වර්තමාන රජයේ අයවැය ප්‍රතිපත්ති, උග්‍ර වන විරැකියාව, ඉහළ යන ජීවන වියදම සහ මහ බැංකුවේ මූල්‍ය කළමනාකරණ දුර්වලතා සම්බන්ධයෙන් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය දැඩි විවේචන එල්ල කරයි.
මහාචාර්ය ජී. එල්. පීරිස්, පාඨලී චම්පික රණවක, අජිත් මාන්නප්පෙරුම සහ සුරේන් රාඝවන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ ඊයේ (24) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළහ.
එහිදී මහාචාර්ය ජී. එල්. පීරිස් දැක්වූ අදහස්:

විරැකියාව සහ බුද්ධි ගලනය
අද අපේ රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි විරැකියාව. මුළු ආසියාවේම ඉහළම ප්‍රතිශතය තිබෙන්නේ ලංකාවට. ඒ කියන්නේ අධ්‍යාපනය ලබාගත් තරුණ පිරිස අතර 43%කට රැකියා නැහැ. රැකියා නැති උපාධිධාරීන් 40,000ක පමණ පිරිසක් සිටිනවා. මේ තත්ත්වය එන්න එන්නම උග්‍ර අතට පත් වෙනවා.
මේ අය වෙළෙඳපොළට ඇතුළු වුණත් රැකියා නැහැ. ඒ අතරින් 50%ක් පමණ රටේ රැකියා නැති නිසා විදේශගත වෙන්න සිදුව තිබෙනවා. නමුත් එයත් දැන් ඉතා අසීරු කටයුත්තක් බවට පත්වෙලා. මක්නිසාද යත් විශේෂයෙන්ම බටහිර රටවල් සංචාරක රැකියා සීමා පනවා තිබෙන නිසා.
අපේ රටෙන් වැඩිපුරම විදේශගත වෙන්නේ වෛද්‍යවරු. වෛද්‍ය ක්ෂේත්රයේ පුරප්පාඩු 7,000ක් පමණ තියෙනවා. එහෙමනම් කොහොමද ගුණාත්මක වෛද්‍ය සේවයක් අපේ රටේ ජනතාව වෙනුවෙන් සපයා දෙන්නේ? ඒ වගේම තත්ත්වයක් තමයි විශ්වවිද්‍යාල පද්ධතිය තුළත් තිබෙන්නේ. ආචාර්ය සංගමය කියනවා විශ්වවිද්‍යාල නිසි පරිදි පවත්වාගෙන යෑමට ආචාර්ය, මහාචාර්යවරුන් 12,000ක් අවශ්‍ය වෙනවා කියලා. නමුත් දැනට ඉන්නේ 6,000යි. එසේනම් 50%කට ආසන්න පුරප්පාඩු තිබෙනවා.
අද ප්රශ්නය වෙලා තිබෙන්නේ අලුත් විශ්වවිද්‍යාල හදන එක නොවෙයි. තිබෙන විශ්වවිද්‍යාල පිළිගන්න පුළුවන් මට්ටමකින් නඩත්තු කරගෙන යාමයි. ඒ ගුණාත්මකභාවය පිළිබඳ බොහොම දරුණු ප්‍රශ්නයක් මතුව තියෙනවා.
ප්‍රාග්ධන වියදම් සහ ප්‍රධාන ක්ෂේත්රවල පසුබෑම
මේකට විසඳුම තමයි රැකියා අවස්ථා පුළුල් කිරීම. ඒ සඳහා ප්රාග්ධනය වියදම් කිරීම අවශ්‍යයි. දැන් අපේ රටේ අයවැය ලේඛනයේ තිබෙන ප්‍රධාන ගැටලුව තමයි මුදල් වෙන් කරනවා, නමුත් ඒ වෙන් කරන මුදල් වියදම් කර ගැනීමට හැකියාවක් නැහැ. ලෝක බැංකුවේ වාර්තාව අනුව ගිය අවුරුද්දේ අයවැය ලේඛනයෙන් ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කරපු සමස්ත මුදලින් මේ අවුරුද්දේ සැප්තැම්බර් වෙනකොට වියදම් කර තිබෙන්නේ 16.4%යි. මේ අවුරුද්ද අවසාන වන විට ගිය අවුරුද්දේ අයවැය ලේඛනයෙන් ප්‍රාග්ධන ව්‍යාපෘති සඳහා වෙන් කරපු මුදල්වලින් 30% - 40%ක් පමණ ප්‍රතිශතයක් තමයි වියදම් කිරීමට පුළුවන් වන්නේ. එය සුළු ප්‍රමාණයක්.
බලාපොරොත්තු වෙන ප්‍රතිඵල කොහෙත්ම ලබාගන්න බැහැ. ඒ විතරක් නොවෙයි. ඒ වියදම් කරන මුදල් පවා ඒ සම්බන්ධයෙන් ප්‍රමුඛතා කිසිසේත් නිසි ආකාරයෙන් වටහාගෙන නොවෙයි මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්නේ.
රජය තීරණය කරන්න ඕනේ මොන ක්ෂේත්රවලටද ප්‍රමුඛත්වය දෙන්නේ, මොන ක්ෂේත්රයන්ද වර්ධනය කරන්නේ කියලා. ජන ජීවිතයට සමීපම ක්ෂේත්‍ර තමයි හඳුනාගත යුත්තේ. ඒ තුළින් තමයි රැකියා බිහි වන්නේ හා ආදායම් වැඩි කර ගැනීමට ඉඩප්රස්ථා සැලසෙන්නේ. නමුත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. ජනතාවට එදිනෙදා ජීවිතය ආශ්‍රිතව ප්‍රයෝජනවත් ක්ෂේත්‍ර සඳහා වියදම් කරන මුදල වැඩි නොවනවා පමණක් නොවෙයි, තිබුණාටත් වඩා අඩු වන ප්‍රවණතාවක් තමයි අපි දකින්නේ. 2025 දෙවැනි කාර්තුවේ වියදම් කළ මුදල සමඟ සංසන්දනය කරනවා නම් මේ අවුරුද්දේ දෙවැනි කාර්තුවේ වියදම් කරපු මුදල්වල අඩු වීමක් පෙන්නුම් කරනවා. එය සංකෝචනය වීමක්. පුළුල් වීමක් නොවෙයි.
වී ගොවිතැන අපේ ජනතාවට අතිශයින් වැදගත් ක්ෂේත්රයක්. එය ගිය අවුරුද්දට වඩා 15%කින් සංකෝචනය වෙලා. ධීවර කර්මාන්තය 10%කින් අඩු වෙලා. විසිතුරු මත්ස්‍ය ක්ෂේත්රය 61%කින් අඩු වෙලා. ඇඟලුම් 1.4%කින් හා තේ කර්මාන්තය 2%කින් අඩු වෙලා. ඒ කියන්නේ ගිය අවුරුද්දෙයි, මේ අවුරුද්දෙයි දෙවැනි කාර්තුව සංසන්දනය කරන විට මේ හැම එකකම අඩු වීමක් තමයි තියෙන්නේ. මෙය විකෘතියක්.
මේ තත්ත්වය නිරාකරණය කර ජනතාවගේ ආදායම් වැඩි කර ගැනීමට ප්‍රායෝගික වැඩපිළිවෙළක් අපි බලාපොරොත්තු වුණා මෙවර අයවැය ලේඛනයෙන්. නමුත් එවැනි කිසිම සඳහනක් අයවැය ලේඛනයේ නැහැ.
සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත සහ පරාටේ නීතිය
ශ්‍රී ලංකා ආර්ථිකයට විශේෂ වැදගත්කමක් තිබෙනවා සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තයන්ගෙන්. ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ රැකියා දස ලක්ෂයක් තිබෙනවා. කොවිඩ් කාලයේ කබලෙන් ලිපට වැටුණා. දැන් ඊට පස්සේ පරාටේ නීතිය බැංකු විසින් ක්‍රියාත්මක කිරීම නිසා සුළු හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තවලට කිසිසේත් තමන්ගේ වැඩකටයුතු කරන්න බැරි තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඒ කර්මාන්ත පවත්වාගෙන යාමට බැරි තත්ත්වයක් තමයි අද තිබෙන්නේ.
මෙතැනදී වෙන්නේ කුඩා ව්‍යාපාරිකයන් තමන් සතු පොඩි ඉඩමක් බැංකුවකට උගස් කරලා ප්රාග්ධනය ලබා ගන්නවා. ඒ ව්‍යාපාරිකයාගේ අඩුපාඩුවක්, දෝෂයක් නිසා නොවෙයි, රටේ ආර්ථික තත්ත්වය නිසා ඒ මුදල් ආපහු ගෙවලා ඒ ඉඩම නිදහස් කර ගැනීමට ඒ සුළු ව්‍යාපාරිකයාට බැරි වෙනවා. එතකොට ඒ ඉඩම බැංකුවට සින්න වෙනවා. බැංකුව ඊට පස්සේ ප්රවෘත්ති පත්‍ර නිවේදනයක් දාලා ඒක අත්පත් කරගෙන, ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණනවා. එතකොට ඒ සුළු ව්‍යාපෘතිය එතැනම කඩා වැටෙනවා. ඒකෙන් යැපෙන සේවකයන්ගේ වැටුප් ඊට පස්සේ ගෙවා ගන්න බැරි තත්ත්වයක් ඇතිවෙනවා.
මේ සම්බන්ධයෙන් මහ බැංකුවේ ආකල්පය, බැංකු පද්ධතියේ ස්ථාවරභාවය ආරක්ෂා කරගත යුතුයි කියන එකයි. ඒ හින්දා පරාටේ නීතිය දිගටම ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා කියනවා. නමුත් රජයකට ඒ විදියේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට පුළුවන්කමක් නැහැ. ඊට වඩා සානුකම්පිත විදියට මේ ගැටලුව ගැන හිතන්න ඕනේ.
මෙය පහුගිය අවුරුදු දෙක තුළ එන්න එන්නම උග්‍ර වුණු ප්‍රශ්නයක්. ඒ කියන්නේ ආදායම්, රැකිරක්ෂා ඒවාට විශාල අහිතකර බලපෑමක් තිබුණා සමස්ත සුළු හා මධ්‍යම පරිමාණ ක්ෂේත්රය තුළ. ඒ නිසා අපි බලාපොරොත්තු වුණා මේකටත් යම්කිසි ප්‍රායෝගික විසඳුමක් ලැබෙයි කියලා මෙවර අයවැය ලේඛනයෙන්. නමුත් එහෙම කිසිම යෝජනාවක් අයවැය ලේඛනයේ අඩංගු වෙලා නැහැ.
ජීවන වියදම, උද්ධමනය සහ අස්වැසුම කප්පාදුව
අද සමාජයේ විශාල පරාසයක් තුළ ජීවත් වීම අතිශයින් දුෂ්කර දෙයක් වෙලා තිබෙනවා. හතර දෙනෙකුගෙන් සමන්විත පවුලකට අද අත්‍යවශ්‍ය දේවල් සඳහා, එනම් ආහාර වේල් දෙකක්, ඖෂධ, බෙහෙත් එහෙම ලබා ගැනීමේ අවම අවශ්‍යතා සඳහා මාසයකට රුපියල් 94,057ක් වියදම් කරන්න සිදුවෙනවා. නමුත් ආදායම තිබෙන්නේ රුපියල් 75,882ක්. දැන් මේ පරතරය පියවා ගන්නේ ඔවුන් ණය වෙලා. ජීවන වියදම දරුණු ලෙස ඇස් පනාපිට මාසෙන් මාසේ වැඩි වෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි උද්ධමනය.
වර්තමාන රජය බලයට එන අවස්ථාවේදී උද්ධමනය තිබුණේ 0.5%යි. මේ අවුරුද්දේ ජූනි මාසයේ 0.6%යි, ජූලි මාසයේ 0.4%යි. ගිය මාසයේ වෙනකොට 8.5%යි. මහ බැංකුවේ අධිපතිතුමා කියනවා උද්ධමනය 9%ට එනවා කියලා. මේ අවුරුද්දේ අගෝස්තු දක්වා රුපියල අවප්‍රමාණය වුණා 6.8%කින්. දැන් උද්ධමනය 9%ට යනවා නම් ඒ අවප්‍රමාණය වීමේ වේගය ඊට වඩා හුඟාක් වැඩි වෙනවා.
පහුගිය අවුරුදු දෙක තුළ යූ. එස්. ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම විශාල ලෙස කඩා වැටී තිබෙනවා. මේ රජය බලයට එනකොට ඩොලරය තිබුණේ රුපියල් 292යි. දැන් රුපියල් 337යි. ඒ කියන්නේ රුපියල් 40කට වැඩි වෙනසක් වෙලා තිබෙනවා. මේ රටට අවශ්‍ය දේවල් ආනයනය කරන විට ආහාර, ඉන්ධන, බෙහෙත් මේ සියල්ලටම වියදම් කරන හැම ඩොලරයකටම අපිට වැඩිපුර රුපියල් 40ක් පමණ ගෙවන්න සිදු වෙනවා.
මේ අයවැය ලේඛනය ඉදිරිපත් කරලා ඊළඟ දවසේම ලාෆ් ගෑස් මිල ඉහළ ගියා. රට පුරාම ආන්දෝලනයක් ඇති වුණා. ඒ නිසා එහි මිල ස්වල්ප අගයකින් අඩු කරන්න සිද්ධ වුණා. නමුත් ඒ අඩු කිරීමෙන් පස්සෙත් කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල ඉස්සෙල්ලා තිබුණාට වඩා රුපියල් 1,030ක් වැඩියි. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල ඉස්සෙල්ලා තිබුණාට වඩා රුපියල් 410ක් වැඩියි.
මේ අතිශයින් දුෂ්කර තත්ත්වය තුළ සුබසාධන වැඩකටයුතු ඉතාමත් වැදගත් වෙනවා. අපේ රටේ ජනතාවට අද අත්‍යවශ්‍යයි ප්‍රායෝගික සුබසාධන වැඩපිළිවෙළක්. මේ රටේ තිබෙන ප්‍රධාන සුබසාධන වැඩපිළිවෙළ තමයි අස්වැසුම. නමුත් ඒකට වෙන් කරන මුදල වැඩි කරනවා නොවෙයි, ඒ මට්ටමට තියාගන්නවත් නොවෙයි, මේ අයවැය ලේඛනයෙන් ඒ ප්‍රමාණයත් අඩු කර තිබෙනවා.
අද ජනතාව විඳින ආර්ථික පීඩනයේ ප්‍රමාණය පැහැදිලිවම පිළිබිඹු වෙනවා එක්තරා සාක්ෂියකින්. කනකර, මාල, මුදු වැනි දේවල් උගස් කර එදිනෙදා අවශ්‍යතා ලබා ගැනීමට අපේ ජනතාව අද පුරුදු වෙලා තිබෙනවා. ආහාර වේල් දෙකක් තමන්ගේ පවුලට, අත්‍යවශ්‍ය බෙහෙත් ටිකත් ලබා ගැනීම සඳහා මේ කනකර, මාල, මුදු උගස් කිරීම අත්‍යවශ්‍ය තැනකට පත් වෙලා තිබෙනවා. නිසි කාලය තුළ මුදල් ගෙවලා ඒවා බේරා ගැනීමට බැරි නිසා ඒවා සින්න වෙනවා බැංකුවට. ඉතින් මෙන්න මේ විදියේ තත්ත්වයක් තමයි අද රටේ සමාජයේ ඇති වෙලා තියෙන්නේ.
මහජන මුදල් නාස්තිය සහ අයවැයේ ප්‍රමුඛතා
අසාමාන්‍ය ප්‍රමාණයේ ආර්ථික පීඩනයකට අපේ රටේ ජනතාව ලක් වෙලා තිබෙන අවස්ථාවක මහා පරිමාණයෙන් මහජන මුදල් නාස්ති වීමක් තිබෙනවා. 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට අද දක්වා රජයෙන් කාට හරි ණය මුදලක් ගෙවන්න තිබෙනවා නම් ඒ ණය හිමිකරුවාට ඒ මුදල දෙවතාවක් ගෙවීමේ සිද්ධියක් ගැන අපි කවදාකවත් අහලා නැහැ. කාට හරි ණයක් ගෙවන්න තියෙනවා නම් ආණ්ඩුවේ මුදලින් ඒ කියන්නේ මේ රටේ ජනතාවගේ මුදල්, විසර්ජන පනතෙන් වෙන් කෙරෙනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුව අනුමත කරනවා. ඒ අනුව ඒ ණය මුදල ගෙවනවා. එක සැරයක් ඒ මුදල ගෙව්වායින් පසු එම ණය හිමිකරුවාටම තවත් වතාවක් ඒ මුදල ගෙවීමට කිසිම නීතියක් යටතේ ඉඩකඩක් නැහැ.
නමුත් එවැනි අද්විතීය සිදුවීමක් සිදු වුණා 2025දී. ඕස්ට්‍රේලියාවේ ආයතනයකට ණය ගෙවන්න තියෙනවා කියලා මහා භාණ්ඩාගාරය ඒ ණය ගෙව්වා. ඊට පස්සේ කියනවා ඒ ණය ලැබිය යුතු පුද්ගලයාට ඒ මුදල ලැබුණේ නැහැ කියලා. එතකොට නැවත වතාවක් ඒ මුදල ගෙවන්න සිදු වුණා. මේ ආකාරයට ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් නැවත වතාවක් ඒ රටට ගෙවා තිබෙනවා. අපේ රටේ සල්ලිවලින් නම් රුපියල් ලක්ෂ 8,250ක්.
මේ කාගේ මුදල්ද? මේ රටේ ජනතාවගේ මුදල්. මෙච්චර දුක් විඳින කාලයක මේ විදියේ දෙයක් කොහොමද සිදුවුණේ? ඉතින් ඒකෙන් පේනවා මුදල් කළමනාකරණය පිළිබඳ මූලික ගැටලුවක්, විශාල දුර්වලතාවක් මේ ආණ්ඩුවට තිබෙන බව. ඉතින් අපි බලාපොරොත්තු වුණා මේ අයවැය ලේඛනයෙන් එහෙම දෙයක් ආයේ කවදාකවත් සිදු නොවීමට වග බලා ගැනීම සඳහා මොකක් හෝ ක්‍රියාමාර්ගයක් ගනීවියැයි කියා. නමුත් එහෙම කිසිම දෙයක් වුණේ නැහැ. ඉතින් ඒකත් අපි දකිනවා මේ අයවැය ලේඛනයේ කැපී පෙනෙන අඩුපාඩුවක් හැටියට.
අපේ රටේ ආර්ථිකයේ අද ප්‍රධාන ගැටලු තුනක් තිබෙනවා. විරැකියාව, උද්ධමනය හා සුබසාධනය. මෙන්න මේ කරුණු තුන සම්බන්ධයෙන් තමයි ප්‍රමුඛත්වය දිය යුත්තේ. මේ අයවැය ලේඛනය සකස් කිරීමේදී මේ කාරණා සම්බන්ධයෙන් ජනතාවට සෙතක් සැලසීම සඳහා මොනවද රජය ගන්නා පියවර? අන්න ඒවා පිළිබඳ රජයේ දැක්ම, දර්ශනය මොකක්ද කියලා බලා ගැනීමට තමයි අපි සියලු දෙනාම පුන පුනා බලා සිටියේ. නමුත් ඒ පිළිබඳ කිසිම ප්‍රායෝගික වැඩපිළිවෙළක් නැති බව කනගාටුවෙන් වුවත් සඳහන් කළ යුතුයි.
මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක:
වැඩ කරන ජනතාවගේ විරෝධය සහ වෘත්තීය සමිති
ඊයේ ඉතාම වැදගත් දවසක්. ඒකට හේතුව, මේ රටේ වැඩ කරන ජනතාව අනුර කුමාර දිසානායක මුදල් ඇමතිතුමාගේ අයවැය මඟින් තමන්ගේ ජීවන බරට සහනයක් නොමැති වීම පිළිබඳව හෙදියන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ඒ වගේම ගුරු භවතුන් ඇතුළු විශාල පිරිසක් පූර්ව විරෝධතාවක නියැළුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ඒ වගේම රජයේ ඉංජිනේරු සේවා සංගමය, විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ආදී බොහෝ පිරිසක් විටින් විට මේ අරගලයට දායකත්වය දක්වා තිබෙනවා. ඒ වගේම ලබන 30 වැනිදා ඒ අයගේ ප්‍රධාන විරෝධතාවක් පැවැත්වීමටත් නියමිතයි. මෙහි ඇති වැදගත්කම මොකක්ද?
මේ ආණ්ඩුව තමන්ගේ ප්‍රධාන බලකාය බවට පත් කර ගත්තේ මේ රාජ්‍ය සේවයේත්, පෞද්ගලික අංශයේත් වැඩ කරන ජනතාවයි. ඒ ජනතාව තුළත් විශේෂයෙන්ම සෞඛ්‍ය සේවයේ සහ අධ්‍යාපන සේවයේ පිරිස. අද ඒ පිරිස වටහාගෙන තිබෙනවා, අනුර කුමාර දිසානායක මහත්මයා 2024 සැප්තැම්බර් 21 වැනිදාට කලින් කියපු "ඖෂධ හිඟය නැති කරනවා, ඖෂධ මිල අඩු කරනවා, තෙල් මිල අඩු කරනවා, තෙල්වල ජාවාරම නවත්වනවා, විදුලි බිල තුනෙන් එකකින් අඩු කරනවා, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මත පනවලා තියෙන බදු අඩු කරනවා, අලුත් බදු පනවන්නේ නැහැ (අලුත් බදු පහළොවක් පනවලා තියෙනවා පැමිණියාට පස්සේ)" වගේ දේවල් වලින් තමන්ට ජීවන සහනයක් නොලැබෙන බව. ඒ වගේම මැති ඇමතිවරු ඉතාම සදාචාරාත්මකව සාමාන්‍ය මිනිස්සු වගේ බස් එකේ යයි, බයිසිකලේ යයි, ඒ වගේම ජනතාවට වග කියයි වගේ විශ්වාසයක් තුළින් තමයි මේ ආණ්ඩුව බලයට පත් වුණේ.
අද ඉතිහාසයේ පළවෙනි වතාවට ඊයේ ඒ වැඩ කරන ජනතාව අනුර කුමාර දිසානායක මහත්තයාට පුංචි පණිවිඩයක් දී තියෙනවා; "ඔබ බොරුකාරයෙක්, අපට ඔබ ගැන විශ්වාසයක් හෝ ඔබේ ආණ්ඩුව ගැන විශ්වාසයක් නැහැ" කියලා.
අනිත් පැත්තෙන්, වසර 60ක් තිස්සේ මේ රටේ කිසිම සංවර්ධන ව්‍යාපාරයකට, කිසිම ව්‍යාපාරයකට පෞද්ගලික අංශයේ රාජ්‍ය අංශයේ වැඩක් කරන්න නොදී කාසි කප්පම් වෘත්තීය සමිති මෙහෙයවූ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායකයෝ අද වැඩ වර්ජන නවත්වන්න වහසිබස් දොඩනවා. මේ රටේ ආර්ථිකය දියුණු ආර්ථිකයක් බවට පත්වීම වැළැක්වීමට රටේ ආර්ථිකය ගිනිබත් කරපු පිරිස් අද මේ වැඩ වර්ජනවලට එරෙහිව අවි අමෝරාගෙන එනවා. අර භික්ෂූන් වහන්සේලාට සැලකුවා වගේ, ඒ වගේම රටේ අනෙකුත් ක්ෂේත්රවල උද්ඝෝෂකයින්ට සලකනවා වගේ, මේ වැඩ කරන ජනතාවගේ අරගලය කඩාකප්පල් කිරීමේ අදහසක නියැළී ඉන්න බව අපට පේනවා.
ඒ නිසා ඊයෙන් ඇරඹුණේ ජනතා විමුක්ති පෙරමුණ වසර 60ක් තිස්සේ ගෙන ගිය කාසි කප්පම් වෘත්තීය සමිති ව්‍යාපාරයේ අවසානය බව එහි නායකයින් සියලු දෙනාම වටහා ගත යුතුයි. ඒ නිසා අපි සුබ පතනවා ඒ වැඩ කරන ජනතාවට ඉදිරියටත් මේ අරගලය කරගෙන යන්න කියලා.
අධිවේගී මාර්ග වියදම් සහ ප්‍රවාහන ප්‍රතිපත්තිය
ඒ වගේම පුංචි කාරණයක් මතක් කරන්න ඕනේ. මම පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා මේ රටේ අධිවේගී මාර්ග පිළිබඳව, ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පිළිබඳව ප්‍රශ්න කළා. ඒ පිළිබඳව මම දැක්කා මගේ ප්‍රකාශයේ අතනින් මෙතනින් කෑලි අරගෙන ආණ්ඩුවේ හිතවත් පිරිස නොයෙක්, නොයෙක් චෝදනා එල්ල කර තිබෙනවා. මම බොහොම පැහැදිලිව කියනවා, අනුර කුමාර දිසානායක මහත්තයාට ගණන් වැරදුණාට අපට තාම ගණන් වැරදිලා නැහැ. ඒ වගේම මේ සම්බන්ධයෙන් අපි කරපු පුරෝකථනයන් වැරදුණෙත් නැහැ කියලා.
අපි දන්නවා මේ ඉදිකිරීම් බුබුලක් මඟින් (Construction bubble එකක් මඟින්) ඉදිරියට යන්න ගිහිල්ලා 2010 ඉඳන් රටට වෙච්ච දේ. රෑ වැටුණු වළේ දවල් වැටෙන්න යන බව තමයි අපිට ප්‍රකාශ කරන්න තිබෙන්නේ. අද අරන් බලන්න වියදම්: කහතුඩුවේ ඉඳන් ඉංගිරියට 2022දී රුපියල් බිලියන 54යි; අද බිලියන 261යි, පුනරුදය යටතේ. ඒ වගේම අධිවේගී මාර්ගයක් මුලින්ම අපි හදලා නිම කළා—ඇත්ත වශයෙන්ම ඒක ජයග්‍රහණයක් කොට්ටාවේ ඉඳන් ගාල්ලට. ඒ අධිවේගී මාර්ගයට සමාන, සමාන කියන්නේ අඩුවෙන්; ඒ අධිවේගී මාර්ගය කිලෝමීටර් 96යි, ඊට වඩා අඩුවෙන් කිලෝමීටර් 83ක් අලුතෙන් හදන්න එම අධිවේගී මාර්ගය හැදුවා වගේ තුන් ගුණයක් පුනරුද ආණ්ඩුව වියදම් කරනවා. ඕක තමයි අපි කියපු එක ප්‍රධාන කාරණයක්. කොහොමද මේ වියදම ආවේ?
දෙවැනි කාරණය, කොහෙන්ද මේ සල්ලි? මේ සල්ලි අද අරගෙන තියෙන්නේ මිත්‍රවරුනි, 13% පොලියට. භාණ්ඩාගාර බැඳුම්කරවල දස වසරක පොලී අනුපාතය 13%යි. ඒ අනුව මේ අධිවේගී මාර්ග හදලා ඉවර වෙනකොට, හදලා ඉවර වෙන්න කාලය තිබෙන්නේ මාස 42යි. හදලා ඉවර වෙනකොට මේ ණය ප්‍රමාණය ඩබල් වෙනවා. ඒ වගේම ඉතා අමාරුවෙන් මේ රටට හොයාගත්ත ඩොලර් විශාල ප්‍රමාණයක් නැති වෙනවා. ඒ වගේම මේ ඇස්තමේන්තු වෙනස් වෙන්න ඉඩ තියෙනවා. මේ රටේ මිනිස්සුන්ට පාරවල් අවශ්‍යයි, අධිවේගී පාරවල් අවශ්‍යයි, නමුත් මේ ආණ්ඩුවට වැඩපිළිවෙළක්, ප්‍රතිපත්තියක් නැති බව තමයි මම ප්‍රකාශ කළේ.
පළවෙනි එක මේවා රටේ ජාතික භෞතික සැලසුමට විරුද්ධයි. දෙවැනි එක කිසිම ප්‍රවාහන ප්‍රතිපත්තියක් නැහැ. පහුගිය අවුරුදු දෙකේ වාහන අට ලක්ෂයක් පාරට දාලා තියෙනවා. අධික මාර්ග තදබදයක් ඇති වෙලා තියෙනවා. ඒ මාර්ග තදබදයට කිසිදු විසඳුමක් මෙයින් ලැබෙන්නේ නැහැ. කොටින්ම මේ රටේ යම්කිසි මාර්ග අලුතෙන් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියක් 2007දී ඇති වුණා. ඒක අපි පිළිගත යුතුයි. මේ රටේ තියෙනවා අද මාර්ග, අපි ගත්තොත් A ගණයේ, B ගණයේ මාර්ග, ඒ කියන්නේ ප්‍රධාන පොදු මාර්ග (Public Roads) කිලෝමීටර් 12,000ක්.
මේ කිලෝමීටර් 12,000 - 2007 සිට 2017 දක්වා වගේ කාලය ඇතුළත සියලු මාර්ග පාහේ කාපට් කළා. දැන් එම මාර්ග යම්කිසි ප්‍රමාණයකට අබලන් වෙලා තියෙනවා. මේ ආණ්ඩුව ලබන වසරේ වෙන් කරන්න යන සල්ලිවලින් සුළු කොටසක් වැය කරලා මේ මාර්ග 12,000ම නැවත ප්‍රතිසංස්කරණය කළ හැකියි. විධිමත් කානු පද්ධති දාලා, දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වෙච්ච පාරවලුත්, අනික් පාරවලුත් තැනිය හැකියි. ඒ අනුව කිලෝමීටර් 83ක අධිවේගී මාර්ග ඉදි කරනවාද, ඒ මුදලෙන් තුනෙන් එකක් වැය කරලා පොදු මහජනතාවගේ පාරවල් කිලෝමීටර් 12,000 හදනවාද කියන ප්රශ්නය තමයි අපි ඇහුවේ, වෙන එකක් නොවෙයි.
දේශීය කොන්ත්‍රාත්කරුවන් සහ මුදල් සැපයුමේ අවදානම
අනුර කුමාර දිසානායක මේ රටේ බලශක්ති ක්ෂේත්රයේ තිබිච්ච හරිත බලශක්ති සමාගම් 1,000ක් වසලා දෙකක් හැදුවා. මේ රටේ අද ඉන්නවා CS1, CS2 කියන ඉහළම ගණයේ කොන්ත්‍රාත්කරුවන් 36 දෙනෙක්. ඒ 36 දෙනා වෙනුවට අද හතර දෙනෙක් හදන්න යනවා. මේකද බලාපොරොත්තුව? අපි කියන්න ඕනේ මොනවා වුණත් එදා යහපාලන ආණ්ඩුව 2017දී තීරණයක් ගත්තා මීරිගම සිට කුරුණෑගලට පාර හදන්න. මුලින් තිබුණේ ADB එක යටතේ හදන්න කියලා. ADB පාර අපි ගත්තා වරායට; වරාය පිවිසුම් මාර්ගය හදන්න. ඒ වෙනුවට අපි අර මාර්ගය හැදීම භාර දුන්නා දේශීය කොන්ත්‍රාත්කරුවන්ට. ඔය අද ඉන්න ඔක්කොම කොන්ත්‍රාත්කරුවන්ට තමන්ගේම වූ පාරක් හදන්න අත්දැකීම ලැබුණේ 2017 ගත්ත ඒ විප්ලවීය පරිවර්තනය නිසා. ඊට කලින් එවැනි දෙයක් තිබුණේ නැහැ. එදා සමාගම් 16ක් ගෙනාවා.
හරි නම් මේ ආණ්ඩුව මොකද කරන්න ඕනේ? ඒ 16, 32 කරන්න ඕනේ. නමුත් එය 32 කරනවා වෙනුවට හතරක් කරනවා. ඉතින් ඒකයි මෙතැන ගැටලුව. එහෙම නැතුව මේ සමාගම් ගැනවත් ඒවායේ අනික් කාරණා ගැනවත් අපට තියෙන ප්‍රශ්න නොවෙයි.
මේ රෑ වැටුණු වළේ දවල් වට්ටවන වැඩපිළිවෙළක් මේ ආණ්ඩුව ගෙනියන්නේ. ඒක ගැන අපේ තර්කයක් නැහැ. ගණන් හිලව් ගැන කතා කරන්න ඔය තැන් තැන්වල ඉන්න පුංචි පුංචි යූටියුබ්කාරයෝයි, අරගොල්ලොයි, මේගොල්ලොයි ඕනේ නැහැ. මේ පිළිබඳ ඕනෑම පාර්ලිමේන්තු සභාවක කරුණු දක්වන්න අපි ලෑස්තියි. අපි මේ ගත්ත කරුණු ගත්තෙත් පාර්ලිමේන්තුවේ වාර්තා වෙච්ච කරුණු. ඒ අනුව මේ අනුර කුමාර දිසානායක ජනතාවගේ ජනාධිපතිද, නැත්තම් මේ රටේ කුවේරයින් කීපදෙනෙක්ගේ ජනාධිපතිද කියන එක දැන් තෝරාගත යුතුයි.
දැන් ආර්ථික පරිවර්තන පනත මඟින් එවකට මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුවට ගෙනල්ලා 5% උද්ධමනය තිබ්බා. සමහරු ඒකටත් විරුද්ධ වුණා 5% වැඩියි කියලා. නමුත් 70% තිබිච්ච උද්ධමනයක් තමයි 5%ට ගෙනාවේ. 5% ඉඳන් දෙකක් වැඩියෙන් යන්නත් පුළුවන් (ඒ කියන්නේ හතට), දෙකක් අඩුවෙන් යන්නත් පුළුවන් (ඒ කියන්නේ තුනට). අද මොකද වෙලා තියෙන්නේ? අද ඒ උද්ධමනය පාලනය කිරීමට වගකිව යුතු ප්‍රධානම රාජ්‍ය නිලධාරියා වෙච්ච මහ බැංකු අධිපතිතුමා කියනවා නමයට යනවා කියලා. මේ ආර්ථික පරිවර්තන පනත අමු අමුවේ උල්ලංඝනය කිරීමක්. මේ සෙල්ලම නේද ඒ කාලෙත් මහ බැංකුව ඇතුළේ සිද්ධ වුණේ?
ඊළඟට, මහ බැංකුවේ දත්ත විශ්ලේෂණය කරනකොට පේනවා මුදල් සැපයුම (Money Supply) ඒකෙත් විවිධාකාරයේ තියෙනවා මේ සැපයුම් මාර්ග, ඒ සැපයුම් මාර්ග දිහා බැලුවාම ඒ අයත් අද පිළිඅරගෙන තියෙනවා බිලියන 300ක් වැඩියෙන් වෙළෙඳපොළේ තිබෙනවාය කියලා. ඒ වගේම සැපයුමේ ප්‍රමාණය අරගෙන බැලුවම 2025 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2026 සැප්තැම්බර් මාසයේ ට්‍රිලියන දෙකක්, බිලියන 2,000ක් අලුතෙන් ඇවිත් තිබෙනවා.
කෙනෙකුට තර්ක කරන්න පුළුවන් සල්ලි අච්චු ගහලා කියලා. කොහොමද මේ අච්චු ගහන්න වෙන්නේ? ආණ්ඩුව ඩොලර් මිලදී ගෙන තියෙනවා තමන්ගේ සංචිත වැඩි කිරීම සඳහා.
අද මේ ආර්ථික අර්බුදයේ සහ මේ උද්ධමනයේ ප්‍රධාන හේතුව හෝමූස් සමුද්‍ර සන්ධියේ යුද්ධය නොවෙයි. අද පෙට්රල්වලට, ඩීසල්වලට වැඩියෙන් ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ යුද්ධය හින්දා නොවෙයි. මේකට හේතුව ඩොලරයට සාපේක්ෂව රුපියල කළමනාකරණය නොකිරීමයි. අද පාලනයකින් තොරවයි රට ගමන් කරන්නේ. ඒ වගේම ආර්ථික විද්‍යාව දන්න අය දන්නවා මේ "Credit Multiplier" කියන එකේ තේරුම. ඒ කියන්නේ රුපියලක් Reserve Money වලින් දැම්මොත් බැංකුවලට, මාස 18ක් ඇතුළත ලංකාවේ ඒක දහ ගුණයක් වෙනවා. ඒ අනුව මේ බිලියන 300 බැංකු ඇතුළෙන් එළියට ගන්න තමයි පොලී අනුපාත වැඩි කර තියෙන්නේ. ඒ වගේම Reserve Capacity එක 2% ඉඳන් 3%ට වැඩි කරලා තියෙන්නේ. ඒක අසාර්ථක වුණොත් මේක නතර වෙන්නේ මේ වගේ දහ ගුණයක මුදල් ප්‍රමාණයක් නිර්මාණය වෙලා.
මම දන්නේ නැහැ මේ ජනාධිපතිතුමාට, මුදල් ඇමතිට, මේ ආණ්ඩුව කරන අයට මේ ගැන අවබෝධයක් තියෙනවද නැද්ද කියලා. අඩු ගාණේ පාර්ලිමේන්තුවේ කොප් (COPF) එකවත් මේ පිළිබඳව විධිමත් විමර්ශනයක්, පරීක්ෂණයක් කරන්න ඕනේ. නැත්තම් එතැනත් අපි රෑ වැටුණු වළේ දවල් වැටෙනවා. ඒ නිසා අද පාලනයකින් තොරව මේ කටයුතු සිද්ධ වෙමින් පවතින බව බොහොම වගකීමෙන් ප්‍රකාශ කරන්න කැමතියි.
ඉන්ධන බදු සහ ජනතා අරගලයට ආශිර්වාදය
මේ උද්ධමනයට හේතුව භාණ්ඩ නිෂ්පාදනය වෙන්නේ නැහැ; දැන් නොයෙක් හේතු කියනවා එල් නිනෝ එක එනවා, එහෙම නැත්තම් යුද්ධය පවතිනවා කියලා. දැන් මොකද්ද යුද්ධයේ තත්ත්වය? අද මම පෙන්නලා දීලා තියෙනවා පෙට්‍රල් රුපියල් 199යි සිංගප්පූරුවෙන් නැවට පටවන්නේ; මෙහෙ රුපියල් 424යි. කාගේ බදුද ඒ? 260ට ඩීසල් පටවන්නේ; මෙහෙ 397යි. කාගේ බදුද ඒ? ඒ වගේම අපේ සපුගස්කන්දේ පිරිපහදුවට රුපියල් 180ට තෙල් ගේන්නේ; විකුණන්නේ කීයටද? ආඩම්බරයෙන් කියනවා අපි මෙච්චර ලාභ ලබලා, අච්චර ලාභ ලබලා කියලා. ආයතනය බදු ගෙවන්නේ නැහැ, හැබැයි ජනතාවට සහගහන බදු ගහනවා.
ඒ නිසා මේ උද්ධමනය, අනෙකුත් කාරණාත් එක්ක අපේ ජනතාව පෙළගැහෙමින් ඉන්නවා. අපි ඒ ජනතාවට ආශිර්වාද කරනවා පක්ෂ පාට භේදයෙන් තොරව මේ රටේ වැඩ කරන ජනතාවට, බඩු මිලට එරෙහිව, ඖෂධ හිඟයට එරෙහිව, ඒ වගේම කුවේරයින් කීපදෙනෙක් ධනවත් කිරීමේ අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්තිවලට එරෙහිව, ඒ වගේම මේ ගෙනියන සාහසික මර්දනයට එරෙහිව බය නැතුව නැගිටින්න. ඒ වගේම මේ ඉදිරි කාලයේදී මේ රටේ ණය ගෙවන්න පුළුවන් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟන්න පුළුවන් විධිමත් වැඩපිළිවෙළක් ඉදිරි කාලයේදී අපි ඉදිරිපත් කරනවා. ඒ හරහා මේ රටේ ජනතාවට ඉදිරි ගමනක් තියෙන්නේ. නමුත් ඒක කුවේරයින් තුන් හතර දෙනෙක්ගේ ආණ්ඩුවක් නෙවෙයි, මේ රටේ දෙකෝටි විසි ලක්ෂයකගේ බලාපොරොත්තු ඉටු කරන ආණ්ඩුවක් බවට පරිවර්තනය කරන්න අපි කැපවෙන බවත් ප්‍රකාශ කරනවා.
මෙහිදී අදහස් දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම:
බාරදුන් ආර්ථිකය සහ විශ්‍රාමික පොරොන්දු
මේ අයවැය විවාදය අහගෙන ඉන්නකොට පාර්ලිමේන්තුවේ, අපිට දිගින් දිගටම ඇහෙන කතාවක් තමයි, අපිට ලැබුණේ ආර්ථිකය හොඳටම කඩාවැටුණු රටක් කියලා. ඒ කියන්නේ අපි භාරගත්තේ තෙල් පෝලිම් තිබිච්ච, ගෑස් පෝලිම් තිබිච්ච, ලයිට් නැති රටක්, විදේශ සංචිත බිංදුවට වැටිච්ච රටක් කියලා. අපේ රටේ ජනතාවට හැත්තෑ වසරක ඉතිහාසය අමතක කරලා බලය ගන්න පුළුවන් වුණාට, මේ ඉතිහාසය අමතක කරන්න පුළුවන් කියලා ආණ්ඩුව හිතනවා නම් ඒක වැරදියි.
රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට භාරගන්නකොට ඔන්න එහෙම රටක් තිබ්බා. තෙල් පෝලිම් තියෙන, ගෑස් නැති, විදේශ විනිමය සංචිතය බිංදුව වෙච්ච රටක් තිබ්බා. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා, අනුර කුමාර ජනාධිපතිතුමාට රට භාර දෙනකොට සම්පූර්ණයෙන්ම ඒ දේවල් නිවැරදි කළ රටක් තමයි භාර දුන්නේ. ඒක නිසා මං කියනවා කෙඳිරි ගාන්නේ නැතුව ඒ හදපු රට අපිට ඒ විදිහටවත් භාර දෙන්න කියලා.
මේ වැටිච්ච රට නැවත හැදුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියලා මේ රටේ පොඩි දරුවෙක් පවා දන්නවා. නමුත් එහෙම දන්න දේ, ඒ කියන්නේ තමුන් නොකරපු දේ, තමුන් අනුන් කරපු දේ තමුන්ගේ කියාගෙන පම්පෝරි ගහන කණ්ඩායමක් තමයි දැන් රට පාලනය කරන්නේ. අපි දකිනවා බොරුවෙන් බලය අරගෙන, බොරුවෙන් තමුන්ගේ බලය රැකගන්න මේ අයවැය තුළින් උත්සාහ කරනවා කියලා.
ඒ වගේම මේ අයවැය තුළින් කී දෙනෙක්ව රැවැට්ටුවද බලන්න. විශ්‍රාමිකයන්ට බලය ගන්න ඉස්සෙල්ලා මොකක්ද කිව්වේ? අපි ආපු ගමන් විශ්‍රාම වැටුප් විෂමතාව නැති කරනවා කිව්වා. දැන් තුන්වෙනි අයවැයත් ඉදිරිපත් කරලා. දැන් කියනවා ලබන අවුරුද්දේ ජූලි මාසයේ 2,500ක් දෙන්නම්, විශ්‍රාම වැටුප් ප්‍රශ්නේ 2028 දී විසඳන්නම් කියලා. ඇයි මේ පිරිච්ච භාණ්ඩාගාරයේ ලොක් එක ඇරෙන්නේ 2028 ජූලි මාසෙද? ඇයි එච්චර කල් යවන්නේ භාණ්ඩාගාරය පිරිලා තියෙනවා නම්?
ඒ වගේම තමයි විශ්‍රාමිකයන්ගේ තිබ්බ ස්ථාවර තැන්පත් පොලිය වැඩි කරනවා කියලා ආණ්ඩුව බලය ගත්තේ. තිබිච්ච පොලියත් අද විශ්‍රාමිකයන්ට නැති වෙන තත්ත්වයක් උදා වෙලා තිබෙනවා.
වැටුප්, බදු බර සහ අස්වැසුම
අපි බැලුවොත් රාජ්‍ය සේවකයාට දීපු පොරොන්දුව මොකක්ද? මාස හයෙන් හයට පඩි වැඩි කරනවා කියලා කිව්වා. මේ අයවැයේදීවත් එක සතයකින් රාජ්‍ය සේවකයාගේ වැටුප වැඩි කරලා තියෙනවද? තෝරාගත්තු කීප දෙනෙකුට හිඟන දීමනා ටිකක් එල්ලලා තියෙනවා. වැටුප වැඩි කරලා නැහැ. ඉතින් මේකද දීපු පොරොන්දුව?
අද රටේ ජනතාව ජීවත් වෙන්නේ කොහොමද? පඩියක් ගන්නවා නම්, එහෙම නැත්නම් දෛනික වැටුපක් ගන්නවා නම්, ව්‍යාපාරයක් කරනවා නම් ගන්න දෙයින් ජීවත් වෙන්න පුළුවන්ද? අපි දැක්කා එක පැත්තකින් පඩියට බදු ගහනවා. අනිත් පැත්තෙන් වක්‍ර බදු කියලා සියයට හැත්තෑවකට කිට්ටු වෙන්න බදු ගහනවා. සබන් කැටේට, සීනි 500ට, පරිප්පු 500ට, පාන් පිටි 500ට, කිරිපිටි පැකට් එකට, ටූත්පේස්ට් එකට, බ්‍රෂ් එකට මේ හැම අත්‍යවශ්‍ය භාණ්ඩයකටම බදු ගහනවා.
රටේ දුප්පත්කම නැති කරනවා කියලා ආපු ආණ්ඩුව ලක්ෂ තුනක අස්වැසුම් ලාභීන්ව දොට්ට දාලා. අන්තිමට උත්තරේ තියෙන්නේ මාස පහක් ඇතුළත රුපියල් කෝටි 15,000ක කනකර බැංකුවල උගස් වෙලා. එහෙම නම් මේ මිනිස්සුන්ට දෙනවයි කියපු සහන කෝ? භාණ්ඩාගාරය පිරුණයි කියලා පම්පෝරි ගැහුවට ලොක් ඇරෙන්නේ නැති ප්‍රශ්නයක්ද තියෙන්නේ?
ඒ විතරක් නෙමෙයි අපි දකිනවා තුනෙන් දෙකක රටේ ජනතාවගේ බලය අරගෙන අවුරුදු දෙකක් ඇතුළත මේ රටේ ජනතාව තුනෙන් දෙකක් දුප්පත් කළා.
රාජ්‍ය සේවක විරෝධතා සහ වියදම් නොකළ අයවැය
ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි පාර්ලිමේන්තුවේ අයවැය විවාදයක් යන වෙලාවේ රාජ්‍ය සේවකයෝ එළියට බැහැලා උද්ඝෝෂණය කරන්නේ. තවම අයවැය සම්මත වෙලාවත් නැහැ. තාම විවාද කරනවා. නමුත් රාජ්‍ය සේවකයා එළියට බැහැලා මහ පාරට බැහැලා අද උද්ඝෝෂණ කරනවා. ඒ විතරක් නෙමෙයි ඒ අය කියනවා අයවැය සම්මත වෙන්නත් ඉස්සෙල්ලා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් කරනවා කියලා. තමුන්ගේ ලෙඩ නිවාඩු ටික දාලා ගුරුවරු ගමක් ගමක් ගානේ ඇවිද්දා මාලිමාව දිනවන්න.
පසුගිය අයවැයෙනුත් මේ වගේ සංවර්ධනයට සල්ලි වෙන් කළා. ලොකුවට කතා කළා. හැබැයි ඒ යෝජනාවලින් සියයට හැටයි ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඒකට වෙන් කරපු සල්ලිවලින් සියයට තිස්තුනක් ප්‍රමාණයක් විතරයි වියදම් කරලා තියෙන්නේ. වැඩක් කරලා නැහැ.
පසුගිය වසරේ අපි දැක්කා 'දිට්වා' ආපදාව සඳහා වෙන් කරපු රුපියල් බිලියන 500ක් තිබ්බා. වියදම් කරලා තියෙන්නේ බිලියන 40යි. ඒ කියන්නේ සියයට අටක් විතරයි වියදම් කරලා තියෙන්නේ. සියයට අනූදෙකක්ම වියදම් කරලා නැහැ.
ඒ වගේම තමයි පහුගිය කාලේ අපි දැක්කා අර 'Clean Sri Lanka' කියලා අයවැයෙන් විශාල ගාණක් වෙන් කළා. අඩු ගානේ කොළඹ කාණුවක්වත් සුද්ද කරගන්න පුළුවන් වුණාද? කොළඹ නගරය වැස්සට යට වෙලා, කාණු ටික බ්ලොක් වෙලා, ජනාධිපති ලේකම් කාර්යාලය අසලත් අඩි පහක් පමණ උසට ගංවතුර. කොළඹ නගරයේ කාණු ටික සුද්ද කරගන්නවත් 'Clean Sri Lanka' එකට ඔච්චර කෝටි ගණන් වෙන් කරලා බැරි වුණා. එහෙනම් මේකත් අපිට තේරෙනවා තවත් කට දොඩවන, වැඩ නොකරන අයවැයක් කියලා.
ඉටු නොවූ බදු සහන පොරොන්දු
ඒ වගේම තමයි ආණ්ඩුව ගන්න ඉස්සෙල්ලා කිව්වේ පළමු අයවැයේදීම, පාසල් උපකරණවල බද්ද නැති කරනවා කියලා. දැන් කරලා තියෙනවා ටිකක්. (ප්රශ්නය: පොත්වලට විතරද?) මුද්‍රිත පොත්වලටයි කඩදාසිවලටයි. පාසල් උපකරණ කියන්නේ මුද්‍රිත පොතුයි කඩදාසියිද? ඒ විතරක් නෙමෙයි මුද්‍රිත පොත් දරුවාට දෙන්නේ රජයෙන්. සල්ලි දීලා ගන්නේ නැහැ.
ඒ විතරක් නෙමෙයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට බදු නැති කරනවා කියලා පොරොන්දු වුණේ පළවෙනි අයවැයෙන්ම. තුන්වෙනි අයවැයත් ඉදිරිපත් කළා. තුන්වෙනි අයවැයේදී කරලා තියෙන්නේ මොකක්ද? අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කියලා අඩු කළේ මොනවද? හාල්මැස්සෝ, උම්බලකඩ, වියළි මිරිස්. මේකද අත්‍යවශ්‍ය ආහාර කියලා මිනිස්සු පාවිච්චි කරන්නේ? ඇයි පාන් පිටි, කිරිපිටි, සීනි, හාල් ටිකක් ගැන සලකලා නැත්තේ?
ඒ විතරක් නෙමෙයි අසරණ රෝගියාගේ බෙහෙත් පෙත්තට, බෙහෙත් ටිකට වැට් බද්ද නැති කරනවා කියලා තමයි ආණ්ඩුව බලය ගත්තේ. දැන් මතකවත් නැහැ එහෙම කිව්වද කියලා. ඉතින් කෝ මේ දීපු පොරොන්දු? ජනතාව බලන් ඉන්නේ මේ දීපු පොරොන්දු ටික ඉටු කරනකන්, මේ දීපු පොරොන්දු, පෙන්නපු සුන්දර ලෝකය යථාර්ථයක් වෙයිද කියලා බලන්න. තිබ්බටත් වැඩිය කඩාගෙන වැටෙනවා. දැන් අපි කියනවා මේ රජය වචනවලින් මිනිස්සු රවටන, වෛරය පතුරලා, ක්‍රෝධය ඇති කරලා, ඒ වෛරී දේශපාලනය තුළින් බලය රැකගන්න වැඩ කරන ආණ්ඩුවක්.
ඒ වගේම මේ අයවැයෙන් අපිට පෙනෙන්නේ ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැහැ. තිබෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නත් ආණ්ඩුවට බැහැ. අසාර්ථක ආණ්ඩුවක් කියන එක තමයි මේ අයවැයෙන් අපිට පේන්නේ.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති සුරේන් රාඝවන්:
මහ බැංකු ස්වාධීනත්වය සහ වැටුප් වැඩිවීම්
වත්මන් ආර්ථික පසුබෑමට හේතුකාරක වූ වගකිව යුතු ප්‍රධාන ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවයි. විශේෂයෙන් එහි ශ්‍රේෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඊට වගකිව යුතුයි.
2022 රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති ධුරය භාරගත්තායින් පසුව මුදල් කාරක සභාවේ සාමාජිකයන් ලෙස අපි පාර්ලිමේන්තු සංකීර්ණයේ දින ගණනාවක් සාකච්ඡා කර, මහ බැංකුව ස්වාධීන ආයතනයක් ලෙස ස්ථාපිත කිරීම සඳහා නව පනතක් සම්මත කළා.
එම පනත මගින් මහ බැංකුව මුදල් අමාත්‍යවරයාගේ හෝ වෙනත් බලපෑම්වලට යටත් නොවන, බුද්ධිමය, අනාගතවාදී සහ වෘත්තීයමය වශයෙන් ඉහළ ස්ථානයක තිබිය යුතු ආයතනයක් බවට පත් කර ඊට පූර්ණ නිදහස ලබා දුන්නා. එමෙන්ම, පනතේ විධිවිධාන අනුව මහ බැංකුව වගවීමේ ආයතනයක් ලෙස ක්‍රියා කළ යුතුයි.
මහ බැංකුවට ස්වාධීනත්වය ලබා දීමෙන් පසු, එහි අධිපතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ වැටුප් ඉහළ දැමූ ආකාරය සම්බන්ධයෙන් යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් මතු වුණා. ඒ අනුව, පසුගිය වසරේ මාර්තු 6 වැනි දින පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ (1106 වැනි පිටුවේ) සඳහන් වන පරිදි වැටුප් සංශෝධන සිදු කළා.
කාර්යාල කාර්ය සහයකගේ වැටුප රුපියල් 34,325කින් පැවති අතර, එය රුපියල් 188,000ක් දක්වා ඉහළ දමා තිබුණා. එය 501%ක පමණ වැඩිවීමකි. නියෝජ්‍ය අධිපති තනතුර: එම ශ්‍රේණියේ වැටුප රුපියල් 680,000ක මට්ටමේ සිට රුපියල් 1,728,419ක් දක්වා ඉහළ දමා ඇති බව එවකට අග්‍රාමාත්‍යවරයා විසින් ද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා. එය 258%ක පමණ වැඩිවීමකි.
උද්ධමන අනතුරු ඇඟවීම සහ අධිපතිවරයාගේ වගකීම
මේ වැටුප් වැඩිවීම් සිදු කළේ ආයතනයේ ගෞරවය සහ වෘත්තීයභාවය රැක ගනිමින්, දූෂණ හා අල්ලස්වලින් තොරව කටයුතු කිරීම සඳහායි. එසේ වුවද, මහ බැංකු අධිපතිවරයාගේ නිශ්චිත වැටුප කොපමණ ද යන්න පිළිබඳව පැහැදිලි තොරතුරු තවමත් ප්‍රසිද්ධ කර නැහැ. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ විමසූ විට එය ආණ්ඩුකාර කාර්යාලය යටතේ පවතින බවට පවසමින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළා.
ලබන වසරේදී උද්ධමනය 9% දක්වා ඉහළ යා හැකි බවට වර්තමාන මහ බැංකු අධිපතිවරයා පසුගිය දිනක මාධ්‍ය වාර්තාවක් මගින් අනතුරු අඟවා තිබෙනවා. එසේ වුවහොත්, සිංහල, හින්දු සහ දෙමළ අලුත් අවුරුදු සමය සැමරීමට පවා ජනතාවට අපහසු විය හැකියි.
තවද, රටේ ජනතාවගෙන් 93%ක් පමණ වක්‍ර හා සෘජු බදු ගෙවනවා, ආහාර මිලදී ගැනීමේදී පවා බදු ගෙවීමට සිදුවනවා. පොලී අනුපාත (base rate) සම්බන්ධයෙන් පනතේ ඇති විධිවිධාන මගින් මහ බැංකු අධිපතිවරයාට පාර්ලිමේන්තුව හමුවේ කරුණු දැක්වීමට සිදුවන අවස්ථා තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගන්නේ නම්, මහ බැංකු අධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව මාගේ මතයයි.
මේ මාධ්‍ය සාකච්ඡාව සඳහා නව ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ශිරාස් යූනුස් ද සහභාගී විය.



