අසෝක හඳගම ගෙ 'සඳ දඩයම' නැරඹීමෙන් පස්සෙ මට හිතෙන්නෙ ඒක 88–89 භීෂණය පිළිබඳ සිනමාත්මක ප්‍රතිනිර්මාණයක් හැටියට විතරක් නෙවෙයි: ඒක විප්ලවය, රාජ්‍ය බලය, මිනිස් ආශාව, පවුල සහ දේශපාලන පරමාදර්ශ අතර ඇති සංකීර්ණ සම්බන්ධතා ප්‍රශ්න කරන, ව්‍යුහාත්මක අතින් සිනමාත්මක ලක්ෂණවලට වඩා නාට්‍යමය ලක්ෂණ බහුල වන (සිනමා නාටකයක්), අනවරත ව අභූතරූපී දෙබස් දෙඩවීම තුළින් ප්‍රේක්ෂකාගාරයට පුදුමාකාර වද දෙන අමුතු ම 'විමනක්' හැටියට යි.
අතීතයේ විශ්වාස කළ දේ සහ වර්තමානයේ සිදුකරන දේ අතර ඇති දුර මැන බැලීම

ඊට අමතරව එදා රාජ්‍ය බලයට එරෙහිව නැඟුණු විප්ලවීය සිහිනයේ කොටස්කරුවන් අද රාජ්‍ය බලය හොබවන මොහොතක, දශක තුනකට පෙර නිර්මාණය වූ මේ චිත්‍රපටය නැරඹීමට ලැබීම තවත් අපූරු අද්දැකීමක් බවට පත්වෙනවා. ඒක නිකමට අතීතය දිහා බැලීමකට වඩා වැඩි දෙයකට අපව පොලඹවනවා. ඇත්තට ඒක අතීතයේ විශ්වාස කළ දේ සහ වර්තමානයේ සිදුකරන දේ අතර ඇති දුර මැන බැලීමක් වගේ දෙයක්.
'ඒ දුර' මැන බැලීමට හොඳම කෝදුව PSTA සහ POCA වන්නට (තවත් කෝදු කිහිපයක් තිබේ) පුළුවන. එහෙයින් 'සඳ දඩයම' මට නම් කලාකෘතියක් විතරක් නෙවෙයි, වර්තමානයෙන් ප්‍රශ්න අසන ජීවමාන සාක්ෂිකරුවෙකුත් වගෙයි; අවුරුදු තිහක් තිස්සෙ නිදාගෙන ඉඳල, කල් වේලා බලල නැගිට්ට සාක්ෂිකරුවෙක් වගෙයි.
නිරුවත් මිනිසා සහ නිල ඇඳුම් ඇඳගත් මිනිසා
චිත්‍රපටයේ ඩබ්ලිව්. ජයසිරි ගේ චරිතය තුළ මට හමුවන ප්‍රබලම දේශපාලනික රූපකය වන්නේ නිරුවත් මිනිසා සහ නිල ඇඳුම් ඇඳගත් මිනිසා අතර ඇති පරස්පරතාව යි. එක මොහොතක ඔහු සොල්දාදුවන් ඉදිරියේ නිරුවතින් සිටින අසරණ මිනිසෙක්; සිගරට්ටුවක් ඉල්ලා ගැනීමට පවා ඔහු අනෙකාගේ බලය ඉදිරියේ යටහත් වෙයි; ඔහුට තමන්ගේ පැවැත්ම පිළිබඳ තීරණ ගැනීමටවත් බලයක් නැහැ. එහෙත් ඊළඟ මොහොතේ ඔහු නිල ඇඳුමෙන් සැරසී, ආයුධ අතැතිව, රාජ්‍ය බලයේ නියෝජිතයකු බවට පත්ව සිටින විට ඔහුට අනෙකා ගේ ජීවිතය සහ මරණය පවා තීරණය කරන්න පුළුවන්. එක ම මිනිස් ශරීරය බලය නොමැති විට අසරණ වන අතර බලය ලැබුණු විට ප්‍රචණ්ඩත්වයේ නියෝජිතයකු බවට පත්වෙන හැටි, බලය විසින් මිනිසාට ඇඳුමක් අන්දවනවා පමණක් නෙවෙයි, ඔහුගේ මනුෂ්‍යත්වය සමඟ ඇති සම්බන්ධය ද වෙනස් කරනවා.
විප්ලවය සහ රාජ්‍යය: තුවක්කු දෙකක් අතර මිනිසා

චිත්‍රපටය තුළ රාජ්‍යය සහ කැරලිකාර දේශපාලනය අතර ඇති ගැටුම විමසීමේ දී තවත් පරස්පරතාවක් මතුවෙනවා.
රාජ්‍යය සතුව: නිල බලය, ආයුධ සහ මර්දන යන්ත්‍රණය තිබෙන අතර කැරලිකාර තරුණයා සතුව ඇත්තේ විප්ලවීය සිහිනයක් පමණයි. එක් පාර්ශ්වයක් පවතින සමාජ පිළිවෙළ ආරක්ෂා කිරීමටත්, අනෙක් පාර්ශ්වය නව සමාජ පිළිවෙළක් නිර්මාණය කිරීමටත් උත්සාහ කරනවා. එහෙත් දෙපාර්ශ්වය ම මිනිසා පාලනය කිරීමට උත්සාහ කරන මොහොතේ ඔවුන් අතර ඇති වෙනස මොකක් ද කියල මට හිතුණා.
රාජ්‍යය ජනතාව ගේ ආරක්ෂාව වෙනුවෙන් යැයි කියමින් ඔවුන් වෙත තුවක්කු දිගු කරනවා. විප්ලවවාදියා ජනතාව අවදි කිරීම වෙනුවෙන් යැයි කියමින් ඔවුන් වෙත (සෙල්ලම්) පිස්තෝල දිගු කරනවා. සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන්නෙ සෙල්ලම් පිස්තෝල වුණත් පත්තුවෙන අවදානම දරාගෙන. මාක්ස්වාදී කියවීමක දි මෙය ඉතා වැදගත් ප්‍රශ්නයක් මතු කරනවා. විප්ලවය කියන්නෙ බලය අත්පත් කරගැනීම විතරක් ද… නැතිනම් මිනිසා පාලනය කරන බල සම්බන්ධතා වෙනස් කිරීම ද…? පවතින රාජ්‍ය බලය පෙරළා දමා වෙනත් බලයක් පිහිටුවීමෙන් විතරක් සමාජ විමුක්තිය සම්පූර්ණ වන්නේ නැහැ; විප්ලවය එය විසින් ම නිර්මාණය කරගන්නා නව බල සීමා පිළිබඳවත් ප්‍රශ්න කරන්න ඕන.
චිත්‍රපටය අවසානයේ එහි එක් නළුවෙක් (ඩබ්.ජයසිරිි) ඊනියා නිර්ප්‍රභූන් බලයට පත්වන දවසේ මියයෑමේ සිදුවීම දේශපාලන අයිරනියක් බවට පත් කරනවා. 'ඒ පක්ෂය' බලයට පත්වුණාට පස්සෙ මිනිස්සුන්ට විමුක්තිය ලැබුණ ද? චිත්‍රපටය බොහොම අපූරුවට මේ කියන ඩිස්ටෝපියානු තර්කනය කෘතිය තුළ හොඳටම ගළප්පනවා.
පවුල සහ මිනිස් ආශාව
පවුල හැමවිට ම අපේ පෞද්ගලික ජීවිතය පාලනය කිරීමට උත්සාහ කරන බව අපි හැමෝම දන්නවා; ඒත් අපේ ආශාව 'පවුලෙ පාලනය' ට යටවෙන්නෙ නෑ නේද හැම වෙලාවෙම, කොහෙන් හරි පැනල යන්න උත්සහ කරනවා. මේ කියන ආශාවේ කැරැල්ලත් චිත්‍රපටිය පුරා ම තියෙනවා. ඇත්ත වශයෙන් ම කුටුම්බයේ ඛේදවාචකයත් ඒකමයි නේද…? ඒක හැමවිට ම මිනිස් ස්වභාවය (මිනිසාගේ ආශාව/ චර්යාව ඇතුළු තවත් දේවල්) පිළිගැනීමට නොහැකි සමාජ ආයතනයක. මට අනුව නං දැන් ඒක ඈවර කරල ඉවරයක් කරල දාන්න ඕන.
"උඹට තියෙන ආදරේ හින්දම තමයි උඹට වේ#යෙක් වෙන්න ඉඩදුන්නෙ."
චිත්‍රපටයේ එන මේ පිරිමි ප්‍රකාශනයේ අවධාරණයන් ගැනත් මං ටිකක් වද වුණා. ස්ත්‍රියට පිරිමියා ගේ 'අවසරයක්' ලැබීම, එය ඒජන්සි ප්‍රශ්නයක්. ස්ත්‍රිය ගේ ලිංගික නිදහස කියන්නෙ ඇය ලිංගික ශ්‍රමිකාවක් බවට පත්වී ම ද… එහි සූරාකෑමක ස්වරූපය නැද්ද…?
මීට අමතරව කුටුම්බය තුළ අපට ඇහෙන බොහොමයක් අභූත රූපී දෙබස් අයනස්කෝගේ 'තට්ට ගායිකාව' ගේ දෙබස් වගේ ම කුටුම්බයක සිරගතවූවන්ගේ ඛේදවාචකය යළි යළිත් අනුනාද කරනවා. තව තැනක 'විවාහක ගැහැනියකගේ ආදරය පරීක්ෂා කරගැනීමට අවශ්‍ය නම්, මැරෙන්න ඕන' කියල පිරිමියා කියනවා. බිරිඳ මිය ගිය සැමියා ගේ කලිසම ගලවලා, මිනිහගෙ 'අරක ' බලන්න උත්සහ කරනවා; ඒක කිසිදවසක, එහෙමත් නැත්තං හුඟ කාලෙකින් දැකල නැති කතාවක් කිය කියා.
කුටුම්බයේ 'අවුල' කියන්න මීටත් වඩා දේවල් මොකට ද?
අවසානයේ සඳ දඩයම් කරන්නේ කවුද…?

මුල සිට ම එහි ප්‍රබලත ම රූපකය වන්නේ 'සඳ'. බල්ලන් උඩුබුරන්නේ 'සඳ'ට, සමාජය තුළ භීෂණය ක්‍රියාත්මක වන්නේ ද සඳ එළියේ, කොටින් ම රාත්‍රියේ ඇර තිබෙන දොරවල්වලින් ගෙවල්වලට ඇතුළු වන්නේ ද හඳ එළියක් විතරක් නෙවෙයි කියන දෙබසත් නිතර ඇහෙනවා.
ඇත්ත වශයෙන් ම 'සඳ දඩයම' තුළ මට දඩයම් කිහිපයක් ම මුණගැහෙනවා: රාජ්‍යය මිනිසුන් දඩයම් කරනවා, විප්ලවය තමන් ගේ පරමාදර්ශවලට නොගැළපෙන මිනිස් හැසිරීම් දඩයම් කිරීමට උත්සාහ කරනවා, සමාජය/පවුල මිනිස් ආශාවන් දඩයම් කිරීමට උත්සාහ කරනවා.
මට හිතෙන හැටියට, 'සඳ දඩයම' රාජ්‍ය බලය ලබාගත් විප්ලවවාදී පක්ෂයට තමන් ගේ ම අතීතය ඉදිරියේත්, මිනිසාට තමන්ගේ ම නිරුවත ඉදිරියේත් පෙනී සිටීමට යෝජනා කරනවා.
පරිණත හඳගම ගේ නිර්මාණවල උග්‍ර රසිකාවියක් වන මට ඇත්තට ම 'young හඳගම' හමුවූණේ ඊයේ; එදා එයාට ඒ චිත්‍රපටය ඇතුළෙ කියාගන්න හුඟක් දේවල් තිබිල වගේ. එයා ඒ හැමදේම රෆ් ආට් ශෛලියකින්, නිදහසේ කියනවා. ඉතිං මම ඒකෙ නිර්මාණාත්මක සංයමය හොයන්නෙ නෑ. ඒක එසේ මෙසේ 'සඳ දඩයමක්' නෙවෙයි, පැති/කාරණා/අර්ථ ගණනාවකින්, මා මහා කම්පනයකට/ මායමකට පත් කළ 'මහ සොහොන් තොවිලය' ක්.
උපුටා ගත්තේ Surekha Samarasenaගේ face book පිටුවෙන්




