The Leader News
BREAKING
පිරිසිදු හුස්මත් අපට අහිමි වේද?: වායු ගුණාත්මකභාවය පහළ බැසීමේ කතාව●මරණාසන්න රෝගීන්ට නිහඬ සෙනෙහස පෑ බළල් මිතුරා●ජාතක කතාවලින් පිළිබිඹු වන ස්ත්‍රිය පිළිබඳ සංකල්ප●එමිරේට්ස් යන ඔබ දැනගත යුතු ඇඳුම් පැළඳුම් සීමාවන්●උද්වේගය සහ සන්ත්‍රාසය තුළින් ඉතිහාසය වර්තමානයට: 'Uprising'●Diginote - ඩොලර් බිලියනයක විනිමය වංචාවක් හෙළිවේ; SRR අනුපාතය 3% දක්වා ඉහළට●ද්විත්ව පුරවැසියන්ට ජපානයෙන් දැඩි තීරණයක්: එක් රටක් තෝරාගන්න●‘උල්පතෙන් අලුත් ගඟක්’ සාහිත්‍ය සම්මානෝත්සවය 27වන දා●නීතියෙන් පමණක් රටක් හැදිය හැකිද? මිලින්දගෙන් ගැඹුරු විග්‍රහයක්●ගෙවුණු සතියේ (නොවැ. 16–20) අධිකරණ හමුවේ දිගහැරුණු ප්‍රධාන නඩු විභාග●
Top Ad
විශේෂාංග

මරණාසන්න රෝගීන්ට නිහඬ සෙනෙහස පෑ බළල් මිතුරා

Awara

Awara

November 22, 2026 • 4:30 PM

මරණාසන්න රෝගීන්ට නිහඬ සෙනෙහස පෑ බළල් මිතුරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම විස්මිත සිදුවීම වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රොවිඩන්ස් නගරයේ පිහිටි ‘Steere House Nursing and Rehabilitation Center’ නමැති වැඩිහිටි සත්කාර මධ්‍යස්ථානයෙනි.
  • එහි රැකවරණය ලබමින් සිටි ඩිමෙන්ෂියා රෝගීන් අතර ජීවත් වූ ඔස්කාර් (Oscar) නමැති බළලා 2007 වසරේදී ජාත්‍යන්තර අවධානයට ලක් වූයේ එක්තරා අරුම පුදුම හැසිරීම් දාමයක් නිසා ය.
  • එහෙත් ඇතැම් රෝගීන් අසලට ගිය ඔස්කාර් ඔවුන්ගේ ඇඳ මතට නැඟී ඔවුන් අසල ගුලි වී නිදාගැනීමටත්, පුරු පුරු හඬ නංවන අතරේ සන්සුන්ව සිටීමටත් පුරුදුව සිටියේය.
  • එහෙත් පුදුමයට කරුණ වූයේ ඔස්කාර් එසේ සමීප වන බොහෝ රෝගීන් පැය කිහිපයක් ඇතුළත මියයෑමයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම විස්මිත සිදුවීම වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රොවිඩන්ස් නගරයේ පිහිටි ‘Steere House Nursing and Rehabilitation Center’ නමැති වැඩිහිටි සත්කාර මධ්‍යස්ථානයෙනි. එහි රැකවරණය ලබමින් සිටි ඩිමෙන්ෂියා රෝගීන් අතර ජීවත් වූ ඔස්කාර් (Oscar) නමැති බළලා 2007 වසරේදී ජාත්‍යන්තර අවධානයට ලක් වූයේ එක්තරා අරුම පුදුම හැසිරීම් දාමයක් නිසා ය. එම මධ්‍යස්ථානයේ සේවය කළ වෛද්‍ය ඩේවිඩ් ඩෝසා (Dr. David Dosa) විසින් ‘The New England Journal of Medicine’ වෛද්‍ය සඟරාවට ලියන ලද ලිපියක් මඟින් ලෝකයට අනාවරණය වූ මෙම සිදුවීම ලොව පුරා විදුලි වේගයෙන් පැතිර ගියේ බොහෝ දෙනකු විස්මයට පත් කරමිනි.

ඔස්කාර්ගේ අරුම පුදුම පුරුද්ද

සාමාන්‍යයෙන් මිනිසුන් සමඟ වැඩි සම්බන්ධතාවක් නොපවත්වා තමන්ගේ පාඩුවේ ජීවත් වූ ඔස්කාර් බළලා තුළ එක් විශේෂ පුරුද්දක් තිබිණි. එනම් රෝගීන්ගේ කාමරවලට ගොස් ඔවුන් දෙස නිරීක්ෂණය කිරීම ය. එහෙත් ඇතැම් රෝගීන් අසලට ගිය ඔස්කාර් ඔවුන්ගේ ඇඳ මතට නැඟී ඔවුන් අසල ගුලි වී නිදාගැනීමටත්, පුරු පුරු හඬ නංවන අතරේ සන්සුන්ව සිටීමටත් පුරුදුව සිටියේය. එහෙත් පුදුමයට කරුණ වූයේ ඔස්කාර් එසේ සමීප වන බොහෝ රෝගීන් පැය කිහිපයක් ඇතුළත මියයෑමයි.

මෙය එක් වරක් හෝ දෙවරක් සිදු වූ අහඹු සිදුවීමක් නොවූ බව එහි වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය නිරීක්ෂණය කර තිබිණි. ඔස්කාර්ගේ හැසිරීම පිළිබඳව ඔවුන් කෙතරම් විශ්වාසයක් තැබුවේද යත්, පසු කලෙක ඌ මරණාසන්න රෝගියකුගේ ඇඳ අසලට පැමිණ නතර වූ විට එම රෝගියාගේ පවුලේ සාමාජිකයන්ට දැනුම් දීමට පවා කටයුතු කර තිබිණ.



වෛද්‍ය ඩෝසාගේ මුල් වාර්තාවලට අනුව ඔස්කාර් මරණ 25කට අධික සංඛ්‍යාවක් කල් ඇතිව හඳුනාගෙන තිබූ අතර පසුව පළ වූ වාර්තාවල එම සංඛ්‍යාව 50ක් පමණ දක්වා ඉහළ ගොස් තිබිණ. ඇතැම් අවස්ථාවලදී වෛද්‍යවරුන් මරණාසන්න බවට සැක කළ පුද්ගලයකු අසලට නොගිය ඔස්කාර්, වෙනත් රෝගියකු අසලට ගොස් සිටි බවත් පසුව එම පුද්ගලයා පළමුව මියගිය බවත් එම වාර්තාවල සඳහන් විය. මෙම සිදුවීම පිළිබඳව 2017 වසරේ දී නැවතත් වෛද්‍ය විමසුමක් පළ විය. එහිදී ඔස්කාර්ගේ හැසිරීම මරණය පිළිබඳ පුරෝකථනයක් ලෙස සැලකීමේ දී ඇති අවිනිශ්චිතතාව සහ වෛද්‍ය විද්‍යාවේ මරණය පුරෝකථනය කිරීමේ සීමාවන් ද සාකච්ඡා කර තිබිණ.

මරණාසන්න මොහොත සහ සතුන්ගේ සංවේදීතාව

මිනිසකුගේ ජීවිතයේ අවසන් මොහොත ළං වන විට ඔහුගේ ශරීරයේත් හැසිරීම්වලත් විවිධ වෙනස්කම් සිදු වේ. ඇතැම් විට මරණාසන්න පුද්ගලයා අසල සිටින පවුලේ සාමාජිකයන්ට පවා මේ වෙනස්කම් නිවැරදිව හඳුනාගත නොහැකි අවස්ථා තිබේ. එහෙත් එවැනි අවස්ථාවලදී බළලුන් වැනි සුරතල් සතුන් මරණාසන්න පුද්ගලයන් අසලට පැමිණ ඔහු සමඟ වැඩි වේලාවක් රැඳී සිටීමට උත්සාහ කරන බවට ලොව විවිධ අත්දැකීම් සහ වාර්තා රැසක් තිබේ.

ඒ අනුව මෙය හුදෙක් අහම්බයක්ද? නැතහොත් මිනිස් ශරීරයේ සිදුවන වෙනස්කම් බළලුන්ගේ තියුණු ඉන්ද්‍රියයන්ට හඳුනාගත හැකිද? යන ප්‍රශ්නය සත්ත්ව චර්යාව (animal behavior), සත්ත්ව සංවේදනය (animal sensory perception) සහ මිනිස් මරණාසන්න අවස්ථාව පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාඥයන්ගේ අවධානයට යොමු වී ඇති උද්යෝගීමත් මාතෘකාවකි. මිනිසකු මරණාසන්න අවස්ථාවට ළඟා වන විට ශරීරයේ සිදුවන වෙනස්කම් කිහිපයක් තිබේ. රුධිර සංසරණය දුර්වල වීම, හුස්ම ගැනීමේ රටාව වෙනස් වීම, ශරීර උෂ්ණත්වය පහළ යෑම, සමේ පැහැය වෙනස් වීම සහ ශරීරයේ ක්‍රියාකාරීත්වය අඩපණ වීම ඒ අතර වේ. මෙම වෙනස්කම් මිනිසුන්ට වඩා වෙනස් ආකාරයකින් බළලුන්ට දැනිය හැකි බවට විද්‍යාත්මකව සාකච්ඡා කළ හැකි මූලික පදනමක් ද තිබේ.

තියුණු ඉන්ද්‍රියයන් හරහා සිදුවන නිරීක්ෂණ


බළලුන්ගේ ආඝ්‍රාණ ඉන්ද්‍රිය (sense of smell) මිනිසාට වඩා සංවේදීය. මිනිස් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලීන් (metabolism) වෙනස් වන විට ශරීරයෙන් නිකුත් වන ඇතැම් රසායනික සංයෝගවල ද වෙනස්කම් ඇති විය හැකිය. ඒවායින් ඇති වන ගන්ධ වෙනස්කම් සතුන්ට දැනිය හැකි යන්න විද්‍යාත්මකව විමසා බැලිය හැකි කරුණකි.

2025 වසරේ සිදු කළ අධ්‍යයනයකින් බළලුන්ට මිනිසුන්ගේ ගන්ධ හඳුනාගෙන හුරුපුරුදු පුද්ගලයන් සහ නාඳුනන පුද්ගලයන් අතර වෙනස හඳුනාගත හැකි බව පෙන්වා දී තිබේ. එහෙත් එම අධ්‍යයනයෙන් මරණාසන්න පුද්ගලයකුගේ ගන්ධය හඳුනාගැනීමේ හැකියාව සනාථ කර නැත. බළලුන්ට මිනිසුන්ට නොඇසෙන ඉහළ සංඛ්‍යාතවල ඇතැම් ශබ්ද ඇසීමේ හැකියාව තිබේ. එමෙන්ම ඉතා සුළු ශබ්ද වෙනස්කම් පවා හඳුනාගත හැකි ය. ඒ අනුව මරණාසන්න පුද්ගලයකුගේ හුස්ම ගැනීමේ රටාව වෙනස් වීම, හුස්ම ගැනීමේ අතරමැදි කාලය වැඩි වීම හෝ අසාමාන්‍ය ශබ්ද ඇති වීම වැනි කරුණු බළලුන්ගේ අවධානයට ලක්විය හැකි බවට අනුමාන කෙරේ.

බළලුන් යනු ඉතා සුළු චලන වෙනස්කම් කෙරෙහි සංවේදී සත්ත්ව කොට්ඨාසයකි. නිරෝගීව සිටි පුද්ගලයකුගේ චලනයන් අඩුවීම, ශරීරය නිශ්චලව පැවතීම, ඇස්වල හා මුහුණේ ඉරියව් වෙනස් වීම වැනි දේ ඔවුන්ට නිරීක්ෂණය කළ හැකි ය. එමෙන්ම මිනිසාගේ කටහඬ, ශරීර භාෂාව සහ දෛනික හැසිරීම්වල වෙනස්කම් ද බළලුන්ගේ හැසිරීමට බලපාන බව සත්ත්ව චර්යා අධ්‍යයනවලින් පෙනී යයි.

රෝගීන් අසල රැඳී සිටීමට හේතුව කුමක්ද?

මෙහිදී වැදගත් වන්නේ බළලා මරණය හඳුනාගන්නවාද යන්න පමණක් නොවේ. මරණාසන්න පුද්ගලයකු අසලට පැමිණ ඌ රැඳී සිටින්නේ ඇයිද යන්න ද විමසා බැලිය යුතු වේ.

බළල්ලු ස්වභාවයෙන්ම පරිසරයේ ආරක්ෂාව, නිශ්චලතාව සහ හුරුපුරුදු සුවඳ කෙරෙහි අවධානය යොමු කරති. තමන් හුරුපුරුදු පුද්ගලයකුගේ ශරීරයේ වෙනස්කම් හඳුනාගත් විට ඔවුන්ගේ හැසිරීම ද වෙනස් විය හැකි ය.

ඔස්කාර් (Oscar) බළලා

මරණාසන්න පුද්ගලයකු සාමාන්‍යයෙන් අඩු චලනයකින් යුතුව නිශ්චලව සිටින බැවින් බළලාට ඔහු අසල රැඳී සිටීම පහසු විය හැකි ය. එසේම එම පුද්ගලයා සමඟ කලින් පැවැති බැඳීම, හුරුපුරුදු සුවඳ සහ නිවසේ හෝ කාමරයේ ඇති වෙනස්කම් ද බළලාගේ හැසිරීමට බලපානවා විය හැකිය.

බළලුන් නිකුත් කරන පුරු පුරු හඬ සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු වී තිබේ. සතුටින් සිටින විට පමණක් නොව, ඇතැම් විට වේදනාවක් හෝ ආතතියක් ඇති විට ද බළල්ලු මෙම පුරු පුරු හඬ නිකුත් කරති. නමුත් බළලකු මරණාසන්න පුද්ගලයකු අසල පුරු පුරු හඬ නඟමින් සිටීම එම පුද්ගලයා සුවපත් කිරීමේ අරමුණින්ම සිදු කරන ක්‍රියාවක් බවට නිගමනය වී නැත.

හයවැනි ඉන්ද්‍රියක්ද? නැතහොත් විද්‍යාත්මක සාධකයක්ද?

ඔස්කාර්ගේ මෙම විස්මයජනක සිදුවීම් දාමය ලෝකයට අනාවරණය වීමත් සමඟ බළලුන්ට මිනිසුන්ගේ මරණය කල්තියා දැනගැනීමේ විශේෂ හැකියාවක් තිබේද යන්න පිළිබඳ විවිධ මත පළ විය. සමහරු එය සතුන්ට පවතින හයවැනි ඉන්ද්‍රියයක (sixth sense) ක්‍රියාකාරීත්වයක් ලෙස හැඳින්වූහ. තවත් පිරිසක් එය සාමාන්‍ය මිනිස් ඉන්ද්‍රියයන්ට ගෝචර නොවන ශරීර වෙනස්කම් හඳුනාගැනීමේ හැකියාවක් ලෙස විග්‍රහ කළහ.

Steere House Nursing and Rehabilitation Center වැඩිහිටි නිවාසය

කෙසේ වෙතත්, බළලුන්ට මරණය පිළිබඳ අනාගත පුරෝකථනයක් කළ හැකි බවට තහවුරු කළ විද්‍යාත්මක සාක්ෂි තවමත් ගොනු වී නොමැත. ඔස්කාර් පිළිබඳ වාර්තා ද පාලිත විද්‍යාත්මක පරීක්ෂණයක ප්‍රතිඵල නොව, සත්කාර මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය ලැබූ නිරීක්ෂණ හා අත්දැකීම් මත පදනම් වූ ඒවා ය. කැනඩාවේ මැක්ගිල් විශ්වවිද්‍යාලයේ විද්‍යා හා සමාජ අධ්‍යයන අංශය ද ඔස්කාර්ගේ සිදුවීම විමර්ශනය කරමින් බළලාට මරණය දැනගැනීමට ඇති හැකියාව පිළිබඳ තහවුරු කළ හැකි ප්‍රමාණවත් විද්‍යාත්මක සාධක නොමැති බව පෙන්වා දී තිබේ.

එහෙත් මෙයින් බළලුන්ට මිනිස් සිරුරේ සිදුවන සියුම් වෙනස්කම් දැනගත නොහැකි බවක් අදහස් නොවේ. නමුත් ඔවුන්ගේ තියුණු ආඝ්‍රාණය, ශ්‍රවණය, පෙනීම සහ මිනිස් හැසිරීම් නිරීක්ෂණය කිරීමේ හැකියාව සැලකූ විට එවැනි වෙනස්කම් හඳුනාගැනීමේ හැකියාවක් තිබීම සාධාරණ විද්‍යාත්මක උපකල්පනයකි.

වචන නොමැති මානවීය සැනසීම

මෙම සිදුවීම්වල ඇති වඩාත් සංවේදී මානවීය පැත්ත වන්නේ මරණාසන්න පුද්ගලයකු අසල බළලකු රැඳී සිටීමයි.

මිනිසාගේ ජීවිතයේ අවසන් අවස්ථාවලදී ඔහුට සමීපව සිටින්නේ ඇතැම් විට පවුලේ සාමාජිකයන් ය. එහෙත් ඩිමෙන්ෂියා වැනි රෝගවලින් පෙළෙන වැඩිහිටියන්ට ඇතැම් අවස්ථාවලදී තම සමීපතමයන් හඳුනාගැනීම පවා අපහසු විය හැකි ය. එවැනි පරිසරයක ඔස්කාර් වැනි සතකු රෝගියකු අසලින් නොගොස් රෝගියාට තනි රැකීම පවුලේ සාමාජිකයන්ට මෙන්ම සත්කාරක කාර්ය මණ්ඩලයට ද මානසික සැනසීමක් ගෙන දී තිබේ.

වෛද්‍ය ඩේවිඩ් ඩෝසා

නමුත් බළලා එසේ කරන්නේ මරණය තේරුම්ගෙනද, නැතහොත් රෝගියාගේ ශාරීරික වෙනස්කම් හඳුනාගෙනද, එසේත් නැතහොත් ඔහු සමඟ කලින් පැවැති හුරුපුරුදු බැඳීම නිසාද යන්න තවමත් නිශ්චිතව පැහැදිලි කළ නොහැකි ය.


එහෙත් එක් කරුණක් පැහැදිලි ය. එනම් සතුන්ගේ හැසිරීම් පිළිබඳ අපගේ අවබෝධය තවමත් සම්පූර්ණ වී නොමැති බවකි. මිනිසාට නොදැනෙන බොහෝ පාරිසරික හා ශාරීරික සංඥා සතුන්ට දැනිය හැකි ය. ඒවා හඳුනාගැනීමේදී ඔවුන්ගේ හැසිරීම් ද වෙනස් විය හැකිය.

එබැවින් මරණාසන්න පුද්ගලයකු අසලට බළලකු පැමිණීම හුදෙක් අද්භූත සිදුවීමක් ලෙස බැහැර කිරීමත්, එය මරණය කල්තියා දැනගැනීමේ අද්භූත බලයක් ලෙස පිළිගැනීමත් යන දෙකම විද්‍යාත්මකව සාධාරණ නොවේ.

සමහරවිට මිනිසාට නොපෙනෙන, නොඇසෙන, නොදැනෙන ජීව විද්‍යාත්මක සංඥා හඳුනාගැනීමට සතුන්ට ඇති හැකියාව පිළිබඳව තවදුරටත් පර්යේෂණ කිරීම අවශ්‍ය විය හැකිය.

මිනිසා මරණය ඉදිරියේ තනිවී සිටින අවස්ථාවක ඔහු අසලින් නිහඬව රැඳී සිටින බළලකුගේ හැසිරීම තුළින් අපට තවත් දෙයක් සිහිපත් වේ. එනම් සෙනෙහස සහ සමීපතාව ප්‍රකාශ කිරීමට වචන අවශ්‍ය නොවන බවයි.

නමුත් හැකි සෑම විටෙකම ඔබ සමීපයට වී ඔබගේ සිරුරේ දැවටෙමින් පුරු පුරු හඬ නඟන ඔබගේ බළල් සුරතලාගේ හැසිරීම් සම්බන්ධයෙන් ඔබ අමුතු බියක් ඇති කර ගත යුතු නැත. ඒ මක් නිසා ද යත් මෙම ලියන මොහොතේ පවා මා එවැනි අත්දැකීමක් ලබමින් හිඳින බැවිනි.


මුල් ලිපිය (Vinivida.lk):

තිලක් සේනාසිංහ

ගවේෂණාත්මක මාධ්‍යවේදී

thilaksenasinghe@gmail.com

View all stories by තිලක් සේනාසිංහ
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...