The Leader News
BREAKING
මීමුරේ සිදුවීම: ලිංගිකත්වය, ආශාව සහ සංස්කෘතියේ අඳුරු කැඩපත●ශෂී වීරවංශගේ සිර දඬුවමට ශ්‍රේෂ්ඨාධිකරණයෙනුත් අවසන් අනුමැතිය●ඥානසාර හිමියන්ගේ වසර 4ක සිර දඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි●සිර මැදිරියේ සිට නාමල් මහින්දට ලියූ සංවේදී උපන්දින සටහන●මාස 5ක විමර්ශන මන්දගාමීයි: සූගීෂ්වර බණ්ඩාරට දැඩි කොන්දේසි මත ඇප●'එකේ පන්තියේ ගුරුතුමී' හමු වී 'ඒ රෝස පැහැති ෆයිල් කවරය' දිග හරින්න 21 වන දා ගම්පහට එන්න●කුඩා මිනිස්සුන් ගේ ජීවිත වෙත ඉවසීමෙන් ඇතුළුවිය හැකි සියුම් යතුර; 'මුවන්පැලැස්සේ හිඟන කොල්ලා'●ලෙස්ටර් ගේ ලොකු ම විප්ලවය; 'රන් සළු'●ක්ෂුද්‍ර කතාව නෑකම් දක්වන්නේ කෙටිකතාවට වඩා කවියට - සම්මානිත මහාචාර්ය සරත් විජේසූරිය●කථානායකගේ තීරණ අධිකරණයට ප්‍රශ්න කළ හැකිද? නීති තර්ක උණුසුම් වෙයි●
Top Ad
Opinion

මීමුරේ සිදුවීම: ලිංගිකත්වය, ආශාව සහ සංස්කෘතියේ අඳුරු කැඩපත

Nethmini

Nethmini

November 18, 2026 • 3:51 PM

මීමුරේ සිදුවීම: ලිංගිකත්වය, ආශාව සහ සංස්කෘතියේ අඳුරු කැඩපත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Faculty of Sex ප්‍රවේශය ෆැකල්ටි ඔෆ් සෙක්ස් විදිහට මීමුරේ සිදුවීම මට විශේෂ වැදගත්කමක් තිබෙන සිදුවීමක්.
  • ඒ මේක හුදකලා පුද්ගලයන් කිහිපදෙනෙකුගේ අපරාධයක් ලෙස පමණක් සලකා බැලීමට මම අකමැති නිසයි.
  • ඇසූ පමණින් කම්පනයක් ඇති කරන මෙවැනි ලිංගිකත්වය සම්බන්ධ සිදුවීම් කියන්නේ අපේ සමාජයේ අඳුරු කැඩපතක් එකවර විවර කරන අවස්ථා.
  • එවැනි සිදුවීම් ඇතිවීමට ඉඩ සලසන සමාජ, සංස්කෘතික, ආර්ථික සහ දේශපාලනික පරිසරයයි.
අකුරු ප්‍රමාණය (Font Size):

Faculty of Sex ප්‍රවේශය

ෆැකල්ටි ඔෆ් සෙක්ස් විදිහට මීමුරේ සිදුවීම මට විශේෂ වැදගත්කමක් තිබෙන සිදුවීමක්.

ඒ මේක හුදකලා පුද්ගලයන් කිහිපදෙනෙකුගේ අපරාධයක් ලෙස පමණක් සලකා බැලීමට මම අකමැති නිසයි. ඇසූ පමණින් කම්පනයක් ඇති කරන මෙවැනි ලිංගිකත්වය සම්බන්ධ සිදුවීම් කියන්නේ අපේ සමාජයේ අඳුරු කැඩපතක් එකවර විවර කරන අවස්ථා.

සාමාන්‍යයෙන් මෙවැනි සිදුවීමක් වාර්තා වූ විට අපි කරන පළමු දෙය වන්නේ සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් අතරින් දුෂ්ටයන් සහ පව්කාරයන් තෝරා ගැනීමයි. ඉන්පසුව ඔවුන්ට දඬුවම් කළ යුතු ආකාරය ගැන කතා කරනවා. ඔවුන්ට දඬුවම් ලැබුණු පසුව අපේ සමාජ යුතුකම අවසන් වූවාක් මෙන් අපි සෑහීමකට පත්වෙනවා.

සමාජ බල රටා සහ පොදු සංරක්ෂණවාදය

නමුත් මගේ අදහස ඊට වෙනස්. මේ සිදුවීම හරහා අපි සාකච්ඡා කළ යුත්තේ පුද්ගලයන් කිහිපදෙනෙකුගේ අපරාධය පමණක් නොවෙයි. එවැනි සිදුවීම් ඇතිවීමට ඉඩ සලසන සමාජ, සංස්කෘතික, ආර්ථික සහ දේශපාලනික පරිසරයයි.

මම මේ පුද්ගලයන්ව සමාජයේ පවතින සදාචාරයේ සහ සංස්කෘතියේ බල රටාවන්ගෙන් වෙන් කර තේරුම් ගැනීමට කැමති නැහැ. ඔවුන්ගේ ජීවිත ගොඩනැගී ඇති පසුබිම, ඔවුන්ගේ ආශාවන්, අවස්ථා, සීමාවන් සහ සමාජ සම්බන්ධතා පිළිබඳව විමසීම අවශ්‍යයි. මෙහිදී මට උවමනා වෙන්නේ වීරයන් සහ දුෂ්ටයන් තෝරා ගැනීමට වඩා, සමාජයෙන් ආන්තිකකරණයට ලක් වූ මිනිස් ජීවිත කියවා ගැනීමයි.

මේක අපරාධය සාධාරණීකරණය කිරීමක් නොවේ. දැරියට සිදුවූ ලිංගික බලහත්කාරය සහ ඇයව සිරකර තබා ගැනීම බරපතළ අපරාධයි. එයට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. නමුත් නීතිය ක්‍රියාත්මක වීමෙන් සමාජය පිළිබඳ අපේ කියවීම අවසන් විය යුතු නැහැ.

මගේ මේ ප්‍රවේශයට බයියන්, ටොයියන් සහ වම්මුන් යන සියලු දෙනාගෙන් විරෝධයක් එල්ල විය හැකි බව මම දන්නවා. මොකද ලිංගිකත්වය සම්බන්ධ කාරණාවලදී දේශපාලනිකව එකිනෙකාට විරුද්ධ මේ සියලු කණ්ඩායම් බොහෝ විට එකම සදාචාරාත්මක පදනමක සිටිනවා. ඔවුන්ගේ දේශපාලනය වෙනස් වුණත් ලිංගිකත්වය සම්බන්ධයෙන් ඔවුන්ගේ ආගමික හා සංස්කෘතික සංරක්ෂණවාදය පුදුම සහගත ලෙස සමානයි. මට අවශ්‍ය වන්නේ ඒ පොදු එකඟතාව ප්‍රශ්න කිරීමටයි.

01. ලිංගිකත්වය විශේෂ දෙයක් බවට පත් කිරීමේ අර්බුදය

අපි කනවා. බොනවා. නිදාගන්නවා. ක්‍රීඩා කරනවා. විනෝද වෙනවා. මිත්‍රත්වයන් ඇති කරගන්නවා. ආදරය කරනවා. අපේ ශරීරය හරහා සතුට සහ තෘප්තිය සොයා යනවා. මේ සියල්ල මානව පැවැත්මේ සාමාන්‍ය අත්දැකීම්.

නමුත් මේ අතරින් ලිංගිකත්වයට පමණක් අපි විශේෂ ස්ථානයක් ලබා දී තිබෙනවා. එය පවුලේ ගෞරවය, කන්‍යාභාවය, විවාහය, ආගමික සදාචාරය, ලැජ්ජාව, වරදකාරීත්වය, සමාජ පිළිගැනීම සහ අපරාධකාරීත්වය සමඟ ගැටගසා තිබෙනවා. සරල ශාරීරික හා මානව අත්දැකීමක් සමාජය විසින් අතිශය සංකීර්ණ, සදාචාරය පිළිබඳ තීරණාත්මක ක්‍රියාවක් බවට පරිවර්තනය කර තිබෙනවා.



ඇයි ලිංගිකත්වය ගැන කතා කිරීම ලැජ්ජාවක් වෙන්නෙ? ඇයි ලිංගික ආශාවක් සදාචාරයේ පරීක්ෂාවට ලක් වෙන්නෙ? ඇයි කෙනෙකුගේ ලිංගික අත්දැකීම් ඔහුගේ හෝ ඇයගේ සමාජ වටිනාකම් පිළිබඳ දර්ශකයක් බවට පත්ව තිබෙන්නේ?

Michel Foucault ගේ දාර්ශනික කියවීම

Michel Foucault සිය The History of Sexuality කෘතියෙන් මේ ප්‍රශ්නයට අපූරු දාර්ශනික ප්‍රවේශයක් ලබා දෙනවා. ෆූකෝ පෙන්වා දෙන්නේ නූතන සමාජය ලිංගිකත්වය සරලව මර්දනය කළා පමණක් නොව, ඒ වටා විශාල දැනුම් පද්ධතියක්, වර්ගීකරණයක්, පරීක්ෂාවක් සහ පාලන යාන්ත්‍රණයක් නිර්මාණය කළ බවයි.


ආගම, වෛද්‍ය විද්‍යාව, මනෝවිද්‍යාව, නීතිය, අධ්‍යාපනය සහ පවුල යන ආයතන ලිංගිකත්වය ගැන කතා කරනවා. නමුත් ඒ කතාබහ තුළම ලිංගිකත්වය නිර්වචනය කිරීමේ සහ පාලනය කිරීමේ බලයක් ක්‍රියාත්මක වෙනවා. කවුද සාමාන්‍ය? කවුද අසාමාන්‍ය? කුමන ලිංගික හැසිරීම පිළිගත හැකිද? කුමන වයසේදී ලිංගික හැඟීම් ඇතිවීම සුදුසුද? කුමන සම්බන්ධතා නීත්‍යනුකූලද? මේවා තීන්දු කිරීම් හරහා සමාජය ලිංගිකත්වය පමණක් නොව මිනිසාගේ ශරීරය, හැසිරීම සහ ජීවිතයත් පාලනය කරනවා.

ෆූකෝ අපට උගන්වන වැදගත්ම දෙයක් වන්නේ බලය යනු තහනම් කිරීම පමණක් නොවන බවයි. බලය විසින් දැනුම නිෂ්පාදනය කරනවා. අනන්‍යතා නිර්මාණය කරනවා. සාමාන්‍ය සහ අසාමාන්‍ය දේ තීරණය කරනවා. ඒ දැනුම, සදාචාරය සහ නීතිය කියන්නෙම අධිපති පාලන යාන්ත්‍රණයන්.

එසේ නම් අපි ඇසිය යුතු ප්‍රශ්නය මෙයයි. ලිංගිකත්වය සම්බන්ධයෙන් අපි අනුගමනය කරන සදාචාරයේ හෝ සංස්කෘතියේ සීමාවන් ඇත්තටම මිනිසාගේ ආරක්ෂාව වෙනුවෙන් පවතින ඒවාද? නැත්නම් මිනිසාගේ ශරීරය සහ ආශාවන් පාලනය කරන සංස්කෘතික බල ව්‍යුහයන් ද? ලිංගිකත්වය ආහාර ගැනීම මෙන්ම සාමාන්‍ය මානව අත්දැකීමක් ලෙස සමාජය පිළිගත්තා නම් අපේ ජීවිත වෙනස් වන්නේ කෙසේද? මෙය මම සාකච්ඡාවට ගෙන එන්නට කැමති ප්‍රශ්නයක්.

02. නව යොවුන් වයස: ලිංගිකත්වය ගැන නිහඬ කරනු 

ලැබූ ජීවිත

මීමුරේ සිදුවීම සමඟ මතු වූ ප්‍රධාන සාකච්ඡාවක් වන්නේ අදාළ දැරිය බාල වයස්කාරියක වීමයි. මෙහිදී බොහෝ දෙනා නව යොවුන් ලිංගිකත්වය දෙස බලන්නේ අනතුර, අපයෝජනය සහ සූරාකෑම යන කාච හරහා පමණයි.


නමුත් නව යොවුන් විය යනු මිනිස් ජීවිතයේ ශාරීරික, මානසික සහ ලිංගික අවබෝධය වේගයෙන් වර්ධනය වන අවධියක්. ආකර්ෂණය, කුතුහලය, සමීපත්වය, ශරීරය ගැන දැනගැනීම සහ තමන්ගේ හැඟීම් තේරුම් ගැනීම එහි කොටස්. මේ අත්දැකීම් ලැජ්ජාවට හෝ වරදකාරීත්වයට යටත් කළ යුතු දේවල් නෙමෙයි.


ලිංගික අධ්‍යාපනයේ සැබෑ වැඩබිම

මගේ ස්ථාවරය වන්නේ නව යොවුන් වියේ අයට තමන්ගේ ශරීරය සහ ලිංගිකත්වය පිළිබඳ දැනුම ලබාගැනීමටත්, තමන්ගේ හැඟීම් තේරුම් ගැනීමටත්, ලිංගිකත්වය ගවේෂණය කිරීමටත් ඇති අයිතිය සමාජය පිළිගත යුතු බවයි. ලිංගිකත්වය යනු වැඩිහිටියන්ට පමණක් හිමිවන තෑග්ගක් නෙමෙයි. ලිංගික හැඟීම් ඇතිවෙන්න සමාජයේ අවසරය ලැබෙන කල් බලා ඉන්නෙ නෑ.

අපි නව යොවුන් වියේ ලිංගික හැඟීම් ගැන කතා කිරීම තහනම් කළ විට සිදුවෙන්නේ ඒ හැඟීම් අතුරුදන් වීම නෙමෙයි. ඒවා ගැන කතා කිරීමට ඇති භාෂාව සහ අවකාශය අතුරුදන් වීමයි. තමන්ට සිදුවන දෙයක් ගැන කතා කිරීමට වචන නැති දරුවෙක්, තමන්ට සිදුවන දේ තේරුම් ගැනීමට දැනුමක් නැති දරුවෙක්, උපකාර ඉල්ලා සිටීමට විශ්වාසවන්ත පුද්ගලයෙක් නැති දරුවෙක් බිහි වන්නේ එවැනි සමාජ පරිසරයකයි.

ඒ නිසා ලිංගික අධ්‍යාපනය කියන්නෙ ඒ භාෂාව සහ සමීප බාරගැනීම, විශ්වාසය ගොඩනැගීමේ ක්‍රමයයි. තමන්ගේ ශරීරය හඳුනාගැනීමයි. කැමැත්ත සහ අකමැත්ත ප්‍රකාශ කිරීමයි. බලහත්කාරය හඳුනාගැනීමයි. උපත් පාලනය සහ ලිංගික සෞඛ්‍යය ගැන දැනගැනීමයි. තමන්ට සිදුවන දෙයක් ගැන බියකින් තොරව කතා කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීමයි. මේ සියල්ල ලිංගික අධ්‍යාපනයේ වැඩබිම්.

ආරක්ෂාව කරනවා කියන්නෙ දරුවන් නොදැනුවත් බවෙන්, ඔවුන්ගේ ආශාවන් පාලනය කරමින් තබා ගැනීම නෙමෙයි. ඔවුන්ට දැනුම, භාෂාව, ස්වාධීනත්වය සහ තමන්ගේ ලිංගිකත්වය අත්පත් කරගැනීමට නිදහස ලබාදීමයි.

03. ආශාව, සමාජය සහ Deleuze


Gilles Deleuze සහ Félix Guattari ඔවුන්ගේ Anti-Oedipus: Capitalism and Schizophrenia කෘතියෙන් ආශාව පිළිබඳ සාම්ප්‍රදායික අදහස ප්‍රශ්න කරනවා. ඔවුන්ට අනුව ආශාව යනු අප තුළ පවතින හිස්තැනක් පුරවා ගැනීමට ඇති උත්සාහයක් පමණක් නෙමෙයි. ආශාව කියන්නෙ තත්ත්වයන් නිෂ්පාදනය කරන බලවේගයක්. එයින් මිනිස් සම්බන්ධතා, හැකියාවන්, සමාජ සැකසුම් සහ ජීවිතයේ ආකෘතීන් නිර්මාණය කරනවා.

සමාජයක බල රටාව විසින් ආශාව සංවිධානය කරනවා. එයින් පවුල, ආර්ථිකය, සංස්කෘතිය, පිරිමිභාවය, ස්ත්‍රීභාවය, බලය සහ සමාජ අවස්ථා හරහා ආශාව ගමන් කළ හැකි දිශාවන් නිර්මාණය කරනවා. එක පැත්තකින් ආශාව මර්දනය කරන අතර තව පැත්තකින් එය ගමන් කළ හැකි මාර්ග හදනවා. සමාජයක් කියවාගන්න තියෙන හොඳම විදිහ ඒ සමාජයේ ආශාව සංවිධානය වෙලා තියෙන ආකාරය පරීක්ෂා කිරීමයි.

තෘප්තිය සොයා යාමේ සීමා වූ මාර්ග

මෙතනදි මට මතු කරන්න අවශ්‍ය වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. මිනිසුන්ගේ ආශාවන් සහ ජීවිතයේ තෘප්තිය සොයා යාමේ මාර්ග සීමා වුණාම ඔවුන්ගේ ජීවිතවලට සිදුවන්නේ කුමක්ද? සමාජයක් පුද්ගලයෙකුට ලබාදෙන ජීවිත අවස්ථා ඉතා සීමිත නම්, ඔහුගේ හෝ ඇයගේ ආශාවන් ප්‍රකාශ විය හැකි මාර්ගත් සීමා වෙනවා.
අධ්‍යාපනය, කලාව, සංස්කෘතිය, විනෝදය, මිත්‍රත්වය, ආදරය, සමාජ සම්බන්ධතා සහ ආර්ථික ස්වාධීනත්වය යන සියල්ල මිනිස් ජීවිතයේ තෘප්තිය නිෂ්පාදනය කරන අවකාශයන්. ඒවා අහිමි වූ සමාජයක ආශාවන්ට ලැබෙන ඉඩකඩත් සීමිතයි. මීමුරේ කියන්නෙ එහෙම පැත්තක්.

මිනිස් ජීවිතයක සතුට, තෘප්තිය සහ සම්බන්ධතා ගොඩනැගීමට සමාජයෙන් නිර්මාණය කරදී ඇති අවස්ථා ගැන සාකච්ඡා නොකර ලිංගික අපරාධ පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත්ද? Deleuze සහ Guattari අපට ආරාධනා කරන්නේ ආශාව පුද්ගලික මානසික සිදුවීමක් ලෙස පමණක් නොව, එය ක්‍රියාත්මක වන සමස්ත සමාජ යන්ත්‍රය තුළ තේරුම් ගැනීමටයි.

04. Wilhelm Reich: ලිංගික මර්දනය සහ අධිකාරිවාදය

Wilhelm Reich ගේ කියවීමත් මෙතනදි වැදගත්. ඔහුගේ The Mass Psychology of Fascism සහ The Sexual Revolution කෘතිවලින් ලිංගික මර්දනය, පවුලේ අධිකාරිවාදී ව්‍යුහය සහ දේශපාලනික අධිකාරිවාදය අතර ඇති සම්බන්ධතාව පෙන්වා දෙනවා.

රයික්ගේ අදහස අනුව ලිංගිකත්වය මර්දනය කරන පවුල් හා සමාජ සංස්කෘතියක් තුළ පුද්ගලයාගේ ස්වාධීනත්වය සීමා වෙනවා. අධිකාරියට යටත් වීම, පාලනය පිළිගැනීම සහ තමන්ගේ ආශාවන් ගැන වරදකාරීත්වයක් ඇති කරගැනීම වැනි මනෝවිද්‍යාත්මක රටාවන් මේ සංස්කෘතිය ඇතුළෙ නිර්මාණය වෙනවා.

මෙතනදි සමාජයක් විදිහට ලිංගිකත්වය යටපත් කිරීම සහ එයින් අනියමින් බිහිකරන පිරිමි අධිපතිවාදී සංස්කෘතිය අතර ඇති සම්බන්ධය තේරුම් ගැනීම වැදගත්. පවුලේ පියාගේ සිට ස්ත්‍රී දූෂකයා දක්වා මේ එකම පිරිමි බලය පැතිරෙනවා.

ලිංගිකත්වය ගැන විවෘතව කතා කළ නොහැකි, හැඟීම් ප්‍රකාශ කිරීම දුර්වලකමක් ලෙස සලකන, බලය සහ හිමිකාරිත්වය පිරිමිභාවයේ ලක්ෂණ ලෙස උගන්වන සමාජයක පිරිමි ලිංගිකත්වය ගොඩනැගෙන්නේ කොහොමද? ආශාව සහ ආධිපත්‍යය හෝ බලය එකිනෙක සමඟ පටලවා ගන්නා පිරිමි සංස්කෘතියක් අපි නිර්මාණය කරගෙන තිබෙනවා නේද? ඒක තමයි අප්‍රකාශිත සදාචාරයේ රාමුව වෙන්නෙ.

ලිංගික නිදහස යනු අනෙකාගේ ශරීරය පාලනය කිරීමේ නිදහස නෙමෙයි. සැබෑ ලිංගික නිදහසට අන්‍යෝන්‍ය ස්වාධීනත්වය සහ ගෞරවය අවශ්‍යයි.

05. දුප්පත්කම: වින්දිතයාගේ පැත්තෙන් පමණක් නොව අපරාධකරුවාගේ පැත්තෙන්ද

මේ සිදුවීම කියවීමේදී මට වැදගත් තවත් පැත්තක් වන්නේ දුප්පත්කම සහ සමාජ ආන්තිකකරණයයි. අපි සාමාන්‍යයෙන් වින්දිතයාගේ දුප්පත්කම ගැන කතා කරනවා. ඇයට තිබුණු සීමිත අවස්ථා, අධ්‍යාපනය, පවුල් පසුබිම, සමාජ සම්බන්ධතා සහ ආරක්ෂාව ගැන කතා කරනවා.

නමුත් අපරාධකරුවන්ගේ ජීවිතවල තත්ත්වය කොයි වගේද? ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම, ආර්ථික තත්ත්වය, ජීවන අවස්ථා, සංස්කෘතික අත්දැකීම්, සමාජ සම්බන්ධතා සහ ජීවිතය පිළිබඳ අපේක්ෂාවන් මොනවාද? ඔවුන්ගේ ජීවිත තුළ සතුට, විනෝදය, ආදරය, සංස්කෘතික අත්දැකීම් සහ අර්ථවත් සමාජ සම්බන්ධතා සඳහා ඇති අවකාශය කොතරම්ද?

මිනිස් ජීවිතයක් දුප්පත් වන්නේ මුදලින් පමණක් නොවේ. සැබෑ දුප්පත්කම පවතින්නේ අත්දැකීම් අතිනුයි. නීතියෙන් අපරාධකරුවාට දඬුවම් කළ හැකියි. නමුත් දඬුවමෙන් පමණක් එවැනි සමාජ තත්ත්වයන් වෙනස් කළ නොහැකියි.

06. ලෙන, භූමිය සහ මිනිස් ජීවිතය සිරගත කිරීම

මේ සිදුවීමේ වඩාත්ම සංකේතාත්මක කාරණයක් වෙන්නේ දැරිය ලෙනක රඳවා තබා තිබීමයි. ස්වභාවික පරිසරයක පිහිටි ලෙනක්, එක් මිනිසෙකු තවත් මිනිසෙකු පාලනය කරන සිරගෙයක් බවට පත් වෙනවා.

Deleuze සහ Guattari ගේ භාෂාවෙන් මෙය බලප්‍රදේශ (Territorialisation) පිළිබඳ කියවීමකට සම්බන්ධ කළ හැකියි. ඔවුන්ගේ අදහස් අනුව මිනිස් ආශාවන් සහ සමාජ සම්බන්ධතා භූමි, සීමා, අනන්‍යතා සහ බල ව්‍යුහයන් තුළයි සංවිධානය වෙන්නෙ. මෙහිදී දැරියගේ ජීවිතය ඇගේ පවුලෙන්, පාසලෙන්, සමාජයෙන් සහ සන්නිවේදන ජාලයෙන් වෙන් කර තිබෙනවා. ඇගේ ශරීරය, චලනය, ගැබ් ගැනීම සහ දරු ප්‍රසූතිය පවා වෙනත් පුද්ගලයන්ගේ පාලනයට යටත් කර තිබෙනවා.

ලෙන මෙතනදි ස්වභාවධර්මය සහ ශිෂ්ටාචාරය අතර සරල වෙනසක් නොවේ. ශිෂ්ටාචාරය යැයි කියන සමාජයෙන් පිටතට තල්ලු කරන ලද බල සම්බන්ධතා වෙනත් ආකාරයකින් ක්‍රියාත්මක වන භූමියක්. ශිෂ්ටාචාරයෙන් පිටත බල ප්‍රදේශයක්.

07. මේ සිදුවීමේ ප්‍රධානම ප්‍රශ්නය: සන්නිවේදනය

මේ සියල්ල අතරින් මට වඩාත් වැදගත් වන්නේ සන්නිවේදනයයි. මේ දැරියට තමන්ට සිදුවන දේ ගැන කතා කිරීමට අවස්ථාවක් තිබුණාද? ඇයට විශ්වාස කළ හැකි වැඩිහිටියෙකු සිටියාද? තමන්ගේ ශරීරය, ලිංගිකත්වය සහ අයිතිවාසිකම් පිළිබඳ දැනුමක් තිබුණාද? පවුල, පාසල සහ සමාජය ඇයට විවෘතව සන්නිවේදනය කළ හැකි අවකාශයන් බවට පත්ව තිබුණාද?

ඇය නිහඬව සිටීමට හේතුව කුමක්දැයි අපට සාක්ෂි නොමැතිව නිගමනය කරන්න බෑ. බිය, තර්ජනය, බලහත්කාරය, ලැජ්ජාව හෝ වෙනත් හේතු තියෙන්න පුළුවන්. නමුත් අපි ඇසිය යුතු වැදගත් ප්‍රශ්නයක් තිබෙනවා. අපේ දරුවන්ට ලිංගිකත්වය ගැන විවෘතව කතා කළ හැකි සමාජයක් අපි නිර්මාණය කර තිබෙනවාද?

ලිංගිකත්වය ගැන කතා කිරීම තහනම් පවුලක, පාසලක හෝ සමාජයක දරුවෙකුට තමන්ගේ අත්දැකීමක් ප්‍රකාශ කිරීමට අවශ්‍ය භාෂාව සහ විශ්වාසය ලැබෙන්නේ කොහොමද? ලිංගිකත්වය ගැන විවෘතව කතා කළ හැකි දරුවන්, තමන්ගේ ශරීරය ගැන දැනුමක් ඇති දරුවන්, කැමැත්ත සහ බලහත්කාරය අතර වෙනස හඳුනාගත හැකි දරුවන්, උපකාර ඉල්ලා සිටීමට බිය නොවන දරුවන් බිහි කිරීම අධ්‍යාපනයේ වගකීමක් නෙමෙයිද?

පවුල, පාසල, මිතුරු ඇසුර දරුවන්ගේ ජීවිතවලට සැබවින්ම සමීප, ඔවුන්ට විවෘත විය හැකි කලාප විය යුතුයි.


08. අපේ අරමුණ: සදාචාරාත්මක සමාජයක් නොව, දැනුවත් සහ නිදහස් සමාජයක්

අපි මේ සිදුවීම ගැන කතා කරන විට පරණ සදාචාරාත්මක නිගමනවලට පැනීම ඉතා පහසුයි. ලිංගිකත්වය භයානකයි. දරුවන්ට එයින් ඈත් විය යුතුයි. ලිංගිකත්වය ගැන කතා නොකළ යුතුයි. පවුලේ ගෞරවය රැකිය යුතුයි. සමාජ සදාචාරය ආරක්ෂා කළ යුතුයි.

නමුත් මේ සදාචාරය හරහා අපි යන්නෙ කොහේද? අපිට අවශ්‍ය වෙන්නේ තමන්ගේ ලිංගිකත්වය සහ ආශාවන් ගැන නොදන්නා පරම්පරාවක්ද? නැතිනම් තමන්ගේ ශරීරය, ආශාවන් සහ අයිතිවාසිකම් පිළිබඳ දැනුමක් ඇති පරම්පරාවක්ද? අපට අවශ්‍ය ලිංගිකත්වය ගැන කතා කිරීමට බියපත් දරුවන්ද? නැතිනම් තමන්ට සිදුවන දෙයක් ගැන විවෘතව කතා කළ හැකි දරුවන්ද? අපට අවශ්‍ය වන්නේ ලිංගික ආශාවන් සදාචාරයෙන් පාලනය කරන සමාජයක්ද? නැතිනම් ආශාව, නිදහස, අන්‍යෝන්‍ය ගෞරවය සහ වගකීම එකට පවතින සමාජයක්ද?

ලිංගික නිදහස සහ හිංසනය අතර වෙනස

මගේ යෝජනාව වන්නේ ලිංගිකත්වය තවදුරටත් විශේෂ සදාචාරාත්මක භීතියක් බවට පත් නොකළ යුතු බවයි. ආහාර ගැනීම, නිදාගැනීම, විනෝදය සහ අනෙකුත් මානව අවශ්‍යතා මෙන්ම ලිංගිකත්වයත් මිනිස් ජීවිතයේ සාමාන්‍ය මානයක් ලෙස පිළිගත යුතු බවයි.

නව යොවුන් වියේ පුද්ගලයන්ගේ ලිංගික හැඟීම් සහ ශරීරය පිළිබඳ කුතුහලය ලැජ්ජාවට සහ වරදකාරීත්වයට බඳුන් නොකළ යුතුයි. ඔවුන්ට පරිපූර්ණ ලිංගික දැනුම, ස්වාධීනත්වය, සන්නිවේදන හැකියාවන් සහ ආරක්ෂාව ලබාදිය යුතුයි.

ලිංගික නිදහස යනු බලහත්කාරයේ නිදහස නෙමෙයි. ලිංගිකත්වය සාමාන්‍යකරණය කිරීම යනු ලිංගික හිංසනය සාමාන්‍යකරණය කිරීම නෙමෙයි. ඒ දෙක අතර වෙනස හඳුනාගැනීමම සැබෑ ලිංගික අධ්‍යාපනයේ ආරම්භයයි.

අවිද්‍යාවට සහ නිහඬතාවට එරෙහි සටන

මීමුරේ සිදුවීමේදී අපරාධකරුවන්ට නීතියෙන් දඬුවම් ලැබිය යුතුයි. දැරියට සහ ඇගේ දරුවාට ආරක්ෂාව, සෞඛ්‍ය සේවා සහ දිගුකාලීන සහාය ලැබිය යුතුයි. නමුත් ඒ සියල්ලෙන් පසුවත් අපි අපෙන්ම ප්‍රශ්න කළ යුතුයි.

අපේ සමාජය ලිංගිකත්වය ගැන කතා කිරීමට මෙතරම් බිය වන්නේ ඇයි? අපේ දරුවන්ට තමන්ගේ ශරීරය ගැන දැනගැනීමට, ආශාවන් තේරුම් ගැනීමට, අත්හදා බැලීමට අවස්ථාව ලබා නොදෙන්නේ ඇයි? අපේ සමාජය මිනිසුන්ට ජීවිතය විඳීමට, සම්බන්ධතා ගොඩනැගීමට සහ විවිධ ආකාරයෙන් අනුන්ට හිංසාවක් නොවන පරිදි තමන්ගේ සතුට සොයා යාමට ඇති අවස්ථා සීමා කරන්නේ ඇයි?

අපිට පුද්ගලයන්ට ගල් ගැසීමෙන් සමාජය වෙනස් කළ නොහැකියි. අපරාධකරුවාට දඬුවම් කිරීම අවශ්‍යයි. නමුත් එතැනින් නතර වීම ප්‍රමාණවත් වෙන්නෙ නෑ.

අපේ සටන ලිංගිකත්වයට එරෙහිව නොවිය යුතුයි. ලිංගිකත්වය වටා ගොඩනැගුණු අවිද්‍යාව, ලැජ්ජාව, සංස්කෘතික නිහඬතාව සහ බලහත්කාරී සමාජ ව්‍යුහයන්ට (ආගමික, සදාචාර ආදී) එරෙහිව විය යුතුයි. අපට අවශ්‍ය වන්නේ මිනිසුන්ගේ ආශාවන් පාලනය කරන සමාජයක් නොව, ඒවා පිළිබඳ දැනුමෙන්, ස්වාධීනත්වයෙන් සහ වගකීමෙන් ජීවත් විය හැකි සමාජයක්.

SEX IS A HUMAN EXPERIENCE. NOT A MORAL CRIME.



(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)


සබැඳි ලිපි :
හූ හූ ඒක ප්‍රේමයක් නෙමෙයි අපයෝජනයක්! | චින්තන ධර්මදාස

මීමුරේ ගල්ගුහා ප්‍රේමය: නීතිය, සදාචාරය සහ මනුෂ්‍යත්වය | චින්තන ධර්මදාස

මීමුරේ ගල් ගුහාවෙන් හෙළිවූ ළමා අනාරක්ෂිත බවේ ඇතුළාන්තය

චින්තන ධර්මදාස

දේශපාලන හා සමාජ විශ්ලේෂක

අධ්‍යක්ෂ - facultyofsex, vyadhadeva@gmail.com

View all stories by චින්තන ධර්මදාස
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...