ඉරාන ගායිකාවක වන පරස්තූ අහ්මදී (Parastoo Ahmadi) සහ ඇගේ නිෂ්පාදන කණ්ඩායමේ සාමාජිකයන් සිව්දෙනෙකුට එරට අධිකරණයක් විසින් කස පහර 74 බැගින් නියම කර ඇති පුවතක් එරට ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන එම්ටෙඩාඩ් (Emtedad) උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය පසුගියදා වාර්තා කළේය
අශෝභන හා චර්යා විරෝධී අන්තර්ගතයන් නිෂ්පාදනය කර අන්තර්ජාලය ඔස්සේ ප්‍රකාශයට පත් කිරීමෙන් මහජන සදාචාරයට හානි කිරීම, ඇයට සහ එම කණ්ඩායමට එරෙහි චෝදනාව විය. දඬුවම් නියම කර ඇත්තේ එම චෝදනාවට වරදකරුවන් වීම නිසාවෙනි.
එපමණකින් නොනැවතුණු අධිකරණය ඔවුන්ට දෙවසරක කලා හා සංගීත කටයුතු මෙන්ම, විදෙස් සංචාර තහනමක් ද පැනවීය.
නඩුවට මුල් වූ යූටියුබ් වීඩියෝව

නඩු නිමිත්ත වූයේ 2024 දෙසැම්බර් මස යූටියුබ් (YouTube) නාලිකාව ඔස්සේ ප්‍රකාශයට පත් කළ වීඩියෝවකි. එහි, අහ්මදී, ඉරානයේ කාන්තාවන්ට අනිවාර්ය හිජාබය නොපැළඳ, පිරිමි සංගීත ශිල්පීන් පිරිසක් හා ගීයක් ගයනු දැක්විණ. වීඩියෝව රූගත කර ඇත්තේ ටෙහෙරාන් අගනුවරට දකුණින් පිහිටි ඛෝම් (Qom) නගරයේදී බව පැවසේ.
කස පහර යනු මානව වධහිංසනයක් සේම, ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමකි. බටහිර රටවල් සහ මානව හිමිකම් සංවිධාන ද එම දඬුවම් ක්‍රමයට විරෝධය දක්වති.
කෙසේ වෙතත්, ඉරානය එරටට එරෙහි මානව හිමිකම් චෝදනා ප්‍රතික්ෂේප කරයි. අනුනට ඇඟිල්ල දිගු නොකර, බටහිර රටවල් එම රටවලට පමණක් අදාළ මානව හිමිකම් ගැටලු පිළිබඳව අවධානය යොමු කළ යුතු බව, ඉරානය අවධාරණය කර සිටී.
විදෙස් පුවත් සේවා විසින් ඒ පිළිබඳ විමසුවද, ඉරාන බලධාරීන් මෙතෙක් ඊට ප්‍රතිචාර දක්වා නැත.
හිජාබ් නීති සහ මහ්සා අමීනිගේ මරණයෙන් ඇවිළුණු විරෝධතා

කාන්තාවන් හිජාබය පැළඳීම අනිවාර්ය බවට වූ එරට නීති, 2022 එරට අභ්‍යන්තර විරෝධතාහි ප්‍රධාන මාතෘකාවක් වූයේය. ඇඳුම් පැළඳුම් සම්බන්ධ නීති උල්ලංඝනය කළ බවට චෝදනා ලැබ, රාජ්‍ය අත්අඩංගුවට පත් මහ්සා අමීනි (Mahsa Amini) නම් කුර්දි සම්භවයක් සහිත ඉරාන තරුණියක් පොලිස් අත්අඩංගුවේදී මිය යාමත් සමඟ එම විරෝධතා ආරම්භ විය.
මේ වන විටත් ටෙහෙරාන් අගනුවර ඇතුළු එරට විවිධ ප්‍රදේශයන්හි කාන්තාවෝ එරට ඇඟලුම් නීති බහුල ලෙසම නොසලකා කටයුතු කරති. අදාළ නීති ක්‍රියාත්මක කිරීමේදී, බලධාරීන් පෙරට වඩා විමසිලිමත්ව කටයුතු කරන බව ද වාර්තා වේ.
(සටහන | REUTERS ඇසුරින් හර්ෂ උදයකාන්ත පීරිස්)
11/25/2026
වැඩිදුර තොරතුරු ඇතුළත් මූලාශ්‍ර සබැඳිය:
Iran carries out flogging of singer and her team, Iranian website says



