වත්මන් ආණ්ඩුව මෙවර ඉදිරිපත් කළේ තම පාලන කාලයේ තුන්වැනි අයවැයයි. තවත් අයවැය දෙකක් ඉදිරිපත් කිරීමෙන් පසුව ජනාධිපතිවරණයකට හෝ මහ මැතිවරණයකට යෑමට නියමිතය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එම මැතිවරණය 2029 වර්ෂයේදී පැවැත්විය යුතුය. ඒ අර්ථයෙන් බලන විට මේ අයවැය වත්මන් ආණ්ඩුවේ පාලන කාලයේ මැද ලකුණක් සටහන් කරන ලියවිල්ලකි.
ආණ්ඩුව බලයට පත්වන විට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති සහ පොරොන්දු ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පෙන්වීමට මුල් අයවැය දෙක භාවිත කළ හැකිව තිබුණි. එහෙත් තුන්වැනි අයවැය වන විට තවදුරටත් අතීතයට චෝදනා කරමින් සිටීමට ආණ්ඩුවකට නොහැකිය. මේ වන විට රජයේ ආදායම, වියදම, ආයෝජනය, රාජ්‍ය පරිපාලනය සහ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ වගකීම සම්පූර්ණයෙන්ම වත්මන් පාලනය භාරගෙන තිබේ. ඒ නිසා මේ අයවැය ඇගයිය යුත්තේ ආණ්ඩුව කියන දේ අනුව නොව, වසර දෙකක පාලනයෙන් පසුව ආර්ථිකය ගෙනැවිත් තිබෙන ස්ථානය අනුවය.
මිශ්‍ර අයවැයක ස්වභාවය

මගේ තේරුම් ගැනීම අනුව මෙවර ඉදිරිපත් කර තිබෙන්නේ මිශ්‍ර අයවැයකි. එක් පැත්තකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවයේ සීමාවන් ආරක්ෂා කිරීමට උත්සාහ කරන අතර, අනෙක් පැත්තෙන් ජනතාවට සහන සලසන බව පෙන්වීමට ද ආණ්ඩුව උත්සාහ කර තිබේ. තවත් පැත්තකින් රාජ්‍ය ආයෝජන වැඩිකර ආර්ථික වර්ධනයක් ඇති කරන බව කියයි. මේ එකිනෙකට තරමක් පරස්පර ඉලක්ක එකම අයවැයකට ඇතුළත් කිරීම නිසා එය මිශ්‍ර අයවැයක් බවට පත්වී තිබේ.
2027 වර්ෂය සඳහා රුපියල් බිලියන 6,180ක පමණ ආදායමක් ලබාගැනීමටත්, රුපියල් බිලියන 7,673ක් පමණ වියදම් කිරීමටත් ආණ්ඩුව අපේක්ෂා කරයි. ඒ අනුව අයවැය හිඟය රුපියල් බිලියන 1,493ක් පමණ වේ. ආපදා ප්‍රතිසංස්කරණ සඳහා යෝජිත අතිරේක ප්‍රතිපාදන ද සමඟ රාජ්‍ය වියදම තවදුරටත් ඉහළ යයි. එසේම ප්‍රාග්ධන වියදම් හා පොදු ආයෝජන සඳහා රුපියල් ට්‍රිලියන දෙකකට ආසන්න මුදලක් යෝජනා කර තිබේ.
රාජ්‍ය ආයෝජන සහ වියදම් කළමනාකරණය
මේ සංඛ්‍යා බැලූ විට අයවැය තුළ ආර්ථික වර්ධනයට උපකාරී විය හැකි ලක්ෂණ තිබෙන බව පිළිගත යුතුය. මාර්ග, දුම්රිය, ග්‍රාමීය සම්බන්ධතා, ප්‍රවාහන පහසුකම් සහ වෙනත් යටිතල පහසුකම් සඳහා කරන ආයෝජන නිසි පරිදි ක්‍රියාත්මක වුවහොත් ඒවා ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව වැඩි කිරීමට උපකාරී විය හැකිය.
සෞඛ්‍යය, අධ්‍යාපනය, සමාජ ආරක්ෂණය සහ රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් ද යම් ප්‍රතිපාදන තිබේ.
මෙහිදී සටහන් කළ යුතු එක් කාරණයක් වන්නේ මේ රාජ්‍ය ආයෝජන සිදුකරන ව්‍යාපෘති පිළිබඳව නිවැරදි තක්සේරුවකින් යුක්තව මේ ආයෝජන සිදුකිරීමය. සමහර ව්‍යාපෘති මීට පෙර රජයන් විසින් උඩට යටට දමමින් තිබූ ඒවාය. නිදසුනක් ලෙසින් රුවන්පුර අධිවේගී මාර්ගය දැක්විය හැකිය. එම ව්‍යාපෘතියේ මූලික සැලැස්මේ සිටම ප්‍රශ්න සහගත එකක් බව ඒ දිනවල රටේ සාකච්ඡා වූ කාරණයකි. එම ගැටලුව එසේම තිබෙද්දී ඒ ව්‍යාපෘතියට මුදල් වැය කිරීම නිවැරදිද යන්න සිතා බැලීම වැදගත්ය. (මේ ව්‍යාපෘතිය සහ පැරණි පාලන කාලයන් තුළ ඉදිරියට පැමිණි සමහර ව්‍යාපෘතිවල යෝග්‍යතාව පිළිබඳව සිදුකළ විද්වත් අධ්‍යයනයන් කීපයක්ද ජනාධිපති කාර්යාලයේ හා මුදල් අමාත්‍යාංශයේ තිබෙන බව මගේ අදහසය. ඒවා පරීක්ෂා කිරීම මෙහිදී සුදුසුය.)
මෙවර අයවැයේ තවත් පැත්තක් වන්නේ පුද්ගල ආදායම් බද්දේ නිදහස් සීමාව ඉහළ නැංවීම, රාජ්‍ය සේවක දීමනා සංශෝධනය කිරීම සහ යම් සමාජ සහන ලබාදීමට උත්සාහ කිරීමය. මේවා ජනතාවගේ පැත්තෙන් බැලූ විට අවශ්‍ය දේවල්ය.
IMF වැඩසටහනෙන් පසුව කරන්නේ කුමක්ද?
මේ අයවැය සම්බන්ධයෙන් තිබෙන වැදගත්ම ප්‍රශ්නය වන්නේ 2027 මාර්තු මාසයෙන් පසුව කරන්නේ කුමක්ද යන්නය. ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර 2023 මාර්තු 20 වැනිදා ආරම්භ වූ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන 2027 මාර්තු 19 වැනිදා නිමා වීමට නියමිතය.

IMF වැඩසටහන ආර්ථික අර්බුදයේදී ශ්‍රී ලංකාවට යම් විශ්වාසයක් සහ ප්‍රතිපත්තිමය රාමුවක් ලබාදුන් බව පිළිගත යුතුය. මුදල් මුද්‍රණය සීමා කිරීම, බදු ආදායම් වැඩිකිරීම, බලශක්ති මිල ගණන් පිරිවැය අනුව තීරණය කිරීම, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වැනි ක්‍රියාමාර්ග එම වැඩසටහනේ කොටස් විය. ඒවායේ බරෙන් විශාල කොටසක් දැරුවේ සාමාන්‍ය ජනතාව බව ද අමතක කළ නොහැකිය.
එහෙත් IMF වැඩසටහනක් යනු සදාකාලික ආර්ථික ප්‍රතිපත්තියක් නොවේ. ඒ නිසා මාර්තු මාසයෙන් පසුව තවත් IMF වැඩසටහනකට යනවාද, වර්තමාන එකඟතාව දීර්ඝ කරගන්නවාද, නැතහොත් ස්වදේශීය ආර්ථික වැඩපිළිවෙළක් මත ඉදිරියට යනවාද යන්න ආණ්ඩුව දැන්ම පැහැදිලි කළ යුතුය. විදේශ ණය ආපසු ගෙවීමේ පීඩනය 2028 වසරේ සිට තවදුරටත් ඉහළ යා හැකි පසුබිමක, IMF වැඩසටහන අවසන් වූ පමණින් අපේ ගැටලු අවසන් වන්නේ නැත. අලුත් වැඩසටහනක් අවශ්‍ය වන්නේ නම් ඒ ගැන ජනතාවට සත්‍යය කිව යුතුය. අවශ්‍ය නැත්නම් එතැනින් පසුව විදේශ විනිමය, ණය සේවාකරණය සහ අයවැය හිඟය කළමනාකරණය කරන ආකාරය පෙන්විය යුතුය.
ආර්ථිකයේ අංශ හතර
ආර්ථිකයක තත්ත්වය තේරුම් ගැනීමට එහි ප්‍රධාන අංශ හතර දෙස බැලිය යුතුය.
* දෙවැනි කොටස රාජ්‍ය මූල්‍ය හෙවත් fiscal sector එකය. එය ආණ්ඩුවේ ආදායම, බදු, වියදම, අයවැය හිඟය සහ රාජ්‍ය ණය පිළිබඳ කොටසයි. අප සාකච්ඡා කරන අයවැය සෘජුවම සම්බන්ධ වන්නේ මේ අංශයටය.
* තුන්වැනි කොටස විදේශීය අංශයයි. විදේශ විනිමය සංචිත, ඩොලරයේ අගය, අපනයන, ආනයන, සංචාරක ආදායම, විදේශ රැකියා ප්‍රේෂණ සහ විදේශ ණය ගෙවීම් ඊට අයත්ය. නිල විදේශ සංචිත 2026 අගෝස්තු අවසානය වන විට ඩොලර් බිලියන 6.9ක් පමණ දක්වා ඉහළ ගොස් තිබුණි. ඒ සමඟම 2026 සැප්තැම්බර් අවසානය වන විට රුපියල ඩොලරයට සාපේක්ෂව වසර ආරම්භයේ සිට සියයට 6.3කින් පමණ අවප්‍රමාණය වී තිබුණි.
* සිව්වැනි කොටස සැබෑ ආර්ථිකය හෙවත් real sector එකය. ගොවියා, කම්කරුවා, ධීවරයා, සුළු ව්‍යාපාරිකයා, කර්මාන්තකරුවා, ඉදිකිරීම් ක්ෂේත්‍රය, ප්‍රවාහනය සහ සේවා සැපයීම මේ කොටසට අයත් වේ. ආර්ථිකයේ අවසාන ප්‍රතිඵලය මැනිය යුත්තේ මේ කොටසෙනි. බැංකුවල සංඛ්‍යා හොඳ වුවත්, අයවැය හිඟය පාලනය වී තිබුණත්, විදේශ සංචිත වැඩි වුවත්, ගොවියාගේ ආදායම අඩු නම්, කර්මාන්ත වැසෙන්නේ නම් සහ තරුණයන්ට රැකියා නැත්නම් ආර්ථිකය සාර්ථක යැයි කිව නොහැකිය.
වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන දුර්වලතාව පෙනෙන්නේ මෙතැනදීය. එය යම් ප්‍රමාණයක මූල්‍ය හා රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වයක් ආරක්ෂා කරගෙන තිබේ. එහෙත් එම ස්ථාවරත්වය සාමාන්‍ය ජනතාවගේ ජීවිතවල දැනෙන වර්ධනයක් බවට පරිවර්තනය කිරීමට තවමත් අපොහොසත් වී ඇත.
ආණ්ඩුව ආර්ථිකය ස්ථාවර කළ බව නිතර කියයි. 2022 පැවති ඉන්ධන පෝලිම් අද නැත. ගෑස් හිඟයක් හෝ දිගු විදුලි කප්පාදුවක් ද නැත. බැංකු පද්ධතිය බිඳවැටී නැත. එය පිළිගත යුතු ප්‍රගතියකි. එහෙත් ආර්ථික ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධනය යනු එකම දෙයක් නොවේ.
අගාධයකට වැටෙමින් තිබුණු වාහනයක් නතර කරගැනීම ස්ථාවරත්වයයි. එය නැවත ඉදිරියට ධාවනය කිරීම වර්ධනයයි. අප වාහනය වැටීම නතර කරගෙන ඇති නමුත්, එය අවශ්‍ය වේගයෙන් ඉදිරියට ගෙනයෑමට තවමත් සමත් වී නැත.
උද්ධමනය සහ රුපියලේ අගය

උද්ධමනය නැවතත් අවධානය යොමු කළ යුතු තැනකට පැමිණ තිබේ. බලශක්ති මිල ඉහළ යාමේ බලපෑමත් සමඟ 2026 අගෝස්තු මාසයේ වාර්ෂික උද්ධමනය සියයට අටක් දක්වා ඉහළ ගිය බව මහ බැංකුව සඳහන් කළේය. කොළඹ උද්ධමනය ඔක්තෝබර් මාසයේදී සියයට 8.3ක් දක්වා ඉහළ ගිය බව ද වාර්තා විය. මහ බැංකුවේ අපේක්ෂාව වන්නේ 2027 පළමු කාර්තුව දක්වා උද්ධමනය ඉහළ තනි ඉලක්කම් මට්ටමක පැවතිය හැකි බවය.
උද්ධමනය සියයට අටක් යැයි කියන විට එහි අදහස බඩු මිල සියයට අටකින් අඩුවී ඇති බව නොවේ. පසුගිය වසරේ දැනටමත් ඉහළ ගිය මිලට වඩා මේ වසරේ තවත් ඉහළ යන බවය. ජනතාවට දැනෙන්නේ උද්ධමන අනුපාතය නොව මිල මට්ටමයි. සංඛ්‍යාලේඛනවල උද්ධමනය අඩු වුවත්, වැටුපට මිලදී ගත හැකි ආහාර ප්‍රමාණය අඩු නම් ජීවන තත්ත්වය පහළ යයි.
රුපියලේ අගය ද එසේය. 2026 නොවැම්බර් 18 දින වන විට වාණිජ විනිමය අනුපාතයේ ඩොලරයක විකිණුම් අගය රුපියල් 337කට ආසන්නව පැවතුණි. රුපියල දුර්වල වන විට ඉන්ධන, ඖෂධ, යන්ත්‍රෝපකරණ, අමුද්‍රව්‍ය සහ ආනයනික ආහාරවල මිල ඉහළ යයි. එය නැවත නිෂ්පාදන වියදම සහ ජනතාවගේ ජීවන වියදම වැඩිකරයි. මේ චක්‍රය පාලනය නොකළහොත් මූල්‍ය ස්ථාවරත්වය ඉතා ඉක්මනින් දුර්වල විය හැකිය.
නිශ්ශබ්ද සුනාමිය
මේ සමස්ත තත්ත්වය මා දකින්නේ නිශ්ශබ්ද සුනාමියක් ලෙසය. සාමාන්‍ය සුනාමියක් පැමිණෙන විට මුහුද වෙනස් වෙයි. අනතුරු ඇඟවීම් ඇසෙයි. ජනතාව දුවන්නට පටන් ගනී. නමුත් ආර්ථික සුනාමිය පැමිණෙන්නේ එසේ නොවේ. එය නිවසක මාසික වියදම ක්‍රමයෙන් වැඩිකරයි. පවුලක් දිනපතා මිලදී ගන්නා ආහාර ප්‍රමාණය අඩු කරයි. දරුවකුගේ අමතර පන්තිය නවත්වයි. රෝගියකු ඖෂධ මාත්‍රාව අඩු කරයි. තරුණයකු රැකියාවක් සොයා රට හැර යයි. කුඩා ව්‍යාපාරිකයකු තම ව්‍යාපාරයේ සේවකයන් අඩු කරයි. ගොවියා ඊළඟ කන්නයේ වගා කරන භූමි ප්‍රමාණය සීමා කරයි.
අයවැය සාර්ථක වීමට නම්
ආණ්ඩුව දැන් කළ යුත්තේ ස්ථාවරත්වය ගැන කීම පමණක් නොවේ. එම ස්ථාවරත්වය නිෂ්පාදනය, ආයෝජනය, අපනයනය, රැකියා සහ සැබෑ ආදායම් වර්ධනයක් බවට පරිවර්තනය කිරීමය. IMF වැඩසටහනෙන් පසු යන මාර්ගය පැහැදිලි කිරීමය. අයවැයෙන් වෙන් කරන ප්‍රාග්ධන මුදල් නියමිත කාලයේදී ක්‍රියාත්මක කිරීමය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ණය සහ වෙළෙඳපොළ පහසුකම් සැලසීමය. කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ සේවා ක්ෂේත්‍ර අතර සම්බන්ධයක් ගොඩනඟා අපනයන ආර්ථිකයක් නිර්මාණය කිරීමය.
අයවැයක සැබෑ සාර්ථකත්වය පාර්ලිමේන්තුවේ අත්පොළසන්වලින් තීරණය වන්නේ නැත. එය තීරණය වන්නේ ජනතාවගේ කෑම මේසයේ, වෙළෙඳසලේ, කර්මාන්තශාලාවේ, ගොවිබිමේ සහ රැකියා වෙළෙඳපොළේය. එම ස්ථානවලින් ලැබෙන අනතුරු ඇඟවීම් ආණ්ඩුව දැන්ම තේරුම් නොගතහොත්, අද නිශ්ශබ්දව ගමන් කරන ආර්ථික සුනාමිය හෙට දේශපාලන හා සමාජ කුණාටුවක් බවට පත්විය හැකිය.
උපුටා ගැනීම - ලංකාදීප 'කිවිඳා දැක්ම'




