The Leader News
BREAKING
2035 දී ලොව විශාලතම ආගම බවට පත්වන ඉස්ලාමය ගැන ඇත්ත කතාව●ADB හි ඩොලර් මිලියන 200 ණයෙන් මෙරට සුළු ව්‍යාපාරවලට පණ ලැබෙයිද?●ගුවන් තොටුපළේ ලිස්සා වැටී මැලේසියා අමාත්‍යවරයෙකුට තුවාල●සැබෑවටම, නාගරික මැදපංතියට අවුලක් තියේද? | කුසල් පෙරේරා●දින 11ක නාටකීය නිහැඬියාවකින් පසු ජෙන්සන් හුවාන් යළි Nvidia මුල් පුටුවට●රහස් කියන කඳු, කලණ ගේ අත් කොටය සහ මනුවර්ණගේ දේශපාලනය●කළු සල්ලි පරීක්ෂාවේ හිඩැස් මතුවෙයි; මූල්‍ය ආයතන රැසකට මහ බැංකුවෙන් දඩ●ඉරාන ගායිකාවකට සහ කණ්ඩායමට කස පහර දඬුවම්●අයවැය සහ ආර්ථික අර්බුදය ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් දැඩි විවේචන●BMW මෝටර් රථ නඩුවෙන් ජොන්ස්ටන් වරද පිළිගනී: දඩ සහ අත්හිටවූ සිරදඬුවම්●
Top Ad
විශේෂාංග

2035 දී ලොව විශාලතම ආගම බවට පත්වන ඉස්ලාමය ගැන ඇත්ත කතාව

Nethmini

Nethmini

November 25, 2026 • 3:39 PM

2035 දී ලොව විශාලතම ආගම බවට පත්වන ඉස්ලාමය ගැන ඇත්ත කතාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සියවස් ගණනාවක් තිස්සේ ලොව වැඩිම අනුගාමිකයන් සිටි ආගම ලෙස පැවති ක්‍රිස්තියානි ආගමට එම ස්ථානය අහිමි වනු ඇති බවට නවතම ජනගහන ප්‍රක්ෂේපණයක් පෙන්වා දෙයි.
  • ඇමෙරිකාවේ Pew Research Center 2026 නොවැම්බර් 18 වැනිදා නිකුත් කළ “The Future of World Religions: Population Growth Projections, 2020-2070” වාර්තාවට අනුව, 2035 වන විට ඉස්ලාම් ධර්මය ලොව විශාලතම ආගම බවට පත්වනු ඇත.
  • නමුත් ඇත්ත වශයෙන්ම මෙය එක් ආගමක් පිරිහීමේ හෝ තවත් ආගමක් “ජයග්‍රහණය කිරීමේ” කතාවක් නොවේ.
  • වෙනස ඇත්තේ වර්ධන වේගයෙහිය.
අකුරු ප්‍රමාණය (Font Size):

සියවස් ගණනාවක් තිස්සේ ලොව වැඩිම අනුගාමිකයන් සිටි ආගම ලෙස පැවති ක්‍රිස්තියානි ආගමට එම ස්ථානය අහිමි වනු ඇති බවට නවතම ජනගහන ප්‍රක්ෂේපණයක් පෙන්වා දෙයි. ඇමෙරිකාවේ Pew Research Center 2026 නොවැම්බර් 18 වැනිදා නිකුත් කළ “The Future of World Religions: Population Growth Projections, 2020-2070” වාර්තාවට අනුව, 2035 වන විට ඉස්ලාම් ධර්මය ලොව විශාලතම ආගම බවට පත්වනු ඇත. නමුත් ඇත්ත වශයෙන්ම මෙය එක් ආගමක් පිරිහීමේ හෝ තවත් ආගමක් “ජයග්‍රහණය කිරීමේ” කතාවක් නොවේ. ආගම් දෙකම වර්ධනය වෙමින් පවතී. වෙනස ඇත්තේ වර්ධන වේගයෙහිය.

2020 වසරේදී ලෝකයේ ක්‍රිස්තියානි ජනගහනය බිලියන 2.27ක් පමණ වූ අතර, මුස්ලිම් ජනගහනය බිලියන 2.02ක් පමණ විය. ඒ අනුව ලොව පුරා ක්‍රිස්තියානීන් මුස්ලිම්වරුන්ට වඩා මිලියන 250කින් පමණ ඉදිරියෙන් සිටියහ. නමුත් Pew ප්‍රක්ෂේපණයට අනුව, 2035 වන විට මුස්ලිම්වරුන් බිලියන 2.57ක් ද, ක්‍රිස්තියානීන් බිලියන 2.52ක් ද සිටිනු ඇත.

මෑතකාලීන ප්‍රවණතා දිගටම පැවතුණහොත්, 2070 වන විට මුස්ලිම්වරුන් බිලියන 3.6කට වැඩි සංඛ්‍යාවක් ද, ක්‍රිස්තියානීන් බිලියන 3කට මඳක් අඩු සංඛ්‍යාවක් ද සිටිනු ඇත. එවිට ලෝක ජනගහනයෙන් 35.8%ක් මුස්ලිම්වරුන් වන අතර, ක්‍රිස්තියානීන් 29.1%ක් වනු ඇතැයි පුරෝකතනය කෙරේ.

වේගවත් වර්ධනයේ සැබෑ හේතුව කුමක්ද?

2020 සිට 2070 දක්වා ලෝක ජනගහනය 29%කින් ඉහළ යනු ඇතැයි ප්‍රක්ෂේපණය කර තිබේ. එම කාලය තුළ ක්‍රිස්තියානි ජනගහනය 30%කින් ද, මුස්ලිම් ජනගහනය 80%කින් ද වර්ධනය වනු ඇත. එනම් ලෝක ජනගහන වර්ධනයට සමගාමීව හෝ ඊට වැඩි වේගයකින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන්නේ මෙම කණ්ඩායම් දෙක පමණි.

මෙම අධ්‍යයනය ලෝක ජනගහනයෙන් 99.98%ක් නියෝජනය වන රටවල් සහ ප්‍රදේශ 201ක් ආශ්‍රිතව සිදු කර ඇත.

මුස්ලිම් ජනගහනය වේගයෙන් වර්ධනය වීමට ප්‍රධාන හේතුව ආගම් මාරු කිරීම (Religious conversion) නොවේ. ඒ සඳහා වන ප්‍රධාන බලවේගය වන්නේ උපත් සහ මරණ අතර වෙනසයි.

2020-2025 කාලයේදී මුස්ලිම් කාන්තාවකට සාමාන්‍යයෙන් දරුවන් 3.1ක් පමණ සිටි අතර, ක්‍රිස්තියානි කාන්තාවකට එම අගය 2.5ක් පමණ විය. මුස්ලිම් නොවන අය අතර සමස්ත සරුභාවය දරුවන් 2.0ක් පමණ විය. එමෙන්ම මුස්ලිම් ජනගහනය සාපේක්ෂව තරුණ ය. එබැවින් දරුවන් බිහිකිරීමේ වයසේ පසුවන කාන්තාවන්ගේ ප්‍රතිශතය වැඩිය. පවුලකට දරුවන් සංඛ්‍යාව සමාන වුව ද, තරුණ ජනගහනය වැඩි සමාජයක සමස්ත උපත් සංඛ්‍යාව ඉහළ යා හැකිය.


Pew වාර්තාවට අනුව, ස්වාභාවික ජනගහන වෙනස හරහා මුස්ලිම්වරුන්ට පුද්ගලයන් බිලියන 1.6ක් පමණ එකතු විය හැකි අතර, ක්‍රිස්තියානීන්ට එම අගය මිලියන 792ක් පමණ වනු ඇත.

ආගම් මාරුව සහ අනෙකුත් ආගමික ප්‍රවණතා

ආගම් මාරු කිරීම සම්බන්ධයෙන්, 2020-2070 කාලය තුළ ඉස්ලාම් ධර්මයට ශුද්ධ වශයෙන් පුද්ගලයන් මිලියන 8ක අහිමිවීමක් ද, ක්‍රිස්තියානි ධර්මයට මිලියන 105ක අහිමිවීමක් ද සිදුවනු ඇතැයි ප්‍රක්ෂේපණය කර තිබේ. ක්‍රිස්තියානි ධර්මය අතහරින බොහෝ දෙනකු පසුව කිසිදු ආගමකට අනුබද්ධ නොවන පිරිසට එකතු වෙති. නමුත් ඉස්ලාම් ධර්මයේ වර්ධනයට ප්‍රධාන හේතුව ක්‍රිස්තියානීන් ඉස්ලාම් ආගමට හැරීම නොවන බව වාර්තාව අවධාරණය කරයි.

තවත් වැදගත් භූගෝලීය කරුණක් තිබේ. 21 වැනි සියවසේ ලෝක ජනගහන වර්ධනයෙන් වැඩි කොටසක් අපේක්ෂා කෙරෙන්නේ අප්‍රිකාවෙන්, විශේෂයෙන් සහරා කාන්තාරයට දකුණින් පිහිටි ප්‍රදේශවලිනි. 2070 වන විට ලෝක ජනගහනයෙන් හතරෙන් එකකට වැඩි පිරිසක් එම කලාපයේ ජීවත් වනු ඇත. එහි බහුතරයක් ක්‍රිස්තියානීන් හෝ මුස්ලිම්වරුන් බැවින්, එම කලාපයේ ඉහළ සරුභාවය සහ ආයු අපේක්ෂාව වැඩිවීම ආගම් දෙකේම ගෝලීය සංඛ්‍යා ඉහළ නංවනු ඇත.


ලොව හින්දු ජනගහනය සංඛ්‍යාත්මකව වර්ධනය වුවද, ලෝක ජනගහනයට සාපේක්ෂව එහි ප්‍රතිශතය පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. යුදෙව් ජනගහනය ද ඒ හා සමාන ප්‍රවණතාවක් අනුගමනය කරනු ඇත. බෞද්ධ ජනගහනය සංඛ්‍යාත්මකව මෙන්ම ලෝක ජනගහනයට සාපේක්ෂ ප්‍රතිශතයක් ලෙස ද අඩු වනු ඇතැයි ප්‍රක්ෂේපණය කර තිබේ.

බහයි, දාඕවාදී, ජෛන, සික් ආගමිකයන් සහ ජන ආගම් අනුගමනය කරන්නන් ඇතුළු අනෙකුත් සියලුම ආගමික කණ්ඩායම් එකට ගත් විට, ඔවුන්ගේ ජනගහනය සුළු වශයෙන් ඉහළ යනු ඇත. නමුත් 2070 වන විට ඔවුන්ගේ සමස්ත ප්‍රතිශතය ලෝක ජනගහනයෙන් 2%කටත් වඩා පහළ යනු ඇත.

ආගමික අනුබද්ධතාවක් නොමැති, ඇතැම් විට නිරාගමික (Unaffiliated) ලෙස හඳුන්වන පිරිස 2020 වසරේදී ලෝක ජනගහනයෙන් 24%ක් වූ අතර, 2070 වන විට එම ප්‍රතිශතය 17% දක්වා පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙහිදී බොහෝ දෙනකු අසන ප්‍රශ්නයක් තිබේ: මෙය මුස්ලිම් භක්තිකයන්ට අතිශය වාසිදායක තත්ත්වයක් නොවේද?

සංඛ්‍යාත්මක වර්ධනය සහ අභ්‍යන්තර විවිධත්වය

අවධානය යොමු කළ යුතු විශේෂ කරුණ වන්නේ, ලොව විශාලතම ආගම බවට පත්වීම යනු, එම ආගම අදහන සියලු දෙනා එකම මතයක, එකම සංස්කෘතික අනන්‍යතාවක හෝ එකම දේශපාලන අරමුණක සිටින බවක් නොවීමයි. සංඛ්‍යාත්මක වර්ධනය සහ ආගමික සමාජයක අභ්‍යන්තර සමගිය යනු එකිනෙකට ඉඳුරාම වෙනස් කරුණු දෙකකි.

මෙරට කවුරුත් දන්නා අන්දමට ඉස්ලාම් ධර්මයේ ප්‍රධාන ශාඛා දෙක වන්නේ සුන්නි සහ ෂියා නිකායන්ය. ලෝක මුස්ලිම් ජනගහනයෙන් 87%ත් 90%ත් අතර ප්‍රමාණයක් සුන්නි නිකාය අනුගමනය කරන අතර, 10%ත් 13%ත් අතර ප්‍රමාණයක් ෂියා නිකාය අනුගමනය කරන බව Pew පැරණි ඇස්තමේන්තුවලින් පෙන්වා දී තිබේ.

මෙම බෙදීම ආරම්භ වන්නේ ක්‍රිස්තු වර්ෂ 632දී නබි මුහම්මද්තුමාගේ අභාවයෙන් පසුව, මුස්ලිම් ප්‍රජාවට නායකත්වය ලබාදිය යුත්තේ කවුරුන්ද යන ප්‍රශ්නයෙනි. එක් පිරිසක් අබු බකර්ට සහාය දැක්වූ අතර, තවත් පිරිසක් නබිතුමාගේ ඥාති සොහොයුරු සහ බෑණනුවන් වූ අලි ඉබ්න් අබි තාලිබ්ට එම අයිතිය හිමිවිය යුතු බව විශ්වාස කළහ. කාලයත් සමඟ එය ආගමික නායකත්වය, ඉස්ලාමීය නීතිය අර්ථකථනය කිරීම සහ ඉතිහාසය පිළිබඳ වෙනස් මතවාද සහිත අනන්‍යතා දෙකක් දක්වා වර්ධනය විය.

නමුත් සුන්නි සහ ෂියා මුස්ලිම්වරුන් දෙපිරිසම එකම දෙවියන් පිළිබඳ විශ්වාසය, අල් කුර්ආනය පිළිගැනීම, නබි මුහම්මද්තුමාගේ ඉගැන්වීම් අනුගමනය කිරීම, දෛනික යාඥාව සහ රාමසාන් උපවාසය වැනි මූලික ආගමික පදනම් බෙදාහදා ගනිති. එබැවින් ඔවුන් සම්පූර්ණයෙන්ම වෙනස් ආගම් දෙකක් ලෙස හැඳින්වීම නිවැරදි නොවේ.

දේශපාලන බල අරගල සහ භූගෝලීය වෙනස්කම්

නමුත් ඉස්ලාම් ලෝකයේ විවිධත්වය එතැනින් අවසන් නොවේ. සුන්නි නිකාය තුළ හනෆි, මාලිකි, ෂාෆි සහ හන්බලි යන ප්‍රධාන ඉස්ලාමීය නීති විග්‍රහ සම්ප්‍රදායන් හතරක් පවතී. ෂියා නිකාය තුළ ද ඉස්නා අෂරියා හෙවත් දොළොස් ඉමාම් සම්ප්‍රදාය, ඉස්මායිලි සහ සයිදි වැනි ශාඛා තිබේ. සලාෆිවාදය සහ වහාබ්වාදය වැනි ප්‍රවණතා ද දෘෂ්ටිවාදීමය විවාදවලට බලපා තිබේ. නමුත් ඒවාට අනුගාමික වන සියලු දෙනා අන්තවාදීන් ලෙස සැලකීම ද බරපතළ වරදකි.

සුන්නි-ෂියා බෙදීම වඩාත් සංකීර්ණ වූයේ නූතන මැදපෙරදිග දේශපාලනය සමඟ එය සම්බන්ධ වීමත් සමඟය. සෞදි අරාබිය සුන්නි ආධිපත්‍යයක් සහිත රාජ්‍යයක් වන අතර, ඉරානය ෂියා ආධිපත්‍යයක් සහිත රාජ්‍යයකි. 1979 ඉරාන ඉස්ලාමීය විප්ලවයෙන් පසුව රටවල් දෙක අතර කලාපීය බල අරගලය තවදුරටත් තීව්‍ර විය.

ඉරාකය, සිරියාව, ලෙබනනය සහ යේමනය වැනි රටවල ගැටුම්වලදී මෙම ආගමික බෙදීම ඇතැම් අවස්ථාවලදී දේශපාලන ආයුධයක් බවට පත්විය. නමුත් එම සෑම ගැටුමක්ම ආගමික මතභේදයකින් පමණක් හටගත් ඒවා නොවේ. රාජ්‍ය බලය, භූදේශපාලනික අවශ්‍යතා, ජාතිකත්වය, ආර්ථික සම්පත් සහ විදේශීය මැදිහත්වීම් ද ඒවාට බලපා තිබේ.


එමෙන්ම අල් කයිඩා සහ ISIS වැනි සන්නද්ධ අන්තවාදී සංවිධාන සමස්ත ඉස්ලාම් ධර්මය හෝ එහි සියලු අනුගාමිකයෝ නියෝජනය නොකරති. ඔවුන්ගේ ප්‍රචණ්ඩත්වයේ ප්‍රධාන ගොදුරු බවට බොහෝ අවස්ථාවල පත්ව ඇත්තේ ද මුස්ලිම් ජනතාවමය.

ලොව විශාලතම මුස්ලිම් ජනගහනය සහිත රට ඉන්දුනීසියාව වීම මෙහිදී වැදගත්ය. ලෝක මුස්ලිම් ජනගහනයෙන් විශාල කොටසක් ආසියානු කලාපයේ ජීවත් වෙති. එබැවින් ඉස්ලාම් ලෝකය යනු අරාබි ලෝකයට පමණක් සීමා වූ එකක් නොවේ. එය භාෂා, ජාතීන්, සංස්කෘතීන් සහ සමාජ ක්‍රම රැසකින් සමන්විත විශාල මානව ප්‍රජාවකි.


එම වෙනස අනාගතයේදී තවත් පැහැදිලි විය හැකිය. Pew වාර්තාවට අනුව, පාකිස්තානයේ මුස්ලිම් ජනගහනය 2020 වසරේ මිලියන 227 සිට 2070 වන විට මිලියන 461 දක්වා දෙගුණ වනු ඇත. එවිට පාකිස්තානය ඉන්දුනීසියාව අභිබවා ලොව විශාලතම මුස්ලිම් ජනගහනය සහිත රට බවට පත්වනු ඇත.

ඉන්දුනීසියාව, පාකිස්තානය, බංග්ලාදේශය, තුර්කිය, ඉරානය, සෞදි අරාබිය සහ නයිජීරියාව යන රටවල මුස්ලිම් ජනගහනය සැලකිය යුතු වුවද, ඒවායේ දේශපාලන පද්ධති, සංස්කෘතික සම්ප්‍රදායන් සහ සමාජ ජීවන රටා එකිනෙකට වෙනස්ය. එමෙන්ම පුද්ගලයකුගේ ජාතික අනන්‍යතාව, භාෂාව, ජනවාර්ගික පසුබිම සහ දේශපාලන මතවාදය ඔහුගේ හෝ ඇයගේ ආගමික අනන්‍යතාවට සමාන විය යුතු නැත.

විශාලතම ආගම වීම බලවත්ම ප්‍රජාව වීමද?

මෙහිදී විශාලතම ආගම වීම බලවත්ම ප්‍රජාව වීමද? යන්නට ද අප පිළිතුරු සෙවිය යුතුය. ආගමික ජනගහනයෙන් පළමු තැනට පත්වීම යනු ලෝක දේශපාලනයේ හෝ ආර්ථිකයේ පළමු තැනට පත්වීමක් නොවේ.

එය තීරණය වන්නේ අධ්‍යාපනය, විද්‍යාත්මක පර්යේෂණ, තාක්ෂණික දියුණුව, ආර්ථික ඵලදායිතාව, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය සහ සමාජ ස්ථාවරත්වය වැනි සාධක මතය.

මුස්ලිම් බහුතරයක් සිටින රටවල් අතර ලෝක ආර්ථිකයේ වැදගත් ස්ථානයක් හිමි රටවල් ද තිබේ. එසේම දරිද්‍රතාව, දේශපාලන අස්ථාවරත්වය, යුද්ධ සහ අධ්‍යාපනික ගැටලු සමඟ පොරබදන රටවල් ද තිබේ. එබැවින් ජනගහන වර්ධනය තරුණ ජනගහනයට ගුණාත්මක අධ්‍යාපනය, රැකියා, සෞඛ්‍ය පහසුකම් සහ සමාජ ආරක්ෂාව සැපයීමට හැකි වුවහොත් ආර්ථිකයේ වැදගත් ස්ථානයක් හිමි කර ගැනීමට අවස්ථාවක් විය හැකි අතර, එසේ නොවුණහොත් එය විශාල සමාජ පීඩනයක් බවට ද පත්විය හැකිය.

Pew වාර්තාවේ වැදගත් සීමාවක් තිබේ. මෙය ජනගහන ප්‍රක්ෂේපණයක් මිස, අනාගත ආගමික හෝ දේශපාලනික තත්ත්වය පිළිබඳ අනාවැකියක් නොවේ. යුද්ධ, වසංගත, සංක්‍රමණ, ආර්ථික අර්බුද, උපත් අනුපාත වෙනස්වීම් සහ ආගම අතහැරීමේ ප්‍රවණතා අනාගත ප්‍රතිඵල වෙනස් කළ හැකිය. Pew ද එම සීමාවන් පැහැදිලිව පිළිගෙන තිබේ.

සංඛ්‍යාවට එහා ගිය සැබෑ අභියෝගය


එබැවින් 2035 වන විට ඉස්ලාම් ආගම ලොව විශාලතම ආගම බවට පත්වීම යනු ජනගහනය පිළිබඳ සංඛ්‍යාන විද්‍යාත්මක වෙනසක් පිළිබඳ පුරෝකථනයකි. එය ඉස්ලාම් ලෝකයේ සියලු ගැටලු විසඳී යන බවක් හෝ එහි සියලු අනුගාමිකයන් එකම ආගමික හා දේශපාලන මතයකට පැමිණෙන බවක් නොපෙන්වයි.

ඒ හා සමානව, ඉස්ලාම් ලෝකය තුළ පවතින අභ්‍යන්තර ගැටුම් හුවා දක්වමින් එහි සියලු අනුගාමිකයන් පිළිබඳ පොදු නිගමනවලට පැමිණීම ද සාධාරණ නොවේ. එම සමාජය තුළ සාමය, සහජීවනය සහ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින විශාල ජනකායක් ද සිටිති.

ආගමක සැබෑ සමාජ වටිනාකම තීරණය කළ යුත්තේ අනුගාමිකයන්ගේ සංඛ්‍යාවෙන් පමණක් නොවේ. මිනිසාගේ ජීවිතය, නිදහස, මානව ගෞරවය, අන්‍යයන්ගේ අයිතිවාසිකම් සහ සමාජ සාධාරණත්වය කෙරෙහි එම ආගමික ප්‍රජාව දක්වන ආකල්පය ද ඒ සඳහා වැදගත්ය. මෙම කාරණය ඉස්ලාම් ධර්මයට පමණක් නොව, ක්‍රිස්තියානි, හින්දු, බෞද්ධ ඇතුළු ලෝකයේ සෑම ප්‍රධාන ආගමකටම එකසේ අදාළය.

ආගමික අනන්‍යතාව දේශපාලන බලය ලබාගැනීමේ මෙවලමක් බවට පත් වූ විට, ඕනෑම ආගමක් තුළ අන්තවාදය, අනෙකා නොඉවසීම සහ ප්‍රචණ්ඩත්වය වර්ධනය විය හැකිය.

අවසානයේ වැදගත් වන්නේ කුමන ආගමට වැඩිම අනුගාමිකයන් සිටිනවාද යන්න පමණක් නොවේ. එම ආගම් අදහන මිනිසුන් එකිනෙකා සමඟ ජීවත් වන ආකාරය ද වැදගත්ය. මක්නිසාද යත්, ලෝකයේ විශාලතම ආගමික ප්‍රජාව බවට පත්වීම එක් ජනගහන වෙනසක් විය හැකි නමුත්, සාමකාමී සහ සාධාරණ මානව සමාජයක් ගොඩනැඟීම ඊට වඩා විශාල අභියෝගයක් වන බැවිනි.



උපුටා ගැනීම - vinivida.lk

මූලාශ්‍රය :

Pew Research Center: The Future of World Religions: Population Growth Projections

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...