ඇරලා තියෙන දොරෙන් එබෙන්නේ හඳ එළිය විතරක් නෙමෙයි.සඳ දඩයම - faculty of sex කියවීම
හඳයාගේ ‘සඳ දඩයම’ කාල තරණයක් කරමින් චිත්‍රපට ශාලාවලට එනවා. ඒ චිත්‍රපටය දෙපාරක් බලන්න මට වාසනාව ලැබුණා. තවත් කීප වරක් බලන්න සිනමා ශාලාවට යන්න හිතාගෙන ඉන්නවා.
‘සඳ දඩයම’ මේ අවුරුද්දේ තිරගත වීම ඇත්තටම අයිරනියක්. හඳයා මේ චිත්‍රපටිය හදන්නේ 1996 දී. තාක්ෂණික ගැටලුවක් නිසා චිත්‍රපටිය ප්‍රදර්ශනය වෙන්නේ නෑ. ඒක සිනමාකරුවෙකුට සිද්ධ වෙන්න පුළුවන් ඉතාම අපූර්ව අහම්බ අවාසනාවක්. තමන්ගේ දෙවෙනි චිත්‍රපටිය ප්‍රදර්ශනය කරන්න බැරි වෙනවා. ඊට පස්සේ අවුරුදු තිහක්, චිත්‍රපට පෙළක් තිරගත වීමෙන් ඉක්බිති අර දෙවෙනි චිත්‍රපටය නැවත තිරය මතට එනවා.
ඒක එක්තරා විදිහකින් අතීතය බලහත්කාරයෙන් කඩා පැනීමක් වගේ.
‘ඇරලා තියෙන දොරෙන් ඇතුළට එන්නේ හඳ එළිය විතරක් නෙමෙයි’ චිත්‍රපටිය ඇතුළේ වරින්වර කියවෙනවා.
88-89 භීෂණය සහ රාජ්‍ය බලය අතර දෝලනය

මේ අතීතයේ බලහත්කාරී කඩාපැනීම පුද්ගලිකව හඳයාට එක විදිහකටත්, සිනමා ලෝලීන්ට තව විදිහකටත්, දේශපාලනිකව බලන අයට තව විදිහකටත් ට්‍රෝමැටික් අත්දැකීමක් නිර්මාණය කරනවා කියලා මට හිතෙනවා. ඒ අර්ථයෙන් ‘සඳ දඩයම’ සිනමා තිරයට බාහිරෙන් විශාල කම්පනයක් ඇති කරන කෘතියක් බවට පත්වෙනවා.
මගේ අදහස ‘සඳ දඩයම’ තිරගත වීම කියන්නේ අතීතයේ සමාජ සවිඥානකත්වයක් වර්තමානය මත ගහන කැරැල්ලක් කියලයි.
හඳයාට තමන්ගේ අමු දඩබ්බර පොඩි එකා නැවත මුණගැහෙනවා. 88-89 භීෂණය ඇතුළේ තමන් තුළ පොරබැදූ ද්විත්වය මුණගැහෙනවා. තමන්ගේ නිරුවත් ‘අනෙකාව’ මුණගැහෙනවා.
තම දුකට හේතුව තමන්ගෙන් බාහිර රාජ්‍යය යැයි විශ්වාස කරන ළදරු වාමාංශික හීනය එතන තියෙනවා. ඒ වගේම ආශාවන්ගෙන්, පරස්පරතාවලින්, විපරීතයන්ගෙන්, සංකීර්ණත්වයන්ගෙන් ගහන කිසි දිනෙක තාර්කිකව කියවාගත නොහැකි, ස්ත්‍රී පුරුෂ මිනිස් පැවැත්මත් තියෙනවා. ජවිපෙ දේශපාලනයට කිසිදාක කියවා ගත නොහැකි වුණු මිනිස් ආශාව ඉස්සරහ ජවිපෙ සෙල්ලම් පිස්තෝලයක් වනන පුංචි ගැටවරයෙක් වගේ. මේ ද්විත්වය අතරට රාජ්‍ය බලය කඩා පනිනවා.
මේක හරි ලස්සන තැනක්. රාජ්‍ය බලය කියන්නේ යථාර්ථය පාලනය කරන ඕඩර් එක. නිල සැකැස්ම. ජවිපෙ තරුණයා කියන්නේ රොමාන්තික අලුත් ඕඩර් එක. දෙකම ඉල්ලා සිටින්නේ පාලනය. විප්ලවවාදීන් කියනවා තමන් ජනතාව අවදි කිරීම වෙනුවෙන් ජනතාවට පිස්තෝල දික් කරනවා කියලා. නිල ආණ්ඩුව ජනතාවගේ ආරක්ෂාවට කියලා ජනතාව පැත්තට තුවක්කු දික්කරගෙන ඉන්නවා. පරීක්ෂාවට ලක් කරනවා.
ඒ අතර ලංකාවේ පවුල, ඒ කියන්නේ ආශාවේ ඒකකය සංකීර්ණ පරිවර්තනයකට ලක්වෙමින් එනවා. බිරිඳ අන් අය සමග යහන්ගත වීම ඇගේ නිදහසක් ලෙස සලකන විවෘත සබඳතා පවුල නිර්මාණය වෙමින් පවතිනවා. හැබැයි මේ ගතවෙන්නේ එහි විපරීත මොහොත.
හතරවැනි බිත්තිය බිඳ දැමූ සෞන්දර්ය කැරලිකරුවා

තව ලේයරයක් විදිහට හඳයා සිනමාවේ හතරවෙනි බිත්තිය බිඳ දමනවා. තිරය මත නිරුවතින් අධ්යක්ෂවරයා ජයසිරි වේශයෙන් අපිව අමතනවා.
එක විටෙක ජයසිරි හමුදා බලය විදිහටත්, තව විටෙක කෘතිය මත අධ්යක්ෂවරයා හැටියට හඳයාගේ බලය විදිහටත් අපිට මුණගැහෙනවා. මේ දෙක එක ළඟ රූපාන්තරණය වෙනවා.
හඳයා ජයසිරි හරහා රටේ දේශපාලනයත්, කෘතියේ සෞන්දර්ය දේශපාලනයත් ඛණ්ඩනය කරනවා.
හඳයාගේ හැම කෘතියක්ම එහෙමයි. එක පැත්තකින් ඒවා පවතින රාජ්‍ය බලයට, අධිපති සංස්කෘතියට එරෙහි කැරලි ගැසීම්. අනෙක් පැත්තෙන් ඒවා සෞන්දර්ය කතිකාව ඇතුළේ අධිපති සෞන්දර්ය මතවාදයන්ට එරෙහි ප්‍රතිසෞන්දර්යවාදී කැරලි ගැසීම්.
ලංකාවේ නිර්මාණකරණයේ ඉන්න නිර්භීතම කොන්දේසි විරහිත කැරලිකරුවා අශෝක හඳගම. ‘සඳ දඩයම’ කියන්නේ ඒ කැරලිකාරීත්වයේ කූටප්‍රාප්තිය.
ඒ ඇයි කියන්න මට ඉඩ දෙන්න.
කෘතියේ ශුද්ධත්වය කෙලෙසීම සහ මාලිමා දේශපාලනය
‘සඳ දඩයම’ කියන්නේ ශුද්ධ වූ සිනමා කෘතියක්. ඒක අශෝක හඳගම කියන ලංකාවේ වම් ඉවුරේ සිනමා දැවැන්තයාගේ ප්‍රදර්ශනය නොවුණු දෙවෙනි සිනමා කෘතිය. හඳයා එය පසුකරමින් ඇවිත් වැඩකරපු අවුරුදු තිහක කාලය හරහා නැවත හැරී බැලුවම ‘සඳ දඩයම’ට 96 දී ඇති වටිනාකම නෙමෙයි ලැබෙන්නේ. වර්තමානය විසින් ලබාදෙන විසල් සංකේතීය වටිනාකමක් එතන තියෙනවා. ඒක හඳගම සිනමා ගමනේ භූගතව තිබුණු එක සලකුණක් වගේ. ඒක ශුද්ධ වස්තුවක් වෙන්නේ එහෙමයි.
නමුත් මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙද්දී එදා භීෂණයේ ගොදුරු බවට පත් රොමාන්තික ගැටවරයන් රාජ්‍ය බලය හොබවන්න පටන් අරගෙන. ‘සඳ දඩයම’ දෛවෝපගත ස්ථානගත වීමක් වෙන්නේ මෙතනදී.

එතකොට හඳයාට මේ චිත්‍රපටය ගැන තෙවෙනි කියවීමක් තියෙනවා. හඳයා ඒ අතීතය මත වර්තමානය කුරුටු ගානවා. ඒ අතීතය ලේසියෙන්ම පවතින ආණ්ඩුවේ ප්‍රොපගැන්ඩාවක් බවට පත්වීමට තිබුණු ඉඩ අවසන් කරනවා. (ඒ සමග ලේසියෙන්ම චිත්‍රපටිය ජනප්‍රිය කරගැනීමට තිබුණු මාලිමා සහාය අහිමි කරගන්නවා). හඳයාට අදාළ වෙන්නේ එක දෙයයි. ඒ අතීතයේ නිරුවත් තමන් මත වර්තමානය කුරුටු ගාන්න. ඒක තමන්ගේ අතීත අනෙකාට සමාන්තරව වර්තමාන තමන්ව පිහිටුවීමක් වගේ. හරියටම හඳයාට ඒ සමාන්තර මුණගැසීම සිද්ධ වෙන තැනදී ජවිපෙ සහ වත්මන් මාලිමා ආණ්ඩුව අතරත් ඒ සමාන්තර මුණගැසීම සිද්ධ වෙනවා.
අපි අපිව අඳුරනවද?
හඳයා අතීත තමාගෙන් අහනවා.
මාලිමාව අතීත ජවිපෙන් අහනවා.
හඳයා ‘සඳ දඩයම’ කෘතියේ ශුද්ධත්වය කෙලෙසනවා. ඒ අතීත කෘතිය ඒ පුරාවෘත්තමය වටිනාකමෙන් ශුද්ධ වූ කෘතියක් ලෙස ජනගත කරනවා වෙනුවට හඳයා ඒ මත වර්තමානයේ බලිකුරුටු අඳිනවා. ඒක හඳයා හැමදාම කරන සෞන්දර්ය දේශපාලනයේ කොටසක්. ශුද්ධත්වය කෙලෙසීම.
හඳයා ඒ අතීතය වර්තමානය තුළට කැඳවනවා. ඒක සිනමාව ඇතුළේ මීට කලින් අපි අත්දැකලා නැති මහා පිපිරුමක් වගේ. සියලු ග්‍රහයන් මනාව ස්ථානගත වුණු තැනක එකවරක් පමණක් සිදුවන අසිරිමත් සිදුවීමක් වගේ.
සුවපහසු සිනමාවේ ටයිටැනික් නැව ගැටෙන අයිස්පරය

මම පුද්ගලිකව හඳයාගේ දරුණු ෆෑන් කෙනෙක්. ඉතින් හඳගමගේ වැඩක් කියන්නේ මට විචාරයකට වඩා හඳගමයානු විශ්වයේ සරන්නට විවර වෙන දොරටුවක්. එතන සියලු රූප ශබ්ද කාල අවකාශ ඒ හඳගම කියන සෞන්දර්ය කැරලිකරුවාගේ සටන්ක්රම වෙනවා.
මේ සිනමාව අද පවතින සිනමා රැල්ල මත කම්පනයක් ඇති කරන්න නියමිතයි. ගීත නාටක සහ මලයාලම් මායම්වලින් පිනා ගිය ප්‍රේක්ෂාගාරයේ බහුතරයක් ‘සඳ දඩයම’ ප්‍රතික්ෂේප කරාවි. නරඹන සුළුතරයක් ත්‍රාසයට, භීතියට සහ උන්මාදයට පත්වේවි.
‘සඳ දඩයම’ කියන්නේ සිනමාව සරල විනෝදාස්වාද මාධ්‍යයක් වෙනුවට අදහස් නිෂ්පාදනයේ මහා වැඩබිමක් විදිහට භාවිතා වුණු යුගයකින් උඩට මතුවුණු අයිස්පරයක් වගේ. සුවපහසු සිනමාවේ ටයිටැනික් නැව මේ අන්තවාදී විකල්ප සිනමා අයිස් පරයේ ගැටෙන්නට නියමිතයි. උඩු කොටස කුඩාවට පෙනුණත් අයිස්පරයේ යටිබිම්ගත විශාල කොටස ඒ ටයිටැනික් නැවට දරුණු තුවාල ඇති කරන බව මගේ විශ්වාසයයි.
මේ රූපරාමු, සංස්කරණ, නාට්‍යරූපී අසම්බන්ධිත දෙබස් නූතන සිනමා මනස අවුල් කරන්න බොහෝ ඉඩ තියෙනවා. මේක හඳුන්වන්නේමත් සිනමා නාට්‍යයක් හැටියටයි. 96 කියන්නේ හඳගම වේදිකාවෙන් ඇවිත් සිනමාවේ හැපෙමින් එහි දිග පළල හොයන කාලයයි. ඒ අන්තර් සෞන්දර්ය භාවිතය ‘සඳ දඩයමේ’ හොඳටම දැනෙනවා. ඒ වගේම ඒ නැවුම්, නොදැමුණු නිර්මාණ ජවයත් යෞවන පුරුෂ ලිංගයක් වගේ ප්‍රාණවත්ව නැගෙනවා.
තිරය මත ඩබ්. ජයසිරිගේ අමරණීය නිරුවත
මට හිතුණේ එක විදිහකට ‘සඳ දඩයම’ ඩබ්. ජයසිරිට ට්‍රිබියුට් එකක් වගේ. ලංකාවේ අපිට මුණගැහුණු ‘සාද්’ ‘සඳ දඩයමේ’ විවිධ ස්වරූප වලින් මුණගැහෙනවා. රූපාන්තරණය වෙනවා. නිරුවතින් තිරය පුරා ඒ මේ අත ඇවිදිනවා. මට හිතුණේ මනුස්සයෙක් අමරණීය වෙන්න නම් ඒ මනුස්සයා සිනමා තිරයක් මත අමු නිරුවතින් සටහන් වෙන්න ඕන කියලා. සිනමා තිරයක නිරුවත සටහන් කරන කිසි කෙනෙක් මිය ගිය වගක් අපිට දැනෙන්නේ නෑ. ඒ අයව අපිට මුණගැහෙන්නේම සංස්කෘතික සීමාවලින් එළියේ. නිරුවත කියන්නේම අභිනිෂ්ක්‍රමණයක්.

චිත්‍රපටිය පුරාම අපිට පුප පෙන්නලා අන්තිමට ජයසිරි හිනාවෙලා ඇහැක් ගහනවා. ‘සඳ දඩයමේ’ ලෙජන්ඩරි ගුණය දෙගුණ තෙගුණ වෙනවා.
විප්ලවය කෙළවර මෙලෝ දේශපාලනයක් නැතුව පිම්පිකම් කරමින් හිටි අයත් මැරිලා වීරයෝ වුණා.
විප්ලවය කරටම අරගෙන හිටපු අයත් සංවිධානේ මතු අනාගතය වෙනුවෙන් කියලා හැංගිලා ජීවිත බේරගත්තා.
විප්ලවයක් නැතුවම ජනතාව ඒ අයට රටම බාරදුන්නා.
විපක්ෂයේ සිටි තමන් සහ ආණ්ඩුව කරන තමන් එකිනෙකා මුණගැසීමේ ලොමු දැහැගැන්වෙන අත්දැකීම දිගින් දිගටම ඔවුන්ව බියපත් කරනවා.
බාහිර භීෂණය අවසන් නමුත් අභ්‍යන්තර භීෂණය ඇරඹුණා පමණයි.
‘සඳ දඩයම’ 2026 එළියට එන්නේ එහෙමයි.
(මූලාශ්‍රය: Chinthana Dharmadasa ෆේස්බුක් පිටුව)




