ආහාර උද්ධමනය පාලනය කරමින් ග්‍රාමීය ආර්ථිකයට නව පණක් දීමට බංග්ලාදේශ මහ බැංකුව තීරණාත්මක පියවරක් ගෙන තිබේ.
ඒ අනුව, 2026-27 මුදල් වර්ෂය සඳහා කෘෂිකාර්මික ණය ඉලක්කය බංග්ලාදේශ ටකා කෝටි 60,000ක් දක්වා ඉහළ නැංවීමට එරට මහ බැංකුව තීරණය කර ඇත.
මෙය ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5කට (ශ්‍රී ලංකා රුපියල් බිලියන 1,500කට) ආසන්න දැවැන්ත මුදලකි.
පසුගිය මුදල් වර්ෂයේ පැවති ටකා කෝටි 39,000ක ඉලක්කයට සාපේක්ෂව මෙය 54%ක කැපී පෙනෙන වර්ධනයක් වන අතර, පසුගිය වසරේදී බැංකු විසින් සිය ඉලක්කය ද ඉක්මවා යමින් ටකා කෝටි 42,834ක ණය ගොවීන් වෙත නිකුත් කර තිබීම විශේෂත්වයකි.
නවීන තාක්ෂණයට සහ පරිසර හිතකාමී ගොවිතැනට ප්‍රමුඛත්වය
සාම්ප්‍රදායික ගොවිතැනෙන් ඔබ්බට යමින් 'දේශගුණික-සුහුරු කෘෂිකර්මාන්තය' (Climate-smart agriculture) සහ 'නිරවද්‍ය ගොවිතැන' (Precision farming) සඳහා ණය පහසුකම් ලබා දීමට මෙවර ප්‍රතිපත්තිය සංශෝධනය කර තිබේ.
ගංවතුර, නියඟය සහ ලවණතාවට ඔරොත්තු දෙන බෝග වගාව, පාවෙන ගොවිතැන, වැසි ජලය සංරක්ෂණය සහ සූර්ය බලශක්ති ජල පොම්ප භාවිතය මේ යටතේ දිරිමත් කෙරේ.
ඩ්‍රෝන යානා, සංවේදක (Sensors) සහ කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත කරමින් නිවැරදි ප්‍රමාණයට බීජ, පොහොර සහ ජලය යොදන නවීන ගොවිතැන් ක්‍රම සඳහා ද ගොවීන්ට මෙම ණය හිමිවේ.
ගොවිපොළේ සිට වෙළෙඳපොළ දක්වාම ණය ආවරණය

වගාවකට පමණක් සීමා නොවී, බීජ සැපයීමේ සිට අස්වනු ගබඩා කිරීම, සැකසීම, ප්‍රවාහනය සහ පාරිභෝගිකයා අතට පත් කිරීම දක්වා වූ සමස්ත ක්‍රියාවලියම මෙම ණය යෝජනා ක්‍රමයට ඇතුළත් කර ඇත.
* වගාවන් සඳහා: මුළු ණය මුදලින් 55%ක් වෙන් කෙරේ.
* පශු සම්පත් සඳහා: 20%ක ප්‍රතිශතයක් ලබා දේ.
* ධීවර කර්මාන්තයට: 13%ක් වෙන් කර තිබේ.
* වාරිමාර්ග සහ යන්ත්‍රෝපකරණ: 2%ක් ද, ඉතිරි 10% නව තාක්ෂණය සහ අනෙකුත් ග්‍රාමීය ව්‍යාපාර සඳහා ද වෙන් කෙරේ.
කාබනික පොහොර නිෂ්පාදනය, ජීව වායු ඒකක සහ විදුලිය නොමැති ග්‍රාමීය ප්‍රදේශවල නිවාස සඳහා සූර්ය පැනල සවිකිරීමට ද මෙම කෘෂිකාර්මික ණය යටතේ මුදල් ලබා ගත හැකිය.
යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට 80%ක බැංකු ණයක්

ට්‍රැක්ටර්, ගොයම් කපන යන්ත්‍ර වැනි ටකා ලක්ෂ 2 සිට ලක්ෂ 30 දක්වා වටිනාකමකින් යුත් කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේදී, එහි වටිනාකමින් 70% සිට 80% දක්වා මුදලක් බැංකු ණය ලෙස ලබා දීමට නියමිතය.
ගොවියාට ගෙවීමට සිදුවන්නේ ඉතිරි 20% හෝ 30%ක මුදල පමණක් වන අතර, අස්වනු නෙළන කාලයට ගැළපෙන පරිදි මාස 12ක ණය සහන කාලයක් ද හිමිවේ.
ගමේ පොළේදී ප්‍රසිද්ධියේ ණය බෙදා දීම සහ දැඩි නීති
අතරමැදියන්ගේ බලපෑම් සහ අක්‍රමිකතා වැළැක්වීම සඳහා, ග්‍රාමීය මට්ටමේ ප්‍රාදේශීය නියෝජිතයින්, කෘෂිකර්ම නිලධාරීන් සහ ගුරුවරුන් ඉදිරියේ ප්‍රසිද්ධියේ ණය බෙදා දීමට සියලුම බැංකුවලට උපදෙස් දී තිබේ.
ගමේ සතිපොළ පැවැත්වෙන දිනවලදී බැංකු ශාඛා මගින් විශේෂ ණය බෙදාදීමේ කඳවුරු පැවැත්වීමට නියමිත අතර, ඉඩම් අහිමි අඳ ගොවීන්ට පවා කණ්ඩායම් වශයෙන් පහසුවෙන් මෙම ණය ලබා ගත හැකිය.
කෙසේ නමුත්, පෙර ලබාගත් ණය ගෙවීම පැහැර හැර ඇති (Defaulting borrowers) පුද්ගලයින්ට මෙම ණය පහසුකම් හිමි නොවන බව මහ බැංකුව අවධාරණය කර ඇති අතර, ටකා කෝටි 1කට වැඩි සෑම ණය මුදලක් පිළිබඳවම විශේෂ වාර්තා මහ බැංකුව වෙත ඉදිරිපත් කිරීම ද අනිවාර්ය කර තිබේ.
දේශගුණික විපර්යාස සහ ආහාර මිල ඉහළ යාම හමුවේ දකුණු ආසියානු කලාපයේ රටවල් මුහුණ දෙන අභියෝග ජය ගැනීමට බංග්ලාදේශය ගෙන ඇති මෙම ප්‍රායෝගික කෘෂි ප්‍රතිපත්තිය කලාපයේ අනෙකුත් රටවලට ද වැදගත් පූර්වාදර්ශයකි.
වැඩිදුර තොරතුරු ඇතුළත් මූලාශ්‍ර සබැඳිය
The Daily Star වාර්තාව: BB expands farm credit to climate-smart agriculture



