පනාමුර යනු සිංහරාජ වනාන්තරය හා බැඳුණු රක්වාන කඳු වැටි පන්තියේ ගිනිකොණ දෙසට ඇති අවසාන කඳු පන්තිය අතර පිහිටි ඉතාමත් සුන්දර ගම්මානයකි. එහි පිහිටි නොසිඳෙන දිය උල්පතක් වූ නලියන උල්පත කේන්ද්‍ර කොටගෙන මඩුවන්වෙල රටේ මහත්තයා විසින් වර්ෂ 1896 දී පනාමුරේ පළමු ඇත් ගාල ඉදිකරනු ලැබිණි. (සමහර තැනෙක මෙය 1889 ලෙස දැක්වේ.)
ඇත් ගාල් ඉදි කිරීමේ දී මහපොළොවේ මතුපිට සිට අඩි හතරක් පමණ ගැඹුරට කොටන් සිටුවන අතර ඇත් ගාලේ වැට අඩි දහයක්, පහළොවක් පමණ උසට තනනු ලබයි. මේ කොටන් සිටුවන්නේ අලින් එය ඇල්ලුවොත් සෙලවෙන ආකාරයට ය. මෙසේ සෙලවෙන විට ඔවුන් බියට පත් වන්නේ යැයි කියනු ලැබේ. විශේෂත්වය වන්නේ ගාල තුළ කිසිදු ගසක් නොකැපීම ය. එක් ගසක් හෝ කැපුවොත් අලි ඇතුන්ට එම ස්ථානයෙහි නුහුරු ගතියක් දැනෙන්නට ඉඩ ඇති බැවින්, එසේ වුවහොත් ඇත් ගාල අසාර්ථක විය හැකි බවට විශ්වාස කෙරේ.
රටේ අලි ඇතුන්ගේ අයිතිය තිබුණේ රජතුමාට ය. එනිසා රජ්ජුරුවන්ගේ අවසරයක් නැතිව ඇත් ගාල් පැවැත්විය නොහැකිය. නමුත් මඩුවන්වෙල රටේ මහත්තයා ගේ පෞරුෂය නිසාම ඔහුට අයත්ව තිබූ සුවිසල් නින්දගම්වල ඇත් ගාල් පැවැත්වීමට ඔහු රජුගෙන් අවසර ගත්තේ නැත.
ඇත් ගාල් නරඹන්නට දෙස් විදෙස් ප්‍රභූවරුන් ඇතුළු බොහෝ පිරිස් පැමිණෙති. නරඹන්නන්ට විනෝදයක් සහ මේවා සංවිධානය කරන රදලයින්ට ඇත් ගාල් අවසානයේ එම අලි ඇතුන් වෙන්දේසි කිරීමෙන් කාසි ද ලැබුණත් සැබවින්ම මෙය දුක්ඛිත සහ කුරිරු ක්‍රියාවලියකි. ගාල් බැඳ අලි ඇතුන් ඇල්ලීම අපේ රටට හුරු කළේ පෘතුගීසීන් යැයි කියනු ලැබේ. ඔවුන් එකල අලි ඇතුන් අල්ලා මෝගල් අධිරාජ්‍යයාට විකුණා ඇත. පෘතුගීසීන් මෙන්ම ඉන්පසුව අපේ රට ආක්‍රමණය කළ ලන්දේසින් ද ඇලි ඇතුන් ගාල් කර අල්ලා වෙළඳාම් කර තිබේ.
ගාලේ ගස් බඳින ලද අලියෙක්
ගාල බැඳීමෙන් පසු අලි ඇතුන් ගාලට ඇතුල් කර ගැනීම සඳහා හීලෑ ඇතින්නියක යොදන බව ද පැවසේ. සැම විටම එය එසේම සිදු වන්නේද යන්න ගැන නිශ්චිත වාර්තා නැත. එම ඇතින්න පසුපස ඇදෙන අලි ඇතුන් රංචුව ඉබේම වාගේ ගාලේ ඉඳිකඩෙන් ගාල ඇතුළට පැමිණෙයි. එසේම මිනිසුන් ගිනිමැල ගසාගෙන මහ හඬින් ඝෝෂා නගමින් අලි ඇතුන්ව බිය ගන්වා ඔවුන් ඉඳිකඩ පැත්තට එළවන බවත් එවිට උන් ඉබේම ගාල ඇතුළට සේන්දු බවත් පැවසේ. මේ සියලුම ආකාරවලින් අලි ඇතුන් ගාල් කර ගැනීම සිදු විය.
එසේ ගාල් කර ගත් පසු හීලෑ අලින් දෙදෙනකු විසින් එම රැළෙන් එක් අලියකු තනි කරගෙන පසුපස පන්නා වෙහෙස කරවයි. ඉන්පසු හීලෑ අලින් දෙදෙනා වල් අලියාගේ දෙපැත්තෙන් හිඳ එම අලියාව තෙරපවයි. ඉන් වල් අලියා මහත් වෙහෙසටත් බියටත් පත්ව මෙල්ල වේ. එවිට මදු ගසන්නන් වල් අලියාගේ පසුපස පාදයකට තොණ්ඩුවක් දමා එය තද කර අසල ගසක බඳියි. මීළඟට හීලෑ අලින් දෙදෙනෙකු එම ගස් බඳින ලද වල් අලියාව දෙපසින් තෙරපන අතරේ තවත් හීලෑ අලියකු එම වල් අලියාගේ නළලට නළල තබා එම අසරණයාව ගස අසලටම තල්ලු කරගෙන යයි. ඉන්පසු උගේ පසුපස ඉතිරි පාදයත් ගසට තබා බැඳ අසරණ කරවනු ලබයි. අලි බඳින මිනිසුන් ඇත්ගාලට යවන්නේ ශාන්තිකර්ම කර ආරක්ෂක යන්ත්‍ර ද පළඳවා ය. ඉන්පසු පූජාවට ගත් තැඹිලි තෙල් හිසෙහි ආලේප කරයි. ඔවුන් වල් අලින්ගේ බඩ යටින් ගොස් එම සතුන්ට තොණ්ඩු දමන්නේ ඉන්පසුව ය.
මඩුවන්වෙල රටේ මහත්තයා අලි ඇතුන් හීලෑ කර ගැනීමට විශේෂ මන්ත්‍ර ශාස්ත්‍ර සහ කෙම් ක්‍රම භාවිතා කර ඇත. වල් අලින් බැඳීමට පෙර මන්ත්‍ර ජප කරන ලද බුලත් කොලයක කෑල්ලක් කඩා හපමින් ඉතිරි කැබැල්ල ඉණේ ගසා ගෙන ඔහු අලි ඇතුන් සමීපයට ගිය බව කියනු ලැබේ. එම යන්ත්‍ර මන්ත්රවල බලයෙන් අලි ඇතුන් රටේ මහත්තයාට ඉබේම හීලෑ වී ඇත.
වර්තමානයේ ඇත්ගාල තිබූ තැනට යන පාර
මඩුවන්වෙල රටේ මහත්තයා පළමු ඇත් ගාල කිරීමෙන් පසු තවත් ඇත් ගාල් එකොළහක් කර තිබේ. මෙහිදී ඔහුගේ ඥාතීන් වන රදල ප්‍රභූවරුන්ගේ සහාය ද ඔහුට ලැබී ඇත.
රටේ මහත්තයාගේ බිරිඳ වූ කලවානේ කුමාරිහාමිගේ බාල සොහොයුරා වන පුංචි බණ්ඩාර කලවාන හෙවත් කලවානේ පුංචි බණ්ඩා රටේ මහත්තයා අලි මෙල්ල කිරීමෙහි සමතෙකි. කොලොන්න ආසන්නයේ මඩුවන්වෙල රටේ මහත්තයා විසින් තනා දුන් වලව්වක සිය බිරිඳ සහ දරුවන් සමග ජීවත් වූ ඔහු අලි මන්ත්රවලට මෙන්ම අලි වෙදකමට ද හපනෙකු වී සිටියේය. අලි ඇතුන්ගේ නිල අල්ලා උන්ගේ ලෙඩ රෝග සුව කිරීමට ද ඔහු සමතෙකි. ඇත් ගාල්වලින් අල්ලා ගන්නා අලි ඇතුන් හීලෑ කිරීමේ ශාස්ත්‍රය ද මනාව දැන සිටියේය. නමුත් ඔහු 1911 වසරේදී මිය යන්නේද මද කිපුණු අලියෙකුගෙන් ලද ප්රහාරයකිනි. ඒ එම සතාට ප්‍රතිකාර කිරීමට ගිය අවස්ථාවකදී ය.
ගාලට හසුවී ගස් බඳින ලද අලි ඇතුන්ව දින කිහිපයක් නිරාහාරව තබනු ලැබේ. ඒ එම සතාව අඩපණ කරවන්නට ය. ඉන්පසු උන් ඉබේම හීලෑ වන්නේ අසරණකමට විය හැකිය. වඩාත් ප්‍රකම්පනීය වන්නේ කුඩා අලි පැටවුන් මවගෙන් මග හැරී ගාලට හසුවූ විට ය. එවැනි අවස්ථාවක එම අලි සිඟිත්තන් තම මව වෙත යාමට කොතෙක් උත්සාහ දැරුවත් මිනිසුන්ගෙන් ඊට අවසර නැත. රූරා වැටෙන කඳුළු අතරින් ඒ අසරණයෝ මව දෙස බලා හිඳින බව කියනු ලැබේ. මේ පිළිබඳව ඊට වඩා යමක් නොලියමි.
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
අපේ රටේ සිටි ප්‍රවීන සාහිත්‍යධරයකු, කවියකු, ගීත රචකයකු මෙන්ම පුවත්පත් කලාවේදියෙකු ද වූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ගේ "කෝමළ රේඛා" නමැති පද්‍ය ග්රන්ථයට ඇතුළත් වූ "ඇත් ගාලේ දරු පෙම" නම් කවි පන්තිය මෙහිදී නිතැතින්ම සිහියට නැගේ. එය මෙහි සටහන් කරමි. මෙම කවි පන්තිය පසුව පාසල් පෙළ පොත්වලට පවා ඇතළත් කරනු ලැබීය. මානවසිංහයන් 1950 වසරේ පවත්වන ලද අපේ රටේ අවසන් ඇත් ගාල නරඹන්නට පැමිණ ඇත. (මෙම ඇත්ගාල පිළිබඳව මතු සවිස්තරාත්මකව ගෙන එන්නෙමු.) මෙහිදී මානවසිංහයන්ගේ සිතෙහි හටගත් සංවේදනාත්මක සිතිවිලි මෙම පද්‍ය පෙළට කැටි කර තිබේ. ඇත් ගාලකට හසුවූ ඇත් මවක් සහ ඇගේ පැටවා අතර වන සංවාදයක් ලෙස එය දිග හැරේ. මෙහිදී ඇත් මව විවේචනය කරන්නේ තමාගේ ම වර්ගයා ය. උන් මිනිසුන් ට හීලෑ වී ඉන්පසු සිය වර්ගයාව මිනිසුන්ට පාවා දීම පිළිබඳව වූ සංවේදනාත්මක කතාව මානවසිංහයන් එහි අපූරුවට විස්තර කර තිබේ.
"ඇත් පැටවා : මොකටද අම්මේ අම්මට ගැහුවේ
මාමල දෙන්නෙකු වටකරලා
ඇඟ පත තැළිලා රිදෙනව ඇතිනේ
කොච්චර ගැහුවද බැඳ දමලා
ඇත් මව : දෙපා සතාගේ ළඟ කා බී ගෙන
සිටියම ගතිගුණ වෙනස් වෙලා
මාමල ඔහොමයි උන්ගේ බහටම
හැරෙනව නෑකම අතහැරලා
ඇත් පැටවා : අම්මල කන කොට වතුර නාන කොට
තිප්පලෙ නිදියන කොට වැටිලා
කැලේ මාමලා ඉඩ දී අයිනට
වෙලා ඉන්නවා නොවැ රැකලා
ඇත් මව : මිනිහයි කියනා දෙපා සතාගේ
ළඟින් ගියත් ඇති පොඩි පුතුනේ
ළෙහි පපු කම් නෑ හරි ගති ගුණ නෑ
ඒ බව කවුරුත් දන්නවනේ
ඇත් පැටවා : අම්මට කිරි නෑ වෙන අම්මල අර
එහෙ මෙහෙ දුවනව බැදි ගොන්නේ
බඩගිනි එනවා නිදිමත එනවා
කොහොමද අම්මේ මා ඉන්නේ
ඇත් මව : අනේ පුතේ මට කන්න බොන්න නෑ
ඒ හින්දා නෑ කිරි එරුණේ
අයිනක ඉඳලා දුවන අම්මලාගෙන්
කිරි බීපන් පොඩි පුතුනේ"
තවත් කොටසක් ලබන සතියේ
මෙම විස්තර සපයා දුන් හිටපු පුරාවිද්‍යා ගවේෂණ නිලධාරී මාධ්‍යවේදී ජයන්ත විජේරත්න හේරත් මහතාටත්, ලිපි පෙළ සඳහා නන් අයුරින් උපකාර ලබා දෙන ප්‍රවීන මාධ්‍යවේදී රක්වානේ බුද්ධික තැන්නෙපිට මහතාටත්, පනාමුරේ මහා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති, පරිසරවේදී සහ ඓතිහාසික පනාමුර හස්තිරාජ පදනමේ සාමාජික ඩී.ඩී. දයාරත්න මහතාටත් ස්තුතියි.
ඡායාරූප - පනාමුරේ අරුණ ගමගේ සහ අන්තර්ජාලය