කොළඹ කොටුවේ ඉදිවන ආන්දෝලනාත්මක 'ක්‍රිෂ්' (Krrish) ගොඩනැගිලි ව්‍යාපෘතියට අදාළ මූල්‍ය ගනුදෙනු පිළිබඳ නඩුව අද (20) යළිත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් පවරා ඇති මෙම නඩුවේ විමර්ශන කටයුතු, මේ වන විට දේශීය මෙන්ම විදේශීය පාර්ශ්වයන් වෙත ද යොමු වෙමින් තිබෙනවා.
ජානකි සිරිවර්ධන තවදුරටත් රිමාන්ඩ් - නාමල් ගැන නියෝගය කුමක්ද?
මෙම නඩුවේ තුන්වන සැකකාරිය ලෙස නම් කර සිටින ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් කලම්බු සමාගමේ හිටපු අධ්යක්ෂවරියක වන ජානකි සිරිවර්ධන ලබන මස 01 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද නියෝග කළා. ඇය වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ඉදිරි දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
මේ අතර, නඩුවේ සිව්වන සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට මීට පෙර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප හිමිව තිබුණා. අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණය, පසුගිය 18 වනදා එම ඇප නියෝගය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ බව අද අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුව, ලබන මස 01 වනදා වන විට මන්ත්‍රීවරයා බන්ධනාගාරගතව සිටින්නේ නම්, ඔහුව එදිනට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළා.
විදේශීය අධ්‍යක්ෂවරුන්ට එරෙහිව වරෙන්තු ඉල්ලීමේ සූදානමක්
ක්‍රිෂ් සමාගමේ අධ්යක්ෂවරුන් ලෙස කටයුතු කළ ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අධිකරණය හමුවට ගෙන්වා ගැනීමට අල්ලස් කොමිසම දැන් පියවර ගනිමින් සිටිනවා.
නඩුවේ පළමු, දෙවන සහ හයවන සැකකරුවන් වන අමිත් කට්ටයාර්, රාජේන්ද්‍ර ප්‍රසාද් ගුප්තා සහ ආශ්චර්යා සෝනි යන අයට වරෙන්තු නිකුත් කර ගැනීම සඳහා ඉදිරි දිනයේදී අධිකරණය හමුවේ සාක්ෂි මෙහෙයවීමට බලාපොරොත්තු වන බව කොමිසම අද දැනුම් දුන්නා.
ඉඩම් පැවරීම සහ අත්අකුරු පරීක්ෂාවේ නවතම තත්ත්වය
මෙම ව්‍යාපෘතියට අදාළ ඉඩම කොළඹ නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා දීමේ ක්‍රියාවලිය ගැන ද අල්ලස් කොමිසම විශේෂ හෙළිදරව්වක් කළා. එවකට සිටි හිටපු ජනාධිපතිවරයා විසින් දීමනා පත්‍රයක් මගින් මෙම ඉඩම ලබා දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි කොමිසම අධිකරණයට කියා සිටියා.
විමර්ශනවලට අදාළ තවත් තීරණාත්මක පියවර දෙකක් පිළිබඳව ද මෙහිදී කරුණු වාර්තා වුණා:
| මිනින්දෝරු වාර්තා:
ගොඩනැගිල්ල ඉදිකිරීමට අදාළ මැනුම් කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
| අත්අකුරු පරීක්ෂාව:
නාමල් රාජපක්ෂ ගේ අත්අකුරු පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය ලේඛන කොළඹ මහාධිකරණය හරහා ලබා ගැනීමට පියවර ගෙන තිබෙනවා. රජයේ රස පරීක්ෂකවරයා දැනුම් දෙන දිනයක එම ලේඛන පරීක්ෂාව සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, වරෙන්තු නිකුත් කිරීමට අදාළ සාක්ෂි විභාගය ලබන මස 01 වනදා කැඳවීමට නියෝග කළා.



