මාර්ටින් වික්‍රමසිංහ සූරීන් 1973 දී "බවතරණය" නවකතාව පළ කළ විට සම්ප්‍රදායට ගරු කරන බොහෝ දෙනා, ඇතැම් භික්ෂූන් වහන්සේලා සහ සාහිත්‍ය විචාරකයින් එම කෘතිය දැඩි ලෙස විවේචනයට ලක් කළා.
පැරණි බෞද්ධ පොත්වල සහ ජාතක කතාවල සිදුහත් කුමරුන්ව සහ බෝධිසත්වයින්ව පෙන්වන්නේ දෙවියන්ට සමාන, අතිශය පරිපූර්ණ, ප්‍රාතිහාර්ය කළ හැකි උත්තමයෙකු ලෙස යි. එහෙත් මාර්ටින් වික්‍රමසිංහ සිදුහත් කුමරුන්ව දුටුවේ සාමාන්‍ය මිනිසුන් මෙන්ම ලේ මස් ඇති, සිත තුළ ප්‍රශ්න සහ ගැටුම් ඇති, සමාජයේ ඇත්ත තත්ත්ව ගැන සිතන මිනිසෙකු ලෙස යි.
''බවතරණය'' තුළ සමාජවාදී හෝ ලෞකික අදහස්…?

පොත්පත්වල සිදුහත් කුමරුන්ව දේවත්වයෙන් සලකා කියවීමට පුරුදු වී සිටි අයට මෙය අගෞරවයක් ලෙස පෙනුණා. මෙම කතාව ගැන ඇති වූ විවාදය පොතේ ලියා ඇති විලාසයට පමණක් සීමා වූයේ නැහැ. එය ධර්ම කරුණු දක්වා ද දුර දිග ගියා. පූජ්‍ය යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන් යනාදි දැන උගත් භික්ෂූන් වහන්සේලා ලිපි ලියමින් ප්‍රශ්න කළේ සිදුහත් කුමරුන් ගේ සිතේ ඇති වූ ලෞකික ආශා හෝ මානසික ගැටුම් මෙසේ ලිවීම බුදු දහමේ සම්ප්‍රදායික ඉගැන්වීම්වලට සහ බෝධිසත්ව චරිතයට ගැළපෙනවා ද යන්නයි.
එවකට පැවති සමඟි ආණ්ඩුවට මෙම පොත තහනම් කරන මෙන් දැඩි ඉල්ලීම් ද ගලා ආවා.
මාර්ටින් වික්‍රමසිංහයන් සමාජය දෙස බැලුවේ සමාජයේ සිදුවන අසාධාරණකම්, යථාර්ථය සහ ඔහුගේ ම අදහස් ඔස්සේ යි. සම්ප්‍රදායික බෞද්ධ කතාවක් එහි තිබූ භක්තිය සහ පූජනීයත්වය රැකෙන සේ තබනවා වෙනුවට ඔහු ඊට නවීන, සමාජවාදී හෝ ලෞකික අදහස් එකතු කර ඇති බවට විචාරකයෝ පැවසුවා. එකල පුවත්පත්වල සහ විවිධ රැස්වීම්වල මෙම පොත ගැන විශාල වශයෙන් කතාබහ සිදු වුණා. විවේචකයින් මෙන්ම තවත් පිරිස් වික්‍රමසිංහයන්ට දැඩි ලෙස පහර ගසමින් විවේචන එල්ල කළා. ඒ වන විට වයස්ගතව සිටි වික්‍රමසිංහයන්ට මෙම තත්ත්වය යම් මානසික පීඩනයක් ද ඇති කළ බවක් ද කියැවෙනවා.
"බවතරණය" සහ සාම්ප්‍රදායික ජාතක කතා අතර ඇති ප්‍රධාන වෙනස්කම්

සාම්ප්‍රදායික ජාතක කතාවල සහ බුද්ධ චරිතවල බෝධිසත්වයන්ව පෙන්වන්නේ ඉතාම උසස්, පරිපූර්ණ, දේවත්වයට ආසන්න චරිතයක් ලෙස යි. නමුත් "බවතරණය" පොතේ සිදුහත් කුමරුන්ව සහ යශෝධරාව පෙන්වන්නේ අප වගේම හැඟීම් ඇති, සිත තුළ ගැටුම් ඇති, ශක්තිමත් මිනිස් චරිත දෙකක් ලෙස යි. සාම්ප්‍රදායික කතා ලියා ඇත්තේ පාඨකයා තුළ භක්තිය, ශ්‍රද්ධාව සහ හොඳ නරක ගැන පාඩම් කියා දෙන විලාසයකින්. "බවතරණය" ලියා ඇත්තේ අද කාලයේ කියවන නවකතාවක් ලෙස, ඇත්ත ලෝකයේ සිදුවිය හැකි දේවල් ගැන සිතමින්.
පැරණි ජාතක කතාවල පෙර ආත්මවල කළ පින්, දෙවියන් මිනිසුන්ට උදව් කිරීම සහ විස්මිත ප්‍රාතිහාර්යයන් බහුලව තිබෙන නමුත් "බවතරණය" පොතේ ප්‍රාතිහාර්ය වෙනුවට මිනිසකු ගේ සිතේ ඇති වන සිතුවිලි, තේරුම් ගැනීම් සහ සත්‍ය හේතුවලට වැඩි අවධානයක් දී තිබෙනවා. "බවතරණය" එදා ඉන්දියාවේ තිබූ කුල බේදය, දුප්පත් පොහොසත් භේදය සහ සමාජයේ තිබූ අසාධාරණකම් ගැන ගැඹුරින් සොයා බලනවා.
සාම්ප්‍රදායික කතාවල වැඩි අවධානයක් දෙන්නේ සමාජය විවේචනය කිරීමට වඩා ධර්මය සහ ආධ්‍යාත්මික දියුණුව ගැනයි. සාම්ප්‍රදායික කතාවල සිදුහත් කුමරුන් මාළිගාවෙන් පිටව යන්නේ සංසාර දුකෙන් මිදී බුදු වීමේ උතුම් බලාපොරොත්තුවෙන්. "බවතරණය" තුළ දී එය දකින්නේ තමන්ගේ සැප සම්පත් සහ ආදරණීයයන් අත්හැර මුළු සමාජයට ම යහපතක් කරන නිදහස් මගක් සොයා යන ගමනක් ලෙසයි.
''බවතරණය'' සහ යසෝදරා
සාම්ප්‍රදායික කතාවලට වඩා වෙනස්ව, මෙහිදී යශෝධරාව ද සිදුහත්ගේ අරමුණ තේරුම් ගෙන, තමන්ගේ පෞද්ගලික බලාපොරොත්තු කැප කරන ශක්තිමත් කාන්තාවක් ලෙස පෙන්වනවා. මේ වන විට බොහෝ දෙනා "බවතරණය" දකින්නේ ආගමික භක්තිය සහ සැබෑ ලෝකයේ කතා කලාව එකට එකතු කර බැලූ නිර්භීත අත්හදා බැලීමක් ලෙසයි. සිදුහත් කුමරුන්ගේ ගමන මෙසේ මිනිස් ඇසින් බැලීම පැරණි සම්ප්‍රදාය ඉක්මවා යාමක්ද, නැතහොත් එය ගැඹුරු අලුත් තේරුම් ගැනීමක්ද යන්න අදත් කතාබහට ලක් වෙනවා.
උපුටා ගත්තේ Amila Ukwatteගේ face book පිටුවෙන්




