''අපේ කඩයට රේඩියෝ එකක් මිලට ගැනීමේ යෝජනාව කලින්ම ගෙනාවේ අම්මා ය.
'අනේ ඒ මොන කරදරයක් ද බං සුමානයක් ගානේ බැටරි උස්සාගෙන චාර්ජ් කොරන්න අරන් යන්න වෙන්නේ මට නෙ...'
තාත්තා කතා කළේ රේඩියෝව ගෙන ඒමෙන් ලැබෙන විනෝදයට වඩා කරදරයක් ඇති වේ යැයි කල් ඇතිව දැනගත් අයෙකු මෙනි.
'නෑ නෑ ඔය පබිලිස් මාමා කියන්නෙ කාර් බැටරි ගැනයි. දැන් තියෙනවනෙ කඩදාසි පැකැට් වල ටෝච් බැටරි කෑලි දාලා හදපු බැටරි ජාතියක් . ඒවා චාර්ජ් කරන්න ඕනැ නෑ. ටෝච් එකට කෑලි දාන්න වගේ බැටරි බැස්සම අලුතෙන් එකක් ගෙනත් දාන්නයි තියෙන්නේ,' යි සමරපාල කීය.
බෝතලේගම පී. ඩී කමලාවතීලාගේ කඩයට ගෙනා රේඩියෝව ඈ තුළ ඇති කල ආසාවන් නිමක් නොවීය. රේඩියෝවේ ගීත ඉල්ලීමකින් නම කියවා ගැනීමට ඇති වූ ආසාව පසුව ළමා පිටියේ ගීතයක් ගැයීමටද නිවේදිකාවක් වීමට ද ඇති ආසාවක් දක්වා දුර ගිය අතර අවසානයේ අහිංසක ගැමි යුවතියක තම අරමුණ වෙනුවෙන් විවිධාකාර පිරිමින් ගේ ආශාවන් සංසිඳවන්නියක බවට පත් වූවා ය.''
කතුවරයාට බරපතළ තර්ජන
ගුණදාස ලියනගේ
විශිෂ්ට පුවත්පත් කතුවරයකු, ප්‍රවීණ ලේඛකයකු, පරිවර්තකයකු මෙන්ම ගුවන් විදුලි මාධ්‍යවේදියකු වූ ගුණදාස ලියනගේ විසින් රචිත, 1971 වසරේ ප්‍රකාශයට පත් වූ 'දෝන කමලාවතී 'නවකතාව එකල සමාජයේ ප්‍රබල කතිකාවක් ඇති කිරීමට සමත් වූ නිර්මාණයක් විය.
ගුවන් විදුලි ශිල්පියකුව සිටිමින් ඒ හරහා ලද අත්දැකීම් මත රචිත මෙම නවකතාව නිසා ඔහුට බරපතළ තර්ජනවලට මුහුණ පෑමට පවා සිදුව ඇත.
නිවේදිකාවන් ලෙස ස්ථිර පත්වීම් ලබා දීමට, වැඩසටහන් ලබා දීමට හෝ උසස්වීම් ලබා දීමට ඇතැම් ඉහළ නිලධාරීන් තරුණියන්ගෙන් අයුතු ලිංගික ප්‍රයෝජන අපේක්ෂා කළ බව ද දක්ෂ තරුණියන්ට වඩා නිලධාරීන් ගේ පෞද්ගලික හිතවත්කම් සහ අවශ්‍යතා ඉටු කරන අයට ප්‍රමුඛත්වය ලැබුණු ආකාරය ද මෙම කතාව හරහා කියවෙයි. ඔවුන්ගෙන් මිදී තම ආත්ම ගරුත්වය ආරක්ෂා කර ගනිමින් රැකියාව කිරීමට උත්සාහ කළ කාන්තාවන්ට විවිධ කටකතා, අපහාස සහ මානසික හිරිහැරවලට මුහුණ දීමට සිදු විය.
ගුවන් විදුලි සේවිකාවන් නිලධාරින් ගේ සුරතලියන් ලෙස…
නගරයට පැමිණ නවාතැන් ගෙන සිටි තරුණියන්ට රැකියා ස්ථානයේ දී මෙන්ම ඉන් පිටතදීත් නිසි රැකවරණයක් නොතිබුණි. ඇතැම් බලවත් පුද්ගලයන් ඔවුන් ගේ අසරණභාවයෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට උත්සාහ කළහ.
ස්ථිර නොවන පදනම මත (සහන නිවේදිකාවන් ලෙස) සේවයට බඳවා ගත් තරුණියන්ට ඕනෑම මොහොතක රැකියාව අහිමි වීමේ අවදානමක් පැවතුණ අතර මෙම අස්ථාවරත්වය නිලධාරීන්ට ඔවුන්ව පාලනය කිරීමට ප්‍රබල අවියක් විය.
විදුලි කොමිසන් සභාවේ වාර්තාවේ නිර්දේශිත කෘතිය

මෙම කෘතිය පළ වීමත් සමග එකල ගුවන් විදුලි සංස්ථාව තුළ පැවති මෙම දූෂිත ක්‍රියාකලාප පිළිබඳව මුළු රටේ ම දැඩි අවධානයක් යොමු වූ අතර පසුකාලීනව පත් කළ ගුවන් විදුලි කොමිසන් සභාවේ වාර්තාවේ පවා මෙම කෘතිය විශේෂයෙන් සඳහන් කර ඇත.
ගුවන්විදුලි නිලධාරීන්ට නිවැරදි මග යෑමට සහ අපකීර්තියෙන් වැළකී සිටීමට සෑම නිලධාරියකු විසින් ම කියවා තේරුම් ගත යුතු කෘතියක් ලෙස එම වාර්තාව මගින් 'දෝන කමලාවතී' නවකතාව නිර්දේශ කර තිබීම මගින් මෙම කෘතිය එකල සමාජයට කෙතරම් බලපෑමක් කරන්නට ඇති ද යන්න සිතාගත හැකි ය.
1960-70 දශකය පාදක කර ගනිමින් ලියවුණ ද මෙම කෘතිය ඕනෑම ආයතනයක් තුළ කාන්තාවන් හට සිදුවන බලපෑම් පිළිබඳ සර්වකාලීන කෘතියක් ලෙසට හැඳින්විය හැකි ය.
උපුටා ගත්තේ Madhavi Ekanayake ගේ face book පිටුවෙන්




