රාජ්‍ය අංශයේ අභ්‍යන්තර විගණකවරුන්ගේ දැනුම, වෘත්තීය කුසලතා සහ ආයතනික පාලන යාන්ත්‍රණයන් පිළිබඳ අවබෝධය ඉහළ නැංවීමේ අරමුණින්, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව විසින් "අභ්‍යන්තර පාලන පද්ධති පිහිටුවීම, ඇගයීම සහ ශක්තිමත් කිරීම" මැයෙන් එක්දින පුහුණු වැඩසටහනක් මරදාන කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි.
කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්. ආර්. ජී. ඒ. බී. මුතුකුඩේ මහතාගේ නායකත්වයෙන් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ ප්‍රධාන සම්පත්දායකයා ලෙස ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති ඩී. ජී. ඒ. එස්. අනුලසිරි මහතා කටයුතු කළේය.

ජාතික විගණන කාර්යාලය නියෝජනය කරමින් විගණකාධිපතිවරයා ලබා දුන් සහයෝගය සහ මගපෙන්වීම ද මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට විශාල දායකත්වයක් විය.
පාලන දුර්වලතා හඳුනා ගැනීම සහ ගෝලීය ප්‍රමිතීන්
මෙම පුහුණු සැසිය තුළදී අභ්‍යන්තර පාලන පද්ධතිවල වැදගත්කම, ඒවායේ ඵලදායීතාව ඇගයීමේ ක්‍රමවේද, පාලන දුර්වලතා හඳුනා ගැනීම සහ එම දුර්වලතා මගහරවා ගැනීමට ගත යුතු පියවර කෙරෙහි අවධානය යොමු කෙරිණි. තවද, හඳුනාගත් දුර්වලතා සඳහා ප්‍රායෝගික සහ ඵලදායී නිර්දේශ ලබා දෙමින් ආයතනික පාලන පරිසරය ශක්තිමත් කිරීමෙහිලා අභ්‍යන්තර විගණකවරුන්ගේ භූමිකාව පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

ජාත්‍යන්තරව පිළිගත් අභ්‍යන්තර විගණකවරුන්ගේ ආයතනයට (IIA) අනුබද්ධ IIA ශ්‍රී ලංකා ශාඛාවේ සභාපතිවරයා සභාව අමතමින්, රාජ්‍ය අංශයේ අභ්‍යන්තර විගණනයේ ගුණාත්මකභාවය සහ ඵලදායීතාව වර්ධනය කිරීම සඳහා ගෝලීය අභ්‍යන්තර විගණන ප්‍රමිතීන් ඇතුළු ජාත්‍යන්තරව පිළිගත් හොඳම ප්‍රායෝගික ක්‍රමවේදයන් යොදා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
රාජ්‍ය ආයතන රැසක නිලධාරීන්ගේ සහභාගීත්වය

රාජ්‍ය මුදල් කළමනාකරණ ප්‍රතිසංස්කරණවලට සහාය වීම සහ රාජ්‍ය සම්පත් කාර්යක්ෂම හා ඵලදායී ලෙස භාවිත කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා අභ්‍යන්තර විගණකවරුන්ගේ වෘත්තීය ධාරිතාව ශක්තිමත් කිරීමට කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව දරන උත්සාහයේ තවත් වැදගත් පියවරක් ලෙස මෙම වැඩසටහන සලකුණු විය. මෙවැනි මුලපිරීම් හරහා රාජ්‍ය ආයතන පුරා අභ්‍යන්තර විගණන ප්‍රායෝගික ක්‍රමවේද, යහපාලනය, වගවීම සහ අභ්‍යන්තර පාලන පද්ධති තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කරයි.
දිවයින පුරා පිහිටි අමාත්‍යාංශ, පළාත් සභා, විශේෂ වැය ශීර්ෂ ඒකක, දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ රජයේ අරමුදල් මගින් ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති නියෝජනය කරමින් ප්‍රධාන අභ්‍යන්තර විගණකවරුන්, අභ්‍යන්තර විගණකවරුන් සහ අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරීන් 150 කට ආසන්න සංඛ්‍යාවක් මෙම වැඩසටහනට සහභාගී වූහ.
(සටහන | ජේ.මුණසිංහ)



