කඳු වැටිවලින් සහ දිය දහරාවලින් සමන්විත විශාල වනගත ප්‍රදේශයක ආරුක්කු හැඩැති ගල් දොරටුවකින් ඇතුළු වූ විට විශාල බෝ ගසක සෙවණ යට මඩුවන්වෙල වලව්ව පිහිටියේය. වනයට, ගහකොළවලට බොහෝසෙයින් ආදරය කළ වෛද්‍ය ආර්.එල්. ස්පිට්ල් පල්ලක්කියක නැගී, වංගු සහිත ගුරු පාරවල් සහ අඩි පාරවල් ඔස්සේ පැමිණ එම පරිසරයට ඇතුළු වුණේම සුවදායී හැඟීමකිනි.
සාමාන්‍ය ප්‍රමාණයට වඩා පහත් ලෙස සකස් කර තිබූ වලව්වේ දොරටුවලට ඝනකමැති ලී දොරවල් යොදා තිබිණි. වලව්වේ මැද මිදුල් කිහිපයක් විය. ආලින්දයේ බිම වටිනා පිඟන් භාණ්ඩ කැබලි යොදා අලංකාර කර තිබිණි.
වලව්ව වටා අතිවිශාල පැරණි වෘක්ෂ පිරී පැවති අතර ඒ අතර විශේෂයෙන් කැපී පෙනුණේ ඉතා පැරණි බෝධි වෘක්ෂයයි. එය වටා මැටි පහන් තැබීම සඳහා කුඩා කුහර සහිත ව සකසන ලද මිටි තාප්පයක් තිබිණි කළුගල් පූජාසනයක් මත බුදුන් වෙනුවෙන් පූජා කර තිබූ මල් ඒ මොහොතේ මැළවී පැවතියේය.
පටු දොරටුවකින් ඇතුළු වූ පසු අහසට විවෘත වූ කුඩා හතරැස් මැද මිදුලක් වෛද්‍ය ස්පිට්ල් ට හමුවිණි. එහි මධ්‍යයේ කිරිගරුඬ පිළිමයක් විය. මැද මිදුල වටා ආලින්දයක් තිබූ අතර එයට විවෘත වන අඳුරු කාමරවල දොරවල් දක්නට ලැබිණි.
සුවිසල් පිළිගැනීමේ කාමරයෙහි දිසාවේගේ ජීවමාන ප්‍රමාණයේ සිතුවමක් පැවතියේය. රිදී පැහැති දිගු රැවුලක් සහිත දිසාවේගේ රුව අභිමානවත් ලෙස කැපී පෙනිණි.
ආලින්දයේ කෙළවරක තිබූ පැරණි ලී ඇඳක් මත දිසාවේ වැතිර සිටියේය. ඇඳ අසල බිත්තිය ළඟ වූයේ මකුළු දැල් බැඳුණු පැරණි ෂැම්පේන් බෝතල් කිහිපයකි.
වලව්ව ඉතාමත් පෞරාණික වටිනා ගෘහ භාණ්ඩ විශාල ප්‍රමාණයකට හිමිකම් කීවේය. ඒවා පරම්පරා ගණනාවක උරුමයකි. එම භාණ්ඩ අතර ශ්‍රී වික්‍රම රාජසිංහ රජ මාලිගාවෙන් ගෙන එන ලද වස්තු සම්භාරයක් ද ඇති බව පැවසේ. ඒවා අතර රජුගේ රිදී පිඟන්, කෝප්ප පීරිසි, රනින් කරන ලද බුලත් හෙප්පුවක් සහ රන් දම්වැලක් මෙන්ම ඇහැළේපොළ මහ අදිකාරමගේ සැරයටිය ද තිබෙන බව වෛද්‍ය ස්පිට්ල් සඳහන් කර ඇත. මාලිගාවෙන් පැහැරගෙන ආ භාණ්ඩවලින් වැඩි කොටසක් අත්පත් කර ගත්තේ තම්බි මුදියන්සේ බව ද එහි දක්වා තිබේ. මෙය ජයන්ත විජේරත්න මහතා සිය "රත්නපුර දිස්ත්‍රික්කයේ වලව් පෙළපත් කිහිපයක්" ග්‍රන්ථය මගින් ද විස්තර කර ඇත.
මඩුවන්වෙල දිසාවේ සහ කලවානේ කුමාරිහාමි විවාහ වූදා
ඒ වන විට දැඩි උණකින් පෙළෙමින් සිටි දිසාවේගේ පාදයක වේදනාකාරී ආසාදනයක් හේතුවෙන් ඉදිමීමක් පැවතියේය. ඔහු ඉතා දුර්වල තත්ත්වයක සිටි අතර වචනයකට දෙකකට වඩා කතා කිරීමට ද නොහැකිව සිටි බව ස්පිට්ල් සිය far off things කෘතියෙහි සඳහන් කර තිබිණි.
දිසාවේගේ පාදයේ ගෙඩිය පරීක්ෂා කළ වෛද්‍ය ස්පිට්ල් ඔහුට ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය බව වටහා ගත්තේය. මෙයට දිසාවේ කොතෙක් දුරට එකඟ විය හැකිදැයි කල්පනා කළ වෛද්‍ය ස්පිට්ල් මේ බව දිසාවේට පැවසූ පසු අපේක්ෂා නොකළ පරිද්දෙන් දිසාවේ එම ශල්‍යකර්මයට කැමැත්තෙන් ම එකඟ විය. නමුත් මේ සඳහා නිර්වින්දනය කිරීමට අවශ්‍ය බව වෛද්‍ය ස්පිට්ල් කී කල දිසාවේ ඊට එරෙහි වූයේය.
"සිහි නැති කරන්න ඕනෙ නෑ. ඔය ඉන්න විදිහටම ඔපරේෂන් එක කරන්න"
දිසාවේ රෝගී ව සිටියදී වුව සිය පෞරුෂයෙහි අභිමානය බිඳ වැටෙන්නට ඉඩ හැරියේ නැත. අවසානයේ වෛද්‍ය ස්පිට්ල් ට සිදුවූයේ දිසාවේ පියවි සිහියෙන් සිටියදීම ශල්‍ය කර්මය කරන්නට ය.
එය පැය කිහිපයක ශල්‍යකර්මයකි. කොතරම් වේදනාවක් දැනුණත් දිසාවේ කෙඳිරිලි හඬක්වත් නැගුවේ නැත. මේ අවස්ථාවේ දිසාවේට ඉතාමත්ම සමීප සේවකයකු වූ ජුවානිස් ඇතුළු තවත් කිහිප දෙනෙකු ද ඒ අසල සිටියහ.
ශල්‍ය කර්මය අවසානයේ වෛද්‍යවරයා ඇතුළු පිරිසට සංග්‍රහ කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස ඔහු තමන් අසල සිටි සේවකයාට නියම කර තිබිණි.
දිසාවේ ළඟ නිතරම සිටිමින් ඔහුගේ ආවතේව කටයුතු කරන ජුවානිස් පසු අවස්ථාවක දිසාවේගෙන් මෙලෙස ඇසීය.
"හාමුදුරුවනේ, ගෙඩිය පලනකොට රිදුණෙ නැද්ද?"
"මොකද බං නැත්තෙ?"
දිසාවේ එලෙස පිළිතුරු දුන් කල ජුවානිස් පුදුමයෙන් බලා සිටියේය.
"වේදනාවයි කියලා කෙඳිරි ගෑවා නම් ඒක සිංහලයාට ලැජ්ජාවක්. ඒ හින්දා මම නිහඬව හිටියා"
ඒ දිසාවේ ගේ පිළිතුර ය.
එම ශල්‍ය කර්මයෙන් දිසාවේට යම් තරමක සහනයක් දැනිණි. නමුත් එවකට අසූපස් වෙනි වියේ සිටි ඔහුගේ රෝග තත්ත්වයන්හි වෙනසක් සිදුවූයේ නැත. රෝගවලින් පීඩා විඳිමින්ම ගත කළ දිසාවේගේ තත්ත්වය එන්න එන්නම නරක අතට හැරෙන බවක් පෙනෙන්නට විය.
එය 1930 සැප්තැම්බර් මස හය වෙනි දින උදය වරුව ය. තම සැමියාගේ තත්වය කෙසේවත් සතුටුදායක නොවන බව කලවානේ කුමාරිහාමිට වැටහිණි. ඇය ජුවානිස් ව කැඳවා දිසාවේ හාමුදුරුවන් අසනීපයෙන් පසුවන බැවින් වහාම ගොස් මුදලින්දාරාමයේ නායක හිමියන් වන ශ්‍රී සාරානන්ද ස්වාමීන් වහන්සේව වලව්වට වැඩමවා ගෙන එන ලෙස නියම කළාය.
වලව්ව භූමියේම පිහිටි මුදලින්දාරාමයට ජුවානිස් දිව ගියේය. ශ්‍රී සාරානන්ද හිමියන් ඉදිරියේ වැඳ වැටුණු ජුවානිස් "දිසා හාමුදුරුවන් හොඳටම උත්පල වෙලා නායක හාමුදුරුවනේ. ඔබ වහන්සේට ඇවිත් ධර්ම දේශනාවක් කරන්න කියලා කුමාරිහාමි ඉල්ලීමක් කළා" යනුවෙන් පැවසීය.
ශ්‍රී සාරානන්ද හිමියෝ නොපමාවම වලව්වට වැඩියහ. දිසාවේ වෙනුවෙන් ධර්ම දේශනයක් සිදු කළ හිමියන් ආපසු වැඩම කිරීමට සූදානම් වෙද්දී වලව්වෙහි භාණ්ඩ කිහිපයක් පිරිකර වශයෙන් උන්වහන්සේට පූජා කරනු ලැබිණි.
ඉන් මඳ වෙලාවකට පසු මඩුවන්වෙල දිසාවේ අවසන් හුස්ම හෙළීය.
වලව්ව භූමියට පිවිසෙන ගල් ආරුක්කු දොරටුවට දකුණු පසින් තිබෙන්නේ මඩුවන්වෙල දිසාවේ මිහිදන් කරන ලද සොහොන ය. එය ඉදි කර ඇත්තේ දිසාවේගේ දියණිය ඩිංගිරි අප්පෝ හෙවත් කෙර මැණිකේ ය. එම සොහොනෙහි මෙලෙස සඳහන් වේ.
මඩුවන්වෙල දිසාවේ ගේ සහ දියණියගේ සොහොන
"නාම ගොත්තං නජීරති
වික්‍රමසිංහ විජයසුන්දර ඒකනායක අබේකෝන් මුදියන්සේ රාළහාමිලාගේ ශ්‍රීමත් ජේම්ස් විලියම් මඩුවන්වෙල දිශා මන්ත්‍රීශ්වරයාණන් සිහිවීම් වස් මෙම ස්මරණ ස්ථම්භය තත් දෘහිතා මඩුවන්වෙල කුමාරිහාමි විසින් පිහිටුවන ලදී.
උපත ක්‍රි.ව. 1844 සැප්තැම්බර් 11
විපත ක්‍රි.ව. 1930 සැප්තැම්බර් 6 "
එවකට මෙරට පාලනය කළ ඉංග්‍රීසීන්ට හිස නැමීම වෙනුවට තමන්ගේ ප්රතාපය ඉදිරියේ ඉංග්‍රීසීන්ව නම්මා ගැනීමට තරම් අභිමානවත් පෞරුෂයකින් හෙබි මඩුවන්වෙල දිසාවේ එලෙස නිහඬවම මෙලොවින් සමු ගත්තේය.
ඔහුගේ මරණයෙන් පසු කලවානේ කුමාරිහාමි සහ ඩිංගිරි අප්පෝ සේවක කාරකාදීන් සමඟ වලව්වේ තනි වූහ. කලවානේ කුමාරිහාමිගේ සහෝදරයා වූ කොලොන්න සීලවතී වලව්වේ විසූ පුංචි බණ්ඩා කලවාන රටේ මහත්තයා තම සහෝදරියගේත්, ඩිංගිරි අප්පෝගේත් දුක සැප නිරන්තරයෙන් සොයා බැලුවේය. කෙසේ වුවද මඩුවන්වෙල දිසාවේගේ මරණයෙන් දෙවසරකට පසු කලවානේ කුමාරිහාමි ද මිය ගියාය.
ඉන්පසු පුංචි බණ්ඩා කලවාන රටේ මහත්තයා මඩුවන්වෙල වලව්වේ තනිවූ ඩිංගිරි අප්පෝව තම නිවස වූ සීලවතී වලව්වට කැඳවාගෙන ගියේය. එතැන් පටන් ඇය එහි වාසය කළාය. කිසිදා විවාහ වී නොසිටි ඩිංගිරි අප්පෝ මිය ගියේ ඇය 92 වියේ සිටියදී ය. ඒ 1964 ජනවාරි මස 4 දා ය. පියාගේ සොහොන අසලම දියණිය ද මිහිදන් කෙරිණි. මඩුවන්වෙල පරපුරේ අවසාන ලේ උරුමය ද ඩිංගිරි අප්පෝගේ මරණයත් සමඟ එලෙසින් මහපොළොවේ මිහිදන් විය.
තවත් කොටසක් ලබන සතියේ
මෙම විස්තර සපයා ගැනීමට උපකාරී වූ හිටපු පුරාවිද්‍යා ගවේෂණ නිලධාරී මාධ්‍යවේදී ජයන්ත විජේරත්න හේරත් මහතාටත්, ලිපි පෙළ සඳහා නන් අයුරින් උපකාර ලබා දෙන ප්‍රවීන මාධ්‍යවේදී රක්වානේ බුද්ධික තැන්නෙපිට මහතාටත්, පනාමුරේ මහා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති, පරිසරවේදී සහ ඓතිහාසික පනාමුර හස්තිරාජ පදනමේ සාමාජික ඩී.ඩී. දයාරත්න මහතාටත් ස්තුතියි.
ඡායාරූප - අන්තර්ජාලය