The Leader News
BREAKING
දේශගුණික අභියෝග ජයගන්න බංග්ලාදේශ ගොවීන්ට ඩොලර් බිලියන 5ක ණය සහනයක්●අනුර නිසා රාජධානිය අහිමි වූ එකම දිනක උපන් දෙන්නෙක්! - ගුරුදා විග්‍රහය●සංවිධානාත්මක අපරාධ පනත සම්මත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කොළ එළියක්●විදෙස්ගත ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් එක්කරන GLEC සමුළුවට දිලිත් ජපානයට●'දෝන කමලාවතී' පිළිබඳ කෙටි ම කෙටි සටහනක්●රත්නපුර අධිවේගී මාර්ගය හැදෙන්න ගිය හැටි●පරිත්‍යාග වෙනුවට හවුල්කාරිත්වයක් ඉල්ලූ ශ්‍රී ලාංකික අභ්‍යවකාශ දැක්ම●ව්‍යාජ වීසා ජාවාරමකට හවුල් වූ හිටපු ඕස්ට්‍රේලියානු මන්ත්‍රීවරයා සිරගෙට●නව ජේම්ස් බොන්ඩ් රොබට් පැටින්සන්: 007 සිනමා පරිච්ඡේදයේ හැරවුම් ලක්ෂ්‍යය●ඉන්දියානුවන්ට මැලේසියානු වීසා නිදහස අහිමි වෙයි: 2027 සිට නව නීති●
Top Ad
විශේෂාංග

අනුර නිසා රාජධානිය අහිමි වූ එකම දිනක උපන් දෙන්නෙක්! - ගුරුදා විග්‍රහය

Nethmini

Nethmini

November 21, 2026 • 2:19 PM

අනුර නිසා රාජධානිය අහිමි වූ එකම දිනක උපන් දෙන්නෙක්! - ගුරුදා විග්‍රහය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වේළුපිල්ලේ ප්‍රභාකරන් ඉපදුණේ 1954 නොවැම්බර් 26ය.
  • ඔහුගේ දේශපාලන උත්පත්තියට පාර කපන්නේ 1956 බලයට ආ බණ්ඩාරනායකගේ සිංහල භාෂා ප්‍රතිපත්තියය.
  • ඔහු ඒ බව එල්.ටී.ටී.ඊ.ය පිහිටුවා එහි නායකයා වූ පසු කිහිප වරක්ම ප්‍රකාශ කොට තිබිණි.
  • බලයට ආ බණ්ඩාරනායක ආණ්ඩුව ප්‍රභාකරන්ගේ දේශපාලන උත්පත්තියට පමණක් නොව, ලලිත් ඇතුලත්මුදලිගේ දේශපාලන උත්පත්තියටද පාර කැපීය.
අකුරු ප්‍රමාණය (Font Size):

වේළුපිල්ලේ ප්‍රභාකරන් ඉපදුණේ 1954 නොවැම්බර් 26ය. ඔහුගේ දේශපාලන උත්පත්තියට පාර කපන්නේ 1956 බලයට ආ බණ්ඩාරනායකගේ සිංහල භාෂා ප්‍රතිපත්තියය. ඔහු ඒ බව එල්.ටී.ටී.ඊ.ය පිහිටුවා එහි නායකයා වූ පසු කිහිප වරක්ම ප්‍රකාශ කොට තිබිණි.

1956 බලයට ආ බණ්ඩාරනායක ආණ්ඩුව ප්‍රභාකරන්ගේ දේශපාලන උත්පත්තියට පමණක් නොව, ලලිත් ඇතුලත්මුදලිගේ දේශපාලන උත්පත්තියටද පාර කැපීය. බණ්ඩාරනායක 1956 මහ ඡන්දයෙන් අගමැති වනවිට ඔහු එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් විය. ඔහුට ඔක්ස්ෆර්ඩ්හි අධ්‍යාපනය ලබන්න මුදල් නොමැති වී බණ්ඩාරනායක ඔහු සඳහා අරමුදලක් සකස් කර දෙනු ලැබීය.

නොවැම්බර් 26 උපන් සතුරන් දෙදෙනාගේ ඉරණම


ප්‍රභාකරන් වගේම ලලිත් ඇතුලත්මුදලි ඉපදුණේත් නොවැම්බර් 26ය. 1977 ප්‍රභාකරන් දමිළ සන්නද්ධ දේශපාලනයට අත්පොත් තබන විට ලලිත් 1977 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට තේරී පත්විය. 1983 ප්‍රභාකරන් යුද්ධය පටන්ගත් පසු එවක ජනාධිපති ජේ.ආර්. ලලිත්ව ජාතික ආරක්ෂක ඇමැති ධුරයට පත්කරනු ලැබීය.

1983ට පසු යුද්ධය පටන් ගත්තේ නොවැම්බර් 26 ඉපදුණු අණ දෙන නායකයන් දෙදෙනෙක් අතරය. ලලිත් රාජ්‍යයේ හමුදාවට අණ දුන්නේය. ප්‍රභාකරන් එල්.ටී.ටී.ඊ. හමුදාවට අණ දුන්නේය. 1987 ලලිත් යාපනය මුදාගන්න යද්දී ප්‍රභාකරන් අන්ත අසරණ වී ඉන්දියාවේ පිහිට පැතුවේය. එදා ඉන්දියාව මැදිහත්වී යාපනය මුදා ගැනීමේ යුද්ධය නතර නොකරන්න ලලිත් ප්‍රභාකරන්ව ඉවර කරනවා නියතය.

ප්‍රභාකරන් මෙය දැන සිටින්නට ඇත. තමා ඉපදුණු දිනම ඉපදුණු ලලිත් තමාව ඉවර කරන හතුරා බව දැන ඔහු ලලිත්ව ඉවර කරන්න වෙලාවක් හෙව්වේය. ලලිත් ප්‍රේමදාස ආණ්ඩුවෙන් ඉවත්වී සාමාන්‍ය මන්ත්‍රීවරයෙකු වූ විට ප්‍රභාකරන් ලලිත්ට කොකා ගැස්සීය. නොවැම්බර් 26 උපන් ලලිත් මියගියේ නොවැම්බර් 26 උපන් ප්‍රභාකරන්ව ඉතිරි කරමිනි.

නොවැම්බර් 18 උපන් මහින්ද සහ කුමාර්ගේ දේශපාලන සන්ධානය

මේ වගේම එකම දිනක උපන් දෙදෙනෙක් 2005න් පසු ලාංකික දේශපාලනය කලඹන්න සමත් විය. එක්කෙනෙක් මහින්ද රාජපක්ෂය. ඔහු උපන්නේ නොවැම්බර් 18ය. ඔහු 2005 ජනාධිපති ධුරයට පත්වන්නේ 2004 අගමැති වී නායකයකු ලෙස සිය ප්‍රතිරූපය හදාගත්තාට පසුය. 2004 ඔහු අගමැති වන්නේ ජවිපෙ මහින්දව අගමැති කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව පිහිටුවන්න හවුල් වී දරදිය ඇද්ද නිසාය.

2004 චන්ද්‍රිකාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව හදන්න සන්ධානයකට යන්න ජවිපෙට අනුමැතිය හිමිවන්නේ එවක ජවිපෙ නිල නොවන නායකයකු ලෙස සිටි කුමාර් ගුණරත්නම් නිසාය. ජවිපෙ චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එක්වන්නේම භීෂණ සමයේ චෝදනා ලද කුමාර් ගුණරත්නම් ඇතුළු නායකයන්ගේ රහසිගත ජීවිතය අවසන් කරන්නටය.

කුමාර් ගුණරත්නම් ඉපදෙන්නේත් නොවැම්බර් 18 මහින්ද ඉපදුණු දවසේමය. 2004 මහින්දව අගමැති කළ චන්ද්‍රිකාගේ ආණ්ඩුව හදන්නත් 2005 මහින්දව ජනාධිපති කරන්නත් දරදිය අදින්න ජවිපෙ මෙහෙයවන්නේ කුමාර් ගුණරත්නම්ලා ය.


කුමාර් ගුණරත්නම්ලාගේ හයියෙන් ජනාධිපති වූ මහින්ද ජවිපෙ කඩන්න කුමන්ත්‍රණය කරන්නේ මහින්දගේ ආණ්ඩුවට දුන්න සහාය ඉවත් කරගන්න කුමාර් ගුණරත්නම් ජවිපෙ මෙහෙයවමින් සිටියදීය.

කුමාර් ගුණරත්නම්ගේ සැඟවුණු ඉතිහාසය සහ ජවිපෙ දෙකඩ වීම

කුමාර් ගුණරත්නම් කියන්නේ රෝහණ විජේවීර නායකත්වය දරන කාලයේ ත්‍රිකුණාමලය භාරව සිටි ප්‍රාදේශීය නායකයාය. උතුරු-නැගෙනහිර දමිළ වාමවාදී කල්ලි සහ ජවිපෙ අතර සම්බන්ධය හදන්නේ කුමාර්ය. කුමාර් පුපුරන ද්‍රව්‍ය විශේෂඥයෙක් විය. 1989 ජූලි 25 ඉන්දීය සාමසාධක හමුදාවේ සෙබළුන් 14ක් ඝාතනය කළ බිම් බෝම්බය ඔහුගේ නිර්මාණයකි. ජවිපෙ විසින් බිම් බෝම්බ අටවා ඉන්දීය සාමසාධක හමුදා සෙබළුන් ඝාතනය කළාය කියන පුවත හංගන්න එකල ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයත් ලංකාවේ ආණ්ඩුවත් ක්‍රියා කළේ ඉන් ජවිපෙට විශාල උත්තේජනයක් ලැබේය යන බියෙන්ය.

1989දී ලංකා හමුදාව කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගත්තත් ඔහු හිරෙන් පලාගොස් විදේශගත විය. ඔහු යළි ලංකාවට එන්නේ ජවිපෙ-චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ මධුසමයට පසුව ආරක්ෂාව සහතික කරගෙනය.

2005 මහින්ද ජනාධිපති කරන්න ජවිපෙ මෙහෙයවූ කුමාර් ගුණරත්නම් මහින්දව ජනාධිපති කරන්න පාවිච්චි කළ ජාතිකවාදී හැව ඉවත් කොට උතුරේ දමිළ සංවිධාන එක්ව පොදු වමක් හදන්න ජවිපෙ මෙහෙයවීය. විමල් වීරවංශලා ඊට එරෙහිව පක්ෂය තුළ සටන් කරද්දී මහින්ද, බැසිල් පාවිච්චි කොට ජවිපෙ දෙකඩ කළේය.

2012 පෙරටුගාමී පිහිටුවීම සහ මහින්දගේ ප්‍රතිප්‍රහාරය

මහින්ද දෙකඩ කිරීමෙන් දුර්වල වූ ජවිපෙ තනියම ගොඩ ගන්න කුමාර් ජවිපෙ මෙහෙයවද්දී අනුරලා ජවිපෙ මෙහෙයවන්නේ එජාපය ඇතුළු පොදු විපක්ෂය සමග එක්ව ජවිපෙ ගොඩනැගිය යුතුය යන මතයේ පිහිටාය. කුමාර් ගුණරත්නම්ලා 2012 ජවිපෙන් එළියට එන්නේ අනුරගේ මතයට එරෙහිව පිරිසිදු වමක් ගොඩනගන්නටය.

කුමාර් ගුණරත්නම් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පිහිටුවන දින මහින්ද ආරක්ෂක ලේකම් ගෝඨා පාවිච්චි කොට කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගත්තේ ජවිපෙ ආශීර්වාදයෙන්ය. එතැන් සිට පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉවර කරන්න මහින්ද ජවිපෙට උදව් කරන්නේ ඉන්දීය හමුදාවට බෝම්බ ගහපු, හිරෙන් පැනපු කුමාර් ගුණරත්නම් කියන්නේ කවුද කියලා හොඳින් දැනගෙනය.


2022 අරගලය සහ ත්‍රිකුණාමලයට කොටු වූ මහින්ද

කොකාට වාරයක් නම් තිත්තයාටත් වාරයක් එයි කියා විශ්වාස කළ කුමාර් ගුණරත්නම් 2022 ගෝඨාභයගේ ආණ්ඩුවට එරෙහි අරගලය පටන් ගත්තේ අරගලයට සම්බන්ධ වෙන්න එපා යැයි ජවිපෙ නිවේදන නිකුත් කරද්දීය. ඒත් කුමාර් ජවිපෙටත් සම්බන්ධ නොවී ඉන්න බැරි තැනට අරගලය ගෙන එන්නේ ගෝඨාට රටින් පැන යෑමටත් මහින්දට ත්‍රිකුණාමලයට පැනයෑමටත් පාර කපමිනි.

2007 ජවිපෙ දෙකඩ කළ 2012 තමන්ව අත්අඩංගුවට ගෙන තමන්ගේ දේශපාලන ව්‍යාපාරය නැති කර දමන්න හදපු මහින්දව කුමාර් ගුණරත්නම් ත්‍රිකුණාමලයට කොටු කරන්නේ ඔහු පටන්ගත් අරගලයට පක්ෂ පාට භේද නැතිව රටම එකතු වෙද්දීය.

අනුරගේ විජයග්‍රහණය සහ අහිමි වූ රාජධානි දෙක

ඒත් කුමාර්ට වරදින තැන ඔහු පටන්ගත් අරගලය තමාගේ කරගෙන අනුර ජනාධිපති පුටුවේ වාඩිවීමය. අනුර ජනාධිපති පුටුවේ වාඩිවෙන්නේ නිකම්ම නොවේ. 3%ක බලයක් හිමි ජවිපෙට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් හිමිකර දෙමිනි. අනුර ඒ විජයග්‍රහණය කරන්නේ විජේවීරගෙන් පසු කුමාර් ගොඩනගපු ජවිපෙ සියතට ගෙන කුමාර් පටන්ගත් අරගලයේ වීරයා ලෙස ඔටුනු පලඳමින්ය.


අනුර එලෙස ඔටුනු පලඳින්නේ මහින්ද සහ රාජපක්ෂ පවුලට හිමි ඡන්ද ලක්ෂ 69 සියතට ගෙනය. ඒ කියන්නේ එක ගලෙන් අනුර, කුමාර් ඔටුනු පලඳින්න සිටි ජවිපෙ රාජධානියත් මහින්ද ඔටුනු පලඳවාගෙන සිටි පොහොට්ටු රාජධානියත් බිමට සමතලා කරමින්ය.

නොවැම්බර් 18 උපන් දෙදෙනාගේ ඊළඟ ඉලක්කය

පසුගිය සතියේ මහින්ද මෙන්ම කුමාර්ද නොවැම්බර් 18 සිය ජන්ම දිනය සමරනු ලැබීය. මේ දෙන්නාට අද තියෙන්නේ එකම එක ඉලක්කයකි. අනුර ඩැහැගත් ජවිපෙ රාජධානියේ යළි ජය දද නංවන්න කුමාර්ට ඕනෑය. අනුර ඩැහැගත් පොහොට්ටු රාජධානියේ ජය දද නංවන්න මහින්දට ඕනෑය.


වයසත් එක්ක මහින්ද දැන් අබල දුබලය. ඒත් මහින්දගේ බලය තවම හොඳට වැඩය. කුමාර් තවමත් ජවසම්පන්නය.

‘අනුර, නොවැම්බර් 18 උපන් මේ දෙදෙනාගෙන් රාජධානිය රැකගන්න සමත් වෙයිද…?’


(සටහන | උපුල් ජෝශප් ප්‍රනාන්දු)
Creative Content Consultant

උපුටා ගැනීම - mawratanews.lk

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...