The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රනිල්ගේ නිවස හැඩ කළ මනමේ ගී හඬ; ආර්ථිකය ගැන අනතුරු ඇඟවීම්

Nethmini

Nethmini

November 27, 2026 • 3:05 PM

රනිල්ගේ නිවස හැඩ කළ මනමේ ගී හඬ; ආර්ථිකය ගැන අනතුරු ඇඟවීම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය.
  • මේ සතියේ සිදු වූ සුවිශේෂීම සිදුවීම වන්නේ 70 වසරක් සපිරූ මනමේ නාටකයේ නාට්‍ය කණ්ඩායම රනිල් හමුවීමට පැමිණීමයි.
  • මෙම හමුවට පසුබිම සැකසුණේ මනමේ නාටකයේ පළමු දර්ශනයට වසර හැත්තෑවක් පිරුණු අවස්ථාවේදී රනිල් එම පළමු දර්ශනය නැරඹූ පුද්ගලයකු ලෙස ඒ ගැන ප්‍රකාශයක් කිරීමයි.
  • එම ප්‍රකාශය ඇසූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ බිරිඳ වන ලලිතා සරච්චන්ද්‍ර රනිල්ට දුරකතන ඇමතුමක් ගත්තාය.
අකුරු ප්‍රමාණය (Font Size):

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය....

මේ සතියේ සිදු වූ සුවිශේෂීම සිදුවීම වන්නේ 70 වසරක් සපිරූ මනමේ නාටකයේ නාට්‍ය කණ්ඩායම රනිල් හමුවීමට පැමිණීමයි. ඒ අතර සිංහබාහු නාටකයේ නළු නිළි පිරිස ද සිටියහ. එම හමුව සිදු වූයේ කොළඹ පස්වැනි පටුමඟේ පිහිටි රනිල්ගේ නිවසේදීය.

මෙම හමුවට පසුබිම සැකසුණේ මනමේ නාටකයේ පළමු දර්ශනයට වසර හැත්තෑවක් පිරුණු අවස්ථාවේදී රනිල් එම පළමු දර්ශනය නැරඹූ පුද්ගලයකු ලෙස ඒ ගැන ප්‍රකාශයක් කිරීමයි. එහිදී රනිල් වත්මන් මනමේ නාටකයේ ශිල්පීන්ට සහ එදා මෙදා තුර ශිල්පීන්ට සුබ පැතුම් ද පළ කළේය. එම ප්‍රකාශය ඇසූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ බිරිඳ වන ලලිතා සරච්චන්ද්‍ර රනිල්ට දුරකතන ඇමතුමක් ගත්තාය. තම නිවසට එන්නැයි ලලිතා ඇතුළු නාට්‍ය කණ්ඩායමට රනිල් ආරාධනාවක් කළේ ඒ අවස්ථාවේදීය. මෙම හමුව සිදු වූයේ ඒ අනුවයි.

එහි සම්බන්ධීකරණ කටයුතු කළේ රනිල් ජනපති සමයේ මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ශානුක කරුණාරත්නයි.

පස්වැනි පටුමඟ නිවසේදී හරසරින් පිළිගැනීම

ඒ අනුව නාට්‍ය කණ්ඩායම පොහොය දිනයේ සවස පහට පස්වැනි පටුමඟ නිවසට පැමිණියහ. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ පහළොවකට විස්සකට පමණ අසුන් ගැනීමට හැකි වන අයුරින් පුටු තබා නිවසේ ඉඩකඩ වෙන් කර තිබිණි. රනිල් සහ මෛත්‍රී නිවස ඉදිරිපිටට ගොස් නාට්‍ය කණ්ඩායම පිළිගත්තේ සිංහල ක්‍රමයට දෑත් එක් කරමිනි.

එහිදී මුලින්ම අදහස් දක්වමින් ලලිතා සරච්චන්ද්‍ර පැවසූයේ රනිල් මනමේ පළමු දර්ශනයේ නැරඹුම් අත්දැකීම් ගැන ප්‍රකාශයක් කිරීම ඉදිරි වැඩ කටයුතු සඳහා ලොකු ධෛර්යයක් වූ බවයි. නාට්‍ය කණ්ඩායමට නිවසට ආරාධනා කිරීම ද දුර්ලභ අවස්ථාවක් බව ඇය කීවාය.


තම පියා වන එස්මන්ඩ් වික්‍රමසිංහ ලේක්හවුස් ආයතනයේ කටයුතු කරන සමයේ මහාචාර්ය සරච්චන්ද්‍ර එහි රැකියාව කළ ආකාරය රනිල් එහිදී සිහිපත් කළේය. එහිදී ලලිතා සරච්චන්ද්‍ර කීවේ, "මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රට වරෙක එංගලන්තයට යාමට අවශ්‍ය වී තිබූ මොහොතක ගුවන් ටිකට් පත පවා ලබා දුන්නේ ඔබතුමා" යනුවෙනි.

අතීත මතක අවදි වූ සැන්දෑව

මෛත්‍රී වික්‍රමසිංහ ද ලලිතා ඇතුළු නාට්‍ය ශිල්පීන් සමඟ ඉතා සුහදව අදහස් හුවමාරු කර ගත්තාය. එහිදී අතීත සිදුවීමක් මතක් කරමින් මෛත්‍රී පැවසූයේ තමන් මියුසියස් විද්‍යාලයේ ඉගෙන ගනිද්දී අගමැති ප්‍රේමදාස ටවර් හෝල් රඟහලේ නාට්‍යයක් නැරඹීමට පැමිණෙන අවස්ථාවේ අසුන් පැනවීමේ කටයුතු කිරීමට තමා ඇතුළු මිතුරියන්ට සිදු වූ බවයි. එම නාට්‍යය සිංහබාහු බව ද මෛත්‍රී එහිදී කීවාය.

රනිල් එහිදී මනමේ නාටකය මෙන්ම සිංහබාහු නාටකය මුල සිට කෙමෙන් විකාශනය වූ ආකාරය පිළිබඳව පුළුල් විස්තරයක් කළේය. මනමේ මෙන්ම සිංහබාහු නාටකයට පරම්පරා තුනක් තිස්සේ අඛණ්ඩව සංගීතය සපයන ශිල්පියෙක් එහිදී ලලිතා, රනිල්ට හඳුන්වා දුන්නාය.

එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ අයත් එහි ප්‍රධාන චරිත රඟමින් සිටින බව එහිදී අනාවරණය විය.

ගින්නෙන් බේරුණු දුර්ලභ සිතුවම සහ පිළිම වහන්සේලා

රනිල්ගේ නිවසේ තිබූ චිත්‍රයක් ගැන එහිදී නාට්‍ය කණ්ඩායමේ සුවිශේෂී අවධානයට ලක් විය. එහිදී මනමේ කුමරා ලෙස රඟපාන ප්‍රවීණ රංගනවේදී සනත් විමලසිරි, "සර් මේ චිත්‍රය ගින්නෙන් බේරුණේ කොහොමද?" යැයි විමසීය. එහිදී රනිල් කීවේ ගොඩක් චිත්‍ර පිළිස්සුණු නමුත් මෙම චිත්‍රය ඉතිරි වූ බවයි.

"මේ චිත්‍රයේ විශේෂත්වයක් තියෙනවා. මේක සේද මාවත ගමන් මාර්ගයේදී හමු වූ චිත්‍රයක්. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ අවස්ථාවේදී ශ්‍රී දේහය පෙට්ටියක දමා තිබූ බව මෙයින් පෙන්නුම් කරනවා. ඒ වගේ චිත්‍ර ඉතාම දුර්ලභයි. ඒ වගේ චිත්‍රයක් ආරක්ෂා වීම ඇත්තෙන්ම වාසනාවක්. මේ මගේ පියාට මිතුරෙක්ගෙන් ලැබුණු එකක්," රනිල් කීය.

මහාචාර්ය මෛත්‍රී එහිදී සඳහන් කළේ එම සිතුවම ප්ලාස්ටරයක් සේ ගලවා ජර්මනියට ගෙන ගොස් තිබූ අවස්ථාවේදී මිල දී ගත් එකක් බවයි.

නිවසේ නොයෙක් සම්ප්‍රදායේ බුදුපිළිම රාශියක් තිබෙනු දුටු නාට්‍ය කණ්ඩායම රනිල්ගෙන් ඒ පිළිබඳව විමසීය.

"මීට වඩා නොයෙක් සම්ප්‍රදායන් නියෝජනය කරන බුදුපිළිම තිබුණා. ගින්නෙන් පස්සේ ඉතුරු වෙච්ච ටික තමයි ඔය තියෙන්නේ දැන්," රනිල් හැඟීම්බරව උත්තර දුන්නේය.

මහාචාර්ය මෛත්‍රී එහිදී සඳහන් කළේ ගින්නෙන් පසු නිවෙස ප්‍රතිසංස්කරණය කරන විට යම් යම් දේ සිහිවටන ලෙස ඉතිරි කර ගත් බවයි. "ඔය බිම කළු වෙලා තියෙන්නේ ගිනි ගත්ත ඒවා. අප ඒවා වෙනස් කරන්න ගියේ නෑ," ඇය ගින්නෙන් කළු ගැහුණු තැන් පෙන්වමින් සඳහන් කළාය.

නාට්‍ය කණ්ඩායම කනගාටුවෙන් ඒ ගැන සිහිපත් කරන ආකාරයක් පෙනෙන්නට තිබිණි.

සමාජ මාධ්‍ය කැළඹූ සංගීත සැන්දෑව


නාට්‍ය කණ්ඩායමට රනිල්ගේ නිවසේදී ඉතා ප්‍රණීත සංග්‍රහයක් ද සකස් කර තිබිණි. මහාචාර්ය මෛත්‍රී පෞද්ගලිකවම ඊට මැදිහත් වූවාය.

නාට්‍ය කණ්ඩායමක් මෙලෙස නිවසට පැමිණීම දේශපාලනඥයෙකුට ලෙහෙසියෙන් ළඟා කරගත නොහැකි කටයුත්තක් බව බොහෝ විචාරකයන්ගේ මතය විය. මන්ද අද සිටින බොහෝ දේශපාලනඥයන්ට එවැනි පසුබිමක් හෝ ඉතිහාසගත අත්දැකීමක් නොතිබීමයි. එමෙන්ම වත්මන් දේශපාලනඥයන්ට මේවා ගැන කතා කිරීමට අවබෝධයක් නොමැති වීම සම්බන්ධයෙන් ද දේශපාලන විචාරකයන්ගේ අවධානයට ලක් විය.

රනිල් සහ නාට්‍ය කණ්ඩායම හමු වූ මෙම අපූරු අවස්ථාව මාධ්‍යයටත් නිකුත් කළ යුතු යැයි හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න යෝජනා කළේය. ඒ අනුව එදින සවසම වීඩියෝ දර්ශන සහ ඡායාරූප මාධ්‍යයට නිකුත් කිරීමට පියවර ගැනුණි. ඉන්පසුව සමාජ මාධ්‍යයේ මෙම දර්ශන විශාල වශයෙන් ව්‍යාප්ත වන්නට පටන් ගත්තේය. ප්‍රධාන රූපවාහිනී නාලිකා මෙන්ම පුවත්පත් ද එම හමුවට සුවිශේෂී ස්ථානයක් ලබා දී තිබිණි.

පහුවෙනිදා උදේ සිට රනිල්ට හිතවත් ඥාතීන්ගෙන් ද බොහෝ ඇමතුම් ලැබී තිබිණි. "ඒ අවස්ථාව අපිට නොකිව්වේ ඇයි? කොච්චර සුන්දර සැන්දෑවක්ද ඔබ ගත කරලා තියෙන්නේ. ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කළත්, ව්‍යාපාරවල යෙදුණත් අපේ මුල් තියෙන්නේ මෙතන," රනිල්ට කතා කළ මිතුරෝ කීහ. ආරාධනා කිරීමට නොහැකි වීම ගැන කනගාටුව පළ කළ රනිල් ඊළඟ වතාවේ සැමට ආරාධනා කරන බවට පොරොන්දු විය.

නාට්‍ය කණ්ඩායම රනිල්ගේ නිවසෙන් නික්ම ගියේ මනමේ නාටකයේ එන ආශීර්වාද කාව්‍යයන් ද ගායනා කරමිනි.

"මට දැන් වයස අවුරුදු 84ක්. මේ හමුවීමෙන් නව පණක් ලැබුණා. නාට්‍ය කණ්ඩායමට අලුත් ප්‍රබෝධයක් ලැබිලා තියෙනවා," ලලිතා සරච්චන්ද්‍ර සමුගැනීමට පෙර කීවාය. "ඔබලා කලාව වෙනුවෙන් කරන කැපකිරීම අගය කරන්නයි මට උවමනා වෙලා තිබුණේ. හැමෝටම දිගු ගමනක් යන්න සුබ පතනවා" යැයි රනිල් එහිදී කීය.


නාට්‍ය කණ්ඩායම පැමිණ සිටියේ සර්පිනා, තබ්ලා, මද්දල ආදී නාට්‍ය සංගීත භාණ්ඩ ද රැගෙනයි. එය නාට්‍ය සංගීතයෙන් අලංකෘත සැන්දෑවක් විය. නිවසේ සේවකයන්ටත් ඒ සැන්දෑව රසවිඳීමට එන්නැයි මෛත්‍රී වික්‍රමසිංහ ආරාධනා කර තිබිණි. නාට්‍ය කණ්ඩායම වේදිකාවේ ගයන අයුරින්ම උස් හඬින් ගීත ගායනා කරමින් පිරිස රසාලිප්ත කළහ.

වර්ජන රැල්ල ගැන ඒකාබද්ධ විපක්ෂයේ අවධානය

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ ඉකුත් සතියේ ජී.එල්. ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී රැස් වූහ.

එහිදී ඔවුන්ගේ ප්‍රධාන මාතෘකාව බවට පත් වූයේ රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින වර්ජන රැල්ලයි.


මේ වර්ජන රැල්ලේ විශේෂත්වයක් වන්නේ ඒවායේ පිටිපස්සේ ඉන්නේ මේ රජය බලයට පත් කරන්න හුඟක්ම වෙහෙසුණු පිරිස බව ජී.එල්. මෙහිදී සඳහන් කළේය.
"පාරට බැහැලා, මහන්සි වෙලා, කැන්වසින් කරලා, පෝස්ටර් ගහලා, එහෙම රජය බලයට පත් කරන්න බොහොම ක්‍රියාකාරී මෙහෙවරක් ඉෂ්ට කරපු පිරිස් තමයි දැන් සම්පූර්ණයෙන් කලකිරිලා මේ පාරට බහින්නේ. ඒකට හේතුව දේශපාලනයට නෙවෙයි, ජීවත් වෙන්න බැරි එක."

"එදිනෙදා ජීවත් වීමට මහා දැවැන්ත සටනක් කරන්න වෙලා තියෙනවා. ඒ නිසා තමයි හැම ක්ෂේත්‍රයකම, වෛද්‍ය, ඉංජිනේරු, පෙර පාසල්, විදුහල්පතිවරු, ආපදා සහන නිලධාරීන්, ඔක්කොම මේකට එකතු වෙන්නේ."

මර්දන නීති සහ උද්ධමනය ගැන ජී.එල්. ගෙන් චෝදනා

"නමුත් ආණ්ඩුවට කිසිම සංවේදී බවක් තියෙනවා කියලා පේන්නේ නෑ. අන්න ඒ නිසා තමයි අපේ ලොකු බයක් තියෙන්නේ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත, සංවිධානාත්මක අපරාධ පනත ආදිය ගැන. ඒ කියන්නේ මේවායින් කරන්නේ මර්දන යාන්ත්‍රණයක් හදන එක. ප්‍රශ්න විසඳීමට උත්සාහ දැරීම නෙවෙයි, ඒවා යටපත් කිරීමට අවශ්‍ය බලතල ලබා ගැනීම සඳහා තමයි ඔය නීති සම්පාදනය කරන්නේ කියලා දැන් පැහැදිලියි."

"දැන් උද්ධමනය 9% යි. රනිල් භාර දෙනකොට උද්ධමනය 0.5% යි. ජූනි ඉඳන් නොවැම්බර් මාස තුනකට 3% ක් උද්ධමනය වැඩි වෙලා. ඒක ඇඟට පතට නොදැනී මහ බැංකු අධිපති කියනවා 9% නෙවෙයි ඊටත් එහා යයි කියලා. එතකොට රුපියල ඉතාමත් ශීඝ්‍රයෙන් අවප්‍රමාණය වෙනවා."

"දැන් මිනිස්සු එදා වේල හොයාගන්න මුදු, මාල උගස් කරන්න පටන් අරගෙන. අනික ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් කබලින් ලිපට වැටිලා. ඒ අය කරන්නේ මොනවා හරි තියෙන දෙයක් බැංකුවකට උගස් කරලා තමයි ප්‍රාග්ධනය ලබා ගන්නේ. දැන් ඒ වත්කම් බැංකුවලට සින්න වෙන අවදානම වැඩි වෙලා. පත්තරවල පිටු ගණන් තියෙන්නේ බැංකු නෝටිස් දාලා. ඒවා ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණනවා."

"බැංකු උත්සාහ කරන්නේ පරාටේ නීතිය ක්‍රියාත්මක කරලා මේ සල්ලි බැංකුව ලබා ගන්න ඕනේ කියන එක. හැබැයි ආණ්ඩුවකට එහෙම පටු දෘෂ්ටිකෝණයකින් බලන්න බැහැනේ. ඊට වඩා සානුකම්පිතව ආණ්ඩුවකට ඒ ප්‍රශ්නය ගැන හිතන්න වෙනවා."

"මේ ප්‍රශ්නෙට බජට් එකෙන් විසඳුමක් ඒවි කියලා අපි හිතුවේ. නමුත් කිසිම විසඳුමක් නැහැ. අද රටේ ආර්ථිකයේ තියෙන ප්‍රධාන ප්‍රශ්න තුන වන විරැකියාව, උද්ධමනය, සුබසාධනය යන ප්‍රශ්න තුනෙන් එකකටවත් බජට් එකෙන් විසඳුමක් නැහැ. මේ හේතු නිසා මිනිස්සු පාරට බහින එක පුදුමයට කාරණයක් නෙමෙයි. දැන් වී ගොවිතැන වගේ ජන ජීවිතයට සමීපම ක්ෂේත්‍ර සංකෝචනය වෙමින් තිබෙනවා. වී ගොවිතැන 3% ක් දක්වා අඩු වෙලා," ජී.එල්. වත්මන් සමාජයේ තිබෙන මූලිකම ප්‍රශ්න ගොන්න එලෙස ගෙනහැර දැක්වීය.


(සටහන | මල් පාරේ ලියුම්කරු)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...