The Leader News
BREAKING
DigiNote : මහා පරිමාණ ව්‍යාපෘති වියදම් 15.3%යි; සංචාරකයන් මිලියන 2 පනී●කසළ වෙනුවට හරිත බලශක්තිය සහ සාධාරණ සංක්‍රාන්තිය | සෝබා කෝලියවංශ●''චලරේ චලරේ වාල්”: මුස්ලිම් යුවතියන් සමාජගත කළ ජන ගීය●ආදරය, ආදරයෙන් සිදුවන අභ්‍යන්තර ආසාදනය, සහ අතීතයෙන් මිදීම●පාරාදීසය : රාජ්‍ය සේවයේ නිහඬ වර්ජනය සහ බිඳවැටුණු කොඳු නාරටිය●බංග්ලාදේශය 'අවසර පාලනයෙන්' මිදෙයිද? - පැරණි නීති නිසා නිලධාරීන් බිය වෙලා●ලාස් වේගාස්හිදී රන්සිළුගෙන් ශ්‍රී ලංකාවට ඓතිහාසික රන් පදක්කමක්●චක්‍රීය ආර්ථිකයේ හිදැස් අතරින් රිංගන රෙදිපිළි කසල : විසඳුම ඇත්තේ කොතැනද? | අභිෂේකා වාසල බණ්ඩාර●ප්‍රතිජීවක අකර්මණ්‍ය කරන නිහඬ මාරයා පරදවන ජාතික මෙහෙයුම●බංග්ලාදේශ බැංකු පද්ධතිය සුරකින්න මහා පරිමාණ ණය සීමා කෙරේ●
Top Ad
සාහිත්‍ය - කලා

ආදරය, ආදරයෙන් සිදුවන අභ්‍යන්තර ආසාදනය, සහ අතීතයෙන් මිදීම

Awara

Awara

November 23, 2026 • 1:50 PM

ආදරය, ආදරයෙන් සිදුවන අභ්‍යන්තර ආසාදනය, සහ අතීතයෙන් මිදීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද උදේ පාන්දර ම මම මගේ face book ගිණුම විවෘත කරපු ගමන් ම දැක්කෙ කවියක්; කවියක් කියන්නෙ අගනා කවියක්.
  • මම ඇයව හඳුනාගන්නෙ ගම්පහ ආසියානු නිවනට ගිය මොහොතක; ඒ වෙද්දි ඇය එහි ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කළා.
  • එවිට ඇය පැවසුවේ අධ්‍යයන කටයුත්තක් හේතුවෙන් මේ දිනවල ආසියානු නිවහනේ වැඩකටයුතුවලට සම්බන්ධ වීම නවතා ඇති බවයි.
  • නමුත් නැවතත් කවිය කියෙව්වා ම මට හිතුණා ඒ කෙටි අදහස පළ කිරීමෙන් පමණක් නතර නොවී මගේ පූර්ණ විඳීම සඳහන් කරන්න ඔ්නෙ කියල; අන්න ඒ අනුව තමයි මේ සටහන තබන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

අද උදේ පාන්දර ම මම මගේ face book ගිණුම විවෘත කරපු ගමන් ම දැක්කෙ කවියක්; කවියක් කියන්නෙ අගනා කවියක්. මේ කවිය ලියල තිබුණෙ Oshini Jayarathna මිතුරිය.

මම ඇයව හඳුනාගන්නෙ ගම්පහ ආසියානු නිවනට ගිය මොහොතක; ඒ වෙද්දි ඇය එහි ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කළා. නමුත් පසුගිය දින කිහිපයේ දකින්න නොලැබුණ නිසා මම දවසක් ඇගෙන් ඒ පිළිබඳ ව විමසුවා. එවිට ඇය පැවසුවේ අධ්‍යයන කටයුත්තක් හේතුවෙන් මේ දිනවල ආසියානු නිවහනේ වැඩකටයුතුවලට සම්බන්ධ වීම නවතා ඇති බවයි.

පළමුවෙන් ම ඇගේ අධ්‍යයන කටයුතු සඳහා සුබ පතනවා.

කවිය කියවපු මොහොතේ ම මම ඒ කවිය පිළිබඳ ඉතා ම කෙටි අදහසක් පළ කළා. නමුත් නැවතත් කවිය කියෙව්වා ම මට හිතුණා ඒ කෙටි අදහස පළ කිරීමෙන් පමණක් නතර නොවී මගේ පූර්ණ විඳීම සඳහන් කරන්න ඔ්නෙ කියල; අන්න ඒ අනුව තමයි මේ සටහන තබන්නේ.

මතු පළ කරන්නේ ඇය, ඇගේ face book ගිණුමෙහි ලියා තිබුණු කවිය යි. මේ කවියට ඇය නමක් යොදල තිබුණෙ නැහැ.

''සතියකට පැය විස්ස ගාණේ හරියට ම මාස තුනක්

ලාඳුරු රෝගියෙකු මුණ ගැහුණොතින් වැලඳෙන්න ඇත ඉඩක්

දවසකට පැය විස්ස ගාණේ මාස හතරක් පහක්

හදවතට මුණ ගැහිල තිබුණා තවත් ලාඳුරු හදක්

 

ඔහුගෙ හද ලෙඩ කරල තිබුණේ තවත් වාහක කතක්

අප හමුවෙනා කල මටත් තිබුණේ ආදරය දැනෙනා හිතක්

මගේ හිත හොඳටෝම ලෙඩ කර ඔහු ගියා බෝ දුරක්

මමත් දැන් කිසිවක්ම නොදැනෙන එවැනි වාහක කතක්

 

කාලයක් ගොස් හමුවුණා මට ආදරය උතුරන හිතක්

අඳුරු ලාඳුරු මගේ හද වෙත ආලෝකයම බෙදනා සඳක්

නොබෝ දිනකින් සිහිවුණා මට මමත් වාහක බවක්

එකල රෝගී වෙමින් සිටි මා ඔහු කළා මට මතක්

 

කෙසේ නම් සුව වෙම්ද ඔහුව බේරා ගම්ද

මමත් සෙව්වෙමි මගක්

අතීතය නිශ්ඵලය පැවැත්මක් නොවේමය කරගතිමි මා පසක්

නුඹ මගේ සඳවතය නුඹ මගේ අහසමය

තබමි මෘදු හාදුවක්

අතින් අල්ලා ගත් සේම සිතින් අල්ලා නුඹවම

ලියන්නෙමි පෙම් කවක්''

 

මගේ කියවීම ලියන්න කලින් යමක් පැහැදිලි කළ යුතුයි. ඒ තමයි කිවිදිය මෙහි සඳහන් කරන ''ලාඳුරු'' යන්න නිවැරැදි වදන නෙවෙයි. ''ලාදුරු'' තමයි එහි නිවැරැදි වචනය. මේ වචනය බිඳිල එන්නෙ පෘතුගිසි භාෂාවෙ ''Lazaro'' කියන වචනයෙන්. නමුත් බොහෝ අය ශබ්ද කරන්නෙ සහ ලියන්නෙ ''ලාඳුරු'' යනුවෙන්; ඒ නිසා ම වෙන්න ඇති කිවිඳියත් ''ලාඳුරු'' යනුවෙන් යොදන්න ඇත්තෙ.

ඒ වගේ ම මම ඇගේ කවියේ පද බෙදීම් සහ අක්ෂර වින්‍යාස කිසිවක් ම වෙනස් කරන්න උත්සාහ කරන්නෙ නැහැ. නමුත් මගේ සටහනේ දී ''ලාඳුරු'' යන්න ''ලාදුරු'' ලෙස ලියනවා.

පළමුවෙන් ම කියන්න වුමනා මෙතන කිවිඳිය ''ලාදුරු'' යනුවෙන් භාවිත කරන්නෙ ප්‍රබල රූපකයක් බව. මෙන්න මේ රූපකය මත ගොඩනැගුණු: ආදරය, ආදරයෙන් සිදුවන අභ්‍යන්තර ආසාදනය, සහ අතීතයෙන් මිදීම පිළිබඳ කවියක් ලෙසයි මම මේක දකින්නෙ. විශේෂයෙන් ම කවියේ යටි පෙළ කියවීමේ දී මතුපිටින් පෙනෙන ''ලාදුරු රෝගය''ට වඩා වෙනස්, සංකීර්ණ අර්ථයක් මතු වෙනවා.

ප්‍රබල රූපක භාවිතය

මේ කවිය වඩාත් ම වැදගත් වෙන්නෙ කවියේ ආරම්භය ඉතා සිත්ගන්නාසුලු බවක් ඇති කරන නිසා. පළමු පදයෙන් කිවිඳිය පවසන්නෙ, ''ලාදුරු රෝගියෙකු මුණ ගැහුණොතින් වැලඳෙන්න ඇත ඉඩක්'' කියල. නමුත් අපි දන්නව මේ වෙද්දි මේ රෝගය නිට්ටාවට ම සුව කරන්න පුළුවන් බව. නමුත් කිවිඳියට ඒකෙන් ඵලක් නැහැ; ඇය රුපකය යොදන්නෙ පැරණි අරුතෙන්.

ඊළඟට කිවිඳිය ලියන්නෙ ''හදවතට මුණ ගැහිල තිබුණා තවත් ලාදුරු හදක්'' කියල.

මේ පදය කියවපු ගමන් ම මට මතක් වුණේ මහාචාර්ය සුනිල් ආරියරත්න ලියපු, ගුණදාස කපුගේ සංගීතවත් කළ, ඔහු ම ගයන ''මං මුළා වී පාර සොයාගෙන'' නමැති ගීතය.

මේ පේළියෙදි කිවිඳිය දැනුවත්ව හෝ නොදැනුවත්ව ම කායික ලාදුරු රෝගයෙන් මානසික හෝ භාවමය ලාඳුරු රෝගයකට ගමන් කරනවා. තවත් සරලව කියනවා නම්: කථකාවට (මම 'කථකාව' කියල යොදන්නෙ මගේ කියවීමට සාපේක්ෂව) අනුව ආදරයත් එක්තරා ආකාරයක බෝවන රෝගයක්. කෙනකුගේ හදවතේ තිබෙන තුවාල, අහිමිවීම්, වංචා, වේදනා තවත් කෙනකුගේ හදවතටත් සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. ඒ නිසා ම කිවිඳිය ''ඔහුගෙ හද ලෙඩ කරල තිබුණේ තවත් වාහක කතක්'' යනුවෙන් යොදනවා. මෙන්න පදයත් කවියේ ඉතාම වැදගත් පදයක්. මොකද කථකාව කියන්නෙ රෝගියා පමණක් නොවෙයි; ඇයට පෙර වෙනත් කෙනෙකුගෙන් රෝගය ලැබුණු වාහකයෙක්. ඔහු හරහා එය කථකාව වෙත පැමිණෙනවා. ඒ අනුව තමයි ''වාහකයා'' රුපකය මෙහි අර්ථවත්ම රූපකයක් වෙන්නෙ.

සුවයක් ගෙන නොදෙන ආදරය

මේ කවියට අනුව ආදරය කියන්නෙ සුවයක් නෙවෙයි; ආසාදනයක්. මට මෙතන දැනුණෙ කවියේ අතිශය ඛේදනීය තැනක් විදියට.

''අප හමුවෙනා කල මටත් තිබුණේ ආදරය දැනෙනා හිතක්

මගේ හිත හොඳටෝම ලෙඩ කර ඔහු ගියා බෝ දුරක්''

මෙහිදී කථකව ගේ මුල් තත්ත්වය ආදරය කළ හැකි, නිරෝගී හදවතක්. නමුත් ඔහු හමුවීමෙන් පසු ඒ හදවත ලෙඩ වෙනවා. ඒ නිසා මෙය සාමාන්‍ය විරහ කවියක් විදියට පමණක් ගන්න බැහැ; එහි යටි පෙළේ තියෙන්නේ 'මම ආදරය කළ මිනිසා මාව අත්හැරියා' කියනවටත් වඩා, ''ඔහු ගේ අතීතයෙන් තුවාල වූ මිනිසකු ගේ තුවාලය මටත් සම්ප්‍රේෂණය වුණා.'' කියන අදහස. මට අනුව නම් ඒක තරමක් ගැඹුරු මනෝවිද්‍යාත්මක කියවීමක්.

ආත්ම විවේචනාත්මක අවබෝධය

ඊට පස්සෙ කථකාවට තවත් කෙනෙක් මුණ ගැහෙනවා.

''කාලයක් ගොස් හමුවුණා මට ආදරය උතුරන හිතක්

අඳුරු ලාලුරු මගේ හද වෙත ආලෝකයම බෙදනා සඳක්''

 

මෙන්න මෙතන දි ''සඳ'' කියන්නෙ ඉතා පැහැදිලිව ම: සුවය, ආලෝකය, නව ආදරය, නැවත ජීවත්වීමට ඇති අවස්ථාව නිරූපණය කරන රුපකයක්. නමුත් කථකාවට ප්‍රශ්නයක් තියෙනවා.

''නොබෝ දිනකින් සිහිවුණා මට මමත් වාහක බවක්''

 

මගේ කියවීමට අනුව නම් මේ පදය තමයි කවියෙ යටිපෙළේ හදවත විදියට දැනුණෙ.

කථකාව දැන් තමන් ගේ ම තුවාලය හඳුනාගන්නවා. ඒ ඇයි…?

එතෙක් කථකාව හිතුවේ ''මට රිදවූ මිනිසා'' ගැන. නමුත් දැන් තේරෙනවා මමත් තුවාල වුණ නිසා මගේ තුවාලය තවත් කෙනකුට රැගෙන යන්න පුළුවන් කියල. මට දැනුණ විදියට නම් මේක ඉතාම වැදගත් ආත්ම විවේචනාත්මක අවබෝධයක්.

පදවලින් ම ප්‍රශ්න කිරීම සහ විසඳීම

මට දැනුණු විදියට ''වාහක'' කියන රූපකය තවත් ගැඹුරු තැනකට යනවා. ඒ, කථකාව තමන්ව වින්දිතයාගෙන් වගකිවයුතු පුද්ගලයකු බවට පත් කරගැනිම නිසා. ඒ තමයි ''මට ඔහු කළා'' කියන තැනින්, ''මමත් කෙනකුට ඒ දේ කරන්න ඉඩ තිබෙනවා'' කියන තැනට ගමන් කිරීමෙන්. මම දකින්නෙ ඒක ආදරයේ ඉතා දුෂ්කර සදාචාරාත්මක ප්‍රශ්නයක්; තමන්ගේ අතීත වේදනාව නිසා අහිංසක අලුත් මිනිසකුට දඬුවම් කිරීමට අපට අයිතියක් තියෙනව ද කියල මට නම් හිතුණා. කවිය ඒ ප්‍රශ්නයට සෘජු පිළිතුරක් නොදුන්නත් ඊළඟ පදවලින් ඒ ප්‍රශ්නය විසඳන්න උත්සාහ කරනවා.

 ''කෙසේ නම් සුව වෙම්ද ඔහුව බේරා ගම්ද'' කියන්නෙ මෙතන දි ඉතා ම විශේෂ පදයක්. මෙතන ''මම සුව වෙන්නේ කොහොම ද?'' විතරක්ක් නොවෙයි. ''ඔහු ව බේරා ගම්ද'' කියලත් පවසනවා. ඒ නිසා කථකාව ගේ සුවය සහ අලුත් ආදරවන්තයා ගේ ආරක්ෂාව එකිනෙකට බැඳෙනවා.

සමහර විට ඒක මෙන්න මේ විදියට අර්ථ ගන්වන්නත් පුළුවන්.

''මම සුව නොවුණොත් මට ආදරය කරන මේ අලුත් මිනිසා ත් මගේ අතීතයේ ගොදුරක් වෙන්න පුළුවන්.'' කියන අරුතින්. ඒ නිසා කථකාව මෙතන දි තෝර ගන්න මාර්ගය තමයි අතීතය පිළිබඳ වගකීම භාර ගැනීම.

කවියෙහි දාර්ශනික ඉම

කිවිඳිය දැනුවත්ව හෝ නොදැනුවත්ව ම එක් තැනකදි දාර්ශනික තීරණයකට එළඹෙනවා.

''අතීතය නිශ්ඵලය පැවැත්මක් නොවේමය කරගතිමි මා පසක්''

 

මම මෙතන දකින්නෙ කවියේ නිෂ්කර්ෂය (සාරය) විදියට. ඒ අතීතය මකා දැමීමක් නොවෙයි.

අතීතයට තමන් ගේ වර්තමානය පාලනය කිරීමට ඉඩ නොදීම. ඒ කියන්නෙ ''මාව තුවාල කරපු මිනිසාගේ හැසිරීම මගේ අනාගතයේ හැසිරීම තීරණය නොකරනු ඇත.'' කියල තීරනය කිරීම. මෙන්න මේ නිසා කවියේ යටි පෙළේ තියෙන්නේ: අතීත තුවාලය, වේදනාව සම්ප්‍රේෂණය වීම, ස්වයං අවබෝධය, ආත්මීය වගකීම, සුවපත් වීම සහ නව ප්‍රේමයක උපත වගේ චක්‍රයක්.

මෘදු බව පසක් කරන අවසානය

''නුඹ මගේ සඳවතය නුඹ මගේ අහසමය

තබමි මෘදු හාදුවක්''

 

මෙන්න මෙතනදි කිවිඳිය කිවියේ ආරම්භයේ තිබුණු ''අඳුරු ලාදුරු'' රූපකය අවසානයේ ''සඳ'' සහ ''අහස'' බවට පරිවර්තනය කරනවා. ඒ කියන්නේ රෝගයේ භාෂාවෙන් ආරම්භ වුන කවිය ආදරයේ භාෂාවෙන් අවසන් කරනනවා. ඒක මේ අවසාන පදයෙන් ගම්‍ය වෙනවා.

''අතින් අල්ලා ගත් සේම සිතින් අල්ලා නුඹවම

ලියන්නෙමි පෙම් කවක්''

 

මගේ කියවීමට සහ විඳීමට අනුව නම් මෙය ''මම සුව වුණෙමි'' කියන සෘජු ප්‍රකාශයට වඩා හොඳ අවසානයක්. මොකද සුවය කියන්නේ රෝගය නැති බව ප්‍රකාශ කිරීම නොවෙයි; නැවත කෙනෙකුට ආදරය කරන්න පුළුවන් වෙන එක.

මගේ කියවීමට සාපේක්ෂ සංක්ෂිප්තය

මට නම් මේ කවිය මතුපිටින් පේන විදියෙ විරහ කවියක් විතරක් ම නෙවෙයි. මට මේ කවිය දැනෙන්නෙ: එක පුද්ගලයකු ගෙ අතීත ආදර තුවාලයක් තවත් පුද්ගලයකු වෙත සම්ප්‍රේෂණය වීමත්, එම තුවාලය තමා තුළ හඳුනාගත්තට පස්සෙ එය ඊළඟ ආදරයට සම්ප්‍රේෂණය නොකර නවත්වන්නට කථකාව ගන්නා තීරණයත් පිළිබඳ කවියක් විදියට. ඒ නිසා ''ලාදුරු'' මේ කවියේ ආදරයේ රෝගය නම්, ''වාහකයා'' කියන්නෙ තුවාලය සුව කර නොගත් ආදරවන්තයා; ''සඳ'' කියන්නෙ ඒ අඳුරට පැමිණෙන අලුත් ම ආදරය.

අනිත් වැදගත් කරුන තමයි කවියේ යටි පෙළේ ''මට කරපු දේ මම ත් තවත් කෙනකුට කන්නෙ නෑ'' කියන සදාචාරාත්මක ප්‍රතිඥාවක් දැනීම. ඒ නිසා අවසාන ''පෙම් කවක්'' කියන්නෙ හුදු ප්‍රේම ප්‍රකාශයක් පමනක් ම නෙවෙයි; ඒක අතීතයේ ආසාදනය අවසන් කර නව සම්බන්ධතාවයක් නිර්මාණය කිරීමේ ප්‍රකාශනයක්.

මේ කවියේ මම වඩාත් ම අගය කරන්නෙ එහි පවතින මානුෂීය සදාචාරාත්මක පණිවිඩයට; තමන් විඳි වේදනාව තවත් කෙනකුට උරුම නොකිරීම කියන්නෙ ම ආදරයේ එක්තරා උසස් ගුණාංගයක්.

අපි බොහෝ වෙලාට සාහිත්‍යය තුළ කතා කරන්නෙ: ආදරය ලැබීම, අහිමිවීම සහ විරහව ගැන විතරයි නෙ. එහෙත් තමන්ගේ අතීත තුවාල නිසා අලුත් ආදරයක් තුවාල නොකරන්න පුද්ගලයෙක් දරන අභ්‍යන්තර අරගලය ගැන කතා කරන නිර්මාණ අඩුයි නෙ. අන්න ඒ අතින් මට මේ කවිය විශේෂයි.

ජයසිරි අලවත්ත

නිදහස් ලේඛක

jayasirialawatta11@gmail.com

View all stories by ජයසිරි අලවත්ත
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...