අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය ....
රනිල් බදාදා උදේම මහින්දට දුරකථන ඇමතුමක් ගත්තේය. ඒ මහින්දගේ 81 වැනි උපන්දිනයට සුබ පතන්නටය.
"හලෝ මම සුබ ප්‍රාර්ථනා කරන්න කතා කළේ. වෙලාවක මම හම්බවෙන්න කියලා හිටියේ. ලබන සුමානේ ඇවිත් යන්න එන්නම්" යනුවෙන් රනිල් මහින්ද අමතමින් උපන්දින සුබ පැතුම් එක් කළේය.
මේ අතර සජබෙ වෘත්තීය සමිති නායකයකු වූ ආනන්ද පාලිත අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට යටින් තිබෙන අපූරු කතාවක් ගැන රනිල් සහ මන්ත්‍රී කණ්ඩායම් හමුවේදීද කතාබහට ලක් විය.
"ඇත්තටම ආනන්ද පාලිතට නීතිඥයන් දීලා තියෙන්නෙත් සජබෙන් නෙමෙයි. එජාපෙන් නිශ්ශංක නානායක්කාරත් දිනේෂ් විදානපතිරණත් දැම්මා. සජිත් ඇවිල්ලා විනාඩි දහයක් ඉඳලා ගියා. අනිත් පක්ෂවල අය තමයි මේ මිනිහා වෙනුවෙන් එතන හිටියේ" සමන් රත්නප්‍රිය එතැන සිදුවීම් ගැන කෙටි විස්තරයක් කළේය.
ආනන්ද පාලිත අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති උභතෝකෝටිකය
ආනන්ද පාලිත අත්අඩංගුවට පත්වීම පිටුපස තිබෙන උභතෝකෝටිකයන් ගැන මන්ත්‍රී කණ්ඩායම දැඩි කුහුලකින් කතා කරන්නට විය.

"සජබෙ නායක සජිත් සහ ආනන්ද පාලිත මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවී දින කිහිපයක් ගතවීමටත් පෙර ඔහු අත්අඩංගුවට පත්වීම එම උභතෝකෝටිකයයි. පසුගිය 11 වැනිදා පිටකෝට්ටේ සමගි ජන බලවේග මූලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම ගැටුම්කාරී තත්ත්වය ඇතිවී තිබේ. එහිදී ආනන්ද පාලිත කියා ඇත්තේ වත්මන් රජයේ ක්‍රියාමාර්ගවලට එරෙහිව ප්‍රධාන විපක්ෂය මීට වඩා සක්‍රීයව මැදිහත් විය යුතු බවයි.
එමෙන්ම රජයට එරෙහිව පාක්ෂිකයන් වීදිවලට කැඳවීමට පක්ෂය කටයුතු කළ යුතු බව ආනන්ද පාලිත මෙහිදී ප්‍රකාශ කර තිබිණි.
එම අවස්ථාවේ සජිත් දැඩි ලෙස කිපී ආනන්ද පාලිතට දැඩිව දොස් කියා ඇති බව දැනගන්නට ඇත. විනාඩි විස්සක් පමණ මෙම බහින්බස් වීම තිබූ බව දැනගන්නට ඇත."
මන්ත්‍රී කණ්ඩායම සඳහන් කළේ රජයට එරෙහිව ජනතාව වීදිවලට කැඳවිය යුතු බවට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී හඬ නැඟූ ආනන්ද පාලිත ඊට දින හතරකට පසුව මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වීම ගැඹුරින් සිතා බැලිය යුතු උභතෝකෝටිකයක් බවයි.
"බලාගෙන ගියාම දැන් ආණ්ඩුවට දොස් කියන එක භයානකයි. සජිත්ට දොස් කියන එක ඊට වඩා භයානකයි" මාන්නප්පෙරුම කී කතාවට රනිල්ටත් සිනහ නොවී ඉන්නට බැරි විය.
මාස 28ක සංචිත සටන සහ IMF ගමන
"මේ ආණ්ඩුවත් කරමින් ඉන්නේ අපි කරපු දේම තමයි. අපි කරපු හොඳ වැඩ ඉදිරියට ගෙන යනවාට අපි විරුද්ධත්වයක් නෑ ඒක රටට හොඳයි" රනිල් කීය.
මෙහිදී අදහස් දක්වමින් රනිල් සමයේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න පැවසුවේ රනිල් මාස 28ක් රට කළ අතර අනුර ද දැන් මාස 28ක් රට කර තිබෙන බවයි.
"ඔව්, මම ඒ කාලෙ රටේ සංචිත ඩොලර් බිලියන හයක් බවට පත් කළා. මේ ගොල්ලන්ගේ මාස 28 දී හොයාගෙන තියෙන්නේ ඩොලර් බිලියන එකයි. අපේ සැලසුම තිබුණේ සංචිත ඩොලර් බිලියන 10-11 අගයකට යන්න" රනිල් ඊට කෙටියෙන් උත්තරයක් දුන්නේය.
"ඒගොල්ලෝ දැන් අයි.එම්.එෆ්. එකට යන්නේ නැති එක ගැන මොකක්ද කියන්නේ. ඒගොල්ලෝ අයි.එම්.එෆ්. එකට යන්නේ නෑ. ඒක තමයි ප්‍රතිපත්තිය. අනුර ජනාධිපතිවරයා බලයට එද්දි කිව්වේ තියෙන එක ඉදිරියට ගෙනියනවා කියලා. ඒ ගමන ඉවර වුණාම තවදුරටත් ඒ ප්‍රතිපත්තියේ ඉන්නවද නැද්ද කියන කාරණය ඒගොල්ලෝ තීරණය කරන්න ඕන.
අපි දෙවැනි ගිවිසුමකට යන්න හිටියේ නෑ. මොකද අප පළවෙනි එකෙන්ම අවශ්‍ය කාරණා කර ගන්න සැලසුමක හිටපු නිසා. ඒත් අපි අයි.එම්.එෆ්. එක්ක වැඩ කරන්න හිටියා. වෙනත් ඒවා ගැන සාකච්ඡා කරලා ආධාර ගන්න" රනිල් ඒ අතර අයි.එම්.එෆ්. සම්බන්ධයෙන් තම අදහස විස්තර කළේය.
"අයි.එම්.එෆ්. යන්නේ නැතුව මේ අයට ඉතුරු ටික කරගන්න පුළුවන්ද?" වජිර ඇසූ පැනයකට පිළිතුරු දෙමින් රනිල් කීවේ "අයි.එම්.එෆ්. ගියත් කරගන්න බෑ" යනුවෙනි.
"ආණ්ඩුව කියනවනේ ඕන තරම් රුපියල් තියෙනවා කියලා. එක අතකට එතකොට මොකටද අයි.එම්.එෆ්. ආණ්ඩුව ඇහුම්කන් දෙන්නේ ව්‍යාපාරිකයන්ටද, පැලවත්තේ දේශපාලන මණ්ඩලයටද බලමු" රනිල් පැවසූයේ උපහාසයෙනි.
"ඇත්තටම සර් මේ රට ගොඩදාලා දුන්නා. ඊට පස්සේ වගකීමක් දුන්නනේ මිනිස්සු එකතු වෙලා. අපි බලමු ඒ අය කරන හැටි" මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම එලෙස කීහ.
එජාපය අල්ලන්න යන Gen Z තුරුම්පුව
මිලේනියල් සහ ජෙන් Z පරපුර එක්සත් ජාතික පක්ෂයේ ශක්තිමත් බලවේගයක් ලෙස ගොඩනැගීමේ වැඩපිළිවෙළ මේ වන විටත් ආරම්භ වී පවතී. සමාජ මාධ්‍ය අතරට ගොස් වැඩ ඇරැඹීම ඔවුන්ගේ අරමුණ වී තිබේ. ඔවුන් හිතන පතන ආකාරයට ඉදිරි වැඩ කටයුතු ඉටු කිරීමට පක්ෂයෙන් සම්පූර්ණ නිදහස ලබා දී ඇත. රනිල් කරන්නේ ඔවුන්ගේ වැඩ කටයුතු පිළිබඳ අඩුපාඩුවක් වෙතොත් එය පෙන්වාදීම පමණි.

දේශපාලන පක්ෂයක් විසින් මිලේනියල් සහ ජෙන් Z පරපුර ඉලක්ක කර ගනිමින් මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේ පළමු වතාවටයි. ඊළඟ මැතිවරණයේ තීරණාත්මක බලවේගය වන්නේ මොවුන්ය. ජෙන් Z පරපුර යොදා ගනිමින් බලවේග නිර්මාණය කළ අවට රටවල අත්දැකීම්ද අධ්‍යයනය කරමින් සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම එක්සත් ජාතික පක්ෂයේ අරමුණ වී තිබේ. ඒ සඳහා උපදෙස් ලබා දීමට අදාළ විදෙස් නියෝජිතයන්ද ලංකාවට පැමිණීමට නියමිත බව දැනගන්නට ඇත.
රනිල්ගේ යුගය සහ වත්මන් ආර්ථිකය ගැන ජී.එල්.ගේ විවරණය
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ජී.එල්.ගේ ප්‍රධානත්වයෙන් මේ සතියේත් කොළඹදී රැස්විය. එහිදී මූලික අවධානය යොමු වූයේ රනිල් රට කළ යුගයේ තත්ත්වය සහ වත්මන් තත්ත්වය සංසන්දනය කිරීමටයි.
මන්ත්‍රී කණ්ඩායම අමතමින් ජී.එල්. වැදගත් විවරණයක් ඉදිරිපත් කළේය.
"ව්‍යාපාරික ප්‍රජාව තුළ පැහැදිලි හිඩැසක් තියෙනවා. මේ ආර්ථිකය ඉතාමත් නරක අඩියකට වැටිලා තියෙන්නේ. මේක ගොඩගන්න පුළුවන් රනිල්ට කියන විශ්වාසයක් ගොඩනැඟෙමින් පවතිනවා.
රනිල් රට බාර ගන්න කොට භාවිතා කරන්න පුළුවන් විදේශ සංචිත තිබුණේ ඩොලර් මිලියන 20යි. රනිල්ගේ මාස 28 ඇතුළත ඒ මුදල ඩොලර් මිලියන 6000 දක්වා වැඩි කරන්න පුළුවන් වුණා.
දැන් මේ ආණ්ඩුවත් මාස 26ක් රට පාලනය කරලා තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට විදේශ සංචිත වැඩි කරන්න පුළුවන් වුණේ ඩොලර් මිලියන 1000යි. දැන් පවතින ස්ථාවරත්වයට රට ආවේ රනිල් ගත්ත පියවර නිසා.
රනිල්ගේ ආණ්ඩුවේ දර්ශනය වුණේ ඉස්සෙල්ලා ස්ථාවරභාවය ඇති කරලා ඊට පස්සේ වර්ධනය ලබා ගැනීම.
ඒකට තිබිච්ච ප්‍රධාන යන්ත්‍රණය තමයි ආර්ථික ප්‍රතිසංස්කරණ පනත. ඒකෙන් තමයි ඒ වර්ධනය ඇති කරන්න සැලසුම් හදලා තිබුණේ. මේ රජය කළේ ඒක සම්පූර්ණයෙන් අත්හිටෙව්ව එක. ඒකේ ප්‍රතිඵලය තමයි පහුගිය අවුරුදු දෙක තුළ කිසිම මහා පරිමාණ ආයෝජනයක් රටට ආවේ නැහැ. ඒක විතරක් නෙමෙයි, තිබුණු ආයෝජන රට අතහැරලා යන්න පටන් ගත්තා.
අනෙක බජට් එක පිළිබඳ මිනිස්සුන්ගේ කුතුහලයක් නැහැනේ. මොකද ඒවා සංඛ්‍යා ලේඛනවලට සීමා වෙලා කියලා මිනිස්සු දන්නවා. කෝටි ප්‍රකෝටි ගණන් ප්‍රාග්ධනය වෙන් කළත් ක්‍රියාත්මක වීමක් නෑ. ඒවායින් අවුරුද්ද අන්තිමටම වියදම් කරන්න පුළුවන් වන්නේ 30-40% අතර. මේ මුදල් වියදම් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ ටෙන්ඩර් පරිපාටි හරහා නේ.
දැන් ටෙන්ඩර්වලට අත තියන්න රජයේ නිලධාරීන් බයයි. විමර්ශන, හිරේ යනවා. සද්භාවයෙන් තීරණ ගන්න රජයේ නිලධාරීන් ආරක්ෂා කිරීම සඳහා කිසිම වැඩපිළිවෙළක් නැහැ" ජී.එල්. පැවසීය.
ශ්‍රීලනිප අර්බුදය විසඳීම සහ දයාසිරිට ලැබෙන්න යන තනතුර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතුව ඇති අර්බුදය විසඳීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල්.ට වැඩි වැඩ කොටසක් පැවරී තිබේ. රනිල්ද ජී.එල්. අමතමින් ඊට මැදිහත් වන ලෙස දැනුම් දුන්නේය. ඒ අනුව දයාසිරි පාර්ශ්වය සහ නිමල් සිරිපාල පාර්ශ්වය අතර ජී.එල්. විටින් විට කරුණු හුවමාරු කර ගනිමින් සිටී. සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව රනිල් හමුවට ආ ජී.එල්. විස්තර කළේය. දෙපාර්ශ්වයේම පවතින සාධාරණ ඉල්ලීම් පිළිබඳව එහිදී කතිකාවට ලක්විය.
එම හමුවේදී අදහස් දක්වමින් හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න කීවේ දයාසිරි විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විශාල කාර්යභාරයක් සිදුකරමින් සිටින බවයි. එම වැඩ කොටසත් ඇගයීමට ලක්විය යුතු බව දිනිත් වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව පාර්ලිමේන්තුවේ දයාසිරිගේ කාර්යභාරය අගයමින් ඔහුට ඉදිරියේදී විපක්ෂය පැත්තෙන් ලොකු තනතුරක් ලැබෙනු ඇතැයි දැනගන්නට තිබේ.
(සටහන | මල් පාරේ ලියුම්කරු)



