ක්‍රීඩා පිටියේදී ඉවත දමන පරණ බැඩ්මින්ටන් ෂටල්කොක් (Shuttlecocks) යොදාගෙන, පරිසරයට මෙන්ම සමාජයටත් ආදර්ශයක් දුන් 18 හැවිරිදි පාසල් සිසුවියක් ගැන කැනඩාවෙන් වාර්තා වෙනවා.
ඇය නමින් අන්යා යැන්ග් (Anya Yang). කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ මාක්හැම් නගරයේ පදිංචි ඇය, කුණු කූඩයට විසි කරන ෂටල්කොක් අලංකාර යතුරු රඳවන (Keychains) බවට පත් කරමින් අපූරු සමාජ ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.
ක්‍රීඩා පිටියෙන් පරිසරයට එකතු වන නිහඬ අර්බුදය
කැනඩාවේ 'නැෂනල් ඔබ්සර්වර්' (National Observer) පුවත්පත පෙන්වා දෙන පරිදි, ලොව පුරා මිලියන 339කට අධික පිරිසක් බැඩ්මින්ටන් ක්‍රීඩා කරනවා. එක් තරගාවලියක් අවසානයේ පිහාටු කැඩුණු ෂටල්කොක් දහස් ගණනක් කුණු කූඩවලට එකතු වීම සාමාන්‍ය දෙයක්.
ප්ලාස්ටික් සහ කිරළ (Cork) යොදා නිපදවන මෙම ෂටල්කොක් පරිසරයට දිරාපත් වීමට වසර 100ත් 400ත් අතර දීර්ඝ කාලයක් ගත වන බව පාරිසරික දත්ත පෙන්වා දෙනවා.
තමන් ප්‍රිය කරන ක්‍රීඩාව නිසා පරිසරයට සිදුවන මෙම හානිය දුටු අන්යාට, ඉවතලන දේට අලුත් වටිනාකමක් දීමට සිතුණා.
නිවසේ බිම් මහලෙන් ඇරඹි 'Birdie UP Canada'

මෙම අදහස ඇගේ සිතට පැමිණ ඇත්තේ වයස අවුරුදු 15 දීයි. කෙන්යානු වෙරළට ගොඩගසන පරණ රබර් සෙරෙප්පු යොදාගෙන වර්ණවත් මූර්ති නිර්මාණය කරන ජූලි චර්ච් නම් පරිසරවේදිනියගේ වීඩියෝවක් නැරඹීමෙන් ඇය මේ සඳහා පෙළඹී තිබෙනවා.
2024 ඔක්තෝබර් මාසයේදී අන්යා සිය මිතුරියන් වන ක්‍රිස්ටීන් ලියැන්ග් සහ අයිවි ෆෝචූන් සමඟ එක්ව 'Birdie UP Canada' නමින් සංවිධානයක් පිහිටුවා ගත්තා.
ඔවුන් තිදෙනා මුලින්ම නිවසේ බිම් මහලේ සිට, පරිත්‍යාග ලෙස ලැබුණු වර්ණ හා අමුද්‍රව්‍ය යොදාගෙන මෙම යතුරු රඳවන නිර්මාණය කිරීම ආරම්භ කළා.
ලෝක වනජීවී අරමුදලටත් අතහිත දුන් ජාතික ඇගයීම
මුල් කාලයේ ගෙයින් ගෙට ගොස් අලෙවි කළ මෙම නිර්මාණවලට පසුව විවිධ ප්‍රදර්ශනවලදී ඉහළ ඉල්ලුමක් ලැබුණා. ඉල්ලුම වැඩිවීමත් සමඟ යතුරු රඳවනයක මිල දෙගුණයකින් ඉහළ දැමීමට පවා ඔවුන්ට හැකි වී තිබෙනවා.
මෙම අලෙවියෙන් උපයාගත් මුදලින් කැනේඩියානු ඩොලර් 600කට ආසන්න මුදලක් ලෝක වනජීවී අරමුදලට (WWF) පරිත්‍යාග කිරීමට ඔවුන් කටයුතු කළා. සෙසු මුදල් පාරිසරික හා සමාජ සාධාරණත්වය වෙනුවෙන් ක්‍රියාත්මක වන පුණ්‍යායතන වෙත ලබා දී තිබෙනවා.
අනාගත පරපුරටත් පරිසර පාඩමක්

තිදෙනෙකුගෙන් ඇරඹි මෙම කණ්ඩායමට අද වන විට ස්වේච්ඡා සේවකයින් සිය ගණනක් එක්ව සිටිනවා. ඔවුන් කුඩා දරුවන් වෙනුවෙන් වැඩමුළු පවත්වමින්, ඉවතලන ද්‍රව්‍යවලට අගය එකතු කර අලුත් නිර්මාණ කරන ආකාරය (Upcycling) ප්‍රායෝගිකව උගන්වනවා.
එම වැඩමුළුවලදී දරුවන් තමන් විසින්ම සාදාගන්නා නිර්මාණ නිවසට රැගෙන යන අතර, ඒ හරහා ඔවුන්ගේ දෙමාපියන්ටත් පරිසර සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳ පණිවිඩය ගලා යන බව අන්යා පවසනවා.
කුණු කූඩයට විසි කරන දෙයක් දෙස අලුත් ඇසකින් බැලුවහොත්, එය මුදල් උපයන සහ පරිසරය රකින අපූරු සම්පතක් බවට පත් කරගත හැකි බව අන්යා ලොවටම ඔප්පු කර අවසන්.
වැඩිදුර තොරතුරු ඇතුළත් මූලාශ්‍ර සබැඳිය
Times of India මුල් වාර්තාව:



