දමිළ සාහිත්‍යයේ ප්‍රමුඛ නූතන කවියකු, සමාජ විද්‍යාඥයකු, මාධ්‍යවේදියකු මෙන් ම විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු වූ රුද්‍රමූර්ති චේරන් (R. Cheran / Rudhramoorthy Cheran) පසුගිය 18 වැනිදා රාත්‍රියේ කැනඩාවේ ටොරොන්ටෝහි දී අභාවප්‍රාප්ත විය.
ඔහු මිය යන විට 66වන වියේ පසු විය. පවුලේ ආරංචි මාර්ගවලට ඔහු කලක් වකුගඩු රෝගයකට ප්‍රතිකාර ලබමින් සිට ඇත.
1960 වසරේ යාපනය, අලවෙඩ්ඩි ප්‍රදේශයේ දී උපන් චේරන් ගේ පියා වූයේ ඊළාම් දෙමළ සාහිත්‍යයේ ප්‍රමුඛ කවියකු වූ මහාකවි (තු. රුද්‍රමූර්ති) ය. එබැවින් කුඩා කල සිට ම චේරන්ට ද දෙමළ සාහිත්‍යය සහ කවිය සම සමීප සබඳතාවක් ඇති විය.
චේරන් යාපනය විශ්වවිද්‍යාලයෙන් ජීව විද්‍යා විෂයයෙන් උපාධිය ලබා පසුව නෙදර්ලන්තයේ පශ්චාත් උපාධියක් හදාරා, කැනඩාවේ York University වෙතින් සමාජ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ඇත. පසුව කැනඩාවේ University of Windsor හි සමාජ විද්‍යා මහාචාර්යවරයකු ලෙස කටයුතු කළේ ය. ඔහු ගේ ශාස්ත්‍රීය පර්යේෂණවල ප්‍රධාන ක්ෂේත්‍ර වූයේ දෙමළ ඩයස්පෝරාව, ජනවාර්ගික ගැටුම්, ජාතිකවාදය, සංක්‍රමණය, යටත්විජිතවාදය සහ ජන සංහාරය යනාදි මාතෘකා ය.
චේරන් නමැති කවියා
චේරන් ගේ කවිය විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව අත්විඳි යුද්ධය, ප්‍රචණ්ඩත්වය, අවතැන්වීම, මතකය, මරණය සහ නිජබිම පිළිබඳ වේදනාව සමඟ බැඳී පවතී.
1981 යාපනය පුස්තකාලය ගිනි තැබූ අවස්ථාවේ ඔහු යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු විය. එම සිදුවීම ඔහුගේ කාව්‍ය ලෝකයට දැඩි බලපෑමක් ඇති කළ අතර, 1982 දී පළ වූ ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහය වූ Irandaavathu Sooriya Uthayam (දෙවන සූර්ය උදාව) එම අත්දැකීම සමග ගැඹුරින් බැඳී තිබිණි.
ඔහුගේ ප්‍රධාන කාව්‍ය කෘති අතර: Irandaavathu Sooriya Uthayam (දෙවන සූර්ය උදාව), Yaman, Kaanal Vari, Elumbukoodugalin Oorvalam, Nee Ippozhudhu Irangum Aaru (ඔබ දැන් බැස යන ගඟ), Meendum Kadalukku (නැවතත් මුහුදට), Kaadaatru සහ Agnar යනාදි කෘති සඳහන් කළ හැකි ය.
ඔහු දෙමළ බසින් කාව්‍ය සංග්‍රහ අටක් පමණ ප්‍රකාශයට පත් කර ඇති අතර, සමස්ත සාහිත්‍ය කෘති සංඛ්‍යාව 15කට වැඩි බව මෑත වාර්තා සඳහන් කරයි.
චේරන්ගේ සාහිත්‍ය මෙහෙවර ගැන ලියන විට අනිවාර්යයෙන් සඳහන් කළ යුතු කෘතියක් වන්නේ (Maranathul Vaazhvoom / We Will Live Amidst Death -‘මරණය තුළ ජීවත් වෙමු’) නමැති කෘතිය යි. 1985 වසරේ දී තවත් දමිළ කවියකු වූ මුර්ගයියන් සමඟ එක්ව චේරන් විසින් සංස්කරණය කරන ලද මෙම කාව්‍ය සංග්‍රහය ඊළාම් යුද සමයේ දෙමළ කාව්‍යයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකිල්ලට බඳුන් විය.
චේරන් නමැති මාධ්‍යවේදියා
1980 දශකයේ යාපනයෙන් පළ වූ ඉංග්‍රීසි සතිපතා පුවත්පතක් වූ Saturday Review සමග ද ඔහු සම්බන්ධ විය. ඒමෙන් ම හෙතෙම මාධ්‍ය නිදහස සහ මානව හිමිකම් වෙනුවෙන් ප්‍රබල ලෙස පෙනී සිටියේ ය. පසුව Sarinihar නම් දෙමළ පුවත්පත පිහිටුවීමට ද ඔහු දායකත්වය හිමි වුණි.
චේරන් ගේ විදේශගත ජීවිතය සහ සාහිත්‍යය
චේරන් 1980 දශකයේ අගභාගයේ දී නෙදර්ලන්තයට ගොස් පසුව කැනඩාවට සංක්‍රමණය විය. ඔහු ගේ විදේශගත ජීවිතය ඔහු ගේ කවියේ තවත් වැදගත් මානයක් බවට පත් විය. නිජබිම, පිටුවහල්භාවය, මතකය සහ ඩයස්පෝරාව ඔහුගේ නිර්මාණ හා ශාස්ත්‍රීය කාර්යයේ මූලික තේමා බවට පත්විය.
ඔහුගේ නිර්මාණ ඉංග්‍රීසි, සිංහල, ප්‍රංශ, ජර්මන් ඇතුළු භාෂා 20කට වැඩි ගණනකට පරිවර්තනය වී තිබේ. 2025 අගෝස්තු මාසයේ දී ඔහු ගේ තෝරාගත් කවි සිංහලට පරිවර්තනය කළ ''ළසෝ දියවෙන භූමිය'' නම් කෘතිය කොළඹ ජාතික පුස්තකාලයේ දී එළිදක්වන අවස්ථාවේ දී චේරන් ද එයට සහභාගි විය.
චේරන් ලද සම්මාන සහ ඇගයීම්
ඔහුට ලැබුණු වැදගත් ඇගයීම් අතර Tamil Literary Garden Poetry Award (2006) සහ ONV International Poet Award විශේෂත්වයක් උසුලයි. ONV සම්මානය ඔහුට 2017දී හිමි වූ බව Tamil Literary Garden හි ලේඛන සඳහන් කරයි. ඔහුගේ නිර්මාණ ජාත්‍යන්තර සාහිත්‍ය උළෙල රැසකදී ඇගයීමට ලක්ව තිබේ.
චේරන් ගේ කවිය යුද්ධය පිළිබඳ ව ලියූ කවියක් පමණක් නොවේ; යුද්ධය, මිනිස් මතකය, නිජබිම, අනන්‍යතාව සහ පිටුවහල්භාවය තුළ තබා ගිය තුවාලය කියවීමට ගත් උත්සාහයකි. එම නිසා චේරන් යනු කවියකු පමණක් නොව, තම යුගයේ සාක්ෂිකරුවකු ලෙස ද කියවාගත යුතු ය. මන් ද ඔහු ගේ කවිය සහ ශාස්ත්‍රීය කාර්යය එකිනෙකින් වෙන් කළ නොහැකි තරම් සමීප ය.



