The Leader News
BREAKING
පනාමුරේ කතාව (20 කොටස) : දිසාවේ ගේ අවසන් ගමන | ඉන්දු පෙරේරා●හිමි කරගත නොහැකි ප්‍රේමයක් පිළිබඳ කතාවක් පමණක් නොවන ‘මැයි මාර ප්‍රසංගය’●පාර්ලිමේන්තුව යනු ජනතාවට 'කොකා පෙන්වන' තැනක් නොවිය යුතුය●ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය - 2027; අවසන් දිනය දෙසැම්බර් 15●අමෙරිකානු ආරක්ෂක සබඳතා හමුවේ ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට අභියෝගයක්ද?●සිනමා ප්‍රවේශපත්‍රවල සම්පූර්ණ වටිනාකම මත අය කළ වැට් බද්ද ඉවත් කරයි●වනාන්තරයෙන් මුහුදට ගලන 'රතු ගංගාව': ක්‍රිස්මස් දූපතේ අපූරු සංචාරය● DigiNote : 2027 අයවැය ණය මාවත සුරකින බව ෆිච් කියයි●ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සමුළුව නොවැම්බර් 21 BMICH හිදී● මූල්‍ය බුද්ධි ඒකකයෙන් ආයතන දෙකකට ලක්ෂ 33ක දඩ●
Top Ad
Opinion

පාර්ලිමේන්තුව යනු ජනතාවට 'කොකා පෙන්වන' තැනක් නොවිය යුතුය

Awara

Awara

November 19, 2026 • 2:32 PM

පාර්ලිමේන්තුව යනු ජනතාවට 'කොකා පෙන්වන' තැනක් නොවිය යුතුය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාර්ලිමේන්තුව යනු රටක ජනතාවගේ හඬ නියෝජනය වන උත්තරීතර සභාවයි.
  • එහිදී කෙරෙන සෑම ප්‍රකාශයක්ම සහ සෑම විවාදයක්ම අවසානයේදී බලපාන්නේ පොදු ජනතාවගේ ජීවිතයටය.
  • එබැවින්, පාර්ලිමේන්තුවේදී දේශපාලනඥයෙකු කරන ප්‍රකාශයක් හුදෙක් ප්‍රෝඩාකාරී ප්‍රකාශයක්, කවටකමක් හෝ වෛරී සඳහනක් නොවිය යුතු අතර, එය ජනතාවගේ විශ්වාසය, ආර්ථික තීරණ සහ සමාජ මනෝභාවය හැඩගස්වන ප්‍රබල සාධකයක් විය යුතුය.
  • පසුගියදා පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න කළ ප්‍රකාශය මේ පිළිබඳව ගැඹුරින් සිතා බැලීමට අපට අවස්ථාවක් සලසා දෙන ආසන්නතම නිදසුනකි.
අකුරු ප්‍රමාණය (Font Size):

පාර්ලිමේන්තුව යනු රටක ජනතාවගේ හඬ නියෝජනය වන උත්තරීතර සභාවයි. එහිදී කෙරෙන සෑම ප්‍රකාශයක්ම සහ සෑම විවාදයක්ම අවසානයේදී බලපාන්නේ පොදු ජනතාවගේ ජීවිතයටය.

එබැවින්, පාර්ලිමේන්තුවේදී දේශපාලනඥයෙකු කරන ප්‍රකාශයක් හුදෙක් ප්‍රෝඩාකාරී ප්‍රකාශයක්, කවටකමක් හෝ වෛරී සඳහනක් නොවිය යුතු අතර, එය ජනතාවගේ විශ්වාසය, ආර්ථික තීරණ සහ සමාජ මනෝභාවය හැඩගස්වන ප්‍රබල සාධකයක් විය යුතුය. පසුගියදා පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න කළ ප්‍රකාශය මේ පිළිබඳව ගැඹුරින් සිතා බැලීමට අපට අවස්ථාවක් සලසා දෙන ආසන්නතම නිදසුනකි.

මින් අදහස් වනුයේ මෙය ඔහුට හෝ ආණ්ඩු පක්ෂයට පමණක් ආවේණික වූවක් බව නොවේ. නමුත්, ‘සිස්ටම් චේන්ජ්’ (පද්ධති වෙනසක්) කරන බවට ජනතාවට පොරොන්දු දී බලයට ආ ආණ්ඩුවක්, පැරණි ක්‍රමය තවදුරටත් තහවුරු කිරීමට වෙර දැරීම සුළුපටු කරුණක් නොවේ.



ලෝකයේ ඉන්ධන මිල සහ අමාත්‍යවරයාගේ තර්කය

එහිදී අමාත්‍යවරයාගේ ප්‍රධාන තර්කය වූයේ, ලෝකයේ දියුණු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ඉතා අඩු බවත්, ඒ අනුව රජය ජනතාවට විශාල සහනාධාරයක් ලබා දී ඇති බවත්ය.

ඔක්ටේන් 95 පෙට්‍රල්:
ශ්‍රී ලංකාවේ රුපියල් 490ක් වන විට, සිංගප්පූරුවේ රුපියල් 834ක්, ඊශ්‍රායලයේ රුපියල් 847ක්, ජෝර්දානයේ රුපියල් 645ක්, බ්‍රිතාන්‍යයේ රුපියල් 757ක්, ප්‍රංශයේ රුපියල් 755ක්, ෆින්ලන්තයේ රුපියල් 844ක්, නෝර්වේහි රුපියල් 949ක්, ඕස්ට්‍රේලියාවේ රුපියල් 525ක් සහ දකුණු අප්‍රිකාවේ රුපියල් 600ක් වේ.

ඩීසල් ලීටරයක්:
ශ්‍රී ලංකාවේ රුපියල් 397ක් වන විට, සිංගප්පූරුවේ රුපියල් 936ක්, ඊශ්‍රායලයේ රුපියල් 804ක්, තුර්කියේ රුපියල් 630ක්, බ්‍රිතාන්‍යයේ රුපියල් 879ක්, ජර්මනියේ රුපියල් 829ක් සහ ඩෙන්මාර්කයේ රුපියල් 978ක් වේ.

තවදුරටත් ඔහු පැවසුවේ, ජනතාවට ඉන්ධන මිල දරාගත නොහැකි නිසා ජනාධිපතිවරයා රුපියල් බිලියන 100ක් වෙන් කර තෙල් සඳහා සහනාධාරයක් ලබා දුන් බවත්, පෙර ආණ්ඩු මෙන් ජනතාව මිරිකා නොදැමූ බවත්ය. බැලූ බැල්මට මෙම සංඛ්‍යා සත්‍ය බව පෙනේ. නමුත් ප්‍රශ්නය වන්නේ, මෙම සංසන්දනය නිවැරදිද සහ එය ජනතාවගේ සැබෑ ජීවන තත්ත්වය පිළිබිඹු කරයිද යන්නයි.

රුපියල් අගයන් පමණක් සංසන්දනය කිරීමේ අසම්පූර්ණ බව


අමාත්‍යවරයා වෙනත් රටවල මිල ශ්‍රී ලංකා රුපියල්වලට හරවා සංසන්දනය කර ඇත. එය පාසල් දරුවකුට පවා කළ හැකි පහසු ගණිතමය කටයුත්තක් වුවද, ආර්ථික විද්‍යාත්මක වශයෙන් එය අසම්පූර්ණ සහ නොමඟ යවන සුළුය. මන්ද, රටක භාණ්ඩයක මිල එම රටේ ජනතාවට දරාගත හැකිද යන්න තීරණය වන්නේ එම මිල රුපියල්වලින් කීයද යන්නෙන් නොව, එම රටේ ජනතාවගේ ආදායමට සාපේක්ෂව එම මිල කෙතරම් බරක්ද යන්නෙනි.

සිංගප්පූරුවේ, නෝර්වේහි, බ්‍රිතාන්‍යයේ හෝ ජර්මනියේ පුද්ගලයෙකු මාසයකට උපයන ආදායම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙකු මාසයකට උපයන ආදායමට වඩා බොහෝ ගුණයකින් වැඩිය. එබැවින් එම රටවල පෙට්‍රල් ලීටරයක් රුපියල් 800 – 900ක් වුවද, එය ඔවුන්ගේ දෛනික වැටුපෙන් ඉතා කුඩා කොටසකි. නමුත් ශ්‍රී ලංකාවේ දෛනික වැටුප් ශ්‍රමිකයෙකුට, ත්‍රිරෝද රථ රියදුරෙකුට, කුඩා ව්‍යාපාරිකයෙකුට හෝ විශ්‍රාමිකයෙකුට රුපියල් 490ක පෙට්‍රල් ලීටරයක් යනු ඔහුගේ දවසේ ආදායමෙන් සැලකිය යුතු කොටසකි. එකම මිලක් රටවල් දෙකකට එකම බරක් නොවේ.

ජීවන වියදම සහ සහනාධාරයේ සැබෑ අර්ථය

අද ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව මුහුණ දෙන්නේ ඉන්ධන මිල පමණක් ඉහළ යාමට නොවේ. ආහාර, ඖෂධ, ප්‍රවාහන, අධ්‍යාපන, නිවාස කුලී, විදුලි බිල සහ ජල බිල ඇතුළු සියලු ජීවන වියදම් එකවර ඉහළ ගොස් ඇති තත්ත්වයකටය. ඉන්ධන මිල ඉහළ යන විට එය කෙලින්ම බලපාන්නේ වාහන හිමියන්ට පමණක් නොවේ; බස් ගාස්තු, භාණ්ඩ ප්‍රවාහන ගාස්තු, එළවළු, සහල් සහ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලද ඉන්ධන මිල සමඟම ඉහළ යයි. එබැවින් ඉන්ධන සඳහා රජය සහනාධාරයක් දුන්නා යැයි කීවද, ජනතාවට එහි සහනය දැනෙන්නේ නැතිනම් එම සහනාධාරයේ සැබෑ අර්ථය කුමක්ද?

උද්ධමනය ඉහළ යන, වැටුප් එම වේගයෙන් නොවැඩෙන රටක, “ලෝකයට සාපේක්ෂව අපේ මිල අඩුයි” යැයි කීම ජනතාවගේ කුසගින්නට පිළිතුරක් නොවේ. ජනතාවට අවශ්‍ය වන්නේ සංසන්දනාත්මක සංඛ්‍යා ලේඛන නොව, තමන්ගේ ආදායමෙන් ජීවත් විය හැකි මිල මට්ටමකි.

අර්ධ සත්‍යය සහ පාලකයන්ගේ වගකීම


පාර්ලිමේන්තුවේ අසුනක් යනු වරප්‍රසාදයක් පමණක් නොව, අතිමහත් වගකීමකි. විශේෂයෙන්ම අමාත්‍යවරයෙකු වැනි වගකිවයුතු තනතුරක් දරන අයෙකු ප්‍රකාශයක් කරන විට, එම ප්‍රකාශය සත්‍ය, සම්පූර්ණ සහ ජනතාවට අවබෝධ වන ආකාරයේ විය යුතුය. අර්ධ සත්‍යයක් සම්පූර්ණ අසත්‍යයකට වඩා භයානක බව බොහෝ විට කියනු ලැබේ. මිල ගණන් පමණක් පෙන්වා, ආදායම් මට්ටම සඟවා කරන ප්‍රකාශයක් ජනතාව තුළ ඇති කරන්නේ ව්‍යාකූලත්වයකි.

එවැනි ප්‍රකාශ හරහා රජයට තාවකාලික දේශපාලන වාසියක් ලැබිය හැකි වුවද, ජනතාවට ලැබෙන්නේ තමන්ගේ දුෂ්කරතා තේරුම් නොගත් නායකයන් සිටින බවට වන කලකිරීමකි. එය පාලකයන් සහ පාලිතයන් අතර විශ්වාසය පළුදු කරන අතර, දිගුකාලීනව එය ප්‍රජාතන්ත්‍රවාදයටම හානිකරය. පාර්ලිමේන්තුව යනු ජනතාවට “කොකා පෙන්වන” තැනක් නොවිය යුතු බව අප අවධාරණය කරනුයේ ඒ අනුවය.

සැබෑ නායකත්වය සහ වගකීම්සහගත කථනය

පොදු ජන යහපත යනු සංඛ්‍යා ලේඛනවලින් පෙන්වන යහපත නොවේ; එය ජනතාවගේ එදිනෙදා ජීවිතයේ දැනෙන යහපතයි. ජනතාවට දැරිය හැකි මිලට ඉන්ධන ලැබීම, ස්ථාවර මිලට ආහාර ලැබීම සහ ගෞරවනීය ලෙස ජීවත් විය හැකි ආදායමක් ලැබීම ඒ සඳහා අත්‍යවශ්‍ය වේ. ලෝකයේ මිල සමඟ සංසන්දනය කිරීම වැරදි නැත, නමුත් එය කළ යුත්තේ ඒක පුද්ගල ආදායම, මිලදී ගැනීමේ හැකියාව, උද්ධමනය සහ ජීවන වියදමද සමඟ සලකා බලාය.

සැබෑ නායකත්වය යනු ජනතාවට “කොකා පෙන්වා” ඔවුන් නිහඬ කිරීම නොව, ඔවුන්ගේ සැබෑ ජීවන තත්ත්වය තේරුම් ගෙන එය යහපත් කිරීමට අවංකව කටයුතු කිරීමයි. මෙහිදී ඉස්ලාමීය ජන සංස්කෘතියේ නියාමක සංවිධානය වන ‘සමස්ත ලංකා ජමියතුල් උලමා’ සභාව සිහිපත් කිරීමද වටී. ජමියතුල් උලමා යනු ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවගේ ආගමික සංස්කෘතික කටයුතු මෙහෙයවන ප්‍රධාන ආයතනයකි. එම ආයතනය විසින් “ධර්මානුකූල නොවූ කිසිවක් කීමට අවසර නැත” යනුවෙන් සම්මත කොට ඇත්තේ ඉස්ලාම් ධර්මයේ මූලික ඉගැන්වීමක් අනුවය.


ඉස්ලාම් ධර්මයට අනුව කථාව යනු වගකීමකි; පවසන හැම වචනයක් ගැනම අල්ලාහ් ඉදිරියේ වගකියන්නට සිදුවේ. සත්‍යය පමණක් කතා කළ යුතු අතර, බොරුව, අපහාසය, අසභ්‍ය කථාව මෙන්ම ඕපාදූපද තහනම්ය. එබැවින් ජමියතුල් උලමා ආයතනය මුස්ලිම් ජනතාවට උපදෙස් දෙන්නේ, සමාජ මාධ්‍යයේ, ප්‍රසිද්ධ කතාවලදී සහ ලිපි ලිවීමේදී පවා ෂරීආතයට, කුර්ආනයට සහ සුන්නාහ්වට අනුකූලව පමණක් කථා කරන ලෙසයි. මෙයින් අදහස් කරන්නේ නිදහස නැති කිරීම නොව, සමාජයේ සදාචාරය, ගෞරවය සහ සත්‍යය ආරක්ෂා කිරීමයි.

කුර්ආනයේ සඳහන් වන පරිදි “යහපත කථා කරන්න, නැතහොත් නිශ්ශබ්දව සිටින්න” යන නබිතුමාගේ ඉගැන්වීම පාර්ලිමේන්තුවටද ආදේශ කරගතහොත්, ඉන් රටට හා සමාජයට වැඩක් මිස අවැඩක් නොවන බව අපගේ වැටහීමය.

උපුටා ගැනීම - vinivida.lk

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...