අපේ රටේ සාමාන්‍ය ජන ජීවිතය තුළ කවර හෝ පොදු කඳුළු කතාවක් ඇත. ඒ කතා තුළ පවත්නා කඳුළු කොතරම් බර වුවද රටේ වගකිවයුත්තන් ඒවා සලකා ඇත්තේ කොට්ට පුළුන් සේ සැහැල්ලුවටය. ඒ කඳුළුවල බර රටට දැනෙන තෙක් අද අප අත්විඳින, දකින සමාජ පසුගාමීත්වය තුරන් කළ නොහැකි වනු ඇත.
බුත්තල කෝන්කැටිය ප්‍රදේශයේ ගොවි ජනතාව සමඟ අප කළ සංවාදය තුළ ද ඒ සත්‍යය මැනවින් දක්නට හැකි විය. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද එම සංවාදයේදී, එදිනෙදා ජීවිතය තුළ ඔවුන් මුහුණ පාන්නා වූ අභියෝග හා ගැටලු අටෝරාශියක් තේරුම් ගත හැකි විය.
බුත්තල අනෙකුත් ගම්මානයන්හි මෙන්ම කෝන්කැටිය ජනතාවගේ ද පොදු ජීවන මාර්ගය ගොවිතැනයි. යල මහ වී ගොවිතැනත් වසරකට වරක් කෙරෙන හේන් ගොවිතැනත් ඔවුන්ගේ පවුල් ආර්ථිකයේ ප්‍රධානතම ආධාරකයයි. එසේ වුවත් ජල ප්රශ්නය, වන අලි ඇතුළු සතුන්ගෙන් වගාවලට සිදුවන හානි, ලාභය සූරාගෙන කෑම්වලට ලක්වීම් සහ කෘෂිකාර්මික අමුද්‍රව්‍ය මිල අධික වීම වැනි අර්බුද කිහිපයකටම ඔවුන් මුහුණ පාමින් සිටිති.
අත ළඟ තිබෙන වැවෙන් වතුර ටිකක් නැති දුක

ගොවි සංවිධාන කිහිපයකම සාමාජිකයින් සහභාගී වූ මෙම සාකච්ඡාවේදී වල්ලිඅම්මාරගම ගොවි සංවිධානයේ ඩී.එම්. සරත් නන්දසිරි බණ්ඩාර මහතා සඳහන් කර සිටියේ,
“මේ ප්‍රදේශයේ ජනතාවට තිබෙන විශාලතම ප්රශ්නය ජලය. ඒ නිසා ජලය සපයා ගැනීමට ක්‍රමයක් සලසා දෙන්න පුළුවන්නම් හොඳයි කියලා යෝජනා කරනවා. වැව් හා අහස් ජලයෙන් තමයි ගොවිතැන් කරන්නේ. අලි එන නිසා දිය අඟලක් කැපුවා. ඒ දිය අඟලට හරස් වෙලා නිසා වැවෙන් කුඹුරුවලට ජලය සපයා ගන්න බෑ. රජ ඇළ කියලා ඇළක් තියෙනවා. ඒ ඇළ මාර්ගය හරහා කුඹුරුවලට වතුර ගේන්න හදනවා. ඒක තවම සංවර්ධනය වෙලා, ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒක හදලා සංවර්ධනය කරනවා නම් හොඳයි කියලා යෝජනා කරනවා.”
වල්ලිඅම්මාරගම ගොවි සංවිධානයේ තවත් ගොවි මහතකු වන ආර්.වී.කේ. ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළේ ද එවන් අදහසකි.

“වල්ලිඅම්මාර් කියලා වැවක් තියෙනවා කැලෑව ඇතුළේ. ඒ වැව සංවර්ධනය කරන්න පුළුවන්නම් මේ ප්‍රදේශයේ ජල ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනවා. ඒ වගේම තවත් වැව් තුනකට ජලය හරවන්න පුළුවන්කම තිබෙනවා ඒ වැවෙන්. ඒ විදිහට වැව සංවර්ධනය කරන්න පුළුවන්නම් අලි ප්‍රශ්නයටත් විසඳුමක් ලැබෙනවා. ඒ වැවේ කැඩුම් පාරවල් තුනක් තමයි තියෙන්නේ. ඒ ටික හදලා සංවර්ධනය කරනවා නම් අක්කර 400කට විතර ජලය දෙන්න පුළුවන්කමත් තිබෙනවා. මේ වෙද්දි වැව හදන්න සංවර්ධන යෝජනා තිබෙනවා. නමුත් අපිට ජලය ලැබෙන මාර්ගයක් නෑ.”
ජනාධිපතිවරයා රට පුරා වැව් හදන්න සංවර්ධන සැලසුම් ඉදිරිපත් කරන නමුත්, ගමේ තිබෙන වැවෙන්වත් වගා බිම්වලට ජලය ලබාගත හැකි ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති. එමෙන්ම ගොවීන්ට සීසෑමට විශාල මුදලක් වැය වන බැවින් කුඹුරු අක්කර ගණනේ හැටියට කන්නයකට හෝ ඉන්ධන සහනාධාරයක් ලබා දීම වඩාත් සුදුසු බව එතුමාගේ අදහස විය.
එල්-නිනෝ, වියළි අහස සහ ගිනි ගණන් බීජ

“එල්-නිනෝ නිසා මේ සැරේ අපිට කලින්ම කුඹුරු වපුරන්න කියලා උපදෙස් දුන්නා. ඒ නිසා අපි මේ වෙද්දි වපුරලා මාසයක් විතර වෙනවා. ඒත් හරියට වැස්ස ලැබුණේ නෑ. වැවෙන් වතුර ගන්නත් බැරි නිසා දැන් වහිනකම් අපි බලන් ඉන්නවා. හරියට වැස්සක් ආවේ නැත්නම් අපි පරාදයි. කරන්න දෙයක් නැහැ හැමදේම අත ඇරලා දාන්න වෙනවා,” යැයි සිතමු කාන්තා ගොවි සංවිධානයේ ආර්.එම්. චන්ද්‍රලතා මහත්මිය සංවේදීව පැවසුවාය.
සිටුවීම සඳහා යොදා ගන්නා බීජවල මිල ඉතා ඉහළ බව ඒ.එච්. රත්නපාල මහතා පෙන්වා දුන්නේය.
“බීජ සියල්ලම ගෙන්වන්නේ පිටරටින්. අපේ පාරම්පරික බීජ දැන් නැහැ ගම්වල. ඒවා හිටෙව්වත් හොඳ අස්වැන්නක් ගන්න බැහැ. කඩෙන් ගන්න බීජවලින් ගන්න අස්වැන්නේ ඇට වේලලා නැවත හිටෙව්වත් ඒවගෙනුත් හොඳ අස්වැන්නක් ගන්න බෑ. ඉතින් මේ බීජවලටත් විශාල මුදලක් වැය වෙනවා. මේ පැත්තේ බඩඉරිඟු වගා කරනවා. බඩඉරිඟු බීජ මිලත් හරිම අධිකයි.”
දරුවන් සේ හැදූ ගස් බිම දමන වන අලි තර්ජනය
වගා කටයුතු සඳහා පස පෙරළීමේ සිට බීජ සිටුවීම දක්වා ගොවීන් මුහුණ පාන ගැටලුවලට අමතරව, වන අලි ඇතුළු වන සතුන්ගෙන් සිදුවන වගා හානි පිළිබඳවද ඔවුහු හඬ නැගූහ. වන අලි තර්ජනයට අමතරව මොනර, දඬුලේන්නු, පොල් කුරුමිණි සහ හාවන් ආදී සතුන්ගෙන්ද වගාවන්ට හානි සිදුවන බව කී ඔවුහු, තමන්ට සතුන් සමඟ ගැටීමක් නොමැති නමුත් ඊට නිසි ක්‍රමවේදයක් තිබිය යුතු බව අවධාරණය කළහ.
වල්ලිඅම්මාරගම ගොවි සංවිධානයේ එම්.එල්.ඒ. සුනිල් මහතා මෙසේ කීය:
“අලි ප්රශ්නය තමයි අපිට තියෙන ලොකුම ගැටලුව. මේ පැත්තම අලිමංකඩ වගේ තමයි. අලිවැට තිබුණට අලිවැට තියෙන්නේ නිකම්ම කණු යට දාලා. ඉතිං ඒ කණු වැහි කාලෙට දිරාගෙන වැටෙනවා; කඩා වැටෙනවා. ඒ කණු කොන්ක්‍රීට් කරලා, කොන්ක්‍රීට්වලින් සවිමත් කරලා හදලා දෙන්න පුළුවන් නම් ඒකට විසඳුමක් වෙයි කියලා විශ්වාස කරනවා.”
ආර්.එම්. චන්ද්‍රලතා මහත්මිය කඳුළු සලමින් තම අත්දැකීම විස්තර කළාය:

“මගේ වත්තේ පොල් ගෙඩි හැදෙන පොල්ගස් දාසයක් අලි ඇවිත් පෙරළලා ගියා. දරුවෙක් වගේ තමයි අපි පොල් ගහක්, බෝගයක් හිටවලා සාත්තු කරලා ඒක උස්මහත් වෙලා ගෙඩි හැදෙනකම් බලාගෙන ඉන්නේ. ඒත් එක පාරටම එක රැයකින් අලි ඇවිල්ලා ඒවා විනාශ කරලා දාපුවහම අපිට නිහඬව හූල්ලනවට වඩා වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ කොච්චර හූල්ල වැටීමක් වුණත් ඒ සත්තු එක්ක අපිට තරහක් නෑ. ඒත් හරි ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. සත්තුත් ජීවත් වෙන්න ඕනේ, අපේ බෝගත් රැකෙන්න ඕනේ.”
මහ පොළොවට දිය කළ දහඩිය කුණු කොල්ලයට
මේ සෑම දෙයකින්ම බැට කාගෙන, අව්ව වැස්ස එක්ක පොරකාලා, අලි හා වන සතුන් එක්ක සටන් කර වගාව රැකගෙන අස්වැන්න ගෙට ගෙන ආවත් ඔවුන්ගේ හීල්ලීමේ නිමාවක් නැත. මන්දයත්, අස්වැන්න විකිණීමේදී හැම විටකම මුදලාලිලාට කුණු කොල්ලයට දී හිත හදාගන්නට ඔවුන්ට සිදුවීම නිසයි.
බීජවල මිල සහ සීසෑමේ වියදම් ගණන් බැලූ කල ලාභයක් නැත. තම ශ්‍රමය සහ කාලය වගා බිමට නොමිලයේ මිඩංගු කිරීමට සිදුවීම සාමාන්‍ය දෙයකි. බොහෝ විට සිදුවන්නේ අතින් කා හරක් බැලීමකි.
උදාර වැව ගොවි සංවිධානයේ සාමාජිකාවක වන ජේ.එම්. මුතුමැණිකා මහත්මිය තම අත්දැකීම පැහැදිලි කළේ මෙසේය:
“වී මිල ගොඩක් අඩුයි. වී කිලෝවක් වී මෝල් හිමියෝ ඉල්ලන්නේ රුපියල් 90ට. රජයෙන් 120ට ගන්නවා කිව්වට අපෙන් ගන්නේ නෑ. අපෙන් ඉල්ලන්නේ 90-100ට. ඒ ගාණට දෙන එක පාඩුයි. වගා කරන්න වී, පොහොර, කෘමිනාශක මේ හැමදේම ගණන්. සීසෑමේ සිට ගොයම් කැපීම දක්වා මේ හැමදේම ගණන්. දැන් අක්කරයක් වගා කරලා අස්වැන්න ගෙට ගන්න අවම වශයෙන් රුපියල් 125,000ක් 130,000ක් විතර වියදම් වෙනවා. ඒ අපේ මහන්සිය නැතිව. මම මගේ වී ටික රුපියල් 90 ගාණේ තමයි දුන්නේ. ඉතින් මට ලාභයක් නෑ.”
අතරමැදි සූරාකෑමට නැවතීමක් කවදාද?
සිතමු කාන්තා ගොවි සංවිධානයේ සුනීතා චන්ද්‍රමාලි මහත්මිය ද තම අත්දැකීම කියා සිටියාය:

“මම රුපියල් 100ට තමයි වී දුන්නේ. 90ට ඉල්ලුවාට මම වී දුන්නේ නෑ. 120ට දෙනවා නම් වී මුදලාලි කියනවා මාස තුනක් ඉන්න වෙනවා සල්ලි දෙන්න කියලා. ඉතින් වී ටික දීලා සල්ලි ගන්න මාස තුනක් බලාගෙන ඉන්න අපිට බැරි නිසා තමයි රුපියල් 90-100ට වී ටික අඩුවට දීලා දාන්නේ.”
“වී වගේම කවුපි, මුං, බඩඉරිඟු, රටකජු වගේ දේවලුත් අපි වගා කරනවා. මේවා අපි ප්‍රවාහනය කරන්න ඕනේ බුත්තලට. මේ ප්‍රදේශයේ අස්වැන්න ලබා ගන්න අලෙවි කරන මධ්‍යස්ථානයක් නෑ. බුත්තලට ගිහින් තමයි දෙන්න ඕනේ. අපි අස්වැන්න රුපියල් 300ට දෙනවා නම් එතැනදීම 600ට ලොරියට දෙනවා කඩ මුදලාලිලා. එකට එකක් ලාභයක් තියාගන්නවා. ගොවියා තමයි අසරණ. ගොවියා තමයි තළා පෙළන්නේ හැම පැත්තකින්ම. මේ ක්‍රමවේද ඉතා අසාධාරණයි! නමුත් තවමත් ඒවාට නිසි ක්‍රියා පටිපාටියක් සැකසිලා නෑ.”
මොනතරම් දුක් ගැහැට මැදක වුව රැකගන්න අස්වැන්න ටික අවසානයේ අඩු සොච්චමකට දීලා අත පිහ ගන්නටයි අපේ රටේ ගොවීන්ට සිද්ධ වෙලා තිබෙන්නේ. මේවාට හරි ක්‍රමවේද සැකසිය යුතුය. අඩුම ගාණේ ඔවුන්ට පොහොර සහනාධාරය වගේම සීසෑමට තෙල් සහනාධාරයක් වගේ තව සහනාධාර ක්‍රමවේදයක් හෝ හදා දෙන්නවත් හැකි නම් එය ද ඔවුන්ට මහඟු පිටිවහලක් වනු ඇත.
ඒ වගේම සෑම ප්‍රදේශයකම ආසන්න වශයෙන් අස්වැන්න අලෙවිකරණ මධ්‍යස්ථාන පිහිටුවා නියමිත, නිශ්චිත මිලකට ලබා ගන්නවා නම් මුදලාලිලාගේ සූරාකෑමෙන් නිදහස් වීමට අසරණ ගොවීන්ට හැකි වනු ඇත. ගොවීන්ගේ කඳුළු කතා, දුක් ගැහැට මීට වඩා රජයේ අවධානයට යොමු විය යුතුය. මන්දයත්, ගොවිකමට පොළොව පෙරළීමේ සිට අස්වැන්න කඩ කාමරයට එනකම්ම ඒ සමඟ පොර බදන්නේ ගොවියා මිස අනෙකෙකු නොවන බැවිනි. ගොවි රජුන්ගේ ඒ දහඩිය මහන්සියට නිසි වටිනාකමක් දිය යුතුමය.
(සටහන | නිර්මලා දිසානායක)



