් කොපොල් පතලේ බිඳියෙම්

තනහස මුස කළෙම් නිදොසිම් ලු මා නුගියට"

(කව්සිළුමිණ: 559)

(රතු වූ තොල්වල රත් පැහැය ඇද ගත්තෙමි. කම්මුල්හි පත්‍රලේඛා බින්දෙමි. පියයුරු නමැති හංසයන් මූර්ඡා කළෙමි. භාර්යාවට මම නිර්දෝෂියෙම් ලු . අහෝ!)

මේක හරි ම සංයමශීලී, ගැඹුරු සෙනෙහසක් තියෙන 'උත්තරීතර ශෘංගාර රසයක්'.

නමුත් වියොවග රත්නමාලයේ දී කවියා ඒක පිරිහෙළන්නේ මෙන්න මේ තැනට.

"සිඹ සිඹා වුවන දී අම ලෙසා බසා

ඔබ ඔබා බා යුවල තන පොඩි හසා විසා..."

(වියොවග රත්නමාලය: 50)

(මුහුණ ඉඹ ඉඹ අමා වැනි වචන කියමින්, තන පොඩි නමැති හංසයන් මිරික මිරිකා පස්කම් සැපත ලබමින්...)

පෙරදිග විචාරයට අනුව මේක සැබෑ රසයක් නෙවෙයි; 'ශෘංගාර රසාභාසයක්' (Rasābhāsa). බටහිර හා පශ්චාත් යටත්විජිත ස්ත්‍රීවාදී න්‍යායන්ට අනුව ඒක යටත්විජිත සමාජයක ද්විත්ව පීඩනයට ලක් වුණු ස්ත්‍රිය නිහඬ කරලා, ඇයව හුදු ලිංගික පරිභෝජන 'වස්තුවක්' (Object) බවට පිරිහෙළීමක්!

‘උත්තරීතර ශෘංගාරය’ ‘ශෘංගාර රසාභාසයක්’ බවට පිරිහීම

ඇයි සම්භාව්‍ය කවියේ තිබුණු ‘උත්තරීතර ශෘංගාරය’ මාතර අවධිය වෙද්දී ‘ශෘංගාර රසාභාසයක්’ බවට පිරිහුණේ?

දඹදෙණි, කෝට්ටේ අවධිවල තිබුණු සංයමශීලී, ගැඹුරු ‘උත්තරීතර ශෘංගාර රසය’ 18වන සියවසේ මාතර අවධිය වෙද්දී ග්‍රාම්‍ය, විවෘත සල්ලාල කාමුකත්වයක් මුසු වුණු ‘ශෘංගාර රසාභාසයක්’ (Rasābhāsa) බවට පත් වෙන්න බලපාපු ප්‍රධාන හේතු 5ක් අපිට හඳුනාගන්න පුළුවන්:

1. සාහිත්‍ය අනුග්‍රාහකත්වය රජ මැදුරෙන් 'මුහන්දිරම් වලව්වට' මාරු වීම

කව්සිළුමිණ, කාව්‍යශේඛරය වගේ කෘති බිහි වුණේ ශාස්ත්‍රීය සහ ධාර්මික පදනමක් තිබුණු රාජ සභා සහ පිරිවෙන් ඇසුරේ. ඒ කවීන් බහුශ්‍රැත පඬිවරුන් සහ යතිවරුන් නිසා ඔවුන් ශෘංගාරය හරි ම සංයමයෙන් (උත්තරීතර රසයක් විදිහට) ඉදිරිපත් කළා. හැබැයි මාතර අවධිය වෙද්දී රාජ්‍ය අනුග්‍රහය බිඳ වැටිලා, කවීන්ට අනුග්‍රහය දැක්වුවේ ලන්දේසි යටත්විජිත පාලනය යටතේ හිටපු ප්‍රාදේශික ප්‍රභූන් (මුහන්දිරම්වරුන්, ආරච්චිවරුන්) විසිනුයි. මේ නව ප්‍රභූ පෙළැන්තියේ ලෞකික විනෝදාස්වාදය පිණිස ඔවුන් පිනවන්න යද්දී සංයමය වෙනුවට සෘජු කාමුකත්වය ඉස්මතු වුණා.

2. යටත්විජිත පාලනය හමුවේ අහිමි වූ 'පුරුෂ බලය' ස්ත්‍රිය හරහා තහවුරු කර ගැනීම

18වන සියවසේ මුහුදුබඩ පළාත්වල ලන්දේසි පාලනය නිසා දේශීය ප්‍රභූ පුරුෂයන්ට තමන්ගේ දේශපාලන බලය අහිමි වෙලයි තිබුණේ. සුද්දා ඉස්සරහා අහිමි වුණු තමන්ගේ 'පුරුෂාධිපත්‍ය බලය' (Masculinity) මනෝමය වශයෙන් පිරිමහගන්න ඔවුන් උත්සාහ කළේ දේශීය ස්ත්‍රිය තමන්ගේ පරිභෝජන වස්තුවක් බවට පත් කරගෙන යි. වියොවග රත්නමාලයේ "සලෙලුන්" (සල්ලාලයින්) සතුටු කරන භාණ්ඩයක් විදිහට ස්ත්‍රී ශරීරය වර්ණනා වෙන්නේ අන්න ඒ පුරුෂාධිපත්‍ය මානසිකත්වය තෘප්තිමත් කරන්නයි.

3. ආගමික සහ ජාතක කතා රාමුවෙන් මිදී හුදු පෞද්ගලික කාමුකත්වයට යොමු වීම

කව්සිළුමිණ (කුස ජාතකය) සහ කාව්‍යශේඛරය (සත්තුභත්ත ජාතකය) වගේ කාව්‍ය ගොඩනැගුණෙ බෝසත් චරිත ඇසුරෙන්. ගීත ගෝවින්දයේ තිබුණෙත් රාධා-ක්‍රිෂ්ණා අතර අධ්‍යාත්මික භක්ති රසයක්. ඒ නිසා ඒ චරිතවල ගෞරවය රකින්න කවීන්ට සිද්ධ වුණා. නමුත් මාතර අවධියේ දී කවිය ඒ ආගමික රාමුවෙන් මිදිලා සාමාන්‍ය මිනිසුන් ගේ පෞද්ගලික විරහවට යොමු වුණා ම ඒ සංවරභාවය නැති වෙලා හුදු ශාරීරික සම්භෝගය විස්තර කරන 'රසාභාසයක්' බවට ලිහිල් වුණා.

4. ගැඹුරු අර්ථය වෙනුවට එළිසමයට (ශබ්දයට) වහල් වී පැරණි කවි අනුකරණය කිරීම

මාතර අවධියේ කවීන් පැරණි කාව්‍යවල තිබුණු උපමා සහ වෘත්ත ඒ විදිහට ම අනුකරණය කළත් ඒවා පිටුපස තිබුණු ගැඹුරු දාර්ශනික ධ්වනිය අල්ලගන්න ඔවුන්ට බැරි වුණා. උදාහරණයක් විදිහට, කව්සිළුමිණේ හරිම සියුම් සෙනෙහසකින් කියපු "වලඳවා ගෙලෙහි උරිනුසුලා පියවුරන්" කියන යෙදුම, මාතර අවධියට එද්දී එළිසමය (ශබ්දාලංකාරය) රකින්න ඕන නිසා ම "ඔබ ඔබා යුවල තන පොඩි හසා විසාසා" වගේ ග්‍රාම්‍ය තැනකට ඇද වැටුණා.

5. සමාජ පරිහානිය සහ 'සලෙලු' (සල්ලාල) සංස්කෘතියක් බිහි වීම

18වන සියවසේ පහතරට සමාජයේ ඇති වුණු ආර්ථික වෙනස්කම්, සුරාපානය සහ සාම්ප්‍රදායික බෞද්ධ සදාචාරය පිරිහීමත් එක්ක සමාජය ඇතුළේ 'සලෙලු' සංස්කෘතියක් වර්ධනය වුණා. තමන්ගේ පාඨකයින් ව සහ අනුග්‍රාහකයන් ව පිනවන්න නම් ඔවුන්ගේ ඒ සල්ලාල රුචිකත්වයට ගැළපෙන විදිහට ස්ත්‍රී ශරීරය කැබලි කරලා වර්ණනා කරන්න කවියාට සිද්ධ වුණා.

සාහිත්‍ය රසවින්දනය කියන්නේ කවියක තියෙන එළිසමයට විතරක් වශී වෙන එක නෙවෙයි; ඒ කවිය ඇතුළේ හැංගිලා තියෙන බල දේශපාලනය සහ දෘෂ්ටිවාදය (Ideology) ප්‍රශ්න කරන එකයි.

 

උපුටා ගැනීම Saadhya Kodithuwakku ගේ face book පිටුවෙන්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'වියොවග රත්නමාලය' පිළිබඳ ස්ත්‍රීවාදී සහ පශ්චාත් යටත් විජිත ස්‍ත්‍රීවාදී කියවීමක් | The Leader