The Leader News
BREAKING
රහස් කියන කඳු, කලණ ගේ අත් කොටය සහ මනුවර්ණගේ දේශපාලනය●කළු සල්ලි පරීක්ෂාවේ හිඩැස් මතුවෙයි; මූල්‍ය ආයතන රැසකට මහ බැංකුවෙන් දඩ●ඉරාන ගායිකාවකට සහ කණ්ඩායමට කස පහර දඬුවම්●අයවැය සහ ආර්ථික අර්බුදය ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් දැඩි විවේචන●BMW මෝටර් රථ නඩුවෙන් ජොන්ස්ටන් වරද පිළිගනී: දඩ සහ අත්හිටවූ සිරදඬුවම්●සිම්බාබ්වේහිදී දිවැසිවර යූබර්ට් ඒන්ජල් අත්අඩංගුවට: සන්සුන්ව සිටින ලෙස දේවස්ථානය ඉල්ලයි●අනුග්‍රාහකයෙකු නැතිවම සිංගප්පූරු ස්ථිර පදිංචියට නව මාවතක්●Diginote : රාජ්‍ය ඉංජිනේරුවන් 419ක හිඟයක්; IMF පසු විකල්ප ගැන ඉඟියක්●මුදල් අච්චු නොගසා උද්ධමනය ඉහළ යන්නේ කෙසේද? - රවී කරුණානායක●ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් තරග අහිමි වීමේ අවදානමක් තිබේද?●
Top Ad
සාහිත්‍ය - කලා

රහස් කියන කඳු, කලණ ගේ අත් කොටය සහ මනුවර්ණගේ දේශපාලනය

Nethmini

Nethmini

November 25, 2026 • 1:16 PM

රහස් කියන කඳු, කලණ ගේ අත් කොටය සහ මනුවර්ණගේ දේශපාලනය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • PSTA, POCA යනාදි රාජ්‍යයේ මර්දන පනත් දෙකක් කටඋඩ තබාගෙන ඊයේ අපි ගාල්ලේ දී ජගත් මනුවර්ණගේ ' රහස් කියන කඳු ' චිත්‍රපටය නැරඹුවෙමු.
  • සත්‍යයට වඩා බලවත් බොරුව ' රහස් කියන කඳු ' යනු හුදෙක් 1987–89 භීෂණ සමය සිහිපත් කරන චිත්‍රපටයක් නොවේ.
  • එය රාජ්‍යය විසින් මිනිස් ජීවිත පාලනය කරනු ලබන ආකාරය , ප්‍රචණ්ඩත්වය සාධාරණීකරණය කරන ආකාරය සහ මිනිසුන්ගේ බිය පාලනයේ උපකරණයක් බවට පත්කරගන්නා ආකාරය පිළිබඳ කතාන්දරයකි.
  • මෙහිදී රාජ්‍යය සිය අපරාධ සඟවාගැනීමට ප්‍රබන්ධයක් ගොතයි ; ඝාතනය රෝගයක් බවටත් , අතුරුදන් කිරීම ආරක්ෂක ක්‍රියාමාර්ගයක් බවටත් , මර්දනය ජනතාවගේ ආරක්ෂාව බවටත් පරිවර්තනය කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

PSTA, POCA යනාදි රාජ්‍යයේ මර්දන පනත් දෙකක් කටඋඩ තබාගෙන ඊයේ අපි ගාල්ලේ දී ජගත් මනුවර්ණගේ 'රහස් කියන කඳු' චිත්‍රපටය නැරඹුවෙමු.

මේක එක්තරා ආකාරයක දේශපාලනික උත්ප්‍රාසයකි.

චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. එදා රාජ්‍ය මර්දනයට එරෙහිව නිර්මාණකරණයේ නියැලී සිටි කලාකරුවා අද රාජ්‍ය බලයේ ම කොටස්කරුවෙකි. සමහරවිට අනාගතයේ දී තමන්ගේම චිත්‍රපටය තුළ විවේචනයට ලක් කළ රාජ්‍ය මර්දන යාන්ත්‍රණය පවත්වාගෙන යෑමට අවශ්‍ය පනත් වෙනුවෙන් අත එසවීමට පවා ඔහුට සිදුවිය හැකි ය.

එය තවමත් සිදු නොවූ දෙයකි. එහෙත් එවැනි දේශපාලනික උභතෝකෝටිකයක් ඉදිරියේ අප සිටිමු.

සත්‍යයට වඩා බලවත් බොරුව

'රහස් කියන කඳු' යනු හුදෙක් 1987–89 භීෂණ සමය සිහිපත් කරන චිත්‍රපටයක් නොවේ. එය රාජ්‍යය විසින් මිනිස් ජීවිත පාලනය කරනු ලබන ආකාරය, ප්‍රචණ්ඩත්වය සාධාරණීකරණය කරන ආකාරය සහ මිනිසුන්ගේ බිය පාලනයේ උපකරණයක් බවට පත්කරගන්නා ආකාරය පිළිබඳ කතාන්දරයකි.

තරුණ ඝාතන සියදිවි නසාගැනීම් ලෙස අර්ථකථනය කරන රාජ්‍යයක්, ඒවා පිළිබඳ සත්‍යය වසන් කරන රාජ්‍ය නිලධාරීන්, ඝාතන සහ අතුරුදන් කිරීම්වලට සම්බන්ධ මර්දන යාන්ත්‍රණයක්, එකී ව්‍යසන දැක දැක ඒවාට පාංසුකූල පැන් වඩවන ආගමික දෘෂ්ටිවාදයක්, ආණ්ඩුව දොඩවන බේගල් සමාජගත කරවන අන්දභූත ජනමාධ්‍යයක්, ඒ සියල්ල අතර අසරණ වන මිනිස් ජීවිත ; චිත්‍රපටය පුරා දිගහැරෙන්නේ, රාජ්‍ය භීෂණයේ යථාර්ථයයි.

මෙහිදී රාජ්‍යය සිය අපරාධ සඟවාගැනීමට ප්‍රබන්ධයක් ගොතයි; ඝාතනය රෝගයක් බවටත්, අතුරුදන් කිරීම ආරක්ෂක ක්‍රියාමාර්ගයක් බවටත්, මර්දනය ජනතාවගේ ආරක්ෂාව බවටත් පරිවර්තනය කරයි. ඇත්ත වසන් කිරීම සඳහා රාජ්‍යය විසින්ම නිර්මාණය කරන කතන්දරය, සත්‍යයට වඩා බලවත් කරනු ලබයි.

කලණ ගේ 'පන්ති විග්‍රහය'

වර්තමානයේ ආණ්ඩුව ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීම හා සංවිධානාත්මක අපරාධ මැඬලීම යන ප්‍රබන්ධ කතන්දර දෙක ඉදිරියට දමා යටින් රාජ්‍ය ත්‍රස්තවාදය සහ මර්දනය පවත්වාගෙන යෑමට දරණ උත්සහය ද එයාකාරම ය.

මේ අතර ඊයේ චිත්‍රපටය නරඹන විට මගේ අවධානයට ලක් වූ තවත් දෙයක් තිබිණි.

ඒ කලණ ගුණසේකරගේ රංගනය යි.

චිත්‍රපටයේ ජගත් මනුවර්ණ ගේ අතේ එල්ලී තිබෙන්නේ මියගිය කලණගේ චරිතයට අයත් අත් කොටය යි. ඒ රූපය මට සිනමා රූපයකට වඩා වැඩි යමක් බවට පත්විය.

පහුගිය දිනවල කලණගේ විවාහයත් සමග මතු වූ සංවාදය අපට මතක ය; හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නෑදෑ සම්බන්ධතා ඇති පවුලකින් විවාහ වීම ඔහු ගේ පෞද්ගලික තීරණයකි. කිසිවකුට තමන් විවාහ විය යුත්තේ කා සමගදැයි දේශපාලන මතවාදයකින් තීරණය කර දිය නොහැකි ය. එහෙත් ප්‍රශ්නය විවාහය නොවේ; ප්‍රශ්නය වන්නේ ඒ සම්බන්ධයෙන් ඇති වූ සංවාදයට පිළිතුරු දෙමින් ඔහු ඉදිරිපත් කළ පන්ති පිළිබඳ අදහසයි.

ප්‍රභූ පන්තියක් හෝ රදල පන්තියක් දැන් නැති බවත්, ඒ පවුලේ සිටින්නේ ඉතා සරල, සුහදශීලී, සුන්දර මිනිසුන් බවත් ඔහු කියයි; රනිල් වික්‍රමසිංහ තම විවාහයට පැමිණියේ දේශපාලන චරිතයක් ලෙස නොව ඥාතියකු ලෙස බවත් කියයි.මෙතැන දී අපට මතු වන ප්‍රශ්නය වන්නේ මිනිසුන්ගේ පෞද්ගලික සරලකම හෝ සුහදශීලීකම නොවේ; එකී මිනිසුන් කතා බහ කරන - කන බොන ආකාරය අනුව ඔවුන්ගේ පන්ති දේශපාලනයේ ස්වභාවය සම්බන්ධයෙන් විචාරාත්මක අදහසක් දැක්විය හැකි ද යන්න යි.

වරප්‍රසාද ඉදිරියේ දී අත් නොහරින දේශපාලන සදාචාරය

පන්තිය යනු නිෂ්පාදන සම්බන්ධතා, දේපළ හිමිකම, ආර්ථික බලය, සමාජ වරප්‍රසාද සහ දේශපාලන බලය සමග බැඳුණු ව්‍යුහයකි.

ප්‍රභූ පවුලක කෙනකු ඉතා නිහතමානී විය හැකි ය. දුප්පත් මිනිසකුට වඩා සරල ජීවිතයක් ගත කරන ප්‍රභූවරයකු වුවද සිටිය හැකිය. එහෙත් ඒ කිසිවකින් ඔහු නියෝජනය කරන පන්තියේ දේශපාලන දුරාචාර සාධාරනීකරණය වන්නේ නැත.

විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ඉතිහාසය, බටලන්ද පිළිබඳ චෝදනා සහ විමර්ශන, 1980 දශකයේ රාජ්‍ය මර්දනය පිළිබඳ සමාජ මතකය, ඔහු නියෝජනය කළ දේශපාලන හා ආර්ථික බල ව්‍යුහ මේ සියල්ල එක වාක්‍යයකින් අතුරුදන් කළ නොහැකි ය.

'ඒගොල්ලො එහෙම නෑ අප්පා... හරි සරල මිනිස්සු' යන ආකාරයේ ප්‍රකාශයකින් පන්ති ප්‍රශ්නය විසඳිය නොහැකිය. එය පන්ති ප්‍රශ්නය පෞද්ගලික ගුණාංග පිළිබඳ ප්‍රශ්නයක් බවට හරවා දමන දියාරු තර්කයකි.

කලණගේ රංගය තිබුණේ චිත්‍රපටියෙහි ද ඔහුගේ විවාහයෙහි ද යන්න මට නම් අපැහැදිලි ය.

කලාකරුවකුට පීඩිතයන් වෙනුවෙන් කතා කළ හැකි ය. පන්ති පීඩනය, රාජ්‍ය ප්‍රචණ්ඩත්වය සහ ඓතිහාසික අසාධාරණය ගැන විශිෂ්ට නිර්මාණ කළ හැකිය. එහෙත් ඒ කලාත්මක ප්‍රකාශනය ඔහුගේ පුද්ගලික හා දේශපාලන ජීවිතය තුළත් අඛණ්ඩව පවත්වාගෙන යෑම අභියෝගයකි. අපට අවශ්‍ය වන්නේ කලාකරුවන් කලාව තුළින් මතු කරන ප්‍රශ්න බලය සහ වරප්‍රසාද ඉදිරියේදීත් අත් නොහරින දේශපාලන සදාචාරයකි.

අතීතය අමතක කිරීමට සූදානම් සමාජයක්

අරගලයකින් බලයට පැමිණි පසු අරගලයේ අර්ථය අමතක කිරීමත්, පන්ති සමාජයක් විවේචනය කරමින් සිට පන්ති බලය පිළිබඳ ප්‍රශ්නය පෞද්ගලික සරලකමකින් වසා දැමීමත් අතර යම් පොදු දේශපාලනික ලක්ෂණයක් තිබේ; ඒ තමන් විවේචනය කළ බල ව්‍යුහ සමග ක්‍රමයෙන් අනන්‍ය වීමයි.

අවසානයේ මට ඊයේ චිත්‍රපටය නරඹා එළියට එන විට සිතුණේ මෙය යි.

තිරය මත ජගත් මනුවර්ණගේ අතේ එල්ලී තිබුණේ මියගිය තරුණයකු ගේ අත් කොටයකි. එය 87–89 භීෂණයේ මළවුන් පිළිබඳ මතකයකි. ඒ මතකය තිරය මත ප්‍රතිනිර්මාණය කළ කලාකරුවා අද රාජ්‍ය බලයේ කොටස්කරුවෙකි. එම චිත්‍රපටයේ රඟපෑ කලණ අද ප්‍රභූ පන්තියෙන් කසාදයක් කරගෙන, පන්ති දේශපලනයේ මූලික තර්කනයන් අමතක කර ප්‍රභූ පන්තියේ මිනිසුන්ගේ සුන්දරකම සහ සරලකම ගැන දියාරු කතන්දර කියමින් යයි.

මේ සියල්ල එකිනෙකට සම්බන්ධ නොවන අහඹු සිදුවීම් ලෙස බැහැර කළ හැකිද?

PSTA සහ POCA වැනි මර්දන නීති ඉදිරියේ තිබියදී මේ ප්‍රශ්න තවත් වැදගත් වේ. මන්ද, මර්දනකාරී රාජ්‍යයක් පවත්වාගෙන යාමට අවශ්‍ය වන්නේ පොලිසිය, හමුදාව සහ නීති පමණක් නොවේ. ඒවා සාධාරණීකරණය කරන දේශපාලන අදහස්, නිහඬ වන බුද්ධිමය හඬවල් සහ අතීතය අමතක කිරීමට සූදානම් සමාජයක් ද අවශ්‍ය වේ.

කඳු තවමත් රහස් කියයි. මියගියවුන්ගේ අත්කොට තවමත් අපේ සාමූහික මතකයේ එල්ලී තිබේ. ප්‍රශ්නය වන්නේ ඒ මළවුන්ගේ මතකය අතේ එල්ලාගෙන බලයට යන මිනිසුන්, බලයට පැමිණි පසු, සාරය අහිමි කරගැනීම යි.

දේශපාලන බලය ලබාගත් පසු, තම ආණ්ඩුව ම රාජ්‍ය මර්දනය වෙනුවෙන් නීති කෙටුම්පත් සකසන විට කරබාගෙන ඉන්න මනුවර්ණ දැන් එක්කෝ 'රහස් කියන කඳු' චිත්‍රපටිය කිරීම ගැන පසුතැවිලි වියයුතු ය; තමන් ආණ්ඩුවක කොටස්කරුවෙකු වූවාට පසුව ඔහු කරමින් සිටින්නේ කුමක් ද?

එක්කෝ ඔහුගේ ( Jagath Manuwarna Kodithuwakku ) කලාව බොරු ය; නැත්නම් ඔහුගේ දේශපාලනය බොරු ය.

උපුටා ගත්තේ Surekha Samarasenaගේ face book පිටුවෙන්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...