ලෝක ප්‍රකට 'Travel + Leisure' සඟරාව 2027 වසරේ සංචාරය කිරීමට හොඳම රට ලෙස ඉන්දියාව නම් කර තිබේ.
අධ්‍යාත්මික බව, විවිධ සංස්කෘතීන් සහ අසීමිත වර්ණවලින් පිරි ඉන්දියාව සැමදා ලෝකයේ කුතුහලය දිනාගත් දේශයකි. සංචාරක අත්පොත්වල ඇති සුන්දර චිත්‍රයට වඩා, සැබෑ ඉන්දියාව තුළ සංචාරය කිරීම ඊට හාත්පසින්ම වෙනස් අත්දැකීමකි.
විශේෂයෙන්ම කාන්තාවන්ට ඉන්දියාව තුළ තනිව සංචාරය කිරීම අභියෝගාත්මක බවට ලෝකයේ මතයක් පවතී. සංචාරක ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල කාන්තාවන් තිදෙනෙකු 'ද ගාඩියන්' (The Guardian) පුවත්පත සමඟ පවසන්නේ, සාම්ප්‍රදායික සංචාරක ස්ථානවලින් ඔබ්බට ගිය විට ඉන්දියාවේ සැබෑ හදගැස්ම විඳගත හැකි බවයි.
ස්වභාවධර්මයේ හඬ පමණක් ඇසෙන හිමාලයේ චාරිකාව
සංචාරක ලේඛිකා ශිව්‍යා නාත් සිය ජීවිතයේ අමතක නොවන ගමන ලෙස හඳුන්වන්නේ හිමාචල් ප්‍රදේශයේ 'තිර්තන්' (Tirthan) නිම්නය හරහා ගිය පාගමනයි.
පිරිමින්ගේ ආධිපත්‍යයට නතු වූ කඳු නැගීමේ ක්ෂේත්‍රය තුළ, ඇය මේ ගමන ගියේ ප්‍රදේශයේ පුහුණුව ලත් කාන්තා මාර්ගෝපදේශකයින් පිරිසක් සමඟයි.
එම කාන්තාවන්ට නිවසින් පිටත රාත්‍රී දෙකක් ගත කිරීමට පවා පවුලේ අයගේ අවසරය ලබා ගැනීමට විශාල සටනක් කිරීමට සිදුව තිබුණි.
ඝන වනාන්තර, පැරණි පාලම් සහ ගලා යන ගංගා මැදින් ගිය එම ගමනේදී ඇසුණේ කුරුල්ලන්ගේ නාදය පමණි. කැලෑවෙන් නෙළාගත් පලා වර්ග උයාගෙන ගං ඉවුරේ කඳවුරු බැඳගත් ඒ රාත්‍රිය, ස්වභාවධර්මය සමඟ බැඳුණු අපූරු අත්දැකීමක් වූ බව ශිව්‍යා පවසයි.
ගැමි සංස්කෘතිය සහ නොදුටු සමාජ චාරිත්‍ර
බැංගලෝරයේ වෘත්තිකයෙකු වන අෆ්ෂා සේතිට වඩාත් සමීපතම අත්දැකීම ලැබී ඇත්තේ උතුරු කර්ණාටක ප්‍රදේශයේ ගොවි පවුලක් සමඟ සතියක් ගත කිරීමෙනි. පාසල් ව්‍යාපෘතියක් ලෙස ඇය එහි ගොස් වී සහ පුවක් වගා කරන ගැමියන්ගේ ජීවිතය අත්විඳ තිබේ.
දිය ඇලි සහ වනාන්තර මැදින් ඇවිද ගොස් කකුල්වල එල්ලෙන කූඩැල්ලන්ට ලුණු දමමින් ගෙවූ ඒ දින කිහිපය ඇයට අලුත් ලෝකයක් විවර කළේය.
එම නිවසේ නැවතී සිටියදී, ඇගේ මිතුරියට මාස් ශුද්ධිය ඇති වූ බව දැනගත් ගැමි පවුල ඔවුන් දෙදෙනාට නිදා ගැනීමට නිවසේ මිදුල සකස් කර දී තිබේ. ගැමි සංස්කෘතියේ එවැනි චාරිත්‍රවලට මුහුණ දීමට සිදු වුවද, අහසේ තරු දෙස බලමින් රාත්‍රිය පුරා කතාබහ කරමින් ගෙවූ ඒ කාලය ඉතා සුන්දර මතකයක් බව අෆ්ෂා සිහිපත් කරයි.
සංචාරක තදබදය සහ 'ඉන්ස්ටග්‍රෑම්' අභියෝගය
ඉන්දියාවේ සංචාරක කර්මාන්තයේ සීඝ්‍ර දියුණුවට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ දේශීය සංචාරකයින්ගේ වැඩිවීමයි. 2024 වසරේදී පමණක් ඉන්දියාව තුළ දේශීය සංචාරක ගමන් වාර බිලියන 2.95කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, එය පෙර වසරට වඩා 17.5%ක වර්ධනයකි.
ලෝක ආර්ථික සංසදයේ 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ 31 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඉන්දියාව සමත්ව සිටී. ඉන්දියාවට පැමිණෙන විදේශීය සංචාරකයින්ගෙන් 43%ක්ම කාන්තාවන් වීමද කැපී පෙනෙන කරුණකි.
සංචාරකයින් වැඩිවීමත් සමඟ ඇති වී තිබෙන ප්‍රධාන ගැටලුවක් ගැන ගෝවේ පදිංචි නයනිකා ගැෆිනෝ පෙන්වා දෙයි. කිසියම් සුන්දර ස්ථානයක ඡායාරූපයක් 'Instagram' වැනි සමාජ මාධ්‍යයක පළ වූ සැණින්, එම ස්ථානයට දරාගත නොහැකි තරම් සෙනඟක් ඇදී එන බව ඇය පවසයි.
මේ නිසා සුන්දර පරිසර පද්ධති විනාශ වීමේ අවදානමක් මතුව තිබේ. සංචාරය කරන ස්ථානවල නිශ්චිත පිහිටීම (Geotag) සමාජ මාධ්‍යවල පළ කිරීමෙන් වළකින ලෙසත්, ප්‍රදේශයේ ජනතාවට සෘජුවම ආදායම් ලැබෙන ප්‍රජා සංචාරක ව්‍යාපෘති තෝරා ගන්නා ලෙසත් සංචාරක ලේඛිකා ශිව්‍යා නාත් ඉල්ලා සිටී.
ආරක්ෂාව සහ සත්කාරය
තනිව සංචාරය කරන කාන්තාවන් තම ආරක්ෂාව සහ පිරිසිදු වැසිකිළි පහසුකම් ගැන සැලකිලිමත් විය යුතු බව මේ තිදෙනාම පිළිගනී. විශාල තරු හෝටල් වෙනුවට, පවුල් විසින් පවත්වාගෙන යන කුඩා නවාතැන්පොළවල් (Homestays) තෝරා ගැනීම තනිව යන කාන්තාවන්ට වඩාත් ආරක්ෂිත බව ඔවුන්ගේ අදහසයි.
ඉන්දියාව යනු ඕනෑම අමුත්තෙකුට තේ කෝප්පයකින් හෝ ආහාර වේලකින් සංග්‍රහ කිරීමට සැදී පැහැදී සිටින ආගන්තුක සත්කාරයෙන් පිරි රටකි. සැබෑ සංචාරකයෙකු කළ යුත්තේ තමන් දකින සුන්දරත්වය විඳගන්නා අතරම, එම පරිසරය සහ සංස්කෘතිය ආරක්ෂා වන පරිදි වගකීමෙන් හැසිරීමයි.
වැඩිදුර තොරතුරු ඇතුළත් මූලාශ්‍ර සබැඳිය:
India has been named a ‘destination of the year’ for 2027 – The Guardian



