රාජ්‍ය බලපත්‍රයක් යටතේ මහජන සේවාවක් සපයන පෞද්ගලික සමාගමක් වුවද තොරතුරු දැනගැනීමේ පනතට යටත් විය හැකි බවට තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවෙන් තීරණයක්.
තොරතුරු දැනගැනීමේ අයිතිය යනු රාජ්‍ය ආයතනවලින් පමණක් තොරතුරු ලබාගැනීමට ඇති අයිතියක්ද? රාජ්‍ය බලපත්‍රයක් යටතේ මහජනතාවට අත්‍යවශ්‍ය සේවාවක් සපයන පෞද්ගලික සමාගමකට ද මහජන වගවීමක් තිබිය හැකිද? එවැනි සමාගමක් සතු තොරතුරු ඉල්ලා සිටින විට එය පෞද්ගලික ආයතනයක් බව පවසමින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ හැකිද?
මෙම ප්‍රශ්නවලට වැදගත් නීතිමය පැහැදිලි කිරීමක් සපයන තීරණාත්මක තීන්දුවක් ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව විසින් 2026 ඔක්තෝබර් 21 වැනිදා ලබාදී තිබේ. ඒ තොරතුරු දැනගැනීමේ පනත යටතේ Hashtag Generation ආයතනය සහ Dialog Axiata PLC අතර ඇති වූ අභියාචනා අංක 1043/2022 හරහාය.
මෙම තීරණයේ විශේෂත්වය වන්නේ, ඩයලොග් සමාගම පෞද්ගලික සමාගමක් වුවද, ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නීතිමය රාමුව යටතේ බලපත්‍රයක් ලබාගෙන මහජනතාවට අත්‍යවශ්‍ය සන්නිවේදන සේවාවක් සපයන බැවින්, තොරතුරු දැනගැනීමේ පනතේ 43(උ) වගන්තිය යටතේ එය මහජන අධිකාරියක් ලෙස සැලකිය හැකි බව කොමිෂන් සභාව තීරණය කිරීමයි.
සමාජ මාධ්‍ය අවහිර කිරීම පිළිබඳ තොරතුරු ඉල්ලීම
මෙම අභියාචනයට පසුබිම් වී ඇත්තේ 2022 වසරේ මාර්තු සහ අප්‍රේල් මාසවලදී ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය වේදිකා සහ සන්නිවේදන යෙදුම් වෙත ප්‍රවේශය සීමා කිරීම සම්බන්ධ සිදුවීම්ය. 2022 මැයි 13 වැනිදා Hashtag Generation විසින් Dialog Axiata PLC වෙතින් තොරතුරු ඉල්ලීමක් සිදුකර තිබිණි. එම ඉල්ලීම මගින් ප්‍රධාන වශයෙන් තොරතුරු දෙකක් අපේක්ෂා කර තිබුණි.

පළමුව, 2022 මාර්තු සහ අප්‍රේල් මාසවලදී සමාජ මාධ්‍ය වේදිකා සහ සන්නිවේදන යෙදුම් සීමා කරන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් අන්තර්ජාල සේවා සපයන්නෙකු ලෙස ඩයලොග් සමාගමට නිකුත් කළ ලිඛිත උපදෙස්වල සහතික කළ පිටපත් ලබා දෙන ලෙසත්, දෙවනුව, එම සීමා කිරීම් සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ඩයලොග් සමාගම අතර හුවමාරු වූ සියලුම ලිඛිත සන්නිවේදනවල පිටපත් ලබා දෙන ලෙසත්ය.
ඩයලොග් සමාගම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම සහ අභියාචනය
2022 මැයි 19 වැනිදා ඩයලොග් සමාගමේ ජ්‍යෙෂ්ඨ නීති උපදේශකවරයා ලිපියක් මගින් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිණි. එහිදී සමාගම පෙන්වා දී තිබුණේ තමන් 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාපිත පෞද්ගලික සීමිත සමාගමක් බැවින් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ අර්ථ දක්වා ඇති 'මහජන අධිකාරියක්' යන කොටසට ඩයලොග් ආයතනය අයත් නොවන බවයි. එබැවින් අදාළ තොරතුරු ලබාගැනීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත යොමුවන ලෙස ද ඉල්ලුම්කරුට දැනුම් දී තිබිණි.
මෙම පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ Hashtag Generation ආයතනය 2022 මැයි 26 වැනිදා ඩයලොග් සමාගමේ නම් කළ නිලධාරියා වෙත අභියාචනයක් ඉදිරිපත් කළේය. එම අභියාචනයට නියමිත කාලය තුළ ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් 2022 ජූලි 26 වැනිදා තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව වෙත අභියාචනය ඉදිරිපත් කර තිබිණි.
පෞද්ගලික සමාගමක් මහජන අධිකාරියක් වන්නේ කෙසේද?
මෙම අභියාචනයේදී මූලික වශයෙන් විවාදයට ලක්වූයේ තොරතුරු දැනගැනීමේ පනතේ 43(උ) වගන්තියයි. එම වගන්තිය යටතේ, රජය එහි ආයතන හෝ පළාත් පාලන ආයතනයක් සමඟ ගිවිසුමක්, හවුල්කාරිත්වයක්, එකඟතාවක් හෝ බලපත්‍රයක් යටතේ කටයුතු කරන පෞද්ගලික ආයතනයක්, ව්‍යවස්ථාපිත කාර්යයක් හෝ සේවාවක් හෝ මහජන කාර්යයක් හෝ සේවාවක් ඉටු කරන්නේ නම්, එය මහජන අධිකාරියක් ලෙස සැලකිය හැකිය යන්න සඳහන් විය.
“මෙහිදී සැලකිල්ලට ගත යුතු වැදගත් කරුණ වන්නේ පෞද්ගලික සමාගමක් වීම පමණක් එම ආයතනය තොරතුරු දැනගැනීමේ පනතේ විෂය පථයෙන් ඉවත් වීමට ප්‍රමාණවත් නොවන බවයි.”
Hashtag Generation ආයතනය වෙනුවෙන් ඉදිරිපත් කළ නීතිමය තර්කය වූයේ ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 17 වැනි වගන්තිය යටතේ බලපත්‍රයක් ලබා නොගෙන මෙරට විදුලි සංදේශ පද්ධතියක් ක්‍රියාත්මක කළ නොහැකි බවයි. එබැවින් එවැනි බලපත්‍රයක් යටතේ සේවා සපයන ඩයලොග් සමාගම, 43(උ) වගන්තියේ අර්ථය තුළ මහජන අධිකාරියක් ලෙස සැලකිය හැකි බව කොමිෂන් සභාවේ ස්ථාවරය විය.
එයට ප්රතිවිරුද්ධව ඩයලොග් සමාගම පෙන්වා දුන්නේ තමන් පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක් වන අතර විදුලි සංදේශ සේවා සැපයීම සඳහා රජයෙන් ලබාගත් බලපත්‍රය මත පමණක් මහජන අධිකාරියක් බවට පත් නොවන බවයි. සමාගමේ කොටස්වලින් 82.27%ක් Axiata Investments Limited සතු බව ද සමාගම පෙන්වා දී තිබිණි.
විදුලි සංදේශ සේවාව හුදෙක් වාණිජ කටයුත්තක් නොවේ
කොමිෂන් සභාව මෙම තර්ක දෙකම සලකා බැලීමෙන් අනතුරුව විදුලි සංදේශ සේවාවල ස්වභාවය පිළිබඳව පුළුල් නීතිමය විග්‍රහයක් සිදුකර ඇත.

1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 17(1) වගන්තිය අනුව අමාත්‍යවරයා විසින් ලබාදෙන බලපත්‍රයක් යටතේ මිස ශ්‍රී ලංකාව තුළ කිසිදු පුද්ගලයෙකුට විදුලි සංදේශ පද්ධතියක් ක්‍රියාත්මක කළ නොහැකිය. එම පනතේ 19(1) වගන්තිය මගින් බලපත්‍රයක් නොමැතිව එවැනි පද්ධතියක් ක්‍රියාත්මක කිරීම වරදක් බවට ද පත්කර ඇත. එසේම 17(6) සහ 17(7) වගන්ති මගින් බලපත්‍රයේ කොන්දේසි, සේවා සැපයීම සහ නියාමන අධිකාරිය විසින් නිකුත් කරන උපදෙස්වලට අනුකූලව කටයුතු කිරීම සම්බන්ධ නීතිමය රාමුවක් සකස් කර ඇත. ඒ අනුව විදුලි සංදේශ සමාගමක් තම ව්‍යාපාරික කටයුතු සිදුකරන්නේ සාමාන්‍ය පෞද්ගලික ගිවිසුම් මත පමණක් නොව, රාජ්‍ය නියාමනයට සහ නීතිමය කොන්දේසිවලට යටත්ව බව කොමිෂන් සභාව පෙන්වා දී තිබේ.
විදුලි සංදේශන පනතේ 4 සහ 5 වගන්තිවල සඳහන් අරමුණු අතර ජාතික හා ජාත්‍යන්තර සන්නිවේදන සේවාවල විශ්වසනීයත්වය සහ කාර්යක්ෂමතාව තහවුරු කිරීම, පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, මහජන යහපත සුරැකීම සහ සාධාරණ තරගකාරිත්වය ප්‍රවර්ධනය කිරීම ද ඇතුළත් වේ. එබැවින් විදුලි සංදේශ සේවාව යනු සමාගමක ලාභ ඉපැයීමේ අරමුණට පමණක් සීමා වූ කර්තව්‍යයක් නොවන අතර එය මහජනතාවගේ එදිනෙදා ජීවිතයට සහ ජාතික අවශ්‍යතාවලට ද සෘජුවම බලපාන සේවාවක් බව කොමිෂන් සභාව අවධාරණය කළේය.
Hiru TV නඩු තීන්දුවේ වැදගත්කම
මෙම තීරණයේදී කොමිෂන් සභාව විසින් 2026 මාර්තු 5 වැනිදා අභියාචනාධිකරණය ලබාදුන් එම්.ජේ.කේ. දිසානායක එදිරිව ඒෂියා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ්, හෙවත් Hiru TV නඩු තීන්දුව ද සැලකිල්ලට ගෙන තිබේ. එම නඩුවේදී ද අවධානය යොමු වී තිබුණේ රජයෙන් බලපත්‍රයක් ලබාගෙන මහජන ගුවන්විදුලි සංඛ්‍යාත භාවිත කරන පෞද්ගලික විකාශන ආයතනයක් තොරතුරු දැනගැනීමේ පනත යටතේ මහජන අධිකාරියක් ලෙස සැලකිය හැකිද යන්නයි.
එහිදී අභියාචනාධිකරණය පෙන්වා දී තිබුණේ රජයෙන් හෝ එහි ආයතනයකින් බලපත්‍රයක් ලබාගෙන මහජන කාර්යයක් හෝ සේවාවක් ඉටු කරන පෞද්ගලික ආයතනයක් තොරතුරු දැනගැනීමේ පනතට යටත් මහජන අධිකාරියක් ලෙස සැලකිය හැකි බවයි. එම තීරණයේ මූලික තර්කය වූයේ පෞද්ගලික ආයතනයක නීතිමය හෝ ව්‍යාපාරික ස්වභාවයට පමණක් අවධානය යොමු නොකර එය ඉටු කරන කාර්යයේ මහජන ස්වභාවය ද සලකා බැලිය යුතු බවයි.
එසේම 2026 ජූලි 10 වැනිදා ලබාදුන් Chartered Institute of Personnel Management (CIPM) නඩු තීන්දුව ද කොමිෂන් සභාව විසින් සැලකිල්ලට ගෙන ඇත. එහිදී තොරතුරු දැනගැනීමේ පනතේ 43 වැනි වගන්තිය පුළුල් සහ අරමුණුගත අර්ථකථනයකින් කියවිය යුතු බවට අභියාචනාධිකරණය අවධාරණය කර තිබේ. මෙවැනි ආයතනවලට තොරතුරු ලබාදීමෙන් වැළකීම සඳහා නීතියේ අර්ථය සීමා සහිතව භාවිත කළ නොහැකි බවත්, තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ හැක්කේ පනතේ 5 වැනි වගන්තියේ සඳහන් අදාළ නිදහස් කිරීම් යටතේ පමණක් බවත් තොරතුරු දැනගැනීමේ පනතේ නීතිමය ප්‍රවේශයෙන් මනාව පැහැදිලි කර තිබේ.
මහජන සම්පත් භාවිත කිරීම සහ මහජන වගවීම

තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ කොමිෂන් සභාවේ තීරණයේ තවත් වැදගත් පැතිකඩක් වන්නේ රාජ්‍ය පාලනය යටතේ පවතින මහජන සම්පත් භාවිත කිරීම පිළිබඳව අවධානය යොමු කර තිබීමයි.
විදුලි සංදේශ සේවා සපයන සමාගම් රාජ්‍ය නියාමනය යටතේ වෙන්කරන සහ පාලනය කරන රේඩියෝ සංඛ්‍යාත සම්පත් භාවිත කරන අතර, එම සංඛ්‍යාත හුදෙක් පෞද්ගලික සමාගමකට අයත් සම්පත් නොවන අතර මහජන යහපත සඳහා රජය විසින් කළමනාකරණය කරනු ලබන සම්පත් වේ. 1997 වසරේ Broadcasting Authority Bill සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ද මෙම මූලධර්මය තහවුරු කරන නීතිමය පදනමක් ලෙස කොමිෂන් සභාව දක්වා ඇත. ඒ අනුව රාජ්‍ය සම්පත් භාවිත කරමින් මහජනතාව වෙනුවෙන් සේවාවක් සපයන පෞද්ගලික ආයතනයක් වුව ද, එහි අදාළ කටයුතු සම්බන්ධයෙන් මහජන වගවීමෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කළ නොහැකිය.
මහජන අධිකාරියක් බවට තීරණය කිරීම
මෙම තීරණය සම්බන්ධයෙන් මහජනතාව අවධානය යොමු කළ යුතු තවත් වැදගත් නීතිමය කරුණක් තිබේ. ඩයලොග් සමාගම තොරතුරු දැනගැනීමේ පනතේ 43(උ) වගන්තිය යටතේ මහජන අධිකාරියක් බවට තීරණය කිරීමෙන් ඉල්ලූ සියලුම තොරතුරු අනිවාර්යයෙන්ම ලබාදිය යුතු බවක් අදහස් නොවේ. මන්ද, කොමිෂන් සභාව මෙම කරුණු දෙක පැහැදිලිව වෙන්කර දක්වා තිබේ.
පළමුව, අදාළ ආයතනය තොරතුරු දැනගැනීමේ පනතේ විෂය පථයට ඇතුළත් වන මහජන අධිකාරියක් ද යන්න තීරණය කළ යුතුය. දෙවනුව, එම ආයතනය මහජන අධිකාරියක් බව තහවුරු වූ පසුව, ඉල්ලා ඇති නිශ්චිත තොරතුරු එම ආයතනයේ ව්‍යවස්ථාපිත හෝ මහජන කාර්යයට අදාළ වන්නේද යන්නත්, එම තොරතුරු පනතේ 5 වැනි වගන්තිය යටතේ නිදහස් කළ හැකිද යන්නත් වෙනම සලකා බැලිය යුතුය.
අවසන් තීරණය
2026 ඔක්තෝබර් 21 වැනිදා ලබාදුන් අවසන් තීරණය මගින් කොමිෂන් සභාව ඩයලොග් සමාගම ඉදිරිපත් කළ මූලික අධිකරණ බලය පිළිබඳ විරෝධතාව ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනතේ 43(උ) වගන්තිය යටතේ, ඩයලොග් සමාගම සිය විදුලි සංදේශ බලපත්‍රය යටතේ ඉටු කරන ව්‍යවස්ථාපිත හෝ මහජන කාර්යයන් සහ සේවාවන්ට අදාළ සීමාව තුළ මහජන අධිකාරියක් බව කොමිෂන් සභාව තීරණය කළේය
එසේම ඉල්ලූ තොරතුරු අනාවරණය කළ හැකිද, නැතහොත් පනතේ 5 වැනි වගන්තිය යටතේ නිදහස් කළ හැකිද යන්න පිළිබඳව වැඩිදුර කරුණු විමසීම සඳහා අභියාචනයේ මූලික කරුණු සම්බන්ධ විභාගයක් පැවැත්වීමට දිනයක් නියම කරන ලෙස ද කොමිෂන් සභාව නියෝග කළේය.
පෞද්ගලික අංශයේ වගවීම පිළිබඳ පුළුල් සංවාදයක් අවශ්‍යයි
මෙම තීරණය ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ සංවාදයට වැදගත් දායකත්වයක් සපයයි. විශේෂයෙන්ම මහජනතාවට අත්‍යවශ්‍ය සේවා සපයන පෞද්ගලික ආයතන සම්බන්ධයෙන් විනිවිදභාවය සහ වගවීම පිළිබඳව නැවත සිතා බැලීමට එය අවස්ථාවක් සලසයි. විදුලි සංදේශ සේවා, විකාශන සේවා සහ රාජ්‍ය බලපත්‍ර යටතේ ක්‍රියාත්මක වන වෙනත් සේවාවන් ජනතාවගේ දෛනික ජීවිතය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, තොරතුරු ලබාගැනීමේ හැකියාව සහ ප්රජාතන්ත්රවාදී සහභාගිත්වය සමඟ සෘජුව සම්බන්ධ වේ. එවැනි සේවාවන් සපයන ආයතන තමන් පෞද්ගලික සමාගම් බව පවසමින් මහජන වගවීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට නොහැකි බව මෙම තීරණයෙන් පැහැදිලි වේ.
කෙසේ වෙතත්, මෙයින් සෑම පෞද්ගලික සමාගමක්ම තොරතුරු දැනගැනීමේ පනතට යටත් වන බවක් අදහස් නොවේ. ඒ සඳහා 43(උ) වගන්තියේ සඳහන් නීතිමය කොන්දේසි සහ අදාළ ආයතනය ඉටු කරන කාර්යයේ ස්වභාවය සලකා බැලිය යුතුය. අවසානයේදී වැදගත් වන්නේ ආයතනයක් පෞද්ගලිකද රාජ්යද යන්න පමණක් නොව, එය ඉටු කරන කාර්යය මහජනතාවට බලපාන්නේ කෙසේද යන්නයි.
මහජන සම්පත් භාවිත කරමින්, රාජ්‍ය නියාමනය යටතේ, මහජනතාවට අත්‍යවශ්‍ය සේවාවක් සපයන ආයතනයක් සම්බන්ධයෙන් විනිවිදභාවය සහ වගවීම අපේක්ෂා කිරීම අසාධාරණ ඉල්ලීමක් නොවේ. තොරතුරු දැනගැනීමේ අයිතියේ සැබෑ අරමුණ වන්නේ ද එවැනි වගවීමක් සහිත සමාජයක් ගොඩනැගීමයි.




