ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති විශාලතම සමූහ මිනීවල සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති විශේෂඥ වාර්තාව මත පදනම්ව තව දුරටත් කටයුතු නොකරන බවට අධිකරණය තීරණය කර තිබේ.
පුරාවිද්‍යාඥයන් වන මහාචාර්ය රාජ් සෝමදේව සහ අනුෂා වන්නිනායක විසින් සම්පාදිත "යාපනයේ චෙම්මණි හි වෝහාරික පුරාවිද්‍යා කැණීම්" (Forensic Archaeological Excavation in Chemmani Jaffna) මැයෙන් යුත් වාර්තාව 2026 ඔක්තෝබර් 20 වැනි දින යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුනි.
"මෙම වාර්තාවේ ලේඛනගත කර ඇති භෞතික සාක්ෂි එකතුව හුදෙකලාව ගත්කල, විමර්ශනයට ලක්වූ භූමදානවල ස්වභාවය සහ ලක්ෂණ පිළිබඳ නිශ්චිත නිගමනයකට එළඹීමට ප්‍රමාණවත් නොවේ," යනුවෙන් පිටු 190කින් සමන්විත එම සාරාංශ වාර්තාවේ සඳහන් වේ.
"කෙසේ වෙතත්, එහි හමුවූ පුරාවස්තු සහ ඊට අදාළ සාක්ෂි අනුව පෙනී යන්නේ, මෙම ස්ථානය ලෝකයේ වෙනත් ප්‍රදේශවල හමුවන රහසිගත භූමදාන ස්ථානවලට වඩා, විධිමත් භූමදාන චාරිත්‍ර ඉටුකරන ලද ස්ථානවලට වැඩි සමානකමක් දක්වන බවයි," යනුවෙන් එම පුරාවිද්‍යාඥයන් දෙදෙනා තද කළු අකුරින් යටින් ඉරි ගසා විශේෂයෙන් අවධාරණය කර තිබේ.
වාර්තාවේ හිඩැස් හා පරස්පරතා ගැන සුමන්තිරන්ගෙන් හෙළිදරව්වක්
එම වාර්තාව හා එහි අඩංගු ආන්දෝලනාත්මක නිගමන පිළිබදව යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර්ගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 19 වැනිදා අධිකරණයේදී පැවැති ඉහළ පෙලේ සාකච්ඡාවකින් අනතුරුව ජ්‍යෙෂ්ඨ නීතිඥයන් හෙළි කළේ එම විශේෂඥ වාර්තාව මත පදනම්ව තව දුරටත් කටයුතු නොකරන බවට අධිකරණය තිරණය කළ බවයි.
"බලපෑමට ලක් වූ අය වෙනුවෙන් පමණක් නෙවෙයි. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය වෙනුවෙනුත් ඒ එක වාර්තාව පදනම් කරගෙන තීරණයක් ගන්න බැහැ කියන එක පැහැදිලි කිව්වා. ඒ වාර්තාවේ හිඩැස් තියෙනවා කියන එකත්. සාක්ෂි නැතිව ඇතැම් කරුණු සඳහන් කරලා තියෙන එකත්, කලින් ඒ මහාචාර්යවරයා දුන්න වාර්තාවෙන් මේක වෙනස් වෙලා, පරස්පර කරුණු ඇතුළත් කෙරිලා තියෙනවා කියන එකත් සඳහන් කෙරුණා. ඒ නිසා අධිකරණය මේ වාර්තාව අනුව තවදුරටත් කටයුතු කරන්නේ නැහැ කියලා තීරණය කරලා තියෙනවා," යි ජනාධිපති නීතිඥ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මාධ්‍යවේදීන් හමුවේ හෙළි කළේය.
කාබන් පරීක්ෂණ සහ ඉදිරි පියවර
ඒ බව තව දුරටත් තහවුරු කරමින් මානව හිමිකම් සහ සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානයේ (CHRD) විධායක අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ. එස්. රත්නවේල් ද පළාත් බද මාධ්‍යවේදීන්ට දැනුම් දී සිටියේ සමුහ සුසානයෙන් ගොඩ ගත් අස්ථි සම්බන්ධයෙන් කාල නීර්ණ පරීක්ෂණයක් සිදු කිරීම සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමු නොකරන බවක්ද එම සාකච්ඡාවේදී අධිකරණය දැනුම් දුන් බවයි.
"මහාචාර්ය රාජ් සෝමදේව ඉදිරිපත් කළ අතුරු වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඒක අවසානයේ මේ අතුරු වාර්තා සම්බන්ධයෙන් අධිකරණය කිසිදු පියවරක් ගන්නේ නැහැ කියන තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණා. ඊට අමතරව වෝහාරික විශේෂඥයා තමන්ගේ පර්යේෂණ කණ්ඩායමේ නම් ලැයිස්තුව ඉදිරිපත් කළා. ඒ පර්යේෂණ කණ්ඩායම ඉදිරියේදී අස්ථි කොටස් සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කරයි කියලත් අනික අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඉදිරිපත් කළ කාබන් පරීක්ෂණය ඒ කියන්නේ කාලය නිර්ණය කරන්න පුළුවන් පරීක්ෂණයක් සිදු කරන්න ඕනේ කියන ඉල්ලීම අධිකරණය මේ වනවිට අවධානය යොමු කරන්නේ නැහැ කියන කරුණත් අධිකරණය දැනුම් දුන්නා."
පුරාවිද්‍යාඥයන් වන මහාචාර්ය රාජ් සෝමදේව සහ අනුෂා වන්නිනායක විසින් සම්පාදිත "යාපනයේ චෙම්මණි හි වෝහාරික පුරාවිද්‍යා කැණීම්" වාර්තාව සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත්, මේ සදහා විසදුමක් ලබා ගත්තේ ජාත්‍යන්තර විමර්ශනයකින් පමණක් බවත් අධිකරණය හමුවේ අවධාරණය කළේයැයි දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නීතිඥ කනගරත්නම් සුගාස් මාධ්‍යවේදීන් හමුවේ සදහන් කළේය.
"රාජ්සෝමදේවගේ වාර්තාව අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා කියනවා කියන එකත්, අධිකරණයේ අවධානයට යොමු කරලා ජාත්‍යන්තර විමර්ශනයකින් විතරයි අපිට විසඳුමක් ලැබෙන්නේ කියන කාරණාව පැහැදිලි කළා."
ඉදිරි පියවර සාකච්ඡා කිරීම සඳහා අදාල පාර්ශව දෙසැම්බර් 14 දා නැවතත් මහේස්ත්‍රාත්වරයා මුණගැසීමට නියමිත බව අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) කොමසාරිස් මිරාක් රහීම් මාධ්‍යවේදීන්ට දැනුම් දුන්නේය.
"මෙම ස්ථානය සහ සොයාගත් ශේෂ අයත්වන කාලය නිර්ණය කිරීමට ආධාර වීම සඳහා කාබන් පරීක්ෂණ පැවැත්වීමට කවර විධික්රම හා කුමන විද්‍යාගාර යොදාගන්නේ දැයි එදිනට අදහස් දක්වන ලෙස මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නා.
කැණීම්වලින් හමුවූ සාක්ෂි සහ වින්දිතයන්ගේ විරෝධතා
චෙම්මනි සමූහ සුසානයේ වසරකට වැඩි කාලයක් තිස්සේ අදියර තුනකින් දින 110 ක් පුරා සිදු කළ කැනීම් වලින් පාදාගත් කුඩා දරුවන්ගේ ද ඇතුළු මිනිස් සිරුරු 583 ට අයත් අස්ථි ගොඩ ගැනීමෙන් අනතුරුව එහි කැනීම් කටයුතු 2026 අගෝස්තු 19 වැනිදා තාවකාලිකව අත් හිටුවන ලදි.
ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවු විශාලතම සමුහ සුසානයෙන් 2025 මැයි 15 වැනිදා සිට වසරකට වැඩි කාලයක් තුළ සිදු කළ කැනීම් වලින් ගොඩගත් හින්දු චාරිත්‍රානුකුලව වල දමා නැති බව තහවුරු වී ඇති මිනිස් අස්ථි වලට අමතරව ළදරු කිරි බෝතල්, පාසල් ගමන් මලු, වැහි කබා හා බෝනික්කන්ද ඇතුළු 160 ට වැඩි පාරිහාරික වස්තු දැකගන්නට ලැබුනි. ඒ සියල්ල දැන් ඇත්තේ අධිකරණය භාරයේය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ද 2025 සැප්තැම්බරයේදී නිගමනය කළ පරිදි චෙම්මනි සමූහ සුසානයේ වල දමා ඇත්තේ නීති විරෝධී හෝ බහිර්නීතිකව හෝ මරා දමන ලද මිනිසුන්ය, ගැහැනුන්ය, දරුවන්ය, බිළින්දන් ය.
කෙසේ නමුත් පුරාවිද්‍යාඥයන් වන මහාචාර්ය රාජ් සෝමදේව සහ අනුෂා වන්නිනායක විසින් සම්පාදිත "යාපනයේ චෙම්මණි හි වෝහාරික පුරාවිද්‍යා කැණීම්" නැමැති වාර්තාවේ අඩංගු "ආන්දෝලනාත්මක නිගමන" බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූවන්ගේ දෙමළ ඥාතීන් පිරිසක් විසින් පසුගියදා අධිකරණය හමුවේ අභියෝගයට ලක් කොට තිබුනි.
ජාත්‍යන්තර විමර්ශනයක් සඳහා යළි ඉල්ලීම්
නීතිඥ කස්තුරි අහලංකන් විසින්, අගතියට පත් පාර්ශව වෙනුවෙන් එම අධිකරණය හමුවේම විරෝධතා පෙත්සමක් ගොනු කර පෙන්වා දී ඇත්තේ ‘අදාළ සාරාංශ වාර්තාවේ අඩංගු සොයාගැනීම්, නිරීක්ෂණ, අර්ථකථන සහ නිගමන, සිද්ධියට අදාළ ද්‍රව්‍යමය තත්වයන් සහ පවතින සාක්ෂි පිළිබඳව අවධානය යොමු කිරීමට මුළුමනින්ම අපොහොසත් වී ඇති’ බවයි.
"භෞතික සාක්ෂි සහ පුරාවිද්‍යාත්මක පසුබිම පිළිබඳ ප්‍රමාණවත් පරීක්ෂාවකින් තොරව, හුදෙක් අනුමාන කිරීම් මත පමණක් පදනම් වී සාමාන්‍ය භූමදානයක් සිදුවී ඇතැයි යන නිගමනයට එළඹීම” සම්බන්ධයෙන් පිටු නවයකින් යුත් එම ලේඛනයෙන් අගතියට පත් පාර්ශවයන් විරෝධය පළ කර තිබේ.
අධිකරණය විසින් දැනටමත් අපරාධයක් සිදුවූ ස්ථානයක් ලෙස හඳුනාගෙන ඇති මෙම සමූහ මිනීවල සම්බන්ධයෙන් මතුව ඇති මතභේදය හමුවේ, ආරක්ෂක අංශ විසින් සිදුකළ බවට චෝදනා එල්ල වන මහා පරිමාණ අපරාධ පිළිබඳව ජාත්‍යන්තර මැදිහත්වීමක් සහිත පරීක්ෂණයක් සිදුකළ යුතු යැයි දෙමළ ජනතාව දිගු කලක් තිස්සේ කරමින් සිටින ඉල්ලීම නැවත කරළියට පැමිණ ඇත.
දෙමළ වින්දිතයන් එපා කියූ රාජ් සෝමදේවගේ චෙම්මනි වාර්තාව උසාවියේදී හිරවේ
Awara
November 20, 2026 • 7:42 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති විශාලතම සමූහ මිනීවල සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති විශේෂඥ වාර්තාව මත පදනම්ව තව දුරටත් කටයුතු නොකරන බවට අධිකරණය තීරණය කර තිබේ.
- පුරාවිද්‍යාඥයන් වන මහාචාර්ය රාජ් සෝමදේව සහ අනුෂා වන්නිනායක විසින් සම්පාදිත "යාපනයේ චෙම්මණි හි වෝහාරික පුරාවිද්‍යා කැණීම්" (Forensic Archaeological Excavation in Chemmani Jaffna) මැයෙන් යුත් වාර්තාව 2026 ඔක්තෝබර් 20 වැනි දින යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුනි.
- "මෙම වාර්තාවේ ලේඛනගත කර ඇති භෞතික සාක්ෂි එකතුව හුදෙකලාව ගත්කල, විමර්ශනයට ලක්වූ භූමදානවල ස්වභාවය සහ ලක්ෂණ පිළිබඳ නිශ්චිත නිගමනයකට එළඹීමට ප්‍රමාණවත් නොවේ," යනුවෙන් පිටු 190කින් සමන්විත එම සාරාංශ වාර්තාවේ සඳහන් වේ.
- සාක්ෂි නැතිව ඇතැම් කරුණු සඳහන් කරලා තියෙන එකත්, කලින් ඒ මහාචාර්යවරයා දුන්න වාර්තාවෙන් මේක වෙනස් වෙලා, පරස්පර කරුණු ඇතුළත් කෙරිලා තියෙනවා කියන එකත් සඳහන් කෙරුණා.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
#theleader.lk#theleadernews
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


