01. ක්‍රිෂ් ගනුදෙනුවේ සිතාසි ගැන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් වාර්තාවක් කැඳවයි
රග්බි ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට බව පවසා ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුවේ පළමු සහ දෙවන පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට නිකුත් කළ සිතාසි ලැබී තිබේද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසා ඉදිරි දින අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය ඉකුත් (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ විසින් නීතිපති වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා කළ ඉල්ලීමක් සලකා බලා මෙලෙස නියෝග කළා.
පැමිණිල්ලේ සාක්ෂි අංක එක සහ දෙක විදේශගත වී ඇති බැවින් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය වෙත සිතාසි යවා ඇතත්, ඒවා නිසියාකාරව ලැබී තිබේද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පෙන්වා දුන්නා.
ඒ අනුව නඩුව ජනවාරි 18 වැනිදා යළි කැඳවීමට නියම කළ විනිසුරුවරිය, එදිනට සැකකරු රක්ෂිත බන්ධනාගාරගතව සිටී නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා.
02. බලංගොඩ කස්සප හිමියන්ගෙන් බන්ධනාගාරයේදී ප්‍රකාශයක් ගැනීමට නියෝග
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බලංගොඩ කස්සප හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස කොළඹ දිසා අපරාධ කොට්ඨාසය ඉකුත් (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ මෝසමක් ගොනු කරමින් ඉල්ලා සිටියා.
ඉකුත් දා විහාරමහාදේවී උද්‍යානයේ පැවති සත්‍යග්‍රහයේදී පොලිස් නිලධාරීන් විසින් තමන් වහන්සේට පහර දුන් බවට කස්සප හිමියන් මාධ්‍ය ඔස්සේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට නියෝග කර තිබෙනවා. දැනට වෙනත් සිද්ධියකට අදාළව උන්වහන්සේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බැවින් බන්ධනාගාරයට ගොස් ප්‍රකාශ ලබා ගැනීමට මහේස්ත්‍රාත්වරයා එහිදී අවසර ලබා දුන්නා.
03. චරිත් අබේසිංහගේ සුඛෝපභෝගී නිවසක් අල්ලස් කොමිසම තහනම් කරයි
සංවිධානාත්මක අපරාධකරුවකුට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින චරිත් අබේසිංහ නමැත්තාගේ සුඛෝපභෝගී නිවසක් තහනම් කළ බව අල්ලස් කොමිසම ඉකුත් (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දැන්වූවා.
2025 අංක 5 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත ප්‍රකාරව මෙම දේපළ අත්හිටුවීමට පියවර ගත් බව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂක නීතිවරිය අධිකරණයට සඳහන් කළා. මීට පෙර මෙම සිද්ධියේ දෙවන සැකකරු වන නීතිඥ රඛිත රාජපක්ෂගේ සුඛෝපභෝගී වාහන කිහිපයක් සහ බැංකු ගිණුම් 4ක් ද, තෙවැනි සැකකරු වන වරුණ හැන්දිගේ අරුණ චතුරංගගේ බිරිඳට සහ පියාට අයත් වාහන 2ක් ද තහනම් කිරීමට පියවර ගෙන තිබුණා. මේ වන විට ඇප මත සිටින සැකකරුවන්ට එරෙහි නඩුව දෙසැම්බර් 8 වැනිදා යළි කැඳවීමට නියමිතයි.
04. වතු කම්කරුවන්ගේ වැටුප් පෙත්සම පෙබරවාරි 25 දක්වා කල් තැබේ
ජීවන වියදමට සරිලන වැටුපක් තමන්ට නොලැබීමෙන් මූලික අයිතිවාසිකම් කඩවන බව පවසමින් වතු කම්කරුවන් පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන පෙබරවාරි 25 වැනිදා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් (16) නියෝග කළා.
ශිරාන් ගුණරත්න, ආචාර්ය සෝභිත රාජකරුණා සහ සම්පත් විජේරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ නයනතාරා බාලපටබැඳි සඳහන් කළේ වතු කම්කරුවන් සඳහා වූ පෙර වැටුප් මණ්ඩලයේ කාලය අවසන්ව ඇති බැවින්, නව වැටුප් මණ්ඩලයක් පත් කිරීමෙන් පසු අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර සහනයක් ලබා දීමට අපේක්ෂා කරන බවයි.
05. රාජිත සේනාරත්නට එරෙහි මෝදර ධීවර වරාය නඩුව දෙසැම්බර් 16 දාට
2012 වසරේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් 16 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් ඉකුත් (17) නියෝග කළා.
එදින නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ලේ දෙවන සහ තෙවන සාක්ෂිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියද, නඩුවේ දෙවන විත්තිකරු අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය දැනුම් දීම නිසා විභාගය කල් තැබුණා.
06. කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තිදෙනාගේ නඩුව පෙබරවාරි 26 වැනිදාට
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අනුමත කාර්ය මණ්ඩලය ඉක්මවා කාර්යාල සහායක තනතුරු 2ක් සහ රියැදුරු තනතුරු 4ක් ලබා දී රජයට රුපියල් 14,325,422.83 ක පාඩුවක් සිදු කිරීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදු කළ බවට හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තිදෙනාට එරෙහිව පවරා ඇති නඩුව පෙබරවාරි 26 වැනිදා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉකුත් (17) නියෝග කළා.
ඇප මත සිටින සැකකරුවන් විවෘත අධිකරණයේ පෙනී සිටි අතර, සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර ඉදිරි දිනයේදී වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළා.
07. ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි රඟහල පුටු නඩුවත් පෙබරවාරි 26 දාට
පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිලදී ගැනීමේදී අවම මිල ගණන් ඉදිරිපත් කළ ආයතනයෙන් මිලදී නොගෙන වෙනත් පෞද්ගලික සමාගමකින් ඒවා මිලදී ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ 79කට අධික පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියට අදාළ නඩුව පෙබරවාරි 26 වැනිදා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉකුත් (17) නියෝග කළා.
ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ක්ෂේවියර් ප්‍රනාන්දු සහ පෞද්ගලික සමාගම් හිමිකරුවකු වන පටබැඳිගේ හේමන්ත ලලිත් ද සිල්වා යන සැකකරුවන්ට එරෙහි විමර්ශනවල වැඩිදුර වාර්තා ඉදිරිපත් කිරීම සඳහා අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සලකා බලා මෙලෙස දින නියම කෙරුණා.
08. බොරලැස්ගමුව නගර සභා පහරදීමේ නඩුවේ චූදිතයින් තිදෙනෙකුට සිර දඬුවම්
2022 මැයි මස මහජන අරගලය පැවති සමයේ බොරලැස්ගමුව නගර සභාවේ නිලධාරීන්ට පහර දී පොදු දේපළවලට අනර්ථයක් සිදු කිරීම සම්බන්ධයෙන් චූදිතයන් හය දෙනෙකුට එරෙහිව ගොනු කර තිබූ ප්‍රධාන චෝදනාවලින් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.
කෙසේ වෙතත්, නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂි විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අනාවරණය වූ සුළු වැරදි සම්බන්ධයෙන් පළමු, දෙවන සහ හයවන චූදිතයින් වරදකරුවන් කරමින් විනිසුරුවරයා දඬුවම් නියම කළා. ඒ අනුව පළමු විත්තිකාර ඉන්ද්‍රජිත් නිහාල් අතුකෝරළට මාස 3ක ලිහිල් සිර දඬුවමක් ද, දෙවන චූදිත සහන් චතුරංගට මාස 8ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් හා මාස 3ක ලිහිල් සිර දඬුවමක් ද, හයවන විත්තිකරු රුවන් ලක්මාල්ට මාස 8 බැගින් වූ බරපතළ වැඩ සහිත සිර දඬුවම් දෙකක් (එකවර ගෙවී යන ලෙස) නියම කෙරුණා. තෙවන, සිව්වන සහ පස්වන විත්තිකරුවන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරුණා.
09. අතිකාල වංචාවකට ආනන්ද පාලිත ලබන 25 දක්වා රිමාන්ඩ්
2015–2019 වර්ෂ අතර කාලයේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවක අතිකාල දීමනා රුපියල් තිස්එක් ලක්ෂ එකොළොස් දහසක (3,111,000) මුදලක් වංචා කළැයි කියන සිද්ධියකට අදාළව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ඩී.ඩී. ආනන්ද පාලිත ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන ඉකුත් (17) නියෝග කළා.
10. එයාර්බස් නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසන් කෙරේ
ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩු කටයුත්ත අවසන් කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉකුත් (18) නියෝග කළා.
මෙම සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විසින් මේ වන විට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බැවින්, සම්පූර්ණ වාර්තාව සහ නඩු භාණ්ඩ එම අධිකරණය වෙත යොමු කර ඇති බව මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නා.
11. සුගීෂ්වර බණ්ඩාරට දැඩි කොන්දේසි මත ඇප
ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ පෞද්ගලික ලේකම් සහ නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ඇප මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉකුත් (18) නියෝග කළා.
ඒ අනුව සැකකරුට රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් නියම කළ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ විදෙස් ගමන් ද තහනම් කළා.
12. නාමල් රාජපක්ෂගේ ක්‍රිෂ් ඇප නියෝගයට අතුරු තහනමක්
ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දී තිබූ ඇප නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර ඉකුත් (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
එම ඇප නියෝගය අවලංගු කර ඔහුව නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසම ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් වුණා. වගඋත්තරකාර පාර්ශ්වයේ විරෝධතා දෙසැම්බර් 8 වැනිදාටත්, පෙත්සම්කාර පාර්ශ්වයේ ප්රතිවිරෝධතා ජනවාරි 18 වැනිදාටත් කැඳවීමට නියම කළ විනිසුරුවරයා පෙත්සම් විභාගය පෙබරවාරි 5 වැනිදාට නියම කළා.
13. මෙන්ඩිස් සමාගමෙන් අල්ලස් ගත් විශ්‍රාමික සුරාබදු කොමසාරිස් යළි රිමාන්ඩ්
මෙන්ඩිස් අරක්කු සමාගමට ගෙවිය යුතු රජයේ බදු මුදල් අඩු කර පෙන්වීම සඳහා 2015 සහ 2016 වර්ෂවලදී චෙක්පත් 15ක් මගින් රුපියල් ලක්ෂ 210ක අල්ලසක් ලබා ගත්තේ යැයි චෝදනා ලැබ සිටින විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් චන්න ජයනාත් අල්විස් වීරක්කොඩි ලබන දෙසැම්බර් 01 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කළා.
මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම් පරීක්ෂා කිරීමේදී අනාවරණය වූ තොරතුරු මත මුදල් විශුද්ධිකරණ පනත යටතේ තවදුරටත් විමර්ශන සිදු කෙරෙන බැවින් විත්තිය කළ ඇප ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළා.
14. එයාර්බස් ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුවේදී නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවතින නඩුකරයට අදාළව විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දෙසැම්බර් 2 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ, තිලකරත්න බණ්ඩාර සහ නුවන් ධම්මික බණ්ඩාර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉකුත් (19) නියෝග කළා.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඇප ඉල්ලා කරුණු දැක්වුවද, ඇප ලබා දීමට තරම් සුවිශේෂී අවස්ථානුගත කරුණු අධිකරණයට ඉදිරිපත් නොවූ බවට පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජානක බණ්ඩාර කළ කරුණු දැක්වීම සලකා බලා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණා.
15. අල්ලස් ගත් කාති විනිසුරු සහ බිරිඳ රක්ෂිත බන්ධනාගාරයට
දික්කසාද නඩුවක තීන්දුවක් කඩිනමින් ලබාදීම සඳහා රුපියල් 65,000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගත්තේ යැයි අත්අඩංගුවට ගත් කොළඹ උතුර කාති උසාවියේ විනිසුරු එස්. ඉසෙඩ්. එස්. රමීස් සහ ලේකම්වරිය ලෙස කටයුතු කළ ඔහුගේ බිරිඳ පාතිමා රමීස් ලබන දෙසැම්බර් 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉකුත් (19) නියෝග කළා.
දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය ප්‍රකාරව පළමු සැකකරුට එරෙහිව අල්ලස් කොමසාරිස් ජනරාල්වරයාගේ සහතිකයක් ඉදිරිපත් කර ඇති බැවින් සහ විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වුණා.
16. ක්‍රිෂ් හිටපු අධ්‍යක්ෂවරිය ජානකී සිරිවර්ධන තවදුරටත් රිමාන්ඩ්
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාළව එම සමාගමේ හිටපු අධ්යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන දෙසැම්බර් 01 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉකුත් (20) නියෝග කළා.
මෙම සිද්ධියේ සැකකරුවන් වන ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් පුද්ගලික සමාගමේ ඉන්දීය ජාතික අධ්යක්ෂවරුන් වන අමිත් කට්ටයාර්, රාජේන්ද්‍ර ප්‍රසාද් ගුප්තා සහ ආශ්චර්යා සෝනි යන අයට වරෙන්තු නිකුත් කිරීම සඳහා ඉදිරි දින සාක්ෂි මෙහෙයවන බව අල්ලස් කොමිසම දැනුම් දුන්නා. තවද සිව්වන සැකකාර නාමල් රාජපක්ෂ ගේ අත්අකුරු පරීක්ෂාවට අදාළ ලේඛන කොළඹ මහාධිකරණය මගින් ලබාගෙන රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිත බවද කොමිසම සඳහන් කළා. මහාධිකරණයේ අතුරු තහනම් නියෝගය හේතුවෙන් නාමල් රාජපක්ෂ ද එදින දක්වා රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා.
17. චාමර සම්පත් දසනායක ලබන 27 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට
පොස්පේට් ආනයනය කරන සමාගම්වලින් රුපියල් ලක්ෂ 81කට අධික මුදලක් අල්ලස් ලෙස ලබා ගත්තේ යැයි චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා ලබන 27 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉකුත් (20) නියෝග කළා.
එදින උදෑසන සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වීමෙන් පසු, දහවල් නඩුව යළි කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ නලින් ලද්දුහෙට්ටි වාචිකව යළි ඇප ඉල්ලීමක් ඉදිරිපත් කරමින් මෙලෙස කරුණු දැක්වුවා:
"ස්වාමීනි, පළමු බී වාර්තාව 2026 සැප්තැම්බර් 25 දින අධිකරණයට ඉදිරිපත් කරමින් මිලියන 8.1ක මුදලක් නීති විරෝධී තුටු පඬුරක් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මගේ සේවාදායකයාට එල්ල කළා. දැනට මගේ සේවාදායකයා දවස් 65ක් රිමාන්ඩ්ව ඉන්නවා. මෙම මුදල් ලබා දුන් බව කියන පෞද්ගලික ආයතනයක හිමිකරුවෙකු වන දිනේෂ් පෙරේරා නමැත්තාගෙන් අල්ලස් කොමිසම 2025 ජූනි 24 වැනිදා ප්‍රකාශයක් ලබාගෙන තිබුණත්, බී වාර්තා පහෙන්ම එය අධිකරණයට සඟවා තිබෙනවා. ඔහු සිය ප්රකාශයේදී කියා ඇත්තේ දේශපාලන කටයුතු සංවර්ධනයට පමණක් මුදල් දුන් බවයි. එය සුවිශේෂී කරුණක් සේ සලකා ඇප ලබා දෙන්න."
ඊට ප්‍රතිචාර දක්වමින් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්යක්ෂ නීතිවරිය මෙලෙස කරුණු පැහැදිලි කළා:
"ස්වාමීනි, මුලින්ම අපට ලැබුණු නිර්නාමික පැමිණිල්ල අනුව 2025 ජූනි 24 වැනිදා දිනේෂ් පෙරේරාගෙන් ප්‍රකාශයක් ගන්නා අවස්ථාවේදී පළමු සැකකරුගේ ගිණුමට ලක්ෂ 81ක් බැර වීමක් අනාවරණය වී තිබුණේ නැහැ. පසුව බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී සිව්වන සැකකරු වන දිනේෂ් පෙරේරා විසින් ලක්ෂ 20ක් බැර කර ඇති බව අනාවරණය වූ පසු නැවත ප්‍රකාශයක් ගැනීමට ලිපි යැව්වත්, ඔහු පළමු ප්‍රකාශය දුන් දිනට පසු දිනම විදෙස්ගතව ඇති බව හෙළි වුණා. අපි කිසිවක් අධිකරණයට සැඟවූයේ නැහැ."
දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ඉදිරි දින ප්‍රකාශයට පත් කරන බව දන්වමින් විදෙස්ගතව සිටින සිව්වන සැකකරු අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කළා.
18. ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට එරෙහිව වසන්ත මුදලිගේගෙන් රිට් පෙත්සමක්
මෙරට වැඩිහිටි ජනතාවගේ ජෛවමිතික දත්ත (කළු ඉංගිරියාව, මුහුණේ හැඩය ඇතුළු දත්ත) එකතු කර ඉන්දියානු සමාගමකට ලබා දී ඩිජිටල් හැඳුනුම්පතක් නිකුත් කිරීමේ ව්‍යාපෘතියට අදාළ කැබිනට් තීරණය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ ලේකම්වරයා 2026 මැයි 27 වැනිදා නිකුත් කළ පැවරීමේ ලිපිය බල රහිත කරන සර්ටියෝරාරි (Certiorari) රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ජන අරගල ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජික වසන්ත මුදලිගේ අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළා.
නීතිපතිවරයා, කැබිනට් මණ්ඩලය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ ලේකම්වරයා සහ Gov Tech ශ්‍රී ලංකා සමාගම ඇතුළු 29 දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් ගොනු කළ මෙම පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතේ 6(2) වගන්තිය යටතේ මෙලෙස ජෛවමිතික දත්ත රැස්කර විදේශීය ආයතනවලට ලබා දීමට නීතිමය බලයක් නොමැති බවත්, එය ජාතික ආරක්ෂාවට සහ පුද්ගල නිදහසට තර්ජනයක් බවත්ය.
19. පිල්ලෙයාන්ගේ ඇප පෙත්සම ගැන ජනවාරි 18 කරුණු දක්වන්නැයි නීතිපතිට නොතීසි
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2025 අප්‍රේල් 08 වැනිදා අත්අඩංගුවට ගෙන වසරකට ආසන්න කාලයක් රැඳවුම් භාරයේ තබා, 2026 අප්‍රේල් 02 වැනිදා සිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නැගෙනහිර පළාත් හිටපු මහඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමට අදාළව ජනවාරි 18 වැනිදා කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නොතීසි නිකුත් කළා.
පී. කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා පෙන්වා දුන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසරකට පසු ඇප ලබා දීමට අභියාචනාධිකරණයට බලය ඇති බවයි. 2006 වසරේදී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.
20. අල්ලස් ගත් දේශීය ආදායම් බදු තක්සේරුකරුට බරපතළ වැඩ සහිත සිර දඬුවම්
2011 වසරේදී ව්‍යාපාරිකයකුගේ වාර්ෂික බදු මුදල් අඩුවෙන් තක්සේරු කිරීම සඳහා රුපියල් ලක්ෂ 4ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 375,000ක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ අනුරාධපුර දේශීය ආදායම් බදු කාර්යාලයේ හිටපු තක්සේරුකරුවකු වන රාජපක්ෂ මුදියන්සේලාගේ අනුරුද්ධ අභයරත්න නමැත්තාට බරපතළ වැඩ සහිත වසර 16ක සිර දඬුවමක් නියම කොට එය වසර 4කින් එකවර ගෙවී යන ලෙස ක්‍රියාත්මක කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් නියෝග කළේය.
ඊට අමතරව රුපියල් 20,000ක දඩයක් ද, අල්ලස් ලෙස ලබාගත් රුපියල් 375,000ක මුදල දඩයක් ලෙස අය කර ගැනීමට ද නියෝග කළ විනිසුරුවරයා, විත්තිකරුගේ ප්‍රජා අයිතිය වසර 7කට තහනම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවට දන්වා යැවීමට නියම කළේය. මෙම නඩුවේ දෙවන විත්තිකාරිය 2019 වසරේදී වරද පිළිගැනීම නිසා දඬුවම් ලැබූ අතර, පළමු විත්තිකරු වරද නොපිළිගැනීම නිසා දීර්ඝ නඩු විභාගයකින් පසු මෙලෙස තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි.
21. මිලියන 47.6 ක මූල්‍ය වංචාවකට චීන කටු වෛද්‍යවරයෙකුට අත්හිටවූ සිර දඬුවම්
ව්‍යාපාර කටයුත්තක් සඳහා බව පවසමින් පන්නිපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන පී. සුදර්ශන මංගල ගෙන් 2022–2023 කාලය තුළ ලබාගත් රුපියල් මිලියන 47.6ක මුදලක් ආපසු නොදී අගරු චෙක්පත් ලබා දී වංචා කිරීමේ නඩු හතරකට වරදකරු වූ කළුබෝවිල ප්‍රදේශයේ චීන කටු වෛද්‍ය සායනයක් පවත්වාගෙන යන ප්‍රසාද් දේශප්‍රිය නමැති වෛද්‍යවරයාට නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් ඉකුත් (20) රුපියල් 4,760,000ක දඩ මුදලක් සහ රුපියල් ලක්ෂ 8ක වන්දි මුදලක් නියම කළා.
එම නඩු හතරට අදාළව මහේස්ත්‍රාත්වරයා නියම කළ දඬුවම් පහත පරිදි වේ:
| පළමු සහ දෙවන නඩු සඳහා: වෙන වෙනම මාස 6 බැගින් වූ සිර දඬුවම් නියම කර එය වසර 5කට අත්හිටුවූ අතර, එක් නඩුවකට රුපියල් ලක්ෂ 20 බැගින් ලක්ෂ 40ක දඩයක් සහ රුපියල් ලක්ෂ 2 බැගින් ලක්ෂ 4ක වන්දියක් නියම කෙරුණා.
| තෙවන නඩුව සඳහා: මාස 3ක සිර දඬුවමක් වසර 5කට අත්හිටුවා රුපියල් 360,000ක දඩයක් සහ රුපියල් ලක්ෂ 2ක වන්දියක් නියම කෙරුණා.
| සිව්වන නඩුව සඳහා: මාස 3ක සිර දඬුවමක් වසර 5කට අත්හිටුවා රුපියල් ලක්ෂ 4ක දඩයක් සහ රුපියල් ලක්ෂ 2ක වන්දියක් නියම කෙරුණා.
වන්දි මුදල් ගෙවීම සඳහා නඩු පෙබරවාරි 02 වැනිදාත්, දඩ මුදල් ගෙවීම සඳහා මැයි 11 වැනිදාත් යළි කැඳවීමට නියමිතයි.
(සටහන | විනූ කරුණාරත්න)
ගෙවුණු සතියේ (නොවැ. 16–20) අධිකරණ හමුවේ දිගහැරුණු ප්‍රධාන නඩු විභාග
Awara
November 22, 2026 • 1:28 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ විසින් නීතිපති වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා කළ ඉල්ලීමක් සලකා බලා මෙලෙස නියෝග කළා.
- ඒ අනුව නඩුව ජනවාරි 18 වැනිදා යළි කැඳවීමට නියම කළ විනිසුරුවරිය, එදිනට සැකකරු රක්ෂිත බන්ධනාගාරගතව සිටී නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා.
- බලංගොඩ කස්සප හිමියන්ගෙන් බන්ධනාගාරයේදී ප්‍රකාශයක් ගැනීමට නියෝග රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බලංගොඩ කස්සප හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස කොළඹ දිසා අපරාධ කොට්ඨාසය ඉකුත් (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.
- ඉකුත් දා විහාරමහාදේවී උද්‍යානයේ පැවති සත්‍යග්‍රහයේදී පොලිස් නිලධාරීන් විසින් තමන් වහන්සේට පහර දුන් බවට කස්සප හිමියන් මාධ්‍ය ඔස්සේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට නියෝග කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
#theleader.lk#theleadernews
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


