ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තෙවැනි අයවැය ප්‍රකාශය, මම පාර්ලිමේන්තු සභා ගර්භයේ සිටම අසා සිටියෙමි. මෙරට ඉතිහාසයේ පෙර විසූ රාජ්‍ය පාලකයන් ඉදිරිපත් කළ අයවැය සහ ප්‍රතිපත්ති ප්රකාශනවලට වඩා, මෙය බෙහෙවින් වෙනස් වූ බව මාගේ හැඟීමයි.
ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේදී, මුදල් අමාත්‍ය රොනී ද මැල් 1977 වසරේ ඉදිරිපත් කළ අයවැය කතාව පැය පහහමාරක් පුරා දිව ගියේය. පෙර සමයේ අයවැය කතාවක තිබූ ඒ ගාම්භීර වටිනාකම, 2005 වසරෙන් පසුව වෙනස් විය. ඉන් පසුව බොහෝ විට අපට අසන්නට ලැබුණේ අයවැය කතාවක් නොව, හුදු වැය කතාවක් පමණි.
මෙවර ඉදිරිපත් වූයේ ජනාධිපති දිසානායක මහතාගේ තුන්වන අයවැය වුවත්, ප්‍රායෝගිකව බැලූ කල එය ඔහුගේ දෙවැනි අයවැය කතාවයි. ගිය වසරේ අයවැය කතාවේදී, මෙරට මහජනතාව ඔහුට රට හදන්නට කාලය ලබා දුන්නේය. එහෙත් මෙවර අයවැය කතාව අවසන් වන්නටත් පෙර, එය ඉතා දැඩි දෝෂාරෝපණයකට බඳුන් විය.
නින්දට ගිය ආණ්ඩුවේ සන්නිවේදන යාන්ත්‍රණය
ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් ව්‍යාපාරිකයන් කැටුව කැවිලි කමින්, තේ බොමින් අල්ලාප සල්ලාපයේ යෙදෙද්දී, විපක්ෂයේ බොහෝ දෙනා සිටියේ මාධ්‍ය ඉදිරියට පැමිණ සිය විරෝධතා ප්‍රකාශ කරමිනි. අද විසිවැනිදා වන විට, 2027 අයවැය පිළිබඳව පැයෙන් පැය සහ දිනෙන් දින මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා රජයට එරෙහි දැඩි මතවාදයක් ගොඩනැගෙමින් තිබේ. ආණ්ඩු පක්ෂයේ කිහිපදෙනෙකු හැර බොහෝ දෙනා විපක්ෂයේ එම විවේචනවලට මුහුණ දුන්නේ, කිසිදු පෙර සූදානමකින් තොරව බව පැහැදිලිය.
ආණ්ඩුවේ සන්නිවේදන යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම නින්දට ගොස් ඇත. ඇමතිවරුන් තමන් වසර දෙකක් පුරා කළ වැඩ කොටස පවා ජනතාවට කියාගන්නට නොහැකි තරමට අසරණ වීම, ඉතා කනගාටුදායක කරුණකි. 1965 වසරේ ජනතා විමුක්ති පෙරමුණ බිහි වූ කාලයේ සිටම, ඔවුහු ප්‍රසිද්ධ දේශන කලාවට සහ සංවිධාන ශක්තියට උපන් හපන්නු වූහ. ජනතා මතවාදය ගොඩනැගීමේ ශූරයෝ වූහ. නමුත් අද ඔවුන් පාලන බලය අතේ තබාගෙන, විපක්ෂයේ පදයට නටන නැටුම් කණ්ඩායමක් බවට පත්ව සිටී.
ඕනෑම අයවැයක් විවේචනයට ලක්වීම ශ්‍රී ලංකාවට පමණක් ආවේණික දෙයක් නොවේ. එහෙත් දිසානායක ආණ්ඩුව මේ විවේචන මැද, ඉදිරි වසරේදී මෙරට මහජනතාවගේ ජීවන තත්ත්වය යහපත් වන ආකාරය පැහැදිලි කිරීමට දැන්වත් උත්සුක විය යුතුය. මේ වන විට විපක්ෂය ඉතා සූක්ෂ්ම ලෙස, තමන්ගේ දේශපාලන මතය මහජනතාවගේ මතය බවට පත් කරමින් සිටී.
මහපොළොවේ යථාර්ථය සහ ට්‍රිලියන දෙකේ සිහින
රටේ අති බහුතරයක් ජනතාව දැඩි පීඩනයක සිටින මොහොතක, උද්ධමනය දිනෙන් දින ඉහළ යන මොහොතක, රැකීරක්ෂා ඇතිවෙනවා වෙනුවට අහිමි වන යුගයක, මහජනතාවගේ විවේචන ඉහළ යාම සාධාරණය. සෑම පුරවැසියෙකුම බලාපොරොත්තු වන්නේ වැටුප් වැඩිවීමකි. සෑම දෙනාම බලාපොරොත්තු වන්නේ බදු බර අඩුවීමකි. රටේ සියලු දෙනා සතුටු කළ හැකි අයවැයක් ඉදිරිපත් කළ හැක්කේ, තවත් වසරකින් රට යළිත් බංකොලොත් කරන ක්රමෝපායක් ඇත්නම් පමණි. එහෙත් ආණ්ඩුව මේ අයවැය සකස් කළේ රටේ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් නම්, තමන්ගේ අයවැය ආරක්ෂා කර ගැනීමට ඉදිරිපත් වීම අරුමයක් නොවිය යුතුය.
උද්ධමනය සියයට දහයක මට්ටමක පවතින රටක, සෑම දෙනාගේම බලාපොරොත්තු අහස උසට නගින්නේ, තමන් පෞද්ගලිකව ජීවත් වන්නට කරන අරගලයත් සමගය. යටිතල පහසුකම් සංවර්ධනයට රුපියල් ට්‍රිලියන දෙකක් වෙන් කිරීම, සාමාන්‍ය මහජනතාවට තේරුම් කර දීම පහසු නැත. නවීන විදුලි දුම්රිය සහ අධිවේගී මාර්ග පිළිබඳ සිහින, මේ රටේ මහපොළොවේ ජීවිතය වෙනුවෙන් සටන් කරන පීඩිත පන්තියට අලෙවි කළ නොහැක.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමට අනුව අයවැය සකස් කිරීම පදනම් කරගෙන, මෙම අයවැය විවේචනය කළ යුතු නැත. එහෙත් මේ විවේචනය අතිශය සාධාරණ වන්නේ, මෙවැනි අයවැයක් හැදූ සැබෑ මහමොළකරුවන් කවුරුන්ද යන්න සහ මෙම අයවැයේ සැබෑ ප්‍රතිලාභීන් කවුරුන්ද යන්න පැහැදිලි නොවන නිසාය.
අයවැය පිටුපස සිටින සැබෑ මහමොළකරුවෝ කවුද?
දුමින්ද හුලංගමුව සහ හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරු, මෙරට මහපොළොවේ යථාර්ථය හඳුනන්නේ නැත. විශේෂයෙන්ම හුලංගමුව මහතා වසර තිහකට අධික කාලයක් පෙනී සිටියේ, ව්‍යාපාරික පන්තියේ ඕනෑ එපාකම් ආරක්ෂා කිරීම වෙනුවෙනි. පෙර පැවති ආණ්ඩු සමයේදී, රජයට ගෙවිය යුතු බදු මුදල් අඩු කර ගන්නා ආකාරය පිළිබඳව ව්‍යාපාරික පන්තියට උපදෙස් දීම වෘත්තිය කරගත් ඔහු, අද රාජ්‍ය ආර්ථිකයේ ආරක්ෂකයා බවට පත්වීම දෛවෝපගත සිදුවීමකි.
ඩිජිටල් ආර්ථිකය මෙහෙයවන හාන්ස් විජේසූරිය මහතා, තමන් වටා ගොඩනගා ගත් වළල්ලකට, මාලිමා මන්ත්‍රීවරයෙකු පැවසූ පරිදි බැකෝ යන්ත්‍රයකින් මෙන් සම්පත් බෙදමින් සිටී. ඩිජිටල්කරණය මුවාවෙන් වෙනම සංදර්ශනයක් පවත්වමින් රට නිර්වින්දනය කළද, අදටත් රාජ්‍ය සේවයේ බොහෝ ස්ථානවල පරිගණක තබා අවම අන්තර්ජාල පහසුකම්වත් නැත.
කිසිදා රාජ්‍ය පරිපාලන සේවයේ නොසිටි සූරියප්පෙරුම මහතාට, භාණ්ඩාගාර ලේකම් වැනි භාරදූර තනතුරක් පිරිනමා විශිෂ්ට ප්‍රතිඵල අපේක්ෂා කිරීම අනුවණ ක්‍රියාවකි. බිලියනපති ව්‍යාපාරික, බස්නාහිර පළාත් ආණ්ඩුකාර සහ ජනාධිපතිවරයාගේ විදේශ ආයෝජන විශේෂ නියෝජිත හනීෆ් යූසුෆ් මහතා නිහඬව පසෙකට වී සිටින්නේ, හුලංගමුව මහතා ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරයට පත් වී මාස දෙකක්වත් ගත වන්නට පෙරය.
කොළඹ සුපිරි සමාජය සහ මහපොළොවේ හදගැස්ම
එසේම කොළඹ සමාජයේ සිට බටහිර ලෝකයේ ඩොලර්, තනතුරු සහ සම්මාන වෙනුවෙන් පොරකන, කිසිදා රාජ්‍ය යාන්ත්‍රණයේ වගකීමක් නොදැරූ පිරිසක් අද රටේ ඉරණම තීරණය කරමින් සිටී. තමන්ගේ පෞද්ගලික මතය රජයේ ප්‍රතිපත්තිය බවට දවසින් දවස, පැයෙන් පැය මතුරන කොළඹ සමාජයේ බුද්ධිමතුන් යැයි කියාගන්නා පිරිස් සහ සමාජ මාධ්‍ය හරහා ආර්ථික උපදෙස් දෙන ආර්ථික ඔස්තාර්ලා, මේ රාජ්‍යයට කරන වින්නැහිය සුළුපටු නොවේ.
ආචාර්ය ගාමිණී කොරයා, ආචාර්ය ලාල් ජයවර්ධන, ආචාර්ය ජයන්ත බණ්ඩාර කැලේගම සහ ආචාර්ය සමන් කැලේගම වැනි විශිෂ්ට ආර්ථික විද්‍යාඥයන් බිහි කළ රටක, අද ආර්ථික ආඛ්‍යානය ආක්‍රමණය කර ඇති මේ හිස් මිනිසුන් දකින විට ඇති වන්නේ දැඩි බියකි. මහත් කනගාටුවකි.
ඉදිරි ලිපි තුළින් කොළඹ සුපිරි සමාජය නියෝජනය කරන අයගේ කතාවට සමාන්තරව, මේ රටේ සැබෑ මිනිසුන්ගේ හදගැස්මේ කතාව රැගෙන මම ඔබ හමුවට එමි.
(සටහන | පද්මහර්ෂ)



