පසුගිය 24 වැනිදා උදෑසන බලන්ගොඩ මූලික රෝහලේ නොමේරූ ළදරු ඒකකයෙන් වාර්තා වූයේ හද කම්පා කරවන පුවතකි. එහි ප්‍රතිකාර ලබමින් සිටි අලුත උපන් බිලිඳෙකු මෙලොව හැර ගොස් තිබිණි.
නොමේරූ දරුවන්ගේ ජීවිත බේරාගැනීමට අත්‍යවශ්‍ය වන 'බැරක්ටන්' (Beractant / Survanta) ඖෂධය රෝහල තුළ නොතිබීම මෙම මරණයට බලපා ඇති බවට සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග බරපතළ සැක පළ කරයි.
පැය හයක ජීවිත සටන සහ ඖෂධ හිඟය
නියමිත කාලයට පෙර උපදින දරුවන්ගේ පෙණහලු තුළ හුස්ම ගැනීම පහසු කරවන ස්වාභාවික රසායනිකය (Surfactant) නිසි ලෙස නිපදවී නොමැත. එම අඩුව පුරවා දරුවාගේ හුස්ම රැකදීමට ලබාදෙන ජීවිතාරක්ෂක ඖෂධය වන්නේ 'බැරක්ටන්' ය.
දකුණු ආසියාවේ අඩුම අලුත උපන් දරුවන්ගේ මරණ සංඛ්‍යාවක් වාර්තා වන රටක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින්නේ මෙවැනි දියුණු වෛද්‍ය ප්‍රතිකාර නිසාය.
නමුත් එම ප්‍රතිඵලය ලැබීමට නම් දරුවා ඉපදී පැය 06ක් ඇතුළත මෙම ඖෂධය ලබාදීම අනිවාර්ය වේ.
වෛද්‍ය සැපයීම් අංශය තුළ මෙන්ම රජයේ රෝහල් පද්ධතිය තුළ ද මේ වන විට මෙම ඖෂධයේ තොග ශූන්‍ය මට්ටමට පත්ව ඇති බව වාර්තා වේ. රෝහල් මට්ටමින් හදිසි මිලදී ගැනීම් සිදු කිරීම පවා අතිශය දුෂ්කර වී ඇතැයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
අතීත ත්‍රීරෝද රථ කතාව යළි මතකයට
බලන්ගොඩ රෝහලේ මෙම ඛේදවාචකයත් සමඟ, ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුවේ පස්වැනි විත්තිකරු වන ගබඩා පාලක සුජිත් වසන්ත කුමාර පසුගිය ඔක්තෝබර් 30 වැනිදා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කළ හැඟුම්බර ප්‍රකාශය යළිත් කරළියට පැමිණ තිබේ.
2022-23 උග්‍ර ආර්ථික අර්බුදය පැවති සමයේ ද මෙරට තුළ 'බැරක්ටන්' ඖෂධය දැඩි ලෙස හිඟ විය. මසකට වයල් 250ක් අවශ්‍ය වූ පසුබිමක, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) තිබූ වයල් 25ක් ලිපිලේඛන පවා පසුවට තබා තමන් රෝහල් වෙත යැවූ ආකාරය ඔහු සිය විත්තිවාචකයේදී හෙළි කළේය.
"මම මගේ වියදමෙන් ත්‍රීවීල් එකක් අරන් ගිහිල්ලා බෙහෙත අරන් ඇවිල්ලා රෝහල්වලට යැව්වා. ඩොකියුමන්ට් ආවේ ඊට පස්සේ දවසේ. අපි එදා එහෙම වැඩ කරලා ජීවිත බේරගත්තා ස්වාමීනි."
තමන් රාජකාරි කළේ "පිං රස්සාවක්" ලෙස සලකා බවත්, රෝගීන් වෙනුවෙන් මනුෂ්‍යත්වයෙන් කටයුතු කළා මිස බෙහෙත් සමඟ සෙල්ලම් කිරීමට කිසිදු අදහසක් නොතිබූ බවත් ඔහු එදා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබිණි.
නීතියට ඇති බිය සහ අකර්මණ්‍ය වූ පද්ධතිය
එදා උග්‍ර අර්බුද මැද පවා ලිපිගොනු පසෙක තබා, සිය රාජකාරි සීමාවෙන් ඔබ්බට ගොස් රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට මැදිහත් වූ නිලධාරීන් පිරිසක් සෞඛ්‍ය පද්ධතිය තුළ සිටියහ.
අද වන විට එම වකවානුවේ සිදුවූ ගනුදෙනු සම්බන්ධයෙන් නිලධාරීන් පිරිසක් අධිකරණය හමුවේ නඩු විභාගවලට මුහුණ දෙමින් සිටිති.
එදා මෙන් උග්‍ර ආර්ථික අර්බුදයක් නොමැති වාතාවරණයක පවා අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ රෝහල්වලින් සිඳී යාම බරපතළ ගැටලුවකි. නෛතික හා පරිපාලනමය දඬුවම්වලට ලක්වේය යන බිය නිසා නිලධාරීන් හදිසි තීරණ ගැනීමෙන් වැළකී, සිය පටු රාජකාරි රාමුවට පමණක් කොටු වී සිටීම මෙම අර්බුදයට ප්‍රධාන හේතුවක් වී ඇති බවට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
ඖෂධ නඩුවේ පස්වැනි විත්තිකරු ගබඩා පාලක සුජිත් වසන්ත කුමාර ගේ ප්‍රකාශයට අදාළ සටහන






