2023 වර්ෂයේ වැහිබර හැන්දෑවක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ගේ මැයිමාර ප්‍රසංගය පොත එළි දැක්වූයේ ය. එය සාමාන්‍යය පොත් එළිදැක්වීමකට වඩා තරමක් වෙනස් වූවකි. එළිදැක්වීම සිදු වූයේ අප හිතවත් ධම්මික ජයවර්ධන සහෝදරයා ගේ සීදුවේ නිවසේ ය; එහි අහස් ගවුවේ දී ය.
තෙවසරකින් ඉනිබ්බේ දී 2026 ඔක්තෝබර් 31 වන ඉරිදා හැන්දෑවේ එය සිනමා පටයක් ලෙස පළමු මාධ්‍ය ප්‍රදර්ශනය කොළඹ තරංගනී සිනමා හලේ දී එළි දුටුවේ ය. එම අවස්ථා දෙකේ ම ජීවමාන සාක්ෂිකරුවෙකු ලෙසත්, නවකථාවේ පාඨකයෙකු ලෙස සහ දැන් සිනමා වියමනේ ප්රේක්ෂකයකු ලෙසත් ඒ පිළබඳ මාගේ කියවීම පහත අමුණමි.
සමිධ ගේ පරිකල්පනීය අනන්‍යතා හැඟවුම්කාරකය
මැයි මාර ප්‍රසංගය සිනමා කාව්‍යය නැරඹීමෙන් පසු සහෘද ප්‍රේක්ෂක සන්තානයේ ඉතිරි වන්නේ හුදු ඒකපාර්ශික රෝමාන්තික ප්‍රේම කතාවක රසවත් මතකයක් පමණක් නො වේ.
ප්‍රේමය යනු කුමක්ද ?
මිනිසකු තවත් මිනිසකුට ආදරය කරන විට ඔහු සැබවින් ම ආදරය කරන්නේ අනෙකාට ද…? නැතහොත් අනෙකා තුළින් තමන් විසින් ම ගොඩනගාගත් පරිකල්පනීය ලෝකයට ද…? යනාදි දාර්ශනික ප්‍රශ්න කිහිපයක් ද ප්‍රේක්ෂකයාට ඉතිරි වේ.

ඉහත අවසන් ප්‍රශ්නයට ඉසියුම් ඉඟියක් සමිධගේ දෙබසක අන්තර්ගත ය. ඇයට සම්මුති ලෝකයේ කුමන නමක් කවුරුන් විසින් තබනු ලැබුව ද තම පරිකල්පනීය නම "සංචරණී" බව සමිධ විසින් තරුණයාට පවසනු ලබයි. එබැවින් එම නම යථාවක් නො ව සමිධ ගේ පරිකල්පනීය අනන්‍යතා හැඟවුම්කාරකය යි.
ස්වාර්ථයත්, පරාර්ථයත් අතර අනියත කලාපය
මැයිමාර ප්‍රසංගයේ අපට හමුවන සමිධ ස්ව ප්‍රේමය පිළිබඳ එකිනෙකට විරුද්ධාභාෂී (Paradox ) මානව ලක්ෂණ ද්විත්වයක් පෙන්වයි. එක පැත්තකින් ඔහු සංචරණී ගේ සතුට අපේක්ෂා කරයි; ඇය ගෙන් ඇල්මක , බැල්මක , සුසුමක තරම්වත් පිළිගැනීමක් හෝ අයිතියක් ඉල්ලා නොසිට ඇය ගේ ජීවිතයට සතුටක් එක් කිරීමට පමණක් ම හේ කටයුතු කරයි.
නිදසුනක් ලෙස සංචරණී ගේ මග හරස් කර ඇය සමග කතා කරන්නට තාරුණයා යෝජනා කළ මොහොතේ සමිධ එය ප්‍රතික්ෂේප කරන්නේත්, කෘත්‍රිම මැයි මාර ප්‍රසංගයක් පවත්වන්නේත් ඇය ගේ සතුට පමණක් ම ප්‍රාර්ථනා කරන විතරාගී මුණිවරයෙකු මෙනි.
"කොහොම හරි අයිති කර ගන්නවා කියන එක දේශපාලනික යි; එයා කොහොම හරි කොහේ හරි සතුටින් ඇති කියලා පතන එක විශ්වීය යි"
යන වදන් සමිධගේ මුවින් පිට වේ.
අනෙක් අතින් සමිධ සංචරණී සමග ස්වයං නිර්මාතෘක ස්වප්න මනෝ මන්දිරයකද ජීවත් වෙයි. එතැනින් ඔහු යම් පමණකින් විරාගයේ අරවින්දගෙන් වෙනස් වෙයි. එබැවින් සමිධ ගේ සංචරණී පිළිබඳ සිත ස්වාර්ථයත්, පරාර්ථයත් අතර අනියත කලාපයකට ඇතුළත් කළ හැකි වේ.
ප්‍රේමය යනු අත්පත් කර ගැනීමක් නොවේ
ප්‍රේමය පිළිබඳ මෙවැනි ද්විත්ව ස්වභාවයක් මනෝවිද්‍යාත්මකව තේරුම් ගැනීමට බැඳීම් න්‍යායේ පියා ලෙස සලකන බ්‍රිතාන්‍ය ජාතික ජෝන් බෝල්බිගේ (1907-1990) Attachment Theory හෙවත් බැඳීම් න්‍යාය උපකාරී වේ. මිනිසා ගේ ආරක්ෂාව, සමීපත්වය සහ මානසික සැනසීම පිළිබඳ අවශ්‍යතා ඔහු ගේ ආදර සබඳතා තුළ ද ප්රකාශමාන වේ. එසේම එක්සත් ජනපද ජාතික මනෝවිද්‍යාඥ ඩොරති ටෙනොව් (1928- 2007) හඳුන්වා දුන් ලිමරන්ස් (Limerence) සංකල්පය අනුව, ඇතැම් විට පුද්ගලයකු තවත් අයකු කෙරෙහි ඇති කරගන්නා දැඩි ආකර්ෂණය එම පුද්ගලයා පිළිබඳ නිරන්තර සිතුවිලි, පරිකල්පන සහ ප්‍රතිචාර අපේක්ෂා වෙතින් ම පෝෂණය වේ; එය පෙරළා අනෙකාගෙන් ද අපේක්ෂා කරයි. 1979දි ඩොරති විසින් ලියන ලද Love and Limerence කෘතියේ මේ පිළිබඳ ශාස්ත්‍රීය මත ඉදිරිපත් කර ඇත.
ලිමරන්ස් ප්‍රවාදය සමිධ ගේ චරිතයට සම්පූර්ණයෙන්ම ආදේශ කළ හැකි තත්ත්වයක් නොවුණත්, ඔහු ගේ ආදරය තුළ පරිකල්පනය කොතරම් ප්‍රබල කාර්යයක් ඉටු කරන්නේද යන්න විමසීමට එය ප්‍රයෝජනවත් සංකල්පයකි.
එපමණක් නොව ලෝ ප්‍රකට ජර්මානු සහ ඇමරිකානු දාර්ශනික එරික් ෆ්‍රොම් (1900-1980) සිය The Art of Loving (1956) කෘතියෙන් ප්‍රේමය යනු අත්පත් කරගැනීමක් නොව, සැලකිල්ල, වගකීම, ගෞරවය සහ දැනුම මත පදනම් වූ ක්‍රියාකාරී මානවීය බැඳීමක් බව පෙන්වා දෙයි; මේ අදහස සමිධගේ චරිතය විග්රහ කිරීමේදී වැදගත් වේ.
සමිධ ගෙන් ව්‍යුක්ත පැවැත්මක් ඇති ප්රපංචය
යමෙකුට ආදරය කිරීම යනු ඔහු හෝ ඇය තමන්ට අවශ්‍ය ආකාරයට හැඩගැස්වීම නොවේ. අනෙකා ගේ සතුට, නිදහස සහ ස්වාධීන පැවැත්ම පිළිගැනීම ද ප්‍රේමයේ ම එක් කොටසකි. එහෙත් සමිධ ගේ ප්‍රේමය තුළ ඇති පරිකල්පනීය බැඳීම නිසා තවත් ප්‍රශ්නයක් මතු වේ. ඔහු ආදරය කරන්නේ සංචරණී නම් සැබෑ මනුෂ්‍යයාට ද, නැතහොත් තමන්ගේ සිත තුළ නිර්මාණය කරගත් සංචාරණී ගේ මනෝ රූපයටද?
මෙම ප්රශ්නය මහා ප්‍රංශ දාර්ශනික ජීන් පෝල් සාත්‍රේගේ (1905- 1980) නිදහස පිළිබඳ දර්ශනය සමග ද සම්බන්ධ කළ හැකි ය. සාත්‍රේ ගේ පැවැත්මවාදී දර්ශනය අනුව අනෙකා යනු අපගේ කැමැත්තට අනුව පාලනය කළ හැකි වස්තුවක් නොව, තමන් ගේ ම නිදහසක් සහ තෝරාගැනීම් ඇති මනුෂ්‍යය සත්ත්වයෙකි. එබැවින් ප්‍රේමය තුළ ඇති විශාලතම සදාචාරාත්මක අභියෝගයක් වන්නේ අනෙකාගේ නිදහසට ගරු කිරීමයි.
සංචරණී සමිධ ගේ ස්වප්න ලෝකයේ පමණක් ජීවත් වන චරිතයක් නො වේ. ඇයට ඇගේ ම කැමැත්තක්, ස්වයං වරයක් සහ ස්වාධීන ජීවිතයක් තිබේ. ඇය සමිධ ගෙන් ව්‍යුක්ත පැවැත්මක් ඇති ප්රපංචයකි. මේ නිසා ඇය සමිධ ගේ ආශාවේ වස්තුවක් (Object of Desire) බවට පමණක් පත් නොකර, ස්වාධීන මනුෂ්‍යයකු ලෙස කියවීම අත්‍යවශ්‍ය වේ.
මතකය, පරිකල්පනය සහ ප්‍රේමයේ සදාචාරය
මෙහි තවත් වැදගත් දාර්ශනික මානයක් වන්නේ මතකය සහ පරිකල්පනය අතර ඇති සම්බන්ධතාවයි. ප්‍රංශ මහා ලේඛක සහ විචාරක මාර්සෙල් ප්රස්ට්ගේ (1871- 1922) In Search of Lost Time කෘතියෙන් මතු කරන මූලික අදහසක් වන්නේ මතකය යනු අතීතය එලෙස ම නැවත ගෙන ඒමක් නොව, වර්තමාන මනස විසින් අතීතය නැවත නිර්මාණය කිරීමක් බවයි.
අප යමකු පිළිබඳව මතක තබාගන්නේ ඔහු ගේ හෝ ඇය ගේ සියලු සැබෑ ගුණාංග නොවේ. අපට වැදගත් වූ අවස්ථා, අපේක්ෂා, වේදනා සහ සිහින ඒ මතකය තුළ මිශ්‍ර වෙයි. සමිධ ගේ ප්‍රේමය තුළ ද මෙම මනෝවිද්‍යාත්මක ක්‍රියාවලිය හඳුනාගත හැකි ය. ඔහුගේ ලෝකය තුළ සංචරණී යනු පුද්ගලයකු පමණක් නොව, ඔහුගේ ජීවිතයට සහේතුක සංකේතයකි; රූපකයකි. ඇය පිළිබඳ සිතුවිලි ඔහුගේ දෛනික ජීවිතය වෙනස් කරයි. සාමාන්‍ය චෛතසික රිද්මය වෙනස් කරයි. සාමාන්‍යයෙන් අර්ථ විරහිත යැයි පෙනෙන දේවල පවා ඔහු සෞන්දර්යක් දකියි.
සමිධ ඇය දිනපතා ගමන් ගන්නා කුඩා අඩි පාරේ මල් පෙතක් වවයි; ඇයටවත් නොදැනෙන්නට ඇගේ ඇස අස මැයි මාර ප්‍රසංග මවයි. මෙය ප්‍රේමය මිනිසා ගේ සංවේදන ලෝකය පුළුල් කරන ආකාරය පිළිබඳ කලාත්මක නිරූපණයකි. නමුත් මෙහි දී අප විමසිය යුත්තේ සමිධගේ ආදරය ඔහුගේ ජීවිතය සුන්දර කරන අතර ම, ඔහුගේ පියවි සැබෑ ලෝකය පිළිබඳ අවබෝධය සීමා කරනවා ද යන්නයි.
ආදරය මිනිසාට අලුත් ලෝකයක් විවර කළ හැකි නමුත්, ඇතැම් විට ඔහු තමන් විසින් ම ගොඩනගාගත් ලෝකයක සිරකරුවකු බවට ද පත් කළ හැකි ය. ඒ නිසා සමිධ ගේ චරිතය තුළ අපට හමුවන්නේ ප්‍රේමයේ සුන්දරත්වය පමණක් නො ව, එහි අභ්‍යන්තර අවදානම ද වේ.
ගැමි පරිසරය සහ කාව්‍යමය යථාර්ථය
සූර කතා රචකයෙකු වන කතුවරයා මැයි මාර ප්‍රසංගය නව කතාවේ මැවූ දෘශ්‍ය, ඝ්‍රාණ මෙන් ම ස්පර්ශ ගෝචර ස්වාභාවික පරිසරය මෙම කතාවේ අර්ථය ගොඩනගන වැදගත් සාධකයකි. ඔහු එය උපරිමයෙන් ම සිනමා මාධ්‍යයට ගෙන ඒමට දැනෙන වෙහෙසක් ගෙන ඇත.

දෙමෝදර ගම්මානයේ ජීවිතය, එහි සාමාන්‍ය මිනිසුන්, ස්වභාවික පරිසරය සහ දෛනික සිදුවීම් අතරින් සමිධ ගේ වෙනස් සංවේදන ලෝකය මතු වේ. අප බඳු සාමාන්‍ය මිනිසකුට නොපෙනෙන නොහැඟෙන කාව්‍යාත්මක සෞන්දර්යක් ඔහු සකලවිධ ස්වභාවික පරිසරයෙන් ම ලබයි. කුඩා කල ම ඔහුට අහිමි වී ඇති ඔහු ගේ පියා ඔහු ගේ පෞරුෂයේ අහිමි අනන්‍යතාවක් විසල් ව ලකුණු කරයි. එය හුදෙක් අසාමාන්‍ය චරිතයක ලක්ෂණයක් නොවේ. ලෝකය දෙස බලන ආකාරය වෙනස් වූ විට එකම යථාර්ථයේ පවා වෙනස් අර්ථ පෙනෙන බවට කෙරෙන සාහිත්‍යමය ප්‍රකාශයකි.
" වඩා වැදගත් වෙන්නේ කියන දේ නෙමෙයි. කියන විදිහ"
සමිධ එසේ කියයි.
මෙහි දී අපට ප්ලේටෝ ගේ Symposium කෘතියේ එන ඊරෝස් හෙවත් ආශාව පිළිබඳ අදහස සිහිපත් වීම වැළැක්විය නොහැකි ය. ප්ලේටෝ ගේ දාර්ශනික සංවාදය තුළ ඩයෝටිමා පෙන්වා දෙන්නේ මිනිසා සුන්දරත්වය වෙත ඇදී යන්නේ තමන් තුළ පවතින අඩුවක් සපුරාගැනීමේ ආශාවෙන් බවයි. එම අදහස සමිධ ගේ චරිතය සමග සම්බන්ධ කළ විට, ඔහු සංචාරණී තුළ දකින්නේ ඇය පමණක් නොව, තමන් ගේ ජීවිතය තුළ සොයමින් සිටින සුන්දරත්වය ද විය හැකි ය. එබැවින් ඔහු ගේ ප්‍රේමය පුද්ගලික ආකර්ෂණයකින් ඔබ්බට ගොස් ලෝකය අත්විඳින ආකාරයක් බවට පත්වෙයි.
නවකතාවේ වචනවලින් සිනමාවේ රූපවලට
මෙම චිත්‍රපටය විග්රහ කිරීමේ දී නවකතාව සහ සිනමාව යන මාධ්‍ය දෙක අතර වෙනස ද ගැඹුරින් සැලකිල්ලට ගත යුතු ය.
මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ විශේෂත්වය වන්නේ ඔහු නවකතාවේ රචකයා ලෙස පමණක් නොව, එහි සිනමා කාව්‍යයයේ අධ්යක්ෂවරයා ද සම පිටපත් රචකයා ද ලෙස කටයුතු කිරීමයි. මෙය ඔහු ගේ පළමු සිනමා අධ්‍යක්ෂණය නිසා මුල් අවස්ථාවේ දී එය අභියෝගයක් ලෙස දැනුණු බවත් ඔහු බීබීසී සිංහල සමඟ කළ සාකච්ඡාවකදී සඳහන් කර තිබෙනු කියවීමි. නවකතාවක දී ලේඛකයාට චරිතයක සිතුවිල්ලක් පිටු ගණනාවක් පුරා විස්තර කළ හැකි ය. එහෙත් සිනමාවේ දී එම සිතුවිල්ල ප්‍රේක්ෂකයාට දැනෙන්නට සැලැස්විය යුත්තේ රංගනයේ සියුම් වෙනස්කම්, මුහුණේ ඉරියව්, කැමරා කෝණ, ආලෝකය, පසුබිම් සංගීතය, සංස්කරණය සහ නිහඬතාව මගිනි. නවකතාවක වචනයක් පාඨකයාගේ පරිකල්පනය තුළ විවිධ රූප මවයි. සිනමාව එම පරිකල්පනයට නිශ්චිත මුහුණක්, හඬක්, ශරීරයක් සහ පරිසරයක් ලබා දෙයි. එහි වාසියක් මෙන්ම සීමාවක් ද තිබේ.
ලේඛකයා ම අධ්යක්ෂවරයා වන විට…
කැනේඩියානු මහාචාර්ය ලින්ඩා හචන්ගේ (1871- 1947) A Theory of Adaptation කෘතියේ මූලික තර්කය වන්නේ අනුවර්තනය යනු මුල් නිර්මාණයේ පිටපතක් නොව, නව මාධ්‍යයක සිදුවන නැවත අර්ථකථනයක් බවයි. ඒ අනුව චිත්‍රපටයක් විනිශ්චය කිරීමේ දී නවකතාවේ සිදුවීම් සියල්ල එලෙස ම ඇතුළත් කර තිබේ ද යන්න පමණක් ප්‍රමාණවත් නොවේ. මුල් කෘතියේ ආත්මය, චරිතවල අභ්‍යන්තර සංකීර්ණත්වය සහ එහි දාර්ශනික අර්ථය සිනමා භාෂාවෙන් කොතරම් සාර්ථකව ප්‍රකාශ කර තිබේ ද යන්න විමසිය යුතු ය. විශේෂයෙන් ම ලේඛකයා ම අධ්යක්ෂවරයා වන විට තවත් ගැටලුවක් මතුවේ. ලේඛකයා තමන්ගේ වචනවලට, චරිතවලට සහ නිර්මාණය කළ ලෝකයට දැඩි ලෙස බැඳී සිටිය හැකිය. එහෙත් සිනමාවට අවශ්‍ය වන්නේ ඇතැම් දේ අත්හැරීම, ඇතැම් දේ සංක්ෂිප්ත කිරීම සහ තවත් දේ දෘශ්‍යමය වශයෙන් නැවත ගොඩනැගීමයි.
මුල් නිර්මාණය පිළිබඳ ආදරය සහ නව මාධ්‍යයේ කලාත්මක අවශ්‍යතා අතර සමතුලිතතාවක් සොයාගැනීම මෙහි ප්‍රධාන අභියෝගය වේ. මෙහි තිර පිටපත ලිවීමේ දී නවකතා මාධ්‍යය සහ සිනමා මාධ්‍යය අතර වෙනස පිළබඳ පැහැදිලි අවබෝධයකින් එම පිටපත ලියා ඇති බව නවකථාවේ පාඨකයකුට දැනේ. නවකථාවේ ඇති බොහෝ තැන් සිනමා වියමනට එක් කර ගෙන නැතත් එය සහෘද රසයට බාධාවක් නොවන්නේ කතුවරයා එය දැනුවත්ව සිදු කර ඇති නිසා යැයි හඟිමි. මීට පෙර සිංහල නවකතාකරුවා ම තව කෘතියක් අධ්‍යක්ෂණය කරමින් සිනමාවට නගා ඇත්තේ එක් වරක් පමණි. ඒත් අදින් වසර 60කට පෙර මහගමසේකර සූරීන්ගේ තුංමංහන්දිය යි. එතෙක් මෙතෙක් මෙරට බිහි වූ විශිෂ්ටතම කතා නාද සිනමා කෘති 10 අතර තුංමං හන්දිය ස්ථානගත කළ හැකි බව අවිවාදිත ය. මස්ඉඹුල මුහුණ දෙන අභියෝගයත් එය ම ය. තම නවකථාව ලබා ගත් ජනකාන්ත බව සිනමා කාව්‍යයේද ආරක්ෂා කර ගැනීමයි. එය තීරණය වන්නේ නුදුරු දිනෙක මැයි මාර ප්‍රසංගය බහු ජන ප්රේක්ෂයන්ට ද විවෘත වූ පසුව ය.
රොෂාන් රවීන්ද්‍ර සමිධ ගේ චරිතයත්, උමාලි තිලකරත්න සංචරණී ගේ චරිතයත් නිරූපණය කරන අතර සේවියර් කණිෂ්ක කථක තරුණයාගේ භූමිකාවට පණ පොවයි. මෙම කථකයාගේ පැවැත්ම ද වැදගත් වන්නේ සමිධ ගේ ලෝකය අපට විවෘත වන්නේ තවත් කෙනකු ගේ නිරීක්ෂණය හරහා වන බැවිනි. එමගින් සමිධ යනු තමන් ගැන පමණක් කතා කරන චරිතයක් නොව, සමාජය විසින් නිරීක්ෂණය කරන, තේරුම් ගැනීමට උත්සාහ කරන සහ ඇතැම් විට තේරුම් ගැනීමට අපහසු පුද්ගලයකු බවට පත්වෙයි.
ප්‍රේමය පිළිබඳ සමාජ විවේචනයක්
මෙම කෘතිය කියවීමේ දී ස්ත්‍රීවාදී දෘෂ්ටිකෝණය ද අත්හැරිය නොහැකි ය. සාම්ප්‍රදායික ප්‍රේම කතා බොහොමයක කාන්තාව පිරිමියා ගේ ආශාව, සිහිනය හෝ ජීවිත අරමුණ සපුරාලන චරිතයක් බවට පත්වෙයි. එහි දී ඇය ගේ ම කැමැත්ත, තීරණ සහ ජීවිත අරමුණු පසුබිමට තල්ලු වීමේ අවදානමක් තිබේ. සංචාරණී ගේ චරිතය කියවීමේ දී අප විමසිය යුත්තේ ඇය සමිධ ගේ ප්‍රේමයට ලැබෙන පිළිතුරක් පමණක් නොව, ඇයට ම අයත් ජීවිතයක් සහ අනන්‍යතාවක් ඇති පුද්ගලයකු ලෙස කොතරම් ස්වාධීනව නිරූපණය වන්නේද යන්නයි.
මෙහි වැදගත්කම වන්නේ ප්‍රේමයේ උසස් බව තීරණය වන්නේ ප්‍රේමවන්තයා ගේ කැපවීමෙන් පමණක් නොව, ප්‍රේමයට ලක්වන අනෙකා ගේ නිදහස පිළිගැනීමෙන් ද වන බැවිනි. කාන්තාවක ගේ නිහඬතාව හෝ දුරස්ථභාවය පිරිමියා ගේ ආදරය තවත් උත්කර්ෂයට නැංවීමට භාවිත කිරීම වෙනුවට, ඇය ගේ ම මනුෂ්‍යත්වය සහ ස්වාධීනත්වය ද විමසීම වටියි.
අවසාන කියවීම: ප්‍රේමයේ ජයග්‍රහණය කුමක් ද…?

මැයි මාර ප්‍රසංගය හි සැබෑ වැදගත්කම ඇත්තේ සමිධට සංචරණී හිමිවන්නේ ද නැද්ද යන ප්රශ්නය තුළ නො වේ. එය ඇත්තේ සංචරණී කෙරෙහි ඇති ආදරය හරහා සමිධ ගේ ජීවිතය තුළ සිදුවන අභ්‍යන්තර වෙනසේ ය. මිනිසා ගේ ජීවිතය සුන්දර වන්නේ තමන්ට අවශ්‍ය සියල්ල අත්පත් කරගත් විට පමණක් නොවේ. ඇතැම් විට අත්පත් කරගත නොහැකි දෙයක් වෙනුවෙන් උපදින හැඟීමක් පවා ඔහු ගේ ජීවිතයට ගැඹුරු අර්ථයක් එක් කරයි. බුදු දහමේ බ්‍රහ්මවිහාර සංකල්පය වන මෛත්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව මෙහිදී සිහිපත් කළ හැකි ය. විශේෂයෙන් මුදිතාව යනු අනෙකාගේ සතුට දැක සතුටු වීමේ හැකියාවයි. එය සමිධ ගේ ප්‍රේමය සමඟ යම් සමානතාවක් දක්වයි. එහෙත් සමිධගේ ආදරය මුළුමනින්ම බ්‍රහ්මවිහාර ගුණයක් ලෙස හැඳින්විය නොහැකි ය. ඔහු තුළ පවතින ආශාව, අපේක්ෂාව සහ පරිකල්පනය ද එහි කොටස් ය. ඒ නිසා ම ඔහු මනුෂ්‍යයෙකි; එබැවින් ම ඔහු පරිපූර්ණ ප්‍රේමවන්තයකු ද එසේ නොවන්නේ ද වේ.
ප්‍රේමය පිළිබඳ විශිෂ්ට විශ්ව සාහිත්‍යය අපට පෙන්වා දී ඇත්තේ ප්‍රේමය සැමවිටම හිමිකරගැනීමෙන් අවසන් නොවන බවයි.
මිනිසා ගේ ආශාව සහ පරාර්ථකාමීත්වය අතර ඇති අරගලය
ගොතේ ගේ The Sorrows of Young Werther කෘතියේ සිට ගාර්ෂියා මාර්කේස්ගේ Love in the Time of Cholera දක්වා ලෝක සාහිත්‍යය තුළ ප්‍රේමය, ආශාව, කාලය, මතකය සහ අහිමිවීම විවිධ ආකාරයෙන් විමසා ඇත. මාර්කේස්ගේ කොලරා කාලේ ආලේ හි ෆ්ලොරෙන්තිනෝ අරීසා තම ප්‍රේමිය එනම් ෆර්මිනා දාසා වෙනුවෙන් අවුරුදු පනස් තුනකුත් මාස හතක් සහ දිවා රෑ එකොළහක් බලා සිටියේ ය. මෙහි දී සමිධ 1999 සිට 2021 දක්වා වසර 22ක් බලා සිටියේ ය.
මෙම සෑම කෘතියක් ම ප්‍රේමය පිළිබඳ එකම නිශ්චිත පිළිතුරක් නොදෙයි. එහෙත් ප්‍රේමය මිනිසා ගේ අභ්‍යන්තර ලෝකය වෙනස් කරන බලයක් බව පෙන්වා දෙයි. ඒ අර්ථයෙන් මැයි මාර ප්‍රසංගය යනු අයිති කරගත නොහැකි ප්‍රේමයක් පිළිබඳ කතාවක් පමණක් නො වේ. එය මිනිසා ගේ ආශාව සහ පරාර්ථකාමීත්වය අතර ඇති අරගලය, සැබෑ ලෝකය සහ පරිකල්පනීය ලෝකය අතර ඇති දුරස්ථභාවය, අනෙකාගේ නිදහස සහ තමන්ගේ හැඟීම් අතර ඇති සදාචාරාත්මක ගැටුම පිළිබඳ කලාත්මක විමසීමකි.
අවසානයේ ප්‍රේමයේ උසස්ම ජයග්‍රහණය අනෙකා අයිති කරගැනීම නොව, අනෙකාගේ නිදහස පිළිගනිමින් ඔහුගේ හෝ ඇයගේ පැවැත්මට සතුටු විය හැකි මනුෂ්‍යයකු බවට තමන් පත්වීම විය හැකි ය. මැයි මාර මල් පිපෙන කාලය කෙටි විය හැකි ය. එහෙත් ඒ මල්වල සුන්දරත්වය මිනිස් මතකය තුළ දිගු කලක් රැඳෙයි. සමහර ප්‍රේම කතා ද එසේ ය. ඒවා ජීවිතයට හිමි වුණත් නොවුණත්, ජීවිතය අර්ථවත් කළ හැකි ය. මැයි මාර ප්‍රසංගය අපට ඉතිරි කරන්නේ ඒ සුන්දර, වේදනාබර සහ ගැඹුරු මානවීය සත්‍යයයි; ලලන මතක සමුච්චය යි.
අවසන් වශයෙන් ඔහු නවකථාවේ ලියා ඇති පාඨයකින් මෙය අවසන් කරන්නම්.
"ඒවා ළා දලු පාට දවස්. ජීවිතේ කඳු කැරලි මත සීතල තුහින ඉහිණු අමුතු දවස්. නෙක කුළුබඩු සුවඳින් පිරී ගිය තෙතබරිත පාරාදීසමය දවස්. දවස් නෙමෙයි ඒවා බෙහෙත්."
උපුටා ගත්තේ Ruwan Mapalagamaගේ face book පිටුවෙන්




