චීනයේ බීජිං නුවර පැවති ආසියා–පැසිෆික් අභ්‍යවකාශ සහයෝගිතා සංවිධානයේ (APSCO) සිව්වැනි නායකත්ව සංවර්ධන සමුළුව අමතමින්, Supreme Global Holdings සහ SupremeSAT සමාගම්වල සභාපති ආර්. එම්. මනිවන්නන් මහතා ජාත්‍යන්තර ආයෝජකයන්ට විවෘත ඇරයුමක් කළේය.
ඊයේ (නොවැම්බර් 19 වැනිදා) පැවති මෙම සමුළුවට චීන රජයේ නියෝජිතයන් ඇතුළු ලොව ප්රමුඛ පෙළේ විද්‍යාඥයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ අභ්‍යවකාශ කර්මාන්තයේ ප්‍රධානීන් රැසක් එක්ව සිටියහ.
පුංචි දිවයිනක විශාල සිහිනයක්
2012 වසරේදී අභ්‍යවකාශ තාක්ෂණය යනු ශ්‍රී ලංකාවට ඉතා දුරස්ථ මාතෘකාවක් වූ බව මනිවන්නන් මහතා සිය දේශනය ආරම්භයේදී සිහිපත් කළේය.
ධනවත් රටවල් සතු මූල්‍ය ශක්තිය හෝ තාක්ෂණික අත්දැකීම් මෙරටට නොතිබූ යුගයක, ශ්‍රී ලංකාවද ගෝලීය අභ්‍යවකාශ කර්මාන්තයේ කොටස්කරුවෙකු විය යුතුය යන සිහිනය ඔහු තුළ තිබුණි.
එම සිහිනය යථාර්ථයක් කරමින් 2012 නොවැම්බර් 27 වැනිදා චීනයේ ෂීචැං මධ්‍යස්ථානයෙන් 'Long March' රොකට්ටුවක් මඟින් SupremeSAT-1 චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කෙරුණි.
"චීන මිතුරන් බැලුවේ අපේ රටේ ප්‍රමාණය නොවෙයි; අපේ සිහිනයේ විශාලත්වයයි" යනුවෙන් ඔහු බීජිං සමුළුවේදී කළ ප්‍රකාශය සභාවේ විශේෂ අවධානයට ලක්විය.
අභ්‍යවකාශ කර්මාන්තයට එක්වීමට රටක් රොකට් නිපදවීම හෝ චන්ද්‍රිකා සිය ගණනක් හිමිකර ගැනීම අත්‍යවශ්‍ය නොවන බවත්, අවශ්‍ය වන්නේ නිවැරදි දැක්මක් සහ විශ්වාසවන්ත හවුල්කරුවන් පමණක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
මහනුවර පිහිටි චන්ද්‍රිකා මෙහෙයුම් මධ්‍යස්ථානය (Kandy Teleport) හරහා අද වන විට ජාත්‍යන්තර පාරිභෝගිකයන්ට සේවා සපයන බවත්, එය ලොව වේගයෙන්ම වර්ධනය වන මධ්‍යස්ථානයක් ලෙස ජාත්‍යන්තර ඇගයීමට ලක්ව ඇති බවත් ඔහු සඳහන් කළේය.
පුණ්‍යාධාර වෙනුවට ගෝලීය හවුල්කාරිත්වයක්
නව තාක්ෂණයන් ලොවට පැමිණෙන විට ධනවත් රටවල් ඒවායේ ප්රතිලාභ අත්පත් කරගන්නා බවත්, දියුණු වෙමින් පවතින රටවල් හුදෙක් එම තාක්ෂණයන් මිලදී ගන්නා පාරිභෝගිකයන් බවට පත්ව ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
කෘත්‍රිම බුද්ධිය (AI) වැනි නවීන තාක්ෂණික ක්ෂේත්රවලදී මෙම තත්ත්වය වෙනස් විය යුතු බව මනිවන්නන් මහතාගේ අදහසයි.
"අප ඉල්ලා සිටින්නේ පුණ්‍යාධාර නොවෙයි; අප ඉල්ලා සිටින්නේ හවුල්කාරිත්වයයි" යනුවෙන් ඔහු ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ අවධාරණය කළේය.
දක්ෂතා ලොව සෑම තැනකම පවතින බැවින්, නව තාක්ෂණයන් සමඟ ඉදිරියට යාමට සෑම රටකටම සමාන අවස්ථා හිමිවිය යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ගමේ දරුවාටත් ලෝකය දිනන අනාගතයක්
Supreme Global Holdings ආයතනය මේ වන විට ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එක්ව කෘත්‍රිම බුද්ධි දත්ත මධ්‍යස්ථාන (AI Data Centers), පුනර්ජනනීය බලශක්තිය සහ පරිසර හිතකාමී නව ඉන්ධන වර්ග (හරිත ඇමෝනියා) වැනි ක්ෂේත්‍ර ඔස්සේ මෙරටට නව ආයෝජන ගෙන ඒමට කටයුතු කරමින් සිටී.
ලොව නවීනතම තාක්ෂණය සමඟ වැඩ කිරීමට ශ්‍රී ලාංකික තරුණ ඉංජිනේරුවන්ට සිය මව්බිම හැර යාමට අවශ්‍ය නොවන පරිසරයක් ගොඩනැඟීම සිය ප්‍රධාන අරමුණ බව ඔහු පැවසීය.
දුර බැහැර ගම්මානයක සිටින දරුවෙකුට පවා බීජිං, ලන්ඩන් හෝ නිව්යෝර්ක් නගරයක දරුවෙකුට ලැබෙන තාක්ෂණික අධ්‍යාපනය හා දැනුම ලබාදීමේ වැදගත්කම මනිවන්නන් මහතා මෙහිදී පැහැදිලි කළේය.
ජනතාවගේ ජීවිත යහපත් කරන තාක්ෂණය
ස්වාභාවික විපත් කළමනාකරණය, දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම වැනි පෘථිවියේ සැබෑ ගැටලු විසඳීමට අභ්‍යවකාශ තාක්ෂණය යොදාගත යුතු බව ඔහු APSCO සමුළුවට යෝජනා කළේය.
තාක්ෂණයේ විශිෂ්ටතම ජයග්‍රහණය මැනිය යුත්තේ එය අපට කොතරම් බලවත් බවක් ලබා දෙන්නේද යන්න මත නොව, සාමාන්‍ය ජනතාවගේ ජීවිත කොතරම් යහපත් කරන්නේද යන්න මත බව ඔහු සිය දේශනය අවසන් කරමින් සඳහන් කළේය.

චීනයේ බීජිං නුවර පැවති ආසියා–පැසිෆික් අභ්‍යවකාශ සහයෝගිතා සංවිධානයේ (APSCO) සිව්වැනි නායකත්ව සංවර්ධන සමුළුව අමතමින් Supreme Global Holdings සහ SupremeSAT සමාගම්වල සභාපති ආර්. එම්. මනිවන්නන් මහතා සිය දේශනය පවත්වන අයුරු.
මනිවන්නන් චීනයේදී කළ සම්පූර්ණ දේශනය මෙන්න
2026 නොවැම්බර් 19 වැනි දින චීනයේ පැවති ආසියා–පැසිෆික් අභ්‍යවකාශ සහයෝගිතා සංවිධානයේ (APSCO) සමුළුවේදී, Supreme Global Holdings සහ SupremeSAT සමාගම්වල සභාපති ආර්. එම්. මනිවන්නන් මහතා විසින් පවත්වන ලද සම්පූර්ණ දේශනයේ සිංහල පරිවර්තනය මතු පළවේ.
ගෞරවනීය ආසියා–පැසිෆික් අභ්‍යවකාශ සහයෝගිතා සංවිධානයේ නියමු නිලධාරී මණ්ඩලයෙන්ද, චීන රජයේ ගෞරවනීය නියෝජිතවරුන්ගෙන්ද, ගරු මහත්ම මහත්මීන්ගෙන්ද අවසරයි.
මා හිතවත්, නෝනාවරුනි, මහත්වරුනි, මගේ ආදරණීය මිතුරනි,
සුබ උදෑසනක්!
සුන්දර හා ගෞරවනීය චීන රාජ්‍ය තුළදී ඔබ අමතන්නට ලැබීම මට මහත් සතුටක්. චීනය මගේ හදවතේ සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන සිටින රටකි.
මම පැමිණෙන්නේ චීනය සමඟින් ඉතා ඓතිහාසික සමීප සබඳතාවක් ඇති ඉන්දියන් සාගරයේ පිහිටි සුන්දර දිවයිනක් වන ශ්‍රී ලංකාවෙන්. දූපත් රාජ්‍යයක් වන අපේ රට කුඩා වුවත්, අපේ සිහින විශාලයි.
අද මා ඔබ සමඟ බෙදාගන්නට කැමති වන්නේ එවැනි එක් සිහිනයක කතාවයි. එය ශ්‍රී ලංකාව, චීනය, අප අතර ඇති මිත්‍රත්වය සහ එකට එක්ව කටයුතු කළහොත් අපට කළ හැකි සුවිශාල දේ පිළිබඳ කතාවකි.
2012 සිහිනය සහ චීන මිත්‍රත්වයේ හස්තය
මම ඔබව ගෙනයන්න බලාපොරොත්තු වෙන්නේ 2012 වසරට. එදා අභ්‍යවකාශ ක්ෂේත්රයේ කටයුතු කරන රටක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රසිද්ධව තිබුණේ නැහැ.
අභ්‍යවකාශ තාක්ෂණය හා වාණිජ අභ්‍යවකාශ ව්‍යාපාරය යන ක්ෂේත්රය ශ්‍රී ලංකාවට ඉතා දුරස්ථ මාතෘකා වූ යුගයක් ඒ. ලෝකයේ ප්රමුඛ අභ්‍යවකාශ රටවල් සතු මූල්‍ය ශක්තිය, තාක්ෂණය හෝ අත්දැකීම් අප සතුව තිබුණේ නැහැ.
එහෙත් අපට සිහිනයක් තිබුණා. අපේ පුංචි රටත් ගෝලීය අභ්‍යවකාශ කර්මාන්තයේ කොටස්කරුවෙකු විය යුතුයි යන්නයි ඒ සිහිනය.
ඒ සිහිනය යථාර්ථයක් කර ගන්නට අප උත්සාහ ගන්නා විට, මේ ක්ෂේත්රයේ වඩාත් ප්‍රවීණ, විශ්වාසවන්ත හවුල්කරුවෙකු අපට අවශ්‍ය විය. එවිට අප වෙත සුවිශාල සහයෝගයක් හා ශක්තියක් වෙමින් චීනය අප වෙත මිත්‍රත්වයේ දෑත දිගු කළා.
විශේෂයෙන්ම චයිනා ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රි කෝපරේෂන් (China Great Wall Industry Corporation), චයිනා සැටලයිට් කොමියුනිකේෂන්ස් (China Satellite Communications) ඇතුළු අපේ චීන මිතුරන් අප කෙරෙහි විශ්වාසය තැබුවා.
ඔවුන් බැලුවේ අපේ රටේ ප්‍රමාණය නොවෙයි; අපේ සිහිනයේ විශාලත්වයයි. ඒ නිසාම අපි එකට එක්ව ඉතිහාසයට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කළා.
2012 නොවැම්බර් 27 වැනිදා, SupremeSAT-1 චන්ද්‍රිකාව චීනයේ ෂීචැං චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් Long March රොකට්ටුවක් මඟින් අභ්‍යවකාශයට ගෙන යනු ලැබුවා. ඒ මොහොත මට අදත් හොඳින් මතකයි. අපේ ජාතික ධජය සවිකර තිබූ රොකට්ටුව අහසට ඉහළට නැඟුණු අයුරු දැකීම මගේ ජීවිතයේ වඩාත්ම අභිමානවත් මොහොතක්.
එය හුදෙක්ම සන්නිවේදන චන්ද්‍රිකාවක් අභ්‍යවකාශයට යැවීම පමණක් නොවෙයි. කුඩා රටකටත් අසාමාන්‍ය ජයග්‍රහණයක් අත්කරගත හැකි බව ශ්‍රී ලාංකික ජනතාවටත්, විශේෂයෙන්ම අපේ තරුණ පරපුරටත් පෙන්වා දීමක් වුණා. ඒ අවස්ථාව අපට ලබා දුන් චීනයටත්, මගේ චීන මිතුරන්ටත් මම සැමදා කෘතඥ වෙනවා.
Kandy Teleport මධ්‍යස්ථානය සහ කුඩා රටවලට පාඩමක්
අපේ ගමන එතැනින් අවසන් වුණේ නැහැ. එතැන් සිට ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ ව්‍යාපාර ක්ෂේත්රය තවදුරටත් දියුණු කිරීමට අපි අඛණ්ඩව කටයුතු කළා.
අද SupremeSAT, මහනුවර පිහිටි භෞමික චන්ද්‍රිකා පාලක හා මෙහෙයුම් මධ්‍යස්ථානය (Kandy Teleport මධ්‍යස්ථානය) ක්‍රියාත්මක කරමින් ජාත්‍යන්තර පාරිභෝගිකයන්ට චන්ද්‍රිකා හා භූමි මධ්‍යස්ථාන සේවා සපයනවා. අපේ Teleport මධ්‍යස්ථානය ලොව වේගයෙන්ම වර්ධනය වන Teleport මධ්‍යස්ථාන අතරින් එකක් ලෙස මෑතකදී ජාත්‍යන්තර ඇගයීමට ලක්වීම අපට මහත් අභිමානයක්.
අපේ කලාපයේ චන්ද්‍රිකා සේවා සඳහා වැදගත් මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම අපේ ඒකායන බලාපොරොත්තුවයි.
මගේ අදහසට අනුව SupremeSAT යනු සුවිශේෂී ආදර්ශයක්. සංවර්ධනය වෙමින් පවතින රටක ව්‍යවසායකයෙකුට චීන රජයේ සහ අභ්‍යවකාශ කර්මාන්තයේ හවුල්කරුවන්ගේ මඟපෙන්වීම හා සහයෝගය ලැබීමෙන්, උසස් තාක්ෂණික ක්ෂේත්රයක සැබෑ ව්‍යාපාරයක් ගොඩනැඟීමට හැකි වූ ආකාරය එයින් පෙන්වා දෙනවා. හවුල්කාරිත්වයේ ශක්තිය එයයි; ලෝකය සමඟ බෙදාගත යුතු සාර්ථක කතාවක්ද එයයි.
මේ අත්දැකීම මට වැදගත් පාඩමක් කියා දුන්නා. අභ්‍යවකාශ කර්මාන්තයේ කොටසක් වීමට ඔබ සෑම රොකට්ටුවක්ම නිපදවිය යුතු නැහැ. චන්ද්‍රිකා සිය ගණනක් ඔබ සතු කරගත යුතුත් නැහැ. කුඩා රටකටත් ඒ ක්ෂේත්රය තුළ තමන්ටම ආවේණික ස්ථානයක් සොයාගත හැකියි. අවශ්‍ය වන්නේ සිහිනයක්, සුදුසු හවුල්කරුවන් සහ එය යථාර්ථයක් කිරීමට කැපවී වැඩ කිරීමයි.
පාරිභෝගිකයන් නොව හවුල්කරුවන් වීමේ අවශ්‍යතාව
මගේ ආදරණීය මිතුරනි,
නව තාක්ෂණයක් ලොවට හඳුන්වා දෙන සෑම අවස්ථාවකම, ඒ සඳහා ඉදිරියෙන්ම ගමන් කරන්නේ බොහෝවිට ධනවත් හා සංවර්ධිත රටවල් වීම මගේ සිතට නිතර නැඟෙන කරුණක්. ඔවුන් කර්මාන්ත ගොඩනඟනවා, තාක්ෂණය දියුණු කරනවා, ආයෝජන ආකර්ෂණය කරගන්නවා සහ හොඳම අවස්ථා අත්පත් කරගන්නවා.
කුඩා රටවල් ඒවාට එක්වීමට සූදානම් වන විට, බොහෝ අවස්ථා දැනටමත් වෙනත් රටවල් විසින් අත්පත් කරගෙන තිබෙනවා. අභ්‍යවකාශ ක්ෂේත්රයේදී අපි මෙය දැක තිබෙනවා; අන්තර්ජාලය සම්බන්ධයෙන්ද එය දැක තිබෙනවා; අද අපි එය නැවතත් කෘත්‍රිම බුද්ධිය හෙවත් AI ක්ෂේත්රය තුළ දකිනවා.
සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන විශාලතම අභියෝග අතරින් එකක් මෙය බව මම විශ්වාස කරනවා. අපේ තරුණ තරුණියන්ද ලෝකයේ ඕනෑම තැනක සිටින තරුණයන් තරම්ම බුද්ධිමත්. අපේ විද්‍යාඥයන්ද ඒ තරම්ම දක්ෂයි. අපේ ව්‍යවසායකයන්ටත් ඒ හා සමානව විශාල සිහින තිබෙනවා. එහෙත් ඔවුන්ට සැමවිටම සමාන අවස්ථා ලැබෙන්නේ නැහැ.
අප වෙනස් කළ යුත්තේ එයයි. දක්ෂතා ලොව පුරාම තිබෙනවා; අවස්ථාද සැමට හිමි විය යුතුයි. සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙනත් රටවල් නිපදවන තාක්ෂණයේ පාරිභෝගිකයන් බවට පමණක් සීමා නොවිය යුතු බව මම තරයේ විශ්වාස කරනවා. අපිද හවුල්කරුවන් විය යුතුයි; අපේම කර්මාන්ත ගොඩනැඟිය යුතුයි. රැකියා නිර්මාණය කළ යුතුයි; කුසලතා දියුණු කළ යුතුයි; අනාගතයට එක්වීමට අපේ තරුණ පරපුරට අවස්ථාව සලසා දිය යුතුයි.
හෙට දවසේ කර්මාන්ත සහ ශ්‍රී ලංකාවේ නව දැක්ම
APSCO හි කාර්යභාරය මෙතරම් වටිනා වන්නේ ඒ නිසයි. සහයෝගිතාව, පර්යේෂණ, පුහුණුව සහ අභ්‍යවකාශ තාක්ෂණය හුවමාරු කරගැනීමේ වැඩසටහන් හරහා රටවල හැකියාවන් ගොඩනැඟීමට APSCO දැනටමත් දායක වෙනවා.
මෙම වටිනා කාර්යය තවදුරටත් පුළුල් කර වේගවත් කිරීමට අපටත් සහාය විය හැකි යැයි මම බලාපොරොත්තු වෙනවා. එවිට එහි ප්රතිලාභ තවත් ජනතාවකටත් ව්‍යාපාරවලටත් ළඟා කරවිය හැකියි. අභ්‍යවකාශ සහයෝගිතාවක සාර්ථකත්වය මැනිය යුත්තේ අප දියත් කරන චන්ද්‍රිකා ගණනින් පමණක් නොවෙයි; පෘථිවියේ ජනතාවගේ ජීවිත වැඩිදියුණු කිරීමට අපට හැකි වූ ප්‍රමාණයෙන්ද එය මැනිය යුතුයි.
නෝනාවරුනි, මහත්වරුනි,
අද ලෝකය වෙනස් වන්නේ පෙර නොවූ විරූ වේගයකින්. කෘත්‍රිම බුද්ධිය සෑම කර්මාන්තයක්ම පාහේ පරිවර්තනය කරමින් සිටිනවා. වරෙක ළඟාවීමට අපහසු වූ ප්‍රදේශවල ජනතාව පවා චන්ද්‍රිකා තාක්ෂණය මඟින් එකිනෙකා සමඟ සම්බන්ධ වෙනවා. පුනර්ජනනීය බලශක්තිය සහ නව ඉන්ධන, ලෝකය බලශක්තිය නිපදවන හා භාවිත කරන ආකාරය වෙනස් කරමින් සිටිනවා.
මේවා නව තාක්ෂණයන් පමණක් නොවෙයි; හෙට දවසේ ප්‍රධාන කර්මාන්තද මේවායි. සංවර්ධනය වෙමින් පවතින රටවල් ආරම්භයේ සිටම මේවායේ කොටස්කරුවන් විය යුතු බව මම විශ්වාස කරනවා. ශ්‍රී ලංකාව තුළ අපිත් ඒ දිශාවට ගමන් කිරීමට උත්සාහ කරනවා. Supreme Global Holdings සහ අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන්, AI දත්ත මධ්‍යස්ථාන, පුනර්ජනනීය බලශක්තිය, හරිත ඇමෝනියා සහ නව චන්ද්‍රිකා සන්නිවේදන සේවා සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටිනවා.
ගමේ දරුවාටත් ලෝකය දිනන අනාගතයක්
අපේ අරමුණ සරලයි, නමුත් ශක්තිමත්. ඒ නව තාක්ෂණය ශ්‍රී ලංකාවට ගෙන ඒම, නව කර්මාන්ත බිහිකිරීම සහ අපේ තරුණ පරපුරට වඩා හොඳ අවස්ථා ලබා දීමයි.
සුන්දර ශ්‍රී ලංකාවේ දුර බැහැර ගම්මානයක සිටින දරුවෙකුට බීජිං, ලන්ඩන් හෝ නිව්යෝර්ක් නගරයක දරුවෙකුට ලැබෙන අධ්‍යාපනය හා දැනුමම ලබාගත හැකි අනාගතයක් ගැන සිතන්න. ලොව නවීනතම තාක්ෂණය සමඟ වැඩ කිරීමට ශ්‍රී ලංකාවේ තරුණ ඉංජිනේරුවෙකුට රට හැර යාමට අවශ්‍ය නොවන අනාගතයක් ගැන සිතන්න. සංවර්ධනය වෙමින් පවතින රටවල කුඩා ව්‍යාපාරවලට ගෝලීය වෙළෙඳපොළ තුළ තරග කිරීමට හැකි අනාගතයක් ගැන සිතන්න.
මා දැකීමට කැමති අනාගතය එයයි; සැබෑ කරගන්නට නිරතුරුව දකින සිහිනය එයයි. එය අපට එකට එක්ව ගොඩනැඟිය හැකි අනාගතයක් බව මම විශ්වාස කරනවා.
පරිත්‍යාගයක් නොව, හවුල්කාරිත්වයක් ඉල්ලන චීන මිත්‍රත්වය
මගේ හිතාදර චීන මිතුරනි,
වසර ගණනාවක් පුරා චීනය ලබා ඇති විශිෂ්ට දියුණුව මම දැක තිබෙනවා. අභ්‍යවකාශය, විදුලි සංදේශ, පුනර්ජනනීය බලශක්තිය, විදුලි වාහන සහ තවත් බොහෝ ක්ෂේත්රවල චීනය අත්කරගෙන ඇති දේ අසාමාන්‍යයි.
එහෙත් මා වඩාත්ම අගය කරන්නේ චීනය ලබා ඇති දියුණුවේ ප්‍රමාණය පමණක් නොවෙයි; එය අත්කරගත් වේගයයි. අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලටත් තමන් සමඟ ඉදිරියට යාමට උපකාර කිරීමේ මහඟු අවස්ථාවක් චීනයට තිබෙනවා. ඒ තමන් සතු තාක්ෂණය අලෙවි කිරීමෙන් පමණක්ම නොවෙයි; දැනුම හුවමාරු කරගැනීමෙන්, කුසලතා ගොඩනැඟීමෙන්, එකට ආයෝජනය කිරීමෙන් සහ එකට කර්මාන්ත ගොඩනැඟීමෙන් එය කළ හැකියි.
SupremeSAT, මේ ප්‍රවේශයෙන් අත්කරගත හැකි දේ පිළිබඳ ජීවමාන සාක්ෂියක්. සංවර්ධනය වෙමින් පවතින රටක ව්‍යවසායකයෙකු වූ මට සිහිනයක් තිබුණා. චීන රජයත් එරට කර්මාන්ත හවුල්කරුවනුත් එම සිහිනය සාර්ථක හා දිගුකාලීන ව්‍යාපාරයක් බවට පත් කිරීමට සහාය වුණා.
අප ඉල්ලා සිටින්නේ පරිත්‍යාගයක් නොවෙයි; අප ඉල්ලා සිටින්නේ හවුල්කාරිත්වයකි. සාර්ථක රටවල් තම ගමන මන්දගාමී කළ යුතු යැයි අපි කියන්නේ නැහැ. අප කියන්නේ අනෙක් රටවලටත් ඉදිරියට යාමට සහාය වන්න කියලයි. වැඩි රටවල් ප්‍රමාණයක් සාර්ථක වන විට, අපේ මුළු කලාපයම ශක්තිමත් වෙනවා.
APSCO සමඟ පෘථිවියේ සැබෑ ගැටලු විසඳීම
දැන් මම නැවතත් APSCO වෙත යොමු වෙන්නම්. අපේ කලාපය පුරා සහයෝගිතාව සඳහා APSCO වැදගත් පදනමක් ගොඩනඟා තිබෙනවා. අභ්‍යවකාශ ආර්ථිකයට සහභාගී වීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට තවත් අවස්ථා ලැබෙන පරිදි, එහි පවතින වැඩසටහන් තවදුරටත් වේගයෙන් වර්ධනය වනු දැකීම මගේ බලාපොරොත්තුවයි.
හවුල් යටිතල පහසුකම්, තාක්ෂණික දැනුම, පුහුණුව සහ පර්යේෂණ සම්බන්ධයෙන් දැනට සිදුකරන කටයුතු තවදුරටත් ඉදිරියට ගෙන යා හැකියි. තවත් රජයන්, විශ්වවිද්‍යාල සහ පෞද්ගලික ආයතන මෙම වැඩසටහන්වලට සම්බන්ධ කරගත හැකියි. ඒ හරහා උසස් තාක්ෂණය හැදෑරීමටත්, එම ක්ෂේත්රවල රැකියාවල නිරත වීමටත් තවත් තරුණ තරුණියන්ට අවස්ථා සලසා දිය හැකියි.
ස්වාභාවික විපත්, දේශගුණික විපර්යාස, ආහාර සුරක්ෂිතතාව, සන්නිවේදනය සහ අධ්‍යාපනය වැනි පෘථිවියේ සැබෑ ගැටලු විසඳීමට අභ්‍යවකාශ තාක්ෂණය යොදාගැනීමද පුළුල් කළ හැකියි.
මෙම උත්සාහයන් පුළුල් කිරීමටත්, ඒවා ප්‍රායෝගික ව්‍යාපාරික හවුල්කාරිත්ව, ආයෝජන සහ රැකියා අවස්ථා සමඟ සම්බන්ධ කිරීමටත් APSCO වෙත සහාය වීමට, මගේ සමාගම වන සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම සතු ශක්තිය හා හැකියාව පිළිබඳ මම සතුටු වෙනවා.
තවත් හවුල්කාරකත්වයන්, තවත් ප්‍රායෝගික ව්‍යාපෘති අරඹමින්, අපේ තරුණ පරපුරට තවත් ගෝලීය අවස්ථාවන් බිහි කරමින්, SupremeSAT වැනි තවත් සාර්ථක කතා ගොඩනඟමින් අපේ මිත්‍රත්වය දිගුකාලීන ප්‍රගතියක් බවට පත් කළ හැක්කේ එලෙසයි.
වසර දාහතරකට පසු ඇරඹෙන ඊළඟ සිහිනය
නෝනාවරුනි, මහත්වරුනි,
මගේ මේ සභාව ඇමතීම අවසන් කිරීමට පෙර, මා ආරම්භයේදී සඳහන් කළ සුවිශේෂී ප්‍රමුඛතම කරුණ පිළිබඳව නැවත යොමු වෙන්න කැමතියි. වසර දාහතරකට පෙර මම සිහිනයක් රැගෙන චීනයට පැමිණියා. මගේ කුඩා රට වූ ශ්‍රී ලංකාවටත් අභ්‍යවකාශ ක්ෂේත්රයේ කොටස්කරුවෙකු විය හැකියි යන සිහිනයයි ඒ.
අපේ චීන හවුල්කරුවන්ගේ මිත්‍රත්වය සහ සහයෝගය නිසා ඒ සිහිනය යථාර්ථයක් වුණා. අද මම ඔබ ඉදිරියේ සිටින්නේ ඊටත් වඩා විශාල සිහිනයක් සමඟයි. සෑම සංවර්ධනය වෙමින් පවතින රටකටම හෙට දවසේ තාක්ෂණයන්ට සාධාරණව සහභාගී වීමට අවස්ථාව ලැබිය යුතුය යන්නයි ඒ සිහිනය.
අපේ තරුණ පරපුර, අන් අය නිර්මාණය කරන අනාගතය දෙස බලා සිටින පිරිසක් පමණක් නොවිය යුතුයි; ඔවුන් ඒ අනාගතය නිර්මාණය කිරීමට දායක විය යුතුයි. චීනය සහ අනෙකුත් ප්රමුඛ රටවල් ලබා ඇති විශිෂ්ට ප්‍රගතිය, ලොව පුරා ජනතාවට නව අවස්ථා නිර්මාණය කළ යුතුය යන්න මගේ තවත් සිහිනයක්.
මගේ චීන මිතුරනි, ඔබට මම යළි යළිත් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. අප කෙරෙහි විශ්වාසය තැබීම ගැන ඔබට බොහොම ස්තුතියි. ශ්‍රී ලංකාවට අභ්‍යවකාශය කරා ළඟාවීමට මඟ පෙන්වීම ගැන ස්තුතියි; අඛණ්ඩව අප සමඟ පවත්වාගෙන යන මිත්රත්වයටත් ස්තුතියි. චීනය, ශ්‍රී ලංකාව සහ සියලුම APSCO රටවල් අතර මිත්‍රත්වය තව තවත් ශක්තිමත් වේවායි මම ප්‍රාර්ථනා කරනවා.
එක් සරල කරුණක් අපි සැමවිටම මතකයේ රඳවා ගනිමු… තාක්ෂණයේ විශිෂ්ටතම ජයග්‍රහණය වන්නේ එය අපට කොතරම් බලවත් බවක් ලබා දෙන්නේද යන්න නොව, ජනතාවගේ ජීවිත කොතරම් යහපත් කරන්නේද යන්න මතයි.
වසර දාහතරකට පෙර අපි එකට එක්ව ශ්‍රී ලංකාව අභ්‍යවකාශය කරා ගෙන ගියා. අද, අපි එකට එක්ව අභ්‍යවකාශය යොදාගෙන සැමට වඩා යහපත් අනාගතයක් ගොඩනඟමු. ඒ වෙනුවෙන් චීනය අප සමඟ සැමවිටම සිටින බව මට විශ්වාසයි.
චීනයට ජයවේවා! ශ්‍රී ලංකාවට ජයවේවා! ආසියාවට ජයවේවා! අප සියලුදෙනා එකට බැඳ තබන මිත්‍රත්වයට ජයවේවා!
ඔබ සැමට බොහොම ස්තුතියි!
වැඩිදුර තොරතුරු සහ මූලාශ්‍ර:
සබැඳි ලිපියක්



