මීට දශක හයකට පෙර ඉන්දියාවේ සහල් අස්වැන්න ඉතා අඩු මට්ටමක පැවතීම හේතුවෙන් සතියකට දිනක් රාත්‍රී ආහාරයෙන් වැළකී සිටින ලෙස ඉන්දියානුවන්ට උපදෙස් ලැබිණි. අනතුරුව, විද්‍යාත්මක කෘෂිකාර්මික දියුණුව සහ රාජ්‍ය සහනාධාර හේතුවෙන් ඉන්දියාව සහල් අතිරික්තයක් සහ අපනයන වර්ධනයක් හිමි කර ගත්තේය. එහෙත්, මේ වන විට, එම සහනාධාර පිණිස උපයෝජිත වැයපසේ අඛණ්ඩ වර්ධනය, මධ්‍යම රජයට දැවැන්ත මූල්‍ය අභියෝගයක් වී තිබේ.
දශක ගණනකට පෙර රටේ ජනතාවට ආහාර සැපයීම අරමුණු කොට හඳුන්වා දුන් කෘෂි සහනාධාර සහ කෘෂි විද්‍යාවේ දියුණුව හේතුවෙන් ඉන්දියාව අද ලොව ප්රමුඛ සහල් නිෂ්පාදන බලවතකු බවට පත්ව සිටී.
එමෙන්ම, වත්මන, එරට දේශීය පරිභෝජනය ඉක්මවා යන සහල් අතිරික්තයෙන් සැලකිය යුතු කොටසක් විදේශ වෙළෙඳපොළට අපනයනය කෙරේ. ඉන්දීය රජයට දරන්නට සිදුව ඇති කෘෂි සහනාධාර පිරිවැය ද අඛණ්ඩව ඉහළ යමින් පවතී.
ඒ අනුව, ඉන්දියානු ජනතාවට මතු නොව, විදේශ පාරිභෝගිකයන්ට ද ප්රතිලාභ සැලසෙන සේ සහල් සහනාධාර ලබාදීමට සිදුවීමෙන් රජය දැවැන්ත මූල්‍ය අභියෝගයකට ලක්ව සිටින අතර එය, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පරිපාලනය තුළ දැඩි කතාබහට බඳුන්ව පවතී.
ට්‍රිලියන දෙක ඉක්මවූ සහනාධාර බර
මධ්‍යම රජයේ ආහාර සහනාධාර වියදමෙන් තුනෙන් දෙකොටසකට අධික ප්‍රමාණයක් වැය කෙරෙනුයේ සහල් සහනාධාර වෙනුවෙනි. එම සමස්ත සහනාධාර වියදම දශකයක් තුළ දෙගුණයකටත් වඩා වැඩි පමණකින් ඉහළ ගොස් තිබේ. 2025/26 මූල්‍ය වර්ෂයේදී එය, ඉන්දීය රුපියල් ට්‍රිලියන 2.28 (ඇමෙරිකානු ඩොලර් බිලියන 24.1) ඉක්මවීය.

"අප විදෙස් පාරිභෝගිකයන්ට සහනාධාර ලබාදීමට මේ වැය කරන්නෙ, ඉන්දීය බදු ගෙවන්නන්ගේ, ඒ කියන්නේ අපේ ජනතාවගේ මුදල්. ප්රායෝගිකවම සත්‍ය කරුණ නම්, එයයි," කෘෂි ආර්ථික විද්‍යාඥයකු මෙන්ම, රජයේ හිටපු බෝග මිල උපදේශකයකු වන අශෝක් ගුලාටි පවසයි. ඉන්දියාවේ වත්මන් සහල් අතිරික්තය, තරගකාරී රටවල පවත්නා මිලට වඩා අඩු මිලකට ගෝලීය වෙළෙඳපොළට මුදාහරින බව ද ඔහු කියා සිටී.
එල් නිනෝ (El Niño) තත්ත්වය මත වර්ෂාපතනය අඩුවීමෙන්, 2026/27 මූල්‍ය වර්ෂය තුළ, ඉන්දීය සහල් අස්වැන්න පහළ යනු ඇතැයි උපකල්පනය කළ ද, දැනට එරට පවතින විශාල සහල් සංචිත හේතුවෙන්, ඉදිරි දෙවසර තුළ එරට සහල් අපනයනය තවදුරටත් ඉහළ යනු ඇතැයි, ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) පුරෝකථනය කරයි.
නව ප්‍රභේද විප්ලවය
ගංවතුර අවදානමට ලක්වන නැගෙනහිර ඉන්දියාවේ ප්‍රදේශ රැසක ඊට ඔරොත්තු දෙන නව සහල් ප්‍රභේද හඳුන්වාදීම සහල් අතිරික්තයට එක් ප්‍රධාන හේතුවකි.
එහි ප්‍රතිඵල ලෙස, එරට වාර්ෂික සහල් නිෂ්පාදනය දශකයක් තුළ සියයට 50කින් ඉහළ ගියේය. 2025/26 වර්ෂයේදී එය මෙට්‍රික් ටොන් මිලියන 154ක වාර්තාගත අගයක් දැක්වීය. බිලියන 1.4ක ජනගහනයෙන් යුත් එරට දේශීය සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් මිලියන 107 ඉක්මවන්නේය.
එම වර්ධනයට 1960 දශකයේ මැද භාගයේ සිට ක්‍රියාත්මක මධ්‍යම රජයේ සහල් සහනාධාර ක්‍රමය ද වෙසෙස් දායකත්වයක් සපයයි. එකල ඉන්දීය රජයට, සිය ජනතාවට අවශ්‍ය ආහාර සැපයීම පවා අසීරු කරුණක් විය. එහෙත් නව ප්රවණතා හේතුවෙන්, මෑත කාලීනව, මධ්‍යම රජය විසින් නිර්දේශිත අවම මිලට අමතරව ගොවීන්ට විශේෂ දිරිදීමනා ලබාදීමට ප්‍රාන්ත ආණ්ඩුවලට ද හැකි විය. එමඟින් සහල් නිෂ්පාදනය තවදුරටත් ඉහළ ගියේය.
එහෙත්, දශකයක් තුළ එරට සහල් අපනයනය දෙගුණයකින් වර්ධනය වී, 2025 වසරේදී මෙට්‍රික් ටොන් මිලියන 22.3ක් තෙක් ඉහළ ගියේය. ඉන්දියාව, ලෝක සහල් වෙළෙඳාමෙන් සියයට 40කට හිමිකම් කියන්නේය. අධි නිෂ්පාදන ධාරිතාව මත, එරට ඉහළ යන සහල් තොග ගබඩා කිරීමට තරම් ප්‍රමාණවත් ගබඩා පහසුකම් පවා නොමැති තත්ත්වයක් ද මේ වන විට උද්ගතව ඇත.
“අපේ ගබඩා පහසුකම් දැනටමත් පිරී අවසන්. රාජ්‍ය ආයතන අපෙන් මිලට ගත් සහල් තොග තවමත් එහි හිරවෙලා. ඒවා රැගෙන යන තෙක් අප බලා සිටිනවා,” ඔඩිෂා ප්‍රාන්තයේ කටක් ප්‍රදේශයේ පෞද්ගලික සහල් මෝල් හිමියකු වන නවීන් අගර්වාල් පවසයි.
අයුක්ති තරගය
මෙම සහනාධාර ක්‍රමය යටතේ මධ්‍යම රජය වාර්ෂිකව සහල් සඳහා අවම සහතික මිලක් (Minimum Support Price – MSP) නියම කරන්නේය. ඒ, ශ්‍රමික වැටුප්හි සිට පොහොර පිරිවැය තෙක්, වගා කටයුතු සඳහා වැය වන විවිධ වියදම් සැලකිල්ලට ගනිමිනි. ගොවීන් වැඩි වශයෙන් වී වගාවට යොමු කිරීමට දිරිමත් කිරීම එහි අරමුණයි.
සහල් නිෂ්පාදනයේ යෙදෙන ප්‍රාන්ත පරිපාලනය ද, බොහෝවිට මෙම අවම සහතික මිලට, තවත් අමතර මුදලක් ද ගොවීන්ට ලබාදෙයි. එමඟින් සහල් වගාව අනෙකුත් කෘෂි බෝග වගාවන්ට වඩා ලාභදායී තත්ත්වයකට පත්වේ.
මෙහි ප්‍රතිඵලයක් ලෙස, සහල් අතිරික්තයක් ජනිත වෙයි. ඒ හේතුවෙන් මධ්‍යම රජය සහ ප්‍රාන්ත පරිපාලන අතර නව ගැටලුකාරී තත්ත්වයක් ද වර්ධනයව පවතී. ප්‍රාන්ත ආණ්ඩු විසින් ලබාදෙන අතිරේක දිරිදීමනා හේතුවෙන්, සහල් අධි නිෂ්පාදනය තවදුරටත් ඉහළ යාමත්, තෙල් බීජ සහ පියලි ධාන්‍ය වැනි කෘෂි බෝග සඳහා වගා බිම් සීමා වීමත් ඊට මූලික වේ. ඒ හේතුවෙන්, දේශීයව වගා කළ හැකි ඉහත කෘෂි බෝග පවා විදේශයන්ගෙන් ආනයනය කිරීමට සිදුව තිබේ.
සහල් නිෂ්පාදනය කරන ප්‍රාන්ත තවදුරටත් සිය සහල් මිලදී ගන්නා ලෙස මධ්‍යම රජයට අඛණ්ඩව බලපෑම් කරති. එය, රජය සහ ප්‍රාන්ත පරිපාලන අතර සමාජ - දේශපාලනික ගැටුමකට තුඩු දෙයි.
ගෝලීය වෙළෙඳපොළෙන් එල්ල වන විරෝධය

මෙම සමාජ - දේශපාලන හා ආර්ථික ගැටුම දැන්, ඉන්දියාවට පමණක් සීමා නොවන්නකි. ඉන්දීය සහල් අපනයන ඉහළ යාම තායිලන්තය, වියට්නාමය මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු තරගකාරී සහල් නිෂ්පාදන රටවලට ද ඉමහත් අභියෝගයකි. ඔවුහු මේ සම්බන්ධව ඉන්දීය රජයට සිය අප්‍රසාදය පළ කරමින් සිටිති.
නිෂ්පාදන පිරිවැයට වඩා අඩු මිලකට සහල් අලෙවි කරමින් ලෝක වෙළෙඳපොළට සිය සහල් අතිරික්තය මුදාහරින බවට එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පසුගිය දෙසැම්බර් මස ඉන්දියාවට චෝදනා කළේ ය.
වොෂින්ටනය සමඟ වෙළෙඳ ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින ඉන්දීය මධ්‍යම රජය, එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය. ඇමෙරිකානු වෙළෙඳපොළට අපනයනය කරන්නේ ඉහළ මිල සහිත 'ප්‍රිමියම් බාස්මතී' සහල් පමණක් බව රජය අවධාරණය කළේය.
ඉන්දියාව වැනි යුක්ති යුක්ත නොවන වෙළෙඳ ක්‍රියාමාර්ග අනුදත් ආර්ථිකයන් වෙතින් එල්ල වන 'අයුක්ති සහගත තරගකාරීත්වය' ඇමෙරිකානු සහල් අලෙවියට තර්ජනයක් බව එක්සත් ජනපද සහල් වෙළෙඳ සංගමය හෙවත් යූ එස් ඒ රයිස් (USA Rice) ඉකුත් අප්‍රේල් මස කියා සිටියේය.
ඉන්දීය සහල් සහනාධාර පිළිබඳ වොෂින්ටනය දිගු කලක සිට කනස්සල්ල පළ කර ඇති බව ද අනාවරණය විය.
මේ අතර, සහල් මිල පාලනයට ඉන්දියාව සහ වියට්නාමය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස තායිලන්තය, ඉකුත් වසරේ විශේෂ ඉල්ලීමක් සිදු කළේය. එමෙන්ම, ඉන්දීය අධි සහල් සංචිත, තායිලන්ත සහල් අපනයනකරුවන්ට දැඩි පීඩනයක් බව පසුගිය මස තායිලන්ත රජය චෝදනා කළේය.
මෙම මස මැද භාගයේ, ඉන්දීය සහල් මෙට්‍රික් ටොන් එකක්, තායිලන්තයේ සහතික සහල් මිලට වඩා ඇමෙරිකානු ඩොලර් 110ක් පමණ අඩු මිලකට අලෙවි විය. තායි සහල් මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 497ක් විය.
'ස්වර්ණා-SUB1' ගෙන ආ කෘෂි පෙරළිය
ඉන්දීය සහල් විප්ලවයට ප්‍රධාන දායකත්වය ‘ස්වර්ණා-SUB1’ (Swarna-SUB1) නම් සහල් ප්රභේදයෙනි. ජල ගැල්මට පවා ඔරොත්තු දෙන FR13A නම් සහල් ප්‍රභේදය, ඉහළ අස්වැන්නක් පිණිස පුළුල්ව වගා කළ, 'ස්වර්ණා' ප්‍රභේදය සමඟ මුසු කර ඉන්දීය සහල් පර්යේෂකයෝ මෙම නව ප්‍රභේදය සංවර්ධනය කළහ. 2009 වසරේ එය වාණිජ කෘෂිකර්මාන්තය පිණිස වෙළෙඳපොළට නිකුත් කෙරිණි.
“අපට දෛනික ආහාරයට අවශ්‍ය සහල් ප්‍රමාණයවත් වගා කර ගැනීමට නොහැකි වූ වසර තිබුණා. ඇතැම් අවස්ථාවල ගංවතුර නිසා මුළු අස්වැන්නම විනාශ වුණා. නමුත් දැන් අපට සහල් අතිරික්තයක් පවතිනවා. ආහාරයට ගත හැකි ප්‍රමාණයටත් වඩා සහල් දැන් මෙහි වගා කරනවා” නැගෙනහිර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගොවියකු වන චන්ද්‍රමෝහන් යාදව් කියා සිටී. ‘ස්වර්ණා-SUB1’ ප්‍රභේදයට පින් සිදුවන්නට, ඔහු පදිංචිව සිටින අධික ජල ගැල්මට ලක්වන කෝසි ගංගා ධාරයේ පිහිටි සිසෝනී ගම්මානය, දැන් සශ්‍රීක වී වගාවෙන් පිරී ඉතිරී ගොසිණි.
ඉහළ අස්වනු
පසුගිය වසර 15 තුළ බිහාර් ප්‍රාන්තයේ සහල් නිෂ්පාදනය 182%කින් ඉහළ ගියේය. 2025/26 වර්ෂයේදී එය මෙට්‍රික් ටොන් මිලියන 8.75ක් විය. යාබද ඔඩිෂා ප්‍රාන්තයේ සහල් නිෂ්පාදනය ද සියයට 50කින් ඉහළ ගියේය. එම වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 10.2ක් වූයේය.
අනපේක්ෂිත මෝසම් වැසි මත යැපුණු ගොවීන්ට සහන පිණිස, ඉන්දීය රජයේ මධ්‍යම සහල් පර්යේෂණ ආයතනය (ICAR) මගින්, ජල ගැල්මට මෙන්ම නියඟයට ද එකසේ ඔරොත්තු දිය හැකි තවත් නව සහල් ප්‍රභේදයක් බිහි කිරීමේ පර්යේෂණ ද මේ වන විට ක්‍රියාත්මක ය.
ඉදිරි වසර පහ තුළ මෙම නව සහල් ප්‍රභේද හේතුවෙන් ඉන්දියාවේ සමස්ත සහල් නිෂ්පාදනයට අවම වශයෙන් තවත් මෙට්‍රික් ටොන් මිලියන 10ක්වත් එකතු වන්නේය.
ඒ අනුව, 2036 වසර වන විට එරට සමස්ත සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 171ක් දක්වා ඉහළ යනු ඇත. එහෙත් ඊට සාපේක්ෂව දේශීය සහල් ඉල්ලුම ඉහළ යනු ඇත්තේ මෙට්‍රික් ටොන් මිලියන 110කින් පමණි.
ගබඩා පහසුකම් ඉක්මවන තොග

වැඩි වන සහල් අතිරික්තයට විසඳුමක් ලෙස, රජය විසින් ඉන් කොටසක් එතනෝල් නිෂ්පාදනයට යොදා ගැනීමට පියවර ගෙන තිබේ. එසේ තිබියදී වුව, රජය සතු සහල් තොග අඛණ්ඩව ඉහළ යමින් පවතී. පසුගිය ඔක්තෝබර් 1 වැනිදා වන විට එම සංචිත, වාර්තාගත මෙට්‍රික් ටොන් මිලියන 55.47ක් තෙක් ඉහළ ගියේය. එය රජය නියම කළ ඉලක්කගත ගබඩා ධාරිතාව මෙන් සිව් ගුණයකටද අධික ප්රමාණයකි.
රජය විසින් මිලදී ගැනෙන සහල් ප්‍රමාණය හා බෙදාහැරීමේ ප්‍රමාණය අතර වර්ධිත අසමතුලිතතාව සහ ප්‍රාදේශීය ගබඩා පහසුකම් අතර පවතින විෂමතා කළමනාකරණය පිණිස, මෙට්‍රික් ටොන් මිලියන 13.1ක නව ගබඩා පහසුකම් ඉදි කිරීමට මධ්‍යම රජය සැලසුම් කරන බව පසුගිය සැප්තැම්බර් මස එරට ආහාර අමාත්‍යාංශය නිවේදනය කළේය.
ඉකුත් වසරේ වී අස්වැන්නෙන් රජය මිලදී ගත් සහල් මෙට්‍රික් ටොන් 600,000ක් එම ප්‍රාන්තයේ ගබඩාවලින් වහා ඉවත් කර වෙනත් ගබඩා වෙත යොමු කරන ලෙස, පන්ජාබ් ප්‍රාන්ත මහ ඇමැති භගවන්ත් මාන් පසුගිය සැප්තැම්බර් 29 වැනිදා මධ්‍යම රජයෙන් ලිඛිත ඉල්ලීමක් සිදු කළේය.
ඊට කඩිනම් රාජ්‍ය මැදිහත්වීමක් සිදු නොවුණහොත්, නව අස්වැන්න මිලදී ගැනීම ප්‍රමාද විය හැකි බවද, එය ගොවි 'නොසන්සුන්තාවකට' හේතු විය හැකි බවටද එමගින් ඔහු අනතුරු ඇඟවීය.
ප්‍රාන්ත සහනාධාර රජයේ දැඩි අවධානයට
ඉන්දීය ගොවීහු, එරට කෘෂිකර්මාන්ත ශ්‍රම බලකායෙන් සියයට 40කට වැඩි පිරිසකට රැකියා සපයති. කෘෂි සහනාධාර කප්පාදු කිරීමට ගැනෙන ඕනෑම පියවරකට විරෝධය පළ කිරීමට ඔවුන් සූදානම්ය.
මධ්‍යම රජයේ අවම සහතික මිල ක්‍රමය අහෝසි වන්නේ යැයි, ගොවීන් තුළ ජනිත බියෙන්, 2020 සහ 2021 වසරවලදී කෘෂිකාර්මික නෛතික ප්‍රතිපාදනයන්ට එරෙහි දැවැන්ත විරෝධතා හටගත්තේය. එහි ප්‍රතිඵල වශයෙන් 2021 නොවැම්බර් මස, අදාළ නීතීන් ඉවත් කර ගැනීමට රජයට සිදුවිය.
මධ්‍යම රජය එවන් අත්තනෝමතික තීරණවලට එළඹියහොත්, ඉදිරි මැතිවරණවලදී ගොවි විරෝධයන්ට මුහුණපෑමට සිදුවනු ඇතැයි ඔවුහු කියා සිටිති.
ආනයන වියදම් සහ පොහොර අර්බුදය
වී ගොවි අතිරේක සහනාධාරවලට විකල්ප සේ, ජාතික ප්‍රමුඛතා හා සැසඳෙන පරිදි වෙනත් බෝග වගාවන් ප්‍රවර්ධනය කිරීම පිණිස ගොවීන් උදෙසා කෘෂි දිරිදීමනා ක්‍රමවේදයක් සකස් කරන ලෙස ද මුදල් අමාත්‍යාංශයේ වියදම් දෙපාර්තමේන්තුව විසින් ප්‍රාන්ත ආණ්ඩුවලින් ඉල්ලීමක් කර තිබේ.
එමෙන්ම, අධික ජල පරිභෝජනයක් අවශ්‍ය වන සහල් වගාව හේතුවෙන් භූගත ජල සම්පත් දැඩි පීඩනයකට ලක්ව ඇති බවද රජයේ ලිපියෙන් පෙන්වා දී තිබේ.

ඉන්දීය වෙළෙඳ අමාත්‍යාංශ දත්ත පරිදි 2025 වසරේ තෙල් බීජ සහ පියලි ධාන්‍ය ආනයනය පිණිස ඉන්දීය රජය දැරූ පිරිවැය ඇමෙරිකානු ඩොලර් බිලියන 22.7කි. එය පසුගිය දශකය හා සැසඳීමේදී 120%ක වර්ධනයකි. එම වසරේ සහල් අපනයනයෙන් උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 12කි.
තෙල් බීජ සහ පියලි ධාන්‍ය වගාවන්ට සාපේක්ෂව සහල් වගාව පිණිස වැඩි පොහොර ප්‍රමාණයක් අවශ්‍ය බව කෘෂි විශේෂඥ මතයයි. එය ඉන්දියාවේ පොහොර සහනාධාර වියදම ඉහළ යාමට බලපෑ ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.
ඉන්දීය පොහොර අමාත්‍යාංශ ඇස්තමේන්තු අනුව, 2026/27 මූල්‍ය වර්ෂයේ පොහොර සහනාධාර සඳහා වැය වන මුදල ඉන්දීය රුපියල් ට්‍රිලියන 3 (ඇමෙරිකානු ඩොලර් බිලියන 31.8) ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ. එය දශකයකට පෙර වියදම මෙන් සිව් ගුණයකි.
කෙසේ වෙතත්, වී ගොවීන්ට ගෙවන අතිරේක දිරිදීමනා කප්පාදු කිරීමට ප්‍රාන්ත ආණ්ඩුවලට අභිලාෂයක් නැත. එම ප්‍රාන්ත පරිපාලන, වී ගොවි අතිරේක දිරිදීමනා, මැතිවරණ ජයග්‍රහණය කිරීමේ පහසු මෙවලමක් සේ දකිති.
ඒ හේතුවෙන්, ඉන්දීය මධ්‍යම රජයට, පාලනයෙන් ගිලිහි වැඩි වන වියදම් සීමා කිරීම අතිශය දුෂ්කර කාර්යයක්ව තිබේ.
(REUTERS ඇසුරින් හර්ෂ උදයකාන්ත පීරිස් විසිනි)
2026 නොවැම්බර් 20
මූලාශ්‍රය (Source):



