The Leader News
BREAKING
පිරිසිදු හුස්මත් අපට අහිමි වේද?: වායු ගුණාත්මකභාවය පහළ බැසීමේ කතාව●මරණාසන්න රෝගීන්ට නිහඬ සෙනෙහස පෑ බළල් මිතුරා●ජාතක කතාවලින් පිළිබිඹු වන ස්ත්‍රිය පිළිබඳ සංකල්ප●එමිරේට්ස් යන ඔබ දැනගත යුතු ඇඳුම් පැළඳුම් සීමාවන්●උද්වේගය සහ සන්ත්‍රාසය තුළින් ඉතිහාසය වර්තමානයට: 'Uprising'●Diginote - ඩොලර් බිලියනයක විනිමය වංචාවක් හෙළිවේ; SRR අනුපාතය 3% දක්වා ඉහළට●ද්විත්ව පුරවැසියන්ට ජපානයෙන් දැඩි තීරණයක්: එක් රටක් තෝරාගන්න●‘උල්පතෙන් අලුත් ගඟක්’ සාහිත්‍ය සම්මානෝත්සවය 27වන දා●නීතියෙන් පමණක් රටක් හැදිය හැකිද? මිලින්දගෙන් ගැඹුරු විග්‍රහයක්●ගෙවුණු සතියේ (නොවැ. 16–20) අධිකරණ හමුවේ දිගහැරුණු ප්‍රධාන නඩු විභාග●
Top Ad
සාහිත්‍ය - කලා

ජාතක කතාවලින් පිළිබිඹු වන ස්ත්‍රිය පිළිබඳ සංකල්ප

Awara

Awara

November 22, 2026 • 4:18 PM

ජාතක කතාවලින් පිළිබිඹු වන ස්ත්‍රිය පිළිබඳ සංකල්ප

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මා මීට පස් වසරකට පමණ මෙර ''ජාතක කතා විමර්ශන'' යන මැයෙන් මෙම වෙබ් අඩවියට ම ලිපි පෙළක් සම්පාදනය කළේ ය.
  • කෙසේ වෙතත් අවසන මට හැඟී ගියේ මේ සම්බන්ධයෙන් ලිපි පෙළක් සම්පාදනය කළ යුතු බවයි.
  • සමස්ත කාන්තා සමාජය පිළිබඳ සත්‍යය/ අසත්‍ය ජාතක කතා රාශියක කාන්තාව: කාමයට ඇලුම් කරන, සැමියාට ද්‍රෝහී වන, වංචාකාරී, කපටි හෝ තම ආශා පාලනය කරගත නොහැකි චරිතයක් ලෙස නිරූපණය වන අවස්ථා හමුවේ.
  • විශේෂයෙන් පුරුෂයා ගේ සදාචාරාත්මක පිරිහීමට හේතුවක් ලෙස කාන්තාව ඉදිරිපත් කරන කතා ද ඒහි අන්තර්ගත ය.
අකුරු ප්‍රමාණය (Font Size):

මා මීට පස් වසරකට පමණ මෙර ''ජාතක කතා විමර්ශන'' යන මැයෙන් මෙම වෙබ් අඩවියට ම ලිපි පෙළක් සම්පාදනය කළේ ය. පසු කලෙක පැවති කාර්ය බහුලත්වය හේතුවෙන් එය අතරමග නතතර කරන්නට සිදු විය; නමුදු පසු ගිය මාසයක පමණ කාලයක ලද විවේක කාල සීමාවේ දී නැවතත් මේ පිළිබඳ අවධානය යොමු කරන්නට සිත් විය. එබැවින් යළිත් ජාතක කතා සංග්‍රහය පරිශීලනය කළේ ය. එහි දී දක්නට ලැබුණු විශේෂත්වය වූයේ සමස්ත ජාතක කතා සංග්‍රහය තුළ ම ස්ත්‍රිය පිළිබඳ විවිධ සංකල්ප ප්‍රකට කර තිබීම ය; වඩා වැදගත් වන්නේ එම සංකල්ප බොහොමයක් ම ස්ත්‍රිය පිළිබඳ ඍණාත්මක සංකල්ප (ධනාත්මක සංකල්ප නැතුවා නොවේ) වීම ය. කෙසේ වෙතත් අවසන මට හැඟී ගියේ මේ සම්බන්ධයෙන් ලිපි පෙළක් සම්පාදනය කළ යුතු බවයි.

ඒ අනුව ඉදිරියේ දී '' ජාතක කතාවලින් පිළිබිඹු වන ස්ත්‍රිය පිළිබඳ සංකල්ප'' යන මැයෙන් ලිපි පෙළක් සම්පාදනය කිරීමට බලාපොරොත්තු වන අතර, මතු පළ වන්නේ ඒ පිළිබඳ කරන හැඳින්වීමකි.

බෞද්ධ සාහිත්‍යයට අයත් ජාතක කතා බෝසතුන් ගේ පෙර භව සමග සම්බන්ධ සිදුවීම් ඇසුරින්: මිනිස් ජීවිතයේ විවිධ හැසිරීම්, ගුණ සහ දුර්ගුණ පිළිබඳ පාඩම් ඉදිරිපත් කරන කතා සම්ප්‍රදායකි. ඒවායේ අරමුණ හුදෙක් රසවත් කතා කීම නොව, මිනිසා ගේ සිතෙහි පවත්නා යහපත් මෙන් ම අයහපත් ප්‍රවණතා හඳුනාගෙන සදාචාරාත්මක ජීවිතයකට මඟ පෙන්වීම යි. එහෙත් එම කථා විමර්ශනය කිරීමේ දී කාන්තා චරිත නිරූපණය කරන ආකාරය පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කළ යුතු ය.

සමස්ත කාන්තා සමාජය පිළිබඳ සත්‍යය/ අසත්‍ය

ජාතක කතා රාශියක කාන්තාව: කාමයට ඇලුම් කරන, සැමියාට ද්‍රෝහී වන, වංචාකාරී, කපටි හෝ තම ආශා පාලනය කරගත නොහැකි චරිතයක් ලෙස නිරූපණය වන අවස්ථා හමුවේ. විශේෂයෙන් පුරුෂයා ගේ සදාචාරාත්මක පිරිහීමට හේතුවක් ලෙස කාන්තාව ඉදිරිපත් කරන කතා ද ඒහි අන්තර්ගත ය. මෙවැනි නිරූපණ තුළින් ස්ත්‍රිය ගේ: ලිංගික ආශාව, ඊර්ෂ්‍යාව, කපටිකම, වංචාව සහ අසංවරභාවය “දුර්වලතා” ලෙස හඳුන්වා දෙන ආකාරයක් දැකිය හැකි ය.

කාමය සම්බන්ධ නිරූපණය එහි ප්‍රධාන ස්ථානයක් උසුලයි; ඇතැම් ජාතක කතාවල විවාහක ස්ත්‍රියක් තම සැමියා අවිශ්වාස කර වෙනත් පුරුෂයකු සමඟ සම්බන්ධ වීමට පෙළඹෙන ආකාරය දැක්වේ. එවැනි චරිත මගින් විවාහ සදාචාරය බිඳ දැමීමේ විපාක පෙන්වා දීමට උත්සාහ කරන බව පැහැදිලි ය. නමුත් ඒවා සමස්ත කාන්තා සමාජය පිළිබඳ සත්‍යයක් ලෙස නොව, සදාචාරාත්මක උපදේශයක් සඳහා ගොඩනැගූ චරිත හෝ රූපක ලෙස කියවීම වැදගත් ය.

''ජාතක කතාවල ස්ත්‍රිය'' යන්න එක ම ආකෘතියකට කොටු කළ හැකි ද…?

තවත් අවස්ථාවක කපටිකම සහ වංචාව ස්ත්‍රී දුර්වලතාවක් ලෙස ඉස්මතු කරයි. තම අරමුණ ඉටු කර ගැනීම සඳහා බොරුව, රැවටීම හෝ උපක්‍රම භාවිත කරන කාන්තාවන් පිළිබඳ කතා අන්තර්ගත ය. මෙහි දී විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු කරුණ වන්නේ, එවැනි හැසිරීම් පුරුෂයින් තුළ ද පවතින බවයි. එබැවින් ඒවා ස්ත්‍රීන්ට පමණක් සීමා වූ දුර්වලතා ලෙස දැකීම අසාධාරණය යන්න මගේ පුද්ගලික අදහස ය.

ඊර්ෂ්‍යාව, මානය සහ බලයට ඇති ආශාව ද ඇතැම් කාන්තා චරිත තුළින් නිරූපණය කරයි. තමන්ට ලැබෙන අවධානය වෙනත් කාන්තාවකට හිමිවීම නොඉවසීම, තම තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහා අනෙක් අයට හානි කිරීම, තම රූපය හෝ සමාජ තත්ත්වය පිළිබඳ අධික මානයක් දැක්වීම යනාදි ලක්ෂණ ද කාන්තා චරිත සමග සම්බන්ධ කර ඇති බව දැකිය හැකි ය.

එහෙත් ජාතක කතාවල කාන්තාව නිරන්තරයෙන්ම දුර්වල චරිතයක් ලෙස නිරූපණය වන්නේ යැයි පැවසීම වැරදි ය. ප්‍රඥාවන්ත, ධෛර්යවත්, පතිවත රකින, කරුණාවන්ත, පරිත්‍යාගශීලී සහ බුද්ධිමත් කාන්තා චරිත ද ඒ අතර හමුවේ. එම චරිත සමහර අවස්ථාවල පුරුෂ චරිතවලට පවා නිවැරදි මග පෙන්වන ආකාරය දැකිය හැකිය. එබැවින් ''ජාතක කතාවල ස්ත්‍රිය'' යන්න එක ම ආකෘතියකට කොටු කළ නොහැකි ය.

පුරුෂාධිපත්‍යය මත ගොඩනැගුණු සමාජයක ලිංගික සදාචාරය

මෙහි දී තවත් වැදගත් කරුණක් වන්නේ ජාතක කතා නිර්මාණය වූ සමාජ පසුබිම යි. පැරණි ඉන්දියානු සමාජය අද සමාජයට සමාන නොවුණි. පවුල, විවාහය, ස්ත්‍රී පුරුෂ සබඳතා, ස්ත්‍රිය ගේ සමාජ භූමිකාව සහ ලිංගික සදාචාරය පිළිබඳ එදා පැවති අදහස් එම කතාවලට ඇතුළත් වීම ස්වාභාවික ය. එබැවින් අද දවසේ ස්ත්‍රීන් පිළිබඳ අපගේ සමාජ අවබෝධය මත පදනම්ව ඒ සියල්ල විනිශ්චය කිරීම වෙනුවට, ඒවා ඒවාට අදාළ ඓතිහාසික සහ සමාජ පසුබිම තුළ කියවීම වඩාත් ඵලදායී වේ.

සැබැවින් ම ''ස්ත්‍රී දුර්වලතා'' පිළිබඳ ජාතක කතා කියවීමේ දී තවත් ගැඹුරු ප්‍රශ්නයක් මතු වේ. එනම්, ස්ත්‍රියක ගේ දුර්වලතාවක් ලෙස පෙන්වන හැසිරීමක්, පුරුෂයකු ගේ හැසිරීමක් වූ විට එය එසේම විනිශ්චය කරන්නේ ද යන්නයි. පුරුෂාධිපත්‍යය මත ගොඩනැගුණු සමාජයක ලිංගික සදාචාරය පිළිබඳ නිර්ණායක පුරුෂයා විසින් නිර්මාණය කරන ලද්දේ නම්, කාන්තාවට පවරා ඇති ''දුර්වලතා'' නැවත කියවීම අවශ්‍ය වේ.

ඒ අනුව ජාතක කතාවල ස්ත්‍රී චරිත අපට වැදගත් වන්නේ ඒවායේ සඳහන් දුර්වලතා පමණක් නිසා නොවේ. මිනිස් සිතේ ඇති: කාමය, ඊර්ෂ්‍යාව, වංචාව, බලලෝභය, ආශාව සහ අසංවරභාවය ස්ත්‍රී-පුරුෂ භේදයකින් තොරව හඳුනාගැනීමට ඒවා අවස්ථාවක් සපයන බැවිනි. ස්ත්‍රියට පමණක් දෝෂ පවරන කියවීමකට වඩා එම චරිත මගින් පැරණි සමාජයේ ස්ත්‍රිය පිළිබඳ තිබූ ආකල්ප ද විමසා බැලීම වැදගත් ය.

ජාතක කතා හුදෙක් ආගමික හෝ සදාචාරාත්මක කතා එකතුවක් ද…?

එබැවින් ''ජාතක කතාවලින් පිළිබිඹු වන ස්ත්‍රිය පිළිබඳ සංකල්ප'' යන මාතෘකාව යටතේ කළ යුතු වඩාත් වැදගත් කියවීම වන්නේ ස්ත්‍රිය දුර්වල ද ශක්තිමත් ද යන්න තීරණය කිරීම නොව, එදා සමාජය ස්ත්‍රිය දුර්වල ලෙස දුටුවේ කෙසේ ද, එම දෘෂ්ටිය කතාවලට ඇතුළත් වූයේ කෙසේද, සහ අද අප එම නිරූපණ නැවත කියවිය යුත්තේ කෙසේද යන්න විමසීම ය.

එවැනි කියවීමක් මගින් ජාතක කතා හුදෙක් ආගමික හෝ සදාචාරාත්මක කතා එකතුවක් ලෙස නොව, පැරණි සමාජයේ මිනිස් සබඳතා, ලිංගික සදාචාරය සහ ස්ත්‍රී-පුරුෂ බල සම්බන්ධතා පිළිබඳ වටිනා සාහිත්‍යමය සාක්ෂියක් ලෙස ද හඳුනාගත හැකි ය.

ඉදිරියේ දී මෙම මාතෘකාව පිළිබඳ ව දීර්ඝ සහ හරවත් සාකච්ඡාවක් ඇරඹීමට බලාපොරොත්තුවෙන් මම මෙම හැඳීන්වීම අවසන් කරමි.

ජයසිරි අලවත්ත

නිදහස් ලේඛක

jayasirialawatta11@gmail.com

View all stories by ජයසිරි අලවත්ත
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...