The Leader News
BREAKING
උද්වේගය සහ සන්ත්‍රාසය තුළින් ඉතිහාසය වර්තමානයට: 'Uprising'●Diginote - ඩොලර් බිලියනයක විනිමය වංචාවක් හෙළිවේ; SRR අනුපාතය 3% දක්වා ඉහළට●ද්විත්ව පුරවැසියන්ට ජපානයෙන් දැඩි තීරණයක්: එක් රටක් තෝරාගන්න●‘උල්පතෙන් අලුත් ගඟක්’ සාහිත්‍ය සම්මානෝත්සවය 27වන දා●නීතියෙන් පමණක් රටක් හැදිය හැකිද? මිලින්දගෙන් ගැඹුරු විග්‍රහයක්●ගෙවුණු සතියේ (නොවැ. 16–20) අධිකරණ හමුවේ දිගහැරුණු ප්‍රධාන නඩු විභාග●පාර්ලිමේන්තු සමුගැනීමේ කතාව ප්‍රේමාරාධනාවකට පෙරළූ ඕස්ට්‍රේලියානු මන්ත්‍රීවරයා●සහතික නැතත් කුවේටයේ රැකියා 15ක්; රුපියල් ලක්ෂ 4 ඉක්මවන වැටුප් මෙන්න●'මම සිංහල බර්ගර් කියන්නේ හරි ආඩම්බරයෙන්' - සැන්ඩ්‍රා මැක්●දිලිත්ගේ ප්‍රධානත්වයෙන් GLEC ව්‍යවසායක සමුළුව ජපානයේදී අද ඇරඹේ●
Top Ad
සාහිත්‍ය - කලා

උද්වේගය සහ සන්ත්‍රාසය තුළින් ඉතිහාසය වර්තමානයට: 'Uprising'

Awara

Awara

November 22, 2026 • 3:08 PM

උද්වේගය සහ සන්ත්‍රාසය තුළින් ඉතිහාසය වර්තමානයට: 'Uprising'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිනිසුන් තම ජීවිත්වීම වෙනුවෙන් ගෙන යන උත්සාහවල දී දෛනික කටයුතු කරමින් සිටිනවා මෙන්ම එක් එක් තීරණාත්මක අවස්ථාවල කරන මැදිහත්වීම් හරහා ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථාන නිර්මාණය කරයි.
  • මාක්ස් පැවසූ ආකාරයට මිනිසුන් ඉතිහාසය නිර්මාණය කරන්නේ තමන් කැමති ආකාරයට නොව තමන්ට දී ඇති තත්ත්ව යටතේ ය.
  • පෝල් ග්‍රීන්ග්‍රාස්ගේ 'Uprising' චිත්‍රපටයෙන් ප්‍රතිනිර්මාණය කෙරෙන්නේ 1381 එංගලන්තයේ ඇති වූ ගොවි අරගලයක කතා පුවත යි.
  • එයින් කතානායකයා ලෙස සීසාන්නා යන අරුත් ඇති Ploughman නිරූපණය කරන්නේ ප්‍රතිවීරයකු ගේ චරිතය යි.
අකුරු ප්‍රමාණය (Font Size):

මිනිසුන් තම ජීවිත්වීම වෙනුවෙන් ගෙන යන උත්සාහවල දී දෛනික කටයුතු කරමින් සිටිනවා මෙන්ම එක් එක් තීරණාත්මක අවස්ථාවල කරන මැදිහත්වීම් හරහා ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථාන නිර්මාණය කරයි. මාක්ස් පැවසූ ආකාරයට මිනිසුන් ඉතිහාසය නිර්මාණය කරන්නේ තමන් කැමති ආකාරයට නොව තමන්ට දී ඇති තත්ත්ව යටතේ ය. පෝල් ග්‍රීන්ග්‍රාස්ගේ 'Uprising' චිත්‍රපටයෙන් ප්‍රතිනිර්මාණය කෙරෙන්නේ 1381 එංගලන්තයේ ඇති වූ ගොවි අරගලයක කතා පුවත යි.

ගොවි අරගලයේ ඉල්ලීම්

චිත්‍රපටයේ ගොඩනැගෙන චරිත කිහිපයකි. එයින් කතානායකයා ලෙස සීසාන්නා යන අරුත් ඇති Ploughman නිරූපණය කරන්නේ ප්‍රතිවීරයකු ගේ චරිතය යි. කළු මරණය Black Death ලෙස ඉතිහාසයට එක්වූ එවකට එංගලන්තය පුරා පැතිර ගිය මහමාරිය වසංගතයෙන් අති විශාල ජනකායක් මිය ගොසිනි. ගොවියා ජීවත්වන්නේ ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ගේ මතකය සහ ඔවුන් නොමැති හුදෙකලාව සහ කාලය ගෙවා ගත නොහැකි පීඩාවකිනි. ගමේ බදු එකතු කිරීමේ දී සිදුවන ම්ලේච්ඡ මැදිහත්වීමේ දී ඔහුට හුදෙක් කාලය ගෙවා දමමින් ජීවත් වෙනවාට අමතර කාර්යභාරයක් උසුලන්නට සිදු වෙයි. චිත්‍රපටය ආරම්භ වන්නේම ගොවි අරගලයට මුල පිරෙන ඒ සිදුවීමෙනි.

ගොවි අරගලයේදී ඔවුන්ගේ ඉල්ලීම වන්නේ, අයුක්ති සහගත බදුබර අහෝසි කිරීම, ප්‍රවේණිදාසභාවයෙන් නිදහස්වීම, තමන් කැමති ඉඩමක වගා කිරීමට අවසරය සහ රාජ සභාවේ ද්‍රෝහීන්ට දඬුවම් කිරීමය.

මෙම සිනමා කෘතියේ ජනතාව පෙළන පාලනයට එරෙහි ප්‍රතික්‍රියාවක අනතුර, ළාබාල රජු දකින බියකරු සිහිනවලින් නිරූපණය කරයි. ඔහුට යදින්නට දෙවියකු සිටින නමුත් දෙවියන් ගේ පණිවුඩය දරණ අගරදගුරු පවා සිය ගැලවුම්කරු ලෙස හඳුන්වන්නේ කිසිදු ආත්ම ශක්තියකින් තොර මේ යෞවන රජු ය. මන්ද යත් පල්ලිය ද ඉඩම් හිමි රදළයන් ගේ ම පාර්ශ්වයකි. ජනතාව කිරීටය වෙත යටහත්ව වෙසෙන මධ්‍යකාලීන එංගලන්තයේ රදළ පාලනයට ඇති එකම ආවරණය රජුගේ අනභියෝගී බලයයි. පීඩාවට පත් ගොවි ජනයා අභියෝග කරන්නේ රාජකීය පාලනය තුළ ආවරණය ලබන රදළ ආධිපත්‍යයට යි.

රාජ්‍ය බලයේ පීඩාකාරී ප්‍රචණ්ඩත්වයට ප්‍රතිචාර

සිනමා කෘතිය නිර්මාණය කිරීමේදී විශේෂ කාර්යභාරයක් ඉටු කරන්නේ එහි කැමරාවයි. ඒ හස්තගත චලනයවන කැමරාවකින් රූගත කරමින් ප්‍රේක්ෂකයා අදාළ සිදුවීම තුළ රඳවන දෘෂ්‍ය ගුණයක් එකතුකිරීමෙනි. එසේම කුරුලු දැක්මකින් කැමරාව මෙහෙයවා අරගලයේ අවස්ථා ග්‍රහණය කරමින් ප්‍රේක්ෂකයා තුළ උද්වේගය හා සන්ත්‍රාසය ඇති කරවයි. විශේෂයෙන්ම ගොවීන් සහ නාගරික පීඩිතයන් විසින් රාජ්‍ය බලයේ පීඩාකාරී ප්‍රචණ්ඩත්වයට ප්‍රතිචාර ලෙස සැහැසි පළිගැනීමක් ආරම්භ කරන විට ප්‍රවේගවත් දර්ශන ඉක්මනින් ඡේදනය කෙරෙන රූපරාමු යොදාගනිමින් සිනමාත්මක උපක්‍රම භාවිත කරයි.

වර්තමාන ලෝකයේ වෛවර්ණ නාගරික සංස්කෘතිය වෙනුවට මෙම සිනමා කෘතියට අවශ්‍ය දර්ශන තල තුළ පැරණි එංගලන්ත පරිසරය ප්‍රතිනිර්මාණය කරන්නේ ඊට අදාළ පැරණි බවත් අඳුරු අවපාට වර්ණ භාවිතයත් උපයෝගි කරගනිමිනි.

Uprising විමසන ප්‍රශ්නය

2026දී ප්‍රේක්ෂාගාරයට එන Uprising යනු 1381 වසංගතයෙන් පසු සිදුවීම් පාදක කරගත් සිනමා කෘතියක් බව සැබෑ ය. එසේ වුවද 2020 කෝවිඩ් වසංගතයෙන් පසුව එංගලන්තයේත් පොදුවේ ලෝකයේත් ජනතාව මුහුණ දුන් රුදුරු ආර්ථික පීඩාවත් ඊට වගකිව යුතු පාලක පෙළැන්තියත් සම්බන්ධ කෙරෙන උත්ප්‍රාසවත් කෘතියකි. බදු බර පටවමින් ආර්ථිකයේ පසුබෑම වළක්වා ගන්නට සියලුම රාජ්‍යවල පාලකයන් කටයුතු කළ අතර අද දක්වා ම පොදුවේ යුරෝපයේත් ලෝකය පුරාමත් ජනතාව ආර්ථික පීඩාවට එරෙහිව නැගිටිමින් සිටී. වත්මන් ලෝකයේ මිනිස් අභියෝග වනාහී වසර 645කට පෙර පැවති ඒවාගේ ම දිගුවකි. නිතර නිතර අප කියන නවීනත්වය, තාක්ෂණික දියුණුව හා සමාජ සංවර්ධනය යනු මායාවක්දැයි Uprising චිත්‍රපටයෙන් ප්‍රශ්න කෙරෙයි.

එසේම වත්මන් සමාජයේ පීඩාව ප්‍රශ්න කිරීමේ සහ එය වෙනස් කිරීමේ දී සමාජයීය මැදිහත්වීමේ අවශ්‍යතාවත් චිත්‍රපටයෙන් අවධාරණය කෙරෙනවා.

උපුටා ගත්තේ Chandana Sirimalwatteගේ face book පිටුවෙන්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...