The Leader News
BREAKING
'දෝන කමලාවතී' පිළිබඳ කෙටි ම කෙටි සටහනක්●රත්නපුර අධිවේගී මාර්ගය හැදෙන්න ගිය හැටි●පරිත්‍යාග වෙනුවට හවුල්කාරිත්වයක් ඉල්ලූ ශ්‍රී ලාංකික අභ්‍යවකාශ දැක්ම●ව්‍යාජ වීසා ජාවාරමකට හවුල් වූ හිටපු ඕස්ට්‍රේලියානු මන්ත්‍රීවරයා සිරගෙට●නව ජේම්ස් බොන්ඩ් රොබට් පැටින්සන්: 007 සිනමා පරිච්ඡේදයේ හැරවුම් ලක්ෂ්‍යය●ඉන්දියානුවන්ට මැලේසියානු වීසා නිදහස අහිමි වෙයි: 2027 සිට නව නීති●ඇමරිකාවේ ටොයොටා සහ ලෙක්සස් රථ ලක්ෂ තුනක් යළි කැඳවයි●වාහන ණය සහ ලීසිං ගැනීමේදී තක්සේරු සෙල්ලම්වලට මහ බැංකුවෙන් තිත●කැසිනෝ ආයෝජන පිටුපස සැඟවුණු ඩොලර් සහ සමාජ පිරිවැය●FBI කණ්ඩායමක් මෙරටට: ඩිජිටල් වංචා ජාල ගැන රතු එළියක්●
Top Ad
විශේෂාංග

රත්නපුර අධිවේගී මාර්ගය හැදෙන්න ගිය හැටි

Nethmini

Nethmini

November 21, 2026 • 12:36 PM

රත්නපුර අධිවේගී මාර්ගය හැදෙන්න ගිය හැටි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්ෂයේ මා රත්නපුර දිසාපතිවරයා ලෙස සේවය කරමින් සිටින කාලයේ දිනක් සවස් වරුවක මගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබිණි.
  • ඔහු අපේ ගම් පළාතේ අල්ලපු ගමක ඉපිද, සාර්ථක ලෙස අධ්‍යාපනය හදාරා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉතා උසස් ලෙස ගෞරව උපාධිය සමත්ව, අපට පෙර ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්ව සිටි ජ්‍යෙෂ්ඨයෙකි.
  • ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රාමාණික උගතෙකු ද වූ ඔහු පිළිබඳව මා තුළ අප්‍රමාණ ගෞරවයක් ඇත්තේ ආදර්ශමත්, නිහතමානී, අවංක රාජ්‍ය නිලධාරියෙකු වූ නිසා ය.
  • ඒ මොකක්ද අයියේ?” මම පුදුම වී ඇසුවේ සමරේ අයියා තනි තනි පුද්ගලයන්ට තියා ඔහුටවත් වාසි වෙන තීරණ ගන්නා අයෙකු නොවන බව මා දැන සිටි නිසා ය.
අකුරු ප්‍රමාණය (Font Size):

2014 වර්ෂයේ මා රත්නපුර දිසාපතිවරයා ලෙස සේවය කරමින් සිටින කාලයේ දිනක් සවස් වරුවක මගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබිණි. ඒ එවක අමාත්‍යාංශ ලේකම්වරයෙකු වූ ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතාගෙනි. ඔහු අපේ ගම් පළාතේ අල්ලපු ගමක ඉපිද, සාර්ථක ලෙස අධ්‍යාපනය හදාරා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉතා උසස් ලෙස ගෞරව උපාධිය සමත්ව, අපට පෙර ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්ව සිටි ජ්‍යෙෂ්ඨයෙකි.

ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රාමාණික උගතෙකු ද වූ ඔහු පිළිබඳව මා තුළ අප්‍රමාණ ගෞරවයක් ඇත්තේ ආදර්ශමත්, නිහතමානී, අවංක රාජ්‍ය නිලධාරියෙකු වූ නිසා ය. මම පෞද්ගලික හමුවීම්, කතාබහවලදී “අයියා” යනුවෙන් ඇමතුවත් අන් අය සමඟ රාජකාරියේ යෙදී සිටින අවස්ථාවලදී ඔහුට “සර්” කියා ආමන්ත්‍රණය කළෙමි.


ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග

චීන එක්සිම් බැංකුවෙන් ආ සුබ ආරංචිය

“සුනිල්, ඔන්න උඹට ලොකු වාසියක් වෙන වැඩක් අපි කළා.”

“වාසියක්? ඒ මොකක්ද අයියේ?” මම පුදුම වී ඇසුවේ සමරේ අයියා තනි තනි පුද්ගලයන්ට තියා ඔහුටවත් වාසි වෙන තීරණ ගන්නා අයෙකු නොවන බව මා දැන සිටි නිසා ය.

“රත්නපුරේට හයිවේ එකක් හදන්න අපි අද චීන එක්සිම් බැංකුව එක්ක සාකච්ඡා කළා. ඒ සාකච්ඡා සාර්ථකයි. ලබන අවුරුද්දේ වැඩ පටන් ගෙන 2019 හයිවේ එක විවෘත කළ හැකි වෙයි. උඹටත් ගෙදර ඉඳන් රත්නපුරේට විනාඩි 45න් යන්න පුළුවන් වෙයි.”

“2019 අගදී මම පෙන්ෂන් යනවනේ අයියේ. ඒ වුණාට ඉතින් හයිවේ එකක් එන එක නම් හොඳටම හොඳයි. ලොකු වියදමක් යයි නේද?”

“ඔව්, රුපියල් බිලියන 73ක් වියදම් වෙනවා. කිලෝමීටර් 69ක් හයිවේ එක දිගයි.”

“කොහොම වුණත් රත්නපුර – කොළඹ අතර ඉක්මනින් යන්න පුළුවන් වෙන එක ලොකු දෙයක්. ආරංචිය කිව්වට අයියට ස්තූතියි” කියා වෙනත් තොරතුරු ටිකකුත් කතා කර ඒ කතාබහ නිමා කළෙමි.

වංගු කෙළින් කරන්න ඉල්ලූ පාර අධිවේගී මඟක් වූ හැටි

නමුත් ඒ කාලයේ රත්නපුර – කොළඹ අධිවේගී මඟක් තැනීමට කිසිවෙක් ඉල්ලුම් කළේ නැත. 2012 වසරේ රත්නපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන ප්‍රගති සමාලෝචන රැස්වීමක් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සබරගමු පළාත් සභා ප්‍රධාන ශ්‍රවණාගාරයේ පැවැත්විණි. රැස්වීම සංවිධානය කළේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙනි. රත්නපුර දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ සංවර්ධන ප්‍රගතිය ඉදිරිපත් කළේ මා ය.

සාකච්ඡා වාරයේදී එවක රත්නපුර දේශපාලන නායකයා වූ ජෝන් සෙනෙවිරත්න ඇමතිතුමා විශේෂ ඉල්ලීමක් කරමින් රත්නපුර – පානදුර මාර්ගයේ රත්නපුර – ඉංගිරිය අතර ඇති කොටසේ ඇති වංගු ටික කෙළින් කර ඉක්මනින් ගැලනිගම අධිවේගී පිවිසුමට යාමට පහසුකම සලසන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ය.


ජනාධිපතිවරයා ද වහාම එම යෝජනාව ගැන සොයා බලා කටයුතු කරන ලෙස එවක මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ප්‍රේමසිරි මහතාට නියම කළේ ය.


එදා රැස්වීම අවසන් වූ පසු එම රැස්වීමේ ගත් තීරණ පිළිබඳව ප්‍රගතිය ඊට අදාළ ආයතනවලින් ලබාගෙන මාස තුනකට වරක් ජනාධිපති කාර්යාලයට සමස්ත ප්‍රගතිය වාර්තා කිරීමත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජකාරිය විය. වාර කීපයක් ප්‍රගතිය විමසූ පසු දිනක් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනත් රැස්වීමකදී මුණගැසුණු විගස ඔහු පැවසුවේ රත්නපුර – පානදුර පාරේ වංගු කෙළින් කිරීම විශාල වියදමක් යන කාර්යයක් බවත් ඒ සඳහා එවන් මුදලක් වියදම් කරනවාට වඩා රත්නපුරට අධිවේගී මාර්ගයක් ඉදි කිරීම වඩාත් ප්‍රයෝජනවත් බව හෙළි වී ඇති බව ය.

මම ඒ බව ජෝන් සෙනෙවිරත්න මහතාට දැන්වූ අතර ඔහු බොහෝ සේ සතුටු විය. ඒ අන්දමින් ජනිත වුණු රත්නපුර අධිවේගී මාර්ග සංකල්පය 2015 ආණ්ඩු පෙරළියෙන්වත් වෙනස් වුණේ නැත. 2015 වසරේ අග හරියේදී මම රත්නපුරයෙන් කොළඹ දිසාපති පදවියට පැමිණියෙමි.

සැලසුම් සකස් වීම සහ විමර්ශන ආයතනවල ප්‍රශ්න කිරීම්

2016 වසරේදී පමණ දිනක් මට දුරකථනයෙන් කතා කළ රත්නපුර මහාමාර්ග ප්‍රධාන ඉංජිනේරුවරියව සිටි ප්‍රේමකාන්ති විජේරත්න මැතිණිය ප්‍රකාශ කළේ තමන් දැන් රාජකාරි කරන්නේ රත්නපුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ බව ය. කහතුඩුවෙන් ඇරඹෙන එම මාර්ගයේ කොටසක් කොළඹ දිස්ත්‍රික්කය ඔස්සේ ද වැටෙන නිසා කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ඒ පිළිබඳව දැනුවත් කිරීමට අවශ්‍ය බව ඇය පැවසුවා ය.

රත්නපුරයේ සිටි දක්ෂතම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරියක වූ ඇය පැවරෙන කවර අභියෝගයක් වුවත් අත් නොහැර මනා කැපවීමෙන් තමාට පැවරුණු කාර්යය සපුරාලීමට සමත්කම් දක්වන්නියක බව මා ද දැන සිටි බැවින් ඒ පිළිබඳව සතුටු වුණෙමි. එතුමිය පැමිණ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට රත්නපුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ගැන විස්තරාත්මක ඉදිරිපත් කිරීමක් කළා ය. ඒ කාලය තුළ ඉඩම් අත්පත් කර ගැනීම, ඉංජිනේරුමය සැලසුම් සැකසීම වැනි කාර්යයන් සම්පූර්ණ කරන ලදී.

පසුව ආර්ථික අර්බුදයත් සමඟ අත්හැර දැමුණු රත්නපුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ගැන විමර්ශන ආයතනත් බොහෝ උනන්දුවෙන් කරුණු සෙවූ බවද දැන ගන්නට ලැබුණි. ඒ වන විට මා විශ්‍රාම ගොස් සිටියත් දිනක් ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු ප්‍රේමකාන්ති විජේරත්න මැතිණිය දුරකථන ඇමතුමක් දී අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ යෝජනාවට රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය ලැබුණේදැයි විමසා සිටියේ එසේ විමර්ශන ආයතනයක් සිදු කළ විමර්ශනයකට උත්තර බැඳීමට බව මට වැටහුණි. මම එතුමියට පැවසුවේ එම යෝජනාව රත්නපුර – පානදුර පාරේ වංගු කෙළින් කර දීමේ යෝජනාවට විකල්පයක් වූ අන්දම ය.

බිලියන 73 සිට 251 දක්වා ඉහළ ගිය වියදම

මේ සියල්ල යළි සිහිපත් වුණේ ඊයේ පෙරේදා යළිත් රත්නපුර අධිවේගී මාර්ගය කරළියට පැමිණි නිසා ය. මෙවර මේ ව්‍යාපෘතියේ පළමු කොටස වන කහතුඩුව – ඉංගිරිය කොටස සඳහා කොන්ත්‍රාත්තු පිරිනැමූ බව ප්‍රසිද්ධ විය. ඒ සඳහා වියදම රුපියල් බිලියන 251ක් බවද කියැවිණි.

එය සත්‍ය නම් 2014 දී බිලියන 73ක වියදමකින් කළ හැකිව තිබූ මේ සමස්ත ව්‍යාපෘතියේ එක කොටසකට පමණක් අද බිලියන 251ක් වැය වන්නේ ය. ඉස්සර නම් මේ සා විශාල මුදලක් වැය වන්නේ හොරකම නිසා බව කියන බොහෝ දෙනෙකු සිටියෝ ය. දැන් එහෙම නැති නිසා 2014ට වඩා හතර ගුණයකින් පමණ පහළට ආර්ථිකය වැටී ඇති නිසා වෙන අලකලංචිය සිතා ආර්ථිකය වැට්ටූ එවුන්ටම දොස් පවරා දැන් හිත හදා ගැනීම කෝකටත් හොඳ ය.


මුල් ලිපිය: විනිවිද (vinivida.lk)
සුනිල් කන්නන්ගර

කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති

skannangara1959@gmail.com

View all stories by සුනිල් කන්නන්ගර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...