අයවැයෙන් වෙන් කළ ප්‍රාග්ධන වියදම් බිම් මට්ටමේ ක්‍රියාත්මක නොවීම, විදේශ ආයෝජන රට හැර යාම සහ ඉහළ යන ජීවන බර පිළිබඳව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයෝ රජයට දැඩි විවේචන එල්ල කරති.
මෙවර අයවැය ලේඛනය මගින් ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වෙන් කර ඇති බව රජය පැවසුවද, පවතින නීතිමය හා පරිපාලනමය බාධා හේතුවෙන් එම මුදල් බිම් මට්ටමේ ක්‍රියාත්මක කර ජනතාවට සහන සැලසීමට කිසිදු ප්‍රායෝගික වැඩපිළිවෙළක් දක්නට නැතැයි මහාචාර්ය ජී. එල්. පීරීස් මහතා පවසයි.
කොළඹ, මල්පාර දේශපාලන කාර්යාලයේ අද (17) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව අවධාරණය කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ජී. එල්. පීරීස් මහතා මෙසේද පැවසීය:
"රජයේ මාණ්ඩලික නිලධාරීන් ටෙන්ඩර් පටිපාටිය හරහා මුදල් වියදම් කිරීමට දැඩි බියක් දක්වනවා. පසුකාලීනව සිදුවන විමර්ශන සහ 'ත්රස්තවාදයට විරුද්ධව රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත' වැනි නව නීති හේතුවෙන් සද්භාවයෙන් තීන්දු ගන්නා නිලධාරීන් පවා අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබීමේ අවදානමකට ලක්ව තිබෙනවා. මේ නිසා වගකීම් භාර ගැනීමෙන් නිලධාරීන් වැළකී සිටීම හේතුවෙන් සංවර්ධන ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා."
ප්‍රාග්ධන වියදම් සහ උද්ධමනය පිළිබඳ දත්ත
රජයේ මූල්‍ය කළමනාකරණය සහ උද්ධමනය සම්බන්ධයෙන් දත්ත ඉදිරිපත් කරමින් මහාචාර්යවරයා මෙසේ සඳහන් කළේය:
"‘දිත්වා’ ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රුපියල් බිලියන 500ක් වෙන් කළද, ඉන් වැය කර ඇත්තේ 8% ක් වැනි ඉතාම සුළු අගයක් පමණයි. ගිය වසරේ ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කළ රුපියල් බිලියන 1,380න් වසර මැද වන විට වැය කර තිබුණේ 18% ක් පමණක් වන අතර, වසර අවසානයේදී පවා වැය කළ හැකි උපරිමය 30% - 40% අතර අගයක්. මෙවර අයවැයෙන් රුපියල් බිලියන 2,000ක් වෙන් කළද, පෙර වසරේ වියදම් කළ ආකාරය පිළිබඳ කිසිදු වාර්තාවක් රජය ඉදිරිපත් කර නැහැ."
"වත්මන් රජය බලයට පත් වන විට 0.8% මට්ටමේ පැවති උද්ධමනය මේ වන විට 8.3% දක්වා වර්ධනය වී තිබෙනවා. එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ රුපියල් 293 දක්වා අඩු කරගත් ඩොලරයේ අගය, මේ වන විට රුපියල් 337 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මැදපෙරදිග යුද්ධය නිසා ඩොලරය ඉහළ ගිය බවට රජය කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම පදනම් විරහිතයි. 2026 පෙබරවාරි 28 වැනි දින යුද්ධය ආරම්භ වීමටත් පෙර ඩොලරය රුපියල් 325 දක්වා ඉහළ ගොස් තිබුණා."
විදේශ ආයෝජන රට හැර යාම
ආර්ථික වර්ධනය සංකෝචනය වීම සහ විදේශ ආයෝජන අහිමි වීම පිළිබඳව මහාචාර්ය ජී. එල්. පීරීස් මහතා මෙලෙස කරුණු පැහැදිලි කළේය:
"පසුගිය වසරේ දෙවැනි කාර්තුව සහ මේ වසරේ දෙවැනි කාර්තුව සමඟ සසඳන විට, මෙරට ආර්ථික සංවර්ධනය 5.1% සිට 4.2% දක්වා සැලකිය යුතු ලෙස සංකෝචනය වී තිබෙනවා. විදේශීය ආයෝජන රට තුළ රඳවා ගැනීමට අවශ්‍ය ස්ථාවර සහ හිතකර පරිසරයක් අහිමි වීම මේ ආර්ථික පසුබෑමට ප්‍රධානම හේතුවයි. හිටපු රජය විසින් සම්මත කරගත් 'ආර්ථික පරිවර්තන පනත' වත්මන් රජය විසින් අත්හිටුවීම නිසා විදේශ සංචිත වර්ධනය නතර වී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ පාලනයේ මාස 28 තුළ ඩොලර් මිලියන 6,000කින් සංචිත වර්ධනය වුවද, වත්මන් රජයේ මාස 28 තුළ එය වර්ධනය වී ඇත්තේ ඩොලර් මිලියන 1,000කින් පමණයි."
"මේ හේතුවෙන් නව ආයෝජන නොලැබෙනවා පමණක් නොව, පවතින ආයෝජනද රට හැර යමින් පවතිනවා. විශේෂයෙන්ම අදානි සමාගමේ ඩොලර් මිලියන 500ක බලශක්ති ආයෝජනය රටට අහිමි වුණා. චයිනා මර්චන්ට් සමාගම විසින් චීන වරායේ ක්‍රියාත්මක කරන්නට තිබූ ඩොලර් මිලියන 392ක ව්‍යාපෘතිය නතර වුණා. දීර්ඝ කාලයක් මෙරට ක්‍රියාත්මක වූ ඇඟලුම් ක්ෂේත්රයේ සමාගමක් වන නෙක්සස් (Nexus) සමාගම රට හැර යාමට තීරණය කිරීම නිසා රැකියා 2,000ක් අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. ඊට අමතරව බංග්ලාදේශය සහ වියට්නාමය වැනි රටවල් කරා ආයෝජන ඇදී යමින් පවතින අතර ගෝලීය මට්ටමේ දැවැන්ත සමාගම් මෙරට අත්හැර යාම හරහා ආර්ථිකය තවදුරටත් අවදානමකට ලක්ව තිබෙනවා."
දරිද්‍රතාවය සහ වෘත්තීය සමිති අතෘප්තිය
"ලෝක බැංකු වාර්තා අනුව මෙරට ජනගහනයෙන් 30%ක් දරිද්‍රතාවයෙන් පෙළෙන අතර මිලියන 6කට දිනකට එක පෝෂ්‍යදායී ආහාර වේලක් හෝ ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා. රජය ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා වෛද්‍ය, ඉංජිනේරු, ගුරු, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු සියලුම වෘත්තීය සමිති අද වන විට විශ්වාසභංගත්වයට පත්ව වීදි බැස තිබෙනවා. තමන් දැරූ බලාපොරොත්තු ඉටු නොවූ තැන, මේ සියලු පාර්ශ්වයන් රජයේ ක්‍රියාමාර්ගවලට එරෙහිව නැවත වරක් සටන් බිමට පිවිසීමේ සූදානමක පසුවනවා."
"2027 වසරේදී විදේශ ණය ගෙවීම ආරම්භ කිරීමට නම් ආර්ථික වර්ධනය අත්‍යවශ්‍යයි. ඒ සඳහා විදේශ ආයෝජන රටට ලැබිය යුතුයි. නමුත් කිසිදු විශාල විදේශ ආයෝජනයක් ලංකාවට ලබාගැනීමට වත්මන් රජය අපොහොසත් වීම රට බරපතළ ඛේදවාචකයකට මුහුණදීමක් බව මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා," යැයි මහාචාර්ය ජී. එල්. පීරීස් මහතා වැඩිදුරටත් පැවසීය.
එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පළ කළ අදහස්

මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මෙසේ අදහස් දැක්වීය:
"අපි කල්පනා කරලා බැලුවොත් අද ජනතාව කල්පනා කරන්නේ අද දවල් වේල කොහොමද සපයාගන්නේ කියන එකයි. සැඟවුණු යථාර්ථය එයයි. එහෙම නැතිනම් ගෙදර හෝ ඉස්කෝලේ යන ළමයාගේ වැඩ කටයුතු කොහොමද කරන්නේ කියන එක තමයි ප්‍රධානම අභියෝගය වී තිබෙන්නේ. මේ තමයි සමාජයේ තිබෙන යථාර්ථය."
"මේ සමාජ යථාර්ථයට පිටින් ක්‍රියා කරන්න බැහැ. ආණ්ඩුවක් භාර ගන්නකොට ඉලක්කයක් තිබිය යුතුයි. 1970-1977 කාල සීමාව තුළ ඇති වූ දේශීය ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා 1977 දී ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා ප්රමුඛ රජය භාර ගන්නකොට ඒ රජයට ඉලක්කයක් තිබුණා. එතුමා ඇමරිකාවට, එංගලන්තයට, ජර්මනියට සහ ජපානයට ගිහින් හිස් අතින් ආවේ නැහැ. එංගලන්තයට ගිහින් වික්ටෝරියා වේල්ල ඉදිකරන්න අවශ්‍ය ශක්තිය අරගෙන ආවා. එදා මෙගාවොට් 400ක් තිබූ විදුලිය, නැවත රට භාර දෙනකොට මෙගාවොට් 4,000 ගණනක් දක්වා වැඩි කළා. ජර්මනියට ගිහින් රන්දෙනිගල අරගෙන ආවා. ජපානයට ගිහින් පාර්ලිමේන්තුව සහ ඇඳන් 1,000ක රෝහලක් හදලා දුන්නා."
"කොළඹ නගරය ජයවර්ධනපුර නගරය බවට පත් කරලා, වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ, මාදුරුඔය, ඉඟිනිමිටිය මහා ඇළවේලි ඉදි කරලා, කුඹුරු අක්කර ලක්ෂ 20ක් විතර අස්වද්දලා ආර්ථිකයේ විශාල පරිවර්තනයක් ඇති කළා. ඩී. එස්. සේනානායක මැතිතුමාගෙන් පටන් ගත්තාම ඉතිහාසයේ සෑම පාලකයෙක්ම ගමන් කළේ එහෙමයි. ඉලක්කයක් ඇතුවයි රාජ්‍යයක් භාරගත යුත්තේ."
රාජ්‍ය නිලධාරීන්ගේ අකර්මණ්‍යතාවය සහ ව්‍යවස්ථාව
රාජ්‍ය පරිපාලනය බිඳවැටීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අබේවර්ධන මහතා:
"ඇත්ත වශයෙන්ම අයවැයක් ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒක ගැන කතා කරනවා නම් නිකන් වෙලාව නාස්ති කිරීමක් පමණයි. මහාචාර්ය පීරිස් මැතිතුමා කිව්වා වගේ, නිලධාරීන් කවුරුත් වැඩ කරන්නේ නැහැ. මම 2001 වර්ෂයේදී රාජ්‍ය පරිපාලන ඇමතිවරයා ලෙස වැඩ කරන කාලයේ සේවයෙන් පහ කළ (Dismiss) අයට පවා නැවත විශ්‍රාම වැටුප අරන් දුන්නා. නමුත් අද විශ්‍රාම ගිය ලේකම්වරු පවා ආපහු ගෙනැවිත් හිරේට දානවා. සද්භාවයෙන් පාලමක් හැදුවත් ස්වභාවික විපතකින් හෝ එය කඩා වැටුණොත් ඒ නිලධාරීන් ආරක්ෂා කරන්න රජයට වැඩපිළිවෙළක් නැහැ. ඒ නිසා තමයි සමහර අමාත්‍යාංශවල ප්‍රගතිය 20%කට සීමා වෙලා තියෙන්නේ."
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 (1) සහ (2) වගන්තිවල පැහැදිලිව සඳහන් වෙනවා අමාත්‍යාංශ ලේකම්වරයා අමාත්‍යවරයාගේ විධානයට හා පාලනයට යටත්ව දෙපාර්තමේන්තු මෙහෙයවිය යුතු බව. නමුත් අමාත්‍යවරු දෙන නියෝගවලට වෙනත් ආයතනවලින් ඇඟිලි ගසනවා නම් කිසිම ලේකම්වරයෙක් හෝ රාජ්‍ය සේවකයෙක් මුදල් පරිහරණය කිරීමේ වගකීම භාර ගන්නේ නැහැ."
දූෂණ විරෝධී පනත සහ මූල්‍ය පාලනය
"අංක 09 දරන දූෂණ විරෝධී පනත සම්මත කරන්න මමත් අත ඉස්සුවා. නමුත් මෙහි තිබෙනවා නිර්නාමික පෙත්සම්කරුවෙකු එවන පෙත්සමකට පවා ක්‍රියා කළ හැකි වගන්තියක්. බොරු පෙත්සමකින් අසාධාරණයට ලක්වන පුද්ගලයෙකුට අධිකරණයට යන්න පුළුවන් වුණත්, නිර්නාමික කෙනෙකුට විරුද්ධව අධිකරණයට යන්නේ කොහොමද? මේවා නැවත කල්පනා කරලා රට වෙනුවෙන් වෙනස් කරගත යුතුයි."
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 සිට 152 දක්වා වගන්තිවලින් කියවෙන්නේ මහජන නියෝජිතයන්ගේ ප්‍රධාන වගකීම මූල්‍ය පාලනය බවයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වුණාම මහජන නියෝජිතයන්ට මූල්‍ය දැනුම ලබා දීම සඳහා 'පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත' ගෙනාවා. නමුත් අද ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ."
උකස් තැබීම්, තෙල් මිල සහ පාසල් දරුවන්ගේ පෝෂණය
"අද මහජනයා ඉන්නේ බොහොම අමාරුවෙන්. 2026 කියන්නේ ඓතිහාසික වසරක්. ට්‍රිලියන ගණනක රත්රන් බඩු උකස් ආයතනවලට ගිහින් සින්න වෙනවා. ලක්ෂ 50ක් වන මෝටර් සයිකල් හිමිකරුවන් සහ මිලියන 1.7ක් වන ත්‍රීරෝද රථ හිමිකරුවන් තමන්ගේ වාහනයේ පොත තියලා ණය අරගෙන ඉන්නේ. විශාල ආර්ථික කඩාවැටීමක් රටේ ඇතිවෙලා."
"අද තෙල් බැරලය ඩොලර් 92.44යි. ඒ වගේම මේ මොහොත දක්වා IMF එකේ හත්වැනි වාරිකය නිදහස් කිරීමට විධායක අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබිලා නැහැ. මේ ආර්ථික පීඩනය නිසා පාසල් ළමුන් ලක්ෂ 45කගේ ශාරීරික සෞඛ්‍යයට සහ මානසික මට්ටමට ජීවිත කාලයටම බලපාන හානියක් සිදුවෙමින් පවතිනවා. එදා ජේ. ආර්. ජයවර්ධන මහත්තයා පාසල් ළමුන්ට පොත් සහ කිරි වීදුරුවක් දුන්නේ ඒ පෝෂණය වැදගත් නිසයි. අද ලබා ගත යුතු පෝෂණය හෙට ලබා ගන්න බැහැ. මුළුමහත් ජාතියක් විනාශ කරන තැනට ගමන් කර තිබෙනවා," යැයි වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපති සුරේන් රාඝවන් මහතා පළ කළ අදහස්
මාධ්‍ය හමුව ඇමතූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපති සුරේන් රාඝවන් මහතා මෙසේ පැවසීය:
"ශ්‍රී ලාංකික සමාජය සහ රාජ්‍යය අද තුංමංසන්ධියක අවදානමකට ලක්ව තිබෙනවා. ආර්ථික, පරිපාලනමය, සමාජමය සහ සංස්කෘතික යන සියලු ක්ෂේත්රවල තමන්ට පාලනය කරගන්නට බැරි ආණ්ඩුවක් යටතේ වේගවත් කඩා වැටීමක් පෙන්නුම් කරනවා. 2027 වසර අවසානයේ අපේ රට කොතැන සිටියිද කියා ආර්ථික විද්‍යාඥයන්ටවත් කියාගන්න බැරි තරමේ අවදානමක අපි සිටින්නේ."
"පැය පහක්, වචන ලක්ෂයක් කතා කළාට වැඩක් නැහැ. ලෝකයේ ලොකුම තෙල් නිධිය තිබෙන වෙනිසියුලාව මුහුණ දුන්නෙත් මෙවැනි අර්බුදයකටයි. එහි හිටපු ජනාධිපති හියුගෝ චාවේස් පැය පහ හය එක දිගට කතා කළේ කිසිදෙයක් කෙටියෙන් පැහැදිලි කරන්න ඔහුට බැරි වුණ නිසයි. ජනප්‍රියතාවයෙන් සහ මාධ්‍ය ඉදිරියේ කරන කතාවලින් රටක් කරන්න පුළුවන් කියලා හිතපු චාවේස්ගේ ගමන් මගේ තමයි අපේ රටත් යමින් තිබෙන්නේ."
බදු බර සහ ජනතාවගේ ජීවන අරගලය
"මෙහි භයානකකම තමයි, රජයේ ආදායම ලෙස කියන බිලියන 1,158න් 93%ක්ම එන්නේ මහජනතාවගෙන් ගන්නා නානාප්‍රකාර බදු මුදල්වලින්. රජය තමන්ගේ යාන්ත්‍රණය පාවිච්චි කරලා උපයන්න බලාපොරොත්තු වෙන බිලියන 459 පවා ලැබෙන්නේ පොලිස් දඩවලින්, පාස්පෝට් සහ රියදුරු බලපත්‍ර ගාස්තුවලින්. අද ලංකාව මහජනයාගෙන් උපරිම බදු අය කරගන්නා රාජ්‍යයක් බවට පත්වී හමාරයි. පෙරේදා ගෑස් මිලත් වැඩි කළා. ගිහිල්ලා අහන්න අහිංසක අම්මලාගෙන් මේකටද ඡන්දෙ දුන්නේ කියලා."
අනුරපුර සුරැකීම සහ නීතියේ සමානාත්මතාවය
"වැඩ බලන අටමස්ථාන නායක ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් දැන් කියනවා 'අපි වැට ගහන්නේ නැහැ, මෙතන වැරදීමක් සිදු වී තිබෙනවා' කියලා. නමුත් මෙය ප්‍රමාණවත් නැහැ. මේ ගැසට් පත්‍රය සම්පූර්ණයෙන් අධ්‍යයනය කළ යුතුයි. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවක් ලෙස අපි 'අනුරපුර සුරකිමු' කියන ජාතික සංවිධානය පිහිටුවලා, මෙතන වියදම් වන මුදල් සහ සිදුවන දේ ගැන සතිපතා මහජනයාට සත්‍ය හෙළි කරනවා."
"ඒ වගේම හෙට (18) නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නඩුව තිබෙනවා. ආණ්ඩුව උත්සාහ ගන්නේ එතුමාව දින 75-76ක් හිරේ තියන්න. නාමල් රාජපක්ෂ මගේ පක්ෂයේ කෙනෙක් නෙමෙයි; ඔහු අපේ පක්ෂයට ලොකුම හානියක් කරපු පක්ෂයේ ජාතික සංවිධායක. නමුත් නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන විය යුතුයි. දාර්ශනික ජෝන් රෝල්ස් (John Rawls) කියා තිබෙනවා 'Justice is fairness' (යුක්තිය යනු සාධාරණත්වය ඉටුකිරීමයි) කියලා. එය දර්ශනවාදී කතාවක් නෙමෙයි, දේශපාලන ව්‍යාපෘතියක්. ඒ නිසා නාමල් රාජපක්ෂට වගේම අපේ පක්ෂයේ ජාතික සංවිධායක චාමර සම්පත්ටත් සාක්ෂි තිබෙනවා නම් ඒවා ඉදිරිපත් කර නීතිය සාධාරණව ක්‍රියාත්මක කරන්න කියලා අපි රජයෙන් ඉල්ලනවා," යැයි සුරේන් රාඝවන් මහතා පැවසීය.
මෙම මාධ්‍ය සාකච්ඡාවට නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ශිරාස් යූනුස් මහතා ද සහභාගී විය.



