The Leader News
BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

යාපනයේ මගේ Encyclopedia ව නික්ම ගොසිනි

Nethmini

Nethmini

November 20, 2026 • 11:33 AM

යාපනයේ මගේ Encyclopedia ව නික්ම ගොසිනි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''මගේ මිතුරන් මම වෙනුවෙන් කඳුළක් හෙලුවොත් එය ම මගේ අවමංගල චාරිත්‍රය බවත් වෙනත් කිසිදු අවමංගල චාරිත්‍රයක් අවශ්‍ය නොමැති බවත්'' ලියා තියා ඔහු අවසන් ගමන් ගොස් ඇත.
  • එහෙත් ඔහුගේ සිතිවිල්ල නිවැරදි වග සත්‍යයක් වී ඇත.
  • බොහෝ අව්‍යාජ ලෙස කතා කළ ඔහු මට ක්‍රමයෙන් නෑදැයකු විය.
  • ඒ ආමන්ත්‍රණයේ ඇත්තෙ ම මනුස්සකම ය.
අකුරු ප්‍රමාණය (Font Size):

''මගේ මිතුරන් මම වෙනුවෙන් කඳුළක් හෙලුවොත් එය ම මගේ අවමංගල චාරිත්‍රය බවත් වෙනත් කිසිදු අවමංගල චාරිත්‍රයක් අවශ්‍ය නොමැති බවත්'' ලියා තියා ඔහු අවසන් ගමන් ගොස් ඇත. ඒ ඔහු ගේ ක්‍රමයයි. ඔහුගේ අවමංගල චාරිත්‍ර මෙරට දහස්වාරයක් සිදුවන වග කියන්නට මෙන් ඔහු ගේ මිතුරු සමූහය සුසුම් හෙලමින් සිටී. ඔහුට එය පෙනෙනවා දැයි නොදනිමි. එහෙත් ඔහුගේ සිතිවිල්ල නිවැරදි වග සත්‍යයක් වී ඇත. දෙස් විදෙස් මිතුරන් දුරකතන ඇමතුම් දෙමින් ඒ ශෝකය බෙදා හදා ගන්නේ අපි මිනිස් පවුලේ නෑයින් හෙයිනි. ආචාර්ය පොන්නම්බලම් රඝුපති, ආචාර්ය සුනිල් විජේසිරිවධන, චූලානන්ද සමරනායක ආදී බොහෝ දෙනකු ඒ අනුවේදනීය ආරංචිය බෙදා හදා ගන්නට වූහ.

මම, යාපනයේ පෙම්වතිය වුණෙමි

නමින් රුද්‍රමූර්ති චේරන් වූ ඔහු යාපනයේ අල්වඩ්ඩි ගමේ උපත ලැබූවෙකි. ඔහුගේ පියා මහා කවි රුද්‍රමූර්ති ය. තෙලිප්පලේ මහජන කොලීජියෙන් පාසල් අධ්‍යාපනය ලැබූ ඔහු යාපනය සරසවියේ විද්‍යාවේදී උපාධිය හැදෑරුවෙකි. මාධ්‍යවේදියකු, කවියකු මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වන ඔහු මට හමුවන්නේ මගේ ගුරුවරයකු වූ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ගේ දැනුවත් කිරීම් නිසා ය. සුනිල් විජේසිරිවර්ධන මේ නිතරම කියන චේරන් කවුදැයි සොයමින් හිඳිනා දිනෙක මට චේරන් හමුවිය. බොහෝ අව්‍යාජ ලෙස කතා කළ ඔහු මට ක්‍රමයෙන් නෑදැයකු විය. ඒ බැදීම මට ඒත්තු ගන්වන කාරණා රැසකි.

අපි මුලින්ම කතා කරන්නට ගත් දින සිට '' මට සර් කියන්න එපා පුතා'' කියා පටන් ගත් කතාව කවි, පුරාවිද්‍යාව, පත්තර කලාව පසු කොට ගමන් කරමින් දරුවකුට පුදනා ආදරය කරුණාව නම් කඳු මුදුනට මා ඔසවා තැබුවේ ය. ඔහුට මට කතා කළේ ''පුතා'' යන ඇමතුමෙනි.. ඒ ආමන්ත්‍රණයේ ඇත්තෙ ම මනුස්සකම ය. ''මට සර් කියන්න එපා. චේරන් කියන්න පුතා'' කී ඔහු මගේ ගෞරවය මුසු 'චෙචි' යන නම පිළිගත්තේය. එතැන් පටන් අපිට බෙදා හදා ගන්නට බොහෝ දේ විනි. මම ඔහු පුරාවිද්‍යාව හා සම්බන්ධ වග දැනගත්තේ අහම්බෙනි. අපි පුරාවිද්යාවෙ දී අධ්‍යයනය කළ මහාචාර්ය පොන්නම්බලම් රඝුපතිගේ ''Early settlement in Jaffna'' පොත ගැන කියූ ඔහු එහි තිබු මැටි බඳුන් සැලසුම් ඇඳ ඇත්තේ ඔහු වග සඳහන් කළේ ය. එසැණින් සරසවියේ පරණ පැවරුම් ගොඩ පෙරළා එම ග්‍රන්ථය ඇසුරින් කළ පැවරුම ඔහුට පෙන් වූයේ නිම හිම් නැති සතුටිනි. ඔහු විසින් අඳින ලද සැලසුම් ඡායා පිටපත් කොට මම එහි අලවා තිබිණි, ජීවිතේ කොපමණ අපි පුදුම කරවනවාද? ඒ සියල්ලට වඩා පුදුමය ඔහු මගේ ගුරුවරුන් හොඳින් ඇසුරු කර තිබීමය. ඒ සියලු කතා නිමා වූ දිනක ඔහු මට විද්‍යුත් තැපෑල හරහා කළු සුදු ඡායා රූප ගණනාවක් එවා තිබිණි. එහි තිබුණේ ඔවුන් මීට දශක ගණනාවකට පෙර 'අන්නෙයි කොට්ටෙයි'  කැණීම කරමින් සිටියදී ගත් ඡායා රූප ගණනාවකි. මේ කැණීම ගැන ඉගන ගෙන තිබුන ද, එම පැරණි රූ මෙලෙස දකින්නට අවස්ථාවක් ලැබේ යයි සිහිනෙන්වත් නොසිතුවෙමි. එම ඡායාරූප එවා අවසන ''පුතා ඔයා මේ පින්තූර ඔයා ගේ වැඩකට ඕනෑම වෙලාවක පාවිච්චි කරන්න. ඒ අයිතිය මම ඔයාට දෙනවා. මොකද ඔයා යාපනේ පෙම්වතිය නේ…'' කීවේ ය.

යාපන විශ්වකෝෂය (Jaffna encyclopedia)

ඇතැම් දිනෙක ඔහු පැය ගණන් මම වෙනුවෙන් තොරතුරු සෙව්වේ ''පුතා ඔයාට පුළුවන් ඕනෑම වෙලාවක මට කරදර කරන්න. මම තරහ ගන්නේ නෑ.'' යන අවසරය දෙමිනි. ඇතැම් විට මට හිතෙන්නේ යාපනය පිළිබඳ සියල්ල දන්නා යාපන විශ්වකෝෂය (Jaffna encyclopedia) ඔහු වග ය. කාගේ හෝ පොතක් ලිපිනයක් අවශ්‍ය වුව ද මම ඔහුට කරදර කරමි. ඇතම්විට ඔහු ''පුතා මම මේක දන්නේ නෑ. ඒත් මේ කෙනා ඒක දන්නවා යයි කියමින් තවත් කෙනෙක් මට සම්බනධ කර දෙයි. හොඳ ම උදාහරණය මම යාපන පුස්තකාලයේ නිර්මාතෘ කේ. එම්. චෙලාප්පා ගේ නිවාස සොයමින් හිඳී කාලය යි. දිනපතා මම ඔහුගෙන් ඒ ගැන විමසුවෙමි. අවසන ඔහු මට එහි යෑමට තොරතුරක් දුන්නේ ය. ඉන් පසු ඒ පිළිබඳ යම් මානයක් ඇතිවිය. ඇතැම් දිනෙක මම යාපනයට යන විට ''පුතා මේ මගේ යාළුවෙක්. ගිහින් එයා හම්බවෙන්න. එයා අහවල් වෙලාවට ඔයා බලන්න ඒවි.'' කියන්නේ ය. මම තිලීපන් ගේ නිවස ගැන අසන විටද එහි නම් ගම සහිත ඔත්තුව දුන්නේ ඔහු ය.

 මනුෂ්‍යත්වයේ බැඳීම්

මම නන්දා මාලිනී ගේ ගුණදාස කපුගේ ගෙ සින්දුවලට කැමතියි කියන ඔහු ''අහස උසට නැග ගියාට නැහැ නෙ අහසෙ රැඳෙන්නේ'', ''සබඳ අපි කඳු නොවෙමු'' යනාදි ගීත පිළිබඳ ගෞරවයකින් කතාකරන්නේ ය.

දිනක් ඔහු මට කීවේ ''පුතාට පී.එච් .ඩී ( ආචාර්ය උපාධිය) එක කරන්න මම විශ්වවිද්‍යාලයක් හොයනවා.'' යනුවෙනි. එහෙත් මම එවකට කරමින් සිටි අධ්‍යාපන කටයුත්ත අවසන් කිරීම මගේ අදහස බව මම කීවෙමි. උදව් කරනවානම් තමන් ගේ වර්ගයේ මිනිසුන් ඕනෑතරම් ඇතුවද ඔහු, සිංහල ජාතියේ වූ මට එසේ උදව් කරන්නට හිතන්නේ ඔහුට අවශ්‍ය මනුෂ්‍යත්වයේ බැඳීම් පමණක් නිසා ය.

එවකට ඇතැම් දිනෙක දුරකථන සංවාද අවසන් කරමින් ඔහු ඇතැම් දවසක කියන්නේ ''පුතා මට නිදාගන්න බයයි. හැමදාම මට හීන පේනවා; මට පෙන්නේ ඒ කාලේ යුද්දේ ම යි එකම විදියට.'' කියා ය.

යාපනය මහජන පුස්තකාලය විවෘත කළ දිනයේ ගත් ඉපැරැණි සේයාරුව මට සොමිතරන් අය්යා ලවා සොයා දුන්නේ ද ඔහු ය.

උපේක්ෂා සහගත කවියා

දිනෙක මම යාපනයට ගියේ යාපනය විශ්වවිද්‍යාලයට යෑමට ය. එදා ඔහුට මම යාපනේ යනවග කීවේ රාත්‍රී තැපැල් දුම්රියට ද ගොඩ වූ පසුව හදිසියේ ය. පසුදා විශ්වවිද්‍යාලයට ගොස් එවකට එහි උපකුලපතිවරයා වූ ආචාර්ය සිවකොලින්දු සත්කුන්රජා හමු වූ විට ඔහු පැවසු දෙයින් මම පුදුම වීමි. ඔහු කීවේ ''අහවල් රටේ ඉන්න කෙනෙක් මට ඔයා ගැන කියල ඊ මේල් එකක් එවල තිබුණා.'' ලෙස ය. ඔහු ඔහු ගේ වර්ගයා අභිමුව මා පිළිබඳ සහතිකයක් දී ඇත. ඔහු මට ''පුතා'' ලෙස ඇමතීම හදවතින්ම සිදුකරන වගට මට තවත් සාක්ෂි අවශ්‍ය නොවිණි.

2021 වසරේදී මගේ තාත්තාගේ නික්මන සමග දුකින් වෙළුණු ඔහු විටින් විට මා අමතා ''පුතා කොහොම ද? ඔයාට. දැන් තාත්තා වෙනුවට මම පුතාව බලා ගන්නවා.'' කියමින් ඔහුගේ මනුෂ්‍යත්වයේ නෑදෑකම් පිළිබඳ මට තවත් වරක් සනාථ කළේ ය. තවත් දිනෙක යාපනය මහජන පුස්තකාලය පිළිබඳ රචිත කවි පොත සඳහා චිත්‍ර කීපයක් අවැසි වූ විට මම ඒ බව චේරන් නම් නෑදෑයාට කීවෙමි.

''ඔබට චිත්‍ර අඳින්න පුළුවන් නේද? මට මේ වර්ගේ චිත්‍ර ටිකක් ඇඳලා දෙනවාද? '' මම ඇසුවෙමි.

''මට වඩා දක්ෂ කෙනෙක් ලවා මම ඒක කරවල දෙන්නම්,'' කියූ ඔහු රශ්මි අහමඩ් නම් චිත්‍ර ශිල්පියා මට සම්බන්ධ කර දුන්නේය. ඔහුට සිංහල සමාජයේ ඕනෑතරම් සම්බන්ධතා මිතුරුකම් තිබුණ ද මම විශ්වාසකරන්නේ මම තරම් ඔහුට කරදර කරන අන් කෙනෙක් මේ සිංහල සමාජයේ නැති බව ය. එය මාගේ දුර්වල කමක් විය හැකි ය. එහෙත් ඒ සියල්ල චේරන් නම් කවියා බොහෝ ආදරෙන් උපේක්ෂාවෙන් ඉවසන වග මම දනිමි.

අරගලයට පදනම

එකල ඔහු ගෙන් අතීත යාපනය ගැන අසද්දී කුඩා අවධියේ යාපන පුස්තකාලයට ගොස් සාමාජිකත්වය ඉල්ලා රණ්ඩු කළ අයුරු කී ඔහු තවත් දවසක කීවේ ඉන්දියාවේ දී එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන් හමුවී ඔහුට විහිළු කළ ආකරය යි. චේරන් ලේ දුටුවිට ක්ලාන්ත වන බව කියමිනුත්, නිර්මාංස පුද්ගලයකු වුවත් චේරන් බිත්තර කෑම නිසා "ඔයා eggtarian" කෙනෙක් නේද යනුවෙන් අසා සිනාසුණුබවත් ඔහු කීවේය. (එවකට චේරන්, ටෙලෝ සංවිධානයේ ක්‍රියාකාරිකයෙක් විය. එල්.ටී.ටී.ඊ ය සහ ටෙලෝ අතර වූයේ විරසකයකි) තවත් චේරන් පැවසුවේ යාපනය පුස්තකාලයට ගිනි තැබූ දා ඔවුන් බාලසිංහම් නේවාසිකාගාරයේ සිට එම දුම දැක එහි ගිය අයුරුත්, එහි සිටි සිංහල පිරිස් බයිල කියමින් නට නටා සිටි ආකාරයත් ය. ඒ සියල්ල ඉවසනු බැරිව එදා ඔවුන් විශ්වවිද්‍යාලයට ගොස් කණ්ඩායම් කීපයක් ලෙස අරගලය ආරම්භ කළ බව ද විස්තර කළේ ය.

නන්නාඳුනන පුද්ගලයා

අතොරක් නැතිව එක පුද්ගලයෙක් ගැනත් , යාපනය ගැනත් අසන ප්‍රශ්නවලට ඔහු බොහෝ ඉවසීමෙන් උත්තර දෙන්නේ ය. දවසක් දෙකක් මම අන්තර්ජාලයේ නොදුටුව හොත් ඔහු ''පුතා අවදි වෙන්න. ඔයා හොඳින් නේද?'' යැයි අසමින් පණිවිඩයක් තියන්නේය. 2011 මගේ ''ගිනි වැදුණු පියාපත්’’ පොත එළිදකින දා එක පුද්ගලයකු පොතක් ගෙන මා අතට දී ''මාව එව්වේ චේරන්. මේ පොත එයා නමට අස්සන් කර දෙන්න.'' යැයි පැවසුවේය. එදා රාත්‍රියේ මට මගේ අත්සන සහිත සටහනේ ඡායාරූපයක් එවමින් ''පුතා දන්නව ද ඒ උත්සවේට ආවේ කවුද කියල…?’’

චේරන් ඇසුවේ ය

''නෑ… මම එයා දැක්කේ පළවෙනි වතාවට.''  

මම කීවෙමි.

''ඒ වාසුදේව නානායක්කාර ගේ පුතා,’’ යැයි චේරන් කීවේය.

ඔහුට එන්නට නොහැකි වූ උත්සවයට ඔහුගේ ශිෂ්‍යයකු වූ එම පුද්ගලයා එවා ඔහු නියෝජනය කරවන්නට තරම් චේරන්ට ඇත්තේ දයාබරත්වයෙන් පිරුණු හදවතකි. එසේම "පිපාසි සමාධිය" දොරට වඩින දවසේ ඔහු ඔහුගේ මිතුරු සුනන්ද දේශප්‍රිය එවා තිබුණි. එය ද ඔහු මට කීවේ පසුවය.

"පුතා මම වෙනුවෙන් යන්න කියල මම සුනන්ද ට කීවා," යැයි ඔහු පැවසී ය; ඔහු එසේය.

දකුණට පෑ ආදරය

කාලය දිගින් දිගට වසර ගණනක් ගතවිය. 2024 මැයි මාසයේ දී මට ඇමතුමක් ලැබුණේ යාපනයේ 'කලාම්' හි දී එළි දැක්වීමට නියමිත ඔහුගේ 'කන්ජි' කාව්‍ය සංග්‍රහය උත්සවය වෙනුවෙන් චෙරන් ගේ සිංහලට පරිවර්තනය වූ කවි කීපයක් කියවන්නට එන ලෙස ය. එදා උත්සවයේ සියලු වැඩ අහවර වූ විට එහි සිටි විශ්‍රාමික මහාචාර්යවරයා මට පැවසුවේ ''ඔයාට මේ පොතේ කවියක් තියනවා…'' යනුවෙනි. සැබෑවටම මම දැනගත්තේ ඒ මොහොතේ ය. එම කෘතියේ මටත්, යාපනය පුස්තකාලය වෙනුවෙන් ‘Burning memories’ චිත්‍රපටය සෑදු සොමිතරන් අය්යා නමටත් කවියක් විය. ඔහු ගෙන් එය පසුව මා විමසනතුරුත් කිසිවක් නොකීවේ ය. තවත් වරෙක ඉන්දියාවේ " කාලාචෝඩ" සගරාවට මා සම්බන්ධව ලියා තිබුණි. ඒ ඔහු දකුණට පෑ ආදරය යි.

හදිසියේ තමදිවි සැරිය නිමකළ චේරන් රුද්‍රමූර්ති කවියා ශ්‍රී ලාංකික සාහිත්‍ය අහස මත තරු ලකුණක්ව සදාකල් බබලනු ඇත; ඔහු ගේ දකුණේ මිතුරන් පරම්පරාවෙන් පරම්පරාවට ඔහුගේ නම මුමුණනු ඇත. ඉතින්, චේරන් රුද්‍රමූර්ති නම් කිවිඳුනි: ඔබේ අවසන් කැමැත්ත පරිදි ම, ඔබගේ විශ්වාසයේ ලෙසට ම මෙදියත පුරා ඉන්නා මිතුරන් කඳුළු සෝ සුසුම් පිටකරමින් ඔබේ අවමංගල චාරිත්‍රය සිදු කරමින් සිටී.

මම යාපනයේ පෙම්වතිය,

සඳරැසී සුදුසිංහ

මාතර ඉඳන්

උපුටා ගත්තේ Sandaresee Sudusingheගේ face book පිටුවෙන්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...