2026 නොවැම්බර් 11 වැනිදා කොළඹ වරාය නගරයේදී සිදුවූ විශේෂ ගුවන් ගමනක් මෙරට බොහෝ දෙනාගේ අවධානයට ලක්විය. ඒ, මිනිස් නියමුවකු නොමැතිව ස්වයංක්‍රීයව පියාසර කරන මගී ප්‍රවාහන ඩ්‍රෝන යානයකින් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු ගමන් කිරීමයි.
චීනයේ EHang සමාගම නිෂ්පාදනය කරන EH216-S නමැති මෙම යානය මගීන් දෙදෙනකු රැගෙන යා හැකි විදුලි බලයෙන් ක්‍රියාත්මක වන eVTOL යානයකි. එනම්, එයට සාමාන්‍ය ගුවන් යානයක් මෙන් ධාවන පථයක් අවශ්‍ය නොවන අතර සිරස් අතට ගුවන්ගත වීමටත් ගොඩබෑමටත් හැකියාව ඇත. එහි නියමුවකු නොමැති අතර පෙර සැලසුම් කළ මාර්ගයකට අනුව පරිගණක පද්ධති මගින් ගමන් කරයි.
මෙය ශ්‍රී ලංකාවේ ගුවන් ප්‍රවාහන ක්ෂේත්රයට නව අත්දැකීමක් විය හැකිය. එහෙත් මෙවැනි තාක්ෂණයක් පිළිබඳව අප විමසිය යුත්තේ එය පියාසර කිරීමට සමත්ද යන්න පමණක් නොවේ. එය අනතුරකට මුහුණ දුනහොත් ඇතුළත සිටින මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කළ හැකිද යන්න ඊටත් වඩා වැදගත්ය.
වැලි කොට්ට පරීක්ෂණය සහ පෝරකයේ උපමාව
මෙම ගුවන් ගමනට පෙර වරාය නගරයේදී සිදුකළ මූලික පරීක්ෂණවලදී මගීන් වෙනුවට වැලි කොට්ට යොදාගත් බවට වාර්තා පළවිය. සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් පළවූ වාර්තාවල සඳහන් වූයේ මගී බර අනුකරණය කිරීම සඳහා එසේ සිදුකළ බවයි.
චීනයේ EHang සමාගම
මෙහිදී අපට මතක් වන්නේ මරණ දණ්ඩනයට නියම වූ මිනිසකු පෝරකයට යාමට පෙර ඔහුගේ බර කඹයට දරාගැනීමේ හැකියාව පරීක්ෂා කිරීම සඳහා මිනිසකු වෙනුවට වැලි කොට්ටයක් එල්ලා පරීක්ෂා කරන ක්‍රමයයි. මේ අවස්ථා දෙකේම මූලික අදහස සමානය. එහිදී සිදුවන්නේ සැබෑ මිනිසකුගේ බර වෙනුවට සමාන බරක් යොදාගෙන ව්‍යුහයකට හෝ උපකරණයකට එම බර දරාගත හැකිදැයි පරීක්ෂා කිරීමයි.
පෝරකයකට වැලි කොට්ටයක් එල්ලා බැලීමෙන් එම බර ප්‍රමාණය කඹයට දරාගත හැකිද යන්න සොයා බැලිය හැකිය. නමුත් එමගින් දිගුකාලීන ශක්තිය, ද්‍රව්‍යවල දුර්වලතා හෝ අනපේක්ෂිත බිඳවැටීමක් පිළිබඳ සියල්ල තහවුරු වන්නේ නැත.
ගුවන් යානයක තත්ත්වය ඊටත් වඩා සංකීර්ණය. මගීන්ගේ බරට අමතරව මෝටර් පද්ධති, බැටරි, පියාසර පාලනය, සුළං, කාලගුණය, සන්නිවේදනය, හදිසි ගොඩබෑම් සහ යානයේ ස්ථාවරත්වය වැනි කරුණු සියල්ල පරීක්ෂා කළ යුතුය. එබැවින් වැලි කොට්ට පරීක්ෂණය මූලික පියවරක් මිස මගී ආරක්ෂාව පිළිබඳ අවසන් සහතිකයක් නොවේ.
EH216-S යානයේ තාක්ෂණික හැකියාවන් සහ සීමාවන්
සාමාන්‍ය ඩ්‍රෝන යානා සඳහා ඇති ballistic parachute
EH216-S යානයේ ප්රචාලන පද්ධතියට විදුලි මෝටර් 16ක් සහ ප්‍රොපෙලර් 16ක් ඇතුළත්ය. බැටරි පද්ධති 12ක් භාවිත කරන බව වාර්තා වේ. නිෂ්පාදකයා සඳහන් කරන උපරිම සැලසුම් වේගය පැයට කිලෝමීටර් 130ක් වන අතර උපරිම ගමන් දුර කිලෝමීටර් 30කි. උපරිම පියාසර කාලය මිනිත්තු 25ක් පමණ වේ.
එහෙත් මෙහිදී අවධානය යොමු කළ යුතු කරුණක් තිබේ. උපරිම ගමන් දුර යනු මගීන් රැගෙන ඕනෑම කාලගුණික තත්ත්වයකදී කිලෝමීටර් 30ක් ආරක්ෂිතව ගමන් කළ හැකි බවට සහතිකයක් නොවේ. බැටරි තත්ත්වය, මගී බර, සුළං සහ හදිසි අවස්ථාවක අවශ්‍ය වන අමතර බලශක්ති සංචිතය එයට බලපායි.
මෙහි සිටින මගීන්ට සාමාන්‍ය ගුවන් යානයක මෙන් නියමු කුටියක් හෝ යානය පාලනය කිරීමට හැකි උපකරණ නොමැත. යානය ස්වයංක්‍රීයව ක්‍රියා කරන අතර බිම් පාලන මධ්‍යස්ථානයකින් එහි ගමන් තත්ත්වය නිරීක්ෂණය කිරීමටත් අවශ්‍ය අවස්ථාවල මැදිහත් වීමටත් හැකියාව ඇති බව නිෂ්පාදකයා පවසයි.
හදිසි අවස්ථාවකදී මගී ආරක්ෂාව කෙසේද?

ඇමතිවරුන් ගමන් ගත් ඩ්‍රෝන යානය
එහෙත් ප්‍රධාන ප්රශ්නය වන්නේ සන්නිවේදන සම්බන්ධතාව සම්පූර්ණයෙන්ම බිඳවැටුණහොත් කුමක් සිදුවේද යන්නයි. එවිට යානය ස්වයංක්‍රීයව ආරක්ෂිතව ගොඩබෑමට හැකිද? එසේ නොහැකි වුවහොත් අවසන් ආරක්ෂක පියවර කුමක්ද?
එසේම බැටරියේ ආරෝපණය අවම වූ විට යානය අනිවාර්යයෙන්ම ගුවන්ගත වූ ස්ථානයට ආපසු එනවාද යන්නත් පැහැදිලි කරගත යුතුය. සෑම හදිසි අවස්ථාවකදීම ආපසු පැමිණීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වන බව උපකල්පනය කළ නොහැකිය.
තවත් අවධානයට ලක්විය යුතු කරුණක් වන්නේ හදිසි පැරෂුට් පද්ධතියයි. පරීක්ෂා කළ නිල තාක්ෂණික ලේඛනවලින් EH216-S යානයට සියලු පද්ධති අසාර්ථක වූ විට ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ballistic parachute පද්ධතියක් ඇති බව තහවුරු කරගත නොහැකි විය. එබැවින් ඒ පිළිබඳව නිෂ්පාදකයාගෙන් සහ ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියෙන් පැහැදිලි පිළිතුරක් ලබාගත යුතුය.

ඇමතිවරුන් ඩ්‍රෝන යානයට ගොඩ වී සිටි අවස්ථාව
යානයේ බඳ ශක්තිමත් වීම පමණක් මගී ජීවිත ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් නොවේ. ඝට්ටනයකදී මගී කුටිය විකෘති වීම, ආසන සහ ආරක්ෂක පටිවල ක්‍රියාකාරිත්වය, බැටරිවලට හානි සිදුවීමෙන් ගින්නක් ඇතිවීම සහ අනතුරෙන් පසු යානයෙන් පිටවීමට ඇති හැකියාව යන සියල්ල වැදගත් වේ.
ගැටුම් ස්ථාවරත්වය සහ ගෝලීය පරීක්ෂණ අනතුරු
චීන සිවිල් ගුවන් සේවා පරිපාලනය (CAAC) EH216-S සඳහා නිකුත් කළ විශේෂ සහතික කිරීමේ කොන්දේසිවල හදිසි ගොඩබෑම් අවස්ථාවක මගීන්ට සිදුවිය හැකි තුවාල සහ ඔවුන් යානයෙන් පිටවීමට ඇති හැකියාව පිළිබඳ ආරක්ෂණ අවශ්‍යතා ඇතුළත් කර තිබේ.
මෙයින් අදහස් වන්නේ හදිසි ගොඩබෑමකදී සිදුවන බලපෑම් අවම කිරීමට යානය සැලසුම් කළ යුතු බවයි. නමුත් අහසේ සිට සම්පූර්ණයෙන් පාලනය අහිමි වී වේගයෙන් පොළොවට කඩා වැටෙන අවස්ථාවකදී මගීන්ගේ ජීවිත සහතික කරන බවක් එයින් අදහස් නොවේ.
උසක සිට වැටීමකදී ඇතිවන බලපෑම යානයේ වේගය, වැටෙන දිශාව, පොළොවේ ස්වභාවය සහ යානයේ ව්‍යුහය අනුව වෙනස් වේ. එබැවින් මෙවැනි යානයක "ගැටුම් ස්ථාවරත්ව" (Crashworthiness) පරීක්ෂණ වාර්තා සහ හදිසි ගොඩබෑමේ පරීක්ෂණ ප්‍රතිඵල මහජනතාවට පැහැදිලි කිරීම වැදගත්ය.
මෙවැනි eVTOL යානා සංවර්ධනය කිරීමේදී පරීක්ෂණ අනතුරු සිදුවී තිබේ. 2022දී ඇමරිකාවේ Joby සමාගමේ දුරස්ථ පාලනය යටතේ පරීක්ෂණ ගමනක යෙදුණු මූලාකෘති යානයක ප්‍රොපෙලර් තලයක් කැඩී වෙන්වීමෙන් යානයට හානි සිදුවිය. 2023දී බ්‍රිතාන්‍යයේ Vertical Aerospace සමාගමේ VA-1X මූලාකෘතියකද පරීක්ෂණ අතරතුර ප්‍රොපෙලර් තලයක් ගැලවී ගොස් අනතුරක් සිදුවිය.
මෙම සිදුවීම් මගීන් රැගෙන ගිය වාණිජ ගුවන් ගමන්වල අනතුරු නොව, සංවර්ධන හා පරීක්ෂණ ගුවන් ගමන්වල සිදුවූ සිදුවීම්ය. එබැවින් ඒවා මගී ප්‍රවාහන සේවාවල අනතුරු සංඛ්‍යාව ලෙස ගණන් කළ නොහැකිය. නමුත් නව තාක්ෂණයකදී යාන්ත්‍රික දෝෂ සහ අනපේක්ෂිත තත්ත්වයන් ඇතිවිය හැකි බව ඒවා අපට සිහිපත් කරයි.
වාණිජ මෙහෙයුම්වල සැබෑ තත්ත්වය කුමක්ද?
වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක ජයග්‍රාහී ලීලාවෙන් ඩ්‍රෝන යානයෙන් බැස එන ආකාරය
EHang සමාගම EH216-S සහ එහි මාදිලිවල ගුවන් ගමන් සංඛ්‍යාව 100,000කට ආසන්න බව ප්‍රකාශ කර ඇත. එහෙත් එම සංඛ්‍යාව සියල්ලම මගීන් සහිත වාණිජ ගමන් බව අදහස් නොවේ. පරීක්ෂණ, නිරූපණ සහ වෙනත් මෙහෙයුම්ද එයට ඇතුළත් විය හැකිය.
චීනයේ EH216-S යානයට 2023දී වර්ග සහතිකයත් (Type Certificate), 2024දී නිෂ්පාදන සහතිකයත් ලැබුණි. 2025දී එහි මෙහෙයුම්කරුවන්ට සීමිත ස්ථානවල මිනිසුන් රැගෙන යාම සඳහා මෙහෙයුම් සහතික ලැබුණි. එය චීනයේ නියමුවකු රහිත මගී ප්‍රවාහන තාක්ෂණය වාණිජ භාවිතයට ගෙන යාමේ වැදගත් පියවරකි.
එහෙත් චීනයේ වුවද මෙය ඕනෑම නගරයක ඕනෑම මාර්ගයක සාමාන්‍ය බස් සේවාවක් මෙන් ක්‍රියාත්මක වන තත්ත්වයක් නොවේ. නිශ්චිත ස්ථාන සහ මෙහෙයුම් සීමා යටතේ ක්‍රියාත්මක වන සේවාවකි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජපානය සහ දකුණු කොරියාව වැනි රටවල්ද මගී eVTOL තාක්ෂණය අත්හදා බලමින් සිටියි. එහෙත් ඒවායේ පරීක්ෂණ ගුවන් ගමන් සහ වාණිජ මගී සේවා අතර වෙනස හඳුනාගත යුතුය.
මගී ප්‍රවාහන eVTOL යානා අනාගත ගුවන් ප්‍රවාහනයේ වැදගත් කොටසක් බවට පත්වීමට ඉඩ තිබේ. විශේෂයෙන් දූපත් අතර කෙටි ගමන්, සංචාරක ගමනාන්ත, හදිසි වෛද්‍ය ප්‍රවාහනය සහ මාර්ග පහසුකම් අඩු ප්‍රදේශවලට ප්‍රවේශ වීම සඳහා මෙය ප්‍රයෝජනවත් විය හැකිය.
විද්‍යුත් ගුවන් යානා තාක්ෂණයේ නවතම පියවර
මේ අතර, විදුලි ගුවන් යානා තාක්ෂණය මගී ඩ්‍රෝනවලට පමණක් සීමා වී නැති බව පෙන්වන තවත් වැදගත් පුවතක් චීනයෙන් වාර්තා විය.
2026 නොවැම්බර් 14 වැනිදා චීනයේ COMAC සමාගම නිපදවූ CE-25A නමැති විද්‍යුත් මගී ගුවන් යානය සිය පළමු මිනිසුන් සහිත පරීක්ෂණ ගුවන් ගමන සාර්ථකව නිම කළේය. මගීන් 19 දෙනෙකු රැගෙන යා හැකි මෙම යානයේ එම පරීක්ෂණ ගමනට ගුවන් නියමුවන් දෙදෙනකු සහ පරීක්ෂණ ඉංජිනේරුවකු සහභාගී වී තිබිණි.
ඇමතිවරුන් සමග ඩ්‍රෝන යානය ගුවන් ගතවී තිබූ ආකාරය
නිෂ්පාදකයා ප්‍රකාශ කරන පරිදි, එහි උපරිම ගමන් පරාසය කිලෝමීටර් 400ක් වන අතර, ගමන් වේගය පැයට කිලෝමීටර් 300කි. පළමු මිනිසුන් සහිත ගුවන් ගමනට පෙර මිනිසුන් නොමැති ස්වයංක්‍රීය පරීක්ෂණ ගුවන් ගමන් 19ක් ද සිදුකර තිබේ.
මේ යානයට තවමත් වර්ග සහතිකය ලැබී නැත. චීන ගුවන් සේවා බලධාරීන් එම සහතිකය සඳහා වූ අයදුම්පත භාරගැනීම පමණක් සිදුකර ඇති බව වාර්තා වේ.
මෙයින් පැහැදිලි වන්නේ අනාගත ගුවන් ප්‍රවාහනය එක් දිශාවකට පමණක් ගමන් නොකරන බවයි. නගර තුළ කෙටි දුර ගමන් සඳහා ස්වයංක්‍රීය මගී ඩ්රෝනත්, නගර අතර ගමන් සඳහා විශාල විදුලි ගුවන් යානාත් සංවර්ධනය වෙමින් පවතී. එහෙත් ඒවා සැබෑ මගී ප්‍රවාහන සේවා බවට පත්වීමට නම් තාක්ෂණික සාර්ථකත්වයට අමතරව ආරක්ෂාව, සහතිකකරණය සහ මෙහෙයුම් විශ්වසනීයත්වය ද තහවුරු විය යුතුය.
ශ්‍රී ලංකාව පිළිතුරු සෙවිය යුතු ප්‍රශ්න
තාක්ෂණය අලුත් නිසා එය ප්‍රතික්ෂේප කළ යුතු නැතිවා සේම, අලුත් තාක්ෂණයක් නිසා එය ආරක්ෂිත යැයි අන්ධ ලෙස පිළිගත යුතුද නැත.
2026 මැයි මාසයේ ඇමරිකානු රජයේ විගණන කාර්යාලය (GAO) නිකුත් කළ වාර්තාව පෙන්වා දෙන්නේ විද්‍යුත් ගුවන් යානා සඳහා සහතික කිරීමේ ක්‍රමවේද, නියාමන සහ යටිතල පහසුකම් තවදුරටත් සංවර්ධනය කළ යුතු බවයි. එමෙන්ම 2025 දෙසැම්බර් මාසයේ පළවූ විද්‍යාත්මක අධ්‍යයනයකදී නියමුවන් 15 දෙනකුගෙන් 80%ක් සම්පූර්ණයෙන්ම මිනිස් නියමුවා ඉවත් කිරීමට විරුද්ධ වූ බව සඳහන් වේ. එය කුඩා නියැදියක ප්‍රතිඵලයක් වුවද, ගුවන් ක්ෂේත්රයේ මිනිස් විනිශ්චය පිළිබඳ සැලකිල්ල තවමත් පවතින බව පෙන්වයි.
ශ්‍රී ලංකාව මේ තාක්ෂණය හඳුන්වාදීමේදී විමසිය යුතු ප්‍රශ්න කිහිපයක් තිබේ. ඒ, යානයට මෙරට කාලගුණික තත්ත්වයන් යටතේ පියාසර කළ හැකිද? හදිසි අවස්ථාවකදී ගොඩබෑමට සුදුසු ස්ථාන තිබේද? සන්නිවේදනය බිඳවැටුණහොත් සිදුවන්නේ කුමක්ද? අනතුරක් සිදුවුවහොත් වගකීම භාරගන්නේ කවුද? මෙරට ගුවන් සේවා අධිකාරිය යානයේ තාක්ෂණික ආරක්ෂාව පිළිබඳ කුමන ලේඛන පරීක්ෂා කර තිබේද? යන ඒවාය.
චීනයේ COMAC සමාගම නිපදවූ CE-25A නමැති විද්‍යුත් මගී ගුවන් යානය
වරාය නගරයේදී දේශපාලනඥයන් දෙදෙනකු ගමන් කිරීම ඉතිහාසගත අත්දැකීමක් විය හැකිය. එහෙත් එය තාක්ෂණයේ සාර්ථකත්වය පිළිබඳ අවසන් තීන්දුවක් නොවේ.
අපට අවශ්‍ය වන්නේ අනාගත ගුවන් ප්‍රවාහනයට බියෙන් දොර වසා ගැනීම නොව, එය පිළිගැනීමට පෙර මගී ජීවිත ආරක්ෂා වන බව විද්‍යාත්මකව සහ නියාමනමය වශයෙන් තහවුරු කර ගැනීමයි.
අලුත් තාක්ෂණයක් අත්හදා බැලීම ප්රගතියකි. නමුත් මිනිස් ජීවිත අත්හදා බැලීමේ කොටසක් නොවිය යුතුය.
මූලාශ්‍ර සහ වැඩිදුර තොරතුරු
මුල් ලිපිය උපුටා ගැනීම (Vinivida.lk):
EHang නිල පුවත් නිවේදනය:
EHang වාර්ෂික වාර්තාව (SEC):
බ්‍රිතාන්‍ය AAIB – Vertical Aerospace අනතුරු වාර්තාව:
ඇමරිකානු GAO – විදුලි ගුවන් යානා සහතිකකරණයේ අභියෝග:
Kingston University පර්යේෂණය:
CE-25A පළමු ගුවන් ගමන පිළිබඳ වාර්තාව:




